ප්‍රථමයෙන් දහම් අවබෝධකල ( කොණ්ඩඤ්ඤ හිමියන් හැර) භික්ෂූන් අතර අග්‍ර වූ වප්ප, භද්දිය, මහානාම, අස්සජි මහරහතන් වහන්සේ

අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් සය වසක් දුෂ්කර ක්‍රියාව කරන අවස්ථාවෙහි උන්වහන්සේට බොහෝ සෙයින් හිතවත්ව උපස්ථාන කළ පස්වග මහණුන් ගෙන් ප්‍රථමයා වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ පළමුකොට ධර්ම ප්‍රතිවේධ ලබන පිණිස අග්‍රස්ථානය ප්‍රාර්ථනා කොට පියුමතුරා බුදුන්ගෙන් විවරණ ලබා ඒ අනුව මෙම ශාසනයෙහි එකී අග්‍රස්ථානය ලැබූ සේක. ඒ පස්වග මහණුන් ගෙන් ඉතිරි සතර දෙනා එබදු අග්‍රස්ථානයක් ප්‍රාර්ථනා නොකළ නමුත් පළමුකොට ධර්ම ප්‍රතිවේධය ලබන අයගෙන් අපිද එක් එක් අයකු වන්නෙමු යි ප්‍රාර්ථනා කළහ. එසේ ප්‍රාර්ථනාකොට පියමතුරා නම් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මහ දන් පවත්වා එයින් චුතව සසර බොහෝ කාලයක් පින්දහම් කොට අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බමුණු කුලවල උපන්හ. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම පැවිදිව බුදුබවට පත් වී මහා ජනයා සසර කතරින් එතෙර කරවන බවට අසිත (කාලදේවල) සෘෂිවරයා විසින් කළ ප්‍රකාශය දැනගත් කොණ්ඩඤ්ඤ, භද්දිය වප්ප, මහානාම, අස්සජී යන බමුණන් පස් දෙනා ගිහිගෙය අත්හැර තාපස පැවිද්දන් ලෙස මහණව ” බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පැමිණ දහම් දෙසන කල්හි ඒ ධර්මය අසා සසරින් එතෙර වන්නෙමු යි කථිකා කර ගන්න. එසේ සිතු ඔවුහු උරුවෙල් දනව්වෙහි වන පියසක වාසය කරමින් බුදුරජාණන් වහන්සේ හමුවන තුරු රැඳී හුන්හ.

අප බෝසතාණන් වහන්සේ විසි නව අවුරුද්දක් ගිහි ගෙයි වැස සතර පෙරනිමිති දැක කලකිරී ඇසල පුන් පොහෝ දිනක රාත්‍රි ඡන්න ඇමතියා සමග කන්ථක අසු පිට නැගී රජගෙදරී අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා ගඟින් එතරව එහිදී තාපස පැවිද්ද ලබා අනුක්‍රමයෙන් දනව් සැරි සරා ආළාරය උද්දකය යන මහා තාපසවරුන් හමුවූහ. කලක් ඔවුන්ගේ ධර්මය ඉගෙන ගත් බෝසතාණෝ  එය තමන් සොයන නිර්වාණ ධර්මය නොවන බව දැන එයින් නික්ම “ දුෂ්කර ක්‍රියා කෙරෙමි “ යි සිතා උරුවෙල් දනව්වට වැඩි සේක. එකල එහි වාසය කරමින් සිටි කොණ්ඩඤ්ඤ තවුසා ඇතුළු පස්වග තවුසෝ බෝසතාණන් උරුවෙල් දනව්වෙහි දුෂ්කර ක්‍රියා වෙහි යෙදී වාසය කරන බව අසා බෝසතාණන් හමු වුහ. එතැන් පටන් බෝසත් තුමා සමග ඔවුහු සය වසක් එක්ව වාසය කළාහුය. සිද්ධාර්ථ තාපස තුමා අද බුදුවෙයි, හෙට බුදුවෙයි යන බලාපොරොත්තුවෙන් තවුසෝ පස් දෙනා බෝසතාණන් වහන්සේට මළු හැමද, නාන බොන පැන් සපයා, වත් පිළිවෙත් කොට උපස්ථාන කරති. අප මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කොට ශරීරයට අප්‍රමාණ දුක් දී අවසානයේ දී “ මේ මගින් මා සොයන නිවනට යා ගත නොහැකිය” යි සිතා එකී දුෂ්කර ක්‍රියාව අත්හල ස්ක. එතැන් පටන් ශරීරයට අවශ්‍ය ආහාර පාන ගෙන මැදුම් පිළිවෙතට බැස ගත් කල්හි පස්වග තවුසෝ මේ “ සිද්ධාර්ථ තාපසයා දැන් දුෂ්කර ක්‍රියාව අත හැර ශරීරයට සැප දෙන මාර්ගයක් අනුගමනය කරයි. ඒ මගින් මොහුට කවදාවත් බුදු වීමට නොහැකිය” යි බෝසතාණන් කෙරෙහි කලකිරී උන්වහන්සේ හුදකලා කොට බරණැස ඉසිපතනාරාමයට ගියහ.

බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි යෙදෙමින් සිට ක්‍රමයෙන් බෝමැඩ කරා ගොස් භාවනාවෙහි යෙදෙමින් සකල ක්ලෙස මාරයන් පරාජය කොට ලොව්තුරා බුදු වූ සේක. එයින් අනතුරුව සත් සති ගෙවා “පළමු කොට කවරෙකු හට දහම් දෙසදැ” යි සිහි කරන්නේ ආළාර, උද්දකරාම පුත්ත යන දෙදෙනාම කාල ක්‍රියා කොට ඇති බව දැන කොණ්ඩඤ්ඤ ඇතුළු පස්වග තවුසන් දැන කොහි වෙසෙත්ද යි බලා බරණැස ඉසිපතනාරාමයෙහි වසන බව දැන එහි වැඩි සේක. එකල පස්වග තවුසෝ “ ශ්‍රමණ ගෞතමයෝ බුදු වී ගත නොහැකිව දැන් අප කරා එති, ඔහු රජකුලයෙහි උපන් හෙයින් ආසනයක් පමණ දෙමු. වෙනත් සැලකිලි සම්මාන කිසිවක් නොකරමු.” යයි කථිකා කරගන්හ. එහෙත් වැඩි වේලාවක් ඔවුන්ට එසේ සිටීමට නො හැකී විය. බුදුරජාණන් වහන්සේ ළඟට වඩින්ම පස් දෙනාම පෙරමගට ගොස් වැඳ පිළිගෙන සියලූ උපස්ථාන කළහ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුදු වූ බව ඔවුන්ට ප්‍රකාශ කළ සේක. අනතුරුව පස්වග තවුසන් ඇමතු බුදුරජාණන් වහන්සේ “ ද්වෙ මෙ භික්ඛවෙ අන්ත පබබජිතෙන න සෙවිතබ්බා “ යනාදීන් ඇතුළත් කොට දමිසක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාළ සේක.

සුත්‍ර දේශනාව ඇසීමෙන් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්විය. අනතුරුව දෙවන දින භද්දිය තවුසාද, තුන්වන දින වප්ප තවුසාද, සතරවන දින මහානාම තවුසාද, පස්වන දින අස්සජි තවුසාද බණ අසා සෝවාන් වුහ. සයවන දින අනත්ත ලක්ඛණ සුත්‍ර දේශනාව වදාරා පස් දෙනම එකවිට රහත් කරවූ සේක. මෙසේ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි පළමු වෙන්ම රහත් වීමට කළ ප්‍රාර්ථනාව අනුව කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජි 

යන පස්දෙනා ධම්සක් පැවතුන් සූත්‍රය දෙසා සත්වන දිනයේදී රහත් බවට පත්වූ ස්ක. මෙහි අන්තිමට සඳහන් අස්සජි මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට මුලින් ම ධර්මය දේශනා කළතෙරණුවෝ ය. මේ හේතුව නිසාම සැරියුත් හිමියෝ , බුදුරජාණන් වහන්සේට දැක්වූ තරම ගුරු භක්තියක් අස්සජි තෙරුන්ටද දැක්වූ සේක.

error: Content is protected by www.ifbcnet.org.