ආර්ථිකය ජයගන්න බුදු දහමෙන් උපදෙස් …


(දැහැමින් ධනය ඉපයිය හැකි ද? මේ ඒ පැනයට බුදු දහම ඇසුරෙන් ලබා දෙන පිළිතුරකි.)

ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය ද නොයෙකුත් සූත්‍ර දේශනාවන්හිදී පෙන්වා දී ඇත.

අපගේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට නම් ධනය, එනම් වතුපිටි, ඉඩකඩම්, මිලමුදල් ආදිය අවශ්‍ය වෙයි. මෙම ධනය අප විසින් ඉපයිය යුත්තේ කෙසේ ද? යන්න බුදු දහමින් පෙන්වා දෙයි. දිනක් දීඝජානු කෝලිය කුල පුත්‍රයා බුදුන් වහන්සේ ළඟට පැමිණ, මෙලොව සහ පරලොව දියුණුව පිණිස හේතු වන කරුණු කවරේ දැ යි විචාළේ ය. එම අවස්ථාවේදී බුදුන් වහන්සේ පුද්ගලයකුගේ මෙලොව ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු 4ක් පෙන්වා දුන් සේක. එනම්-
1. උට්ඨාන සම්පදා
2. ආරක්ඛ සම්පදා
3. කල්‍යාණ මිත්තතා
4. සමජීවිකතා යනු යි.
උට්ඨාන සම්පදා යන්නෙන් අදහස් වන්නේ උත්සාහ සම්පත්තිය යි. මෙහිදී අප විසින් අපගේ ජීවිකාව ගෙන යෑම සඳහා තෝරාගත යුතු වෘත්තීන් මොනවා ද, ඒ කෙරෙහි කවර ආකාරයකින් ක්‍රියා කළ යුතු ද යන්න පැහැදිලි කරයි. මෙහිදී අප විසින් තෝරාගත යුතු ධාර්මික රැකියා වශයෙන් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළෙඳාම, ගෘහ කර්මාන්ත හා රාජ්‍ය සේවය යි. මේ කුමන වෘත්තියක නියැලුණත් අලස නොවී උපායශීලි ව ක්‍රියා කළ යුතු බව දක්වා ඇත.
වෙළෙදාම ධාර්මික රැකියාවක් ලෙස දක්වා ඇතැම් වෙළෙඳ කටයුතුවල නොයෙදිය යුතු බව ද පෙන්වා දී ඇත. එනම්,

1. සත්ත්ව වෙළෙඳාම
2. මස්මාංස වෙළෙඳාම
3. ආයුධ වෙළෙඳාම
4. මත්පැන් වෙළෙඳාම
5. වස විෂ වෙළෙඳාම
ආදි වෙළෙඳ ව්‍යාපාරවල නොයෙදිය යුතු ය. මෙම වෙළෙඳාම් ක්‍රම සමාජයට අහිතකර ඒවා ය. තව ද තුලාකූට (හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරා දීම), මානකූට (හොර මිනුම් ක්‍රම භාවිත කිරීම), කංසකූට (ගුණත්වයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම) වෙළෙඳ කටයුතුවලදී නොකළ යුතු බවට උපදෙස් දී ඇත. කුමන රැකියාවක නියැලුණත් අල්ලස් ගැනීම (උක්කෝටික) රැවටීම (වංචනික) හිංසා කිරීම (විපරාමෝස) ආදි ක්‍රමවලින් ද වැළකිය යුතු ය.

වත්මන් සමාජය බුදු දහමෙහි දැක්වෙන මෙම පිළිවෙත්වලින් ඈත් වී ඇත. මුදල් ඉපයීමට කුමන හෝ වංචාකාරී ක්‍රියාවක යෙදෙන බොහෝ දෙනා අද සමාජයේ දැකිය හැකි ය. බැංකු කොල්ලකෑම්, කඩසාප්පු කොල්ලකෑම් අද බහුල ව සිදු වෙයි. මෙවැන්නන්ට සිදු වන්නේ වැඩි කල් නොගොස් හිරේවිලංගුවේ වැටීම යි.
පුද්ගලයකු වශයෙන් ධනය ඉපයිය යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේදී උපමා දෙකක් මගින් විස්තර කැරේ.
‘භමරස්සේව ඉරීයතෝ’ බඹරා මලින් මලට ගොස් මල නොතළා මල් පැණි රැස්කොට විශාල වූ වදයක් බඳින්නා සේ ද “වම්මිකෝ වූපචීයතී” වේයා පස් ස්වල්පය බැගින් ගෙනැවිත් විශාල තුඹසක් බඳින්නා සේ ද ධනය රැස් කළ යුතු ය. මෙසේ ධනය උපයන්නා ක්ෂණික ව ම කෝටිපතියකු බවට පත් වන්නේ නැත. ඔහුගේ දියුණුව සෙමෙන් සෙමෙන් සිදු වෙයි. එහෙත් එය කඩාකප්පල් කරදැමීම කිසිවකුටත් කළ නොහැකි ය. කෙසේ නමුත් අද සමාජයේ බොහෝ දෙන ක්ෂණික ව ම කෝටිපතියන් බවට පත් වෙති. මත් කුඩු ජාවාරම ද අද ජයට ම සිදු වෙයි. එහෙත් මෙවැන්නන්ට ද සිදු වන්නේ වැඩි කල් නොගොස් හිරේ විලංගුවේ වැටීම යි. අල්ලස් ගැනීම ද අද ජයට ම සිදු කැරෙයි. මේ සියල්ලෙන් ම අනිටු විපාක විඳීමට සිදු වෙයි. එබැවින් අප විසින් කළ යුතු වන්නේ බුදු හිමියන් දෙසූ ලෙස ධාර්මික වෘත්තීන් ම තෝරාගැනීම යි; එම කටයුතුවල ධර්මානුකූල ව නියැලීම යි.
අපේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගැනීමට නම් අප විසින් දැහැමින් උපයනු ලබන ධනය විනාශයට යා නොදී ආරක්ෂා කරගත යුතු වේ. එය ස්වාභාවික විපත්වලින් විනාශ විය හැකි ය. එනම් ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් හා රාජ සන්තක වීමෙනි. අප උපයන ධනය අප විසින් ම විනාශ කරගන්නා අවස්ථා ද ඇත. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී භෝග විනාශ මුඛ 6ක් දක්වා ඇත. එනම්,

1. රහමෙර පානය
2. අවේලාවේ වීථි සංචාරය
3. නිතර නිතර නෘත්‍ය ගීත දර්ශන බැලීමට යෑම
4. දූ කෙළිය
5. පාප මිත්‍ර සේවනය
6. අලසකම ආදි වශයෙනි.
වර්තමානයේ ලෝකය පුරා පැතිර පවත්නා හෙරොයින්, මරිජුවානා ආදි මත්ද්‍රව්‍ය භාවිතය ද විවිධ නම්වලින් හඳුන්වනු ලබන අනුමත වූ හා නොවූ මත්පැන් වර්ග ද දැකිය හැකි ය. කවර ආකාරයේ මත්පැන්, මත්ද්‍රව්‍ය වුව ද ශරීරයට අහිතකර ය. මේ නිසා ම නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වෙයි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා අද ශ්‍රී ලංකාවේ රෝහල්වල නොයෙකුත් රෝගාබාධයන්ට ලක් ව නේවාසික ව ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන් දැකිය හැකි ය. මේ විශාල වශයෙන් වැය වන්නේ රටේ සංවර්ධනයට, සුබසාධනයට යෙදවිය හැකි මුදල් නො වේ ද? තව ද, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇස් ඉදිරිපිට ම ධන හානි වෙයි; කලකෝලහල වැඩි වෙයි; හිරි ඔතප් නැති වෙයි; අපකීර්තිය පැතිරෙයි. අද බොහෝ පවුල් අවුල් වීමට හේතු වී ඇත්තේ ද අපරාධ වැඩි වීමට හේතු වී ඇත්තේ ද මෙම මත්ද්‍රව්‍ය උවදුර යි.
හේතුවක් නොමැති ව මඟතොටේ රස්තියාදු වීමෙන් තමාගේ ජීවිතය මෙන් ම තම අඹුදරුවන්ගේ ජීවිත ද අනාරක්ෂිත වෙයි; දේපළ ද විනාශ වෙයි; පාප ක්‍රියාවන්හි සැක කටයුතු පුද්ගලයකු බවට පත් වෙයි; අභූත චෝදනාවන්ට ද ලක් වෙයි; නොයෙකුත් අතුරු- අන්තරා පෙරටුකොට ඇත්තෙක් ද වෙයි.
දුසිරිතට නැඹුරු වූ විවිධ උත්සව හා සැණකෙළිවල නිරත වීම ද තමා උපයන ධනය විනාශ වීමට හේතු වෙයි; කාලය අපතේ යයි; නූපන් ධනය නූපදී. නිතර නිතර දූ කෙළියෙහි යෙදීමෙන් ද සිදු වන්නේ ධන හානියකි. තමන්ට ජය වූ කල සතුරෝ බෝ වෙති. තමා පැරදුණ කල දුකට පැමිණේ. සූදූකාරයාගේ වචනය කිසිවකුත් නොපිළිගන්නා අතර, වැදගත් නෑ-මිතුන්ගෙන් ද ඔහුට වෙන් වීමට සිදු වෙයි. විවාහ යෝජනා ද ප්‍රතික්ෂේප වෙයි.
පාපමිත්‍ර සේවනයෙහි යෙදීමෙන් ද සිදු වන්නේ ධන හානියකි. බුද්ධ කාලීන භාරතයේ සිටි මහා ධන සිටුපුත්‍රයා අසූ කෝටියක ධනයට හිමිකම් කීවේ ය. ඔහුගේ බිරියට ද එවැනි ධනයක් හිමි විය. එහෙත් පාප මිත්‍ර සේවනය නිසා මෙම එක්සිය සැට කෝටියක ධනය ඉතා ඉක්මනින් විනාශයට පත් විය. අවසානයේදී ඔහු යාචකයකු බවට පත් විය. තමාට ධනය ඇති විට මිතුරෝ බෝ වෙති. ධනය අහිමි වූ විට මිතුරෝ හැර යති.
“රේන්ද රාලගේ බල්ලා මළ දා උගේ සොහොන වටේ ගෙඩි ගෙවල් හතරක් බැන්ද අතර, රේන්දරාල මළ දා මළගමට බල්ලෙක් වත් සහායට නො වී ය.”
මෙම උපහාසාත්මක සිද්ධියෙන් පැවසෙන්නේ පාප මිත්‍ර සේවනයේ ක්‍රියාත්මක අංශය යි. බල්ලාට පුද- සැලකිලි දැක්වීමෙන් රේන්දරාලගේ ප්‍රසාදය ලාභ- ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කළ අතර, රේන්දරාල මළ පසු එවැනි ප්‍රයෝජන ලබාගැනීමට කෙනකු නැති නිසා මිනිස්සු ඔහු අත්හළෝ ය.
අලසකම ද භෝග විනාශ මුඛයකි. “දැන් ඉතා ශීතල යැ යි” කියා ද, “දැන් ඉතා උෂ්ණ යැ” යි කියා ද, “දැන් ඉතා සවස් වී ඇතැ” යි කියා ද, “දැන් ඉතා උදෑසන යැ” යි කියා ද, “දැන් ඉතා බඩ පිරුණේ යැ” යි කියා ද යමකු අලස ව ක්‍රියා කරන්නේ නම් ඒකාන්තයෙන් ම ඔහුගේ ධනය ද විනාශ වන්නේ ය; අලුතින් ධනයක් උපදින්නේ ද නැත.
පරාභව සූත්‍රයේදී බුදුන් වහන්සේ ධනය පිරිහීම සඳහා බලපාන හේතූ 3ක් දක්වා ඇත. එනම්-
1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම යනු යි.

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී ධනය වැනසී යන අපාය මුඛ 4ක් දක්වා ඇත. එනම්-
1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම
4. පාපමිත්‍ර සේවනය යනු යි.

වත්මන් සමාජය දෙස බලන විට බොහෝ දෙනා මෙම කරුණුවල ඇලී ගැලී සිටින බව පෙනී යයි. ගණිකා වෘත්තිය රහසිගත ව එහෙත් ප්‍රබලයන්ගේ අනුග්‍රහය හා ඉවසීම ඇති ව ම ජයට ම සිදු කැරෙන්නේ ඒ කරා ඇදී යන පිරිමින් නිසා නො වේ ද? බීමතින් සිහිවිකල් ව ළාබාල දැරියන් පවා දූෂණය කරන කාමාතුරයන් සිටින රටක් බවට මේ ශ්‍රී ලංකාව පත් වී ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම කාමුක ආශාවන් සන්තර්පණය කරගැනීමට යි. මෙය අද සමාජ පිළිලයක් බවට පත් වී ඇති යුරු මාධ්‍යයන්හි නිරතුරු පළ වන පුවත් පිළිබඳ ව විමසිලිමත් වීමෙන් පෙනී යයි.
අප ධාර්මික ව ධනය ඉපයූ පමණින් ම අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැත. අප එම ධනය වියදම් කළ යුත්තේ සමජීවිකතා ප්‍රතිපත්තියට අනුව යි. එනම්, අප උපයන ආදායම අනුව අපගේ වියදම සකස් කරගත යුතු ය. යමකු අඩු ආදායම් ඇති ව වැඩියෙන් වියදම් කරයි නම්, ඔහු දිඹුල් කන්නාක් මෙන් භෝග සම්පත් විනාශ කරන බවත්, වැඩි ආදායම් ඇති ව ලෝභී ව ජීවත් වන්නා අනාථ ව මිය යන්නකු බවත් බුදුරදුහු වදාළහ. අප උපයන ආදායම අප අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු ය. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත් 2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර 1/4ක් අනාගත ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය. උන් වහන්සේ සංඝ සමාජයට අරපිරිමැස්මෙහි අගය පහදා දී ඇත. භික්ෂුවක් තුන් සිවුරට අමතර ව අතිරේක සිවුරක් පමණක් තබාගත යුතු ය. අලුත් ඇතිරිල්ලක් පාවිච්චියට ගැනීමේදී පරණ ඇතිරිල්ලට වසර 6ක් වත් සම්පූර්ණ වී තිබිය යුතු ය. අලුත් ඇතිරිල්ලට පරණ ඇතිරිල්ලෙන් වියතක් පමණ වාටියක් කපා මසාගැනීමට ද උපදෙස් දී ඇත. අලුත් පාත්‍රයක් පරිහරණයට ගැනීමේදී පරණ පාත්‍රයේ ස්ථාන පහකින් වත් පිළියම් යොදා තිබිය යුතු ය. දිරාගිය සිවුරු පවා පා පිස්නා ලෙස යොදාගැනීමට ද උපදෙස් දී ඇත. අරපිරිමැස්ම හුරු-පුරුදු කරගැනීමට සංඝ සමාජය ද අපට ආදර්ශයක් වෙයි.
අංගුත්තර නිකායේ දැක්වෙන ප්‍රසිද්ධ අර්ථ සංරක්ෂණ උපදේශයක් මෙසේ ය:
“යම් ගෙදරක, කුලයක විනාශ වන දේ ගැන සෙවීමක් නැද්ද, පැරණි වන දේ පිළිසකර කරවීමක් නැද්ද, ආහාරපානයෙහි සීමා නියමයක් නැද්ද, දුශ්ශීල අයහපත් වූ පිරිමියකු හෝ ගැහැනියක ප්‍රධානත්වයෙහි සිටී ද, එහි සම්පත් වැඩිකල් නො පවතී.
මෙම ව්‍යවහාරික උපදේශය ඉතා දිළිඳු පවුලක් ගැන මෙන් ම මහා භෝගී සිටු කුලයක් ගැනත් කැත්තෙන් උදැල්ලෙන් වැඩ කරන්නන් මෙන් ම තරාදියෙන් පඩියෙන් දිවි පවත්වන්නවුන් ගැනත්, රාජ සේවයේ යෙදෙන්නන් ගැනත්, එක සේ අදාළ වේ. ගොවියා, කම්කරුවා, ශිල්පයා, ඉඩම් හිමියා, වෙළෙන්දා, රාජ සේවකයා යන කොයි-කාට වුවත් මෙම උපදේශයෙහි තේරුම එක සමාන ය.
වත්මන් සමාජයේ බොහෝ දෙන තම දිවි පැවැත්මේදී බාහිර අලංකාරය සඳහා වැඩිවැඩියෙන් වියදම් කරති. උගත්කමින්, බුද්ධිමත්කමින්, ගුණවත්කමින් හා ආචාර ධර්ම ආදියෙන් තොර වූ අනුවණ අඳබාල පුද්ගලයා සමාජයේ අන්‍යයන් අතර කැපීපෙනීම පිණිස උපයෝගී කරගනුයේ ඇඳුම් පැලඳුම් ආදිය යි. හේ සෙරෙප්පු, සපත්තු, ඔරලෝසු, කොණ්ඩ මෝස්තර වැනි විලාසිතාවන්ගෙන් ගත සැරසීමට අපමණ වෙහෙසක් දරයි; තම රුව අලංකාර කරගැනීම සඳහා මහත් සේ කාලය ද මුදල් ද යොදවයි. ඇතැම් විට රූපලාවණ්‍යාගාරයට ගොස් මුහුණ විකෘති කරගන්නා අවස්ථා ද අසන්නට ලැබෙයි. පසුගිය දිනෙක පුවත්පත්වලින් දැනගන්නට ලැබුණේ එබඳු කටයුත්තකට, එබඳු තැනකට ගිය තරුණියක මාරයාට බිලි වූ බව යි. නිවෙසක වුව ද ප්‍රදර්ශනය සඳහා භාණ්ඩ රැස් කරගෙන ගොඩගසාගෙන සිටින අයකු වෙයි නම් එයින් ද පෙන්නුම් කරන්නේ නිවෙස් හිමියා ගුණනුවණින් පිරිහුණු අයකු බව යි. ඇතැම් ගෙඩිවල පිට පොත්ත විශාල ව ඝනකම් ව පවතියි. එහෙත් එබඳු සමහර ගෙඩිවල මදය ඉතා කුඩා ය. මදය වැඩි ගෙඩිවල පිටපොත්ත තුනී ය. පැණිදොඩම් ගෙඩියකින් එය මනාව පෙන්නුම් කැරේ. බාහිර අලංකාරයෙන් යුක්ත පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් පිරිහුණ පුද්ගලයකු බව ප්‍රකට වෙයි.
වත්මන් සමාජයේ බොහෝ දෙනා ණය බරින් මිරිකී සිටින්නේ ද මෙම අනවශ්‍ය වියදම් නිසා ය. බුදු දහමට අනුව සමජීවිකතා ප්‍රතිපත්තියට එකඟ ව අප ක්‍රියාත්මක වන්නේ නම් ණය බරින් මිරිකීමට සිදු නො වේ. අනෙක් අතට අප විසින් මහන්සියෙන් උපයනු ලබන ධනය ලෝභී ව, පරිහරණය නොකර සිටීමෙන් ද වැඩක් සිදු නො වේ. තමන්ට හෝ අන්‍යයන්ට යහපතක් නොවන ධනය බුදු දහමෙහි පෙන්වා දී ඇත්තේ රකුසන් අරක්ගත් විලකට සමාන වන බව යි. ඉල්ලීස, මච්ඡරිය කෝසිය, අපුත්තක, බිළාල පාදක, අදින්න පුබ්බක වැනි ලෝභී සිටුවරින් පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වෙයි.
බුදුන් වහන්සේ පත්තකම්ම විභංග සූත්‍රයෙන් දැහැමි ව ධනය උපයන්නකු ක්‍රියා කළ යුතු ආකාරය දක්වා ඇත. තමා විසින් උපයනු ලබන ධනය තමාගේ සුඛ විහරණය සඳහා පමණක් නොව, තම පවුලේ සාමාජිකයන්ගේ ද දෙමව්පියන්ගේ ද, නෑදෑ හිතමිතුරන්ගේ ද සේවකසේවිකාවන්ගේ ද සුඛ විහරණය සඳහා යෙදවිය යුතු බව එයින් පැහැදිලි වෙයි. වත්පොහොසත්කම් ඇති අයකු රස බොජුන් තනි ව ම වැළඳීම පිරිහීමට කරුණක් බව පරාභව සූත්‍රයේදී දක්වා ඇත. තමාට හැකියාව තිබියදීත් තම දෙමව්පියන් නොසලකාහැරීම වසල පිළිවෙතක් බව වසල සූත්‍රයේ දේශනා කර තිබේ.
ධනය වැය කිරීමේදී අනුගමනය කළ යුතු පංච බලි ප්‍රතිපත්තියක් ද බුදු දහමෙහි හඳුන්වා දී ඇත. එනම්
1. ඤාති බලි (ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
2. අථිති බලි (ආගන්තුකයන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
3. පුබ්බපේත බලි (මියගිය ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
4. රාජ බලි (රජය උදෙසා යුතුකම් ඉටු කිරීම)
5. දේවතා බලි (ආගමික කටයුතු ඉටු කිරීම)

මෙබඳු යුතුකම් ඉටු කිරීම මඟින් පුද්ගලයා සතු ධනය පුද්ගලයාට පමණක් නොව, සමාජයට ද ආශීර්වාදයක් වනු ඇත. අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයකු සැප 4ක් ලබාගැනීමට වෙහෙස විය යුතු බව යි. එනම්-
1. අත්ථි සුඛය
2. භෝග සුඛය
3. අණන සුඛය
4. අනවජ්ජ සුඛය යි.

තමන් විසින් ධාර්මික ව උපයාගන්නා ලද භෝග සම්පත් ඇතැ යි යමකුට සතුටු විය හැකි නම් එය අත්ථි සුඛය යි. එසේ උපයාගත් ධනයෙන් සැප විඳිමි, පින් දහම් ද කරමි යැ යි සොම්නසට පත් විය හැකි නම් එය භෝග සුඛය යි. මම කිසිවකුටත් ණයක් නැත යන හැඟුමෙන් සොම්නසට පත් විය හැකි නම් එය අණන සුඛය යි. මා කයින් සිතින් වචනයෙන් කිසිවකුටත් වරදක් කළේ නැත යන හැඟුමෙන් සතුටට පත් විය හැකි නම් එය අනවජ්ජ සුඛය යි.
කාමභෝගී ගෘහස්ථයකුට මෙම සැප හතර උදා කරගත හැකි නම් හෙතෙම සාර්ථක ලෙස ආර්ථික ගැටලුවලින් නිදහස් වී ජීවිතයේ සැප ළඟා කරගත් තැනැත්තෙක් වේ.
මේ අනුව අප විසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟාගැනීමට නම් ප්‍රථමයෙන් ම අපටත් ඵලදායී, සමාජයටත් ඵලදායී ධාර්මික වෘත්තියක් තෝරාගත යුතු ය; අලස නොවී උත්සාහයෙන් ක්‍රියා කළ යුතු ය. බුදු රදුන් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී දීඝජානු කෝලිය කුලපුත්‍රයාට මෙවැනි උපදෙසක් දී ඇත:
“ව්‍යඝ්‍ර පද්‍යය, මේ ලෝකයේ කුල පුත්‍රයෙක් යම් රැකියාවකින් ජීවිකාව කරයි නම් ඒ රැකියාවෙහි දක්ෂ වන්නේ ය; මැළි නොවන්නේ ය; නියම කාලයෙහි ඒ ඒ කටයුතු කිරීමට සුදුසු යැ යි සිතා උපාය දැනගැනීමෙහි යුක්ත වන්නේ ය; ඒ ඒ කටයුතු පිළිබඳ ව විමසන නුවණින් යුක්ත වන්නේ ය.”
මෙම උපදෙස් පිළිපැදීමෙන් ආර්ථික ශක්තියක් ඇති කරගත හැකි වෙයි. එසේ ම තමන් උපයන භෝග සම්පත්තීන් නිකරුණේ වැනසී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගත යුතු ය. තමාටත් සමාජයටත් ඵලදායී ලෙස ඒවා වියදම් කළ යුතු ය. එවිට අපගේ ද ආර්ථිකය ශක්තිමත් වෙයි. සමාජයේ ප්‍රගතියත් ඇති වෙයි.
ධාර්මික ව උපයාගත් ධනය තමාගේත් අන්‍යයන්ගේත් යහපත සඳහා වියදම් කරන්නා (ඉබේථි නං පසංසන්ති); මෙලොව ද ප්‍රශංසා ලබයි; පර ලොව සුගතිගාමී ව සැනසෙයි. (පෙච්ච සන්තේව චෝදතී) සුගතිගාමී ව සැනසෙයි.

නමස්කාර වෙබ් අඩවියේ පලවූ ලිපියකි.

error: Content is protected by www.ifbcnet.org.