සම්බුදු සසුන රකිනා සුමන සමන් දෙවියෝ ... - IFBC Organization | Dhamma

සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට, වන්දනාවට පාත්‍ර වුනු දෙවි කෙනෙක්‌ විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවන්. සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ කරුණකරන සිංහල බෞද්ධයයා ඒ වන්දනා ගමනෙ හුඟාක්‌ තැන්වලදී සමන් දෙවියන්ගේ ගුණ වර්ණනා ක‍රනවා, පිහිට අයෑදිනවා. බුද්ධං සරණේ සිරස දරා ගෙන සිරිපාද කඳු මුදුනට හෙමින් සැරේ¨ ළං වෙන වන්දනාකාරයෝ ඒ ගමන් වෙහෙස නිමා ගන්නේ බුදු ගුණ කියලා. බුදු ගුණ කියන ගමන්ම ඒ සිරිපතුල කඳු මුදුනෙ කියන්ට කියලා ආරාධනා කරපු සමන් දෙවියනුත් මතක්‌ කරනවා.

සාසන බාරවූ විෂ්ණු දෙවියනේ
මේ හිම බාරවූ සමන් දෙවියනේ
දොසක්‌ තිබුණ මුත් දුරලා හරිනේ
වඳින්ට යන්නට අවසර ලැබෙනේ

මෙම් කවිය එන්නේ පුරාණ හිමගත වරුණ කියන පොතේ. මෙයින් කියෑවෙන විදිහට අපේ බුදු සසුන බාර වෙලා තියෙන්නේ විෂ්ණු දෙවියන් ගෙයි මේ හිම බාර වෙලා තියෙන සමන් දෙවියන්ගෙයි අවසරය, උදව් උපකාර නැතුව මේ නර පණුවන්ට ඒ ගමන යන්ට පුළුවනෑ. දෙවියන්ගෙ අඩවියකට යන ගමන බොහොම ගරු සරු ඇතිව වරම් ලබාගෙන යන්ටත් එපායෑ.


බෞද්ධයන්ගේ විශ්වාසය නම් මේ සිරිපා අඩවිය සුමන සමන් දෙවියන්ගෙම තමයි කියලා. ඒ උනාට ජිනකාලමාලිනී කියන පාලි පොතේ එන විදිහට රාමා ලක්‌ෂමණ, කතරගම, සමන් කියන දෙවිවරු හතර දෙනාම මේ සිරිපාදෙට අධිපතිලු. ඒ මොනව උනත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වගේම වාස භවනෙත් මේ සමනල කඳු වැටියෙම තිබුණු බවයි. මේ කඳු වැටි පෙළ සපරගමු කඳුවැටි කියලත් ඉස්‌සර හඳුන්වල තියෙනවා.

පූජාවලියෙ එන විදිහට නම් සමනල කන්දට අධිපති මේ සුමන සමන් දෙවියොම තමයි. බුදුහාමුදුරුවන්ගේ පළමු වැනි ලංකා ගමන සිදු උනේ මහියයංගණයටනෙ. ඒ කාලෙ ඒ ප්‍රදේශවල යක්‌ෂ ගෝත්‍රිකයො එහෙම ඉඳලත් තියෙනවනෙ. මේ ගෝත්‍රිකයන් අතර සටන් එහෙම සිදු වෙනවා. අන්න එහෙම මහ සටනක්‌ සිද්ධ වෙන අතර වාරෙ තමා බුදුහාමුදුරුවෝ අහසින් වැඩල අහසේම පලක්‌ බැඳගෙන ඉඳලා තියෙන්නේ. බුදුහාමුදුරුවො සෘද්ධි බලයෙන් ගිනි, දුම් එහෙම මවද්දී කව්රුත් බය උනාලු. මේ යක්‌ෂ දමනය කෙරෙන වෙලාව සමන් දෙවියනුත් බුදු බල මහිමෙ දැකල බොහොම පැහැදිල තියෙනවා. එවේලේ බුදුහාමුදරුවන්ගෙන් බණ අහපු දෙවිවරුන් සසර දුකින් මිදුණ කියලා පූජාවලියෙම තියෙනවා.

අපේ සමන් දෙවියනුත් එදා බණ අහල සෝවාන් වෙලා තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි සමන් දෙවියො බුදුහාමුදුරුවන්ගෙන් පූජාව සඳහා යමක්‌ ඉල්ලවලු. ඒ පාර බුදුහාමුදුරුවෝ සිරස පිsරිමැදල කේශධාතු ස්‌වල්පයක්‌ අරන් සමන් දෙවියන්ට දීලා තියෙනවා. මහියංගනය කියන චෛත්‍යයෙ තමා ඒ කේශධාතු නිදන් කළ බව කියන්නේ. ලංකාවෙ මුල් කාලවල හිටපු දෙවියන්ගෙන් සමහර දෙනෙකුට හින්දු උපතක්‌ තිබුණෙ. ඒ උනාට මේ සමන් දෙවියන් නම් පැහැදිලිව සිංහල බෞද්ධ දෙවි කෙනෙක්‌ බව මේ කරුණුවලින් පේනවනෙ. බුදුබණ අහල සෝවාන් වුන එකම දෙවියනුත් මේ සමන් දෙවියන්නෙ.

සමන් දෙවියන් ගැනත් නොයෙක්‌ ජනප්‍රවාද තියෙනවා. රාවණ රජතුමා සීතාව පැහැරගෙන ඇවිල්ල ලංකාවෙ හිරකරගෙන හිටියලුනෙ. සිතා සොයාගෙන රාම කුමාරයයි ලක්‌ෂමනයි ඇවිත් තියෙනවා. රාම සීතාව සොයාගෙන ආපහු ගියේ මේ ලක්‌ෂමන කුමාරය නවත්වලලු. මේ විදිහට නතර කරපු ලක්‌ෂමන පස්‌සේ ලක්‌සුමන වෙලා සුමන වූ බවත් හින්දුන් විශ්වාස කරනවා. ඒ උනාට බුදුබණ අහල සෝවාන් වීම නිසා සුමන සමන් දෙවියන් අපේ දේශීය සංස්‌කෘතියට අයිති බවයි වඩාත් පිළිගත්තු අදහස.

සමන් දෙවියන් නිරූපණය වෙන්නෙත් හරිම ශාන්ත විලාසයකටනෙ. මේ දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක්‌. සුදු ඇතාට කියන තවත් නමක්‌ තමයි ඇලි ඇතා. වෙස්‌සන්තර රජතුමා කලිඟු රටෙන් ආපු බ්‍රාහ්මණයන්ට දන්දීල තියෙන්නෙත් ඇලි ඇතෙක්‌නෙ. ඉතා දුර්ලබ ඒ වගේම හාස්‌කම් තියෙන හස්‌ති රාජයෙක්‌ විදිහටනෙ මේ ඇලි ඇතා සළකන්නේ. ඒ නිසා සමන් දෙවියවන්ගේ ඇලි ඇතා බොහොම තේජවන්ත ඇත් රජෙක්‌ වෙන්ට ඕනෑ. සමන් දෙවියන් සුරතින් සුදු නෙළුම් මලකුත් දරාගෙන ඉන්නවා. ඒ ඇතාගේ හොඬ වැලෙත් සුදු නෙළුමක්‌ තියෙනවා. එහෙම නම් ස්‌ථීර වශයෙන්ම නෙළුම් මල් මුනි පුදට බව හිතන්ට පුළුවන්.

සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහාමුදුරුවෝ සමනල කන්දට වැඩිය බව කව්රුන් පිළිගන්න, ඒ වගෙම විහ්වාස කරන අදහසයි. ඒක සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ තුන්වැනි ලංකා ගමනෙදියි. ඊට පෙර බුදුහාමුදුරුවො ලංකාවට වැඩපු අවස්‌ථා දෙකේදීම සුමන සමන් දෙවියන් ඒවට සහභාගි වුන බවත් කියනවනෙ. දෙවෙනි වර ලංකාවට වැඩියෙ චුලෝදර මහෝදර නාරජවරුන්ගේ යුද්දෙ සමථයකට පත් කරන්ටනෙ.

සමනල කන්ද මුදුනට ගිහිල්ලා එහි තිබෙන සිරිපතුල වන්දනා කිරීම ලේසි කටයුත්තක්‌ නොවන බව එදා බුදුහාමුදුරුවොත් දැකල තියෙනවා. ඒ පාර ඒ සියල්ලම බලාගෙන, සමනල කන්දට එන බැතිමතුන් රැක දෙන බවට සමන් දෙවියො පොරොන්දු වෙලත් තියෙනවා. සමනල අඩවිය වගේම කන්ද උඩරට හා බින්තැන්නට යනකං මහවැලි ගං තීරය දිගටත් සමන් දෙවියන්ගෙ තෙද බල පැතිර තිබෙන බව විශ්වාස කරනවා. උඩරට වගේම කොත්මලේ ඉන්න ගොවියන්ගෙත් විශාල ගෞරවයක්‌ සමන් දෙවියන්ට තියෙනවා.

ශ්‍රීපාද මළුවේ තමා සුමන සමන් දේවාලය තියෙන්නේ. දෙවන පැරකුම්බා රඡ්ජුරුවන්ගේ කාලෙ දේවපතිරාජ කියලා ඇමැතිවරුයෙක්‌ හිටියලු. මොහු එදා සමන් දේව රූපයක්‌ හදලා පූජා කළ බවයි කියන්නේ. ඒක හදල තිබුණෙ සඳුන් ලීයෙන්. සිරිපා වන්දනාව පටන් ගන්නේ උඳුවප් මාසෙන. අවාර කාලේ, ඒ කියන්නෙ සිරිපාදෙට වන්දනාවේ නොයන කාලෙදී මේ සමන් දෙවියන්ගේ ප්‍රතිමා ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරෙ තමා තැන්පත් කරල තියෙන්නේ. වන්දනා කාලෙට ඒ ප්‍රතිමා සිරිපාදෙට වඩම්මවනවා. ඒකට කියන්නේ දෙවිහාමුදුරුවන් වැඩම වීම කියලා අද පැල්මඩුල්ලේල ගල් පොත්තාවල විහාරෙ ඉඳලා පෙරහැරකුත් එනවා.

පෙරහැර මළුවට ආවට පස්‌සේ උඳුවප් පෝය දවසෙ පාන්දර පූජාවල් එහෙම සිද්ධ කරනවා. දේවාලය පවිත්‍ර කරලා එහි පූජා වස්‌තු තැන්පත් කරනවා. මේ සමගම දොළොස්‌ මහේ පහණත් දල්වනවා. පෙරහැරෙන් වඩමවා ගෙන ගිය කොත සමන් දේවාලයෙ වහලෙ මුදුනෙ පළඳවල තියෙනවා. ඊට පස්‌සේ මාස හයක්‌ම පූජා පවත්වල සමන් දෙවියන්ව සිහි කරනවා.

සිරිපා මළුවෙ දේව පූජාවට අමතරව බුද්ධ පූජාවකුත් කෙරෙනවා. කෙම්මුර දවස්‌ලට (බදාදා, සෙනසුරාදා) මළුවේ ඉන්න සියලු දෙනාම ටික වෙලාවක්‌ ඉවත් කරලා සිරිපාද පත්මය සුවඳ පැන්වලින් ධෝවනය කරනවා. ඒ සඳහා පැන් කළ හතක්‌ ගන්නවා. ඊට පස්‌සේ සමන් දේවාලෙත් පිරිසිදු කරනවා. මුළු මළුවම සුවඳ ජලයෙන් සෝදා සඳුන් මුසු කිරි පැන් ඉහිනවා. ඊට පස්‌සේ තමයි බැතිමතුන්ට එන්ට අවසර ලැබෙන්නේ. සිරිපාදෙ තේවාව බාර වෙලා තියෙන්නේ හාමුදුරුවන්ට. උන්වහන්සෙල උදේ සවස දෙකටම පිරිත් දේශනා කරනවා. සමන් දෙවියන්ට පූජා පිණිස පැවැත්වෙන පෙරහැරවල් දෙකක්‌ තියෙනවා. එකක්‌ තමා සබරගමුවෙ මහ සමන් දේවාලෙ කෙරෙන පෙරහැර. අතින් එක මහියංගණේ. සබරගමුවෙ ජනතාව සමන් දෙවියන්ට පූජා කරන්නේ මතු බුදුවන බෝසත් කෙනෙකු විදිහට සළකලයි. ඒ නිසාම සමන් දෙවියන් අනෙක්‌ සියලුම දෙවියන්ට වඩා විශේෂත්වයක්‌ ගන්නවා.

සිsරිපාද කඳු මුදුනට ගිහිල්ලා අවට බලද්දී පේන දර්ශනය හරිම ලස්‌සනයි. ඒක දෙවියන් වැඩ වාසය කරන භූමියක තිබෙන විශේෂත්වය කියාපාන දසුනක්‌. බුදුහාමුදරුවෝ විවේක සුවයෙන් ගත කළ “භගවා ලෙන” නැත්නම් දිවා ගුහාව මුලදී සමන් දෙවියන්ට අයිති එකක්‌ වෙන්ට ඇති. ඒaත් දැන් එය බුදුහාමුදුරුවන්ගෙ පාරිභෝගික වස්‌තුවක්‌. සැළලිහිණි සංදේශය ලියපු ශ්‍රී රාහුල හිමියන්, සමන් දෙවියන් සුරංගනාවියන් පිsරිවරා ගෙන මදාරා හා පරසතු මල් රැගෙන මේ සිරිපාදයට වන්දනා කරපු ආකාරයත් වර්ණනා කරනවා. මෙයින් පේන්නෙ සමන් දෙවියන්ගේ නොබිඳෙන චාරිත්‍රයක්‌ වෙලා තියෙන සිරිපා වන්දනාවයි.

සිංහල බෞද්ධයන් තුන් සරණේ ගුණ ගයමින්, සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපාදෙ වැඳලා බහිනවා වගේම හින්දු බැතිමතුන් බ්‍රහ්ම, විෂ්ණු, ශිව කියන ත්‍රිමුර්තිය හිසේ දරාගෙන සමනල කන්දට නගිනවා. හින්දූන්ට අනුව එහි තියෙන්නේ ශිව දෙවියන්ගේ පා සටහනයි. කතරගම දේවාලය හා සම්බන්ධ රජවරුන් හිටිය වගේම සිරිපාදෙ වඳින්නට ගිය සිංහල රජවරුන් ගැනත් සඳහන් වෙනවා. අපේ රජවරුන් කීප දෙනෙක්‌ම සිරිපාදෙ වඳින්ට ආපු බව සඳහන් වෙනවා.

පළමුවන විජයබාහු රජතුමා සිරිපාදෙට ගම්වරත් පූජා කරල තියෙනවා. සමහරු ජනතාවට යන්න පහසු විදිහට පාර එහෙම වැඩි දියුණු කරලත් තිබුණා. මහගිරි දඹේ ගල්පඩි හදලා, දම්වැල් එහෙමත් දාලා දීලා තියෙනවා. විජයබාහු රජතුමා පොලොන්නරුවේ හිටිය ශ්‍රේෂ්ඨ රජෙක්‌. මේ රජු රට එක සේසත් කරලා ඉවර වෙලා සිරිපාදෙට ආපු බවයි සඳහන් වෙන්නේ. මේ කතාව දුටුගැමුණු කතරගමට කළ පූජා උපහාර සිහිපත් කරනවා. එහෙම නම් එදා අපේ රජවරුන් තම සුවිශේෂ විජයග්‍රහණය සිහිපත් කරන්ට මේ ස්‌ථාන තෝරා ගත්තේ. ඒ දෙවියන්ගෙ ආනුභාවයත්, බුදු ගුණත් සිහි කරලා වෙන්ට ඕනෑ. මේ සිරිපාද සටහන මේ කපේදී පහළ වූ කකුසඳ, කෝණාගමන, කස්‌සප, ගෞතම යන සිව් බුදුවරුන්ගෙම් පා පියුම් ලාංඡනය බවත් විජයබා රජු අදහස්‌ කළාලු. හැබැයි එතකොට සමන් දෙවියන් පිළිබඳ ප්‍රවාදයට පදනමක්‌ නැති වෙන බවත් සමහරුන්ගේ අදහසයි.

ඒ මොනව උනත් සිරිපාදෙත් එක්‌ක දැඩි සබඳතාවක්‌ තියෙන්නේ සුමන සමන් දෙවියන්ට තමා. හැබැයි සමන් දෙවියන් පැහැදිලිවම බෞද්ධ දෙවි කෙනෙක්‌ ලෙසයි කැපී පෙනේනේ. කලින් කලට එක එක ජනප්‍රවාද සිරිපාදෙටයි, සමන් දෙවියන්ටයි එකතු උනත් ඒ කිසිම දේකින් සමන් දෙවියන් සබරගමු පළාතට විතරක්‌ සීමා වෙන්ටත් විශේෂ හේතුවක්‌ උනේ සිරිපාදෙම බවයි. සමාජ විද්‍යාඥයන්ගේ අදහසත්. සිරිපාද වන්දනාව අදටත් සලකන්නේ ඉතා දුෂ්කර ගමනක්‌ විදිහටයි. සමන් දෙවියන්ගේ ප්‍රධානම කටයුත්ත ඒ වන්දනා සමයට එතෙන්ට ඇඳෙන ජනතාව රැක බලා ගැනීම. නැත්නම් ඔවුන්ට පිහිට වීම. ඒ හින්ද තමයි හාපුරා කියලා, එහෙම නැත්නම් කිරිකෝඩුවෙන් සිරිපාදෙ යන අයට හුඟාක්‌ම කට පරිස්‌සම් කර ගන්ට කියන්නෙත්. ඒ වගේම සිරිපාදෙ හින්දු ආධිපත්‍යයක්‌ නැති බෞද්ධ ආධිපත්‍යයට නතු වූ පූජනීය ස්‌ථානයක්‌ බවත් කියන්නට ඕනෑ.

සිරිපාදෙ වැඩ හිටියත් සුමන සමන් දෙවියන්ගේ ප්‍රධානම දේවාලය තියෙන්නේ රත්නපුරේ. මේ දේවාලය හදලා තියෙන්නෙත් පරාක්‍රමබාහු රජතුමාගෙ සෙනෙවියෙක්‌ බවයි කියන්නේ. ඒ සමන් දෙවියන්ට කරපු බාරයක්‌ ඉෂ්ට කරන්නට. පස්‌සේ කාලෙකදි මේවට සතුරු ආක්‍රමණත් එල්ල උනා. කොහොමහරි අද රත්නපුරේ සමන් දේවාලෙට බාර වෙන්න බාරඔප්පු සිද්ධ කරන්ට ජනඟක්‌ එන බවත් කියන්ට ඕනෑ. රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරිකයො වගේම දරුවන් ප්‍රාර්ථනා කරන අයට, ඒ මව් පදවිය ලබා ගන්නටත් සුමන සමන් දෙවියන් පිහිට වෙන බවට විශ්වාසයක්‌ තියෙනවා. සමන් දේවාලෙට එන බැතිමතුන් සිරිපාදෙ කන්ද දිහාට නමස්‌කාර කරල තමයි දෙවියන්ට පූජා පවත්වන්නේ.

දිවයින පුවත්පත ඇසුරිනි …

අවාරයේ සිරිපතුල වඳින්නට එන සුදු ඇතා කවුද?
අඳුන්ගිරි පර්වතය පයින් මඩ කර වී වැපිරූ පත්තිනි දේවිය

One Comment

  • ven.ananda says:

    විශ්දෙවියන් බුදු සමයට සම්බන්ධ වන ආකාරයත් විස්තර කළ හැකි හොඳයි.

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.