
පිඬ්ගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුලපුත්රයෙක් ව ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයේ දී රහත් බව ලබා සසර දුකින් එතෙරවෙමි” යි. ප්රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුල පුත්ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විඳිමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක උපන්නේය. හෙතෙම බොහෝ කලක් ගිහිගෙයි වැස ජරා ජීණ වු මහලූ කාලයේ බාවාරි තාපසතුමාගේ ශ්රාවක යෙකුව තපස්දම් පුරමින් සිටින අවස්ථාවක බාවාරි ගේ අනු දැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. එසේ පැමිණි පිඩ ගිය තවුසා බුදුරජාණන් වහන්සේට මෙබන්දක් පැවසීය,
” සවාමීනි, මම දුර්වල, දුර්වර්ණ වයස්ගත, ඇස් පෙනීම අඩු, කන් ඇසීම දුර්වල අයෙක්මි. ජාති ජරාදිය නැති කළ හැකි යම් ධර්මයක් ඇත් නම් මට එය දේශනා කරනු මැනවි, “
බුදුරජාණන් වහන්සේ පිඩ ගිය තවුසාට මෙසේ වදාළ සේක. ” පිඬ්ගිය, තෘෂ්ණාවේ ගැලූනාවූ සත්වයන් හටගත් සිත් තැවුල් ඇතියවුන් ජරායෙන් මඩනා ලද්දවුන් සේ දක්නවුද, එහෙයින් පිඬ්ගියනි , තෙපි අප්රමාදව පුනර්භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරව. “
මෙම දේශනාව අවසානයේ දී පිඬ්ගිය තවුසා හැර අනිත් දහසක් තවුසෝ රහත් වුහ. තමාගේ ගුරුවරයා වු බාවාරි තාපසතුමා ගැන සිතමින් “මගේ ගුරුතුමාට මේ උතුම් ධර්මය අවබෝධ වන්නේ කෙසේ දැ” යි සිතමින් හුන් පිඩගිය තවුසා අනාගාමි ඵලයට පත් විය. පසු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විසින් බාවාරි තාපසතුමාට දෙසු ධර්මයක් අසා පිඩගිය තවුසා ඇතුළු සියලූ දෙනම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළහ. පිඩගිය තෙරුන් වහන්සේ අසු මහා ශ්රාවකයන් වහන්සේගෙන් එක් අයෙක් ද වූ සේක.