ඇත් පා සටහන් උපමාකොටගනිමින් දේශනාකල චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

ඇත් පා සටහන් උපමාකොටගනිමින් දේශනාකල
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දෙව්රම් මහවෙහෙර වැඩ විසූ කාලයේ සැවැත්නුවර ජානුස්සෝනි නමින් බමුණෙක් වාසය කළා. හේ බොහෝ ධනවත් එසේම උසස් සැප සම්පත් විඳපු කෙනෙකි. මහා සාර කුලයක (බොහොම ධනවත්) උපත ලැබූවෙකි. හෙතෙමේ තමන්ගේ සැප සම්පත් නුවර වැසියන්ට පෙන්වීම පිණිස හය මසකට වරක් නගර ප්‍රදක්‍ෂිණා කිරීම සිරිතක් කොට ගත් කෙනෙකි

එදා පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයකි. එදින මෙරටට වැඩමවා වදාළ සාමයේ දූතයන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිසයි. මිහිදු මහරහතන් වහන්සේ මේ රටේ මිහින්තලේ දී පළමුවෙන්ම දෙසා වදාළේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍රදේශනාවෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වී කෙනෙක් රහත් බව දක්වා යා යුතු ආකාරය විස්තර වෙනවා.

එහෙයින් පළමුවෙන්ම බෞද්ධයන් වූ ශ්‍රී ලාංකික උපාසකයෙක් වූ දෙවනපෑතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පිරිසට මේ සූත්‍රය දේශනා කොට වදාළේ.

එහි ඇතුළත් දහම් කරුණු ටිකක් සැකෙවින් සාකච්ඡා කිරීමට අදහස් කරමි.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දෙව්රම් මහවෙහෙර වැඩ විසූ කාලයේ සැවැත්නුවර ජානුස්සෝනි නමින් බමුණෙක් වාසය කළා. හේ බොහෝ ධනවත් එසේම උසස් සැප සම්පත් විඳපු කෙනෙකි. මහා සාර කුලයක (බොහොම ධනවත්) උපත ලැබූවෙකි. හෙතෙමේ තමන්ගේ සැප සම්පත් නුවර වැසියන්ට පෙන්වීම පිණිස හය මසකට වරක් නගර ප්‍රදක්‍ෂිණා කිරීම සිරිතක් කොට ගත් කෙනෙකි.

චාරිත්‍රානුකූ®ලව දවල් කාලයේ පවත්වන මෙම ප්‍රදක්‍ෂිණා පෙරහර සඳහා යොදා ගන්නේ සුදෝසුදු දේවල්ය. සුදුපාට කසී සළුවලින් සැරසෙන ජානුස්සෝනි බමුණා ගමන් කරන්නේ රිදියෙන්ම නිමකළ අශ්ව කරත්තයක ය. ඒ කරත්තේ බොස්ගෙඩිය ගරාද කෙවිටි ආදිය මෙන්ම ලනු පවා රිදී කොපු වලින් ආවරණය වෙයි. ඒ කරත්තය අදින වෙළඹුන්ද ඉතා සුදු පාටයි. සුදු ඇඳගත් බ්‍රාහ්මණ පුත්‍රයෝ විශාල පිරිසක් ජානුස්සෝනි පිරිවරාගෙන පෙරහරේ ගමන් කරති. මේ පෙරහර පවත්වන දිනවල මුලු නගරයම සුදු පාටින් බබලයි. පෙරහර පැවැත්වීමට දෙදිනකට පෙර අසුවල් දවසේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාගේ ප්‍රදක්‍ෂිණා පෙරහර පැවැත්වෙන බව රජුගේද අවසරය ඇතිව ප්‍රචාරය කෙරේ. මේ පෙරහර බැලීමට ඈත එපිට ගම් නියම් ගම්වලින් පවා බොහෝ පිරිස් නගරය කරා ඇදී එති.

මෙලෙසින් එක් දවසක් මද්දහනේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා මහ පෙරහරින් නගරය ප්‍රදක්‍ෂිණා කරද්දී බුද්ධෝපස්ථානයට ගොස් එන උපාසකයෙක් හමුවිය. පිලෝතික නම් ආජීවකයෙකු වූ ඔහු ජානුස්සෝනිත් හොඳින් දන්නා හඳුනන කෙනෙකි. එතුමාගේ ගෝත්‍රනාමය වාත්ස්‍යායන නම් වේ. ඒ වෙලාවේ ජානුස්සෝනි මෙසේ විමසයි. පින්වත් වාතස්‍යායනය,මේ ගිනි මද්දහනේ ඔබ කොහෙ සිටද එන්නේ, එවිට පිලෝතික දුන් පිළිතුර නම් “ මා එන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමීපයේ ඉඳලා, යි.මේ පිලෝතික බමුණා සිරිතක් වශයෙන් දිනපතාම බුදුරජාණන් වහන්සේටත් සංඝයාටත් උපස්ථාන කිරීමට ජේතවනාරාමයට යන කෙනෙකි. ඒ සඳහා ගොසින් එන වෙලාව තමයි මේ . එහිදී ඇති වූ කථාබහ මෙසේ දැක්වේ.

ජානුස්සෝනි :- ඔය ගෞතම ශ්‍රමණයා නුවණැති වියතෙක්ද? විශාරදයෙක්ද? කථිකයෙක්ද?

පිලෝතික :- ඔබ මොනාව කථා කරනවද? මේ ගෞතම බුදු රදුන්ගේ ප්‍රඥාව ,ව්‍යාක්තභාවය, පාණ්ඩිත්‍යය ගැන කියන්නට මා කවරෙක්ද? එයට මා වැන්නකු සුදුසු නොවේ. ඒ සඳහා යෝග්‍ය වන්නේ තවත් එබඳුම බුදුකෙනෙකු පමණයි.

ජානුස්සෝනි ඔබ ඉතා උසස් ලෙස ගෞතමයන්ට ප්‍රශංසා කරයි.

පිලෝතික :- පින්වත ඔබ කුමක් කියනවද? මා කවරෙක්ද? ගෞතම බුදුරදුන්ට ප්‍රශංසා කරන්නට උන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨයි.

ජානුස්සෝනි :- ඔබ කුමක් නිසා ගෞතමයන් කෙරෙහි මෙතරම් පැහැදුනෙහිද?

පිලෝතික :- පින්වත ඇතුන් වාසය කරන කැළයට ඇතුල්වන මිනිසාට ඇත් අඩි ඇතුන්ගේ පා සලකුණු බලා මේ වනයේ විශාල ඇතෙකු වාසය කරන බව එම ඇත් අඩියෙන්ම හඳුනා ගනී. එමෙන්ම මා තථාගතයන් වහන්සේ හඳුනා ගත්තේ ඤාණ පද හතරකිනි. එසේම උන්වහන්සේගේ ධර්මයද සංඝයා ද හඳුනා ගත්තෙමි. ඒ ඤාණ පද සතර මෙසේය.

1. සියුම් නැණවත් වාදයෙහි දක්‍ෂ පරවාද බිඳ හෙළන ක්‍ෂත්‍රිය පඩිවරු ප්‍රශ්න ගොතාගෙන පිළිතුරු සිතා ඔහු පරදවමිය සිතා බුදුරදුන් වෙත ගොස් සතුටු සාමීචි කතා කරති. උන්වහන්සේගේ දැහැමි කථාව ඇසූ ඔව්හු වාද කිරීම පසෙක තබා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙති.

එලෙසින්ම මෙලොව 2. බ්‍රාහ්මණ පඩිවරු, ගෘහපති පඩිවරු ශ්‍රමණ පඩිවරු, මහාවාදීභ සිංහයෝ වාදකොට ජයගන්නට පිළිවන් නානා මාදිලියේ තර්ක විතර්ක ඉදිරිපත් කොට ප්‍රශ්න පිට ප්‍රශ්න අහලා ඕනෑ කෙනෙක් මෙල්ල කළ හැකි වාදයෙන් පරදවන්නට පිළිවන්. කථාවෙහි දක්‍ෂ ,ව්‍යක්ත, විශාරද, සෝණදණ්ඩ, කූට දන්ත, අම්බට්ඨ, පොක්ඛරසාති, වැනි බ්‍රාහ්මණ පඩිවරු වෙසෙති. 3. වාදීභසිංහ උපාලි වගේ ගෘහපති පඬිවරු වෙසෙති. එසේම 4. මහා දාර්ශනික ශ්‍රමණ පඩිවරුද වෙති. මොවුහු උභතෝකෝටික ප්‍රශ්න ගොතාගෙන බුදුරදුන් හමුවට පැමිණෙන්නේ වාදකොට බුදුරදුන් පරදවන අදහසිනි. එසේ පැමිණි විට තථාගතයන් වහන්සේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වන සේක. ඔවුන් සතුටු කරවන සේක. එවිට ඔව්හු උන්වහන්සේගෙන් කිසිදු ප්‍රශ්නයක් නො අසා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙති. ඒ නිසා පින්වත ඔබ යම් දිනෙක ශ්‍රමණ භවත් ගෞතමයන් තුළවූ මේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ යන සිවු කුලයෙහි වාදීභ සිංහයන් දමනය කිරීමේ ඤාණපද දැක භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුපටිපන්නයයි නිගමනය කෙළෙමියි පිලෝතික කීවේය. මේ කථාව අසාගෙන උන් ජානුස්සෝනි බමුණා ජේතවනාරාමය පැත්තට වැඳගෙන තුන්වරක් ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ‘යි කියා බුදුන් සරණ ගොස් හොඳමයි. වාත්ස්‍යායන ඔබ යන්න . මම ලගදීම දිනෙක ඒ ශ්‍රවණ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට යන්නෙමැයි පොරොන්දු විය.

නොදුරු දිනයකම ජානුස්සෝනි බුදුරදුන් දැකීමට ගොස් පිලෝතික පිරිවැජියා මුන ගැසුනු තැන පටන් අවසානය දක්වා කථා පුවත බුදුරජාණන් වහන්සේට සැළ කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බමුණාට මෙසේ පැවසූ සේක.

න ඛො බ්‍රාහ්මණ එක්තාවතා හත්ථි පදොපමො විත්ථාරෙණ
පරිපූරො භොති අපිච බ්‍රාහ්මණ, යථා හත්ථි පදො පමො
විත්‍ථාරෙණ පරිපූරො හොති තං සුණාහි සාධුකං
මන ස කරොහි භාසිසසාමී ති

බමුණ ඒ වාත්ස්‍යායන යම් විධියකින් ඒ ඇත් පිය උපමාව ඔබට කීවා නම් එය සම්පූර්ණ නැත. මම එය සම්පූර්ණ කර කියමි. එය හොඳීන් අසා සිතෙහි තබාගෙන ඒ අනුව හැසිරෙන්නැ, යි වදාරා ඇත් පිය උපමාව අංග සම්පූර්ණ වශයෙන් දෙසුසේක.

බමුණ, යම්කිසි ඇත් පාලකයෙක් ඇතුන් වසනා වනයට ගියවිට මනහර පිය සටහන් දකියි. එහෙත් හෙතෙමේ දක්‍ෂයෙක් නම් එපමණ කින් මේ මහා ඇතෙකැයි නිගමනයට නොයයි. එයට හේතුව වාමනිකා නම් විශාල පා ඇති මිටි ඇතිනියන් වර්ගයක් එහි සිටින නිසාය. නැවත විමසන විට ඔහුට උච්චාකාලාරිකා (එකක් උස්ව එකක් පහත්ව පිහිටි දළ ඇති) මහ ඇතිනි විශේෂයක ගේ පියවර සටහනක් දක්නට ලැබෙයි. එහිදී මේ මහ ඇතෙකැයි නිශ්චයකට නොගොස් තවදුරටත් විමසන ඔහුට මහ ඇත් පියවර සටහනක් උඩ අතුවල ගැටුනු තැන් හා දළ පහරද නුදුරේ සිටින මහා ඇතෙක්ද දක්නට ලැබෙයි. එය උචචා කණේරුකා නම් කැකුළු දළ ඇති උස්සිරුරින් යුතු ඇතිනි විශේෂයක් බව පිළිගෙන නිශ්චයකට බසියි.

බමුණ, එපරිද්දෙන් බුදුරදුන් ලොව පහළ වී දහම් දෙසන්නට පටන් ගත් කල්හි එය අසා බොහෝ දෙනා ගිහි සැපත හැරදමා සසුන්හි පැවිදි වෙති. එසේ පැවිදි වූ ඔව්හු මැනවින් සිල් පුරන්නාහු සිටු පසයෙන් නො ඇලී වෙසෙන්නා වූ ආර්ය සීලස්කන්ධයෙන් යුක්තව වෙසෙති. ඔව්හු යළිත් ඇසින් රූපයක් දැක, කනින් ශබ්දයක් අසා නහයෙන් සුවඳක් ආඝ්‍රාණය කොට දිවෙන් රසයක් විඳ කයින් ස්පර්ශයක් ලැබ ඒ නිමිති කොටගෙන ලෝභ දෝශාදී අකුසලයන් ඉපදීමට ඉඩ නොදී ඒ ඇස් කන් නාසාදී ඉඳුරන් සංවර කරගනිති. මෙසේ ආර්ය ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුත් ඔව්හු නිවැරදි වු ආධ්‍යාත්මයෙහි ක්ලේශයන්ගෙන් මිදුනු සුවය විඳිති. යාම්,ඊම්, ඉදීමි සිටීම් නිදීම් කෑම බීම්ආදි ඉරියව් පවත්වන්නාහු මනාකොට සිහිනුවණින් යුතුවම කරති.

මෙලෙසින් ආර්ය සීලස්කන්ධය ඉන්ද්‍රිය සංවරය ආර්ය සතිසම්ජඤ්ඤය (සිහිනුවණින් යුතුව ඉරියව් පැවැත්ම) යන උසස් ගුණයන්ගෙන් යුතු ඔව්හු විවේක සෙනසුනක් සොයා ගොස් එහි නැවතී බද්ධපර්යංකයෙන් කය ඍජුව තබා හිඳ සිහියෙන් යුතුව කාමච්ඡන්දය ව්‍යාපාදය, ථීන මිද්ධ, උද්ධච්ච , කුක්කුච්ච ,විචිකිච්ඡා , යන පංච නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගෙන ප්‍රථම ද්විතීය, තෘතීය චතුර්ථ යන රූපාවචර ලෞකික ධ්‍යානයන් උපදවා ගනිති. මෙයිනුත් නිගමනයකට නො පැමිණී ආර්ය ශ්‍රාවකයා ධා්‍යනයන්ගෙන් පිරිසිදුවී එය තව තවත් දියුණු කොට ලෝ වැසියන්ගේ හා තමන්ගේ පෙරජාතීන් සිහි කරණා පෙර විසූ කඳ පිළවෙළ දන්නා පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගනිති. එයින් නිගමනයකට නොපැමිණ චුති උත්පත්ති සොයමින් චුතුපපාත ඤාණය උපදවා ගනී. නැවත දුක්ඛ සත්‍යයෙන් දුක පිරිසිඳු දැන සමුදය සත්‍යයෙන් තෘෂ්ණාව නැති කොට මාර්ග සත්‍යයෙන් නිරෝධ මාර්ගය දැනගෙන, මෙසේ පිළිවෙළින් සිවුසස් දහම් සෝවාන් ආදී සිව් මගින් දොළොස් ආකාරයෙන් දන්නා අර්හත් මාර්ගඤාණය වූ ආසවක්ඛය ඤාණය උපදවා ගනී.

සියලු කෙලෙසුන්ගෙන් හා සියලු දුක්වලින් මිදුනු රහතුන් වහන්සේ බුදුහු සම්‍යක් සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය ශ්‍රාවක සංඝයා සුපුටිපන්නය. නිගමනයට බැස ගැනීම මේ අර්හත් ඵල ඤාණය ලද කල්හිම වේ. මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාවසානයේ බුදුරජාණන් වහන්සේට නන් අයුරින් පැසසූ ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ බුදුසසුන්හි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වූයේය. මේ උතුම් පොසොන් පොහෝ දින චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පිළිබඳ සාරාශංයක් වූ මේ දහම් කරුණු පොත පත කියවා දැන ඉගෙන ඒවා තම ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් පරම ශාන්ත අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කර ගැනීමට උත්සාහ වඩත්වා!

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක ශ්‍රී සද්ධර්මභාරතීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමි
(බුදුසරණ පුවත්පතින් උපුටා ගැනිනි)

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.