වාස්තු විද්‍යාත්මක අතින් මෙන්ම කලාත්මක අතින් ද ඉතා විශිෂ්ට නිර්මාණයක් වූ මෙම දළදා මැදුර මහනුවර නගරයේ නැඟෙනහිර පසින් පිහිටා ඇත. ඊට ප‍්‍රවේශ වන මහ වාහල්කඩ නාථ දේවාල ඉදිරිපිට බස්නාහිර දෙසට මුහුණලා ඉදිකර ඇත. ඉන් ඇතුළුවන විට වම්පසට සහ දකුණට විහිදෙන පඩිපෙල් දෙකකි. දකුණුපස පඩිපෙළින් ඇතුල්වෙන තැනම ශී‍්‍ර දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩමවන ඇතා සරසන ස්ථානය දැකිය හැකිය. තවදුරටත් පියගැට පෙළ දිගේ ඉහළට විත් වමට හැරුණු විට මකර තොරණක් සහිත ද්වාරයකි. ඉන් ඇතුල්වන විට උමගක ස්වරූපයෙන් ඇති අඹරාව හමුවේ. එය විසිතුරු සිතුවම්වලින් යුක්තය. මෙම අඹරාව දිගේ ඉදිරියට යන විට දෙමහල් ගොඩනැගිල්ලකි. එහි යට මහල හේවිසි මණ්ඩපය යනුවෙන් ව්‍යවහාර කෙරේ. දළදා තේවාවට ශබ්ද පූජා පවත්වනුයේ මෙම ස්ථානයේදීය.
හේවිසි මණ්ඩපයේ දෙපසින් උඩුමහලට යා හැකි පියගැට පෙළ දෙකකි. වම්පසට හැරී උඩුමාලට පිවිසෙන පියගැට පෙළ දිගේ යන විට කුඩා ස්ථූපයක් හමුවේ. එහි පාත‍්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇතැයි ජනප‍්‍රවාදයේ සඳහන්ව ඇත. හේවිසි මණ්ඩපයේ උඩුමහල “දික්ගේ” යනුවෙන් හඳුන්වනු ලැබේ. බැතිමතුන් වන්දනාමාන කරනුයේ මෙම ස්ථානයේදීය. දික්ගෙයත් වැඩ සිටින මාලයත් අතර පිරිත් මණ්ඩපය දැකිය හැකිය. මෙය ද දළදා වහන්සේ ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කරන ස්ථානයයි. අනෙකුත් දිනවලට දළදා පූජාව භාරගත් පින්වතුන් සිය වාරය පැමිණෙනතුරු රැඳී සිටින්නේ මෙම ස්ථානයේදීය. විශේෂ අවස්ථාවල පිරිත් දේශනා කිරීම ද මෙහිදී සිදුකරනු ලබයි.
හේවිසි මණ්ඩපයට ඇතුල් වන විටම ඉදිරිපසින් දිස්වනුයේ වැඩ සිටින මාලිගාවයි. එය මහල් දෙකකින් යුක්ත වේ. මෙහි ඉපැරණිම නිර්මාණය ද මෙය වේ. හේවිසි මණ්ඩපයෙන් වැඩ සිටින මාලයට ඇතුල්වන තැන විශාල ගල් උළුවස්සක් දක්නා ලැබේ. වැඩ සිටින මාලිගාවේ පහත විචිත‍්‍රවත් කැටයමින් යුතු ගල් කුළුණු මත කුඩා වේදිකාවක් වටේටම දක්නා ලැබේ. එහි සිවිලිමේ සහ බිත්තිවල මහනුවර යුගයට ආවේණික සිතුවම්වලින් සරසා ඇත. ප‍්‍රධාන ද්වාරයෙන් යට මාලයට ඇතුළුවන විට දළදා මාලිගාවේ ඉපැරණි භාණ්ඩ සහ වටිනා මුතු මැණික් තැන්පත් කර තිබෙනු දැකිය හැකිය. මේ කොටස හඳුන්වන්නේ “අරමුදල” කියායි.


අරමුදලේ සිට කුඩා පියගැට පෙළකින් ඉහළ මාලයට නැඟිය හැකිය. ඒ වැඩ සිටින මාලිගාවයි. එහි දළදා වහන්සේ වැඩ සිටින කොටස ගන්ධ කුටිය යනුවෙන් හඳුන්වනු ලැබේ. දළදා කරඬුවට සෘජුව ද්වාර තුනකි. තුන්වන ද්වාරය විවර වන්නේ දික්ගේ ඉදිරිපිට ඇති පිරිත් මණ්ඩපය දෙසටයි. දළදා සිරිතේ මෙම ද්වාර හඳුන්වා ඇත්තේ “රන්බාව“ යනුවෙනි. ඒ ඒ රන්බාවෙන් ඇතුල්විය හැකි පිරිස පවා කව්රුන්ද යනු දළදා සිරිතේ විස්තර වේ.
01. දළදා ගෙයි රන්බාතුනින් තුන්වැනි ගඳකිළියේ රන්බාවෙන් ඇතුළට යාන් අතුරන්නන් විනා අන් කිසි කෙනෙකුන් නොවදිනා ඉසා.
02. දෙවැනි රන්බාවෙන් ඇතුළට මහසඟන රජ දරුවන් ඔටුනු ගෙට වදිනවුන් දළදාගේ බලන්නන් ධමධරයන් මිස සෙස්සන් නොවදිනාව ඉසා.
03. තුන්වැනි රන්බාවෙන් ඇතුළට මැති මඩුලු වදිනාව ඉසා.
04. තෙසු දකිනා කෙනෙකුන් රන්බාවෙන් පිටත සිට වඳනාව ඉසා.
මෙයින් පැහැදිළි වන්නේ අතීතයේ සිටම දළදා වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට පිවිසිය හැක්කේ සීමාසහිත පිරිසකට බවයි. අදටත් දළදා වහන්සේ වැඳ පුදාගන්නා බැතිමතුන් බොහොමයක් තුන්වන දොරෙන් එළියේ සිට වන්දනාමාන කරනු දක්නට ලැබෙන සුලබ දසුනකි. විශේෂයෙන් දළදා වහන්සේ වැඩ සිටින කුටිය දිනකට තුන් වරක් පමණක් විවෘත කරනු ලැබේ. එය හුදෙක් බැතිමතුන්ට වන්දනාමාන කිරීමට නොව දළදා වහන්සේ විෂයෙහි පැවැත්වෙන තේවා කටයුතු සඳහාය.
දළදා වහන්සේ වැඩ සිටින ගන්ධකුටිය දකුණුපස බරාදය හඳුන්වනු ලබන්නේ කත්තියන බරාඳය යනුවෙනි. කත්තියනරාළගේ රාජකාරි කෙරෙන්නේ මෙහිදීය. බුද්ධ පූජාව රන් පාත‍්‍රාවලට සකස් කිරීම, ගිලන්පස පිළියෙළ කිරීම, පාත‍්‍රා තැන්පත් කර තැබීම ආදිය මෙහි සිදු වේ. ගන්ධකුටිය වම්පසින් ගෙපලුම් බරාදය පිහිටා ඇත. එහි වගකීම ගෙපරාළ විසින් දරනු ලබන අතර තේවා කරන ගිහි රාජකාරි කට්ටලයේ උපකරණ හා රෙදිපිළි ද ;මහි තබා ඇත. කවිකාර මඩුවේ උඩැක්කි ආදිය ද මෙහි තැන්පත් කර තිබේ.
ගන්ධ කුටිය යනු දළදා වහන්සේ වැඩ සිටින කොටසයි. මෙහිදී දළදා තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ කාර්ය සිදුකෙරේ. එම තේවා කටයුතු සඳහා වට්ටෝරු රාළ ද සහාය වේ. තේවා උපකරණ තැන්පත් කර ඇත්තේද ගන්ධකුටිය තුළ සහ ඊට පිටුපසින් ඇති බරාඳය තුළය. දළදා මාලිගාවේ වැදගත්ම ස්ථානය වන්නේ ද මෙයයි.
මහරන් කරඬුව සහ ඊට පසු තවත් කරඬු සයක් ඇතුළේ දළදා වහන්සේ වඩා හිඳුවා ඇත. ඒ දෙපස පෙරහර කරඬුව සහ බුරුම කරඬුවත්, ප‍්‍රදර්ශන කරඬුවත් තැන්පත් කර තිබේ. ගන්ධකුටියට පිවිසෙන ද්වාරය ඉතා විසිතුරුය. සියුම් ඇත්දළ කැටයමින් එය නිමවා තිබේ. ගන්ධ කුටිය ඉදිරිපිට කොටස හඳුන්තූනම යනුවෙන් ව්‍යවහාර කෙරේ. එය කොටස් දෙකකින් යුක්තය. විශේෂිත පිරිස වන්දනාමාන කිරීමට රැස්වන්නේ ද මෙම ස්ථානයේදීය. එහි බිත්ති සහ සිවිලිම අලංකාර සිතුවම්වලින් යුක්ත වේ. වටිනා ඇත්දළ යුගල කිහිපයක් මෙහි තැන්පත් කර ඇත.
හේවිසි මණ්ඩපයේ බටහිරින් පාතමාලය නම් වූ විහාර මන්දිරයක් ඇත. එහිදී ද උඩුමාලයේ මෙන් දවසකට තුන් වරක් තේවා කටයුතු සිදුකෙරේ. පාතමාලයේ නාහිමියන් භාරයේ එම කටයුතු සිදු කෙරෙන අතර පාතමාලේරාළ ඊට සහාය වේ. මීට අමතරව දළදා මාලිගාවේ මුළුතැන්ගෙය ද සුවිශේෂත්වයක් ගනී. දළදා වහන්සේ උදෙසා පූජා කරන බුද්ධ පූජාව හඳුන්වන්නේ ද මුළුතැන් පූජාව ලෙසයි. එය සූදානම් කරනු ලබන්නේ ද මෙකී මුළුතැන් ගෙයහිය. උදේ සහ දවල් හාල් සේරු 32 ක් හා ව්‍යංජන 32 ක් බැගින් සුවිසල් පූජාවක් දිනපතා මෙහි පිළියෙළ කරනු ලැබේ. එහි වගකීම් දරන්නා ලෙස කටයුතු කරන්නේද මුළුතැන්ගේ රාළ ය.
මේ හැරුණු කොට සංඝාවාසයට උභය මහා විහාරයේ අති පූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නිල කාමරය, දියවඩන නිලමේතුමාගේ කාර්යාලය, අලුත් මාලිගාව, කෞතුකාගාරය, දානශාලාව ආදී තවත් නවාංග රැසක් මෙහි දක්නට ලැබේ. ඒවා ශී‍්‍ර දළදා මාලිගාවට පසුව එක්වූ ගොඩනැගිලි කිහිපයකි. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට ආවේණික වූ මෙම අවශේෂ ගොඩනැගිලි වැඩ ඉන්න මාලිගය වටකොට පිහිටා ඇත. කවර නවකම් එකතු වූවද මෙම ඓතිහාසික පුදබිමට ඇතුළුවන බෞද්ධ සැදැහැවතෙකුගේ සිත් තුළ ජනිත වන්නේ එදා බුදුරදුන් බොහෝ කලක් වැඩ සිටි දෙව්රම් මහා විහාරයට ඇතුළුවන්නා වූ හැඟීමකි. මක්නිසාදයත් දළදා වහන්සේ ජීවමාන බුදුරදුන් ලෙස සළකන නිසාවෙනි.

නාරම්පනාවේ ආනන්ද හිමි
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා විහාර පරිවේණාධිපති

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.