දිව්‍යමය සාක්‍ෂිවලින් හෙළිවන්නේ කුමක්‌ද?

වර්ෂ 1505 දී පෘතුගීසින් ලක්‌දිවට පැමිණි පසු රට ඉතා කෲර ලෙස පාලනය කළ අතර මෙම දේහය බලහත්කාරයෙන් රැගෙන ගෝවේ නගරයට ගෙනගිය බව පැරැණි ජනකවි දෙකකින්ද සඳහන් වේ. අද එම දේහය කතෝලික පූජකවරයකු වූ ශාන්ත µeන්සිස්‌ සේවියර්ගේය යෑයි කතෝලිකයන් විශ්වාස කරන අතර ඒ අනුසාරයෙන් ඔවුහු එයට ගෞරවය දක්‌වති. නමුත් සිංහලයන් විසින් මෙම දේහය යුරෝපීය ජාතිකයකුගේ නොව තොටගමුවේ රාහුල හිමිගේය යන තර්කය සනාථ කිරීම සඳහා කරුණු ගණනාවක්‌ම සඳහන් කොට තිබේ. මෙයින් ප්‍රබලම සාක්‍ෂිය නම් දේහයේ දකුණු අත නොමැති වීමයි. කතෝලිකයන් පවසන්නේ රෝමයේ පාප්තුමාට මෙම අත කපා යෑවූ බව වන අතර සිංහලයන්ගේ මතය වනුයේ පෙරකී කවි දෙක කොටා තිබූ බැවින් දේහය රාහුල හිමිගේය යන්න තහවුරු වන බැවින් අත කපා ඉවත් කොට ඇති බවයි. එසේම සේවියර්තුමාගේ උස සහ මිනී පෙට්‌ටියේ මිනුම් ගත් විටද දේහය සේවියර්තුමාගේ නොවන බැව් සනාථ වන බැව්ද ඔවුන් පවසයි. එවකට ලක්‌දිව පැවැති දේශපාලන තත්ත්වය පසුගිය සතියේ විස්‌තර කෙරිණි. පෘතුගීසීන්ගේ සහාය තම බලය රැක ගැනීමට අවශ්‍ය වූ හෙයින් පෘතුගීසීන්ට රිසිසේ රට කොල්ලකෑමට සහ ආගම පතුරවීමට බාධාවක්‌ නොවින. එවන් වාතාවරණයක්‌ තුළ හුදෙකලා ගල් ගුහාවක තිබූ මෙම ආශ්චර්යමත් සිරුර කිසිදු බාධාවකින් තොරව පිටරට ගෙන යැමට රජුගෙන් ඔවුන්ට අවකාශ තිබිණ. බාධාවක්‌ ඇති වූයේ ගම්වාසීන්ගෙන් පමණය. ඒ බවට ද සාක්‍ෂි තිබේ. පැරැණි පුවත්පත්වල මේ සම්බන්ධයෙන් පළවූ වාද විවාදවලින් කොටසක්‌ අද පළවේ.

වර්ෂ 1952 දෙසැ. 7 වැනි දින “ඉරිදා ලංකාදීප” පුවත්පතෙහි පළකරන ලද එවකට මහරගම රජයේ අභ්‍යාස විදුහලෙහි කලා අංශයේ සේවය කළ කථිකාචාර්ය ටී.යූ. ද සිල්වා මහතාගේ ලිපිය ඔහුගේම බසින්ම මෙසේය.

ඖෂධ බලයෙන් මෘත ශරීරයක්‌ වසර 1000 කට වැඩි කාලයක්‌ නරක්‌ නොවී තබා ගැනීමට හැකි බව වරාහ මිහිරාචාර්යයන් විසින් ප්‍රණීත වෘහත් ජාකකයෙහි දක්‌වන්නේය. ෆ්‍රැන්සිස්‌ සේවියර්තුමා ප්‍රතිකාල් සෙන්පතියෙකුද සමඟ පැමිණ එම සිරුර පැහැරගෙන ගොස්‌ ඇත. ඔහු පළමුව ගෝවේට නොගොස්‌ මලක්‌කාවට ගොස්‌ ඇත. එසේ එහි ගියේ මලක්‌කාවේ සිටි ආණ්‌ඩුකාරවරයා මාරුකර සේවියර්ගේ මිතුරකු වූ එම ආණ්‌ඩුකාරයාගේ සහෝදරයා එම නිලයට පත්කරන උත්සවයට සහභාගි වීමටය. එයට ඔහු සහභාගි වූ බවට රාජකීය ආසියාතික සමාගමේ 60 වන සඟරා කලාපයේ 159 වන පිටෙහිද වයිට්‌ එමේගේ නම් පොතේ 76 වන පිටේද සඳහන් වේ. මේ ගමනේදී රෝගයක්‌ සෑදී චීනයට ආසන්න සැන්ක්‌ෂන් දූපතේදී 1552 නොවැ. මස මියගිය බව එතුමාගේ ජීවිත කතාවෙහි සඳහන් වේ.

මේ දවස්‌වලට මලක්‌කාවේ ආණ්‌ඩු සභාවේ කටයුතු කළ සේවියර් පියතුමා සැන්ක්‌ෂන් දූපතෙහි මලේ කෙසේද?

එතුමා 1552 නොවැ. මස කාලක්‍රියා නොකළ බව මලක්‌කාවේ ආණ්‌ඩුකාරවරයා පත් කරන දා සිදුවූ සිදුවීම් සඳහන් සභාපතිතුමාගේ ලියකියවිලි වල සහ රාජකීය මුද්‍ර ගසාපු ලියුම්වලින්ද සනාථ වේ.

සේවියර් නොයෙක්‌ භාෂා ශාස්‌ත්‍ර උගත් කෙනෙකි. පෙරදිග වේදාන්ත පොත් හා බුද්ධ ධර්මය ද උගත් අයෙකි. මෙතුමාට බුද්ධ ධර්මය සත්‍ය බව තේරුම් ගිය සාක්‍ෂියක්‌ ද වෙයි. එනම් උන්වහන්සේගේ මිත්‍රයෙක්‌ වූ ඇස්‌. බීල් නම් දේවගැතිවරයාට ඔහු යෑවූ ලිපියයි. එනම්
“දකුණු බුද්ධාගම කතෝලික ක්‍රිස්‌තියානි ආගමට වඩා ජීවිතය ගලවා ගන්නට පුළුවන් සත්‍ය වූ ආගමකි. එය මට අවබෝධ වී තිබේ. එස්‌. බීල් පියතුමා මෙම ලිපිය පූජා පොතේ තබා තිබී ශාන්ත පාප් වහන්සේට දක්‌නට ලැබුණු බව ශ්‍රේෂ්ඨ පණ්‌ඩිතයකු වූ ආතර් ලිලී නම් ඉංග්‍රීසි ජාතිකයා ලියූ “බුද්ධා ඇන්ඩ් බුඩිසම්” යන පොතේ 193 වන පිටේ සඳහන් වෙයි.

ක්‍රි. ව. 1894 ඇලෙක්‌සැන්ඩර් මැන්දිස්‌ සේනාරත්න ආරච්චි විසින් සිංහලට පරිවර්තනය කළ සාවියර් ජීවිත කතාවෙහි (744 පිට) ඔහු ජපන් රටේ සිටි බවද, පිරිසිදු බුද්ධ භක්‌තියෙක්‌ වූ බවද සඳහන් වෙයි. එහි 139 පිටෙහි සාවිර්තුමා උපන්නේ 1506.4.7 වන දින බවද මරණය සිදුවූයේ සැන්ක්‌ෂන් දූපතෙහි 1552 වර්ෂයේ බවද කියෑවේ. එහෙත් පරංගින් විසින් ලියූ ජීවිත කතාවෙහි මියගියේ 1555 වර්ෂයේ බව සඳහන් වෙයි. එබැවින් 1553 වර්ෂයේදී එතුමා ජීවත්ව සිටි බව මෙයින් පෙනේ.

එම වර්ෂයේම “අම්බ්‍රොaසියා වියාරා” නෞකාවෙන් සේවියර් තුමාගේ යෑයි කියනු ලබන දේහය ගෙනා බව (වීදිය බණ්‌ඩාර – 58 වන පිට) සහ (ශාන්ත සේවියර් ජීවිත කතාව 142 පිට) හි සඳහන් වේ. එම මෘත ශරීරය 1554 දී ලෝපස්‌ නොරෙඤඤගේ නැවෙන් මලක්‌කාවේ සිට ලංකාවට ගෙන එන විට ගල් පරයක හැපී මාස 6 ක්‌ සිරවී රළ වේගයෙන් නැව කැඩී සිරුරෙහි ඇටකටු කෝට්‌ටේ දේවස්‌ථානයක වළලා දැමූ බවද සඳහන් වේ.

එවිට වීදිය බණ්‌ඩාර පොතේ සඳහන් සිරුරත්‌, සාවියර්ගේ ජීවිත කතාවෙහි සිරුරත් එකක්‌ නොව දෙකක්‌ බව වැටහේ. වීදිය බණ්‌ඩාර පොතේ සිරුර සේවියර් මියයැමට කලින් ගෝවේට ගෙන යැමට ගිය රාහුල දේහය බවත් දැනට ගෝවේ තිබෙන දේහය සේවියර් ස්‌වර්ගස්‌ථ වීමට ප්‍රථම ගෙන යනු ලැබූවක්‌ නිසා එය රාහුල දේහය නොවේය කියා කිව හැක්‌කේ කාටද?

වර්ෂ 1952 දෙසැම්බර් මස 17 දින “ලංකාදීප” පුවත්පතෙහි මෙවන් දෙයක්‌ සඳහන්ව තිබේ. එනම් ශාන්තුවරයන්ගේ නාමාවලියට ඇතුළත් කිරීම සඳහා එකල ශුද්ධ වූ පාප් වහන්සේ සැළකල විට ශ්‍රී දේහයේ අතක්‌ කපා රෝමයට ගෙන යන ලදුව පාප් වහන්සේ ඉදිරිපිට එම අත මේසයක්‌ මත තිබූ පෑනක්‌ ගෙන ෆ්‍රැන්සිස්‌ සේවියර් යන නාමය ලියූ බව කතෝලිකයන් කියති” යනුවෙනුයි.

මීට ප්‍රතිචාර ලෙස 1953 ජනවාරි 24 වැනි දින පේරාදෙණියේ සඳසිරියේ වැසි පුරාවෘත විශේෂඥ සී. පී. කුලතිලක මහතා විසින් සිංහල බෞද්ධයා පුවත්පතෙහි (1 වන කාණ්‌ඩය 49 වැනි කලාපය) පළකරන ලද ලිsපිය ඔහුගේම භාෂා ශෛලයෙන් මෙසේය.

“ෆ්‍රැන්සිස්‌ සේවියර්තුමා සාන්තුවරයෙක්‌ (අපොස්‌තුලුවරයෙක්‌) ලෙස පිළිගන්නා ලෙස ප්‍රථම වරට 13 වන ගිරිගෝරිස්‌ පාප්තුමාගෙන් ඉල්ලා තිබේ. එහෙත් ඔහු ජපන් රටේදී බුද්ධාගම වැළඳගෙන සිටි බැව් දැනීමෙන් හෝ ඔහුගේය කියන ඔය සිරුර ගැන පවා විශ්වාසයක්‌ නැතිවූ නිසා ඒ ඉල්ලීම පාප් වහන්සේ විසින් ප්‍රතික්‌ෂේප කර ඇති බව පෙනේ.

දෙවැනි වරට 5 වන පෝල් පාප් වහන්සේගෙන්ද මෙම ඉල්ලීම කර තිබේ. එවිට එම පාප් වහන්සේ ඔය සාවියර්තුමාගේය යන සිරුරින් අතක්‌ ගෙන්වා බලා, එය “ශුභවර්ණ” දේaහයකින් යුක්‌තව සිsටි අයෙකුගේ අතක්‌ නොවූයෙන්ද සේවියර්තුමා ලංකාවෙන් පැහැරගෙන මලක්‌කාවට සොරා රැගෙන ගිය විට එහි එදා පැවැති සභාවකදී මිථ්‍යාදෘෂ්ටි කෙනෙකුගේ මෘත ශරීරයක්‌ සඟවාගෙන එහි ආ යෑයි චෝදනාවක්‌ද එතුමාට ලැබ ගන්නට වූ බවද සැලව තිබූ ඒ “අශුභ” සිරුරේ අත ඒ විය හැකි බවද එතුමා ප්‍රත්‍යක්‍ෂව දැක, පූර්වෝක්‌ත දොaෂාරෝපණ ගැනත් සලකා එම ඉල්ලීමද එම පාප්තුමා පිළිකෙව් කළ බව දැනේ. එසේ නොවේ නම් ඒ අත්භූත අත තිබූ සිරුර හිමි සාවියර්තුමා (ශුද්ධවූ) කෙනෙකු ලෙස එදාම ඒ පාප්තුමා පිළි නොගෙන නොසිටී යෑයි හිතා ගන්නට තරම් නුවණැති එකම කතෝලික උගතෙක්‌ වත් අද මේ ලෝකපතයේ ඇත්තේම නැද්ද?

තවද ඒ හම හා ඇඟිලි වියළී තිබූ අතින් පෑනක්‌ ගෙන ෆ්‍රැන්සිස්‌ සේවියර් යන නාමය ලියා පෙන්වා ලෝකයේ ඇති වූ බව ඇසූ එකම මහා ප්‍රාතිහාර්යයද එදා මේ අත පෑ බව දෙසැ. 17 වන “ලංකාදීප” පුවත්පතේ තිබුණි. එය එසේ වී නමුත් එතරම් දිව්‍යමය සාක්‍ෂියකින්වත් ඒ අත තිබූ සිරුර ඔය සාවියර්තුමාගේ යෑයි අද්‍රශ්‍යමාන දේව බල මහිමයක්‌ පවා ඇතැයි කියන නොවරදින සුළු නියම ශුද්ධවන්ත පාප් උතුමන්ලා දෙදෙනෙක්‌ හා එවන් දිව්‍යමය ශුද්ධ වූ සභාවත් එක ලෙසම දෙවරක්‌ අවිශ්වාසයෙන් ප්‍රතික්‌ෂේප කළ ඔය සිරුර සාවියර්තුමාගේ යෑයි අද අපි කෙසේ නම් පිළිගනිමුද?

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.