අග්‍ර උපස්ථායක වූ, ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහ රහතන් වහන්සේ …

මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෙයින් බහුශ්‍රැත භික්ෂුන් අතුරින් අග්‍රවුද, බුද්ධ වචනය ඉගෙන සිත්හි ධාරණය කළ භික්ෂුන් අතුරින් අග්‍රවුද, එකම මොහොතක ගාථා පදයන් සැට දහසක් උගත හැකි භික්ෂුන් අතුරින් අග්‍ර වුද, හැම කටයුත්තකම දක්‍ෂ බව ඇති භික්ෂුන් අතුරින් අග්‍රවුද, සියලු උපස්ථායක ‘ භික්ෂුන් අතුරින් අග්‍රවුද, ආනන්ද මහරහතන් වහන්සේන්ගේ පූර්වාපර චරිතාපදානය මෙසේ ය.

මේ මහා භද්‍ර කල්පයෙන් කල්ප ලක්ෂයට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝක සත්වයා  සසරින් එතර කරවනු පිණිස ධර්ම දේශනා කරන සමයෙහි මේ ආන්නද තෙරුන් වහන්සේ එම පියුමතුරා නම් බුදුන්ගේ බාල සහෝදර වූ සුමන නම් ඇති රාජකුමරෙක් විය. එම බුදුරජාණන් වහන්සේට සුමන නම් ඇති භික්ෂුවක් උපස්ථානයෙහි යෙදී සිටියේ ය. සුමන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් කුළුපග වු සේක. එම උපස්ථායක සුමන තෙරුන් ගැන අතිශයින් පැහැදුණු සුමන රාජකුමාරයා මම ද අනාගත යෙහි බුදුරජාණන් වහන්සේට කුළුපග උපස්ථායක භික්ෂුවක වන්නෙමි” යි අධිෂ්ඨාන කොට ගත්තේ ය. හෙතෙම සතියක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන්පවත්වා සත්වන දිනයේ දී ලක්‍ෂයක් භික්ෂුන් වහන්සේල්ලා ගේ පාමුල තුන් සිවුරු තබා බුදුරජාණන් වහන්සේට වැඳ ” සවාමීනී, සතියක් මුළුල්ලෙහි මහදන් පවත්වා යම් පිනක් අත්පත් කර ගත්තේ නම් එම පිනෙන් මම ද අනාගතයෙහි උපස්ථායක සුමන තෙරුන් වහන්සේ මෙන් එක් බුදුකෙනෙකුගේ උපස්ථායකු වන්නෙමි” යි ප්‍රාර්ථනා කෙළේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනාව සිද්ධවන බව දිවසින් දැක කුමාරය ඔබගේ ප්‍රාර්ථනාව මෙයින් කල්ප ලක්‍ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහි සඵල වන්නේය යි විවරණ දුන් සේක.

සුමන රජකුමරු එතැන් පටන් බොහෝ දානාදී පින්කම් කොට එයින් චුතව සසර සැරිසරමින් දෙවි මිනිස් සැප විඳ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා පිඩු සිඟා වඩිනා භික්ෂුවකට පාත්‍රය තබා ගැනීමට තම උතුරු සළුව පුජා කෙළේය. නැවත පසු කාලයකදී පසේ බුදුවරුන් අට නමකට පන්සල් අටක් කරවා පුජා කෙළේය. මෙසේ අප්‍රමාණ කුසල් කොට අප බුදුරජාණන් වහන්සේ ගේ උත්පත්තිය සමගම අමිතෝදන නම් සාක්‍ය රජතුමාට පුන්ව උපන්නේ ය. හැම දෙනාගේම සිත් සතුටට පත් කරමින් උපන් හෙයින් ආනන්ද යයි ඒ කුමාරයාට නම් කළහ. බුදුරජාණන් වහන්සේ බුදුව පළමුවර කිඹුල්වත් නුවරට වැඩම වූ කල්හි භද්ධිය අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත යන සාක්‍ය කුමාරවරුන් සමග මේ ආනන්ද කුමාරයාද බුදු සසුනෙහි පැවිදි වුහ. ඒ සමගම කුමාර වරුන්ගේ මගුල් කපුවා (කරනවෑමි) උපාලි තෙමේද සසුන් ගත විය. මෙසේ මහණ වු ආනන්ද තෙරුන් වහන්සේ පැවිදි වූ නොබෝ කලකින්ම මන්තානි පුත්ත පුණ්ණ තෙරුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි සේක.

බුද්ධත්වයෙන් විසිවසක් ගිය කල්හි බුදුරජාණන් වහන්සේට නිත්‍ය උපස්ථායකු පත්කර ගැනීමට අවශ්‍ය විය. ඒ වනතුරු උන්වහන්සේට නිත්‍ය උපස්ථායකු නොවීය. කලක් නාගසමාල තෙරණුවෝ බුදුන්ට උපස්ථාන කළහ. තවත් කලෙක නාගතතෙරණුවෝද, උපවාන තෙරණුවෝද, සුනක්ඛත්ත තෙරණුවෝද, සාගත තෙරණුවෝද, චුන්ද තෙරණුවෝද රාධ තෙරණුවෝද, මේඝිය තෙරණුවෝද ආදි පිළිවෙළින් උපස්ථාන කළහ. ඒ එක් අයකු ගෙන් වත් නියම උපස්ථානය නොලැබුණා පමණක් නොව ඔවුහු ඇතැම් විට බුදුරජාණන් වහන්සේට අවනත නො වුහ. මේ නිසා බුද්ධත්වයෙන් විසිවකට පසු දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතා ” මහණෙනි, දැන් මම මහලු යෙමි, සමහර මහණහු මේ මගින් යමු යයි කී විට වෙනත් මගකින් යති. සමහර මහණහු මාගේ පාත්‍රා චීවර බිම තබා යති. මට නිත්‍යවූ උපස්ථායකු තබා ගත යුතු වෙයි. ” යනුවෙන් වදාළ සේක. සංඝයා වහන්සේ ධර්ම සංවේගය පහළ විය. එවිට සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු අනිකුත් අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා මම උපස්ථාන කෙරෙමි” යි කියමින් ඉදිරිපත් වුවද ඒ සියලු දෙනාගේම ඉල්ලීම් බුදුරජාණන් වහන්සේ ප්‍රතිකේෂ්ප කොට වදාළ සේක. ආනන්ද තෙරුන් වහන්සේ පමණක් ඒ සඳහා ඉල්ලීමක් නොකළ සේක. එකල්හි අනිකුත් භික්ෂුහු ඇවැත්නි, ඔබවත් ඒ සඳහා ඉල්ලීමක් කරන්න යි පැවසුහ. එකල ආනන්ද තෙරණුවෝ ද ඉල්ලා ලබා ගන්නා තනතුරුවලින් මට වැඩක් නැත, බුදුරජාණන් වහන්සේ කැමති නම් මා පත්කර ගනු ඇතැ යි පැවසුහ. එකල බුදුරජාණන් වහන්සේ ” මහණෙනි, ආනන්ද භික්ෂුව අනිකකු විසින් උත්සාහ නො කරවිය යුත්තේය, හෙතෙම මට උපස්ථාන කරනු ඇතැ” යි වදාළ සේක. එකල්හි අනද තෙරණුවෝ පහත දැක්වෙන ප්‍රතික්ෂේප සතර හා ඉල්ලීම් (ආයාචනා) සතර ලැබෙන්නේ නම් පමණක් එකී උපස්ථායක තනතුර ලැබීමට කැමැත්ත පළ කළහ.

ප්‍රතික්ෂේප සතර නම්
1. බුදුරජාණන් වහන්සේට ලැබෙන චීවර තමාට නොදිය යුතුය.
2. බුදුරජාණන් වහන්සේ ලැබෙන පිණඩපාතය තමාට නොදියයුතුය.
3. බුදුරජාණන් වහන්සේ වසන ගඳකිළියෙහි තමාට වසන්ට ඉඩ නොදිය යුතුය.
4. බුදුරජාණන් වහන්සේට කෙරෙන ආරාධනා වලට තමා වඩමවා නොයා යුතුය.

ඉල්ලීම් සතර නම්.
1. මා විසින් කරනු ලබන ආරාධනා බුදුරජාණන් වහන්සේ විසින් පිළිගත යුතුය.
2. පිටින් පැමිණෙන කවරෙකු හෝ කැමති වේලාවක බුදුරජාණන් වහන්සේ මුන ගැස්වීමට අවසර දිය යුතුය.
3. කවර හෝ සැකයක් මට ඇති වු කල්හි එකෙණෙහිම එය 
විචාරීමට අවසර දිය යුතුය.
4. මා නො හමුවෙහි දෙසු ධර්මය නැවත වරක් මට දේසනා කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ මෙකී වර අට ප්‍රදානය කළ වේලේ සිට උන්වහන්සේ නිත්‍ය උපස්ථායක ධුරයට පවූ සේක. එදින පටන් අනද තෙරණුවෝ බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කුදු මහත් සියලූ උපස්ථාන කාර්යයන් නො පිරිහෙලා විසිපස් වසරක් පුරා ඉටු කළ සේක. එකල තිලෝගුරු බුදුරජානන් වහන්සේ පේවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ ගේ ගුණ සමුහය වර්ණනා කොට වදාරා උන් වහන්සේ මේ ශාසනයෙහි බොහෝ ඇසු පිරූ තැන් ඇත්තා වූ ද, ස්මෘතිමවූ ද ඥාන ගති ඇත්තාවූද, ටිතිමවූ ද, උපස්ථායක වුද භික්ෂුන් අතුරෙන් අග්‍රයයි   තානාන්තරයෙහි තබන්නා සේක ” එත දග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං බහුසුතානං යදිදං ආනන්දේ, උපට්ඨාකානං යදිදං ආනන්දෝ”  යනුවෙන් වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා මොහොතෙහි ආනන්ද තෙරුන් වහන්සේ සිහි එලවා ගත නොහී අගුල් කණුව අල්ලා ගෙන” මාගේ සවාමිදරුවූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. මම තවම රහත් භාවයට පත් නොවු  පුද්ගලයෙක්මි” යි අඩමින් දුක් වු සේක. ආදාහන කටයුතු අවසන් වීමෙන් අනතුරුව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේන්ගේ පා සිවුරු රැගෙන කුසිනාරා නුවරින් නික්ම පන්සියයක් භික්ෂුන් සමග සැවත් නුවර දෙව්රම් විහාරයට වැඩ එහි පිළිසකර කටයුතු නිමවා වස් එළඹෙන කාලය සමීපවූ කල්හි සංගායනාව කරවනු සඳහා රජගහනුවරට වැඩි සේක. ධර්ම විනය සංගායනාව ආරම්භ කිරීමට කලින් දින බොහෝ භික්ෂුහු රැස්වී ආනන්ද තෙරුන්ට ” ඇවැත්නි, හෙට ධර්ම විනය සංගායනාව ආරම්භ කිරීමට නියමිතය. තොප තවමත් රහත් භාවයට නො පැමිණි හෙයින් ඊට සම්බන්ධ වීමට නො හැකිය. අප්‍රමාදව රහත් භාවයට පැමිණිමට වීර්ය කරව” යි කීහ. ආනන්ද තෙරුන් වහන්සේ ඒ කාරණය මැනවින් සිතට ගෙන තුන්යම් රාත්‍රියෙහිම භාවනා කොට අලූයම් වේලෙහි මදක් සැතපෙනු පිණිස සුදානම් ව පායුවල පොළොවෙන් උඩට ගෙන හිස කොට්ටයට තබට කලින් රහත් වු ස්ක. සතර ඉරියව්වෙන් එකද අවස්ථාවක් නො මැතිව උන් වහන්සේ රහත් භාවයට පැමිණි බව මෙයින් කියවෙයි.

error: Content is protected by www.ifbcnet.org.