Skip to main content

උපාලි කථා වස්තුවෙන් හෙළිවන බුදු දහමේ නම්‍යශීලිත්වය …

උපාලි ගෘහපති වැනි පුද්ගලයකු තම ශ්‍රාවකයකු බවට පත්වුණා යන කරුණ ඒ යුගයේ ඉන්දියාවේ ඇතැම් ආගමිකයන් පෙරහර පවත්වමින් නගරවල වීථි පුරා උද්ඝෝෂණය කරමින් යන්නට තරම් ප්‍රබල හේතුවක් වුණා. බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලයකු දාර්ශනිකව නිවැරැදි මාවතට ගෙනාවත් තමන්ගේ ශ්‍රාවකයකු බවට පත්කරගෙන තමන්ගේ පිරිස වැඩිකිරීමේ අපේක්‍ෂාවක් කිසි ලෙසකින් වත් තබා නොගත්තු උදාර ගුරුවරයකු ලෙසයි අප දකින්නේ.

වසර තිහකට අධික කාලපරිච්ඡේදයක් තුළ සමස්ත ලංකා සමාජයම භීතියට පත්කරමින් ආර්ථිකමය වශයෙන්ද විශාල බිඳවැටීමකට ලක්කරමින් තිබුණු ත්‍රස්තවාදී යුද්ධය අද අවසන් වී තිබෙනවා. දැන් ඔබට අවශ්‍යකරන්නේ ඔබගේ රට ඔබගේ අනාගතය නිවැරැදිව ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා අවශ්‍යකරන මගපෙන්වීම බුදුසමය තුළින් ලබාගත යුතු බවයි අප කල්පනා කරන්නේ.

විශේෂයෙන්ම ලෝකයේ විවිධ ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිවීම උදෙසා ප්‍රබල ලෙස ඉවහල් වන හේතුවක් වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන්ට ආගමික අනන්‍යතාවන්ට සංස්කෘතික අනන්‍යතාවයන්ට වාර්ගික අනන්‍යතාවයන්ට ගරු නොකිරීමයි. විශේෂයෙන්ම බුදුසමය වැනි දහමක් පිළිපදින කරන අප ඉතිහාසය පුරාමත් අන්‍ය මත ඉවසන අන්‍ය සංස්කෘතීන් ඉවසන අන්‍ය ආගමික සංකල්පයන් ඉවසන උපේක්‍ෂා සහගත ජාතියක්.


අපි විශ්වාස කරනවා උදා කරගනු ලැබූ සාමය චිරාත් කාලයක් ශක්තිමත්ව පවත්වාගෙන යන්නට නම් බුදුසමයේ ආශ්‍රයෙන් අපට දායාද වුණු සංකල්ප වඩාත් ශක්තිමත්ව අපගේ ජීවිත තුළ ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බව.

බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතකාලය තුළදීම බොහෝ අවස්ථාවන්වල, ආගමික දාර්ශනික මතවාද ඉදිරිපත් කරනු ලැබූ ගුරුවරුන් සමඟ බොහෝ අවස්ථාවන්වල ඔවුන්ගේ ආරාමවලට පවා වැඩම කරවමින් ඔවුන් සමඟ සුහද සංවාදවල නියැළී තිබෙනවා. හැබැයි ඔවුන් බෞද්ධාගමිකයන් බවට පත්කර ගැනීමේ අරමුණකින් බුදුන්වහන්සේ සංවාදයන්ට එළඹුණේ නැහැ.

ඇතැම්විට බුදුරජාණන් වහන්සේ ඇතැම් සංකල්ප පිළිබඳව දරන ස්ථාවරය ඔවුන්ට පැහැදිලි කරන ලෙස ඔවුන්ම ඇරැයුම් කළා. එවැනි අවස්ථාවන්වල බුදුන් වහන්සේ තම ආකල්ප කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දීම සිදුකරනු ලැබුවා.

අන්‍යයන්ගේ මතවාදවලට ඇහුන්කම් දීමේ අපූරු නම්‍යශීලී ස්වභාවයකුත් ඒවගේම ඒ පිළිබඳව බෞද්ධ ආකල්පය කුමක්ද යන්න පිළිබඳව ඉතාම මධ්‍යස්ථව පැහැදිලි කිරීමේ ශක්තියකුත් තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සතුව තිබුණු බව බුදුන් වහන්සේගේ චරිතය, ජීවිත කාලය තුළ සිදුවුණු සිදුවීම් ගැඹුරින් විමසා බලන විට අපට දැකගන්නට පුළුවන්කම තිබෙනවා.

විශේෂයෙන් බෞද්ධයන් වන අප කිසිලෙසකින්වත් වෙනත් ආගමිකයකු අපට දිනාගැනීමේ අපවෙත නම්මවා ගැනීමේ ක්‍රියාකාරකමකට නොයා යුතුයි.

එයට ඉතාම හොඳ මගපෙන්වීමක් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලබාදී තිබෙනවා. නිගණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයකු බවට පත්වෙලා හිටපු උපාලි ගෘහපතියා කර්මය පිළිබඳව වාදකිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අබිමුවට පැමිණුනා. එහිදී බුදු හිමියන් ඉතාම නිවැරැදිව හේතු යුක්ති ඇතිව නිගණ්ඨනාථපුත්තයන්ගේ සංකල්පය පිළිබඳව උපාලි ගෘහපතියා ඉදිරිපත් කළ කරුණු වල සාවද්‍ය තාව පෙන්වමින් කරමින් බෞද්ධ කර්මසංකල්පය ඔහුට හේතුයුක්ති ඇතිව පැහැදිලි කරන්නට යෙදුණා. එහිදී උපාලි ගෘහපතියා බුදුන් වහන්සේගේ එම දේශනාව පිළිබඳව පැහැදීමට පත්වුණා.

මා තුනුරුවන් සරණ ගිය බෞද්ධ ශ්‍රාවකයකු බවට බුද්ධශාසනයට ඇතුළත් කරගන්නා ලෙස උපාලි ගෘහපතියා තෙවරක්ම බුදුන් වහන්සේට ආයාචනා කරනවා. නමුත් එම අවස්ථා තුනම ප්‍රතික්ෂේප කරන බුදුන් වහන්සේ අවසානයේදී ඔහුට එම අවස්ථාව සලසා දෙනවා. ඒ ඔහු පෙර සිදුකළ ආකාරයටම ජෛන මහා වීරතුමන් ඇතුළු ඒ නිගණ්ඨ ශ්‍රාවකයන්ට ඇප උපකාර කරන බවට පොරොන්දු කරවාගෙනයි. පින්වත් යාලුවනේ සමහරු කෑගහනව තමයි දෙවියන්ට පහන් තබන්න එපා. ඕක මිත්‍යාදෘෂ්ඨිකයි, නිවනට භාදකයි කියල. ඒත් බුදුහාමුදුරුවො පැහැදිලිවම දේශනා කරනව කාලයක් තිස්සේ සිදුකරන ආගමික වත්පිළිවෙත් කඩ නොකොට පවත්වාගෙන යන්න කියල. ඒව මිසදිටු උනත් නූනත් ඒව දිගටම පවත්වාගෙන යන ලෙසයි බුදුහිමියන් අනුදැන වදාලේ. ඒ නිසා ඔබ යම් දෙවියෙක් වෙනුවෙන් පහණක් තබනවනම් එය කඩ නොකොට දිගටම කලා කියල කිසිම ගැටලුවක් නෑ.

උපාලි ගෘහපති වැනි පුද්ගලයකු තම ශ්‍රාවකයකු බවට පත්වුණා යන කරුණ ඒ යුගයේ ඉන්දියාවේ ඇතැම් ආගමිකයන් පෙරහර පවත්වමින් නගරවල වීථි පුරා උද්ඝෝෂණය කරමින් යන්නට තරම් ප්‍රබල හේතුවක් වුණා.

බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලයකු දාර්ශනිකව නිවැරැදි මාවතට ගෙනාවත් තමන්ගේ ශ්‍රාවකයකු බවට පත්කරගෙන තමන්ගේ පිරිස වැඩිකිරීමේ අපේක්‍ෂාවක් කිසි ලෙසකින් වත් තබා නොගත්තු උදාර ගුරුවරයකු ලෙසයි අප දකින්නේ. මෙය බෞද්ධ අපට ඉතාම වටිනා ආදර්ශයකි.

අප ස්ථිරසාර සාමයක් අපේක්‍ෂා කරනවා නම් අනිවාර්යෙන්ම එකිනෙකාට ගරුකිරීම අන්‍ය මතවාදයන් නිහතමානිව ඇහුන්කන් දීම සිදුකළ යුතුයි. නමුත් එයින් අප සිහිපත් කරන්නේ කිසිලෙසකින් වත් වෙනත් ආගමකට නැඹුරුවිය යුතු බව නෙමෙයි. බුදුසමය වැනි ශ්‍රේෂ්ඨ දර්ශනයක් මුළු ලෝකයේ අනෙකුත් ආගම් සමග දර්ශන සමඟ සසඳා බලන විට අපට දැකගන්නට ලැබෙන්නේ නැහැ.

එක් අවස්ථාවක හිට්ලර් නමැති සාහසික නාසිවාදි නායකයා තම අනුගාමිකයන්ට සිහිකළා ලෝකයේ සියලු ආගමික නායකයන්ගේ ඡායාරූප, චිත්‍ර තමන් ඉදිරියට ගෙනෙන්න කියලා. ඒ මොහොතේ ලෝකයේ සියලු ආගම් වල කර්තෘවරුන්ගේ හා දෙවි දේවතාවුන්ගේ පින්තූර සමඟ බුදුරජාණන්වහන්සේගේ චිත්‍රයක්ද ඔහුගේ අනුගාමිකයන් හිට්ලර් ඉදිරියට රැගෙන ගියා.

මේ සියලු චිත්‍ර දිහා සියලුම රූප දිහා බොහොම පරික්‍ෂාවෙන් බැලූ හිට්ලර්, මම ගරුකරන්නේ මේ ගෞතම බුදුන්ටයි කියලා ප්‍රකාශ කළා. නාසිවාදි අනුගාමිකයන් පුදුමයට පත්වුණා. ඔවුන් එයට හේතුව කුමක්දැයි විමසුවා. ඒ වෙලාවේ ඔහු සිහිකරනවා ‘මේ ගුරුවරයාගේ අතෙහි දණ්ඩක් නෑ. මේ ගුරුවරයාගේ අතෙහි ආයුධයක් නැහැ. මේ තමයි නිර්භීතම නිවැරැදිව තමා පිළිබදව ගැඹුරුම ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයා කියා’ එවැනි ගැඹුරු දියුණු ආධ්‍යාත්මයක් සහිත කෙනෙක් ඇරෙන්නට වෙන කවරකු වුවත් කිනම් හෝ දෙයක් තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් හෝ ලෝකය පාලනය කිරීම වෙනුවෙන් භාවිතයට ගන්න බව ඔහු ඒ මොහොතේ ප්‍රකාශ කළා.

සැබවින්ම අතිශය අන්තවාදී පුද්ගලයකු වුවත් හිට්ලර් බුදුන් වහන්සේ තේරුම් ගත්තේ එවැනි අයුරකින්. එවැනි ශාස්තෘවරයකුගේ ශ්‍රාවකයන් වුණ අප උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කළ හොත් උන්වහන්සේගේ දැක්ම වටහා ගතහොත් අපට රටතුළ සමාජය තුළ පමණක් නෙමෙයි මුළු ලෝකය තුළම ඉතාමත් කීර්තිමත් ජාතියක් බවට කීර්තිමත් සමාජයක් බවට පත්වන්නට අවකාශය තිබෙනවා.

බෞද්ධයා ඉතිහාසයේ කිසිකලෙකවත් තමන්ගේ ආගම පැතිරවීම සඳහා තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා කිසිවෙකුගේවත් ලේ බිඳුවක්වත් සොලවපු නැති බව තරයේ අප සිහි තබා ගතයුතුයි. ඇතැම් විටෙක බෞද්ධයා තමන්ගේ දහම රැක ගැනීම වෙනුවෙන් ජීවිතය පවා පූජාකර තිබෙන බව සත්‍යයකි.

තමන්ගේ ආගම ධර්මය ආරක්‍ෂාකර ගැනීම වෙනුවෙන් රැක ගැනීම වෙනුවෙන් සටන් කර තිබෙනා බව සත්‍යයකි. එහෙත් බුද්ධාගම තවකෙනෙකුට පිළිගැන්වීම උදෙසා කවර ආකාරයකට ප්‍රතිලාභ ලබාදීමක් හෝ කවර ආකාරයක තර්ජන කිරීමක් හෝ බුද්ධාගමේ ව්‍යාප්තිය සිදුවූ කාල පරිච්ඡේදය තුළ හෝ වර්තමානයේ කිසිදු ස්ථානයක සිදුනොවෙන සිදුනොවිය යුතු දෙයක් බවයි අප මෙහිදී අවධාරණය කර සිටින්නේ.

අපගේ පදනම බවට පත්වන්නේ “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” සියලු සත්ත්වයෝ සැපවත් ජීවිත ඇත්තෝ වෙත්වා කියන කරුණයි. මෙහිදී අන්‍ය ආගමිකයා, අන්‍ය ජාතිකයා,අන්‍ය වාර්ගිකයා කෙරෙහි අප මේ ආකල්පයෙන් බලනා තරමටම අප මේ ආකල්පයෙහි කටයුතු කරනා තරමටම අපිට ඔවුන් සමඟ සහයෝගිතාවෙන් කටයුතු කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම උදාවෙනවා.

ඒ පිළිබඳව ඔබ ඔබගේ අවධානය යොමුකළ යුතු බවයි මා මෙහිදී සිහිපත් කර සිටින්නේ. ඒ වගේම සෑම මොහොතකම බෞද්ධයන් වශයෙන් අප කල්පනා කළ යුත්තේ අපට තුරුවන් හැර වෙනත් සරණක් වෙනත් ආරක්‍ෂාවක් නැත යන්නයි.

“නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං
ධම්මෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං
සංඝෝ මේ සරණං වරං”

මේ සිතිවිල්ල මේ ආකල්පය වර්ධනය වන ප්‍රමාණයටම අප අපගේ ආගමික සංකල්ප අනුව අපේ ජීවිතයේ විවිධ ගැටලුවලදී විවිධ ප්‍රශ්නවලදී පිළිතුරු සොයන්නට පෙළඹෙන එක අනිවාර්යයි. අනෙක් ආගමිකයන් සමග ගැටුම් ඇතිවෙන්නේ බෞද්ධයා වෙනත් ආගමික විශ්වාසයන් කෙරෙහි අනවබෝධයකින්‍ ලාබ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් නැඹුරුවීමට යාම නිසා බව මා ඔබට සිහිපත් කර සිටිනවා. ඔබගේ හැසිරීමක් නිසා කිසිදු ආගමික කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිවීමට ඔබ ඉඩ නොතැබිය යුතුයි. ඔබ පුද්ගලික ප්‍රයෝජනයක් වෙනුවෙන් ගනු ලබන තීරණයකින් සමස්ත සමාජයක සාමයට යහපැවැත්මට හානියක් සිදුවනවා නම් කිසි ලෙසකින් වත් එවැනි ක්‍රියාදාමයකට ඔබ නොපෙළඹිය යුතුයි. යම්කිසි බෞද්ධයකුට වුවත් යම් දහමක් අධ්‍යයන කරල ගැඹුරින් අවබෝධ කරගෙන තේරුම් අරගෙන එම දහමෙන් තමන්ට සෙතක් යහපතක් තිබෙනවා නම් ඒ ආගම වැළඳගැනීමට කිසිදු බාදාවක් නැහැ.

එනමුත් එවැනි ආගමක් වැළඳගත් පසු බොහෝ දෙනා සිදුකරනු ලබන්නේ තම මුල් ආගමට අතිශයින්ම නින්දා අපහාස කරමින් ඉතාමත් වැරැදි ක්‍රියාකාරකම්වලට ආගමික ශාස්තෘන්ට නින්දා අපහාස කරමින් ප්‍රතිමා ආදියට අගෞරව කරමින් හැසිරීමයි. මා ඔබට යෝජනා කරනවා කවර ආගමික වුවත් ආගමික කතුවරුන්ගේ ප්‍රතිමාවලට ආගමික ග්‍රන්ථවලට කිසි ලෙසකින්වත් නින්දාවක් අපහාසයක් නොවන අකාරයට අප කටයුතු කළ යුතුයි. මංමාවත්වල කැළිකසල දමන ස්ථානවල එවැනි ආගමික පොතපත ආගමික පිළිරූ කවර ආගමික නායකුගේ වුවත් වීසිකර දැමීම අනිවාර්යෙන්ම බරපතල පාපයක් බරපතල වැරැද්දක්.

කවර ආගමක වුවද ආගමික නායකයකු යනු ගුරුවරයෙක් යනු ලෝකයට මග පෙන්වපු කෙනෙක්. අපගේ ගුරුවරයාගේ දර්ශනය ඉගැන්වීම අපට ඉතාම වටිනවා සේම අනෙක් ආගමිකයන්ගේ එම දර්ශනයන් ඉගැන්වීම් ඔවුන්ටත් ඉතාම වටිනවා. එනිසාම එම ගුරුවරුන් ඔවුන්ටත් අපගේ ගුරුවරයා අපටත් ඉතාම වටිනවා. එනිසාවෙන් අප අපගේ ගුරුවරයාට සිදුකරනවාට අකැමැති දෙයක් අපගේ ගුරුවරයාගේ ධර්ම ග්‍රන්ථයකට හෝ ප්‍රතිමාවකට සිදුකරනවාට අකැමැති දෙයක් ඔබ කිසිලෙසකින්වත් අනෙකාගේ ධර්ම ග්‍රන්ථයකට සිදුකරන්නට එපා. යම්කිසි පුද්ගලයකු ඔබව පොලඹවා ගන්නට එනවා නම් ඔබ ඔවුන්ට කරුණු කාරණා පැහැදිලි කරල දීල තමන් බෞද්ධ ධර්මය තුළ පිහිටපු තුණුරුවන් සරණ ගිය උපාසක හෝ උපාසිකාවක බැවින් එම ආගමික පොත්පත් හෝ මෙම ආගමික ප්‍රතිමා හෝ තබා ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ඔවුන්ට ඒත්තු ගැන්වීම මිසක ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම තුළ කිසිසේත්ම අපිට දිගුකාලීනව එකිනෙකා අතර සුහදත්වයක් වර්ධනය කරගන්නට ලැබෙන අවකාශය අතිශයින්ම අඩුවන බව මම ඔබට මෙහිදී සිහිපත් කරන්නට කැමැත්තෙමි.

බුදුසරණ ඇසුරිනි

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.