දිය ගොඩ දෙකම ජයගත් අප නොදුටු ගැමුණු …

සොබාදහමේ සමහර සංසිද්ධීන් භෞතිකවාදී නියාමන ඉක්‌මවා යයි. චමත්කාරය ගැබ්වන්නේ ඒ විසංවාදය තුළය. කාලනිර්ණ දත්ත පැමිණියේය. එම දත්ත පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් නිල වශයෙන් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කළේය. කාලනිර්ණ දත්ත අනුව ලී කැබලි අදට අවුරුදු දෙදහස්‌ දෙසියයක්‌ ඈතට දිවගියේය. අරුමයකි. නැව අවුරුදු දෙදහස්‌ දෙසීයක්‌ පැරණිය. මේ නැව පුරාණ ගොඩවාය වරාය අසල ගිලී යන කාලයේ රට හොබවනු ලැබුවේ සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණුය.

අපේ මිනිස්‌සුනට මුහුදේ ලකයක්‌ නැත. අපේ ඉතිහාසයේ උත්පත්ති කතාවත් උපදින්නේ මුහුදේ රැළි අතරිනි. ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට අනුව සමුදුරු තරණය කරමින් කළ රටේ ආනයන අපනයන වෙළෙඳාම ගැන පැරණිම පුරාවිද්‍යා සාධක ලැබෙන්නේ විජය මෙහි එන්නටත් අවුරුදු දෙසීයකට පමණ එපිටදීය. ඒ තොරතුරු ලැබෙන්නේ අනුරාධපුර ඇතුළු නුවර පිහිටි පුරාණ සශ්‍රීක වෙළෙඳ නගරය ඇසුරෙහිදීය. ඒ කතාව වංශකතා වල ලියෑවී නැත.

රටේ මිනිස්‌සුන් ගැන කියවෙන මුල්ම වංශකතා ප්‍රවෘත්තියත් සමුද්‍ර ප්‍රයාණයකට සම්බන්ධ වූවකි. ක්‍රිස්‌තු පූර්ව පස්‌වන සියවසේදී විජය ඇතුළු පන්සියයක පිරිස ඉන්දියාවේ සිට රටට පැමිණෙන්නේ මුහුදෙනි. එසේ පැමිණ ලංකාවේ රජවන විජය ඉන්දියාවේ මධුරාපුරයෙන් විවාහයට කුමාරියන් සොයා ගන්නේත්, තමුන්ට පසු රජකමට අනුප්‍රාප්තිකයන් සොයන්නේත් මුහුද තරණය කරමිනි. අපේ ඉතිහාසයේ මුල් කාර්තුව මුළුමනින්ම නිර්මාණය වන්නේ සමුද්‍ර ප්‍රයාණයන් ඇසුරෙහිය.

see3                                                               මුහුදු පත්ලේ තැන්පත්ව තිබූ අයුරු

 

see2                                                                                        ගල් බංකුව

ක්‍රිස්‌තුපූර්ව යුගයේ දීත් අපේ මිනිස්‌සුන්ට නැව් තිබුණේය. රටේ උතුරු නැගෙනහිර මුහුදු තීරයේ ඉන්දියාව හා පහසුවෙන් ගනුදෙනු කළ හැකි ගෝකණ්‌ණ, මහාතිත්ථ, දඹකොළපටුන වැනි සශ්‍රීක තොටමුණු තිබුණේය. දේවානම්පියතිස්‌ස රජතුමාගේ කාලයේදී අරිට්‌ඨ කුමාරයා හරහා අශෝක අධිරාජ්‍යයා සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සිදුවන්නේ අපේ නැව් වලින් මුහුද තරණය කිරීමෙනි. මහින්දාගමනයත් මේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වල ප්‍රතිඵලයකි. සංඝමිත්තාව ශ්‍රී මහාබෝධිය වඩම්මවන ලද පුරාණ නැවේ කුඹගසත්, සුක්‌කානමත්, සුක්‌කානමේ ලීවරයත් එතුමිය වැඩවාසය කළ උපාසිකාරාමයේ එක්‌ මන්දිරයක තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා තැබිණි. ලෝකයේ මුල්ම සාමුද්‍රික කෞතුකාගාරය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේත් අපේ රටේය. ක්‍රිස්‌තු පූර්ව 19 සිට ක්‍රිස්‌තු වර්ෂ 9 තෙක්‌ රට කළ භාතිකාභය රජතුමා තමුන්ට සමකාලීන රෝම අධිරාජ්‍යයා වන ඔගස්‌ටස්‌ සීසර්ගේ රාජසභාවට රාජ දූතයන් යෑවීමට තරම් අන්තර්ජාතික සම්බන්ධතා දියුණු කරගත්තේය.

මහාථිත්ත, ගෝකණ්‌ණ, දඹකොළ පටුන, ගොඩවාය වැනි පුරාණ වරායන් ඇසුරෙහි මේ සාමුද්‍රික ප්‍රයාණයන්හි විශ්මය දනවන කතා තවමත් සැඟව ඇත. කාලයේ වැලිතලා අතර සැඟව ඇති එවැනි සිරිමත් රහස්‌ හෙළිවන විට ඉන් උපදිනා ප්‍රහර්ෂය අති මහත්ය. එවැනි කතාවක අපූරුව පසුගියදා ලෝකයට හෙළි වුණේය.

ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

අම්බලන්තොට ගොඩවාය අවට මිනිසුන් බොහෝමයක්‌ ජීවත් වන්නේ මුහුදු රස්‌සාවෙනි. සමහරු විසිතුරු මසුන් සොයන්නට හක්‌ බෙල්ලන් හොයන්නට මුහුද යට කිමිදෙන්නේය. සමහරු මුහුදු රස්‌සාවට දියඹට යන්නේය.

ඒ 2003 අවුරුද්දේ මාර්තු මාසයය. මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජර්මානු විශේෂඥ සහයද සහිතව ගොඩවාය පුරාණ වරයා අසල පිහිටි ගෝඨ පබ්බත විහාරයේ පුරාවිද්‍යා කැණීමක්‌ කරගෙන යමින් තිබිණි. එක්‌ දිනක හවස්‌වරුවේ බෙල්ලන් සොයන්නට මුහුද යට කිමිදුන ගොඩවාය පන්සල අසල ජීවත් වූ පේමින් කුමාර හා සුනිල් නමැති තරුණයන් දෙදෙනා අමුතු ආකාරයේ ගල් බංකුවක්‌ රැගෙන මේ කැණීම කරන පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන ආවේය.

see1
                                      මුහුදු පතුල ගවේෂණය

මේ වනවිට කැණීම් භාරව කටයුතු කරමින් සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරී ඩබ්ලියු. කේ සනත්ය. සුනිල් හා පේමින් හක්‌බෙල්ලන් සෙවීම සඳහා වෙරළේ සිට කිලෝමීටර තුනක්‌ පමණ එපිට ගැඹුරු මුහුදේ කිමිදෙන විට මීටර තිහක්‌ පමණ යට මුහුදු පත්ලේ තිබී මෙම ගල් බංකුව සොයාගෙන තිබිණි. ගල් බංකුව පිහිටි ප්‍රදේශය පුරා වළංකටු කැබලි විසිරී ඇති ආකාරය ඔවුන් පුරාවිද්‍යා නිලධාරින්ට විස්‌තර කළේය. මුහුදු පත්ලේ තිබිය නොහැකි මෙම ගල් බංකුව ඔවුන් ගොඩට රැගෙනවිත් තිබුණේ එහි ඇති අපූර්වත්වය නිසාය.

මෙවැනි ගල් බංකු කීපයක්‌ මීට පෙර යටාල වෙහෙරේ මළුව කැණීමේදීත්, තිස්‌ස අකුරුගොඩ හා සර්වෝදය වත්ත කැණීමේදීත් පුරාවිද්‍යා නිලධාරීහු සොයාගෙන තිබුණහ. ඒවා කීපයක්‌ යටාල කෞතුකාගාරයේද තැන්පත් කර තිබුණේය. මෙම ගල් බංකු ක්‍රිස්‌තු පූර්ව මුල් සියවස්‌ වලට අයත් යෑයි විශ්වාස කෙරිණි. ප්‍රථම වරට මුහුදු පත්ලෙන් හමුවූ මේ පුරාවස්‌තුවේ වටිනාකම පහදා දී ගල් බංකුව ගොඩවාය විහාරයේ තැබීම ස`දහා ඔවුන්ව එක`ග කරගන්නට පුරාවිද්‍යා නිලධාරීවරයා සමත් වූයේය. අනතුරුව ගල් බංකුව ගැන ශාස්‌ත්‍රීය ලිපි කිහිපයක්‌ ලියෑවිනි. ඉන් පසුව මේ පුරාවස්‌තුව ගැන ටික කාලයකට කාටත් අමතකව ගියේය.

එහෙත් මේ පුරාවස්‌තුව සහිත සමුදුරු පත්ල අතිශය වටිනා පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයක්‌ තිබිය හැකිය යන විශ්වාසය විද්වත් පිරිස්‌ තුළ තිබිණි. මහැදුරු ඔස්‌මන් බෝපෙආරච්චි එවැනි විශ්වාසයක්‌ සහිතව සිටි ජාත්‍යන්තර තලයේ ලාංකික විද්වතෙකි. ඔහුගේ යම් මැදිහත් වීමක්‌ ද සමග යුනෙස්‌කෝ ආධාර මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක්‌ 2008.11.18 දින යළිත් මේ සමුදුරු පත්ලේ සැඟවුණ පුරාවිද්‍යා භූමිය සොයා කිමිදුනේය. ඔවුන්ට මග පෙන්වන්නට මේ ස්‌ථානය මුලින්ම සොයාගත් පේමින් හා සුනිල් ද නාවික හමුදාවේ කිමිදුම් කණ්‌ඩායමක්‌ද එක්‌වී සිටියේය.

පුරාවිද්‍යාඥයන් පිරිස සහිත කණ්‌ඩායම ක්‍රමයෙන් අඩි සියයකට ආසන්න මුහුදු පත්ල වෙත කිමිදෙන්නට වූහ. අවසන ඔවුන් හමුවේ දිස්‌වූයේ නෙත් පුබුදුවාලන දැකුමකි. නිල් පැහැති නිශ්චල දියෙහි ගිලී ගිය විසිරුණු කොරල් පර වැනි ගොඩැලිය. ඒ අතර විසිරී ගිය මැටි බඳුන් කැබලිය. වර්ග මීටර සියයකට ආසන්න භූමියක විසිරී තිබුණ විවිධ ප්‍රමාණයේ විවිධ හැඩයේ අතිශය දුර්ලභ මැටිබඳුන් ද සහිත බඳුන් කැබලි කන්දරාව විස්‌මය දනවන සුළු විය. සමහර මැටි බඳුන් කැබලි මීටරයකටත් වඩා උස්‌ විනි. බැලූ බැල්මටම මේ රක්‌ත වර්ණ හා කාලරක්‌ත වර්ණ මැටි බඳුන් වසර දෙදහසක්‌ වත් පැරණි බව පෙනුණි. පුරා වසර දෙදහසක්‌ සමුදුර පත්ලේ නොසෙල්වී තිබූ මෙම පුරාවස්‌තු වල ශාන්තිය බිඳී යන මොහොත පැමිණ තිබුණේය.

ගවේෂණය ස`දහා කිමිදීම පුහුණුවී උපදවාගතයුතු හැකියාවකි. මීටර තිහකට වැඩි ගැඹුරක්‌ සහිත මුහුදු පත්ලක්‌ යට එක්‌ වායු ටැංකියකින් මෙවැනි ගවේෂණ කටයුත්තක්‌ සඳහා කිමිදීම සරල කටයුත්තක්‌ නොවේ. එවැනි කිමිදුම් කරුවෙකුට කිමිදිය හැකි උපරිම කාලය විනාඩි 20 කට සීමා වන්නේය. දිනකට කිමිදිය හැක්‌කේ එවැනි වාර දෙකක්‌ පමණි. එබැවින් කාල කළමනාකරණය කරගෙන මෙම කුහුල දනවන සුළු ගවේෂණය කිරීමේ ජාතික වගකීම පරීක්‌ෂණ කණ්‌ඩායම සතු විය.

දෙවැනි දිනයේදී කණ්‌ඩායම කොටස්‌ දෙදකට බෙදිනි. මුහුදු පත්ලට කිමිදුන මුල් කණ්‌ඩායම ක්‌ෂේත්‍රයේ ඇති සෑම දත්තයක්‌ම නිශ්චල හා වීඩියෝ කැමරාගත කළේය. අනෙක්‌ කණ්‌ඩායම ක්‌ෂේත්‍රය පරීක්‌ෂා කර මිනුම්ගත කිරීමෙන් පසු කාලනිර්ණ කටයුතු සඳහා පුරාවස්‌තු කීපයක්‌ ගොඩගැනීමට සැලසුම් කළේය.

වැදගත්ම තොරතුරු හෙළිදරව් වූයේ මේ මොහොතේය. කොරල් පර සේ පෙනුන ගොඩැලි කොරල් පර නොවුණි. ඒවා ගිලීගිය පුරාණ නැවක දැව කොටස්‌ විය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ නිශ්චල මුහුදු පත්ලේ තැන්පත්ව තිබූ මෙම දැව කොටස්‌ ස්‌වභාවික ශාක හා කොරල් ආවරණ තැන්පත්වීම නිසා ස්‌ඵටික ස්‌වරූපයක්‌ ගෙන තිබිණි.

දැව කොටස්‌ අතර විසිරීගිය බිඳුණු මැටි බඳුන් කැබලි තුළ වැලළී වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ නොබිඳී රක්‌ෂාවූ අතිශය වටිනා මැටි බඳුන් කීපයක්‌ ගවේෂකයෝ සොයාගත්හ. මේ වළං කැබලි අතර තිබී මැටිබඳුන් වර්ණාලේපිත කිරීමට යොදාගෙන තිබූ ග්ලේස්‌ නමින් හැඳින්වෙන වීදුරුමය ඛණිජ කොටස්‌ කීපයක්‌ ද හමුවූයේය. මෙම ද්‍රව්‍ය යළිත් උණුකර මැටි බඳුන් වල ආලේප කිරීමෙන් බඳුන් වලට ඔපයක්‌ හා කාන්දු නොවන ස්‌වරූපයක්‌ ලැබිණි. ගොඩට රැගෙන ආ මැටිබඳුන් හා කැබලි සංරක්‌ෂණ කණ්‌ඩායම විසින් සංරක්‌ෂණය කළේය. එහෙත් කාලනිර්ණ දත්ත සාම්පල ලබාගැනීමට සූදානම් වූ කිමිදුම් වාරය එළඹි දිනයේ අතිශය අයහපත් කාලගුණ තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය කළේය. පුරාණ වළවේ ගං මුවදොර පිටාර ගැලුවේය. බිහිසුණු දියවැල් පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය පිහිටි මුහුදු පත්ලට මීටර කීපයක්‌ ආසන්නයටම ගලාගෙන ගියේය. දින ගණනක්‌ කටයුතු පමාවිය. අවසනදී ක්‌ෂේත්‍ර කටයුතු අත්හැර දැමිණි.

පුරාවිද්‍යාඥයන්ට සිය දෙවන කිමිදීම් වාරයට කල් එළඹෙන්නේ ඊට වසර දෙකකට පසුවය. වර්ෂ 2010.12.07 සිට 18 දක්‌වා කාලය තුළ සංවිධානය වූ මෙම ගවේෂණ වාරයට මධ්‍යම සංස්‌කෘතික අරමුදල, යුනෙස්‌කෝ ආසියා පැසිපික්‌ කාර්යාලය හා නෙදර්ලන්ත මධ්‍යම සංස්‌කෘතික අරමුදල එක්‌වී සිටියේය. ගවේෂණය සඳහා ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් සමග ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, නියෝජනය කරනු ලබනා පුරාවිද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ සහභාගි වූහ. මේ ගවේෂණයේදී කාලනිර්ණ දත්ත ලබා ගැනුණි. වැල්ලෙන් යටවී තිබූ පුරාවස්‌තු නිරීක්‌ෂණය කෙරිණි.

අනතුරුව මුහුදු පත්ලෙන් රැගෙන ආ දත්ත සාම්පල කාබන් 14 කාල නිර්ණය සඳහා අහමදාබාද්හි භෞතික පර්යේෂණ ආයතනයටත් ගෝවාහි ජාතික සමුද්‍ර පුරාවිද්‍යා ආයතනයටත් යවනු ලැබීය. මේ වනවිට ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනය පවසා තිබුණේ මෙම පුරාවස්‌තු වසර දෙදහසකට වඩා පැරණි වුවද මෙම දැව කොටස්‌ වසර තුන්සියයකට වඩා පැරණි වීමට කිසිම ඉඩක්‌ නොමැති බවය. මේ ඝර්මකලාපික උණුසුම් මුහුදේ දැව කොටසක්‌ ඊට වඩා කාලයක්‌ රක්‌ෂා වී පැවතිය හැකිනම් එය ආශ්චර්යයක්‌ බව ඔවුන් පැවසුවේය.

එහෙත් සොබාදහමේ සමහර සංසිද්ධීන් භෞතිකවාදී නියාමන ඉක්‌මවා යයි. චමත්කාරය ගැබ්වන්නේ ඒ විසංවාදය තුළය. කාලනිර්ණ දත්ත පැමිණියේය. එම දත්ත පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් නිල වශයෙන් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කළේය. කාලනිර්ණ දත්ත අනුව ලී කැබලි අදට අවුරුදු දෙදහස්‌ දෙසියයක්‌ ඈතට දිවගියේය.

අරුමයකි. නැව අවුරුදු දෙදහස්‌ දෙසීයක්‌ පැරණිය. මේ නැව පුරාණ ගොඩවාය වරාය අසල ගිලී යන කාලයේ රට හොබවනු ලැබුවේ සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණුය. එවක සශ්‍රීකව පැවති ගොඩවාය වරාය නුදුරෙහි මීට අවුරුදු දෙදහස්‌ දෙසීයකට කලින් මෙසේ ගිලී යන්නේ මැටි භාණ්‌ඩ ප්‍රවාහනය කරනු ලැබූ වෙළෙඳ නැවක්‌ විය හැකි බව පැවසිනි. ඒ අනුව වරාය ක්ෂේත්‍රය කෙතරම් දියුණු මට්ටමක පවතින්නට ඇත්දැයි අපට වැටහේ. විශේෂයෙන් සංඝමිත්තා තෙරණිය පවා වැඩමකොට ඇත්තේ නැව් මගින් බව සදහන්ය. මේ අනුව බලන විට එවකට ැජකල දෙවනපෑතිස් රජතුමාගේ මුණුබුරු දුටුගැමුණු රාජ සමය වනවිට ඊටත් වඩා වරාය ක්ෂේත්‍රය දියුණුවන්නට ඇත.

අවුරුදු දෙදහසක්‌ තිස්‌සේ නිවර්තන කලාපික උණුසුම් කරදිය පත්ලෙහි නොවියෑකී රක්‌ෂා වූ මේ ඓතිහාසික නෞකාව ආසියා ෆැසිපික්‌ කලාපයේ මෙතෙක්‌ හමුවූ පුරාණම නෞකාව ලෙස හඳුනා ගැනුණි. මෙතෙක්‌ ඒ තැන හිමිකරගෙන සිටියේ ඉන්දුනීසියාවේ බෙල්ටූන් වලින් හමුවූ, වසර නවසියයක්‌ පමණ පැරණි ඉන්දු අරාබි දැව යාත්‍රාවකි.

සමුද්‍ර පත්ලේ සැඟව තිබූ මේ අසිරිමත් පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය විධිමත් සූක්‌ෂම ගවේෂණයක්‌ සඳහා ඇවැසි දත්ත ලබා ගැනීමට පසුගිය දෙසැම්බර් 8 සිට ජනවාරි 11 දක්‌වා කාලයේ ලෝකයේ විශිෂ්ටතම සමුද්‍ර පුරාවිද්‍යාඥ ජෝර්- බාස්‌ මහාචාර්ය වරයාගේ අයි.එන්.ඒ ආයතනයේ කෘතහස්‌ථ විද්‍යාඥයන් පිරිසක්‌ දේශීය සමුද්‍රික පුරාවිද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ සමග කිමිදුනේය. නව දත්ත සාම්පල රැගෙන ආවේය.

ඒ අතීත කතාව වියමනක්‌ සේ ඉදිරියේදි එළි දකිනු ඇත. පුරාණ ගොඩවාය වරාය ඇසුරෙහි එළිදක්‌නා මේ වියමන මිනිස්‌සුන්ගේ අපේක්‌ෂාවකි. අනාගතය ගැන බලාපොරොත්තු බිඳගත් මිනිස්‌සු මුහුදු පත්ලෙන් හෝ මතුවන මෙවැනි අතීත චමත්කාරයන් ප්‍රාර්ථනා කරන්නෝය. ඉන් ජීවිත බලාපොරොත්තු ඉපදෙන්නේය.

බ්‍රහ්මජාල සූත්‍රයෙන් හෙලිවන මහා පිපුරුම්වාදයේ මූලික න්‍යායයන් ...
බුදුහිමියන් පෙන්වා දුන් ස්ථූප ආකෘතියේ රහස කුමක්ද ?
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.