පත්ත නික්කුජ්ජන කර්මය

‘පත්ත’ යනු පාත්‍රයයි.’නික්කුජ්ජන ‘ යනු යටිකුරු කිරීමයි. ඒ අනුව ‘පත්තනික්කුජ්ජනය ‘ යනු පාත්‍රය යටිකුරු කිරීමයි.හෙවත් එම දායක, දායිකාවන්ගෙන් භික්ෂාව නොපිළිගැනීමයි. සංඝයා ම එකතු වී යම් අනර්ථයක් කළ පුද්ගලයාගේ ගෙදරින් දානය හෝ සිවුපසය නොපිළිගැනීමේ සම්මුතියක් ඇතිකර ගැනීම මෙහිදී සිදුවේ. මෙම පැනවීම යොමුවන්නේ භික්‍ෂූන්ට වැරැදි කරන ගිහියන් සඳහා ය.

සම්බුද්ධත්වයෙන් මුල් විසි වසර ඉක්මුණු පසු ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් ඉතා සංකීර්ණ තත්ත්වයට පත්වීම නිසා සසුනේ අනාගත පැවැත්ම උදෙසා විනය නීති, විනය කර්ම පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.ඒ අනුව භික්‍ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම් නිශේධනය කරනු සඳහා සිකපද පැනවූ අතර, පසුව එම නෛතික දේශනා “ “විනය පිටකය “ ලෙස සංග්‍රහ විය. නමුත් ඇතැම් විනය නීති රීති සහ විනය කර්ම ආදිය පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයෙන් ද හමුවේ. සූත්‍ර විනය පිටක දෙකෙහිම ඇතුලත් වන (සඳහන් වන ) විනය කර්මයක් ලෙස පත්තනික්කුජ්ජන කර්මය හැඳින්විය හැකිය.

දස වැදෑරුම් ආනිසංසයක් (දස අත්‍ථවසෙ) නිමිති කරගෙන විනය නීති හා විනය කර්ම පනවන බව බුදුරජාණන් වහන්සේ සුදින්න තෙරුන්ගේ සිදුවීම මුල් කරගෙන දේශනා කරති. (පාරාජික පාළි, සුදින්න භණවාර – 48 පිටුව) එම අර්ථ විශේෂ දහය නම් :-
1.සංඝ සුට්ඨුතාය – සංඝයාගේ හිතසුව පිණිස

2.සංඝවාසුතාය – සංඝයාගේ පහසුව පිණිස

3.දුම්මංකූතං පුග්ගලානං නිග්ගහාය – දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහ කරනු පිණිස

4.පෙසලානං භික්ඛුනං ඵාසුවිහාරාය – පි‍්‍රයශීලි භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස

5.දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය – මෙලොවදී පැමිණිය හැකි දුක් කරදර වලින් මිදීම පිණිස ආශ්‍රවයන්ගේ සංවරය පිණිස (දුක් නැති කිරීම පිණිස)

6.සම්පරායිකානං ආසවානං පටිඝාතාය – පරලොව දී පැමිණෙන දුක් පීඩා නැති කිරීම පිණිස

7.අප්පසන්නානං පසාදාය – නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස

8.පසන්නානං භිය්‍යෙභාවාය – පහන් වූවන්ගේ (පැහැදුණ අයගේ) පැහැදීම වඩා වර්ධනය වනු පිණිස

9.සද්ධම්මට්ඨිතියාය – සද්ධර්මය දිගු කලක් පවත්වාගෙන යෑම පිණිස

විනයානුග්ගහාය – විනය දේශනාවන්ට , විනය පැනවීම් වලට අනුග්‍රහ පිණිස

මෙම අනුසස් අපේක්‍ෂාවෙන් විශේෂයෙන් විනය නීති හා විනය කර්ම පැනවූයේ භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිසට පමණි. නමුත් ඒ අතර විනය කර්ම කිහිපයක් ගිහි පින්වතුන්ට ද අදාළ වේ. සියලු විනය කර්ම සංඝයාගේ අනුමැතියෙන් සිදුවීම විශේෂ ලක්‍ෂණයකි.

මෙම පත්ත නික්කුජ්ජන විනය කර්මය ද සංඝයාගේ මූලිකත්වයෙන්, සංඝ අනුමැතියෙන් ම සිදුවන්නකි. එහි ප්‍රතිඵලය යොමුවන්නේ ගිහි උපාසක උපාසිකාවන්ට ය. භික්‍ෂු භික්‍ෂූණීන්ට නොවේ. අනෙක් විනය කර්ම සංඝානුමැතියෙන් සිදුකරන අතරම ප්‍රතිඵලය යොමුවනුයේ ද භික්‍ෂුවකට භික්‍ෂුණියකට හෝ භික්‍ෂු භික්‍ෂුණී කිහිප දෙනෙකුටය. පත්තනික්කුජ්ජන විනය කර්මයේ විශේෂත්වය වනුයේ එය ගිහි උපාසකයෙකුට හෝ උපාසිකාවකට හෝ පිරිසකට යොමුවීමයි.

‘පත්ත’ යනු පාත්‍රයයි.’නික්කුජ්ජන ‘ යනු යටිකුරු කිරීමයි. ඒ අනුව ‘පත්තනික්කුජ්ජනය ‘ යනු පාත්‍රය යටිකුරු කිරීමයි. හෙවත් එම දායක, දායිකාවන්ගෙන් භික්ෂාව නොපිළිගැනීමයි. සංඝයා ම එකතු වී යම් අනර්ථයක් කළ පුද්ගලයාගේ ගෙදරින් දානය හෝ සිවුපසය නොපිළිගැනීමේ සම්මුතියක් ඇතිකර ගැනීම මෙහිදී සිදුවේ. මෙම පැනවීම යොමුවන්නේ භික්‍ෂූන්ට වැරැදි කරන ගිහියන් සඳහා ය.

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වර්ගයේ හත්වන සූත්‍රය පත්තනික්කුජ්ජන සූත්‍රය නම් වේ. එහි සඳහන් වන පරිදි අංග අටකින් යුක්ත උපාසකයාට සංඝයා කැමති වේ නම් පත්ත නික්කුජ්ජන කර්මය කරන්නේය.කවර අංග අටක් ද යත් :-

1.භික්ඛුනං අලාභාය පරිසක්කති – භික්‍ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කරයි. භික්‍ෂුන්ට ලැබෙන දේ නැති කිරීමට උත්සාහ කරයි.

2.භික්ඛූනං අනත්‍ථාය පරිසක්කති – භික්‍ෂූන්ගේ අනර්ථය පිණිස උත්සාහ කරයි. දිට්ඨධම්ම සම්පරායික සුඛයන්ගෙන් මෙන්ම ලෝකෝත්තර මගඵල ලැබීම් ආදියට අනර්ථ කරයි.

3.භික්ඛූනං අවාසාය පරිසක්කති- භික්‍ෂූන්ගේ අවාසය පිණිස උත්සාහ කරයි. සිටින, වෙසෙන තැනින් භික්‍ෂූන් නෙරපීමට උත්සාහ කරයි.

4.භික්ඛුනං අක්කෝසති පරිභාසති – භික්‍ෂූන්ට අක්‍රෝශ කරයි. පරිභව, නින්දා , අපහාස, අවලාද නඟයි. අභූත චෝදනා කරයි.

5.භික්ඛු භික්ඛූහි භේදෙති – භික්‍ෂුව භීක්‍ෂූන් සමග භේද කරවයි. එකම ආවාසයේ වැඩවෙසෙන භික්‍ෂූන් කුළුපගව ඇසුරු කරන දායකයන්ගෙන් මෙම වරද බොහෝ විට සිදුවේ. කේලාම්, බොරු ආදිය ප්‍රකාශ කර භික්‍ෂූන් අතර භේද ඇති කරයි. අසමගිය ඇති කරයි. ඉන් තමන්ට පටු ලාභ අපේක්‍ෂා කරයි.

6.බුද්ධස්ස අවණ්ණං භාසති – බුදුරදුන්ගේ නුගුණ පවසයි. විචිකිච්ඡාව පෙරදැරිව බුද්ධ චරිතයේ නොයෙකුත් දෝෂ දක්වමින් අභූත , අසත්‍ය චෝදනා කරයි. බුද්ධ රත්නයට අගෞරව කරයි. ශ්‍රද්ධා සිත විනාශ කරයි.

7.ධම්මස්ස අවණ්ණං භාසති – ධර්ම රත්නයේ නුගුණ පවසයි. ධර්මයේ දෝෂ දක්වමින්, වැරැදි පවසමින් තම මිථ්‍යා අදහස් මතු කිරීමට වෙරදරයි. ධර්ම ග්‍රන්ථ විකෘති කරයි. බුද්ධ භාෂිතයට වෙනස් අර්ථකථන ඉදිරිපත් කරයි.

8.සංඝස්ස අවණ්ණං භාසති -සංඝරත්නයේ නුගුණ පවසයි. හුදකලා භික්‍ෂූන් වෙන් වෙන්ව ගෙන, එම භික්‍ෂූන්ගේ වැරැදි අඩුපාඩුකම් සංඝරත්නයට ම නංවමින් සංඝයාට අපහාස කරයි. පරිභව කරයි. නින්දා කරයි.

මෙම අංග අටෙන් වියුක්ත වූ, තොර වූ උපාසකයාට සංඝයා කැමතිනම් පාත්‍රය උඩුකුරු කරන්නේය. ආකංඛමානො සංඝො පත්තං උක්කුජ්ජෙය්‍ය හෙවත් පත්ත උක්කුජ්ජන කර්මය කරන්නේය. මෙම ධර්ම අටෙන් යුක්ත ගිහි පුද්ගලයාට සංඝානුමැතියෙන් පත්තනික්කුජ්ජන කර්ම කළ හැකි බව එම සූත්‍රයේ දැක්වේ. මේ අනුව පත්ත නික්කුජ්ජන කර්මය යනු භික්‍ෂූන් වහන්සේට පරිභව කොට අපහාස කරන ගිහියන්ට දඬුවම් පිණිස කරන විනය කර්මයකි. එය වරද කරන ලද ගිහියන්ගෙන් සිවුපසය ලබා නොගනිමින් ඔවුන් වර්ජනය කරන විනය ක්‍රියාවකි.

චුල්ලවග්ග පාළියේ ඛුද්දක වත්‍ථුක්ඛන්ධකයේ සඳහන් වන පරිදි බුද්ධ කාලයේ දී වඩ්ඪ ලිච්ඡවී රජකුමරුගේ නොමනා ක්‍රියාවක් නිසා පත්තනික්කුජ්ජන කර්මය සිදුකර ඇත. ෂඩ් වර්ගිය භික්‍ෂූන්ගෙන් දෙනමක් වන, මෙත්තිය භුම්මජක දෙනමගේ මිතුරෙකු වන වඩ්ඩ ලිච්ඡවී, දිනක් උන්වහන්සේලා ඉදිරියේ වැඳ නමස්කාර කළ නමුත්, ඒ දෙනම ඒ පිළිබඳව නොතකා සිිටි බැවින් ඊට හේතු විමසීය. දබ්බමල්ල පුත්‍ර තෙරුන්ගෙන් පීඩාවට පත්ව සිටින අප දෙදෙනා පිළිබඳව ඔබ උදාසීනව පසුවන බැවින් ඔබ හා මිත්‍රත්වයෙන් ඵලක් නැතැයි මේත්තිය භුම්මජක භික්‍ෂූහු පවසති. “ මා කුමක් කළ යුතු ද? “යි විමසූ වඩ්ඪට එම පාපී භික්‍ෂූහූ “ ඔබ බුදුරදුන් වෙත ගොස් දබ්බමල්ල පුත්ත තෙරුන්ට අභූත චෝදනාවක් නඟන ලෙස කියති. ඒ පාපී, භික්‍ෂූන්ගේ වචනය පිළිගත් වඩ්ඪ බුදුරදුන් වෙත ගොස් “ ස්වාමීනි, බිය නැති දිශාව බිය සහිත විය. සුළං නොහමන දිශාවෙන් සුළං හැමීය. ජලය ගිනිගත්තා වැනිය. දබ්බමල්ල හිමියන්ට අභූත චෝදනාවක් නැගීය. ඒ මොහොතෙහිම භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා රැස් කළසේක. දබ්බමල්ල පුත්‍ර හිමියන්ගෙන් මෙම චෝදනාව “ සත්‍යයද? අසත්‍යයද? “ යි විමසූ විට උන්වහන්සේ “ ස්වාමීනි, මම ආර්ය ජාතියේ උපන් දින සිට සිහිනෙන්වත් මාගමක හා මෙවුන්දම් නොකළෙමි. සිහියෙන් මෙවුන්දම් නොකිරීම පිළිබඳව කියනු කිම?” යි පවසති.

ඉන් පසු බුදුහු “ මෙසේ නිවැරදි භික්‍ෂූන්ට අභූත චෝදනා නගන වඩ්ඪ ලිච්ඡවීට පත්තනික්කුජ්ජන කර්මය කරන ලෙස භික්‍ෂුන්ට වදාළහ. ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න භික්‍ෂුවක් සඟ මැඳ නැගී සිට මෙසේ පැවසිය යුතුයි. “ ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. වඩ්ඪ ලිච්ඡවී ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රතෙරුන්ට අමූලක ශීල විපත්තියෙන් චෝදනා කරයි. සංඝයා වඩ්ඪ ලිච්ඡවී හට පත්තනික්කුජ්ජනය කරයි. ඔහු සංඝයා හා සම්භෝග නැත්තෙකු කරයි. මෙසේ වඩ්ඩ ලිච්ඡවීම පත්තනික්කුජ්ජනය කිරීම, සංඝයා හා සම්භෝග නැත්තකු කිරීම යම් ආයුෂ්මතෙකුට නොරිසි නම් උන්වහන්සේ නැගිට ඒ බව සඟ මැද පවසත්වා. යමකුට රිසි නම් නිහඬව සිටිත්වා. සංඝයා නිහඬ හෙයින් ඊට සංඝයා කැමති බව පිළිගනිමි” මෙසේ සංඝානුමැතිය ලැබීමෙන් මෙම විනය කර්මය බල සහිත වේ. මෙසේ සංඝයා පත්තනික්කුජ්ජන කර්මය වඩ්ඩ ලිච්ඡවීට කරන ලද ආරංචිය ඔහුට දැනුම් දෙන්නේ ආනන්ද හිමියන් විසිනි. එය අසා සිහි නැතිව වැටෙන හෙතෙම සියලු මිත්‍රාමාත්‍ය, නැදෑ දැසි දසුන් පිරිවරාගෙන තෙත්වූ වස්ත්‍ර හා කෙස් ඇතිව (අල්ල වෙත්‍ථා අල්ල කෙසො) බුදුරදුන් වෙත ගොස් “ රහතන් වහන්සේ නමක් වූ දබ්බමල්ල පුත්‍ර හිමියන්ට මම අභූත වූ අමූලක වූ ශීලවිපත්ති චෝදනාවක් කළෙමි. මුළාවී, අඥාන වී කරන ලද මාගේ ඒ වරද වරදක් වශයෙන් පිළිගනු මැනවි. මතු එම වරද මම නොකරමි. මාගේ වරද වරදක් ලෙස පිළිගන්නා සේක්වා “යි ඉල්ලා සිටියි.

ඉන් පසු තම වරද වශයෙන් දැක නිවැරදි වීමට සිතීම උසස් ගුණාංගයකැයි පවසන බුදුපියාණන් වහන්සේ වඩ්ඪ ලිච්ඡවීට පැනවූ පත්ත නික්කුජ්ජන කර්මය අවලංගු කරනු සඳහා පත්ත උක්කුජ්ජන කර්මය පෙර පරිදිම සංඝයා රැස් කරවා ප්‍රතිබල සම්පන්න භික්‍ෂුවක් ලවා සිදුකරවූහ. මෙය ඤත්තිදුතිය විනය කර්මයක් බව සද්ධර්මකෝෂයේ කියැවේ.

ඉහතින් දැක්වූ දුර්ගුණ අට ම හෝ කිහිපයක් හෝ යම් ගිහියකු තුල විද්‍යාමාන වේ නම් සංඝ සම්මතයෙන් ඔහුට පත්ත නික්කුජ්ජන කර්මය කළ හැකිය. එම ගිහි පුද්ගලයාට පත්තනික්කුජ්ජන කර්මය සංඝයා විසින් සිදුකළ බව අවට විහාරවලට ද දැනුම් දීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. හුදෙක් තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත, පරලොව අපාගාමී නොවන උපාසක උපාසිකා පිරිසක් ඇති කරගනු සඳහා මෙම විනය කර්මය උපයෝගී කර ගත යුතුය.

උපුටාගැනීමකි.

මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.