අකාලිකො – අටුවාචාර්‍ය්‍ය මතය නිවැරැදි ද?

වචනාර්‍ථ වශයෙන් ගත් කලැ, න කාලො = කාලයක් නැත්තේ අකාල යි, අකාලොයෙව අකාලිකො = අකාලය ම අකාලික යි. ස්වාර්‍ථයෙහි ණික ප්‍රත්‍යය යි. ධර්‍මාර්‍ථ වශයෙන් ගත් කලැ, න කාලන්තරෙන ඵලදායකො = කල් නො යවා පල දෙනුයේ අකාලික යි. මග්ගානන්තරං ඵලූප්පත්තිතො = මඟසිතට අනතුරු වැ පලසිත ලැ‍බනු‍යේ අකාලික යි. මේ අර්‍ථකථා විග්‍රහය යි.

ධර්‍මයෙහි ගුණ විස්තර කරන බුදුරජාණන් වහන්සේ, ස්වාක්ඛාතො හගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි යී එහි ගුණ සයක් දැක්වූ හ[1]. බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය මැනැවින් දෙසන ලද බැවින් ස්වාක්ඛාත යැ, තම නුවණැසින් දැකගත යුතු බැවින් සන්දිට්ඨික යැ, කල් නො යවා පල- විපාක දෙන බැවින් අකාලික යැ, එව බලව කියනට නිසි බැවින් එහිපස්සික යැ, සිය සිත්සතන්හි පිළිවිදීම් වශයෙන් එළවාගත යුතු බැවින් ඔපනයික යැ, නුවණැත්තන් විසින් වෙන වෙන ම පිළිවිදිය යුතු බැවින් පව්චත්තං වෙදි තබ්බො විඤ්ඤුහි යැ යි ප්‍රකාශ කළ හ.

දහම් ගුණයන් අතරැ අකාලික යනු එක් ගුණයකි. ත්‍රිපිටකයෙහි අකාලික වචනය සඳහන් වන තැන් රාශියෙකි. විශුඬිමාර්ගය ආදි අටුවා නයින් අකාලික වචනය විස්තර කැරැදෙන්නට පෙරැ චිත්ත = සිත පිළිබඳ හැඳින්වීමක් කිරිම තේරුම් ගැනීම පහසු වනු ඇත.

චිත්තාංගයෝ හෙවත් චෛතසිකයෝ චිත්ත = මනස පෙරදැරි කොට යන්නාහු යැ, මනස ශ්‍රෙෂ්ඨ කොට ඇත්තාහු යැ, මනසින් නිපන්නාහු යැ යි[2] කළ ප්‍රකාශයන් ගෙන සිත මුල් බව සෙට බව පැහැදිළි වේ. ඒ චිත්තයෝ කාමාවචර – රූපාචර – අරූපාවචර – ලොකුත්තර යි භූමි වශ‍යෙන් සතර ආකාර වන අත කුශල – විපාක – ක්‍රියා වශයෙන් තුන් වෑදැරුම් වෙති. කුශල හා විපාක සිත් සිවු භූමීන්හි ම පහළ වන අතර ක්‍රියා සිත් පහළ වන්නේ ලොකොත්තර භූමියෙහි හැරැ ඉතිරි භූමියෙහි ය. හෙද රහතන් වහන්සේට පමණි.

කුශල හා විපාක චිත්තයෝ ලෞකික ලොකොත්තර වශයෙන් දෙකට බෙදෙති. ලෞකික කුසල් සිත් විපාක දීමට පැය ගණන් දින ගණන් මාස – වර්ෂ ගණන් ජාති හා කල්ප ගණන් ගත විය හැකි වේ. ලොකොන්තර කුසල් සිත් විපාක දීමට එ බඳු කාලයක් ගත නො වේ. එ හෙයින් අකාලික . ලෞකික කුශල හා විපාක සිත් එ නමින් ම හදුන්වන අතර ලොකොත්තර කුසල් සිත් මග්ග = මාර්ග= මග නමින් ද විපාක සිත් ඵල = පල නමින් ද හඳුන්වනු ලැබේ. එ හෙයින් සොතාපත්ති – සකදාගාමි- අනාගාමි – අරහත්ත යන මාර්ග සිත් සතර ලොකොත්තර කුසල් සිත් ලෙසත් සොතාපත්ති ආදි ඵල සිත් සතර ලොකොත්තර විපාක සිත් ලෙසත් සැලැකේ.

අකාලික – අරුත් විවරණ

අකාලික යන දහම් ගුණ පදය විශුද්ධිමාර්ගය ආදි අටුවාවන්හි විග්‍රහ වන්නේ මෙ සේ ය: “අත්තනො ඵලදානං සන්‍ධාය නාස්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිහෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලං දෙති” – තමන් ගේ හෙවත් තමන් විසින් කරන ලද කුශල කර්‍මයාගේ ඵලදානය හෙවත් විපාක දීම සඳහා බැලිය යුතු කාලයක් නැත්තේ නු යි අකාල නම් වේ. අකාලය ම අකාලික යි. ලෞකික කුශලයනට මෙන් විපාක දීමට පස් දින සත් දින ආදි හෙද ඇති කාලය ගෙවා පල නො දේ. තමන් ගේ හෙවත් ලොකොන්තර කුශල කර්‍මයාගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ.[3]

අකාලිකං = මග්ගානන්තරං ඵලූප්පත්තිතො න කාලන්තරෙ පත්තබ්බ ඵලං” – මඟසිතට අනතුරු වැ පලසිත ලැබෙනුයෙන් කාලාන්තරයෙකින් පත් විය යුතු පලයක් නො වන්නේ අකාලික යි.[4]යො එත්‍ථ අරියමග්ග ධම්මො සො අත්තනො සමනන්තරමෙව ඵලං දෙතීති අත්‍ථො”- මෙහි යම් ආර්යමාර්‍ග ධර්‍මයෙක් වේ ද ඒ ආර්යමාර්‍ගධර්‍මය තමන් ගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ යනු අර්ථ යි.[5] මඟසිතට අනතුරු වැ ම පලසිත ලැබේ කී සේ යි, “ඉදං මග්ගමෙව සන්‍ධාය වුත්තං”- මේ අකාලික පදය මාර්‍ගය ම සඳහා කියන ලදී.[6] මෙ තෙක් කළ විස්තරයෙන් ප්‍රකාශ වන්නේ අකාලික යනු සෝවාන් ආදි ලොකොත්තර මාර්‍ගචිත්තයෝ ම ය.

“යම්බුද්‍ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තෙන සමො න විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු”

“බුද්‍ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්තරිශුද්ධ වූ යම් මාර්‍ගසමාධියක් වර්‍ණනා කෙළේ ද බුද්‍ධාදීහු ආනන්තරික (අනතුරු ව ම පල දෙන) සමාධිය යැ යි යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්යමාර්ගධර්‍මය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේ වා.” [7]

මෙහි ප්‍රකාශ වුණු ආනන්තරික සමාධියද අර්‍ථකථාචාර්යයන් වහන්සේ, “යං ව අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලප්පදානතො ආනන්තරිකසමාධීති ආහු” – තමන් ගේ හෙවත් මාර්‍ගචිත්තායා ගේ පැවැත්මට අනතුරු වැ නියමයෙන් ම පල දෙන හෙයින් ආනන්තරික සමාධි යැ යි කියති [8] යි මගසිතට අනතුරු වැ ම පලසිත ලැබෙන බව පැහැදිළි කළ හ. පට්ඨානප්පකරණයෙහි ප්‍රත්‍යයන් විස්තර කරන තැන මාර්‍ග ඵලයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ යනුවෙන් මගසිතට අනතුරු වැ ම පලසිත ලැබිම ප්‍රකාශ කළ හ.

මෙ තෙක් පළ වුනු කරුණු අනු වැ අකාලික නම්, කල් නො යවා පල දෙන හෙවත් මගසිතට අනතුරු වැ (චිත්තක්‍ෂණ මාත්‍රයෙකින් වත් අතර නැති වැ) පල දෙන හෙයින් ලොකොත්තර මාර්‍ගචිත්තයෝ ය. මෙය අටුවා ඇදුරුපාණන් ගේ කාලයේ පටන් අද දක්වා සිටින ධර්‍මාචාර්ය වරුන් ගෙන් සියයට අනූනවයක පිළිගත් මතය යි.

මේ අතරැ බම්බලපිටියේ වජිරාරාමවාසී සොම හා ඛෙමින්‍ද තෙරුන් වහන්සේ දෙ නම අකාලික වචනය ගැන පරීක්‍ෂණයක් කළ හ. ඛෙමින්‍ද තෙරුන් වහන්සේ බුද්‍ධවචනය අනුවැ මගසිතට අනතුරු වැ පලසිත ලැබිය හැක්කාක් මෙන් ම මාර්ගය ලැබී පැය ගණන් දිග ගණන් මාස ගණන් අවුරුදු ගණන් පසු වීත් ඵලය ලැබිය හැකි බව පෙන්වා දෙති. මෙ බඳු කරුණුවල දී එක වර පිළිගන්නේත් නැති වැ එක වර ප්‍රතික්‍ෂෙප කරන්නේත් නැති වැ බුද්ධොපදෙශය අනුවැ සුපරීක්‍ෂ්‍යකාරීවැ සොයා බැලිය යුතු වේ.

බුද්ධාගම ප්‍රඥාවට මුල් තැන දෙනවා විනා අන්‍ධවිශ්වාසයට තැනක් දෙන්නේ නැත. එ හෙයින් අන්‍ධවිශ්වාසයට ලොකු තැනක් දී තුබුණු කාලයෙකැ පහළ වූ බුදුරජාණන් වහන්සේ, “නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති” – නො සිතන තැනැත්තේ විශෙෂ දියුණුවකට නො පැමිණේ යි වදාරමින් ශ්‍රාවකයන් සිතන්නට පුරුදු පුහුණු කළ හ.

මානව නිදහසක් නැති වැ නොයෙක් ආගමික නීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳතුබුණු කාලයෙකැ උපන් බුදුරජණන් වහන්සේ අන් කිසි ම ශාස්තෘවරයකු නො දුන් තරමේ මානව නිදහසක් කාලාම සූත්‍රයෙන් දී වදාළ හ.

“කාලාමයෙනි, එව, 1. අනුශ්‍රව‍‍යෙන් වත් හෙවත් මුඛ පරම්පරාවෙන් අසාගෙනැ එන ආරංචි මාත්‍රයෙන් වත්, 2. පරම්පරාගත කථාවෙන් වත් හෙවත් මෙය අපේ පිය මුතුන් මිත්තන් ගේ උපදෙශ පරම්පරාවෙන් ගෙනැ එන ලද්දෙකැ යි කියා වත් 3. යමකු කී පමණින් මෙය මෙ සේ විය යුතු යැ යි පිළිගැනීමෙන් වත්, 4. පිටක සම්ප්‍රදායෙන් වත් හෙවත් තමා උගත් පොතට එකඟ යැ යි කියාවත් 5. තර්‍කානුකුල යැ යි ගැනීමෙන් වත් හෙවත්, සෑහෙන කරුණු නැති ශුෂ්ක තර්‍ක මාත්‍රයෙන් වත්, 6. න්‍යායානු කුල යැ යි සෑහෙන හේතු නැති වැ අනුමානයෙන් ගැනීමෙන් වත්, 7. ආකාර පරිවිතර්‍කයෙන් වත් හෙවත් මෙය මේ ආකාරයෙන් විය යුතු යැ යි තමා ම හදාගත් විතර්‍කයන් ගෙන් වත්, 8. තමා ම සිතා ඇතුළෙහි රඳවාගත් දෘෂ්ටිය හා සැසැඳේ ය කියා වත්, 9 යමක් කියන තැනැත්තා ගේ උසස් බව සැලැකීමෙන් වත්, 10. මෙය කියන ශ්‍රමණයා උත්තමයෙකැ ගුරුවරයෙකැ යි කියා වත් යමක් පිළිගත යුතු නො වේ. මේ දහම්හු කුසල් හ, මේ දහම්හු නිවැරදි ය, මේ දහම්හු නුවණැත්තන් විසින් පසස්නා ලද්දාහු ය, මේ දහම්හු සම්පූර්‍ණ කොට ගන්නා ලද්දාහු පිළිපදිනු ලබන්නාහු සුව පිණිස පවතින්නා හ යි තෙමේ ම දැනගන්නේ නම් පිළිගත යුතු වේ”.[9]

‘මහාපදෙස’ ධර්‍මන්‍යාය

මෙ සේ ශ්‍රාවකයන් හිතන්නට උන්නදු කළ, පුරුදු පුහුණු කළ, චින්තන ශක්තිය දියුණු කළ බුදුරජණන් වහන්සේ සිතීමේ කලාවත්, අක්‍රමවත් වැ සිතීමෙන් වන විනාශයත්, ක්‍රමවත් වැ සිතීමෙන් වන ශාන්තියත් දේශනා කළ හ. සිතීමෙ පලවත් හා ක්‍රමවත් කිරීමට මහාපදෙස ධ‍ර්‍මොපදෙශය දුන් හ.

“ඉධ භික්ඛවෙ හික්බු ඵවං වදෙය්‍ය, සම්මුඛාමෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො අයං සත්‍ථුසාසනන්ති. තස්ස භික්ඛවෙ භික්බුනො භාසිතං නෙව අභිනන්‍දිතබ්බං න පටික්කොසිතබ්බං, අනහිනන්‍දිත්‍වා අප්පටික්කොසිත්‍වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්‍වා සුතෙන ඔතාරෙතබ්‍බානි විනය සන්‍දස‍්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්‍දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරත්ති න විනයෙ සන්‍දිස්සන්ති නිට්ඨමෙතං ගන්තබ්බං: අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්බුනො දුග්ගහීතන්ති ඉති ඉදං භික්ඛවෙ ඡඩ්ඩෙය්‍යාථ… තානි චෙ සුත්තෙ ඔතරියමානානි විනයෙ සන්‍දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්‍දිස්සන්ති නිට්ඨමෙතං ගන්තබ්බං: අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්‍ධස්ස. ඉමස්ස ච භික්බුනො සුග්ගහීතන්ති ඉමං භික්ඛවෙ පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ.”

“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, ‘ඇවැත්නි මේ ධර්‍මය යි, මේ විනය යි, මේ ශාස්තෘශාසනය යි මා විසින් බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී අසන ලද, පිළිගන්නා ලද යැ’යි කියයි. මහණෙනි, ඒ භික්ෂුව ගේ කියමන සතුටින් නො පිළිගත යුතුය, ප්‍රතික්‍ෂෙප ද නො කළ යුතු ය. සතුටින් නො පිළිගෙන ප්‍රතික්‍ෂෙප ද නො කොට ඒ පදව්‍යඤ්ජනයන් මනා කොට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය, විනයෙහි ලා සැසැඳිය යුතුය. ඉදින් ඒ ධර්‍ම විනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි ලා සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො ම බසිත් ද, විනයෙහි ලා නො සැසැ‍ඳෙත් ද, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනය නො වේ’ යැ යි නිෂ්ඨාවට යා යුතු ය, නිගමනයට පත් විය යුතු ය. මහණෙනි, මෙය ඒ භික්‍ෂුව විසින් වරදවා වටහාගන්නා ලද්දෙකැ යි හළ යුතු ය. ඉදින් ඒ ධර්‍ම විනයයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි ලා සසදනු ලබන්නාහු සූත්‍රයෙහි ලා බසිත් ද, විනයෙහි ලා සැසැඳෙත් ද, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචනය යි. මෙය ඒ භික්‍ෂුව විසින් මනා කොට ගන්නා ලද්දෙකැ’යි නිෂ්ඨාවට යා යුතු ය, නිගමනයට පත් විය යුතු ය. මහණෙනි මෙ සේ මේ පළමු මහාපදෙසය සිත් හි ලා දරවු.”[10]

මෙ සේ වදාළ ධර්‍මන්‍යාය හෙවත් සිතීමේ කලාව අනුවැ දහම් පදයක් එකවර පිළිගත යුතු ද නො වේ, හළ යුතු ද නො වේ. එය ධර්‍මයෙහි ලා විනයෙහි ලා සසඳා බලා ම පිළිගත යුතුවේ, හළ යුතු ද වේ. අකාලික = කල් නො යවා විපාක දෙයි. එ නම් මඟසිතට අනතුරු වැ පලසිත සැබේ යන පිළිගත් මතයට අතිරෙක වැ මඟසිත ලැබී පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වීත් පලසිත ලැබේ යන මතය සලකා බැලිමට ත්‍රිපිටක පාලි යෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ ද?

මේ කරුණ සලකා බැලීමට චිත්තක්‍ෂණ හා පුද්ගල යන දෙ කරුණ මනා වැ වටහා ගත යුතු ‍වේ. නාමරූපජීවිතෙන්‍ද්‍රියයා ගේ ප්‍රබන්‍ධය – සමවාය – එකතුව සත්ත්වයා යැ යි කියනු ලැබේ. නාමය විත්තක්‍ෂණයක් පාසා ද රූපය චිත්තක්‍ෂණ 17 ක් පාසා ද වෙනස් වේ. චිත්තයා ගේ වේගයෙහි ප්‍රමාණය දැක්වීමට උපමාක් නැතැ යි කියනු ලැබේ. සාධකයක් හැටියට කියතොන් ඉතා ක්‍ෂණික වැ සිදු වන විදුලිය කෙටීමේ දී එය දෘෂ්ටිපථයට වැටෙන විට චිත්තක්‍ෂණ රාශියක් ගත වී අවසාන ය.

ත්‍රිපිටකයෙහි බොහෝ තැන්වල සදහන් වන සත්තසෙඛඅට්ඨ අරිය පුග්ගලදස ආහුනෙය්‍ය යන පුග්ගලයන් ද නුවණින් මැදහත් වැ සලකා බන්න. මඟසිතට අනතුරු වැ පලසිත ලැබෙයි යන න්‍යාය අනුවැ ගත්තොත් සත්තසෙඛයෝ වත් අට්ඨඅරියපුග්ගලයෝ වත් දස ආහුනෙය්‍ය පුග්ගලයෝ වත් නො ලැබෙති. මඟසිත අනතුරු වැ පලසිත ලැබෙන්නාක් මෙන් ම මඟසිත ලැබි පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වී ද පලසිත ලැබෙයි යන න්‍යාය අනුවැ ගත්තොත් සත්තසෙඛයෝ, අට්ඨඅරිය පුග්ගලයෝ හා දසආහුනෙය්‍ය පුග්ගලයෝ ද ලැබෙති.

සත්තසෙඛා

කතමො ච පුග්ගලො සෙඛො: වත්තාරො මග්ගසමඞ්ගිනො තයො ඵලසමඞ්ගිනො පුග්ගලා සෙඛා, අරහා අසෙඛො” – කවර පුද්ගලයෙක් ශෛක්‍ෂ වේ ද යත්: මාර්‍ගස්ථ පුද්ගලයෝ සතර දෙන යැ ඵලස්ථ පුද්ගලයෝ ති දෙන යැ යන මොවුහු ශෛක්‍ෂයෝ යැ. අරහත් තෙමේ අශෛක්‍ෂ යැ[11] යන මෙහි මග්ගසම්ඞ්ගී සතර දෙනා චිත්තක්‍ෂණ වශයෙන් නො වැ පුද්ගලයන් වශයෙන් බව මනා වැ පැහැදිළි ය.

අට්ඨපුරිසපුග්ගලා

ත්‍රිපිටකයෙහි අර්යසඞ්ඝයා ගේ ගුණ හැම තැන ම පැවැසෙන්නේ මෙ සේ ය: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ඡලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.”

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාකසඞ්ඝ තෙමේ සුපටිපන්න යැ, උජුපටිපන්න යැ, ඤායපටිපන්න යැ, සාමීචිපටිපන්න යැ. යම් මේ පුරිසයුග සතරෙක් වේ ද පුරිසපුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවකසංඝ තෙමේ ආහුනෙය්‍ය යැ, පාහුනෙය්‍ය යැ, දක්ඛිණෙය්‍ය යැ, අඤ්ජලිකරණීය යැ, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර යැ.

මෙහි සදහන් අට්ඨපුරිසපුග්ගලා = පුරිසපුග්ගලයෝ අට දෙනෙක යන්න ත්‍රිපිටක පාලියෙහි විස්තර වන්නේ මෙ සේ ය:

(ග්‍රන්‍ථ මහත්ත්වය සලකා සිංහල තෙරුම පමණක් පහත දැක්වේ)

“මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්. කවර අට දෙනෙක යත්:

සොතාපන්න ය, සෝවාන් ඵල පසක් කිරීම පිළිපන්නේ ය. සකදාගාමී ය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමි ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීම පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති -පෙ- ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙති.”[12]

පුග්ගලපඤ්ඤත්තියෙහි අට්ඨක නිද්දෙසයෙහි අට්ඨපුරිසපුග්ගලයන් විස්තර කරන්නේ මෙ සේ ය:

“ඔවුනතුරෙහි චතුර්විධ මාර්ගයෙන් යුක්ත වු චතුර්විධ ඵලයෙන් යුක්ත වු පුද්ගලයෝ කවර හ යත්:

සොතාපන්න යැ, සොතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, සකදාගාමී යැ, සකදාගාමිඵලය සාක්‍ෂත් කරනු පිණිස පිළිපන්නේ යැ, අනාගාමී යැ, අනාගාමිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, අර්හත් යැ, අර්හත්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ යන මොහු චතුර්විධ මාර්ගයෙන් යුක්ත වු චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.”[13]

දක්ඛිණාවිභඞ්ග සූත්‍රයෙහි විස්තර කරන තුදුස් පෞද්ගලිකදාන අතුරෙන් දාන අටක් මෙ සේ ය:

“අර්හත් තථාගත ශ්‍රාවකයා විෂයයෙහි දන් දෙයි, රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂ‍යයෙහි දන් දෙයි , ආනාගාමී හට දන් දෙයි, අනාගාමීපල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, සෙද ගැමි හට දන් දෙයි, සෙදගැමිපල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, සෝවාන්හු කෙරෙහි දන් දෙයි, සෝවාන්පල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි.”[14]

තෙවළා දහමෙහි මාර්‍ගස්ථයා හා ඵලස්ථයා දෙ දෙනකු හැටියට ඉතා පැහැදිළි වැ ප්‍රකාශකොට තිබිය දී ඇතැම් අර්‍ථකථාචාර්යයන් වහන්සේ අට්ඨපුරිසපුග්ගල යන්න විග්‍රහ නො කොට ම අර්‍ථකථා විවරණය කැරැ ඇත. මෙ සේ වීමට හේතුව මහාඅට්ඨකථාචරිය බුද්ධඝොස මාහිමියන් වහන්සේ මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ යී ගත් තීරණය විය හැකි ය. එහෙත් අර්‍ථකථාචාර්ය ධම්මපාල මාහිමියන් වහන්සේ ත්‍රිපිටක පාලියට අනුකූල වැ අට්ඨපුරිසපුග්ගලා යන්න විස්තර කෙළේ මෙ සේ ය: “අට්ඨපුරිසපුග්ගලාති පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො පඨමඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨපුරිසපුග්ගලා” – අට්ඨපුරිසපුග්ගලා යනු පුරිසපුග්ගල වශයෙන් ප්‍රථම මාර්ගස්ථයා එකෙකි, ප්‍රථම ඵලස්ථයා එකෙකි. මේ නයින් පුරිසපුග්ගලයෝ අට දෙනෙකි.[15]

අකාලික යන්නෙහි තේරුම මගසිතට අනතුරු වැ පලසිත පහළ විම පමණක් නම් සෝවන් සෙදගැමි අනගැමි රහත් යන පලයන් පසක් කරනු සදහා පිළිපන්නාවුන් කෙරෙහි දන් දෙන්නේ කෙ සේ ද? බුදුරජණන් වහන්සේ ගේ මේ දේශනාව හා අටුවා විවරණය නො සැසැ‍ඳේ ම ය.

දස ආහුනෙය්‍යා පුග්ගලා

“මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්හ ද ප්‍රාහුනාර්හ ද දක්‍ෂිණාර්හ ද අඤ්ජලිකරණාර්හ ද ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙත්. කවර දස දෙනෙක යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධය හ, ප්‍රත්‍යෙක බුද්ධය හ, උභතොභාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂි ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගොත්‍රභූ යි.”[16]

මෙයින් ධර්‍මානුසාරී ශ්‍රද්ධානුසාරී යන ‍දෙදෙනා කවරහු දැ යි මෙහි ලා සලකා බැයිල යුතු වේ.

“ධම්මානුසාරී: ධම්මොති පඤ්ඤා, පඤ්ඤාපුබ්බඞ්ගමං මග්ගං භාවෙතීති අත්‍ථො. සද්ධානුසාරිම්හිපි එසෙව නයො. උභොපෙතෙ සොතාපත්තිමග්ගට්ඨායෙව.” ධම්මානුසාරී සද්ධානුසාරී දෙ දෙනා ම මාර්‍ගස්ථයන් බව පැහැදිළි ය.[17]

කතමො ච පුග්ගලො ධම්මානුසාරී: යස්ස පුගග්ලස්ස සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති පඤ්ඤාවාහී පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුගග්ලො ධම්මානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුගග්ලො ධම්මානුසාරී. ඵලෙ ඨිතො දිට්ඨිප්පත්තො.”

කතමො ච පුග්ගලො සද්ධානුසාරී: යස්ස පුගග්ලස්ස සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුගග්ලො සද්ධානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුගග්ලො සද්ධානුසාරී. ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.”

“කවර පුද්ගලයෙක් ධම්මානුසාරී වේ ද යත්: සොතාපත්ති ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හු ගේ ප්‍රඥෙන්‍ද්‍රියය බලවත් වේ ද. ප්‍රඥව එළවන සුලු ප්‍රඥා පූර්‍වංගම වූ ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල ධර්‍මානුසාරි යැ යි කියනු ලැබේ. සෝවාන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ධර්‍මානුසාරී වෙයි. ඵලයෙහි සිටියේ දෘෂ්ටිප්‍රාප්ත යි.”

“කවර පුද්ගලයෙක් ශ්‍රද්ධානුසාරි වේ ද යත්: සොතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක් හු ගේ ශ්‍රද්ධෙන්‍ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව ඵළවන සුලු වූ ශ්‍රද්ධා පූර්‍වංගම වු ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල තෙමේ ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. සෝවාන්පලය පසක් කරනු පිණිස පිළිපන් පුදගල තෙමේ ශ්‍රද්ධානුසාරී වෙයි. ඵලයෙහි සිටියේ ශ්‍රද්ධාවිමුක්ත යි.”[18]

“මහණෙනි, ඇස අනිත්‍ය ය, පෙරළෙන සුලු ය, වෙනස් වන සුලු ය. කන නැහැය දිව කය මන ද එ සේ ම ය.

මහණෙනි. යමෙක් මේ ධර්‍මයන් මෙ සේ අදහයි ද, ශ්‍රද්ධාවෙන් මිදීමක් ලබයි ද, ආර්‍ය්‍යමාර්ගයට පැමිණියේ සත්පුරුෂ භූමියට පැමිණියේ පෘථග්ජනභූමිය ඉක්මවා සිටියේ, නිරය තිරච්ජානයොනිය ප්‍රේතවිෂය යන තන්හි උපදනට සුදුසු කර්‍ම කිරීමට අභව්‍ය වේ.” සෝවාන්පලය සාක්‍ෂාත් නො කොට කාලක්‍රියා කිරීමට ද අභව්‍ය වේ.”[19] ධර්‍මානුසාරී පුද්ගලයා ගැන ද මෙ සේ ම දෙශනා කොට ඇත.

ඨිතකප්පී

“කවර පුද්ගයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම්, කල්පය තමාත් දැවෙන වේලාව වේ නම්, යම් තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සා‍ක්‍ෂාත් නො කෙරෙහි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිත කල්පී යැයි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.”[20]

අර්‍ථකථාචාර්යයන් වහන්සේ ස්ථිතකල්පී පුද්ගලයා ගැන දීර්‍ඝ විස්තරයක් කොට ඇත. මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ යන්න පමණක් පිළිගත්තොත් මේ බුද්ධවචනයට සිදු වන්නේ කුමක් දැ යි නුවණින් සලකා බලන්නේ මැනැවි.

චතුර්විධ පුද්ගලයෝ

ධර්‍මය අවබෝධ කරන ආකාර වශයෙන් පුද්ගලයෝ සතර දෙනෙකි.

  1. උද්ඝටිතඥ = දහම් පදයක් කනෙහි වැටුණු කෙණෙහි ම නිවන් පසක් කරන්නාහු ය. සැරියුත් මහරහතන් වහන්සේ වැනි අය වෙති.
  2. විපචිතඥ = දහම් පදයක් විස්තර කළ කෙණෙහි නිවන් පසක් කරන්නාහු ය. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැනි අය වෙති.
  3. නෙය්‍ය = ධර්‍මය ඉගැනීමෙන් හා පිළිපැදීමෙන් ද පසු වැ එ ම ජාතියෙහි ම නිවන් පසක් කරන්නාහු ය. චක්බුපාල මහරහතන් වහන්සේ වැනි අය වෙති
  4. පදපරම = ධර්‍මය මනා වැ ඇසුවත් මනා වැ පිළපැද්දත් එ ම ජාතියෙහි ම නිවන් පසක් නොකරන්නාහු ය. සච්චක පඬිතුමා වැනි අය වෙති.

උද්ඝටිතඥ හා විපචිතඥයෝ ධර්‍මය අසා නිවන් පසක් කන්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ ධර්‍මය අසා මාර්ගය වඩා නිවන් පසක් කරන්නාහු වෙති. ධර්‍මය අසා සතරමඟ සතරපල පිළිවෙළින් රහත් වන්න වුනට මඟසිතට අනතුරු වැ පලසිත ලැබි ඇත. මාර්ගය වඩා නිවන් පසක් කරන්නවුන් ගෙන් සමහරුනට මඟසිතට අනතුරු වැ පලසිත ලැබි ඇත. සමහරුනට මඟසිත ලබා පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වී පලසිත ලැබි ඇත. එ සේ නොවන්න ආර්යපුද්ගයෝ අට දෙනෙක් ලැබෙන්නේ නැත.

න්‍යායානුකූල වැ සිතීම

න්‍යායානුකුල වැ සිතීමට මහාපදෙස දෙසනා ඉදිරිය ගත යුතු ය. මුල් තැන බුද්ධවචනයට ය, දෙ වැනි තැන අටුවාවනට ය, තෙ වැනි තැන ටීකාවනට ය, සිවු වැනි තැන සංග්‍රහ ග්‍රන්‍ථයනට ය. බුද්ධවචනය අනුවැ මඟසිතට අනතුරු වැ පලසිත ලැබිය හැක්කාක් මෙන් ම මඟසිත ලැබී පැය – දින – සති – මාස – අවුරුදු ගණන් ගත වී ද පලසිත ලැබිය හැකි ය. බුද්ධඝොෂාචාර්යපාදයන් වහන්සේ ගේ මතය අනු වැ මගසිතට අනතුරු වැ පලසිත ලැබිය යුතු ම ය. එහෙත් එය පිළිගත්තොත් ආර්යපුද්ගලයන් අට දෙනෙක් ලැබෙන්නේ නැත. එය බුද්ධවචනය හා සැසැ‍ඳෙන්නේත් නැත. එ හෙයින් අවුරුදු දහස් ගණනක් පාරම්පරික වැ ගෙනාවේ යැ යි බුද්ධඝොෂාචාර්යපාදයන් වහන්සේ ගේ මතයෙහි ම එල්බ සිටින්නේ නැති වැ බුද්ධවචනය හා සසඳා බලන්නේ මැනැවි.

 

ත්‍රිපිටක ධර්‍මකෝෂය – 1 වෙළුම 2 කලබ

ප්‍රඥාප්‍රභා 1

 

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

[1] අංගුත්තර නිකාය i. (බුද්ධජයන්ති මු.) 279 පි.

[2] ධම්මපද (බුද්ධජයන්ති මු.) 26 පි.

[3] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මු.) 159 පි.

[4] සුත්තනිපාතට්ඨකථා (හේවාවිතාරණ මු.) 375 පි.

[5] චුල්ලනිද්දේසට්ඨකථා (හේවාවිතාරණ මු.) 64 පි, සංයුත්තනිකායට්ඨකථා I (එම) 34 පි.

[6] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මු.) 160 පි.

[7] ඛුද්දකනිකාය (බුද්ධජයන්ති මු.) 8 පි.

[8] එහි අටුවාව (හේවාවිතාරණ මු.) 119 පි.

[9] අංගුත්‍තරනිකාය (බුද්ධජයන්ති මු.) 340 පි.

[10] දීඝනිකාය ii. (බුද්ධජයන්ති මු.) 192 පි.

[11] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.

[12] අංගුත්තරනිකාය v. (බුද්ධජයන්ති මු.) 254 පි.

[13] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 404 පි.

[14] මජ්‍ඣිමනිකාය (බුද්ධජයන්ති මු.) 522 පි.

[15] ඉතිවුත්තකට්ඨකථා (හේවාවිතාරණ මු.) 224 පි.

[16] අංගුත්තරනිකාය (බුද්ධජයන්ති මු.) 42 පි.

[17] අංගුත්තරනිකායට්ඨකථා (හේවාවිතාරණ මු.) 699 පි.

[18] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 270, 272 පි.

[19] සංයුත්තනිකායට්ඨකථා ii. (හේවාවිතාරණ මු.) 252 පි.

[20] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.
පඤ්චප්පකරණට්ඨකථා (හේවාවිතාරණ මු.) 28 පි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.