
මෙකල ඇතැම් ගෙවල්වල බුදුන් වැදීමට ස්ථානයක් කුඩා මන්දිරයක් ද හදාගෙන ඇත. එය ඉතා හොඳයි. ඇතැම් අය උදේ සවස බුදුන් වඳිනවා, මල් – පහන් ආහාර – පාන පූජා කරනවා. සුන්දර ප්‍රතිපදාවකි.
මෙසේ හැම ගෙදරක ම ආගමික වේලාවක් සම්මත කැර ගත යුතු ය. මේ කටයුත්තට දෙමාපියන් සිටිය යුතු බැවින් විශේෂයෙන් පියාණන්ට පහසු වේලාවක් වීම හොදයි. මේ කටයුත්තට ලොකු ළමයින් මෙන් ම කුඩා ළමයිනුත් සහභාගී කරවා ගත යුතු බැවින් වඩා රෑ නොවිය යුතුය.
දෙමාපියන්ගේ ආදර්ශය දරුවනට ලැබිය යුතුම හෙයින් මවුපිය දෙදෙනාම සහභාගී විය යුතුම යි. නොවැලක්විය හැකි කටයුත්තක් යෙදුණත් එක් කෙනෙකු හෝ සහභාගී විය යුතු ය. යම් කිසි විදියෙකින් ගෙදරට අමුත්තකු දෙදෙනෙකු පැමිණියොත් හදිස්සියක් නොවේ නම් ඒ අයත් ආගමික වේලාවට සහභාගී කරවා ගත යුතු ය. එසේ කිරීමෙන් යහපත් දෙයක් සිදු වෙනවා.
- එසේ සහභාගී වූ අය සිය නිවසෙහිත් ආගමික වේලාවක් ආරම්භ කිරීම.
- නැවත මේ වේලාවට නොපැමිණීම. නියමිත වේලාවට ගෙදර සියලු දෙනා ම බුදුන් වදින තැනට හෝ අන් සුදුසු තැනකට හෝ රැස් වී පහත සදහන් කරුණු ටික සම්පූර්ණ කළයුතු වේ.
- පන්සිල් සමාදන් වීම.
- බුදුන් වැදීම, මල් පහන් පිදීම.
- කරණීයමෙත්ත සූත්‍රය වත් එකට සජ්ඣායනා කිරීම.
- ළමයින්ට ගැලපෙන පරිදි සුළු වේලාවක් භාවනා කිරීම.
- බණ පොතෙකින් පිටු දෙකක් වත් කාටත් ඇසෙන සේ කියවීම.
- දරුවන්ගේ කටයුතු සොයාබලා අවවාද කිරීම.
- මියගිය ඥාතියනට හා දෙවියනට පින් දීම.
- දරුවන් දෙමාපියනට වැද කටයුතු අවසන් කිරීම.
කුඩා දරුවනුත් සහභාගී වන නිසා භාවනාව මෙෙස් යොදා ගැනීම මැනවි.
“මම සුවපත් වෙම්වා, නිදුක් වෙම්වා, නීරෝගි වෙම්වා, මා මෙන්ම සියලු සත්වයෝ ද සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝග වෙත්වා’යි කාටත් ඇසෙන සේ පස් වාරයක් හීන් හඩින් කියා එයම නිහඩ ව පස් වාරයක් සිතීම.
බණ පොතෙකින් දවසකට පිටු දෙකක් කිය වූ විට මාසයකට පිටු හැටක කරුණු ඉගෙන ගනී. අවුරුද්දකට පිටු 728 ක කරුණු ඉගෙන ගනී.
පුරාණ කාලයෙහි කටයුතු බහුල රජවරු ද මේ නයින් බොහොම බණ ඉගෙන ගත්තා. සැදැහැවත් ජනතාව ද එසේ ම ඉගෙන ගත්තා. සමහර රජවරු අභිධර්ම යෙන්ද බණ කියා ඇත.
යතුරුලිවීම: පූජ්‍ය කිරින්දේ විජිත හිමි