විසාලා මහ නුවර තුන්බිය දුරුකළ රතන සූත්‍ර වර්ණනාව. 01

(තුසිත රාජපක්ෂ  මහතා ප්‍රංශයේ සිට ලියයි …)

🌷 මස්වැදැල්ලෙන් බිහිවුණ ලිචඡවී දරුවන් හට ඇඟිලි තුඩෙන් කිරිදුන් තාපසයා සහ විසාලා මහා නුවර ගොඩනැගුන අයුරු.. 🌷

🌼 කෙටි සදහන

අතීතයේ විසල් පුර නොහොත් වජ්ජි දේශය නොහොත් විසාලා මහ නුවර ලෙඩ රෝගත්, දැඩි ආහාර ගිගවීමත්, අමනුෂ්ය බියත් ආදී තුන් ආකාර උවදුරු ඇතිවුනා. ඒ උවදුරු දුරුකරගනු පිණිස ලීච්ඡවී රජදරුවන් රජගහ නුවරට ගොස් ආයාචනාකොට භාග්යවතුන් වහන්සේ විසාලාවට වැඩම කරවනු ලැබුවා. මෙසේ වැඩමවාගෙන ආ භාග්යවතුන් වහන්සේ ඒ උවදුරු දුරුකරනු පිණිස මෙම සුත්ර දේශනාව දේසනා කරනු ලැබුවා. එය අපි කවුරුත් දන්නා එහි කෙටි සටහනයි. එය එසේ වුනත් එහි පසුබිම් කතාව මිට වඩා බොහෝ රසවත් වගේම ත්රිවිධ රත්නය කෙරෙහි බොහෝ ශ්රද්ධාව පිහිටවන්නක්. ඒ විතරක් නෙවෙයි. ඒ සුත්ර දේශනාවේ බලවත්කම කියාපාන්නක්. අද ලොව තුල මෙම කොරෝනා වයිරසය නිසා එදා මෙන්ම තුන් බියක් ඇතිවීමේ පෙර නිමිති පහල වී තිබෙන මොහොතක බොහෝ වෙහෙර විහාරස්ථාන වල මෙම සුත්ර දේශණාව සජ්ජායනා කිරීමට පටන් ගෙන තිබෙනවා. එම නිසා මෙම ලිපි පෙළ ඔබ සැමට එහි ගාම්භීර භාවයද බලවත් භාවයද අවබෝධ කොටගෙන ත්රිවිධ රත්නය කෙරෙහි අසීමිත ගෞරවයෙන් සජ්ජායනා කොට ලෝකයටම සෙත් පැතිය හැකි ආකාරයට සකසනු ලබනවා.
සාදු සාදු සාදු මෙම වසංගත රෝගය මෙම සුත්ර දේශනාවේ අනුහසින් නිම වේවා !!!!

🌼 විසල්පුර නොහොත් විසාලා මහා නුවර ගොඩනැගුන අයුරු.

පැරණි ඇදුරෝ මෙහිදී විසල්පුර ගොඩනැගුන අයුරු මුල පටන්ම විස්තර කරයි. ඒ විස්තර මෙසේය, බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුගැබක් පිහිටිය. ඇය එය දැන රජුට දැන්වූවා. රජ ගැබිනියක වෙනුවෙන් කළයුතු සියළු කටයුතු හා රැකවරණ ( ගැබ් පෙරහැර ) සලසනු ලැබුවේ ඉමහත් සතුටෙන්. ඇය මැනවින් මහත් පරිශ්රමයකින් ගැබ දරාගනිමින්, ගැබ මේරූ කල වදනාගෙට පිවිසියා. පින් ඇති තැනැත්තියන්ට දරු උපත සිදුවන්නේ අළුයම් කාලයේදී කියලයි පැරණි ඇදුරෝ කියන්නේ. එබදු තැනැත්තියන් අතර ඇයද වුවා. ඒත් හරිම දුක්කිත ඉරණමකට ඇයට මුහුණපාන්නට සිදුවුනේ. එදා අළුයම් වේලෙහි ලාකඩ පටලයක් (වැසුණු ) වැනි බදු වදමලක් මෙන් මස්වැදැල්ලක් තමයි ඇය විසින් බිහිකරනු ලැබුවේ. එවිට, ඇයට මෙහෙම හිතුනා. අනේ අනික් බිසෝවරුන් රන් පිළිම බදු පුතුන් වදනවා. අග මෙහෙසිය වූ මම මස් වැදැල්ලක් වැදුවා යනුවෙන් රජු ඉදිරියේ අපහාසයට ලක්වන්නේ යැයිද සිතා ඒ අපහාසයට බියෙන් තැතිගත්තා. ඇය හොර රහසේම එම මස්වැදැල්ල එක්තරා බදුනක බහා වෙනත් බදුනකින් වසා, රාජකීය සලකුණ තබා ගගෙහි පාකර යැවුවා. එහි රන් තහඩුවක, රත්සිරියල්වලින් බරණැස රජුගේ අග මෙහෙසියගේ දරුවන් යයි එහි ලියා තැබුවා. එලෙස දැමුවිටම ඒ දෙස බලා සිටි දේවතාවෝ එයට රකවරණය සැලසුවා. එම දේවතාවන්ගේ අනුහසින් ඒ බදුන දියසුළි ආදී උවදුරු නැතිව ගග පහළට පාවී ගියා.

🌼 මස්වැදැල්ලෙන් බිහිවුණ දරුවන් හට ඇඟිලි තුඩෙන් කිරිදුන් තාපසයා.

මේ කාලයෙහි එක්තරා තාපසයෙක් ගොපළු පවුල් වලින් සත්කාර ලබමින්,ඒ ගංතෙර පහළ වාසය කළා. ඔහු උදෑසනම ගගට බසිද්දී ඒ භාජනය පාවී එනු දැක පන්සුකුල හැගීමෙන් (කුණු ගොඩක් එතූ රෙදි යැයි සළකා ) අතට ගත්ත. එවිට ඒ අකුර සදහන් තහඩුව හා රාජකීය සලකුණුද දැක එය ඉවත්කළ පසු මස් වැදැල්ල ද දුටුවා. එහි දුගදක් හෝ කුණුවූ බවක් නැතිනිසා මෙය දරු ගැබක් කලලයක් විය යුතුයයි ඒ දිටු තව්සාට සිතුණ. ඔහු එය ඔහුගේ අසපුවට ගෙනගොස් පිරිසිදු තැනක තබනු ලැබුවා. අඩමසක් ගතවූ විට එම මස්වැදැල්ල මස්වැදලි දෙකක් සේ බෙදුණ. තාපසයා ඒ දැක සතුටුව එය වඩාත් හොදින් සුදුසු තැනක තැබුවා. නැවත අඩමසකට පසුව එක් එක් මස්වැදැල්ලක අත්,පා,හිස පිණිස ගැට (ගඩු ) පහක් බැගින් මතුවෙමින් තිබුණා. තවත් අඩමසකින් එක් මස් වැදැල්ලකින් රන් පිළිමයක් බදු පිරිමි දරුවෙක්ද, අනෙක් මස් වැදැල්ලෙන් දැරියක්ද ඇතිවුනා. හරිම පුදුමයි. තාපසයාට ඔවුන් කෙරෙහි දරු සෙනෙහස පහළ වුණා. ඔහුගේ මහපටඇගිලි තුඩින් කිරි වැගිරෙන්නට වුනා.

🌼 සම විනිවිද පෙනෙන දරුවන්

එතැන් පටන් ඔහුට මිනිසුන්ගෙන් කිරිබත් දානයට ලැබෙන්නට වුනා. තාපසයා බත් කා ඒ දරුවන්ගේ මුවෙහි ඇගිල්ලෙන් වැතිරෙන කිරි තවරනු ලබනවා. ආශ්චර්ය ජනකයි. ඒ කිරි ඔවුන්ගේ කුස තුළට පිවිසෙන අයුරු ඒ සියල්ලම මැණික් බදුනකට දැමුවා සේ විනිවිද පෙනෙන්නේට වනවා. සිරුරෙහි සම සමක් නොමැති ලෙස විනිවද පෙනුණා. හරියටම විනිවිද පෙණෙන සමකින් මසා තැබුවාක් මෙන්. ඔවුන් එකිනෙකාගේ සම තුනී වී යැයි ඇතැම්හු කියන්නට වුනා. සමහරු කිවේ ඔවුන්ට සමක් නැහැ කියලයි. මෙසේ ඔවුහු සම නොමැති බැවින් හෝ තුනී සම ඇති බැවින් හෝ ලිචඡවී යන නමින් හැදින්වුවා .

🌼 ගොපල්ලන් තාපසයා වෙතින් දරුවන් රැගෙනයාම.

මෙසේ දරුවන් ඇතිදැඩි කරන තාපසයා හිරු පෑයූ කල පිඩු පිණිස ගමට පිවිසෙනවා. මහ දවාලෙහි ආපසු එනවා. තවුසාගේ එම වැඩකටයුතු දැනගත් ගොපල්ලෝ හිමියනි පැවිද්දන්ට දරුවන් ඇතිදැඩි කිරීම අවහිරයක්. දරුවන් අපට දෙන්න. අපි ඇතිදැඩි කරන්නෙමු, ඔබතුමාට සුදුසු කටයුතු කරනු මැනවයි පවසනු ලැබුවා. තාපසයා යහපතැයි පිළිතුරු දුන්නා. ගොපල්ලෝ මග වලගොඩැලි සමකොට, මල් අතුරා, දද කොඩි ඔසවා වාදන භාණ්ඩ වයමින් පසුදින අසපුවට පැමිණියේ මහා පෙරහැරකින්. තාපසයාද “මහත් පින් ඇති දරුවන්ය, මහත් සැළකිල්ලෙන් නොපමාවම ඇතිදැඩි කරව,ඇතිදැඩි කොට එකිනෙකා අවාහවිවාහ කටයුතු කරව, පස්ගෝ රසින් රජු සතුටුකොට, බිම් කොටසක් ලබා ගෙන නගරයක් සකසව එහි කුමරු ඔටුනු පලදවයි” කියා දරුවන් ඔවුන්ට දෙනු ලැබුවා. ඔවුහු යහපතැයි කියා දරුවන් ගෙන ගොස් ඒ කියූ පරිදීම ඇතිදැඩි කළා. එසේ ඇතිදැඩි වන දරුවෝ අනෙක් ගොපළු දරුවන් හා කෙළි සෙල්ලම් කරමින් එකිනෙකා අතර මතභේදාත්මක කරුණු ඇතිවූ විට අතින් පයින් පහර දෙන්නට වුනා. පහර කෑ ඒ ගොපළු දරුවෝ හඬන්නට වුනා. ඔවුන්ගේ මව්පියන් කුමක් නිසා හැඩුවාදැයි ඇසුවිට “මව්පියන් නැති තාපසයා හදාවඩා ගත් මොවුන් අපට තදින් පහර දෙතියි කියනු ලැබුවා. එවිය ඔවුන්ගේ මව්පියන් මේ දරුවන් අනෙක් දරුවන් පීඩාවට පත්කරති. දුකට පත්කරති. මොවුන්ට උදව් නොකළ යුතුය, මොවුන් දුරුකළ යුතුය. ඈත් කළ යුතු යැයි කියන්නට වුවා.

🌼 ලිචඡවී කුමරු රජවීම සහ විසාලා නුවර බිහිවීම.

එතැන් පටන් යොදුන් තුන්සියයක් වූ ඒ ජනපදයට වජජි යැයි කියනු ලැබුවා. ඉක්බිත ගොපල්ලෝ රජු සතුටුකොට ඒ පෙදෙස මිලට ගත්තා. එහි නගරයක් සකසා සොළොස් වයසැති කුමරා අබිසේක කොට රජබවට පත්කළා. පිටතින් දැරියක කැදවා නොආ යුතුය. මේ දැරිය වෙනත් කෙනෙකුට ද නොදිය යුතුයැයි ඇය හා කතිකාකොට විවාහය සදහා වෙන්කොට ගත්තා. ඔවුන්ගේ පළමු එක්වීමෙන්ම දුවක්ද පුතෙක්ද ලැබුණා. මෙසේ දහසය වාරයක්ම දෙදෙනා බැගින් දරු උපත් ලැබුවා. ඔවුන්ගේ දරුවන් නිසි පරිදි වැඩෙනකොට පළතුරු උයන් වාසය කරන තැන් සදහා පිරිවර ජනතාවට ඉඩකඩ මද වූ බැවින් ඒ නගරය තෙවරක්ම ගවුවක් ගවුවක් අතර පවුරකින් වටකලා. එම නගරය දිනෙන් දිනම එලෙස දියුණු වන්නට පටන්ගත්කල නැවත නැවත දිග පළලින් විසාල කරන්නට වුනා. ඒ බැවින් වෙසාලී හෙවත් විසාල නම් වුනා. මේ විසල්පුර නොහොත් විසාලා මහ නුවර ඇතිවූ අයුරුයි.

 2 වන කොටසට – https://wp.me/p4UHR6-3Db

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.