60 මුලකඛණ ජාතකය - IFBC Organization | Dhamma

තවද එක්සමයෙක්හි ලෝකොත්තම වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් සංකෙලශයක් අරබයා මේ ජාතකය වදාළසේක.

සැවැත්නුවර වාසීවූ එක් කුලපුත්‍රයෙක් සර්වඥයන් වහන්සේගෙන් ධර්මදේශනාව අසා පැහැද ශාසනයෙහි ලැදි මහණව සියළු ප්‍රතිපත්තියෙහි පිළිපදින්නේය. ඒ යෝගාවචරයන් වහන්සේ ඇමවෙලෙහි සිතින් නොහරණ ලද කමටහන් ඇතිව එක් දවසක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිදනසේක් ස්වර්ණාභරණෙයෙන් සැරහුණාවූ ස්ත්‍රියක් දැක සුභවශයෙන් ඉන්ද්‍රියයන් බිඳ බැලූ සේක. ඒ භික්ෂූන් වහන්සේගේ අභ්‍යන්තරයෙහි කෙලේශයෝ චලිත වූහ. වෑයෙන් කොටනලද කිරි ගසක් මෙන් විය. භික්ෂූන් වහන්සේ එතැන් පටන් කෙල්ශවසඟව කායාසවාදයක්වත් චිත්තාස්වාදයක්වත් නොලබනසේක් භයපත්ව වෙවුලන්නාවූ මුවෙකු හා සමානසේක. ශාසනෙහි ඇළුම් නැති බැවින් දික්ව ගියාවූ කෙසේ ලොම් නිය හා කිලිටුවූ සිවුරු ඇතිසේක. ඉක්බිත්තෙන් ඒ භික්ෂූන්වහන්සේගේ ඉන්ද්‍රිය විකාර දැක සහාය භික්ෂූන් වහන්සේ කියන සේක් ඇවැත්නි තොපගේ චක්‍ෂුරාදී ඉන්ද්‍රියෝ පෙරත් නොවෙති.

ඊට කාරණා කවරේදැයි විචාළසේක්. ඇවැත්නි ශාසනයෙහි ඇළුම් නැතිවීම් කී සේක. සර්වඡයන් වහන්සේ මහණෙනි මේ භික්ෂූහූ නොකමැති පරිද්දෙන් කුමක් පිණිස කැඳවාගෙණ අවුදැයි විචාළසේක් ස්වාමීනි මේ මහණ ශාසනයෙහි ඇළුම් නැත්තේයයි දැන්වූසේක. සැබෑද මහණයි විචාළ කල්හි සැබැව ස්වාමින් දැන්වූසේක. තා තා උකටලී කරවුවෝ කවුරුදැයි විචාළ කල්හි ස්වාමීනි මම පිඬුසිඟා ඇවිදිනේනම් එක් ස්ත්‍රියක් ඉඳූරන් බිඳ බැලීම්, එකල මට කේල්ශයෝ චලිතවූහ. ඒ කේලශයන්ගෙන් චලිතවීමෙන් ශාසනයෙහි ඇළුම් නැතිවීම, දැන්වූසේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට වදාරණසේක් මහණ තෝ ඉන්ද්‍රියන් බිඳ විෂභාගාලම්බනය සුභවශයෙන් ලබන්නෙහි කේලශයන් විසින් කම්පා කරණලද්දෙහිය යන යමෙක් ඇත්නම් ඒ තෙමේ ආශ්චර්ය නොවන්නේය. පෙර පඤචාභිඥා අෂ්ටසමාපත්ති ලාභීව ධ්‍යාන බලයෙන් ක්ලේශයන් විෂ්කම්භනයකොට පවා ඉන්ද්‍රියයන් විෂභාගලම්බන බැල්මෙන් ධ්‍යනයෙන් පිරීහී ක්ලේශයෙන් කම්පිතව මහදුක් අනුභව කළාහුයයි මහමෙර උපුටා එලන්ට නිසුවූ මාරුතය ඇතෙකු සා පමණ ඇති ක්‍ෂුද්‍ර පර්වතයෙක්හි පැකිලියේද සියක් යොදුන් උස ඇති මහ දඹගස මුලින් උදුරන්ට නිසිවූ මාරුතය ඉවුරුබුන් ගන්තෙර හටගත් ක්‍ෂුද්‍ර වෘක්‍ෂයෙක පැකිලියේද මහ සමුද්‍රය වියලාපියන්ට සමර්ථවූ මාරුතයකුදු වැගොන්නක දිය වියලා තොපි යාද එසේ හෙයින් මෙසේ වූ බුද්ධි ඇති පිරිසිදු චිත්තසන්තාන ඇති බෝධිසත්වයන් අඥාන කරවන්නාවූ ක්ලේශයන් නිසා කිලිටුව යෙති, උත්තමවූ යසසින් යුක්ත වූ සත්වයෝ අයසෙට පැමිණෙති වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි අප මහාබෝසතානෝ කසීරට එක් මහසම්පත් ඇති බ්‍රහමණ කුලයක ඉපිද විඤඤුබවට පැමිණි තැනැත්තෝ සියළු සිල්පයෙහි පරතෙරට පැමිණ පඤචාභිඥ අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් දවස් යවමින් හිමාලය වනප්‍රදේශයෙහි වාසයකරන්නාහුය. ඒ බෝධිසත්වයෝ එක් කලෙක ලුනු ඇඹුල් සෙවුනා සඳහා හිමාලය වනයෙන් බැස බරණැස්නුවරට පැමිණ රාජෝද්‍යානයෙහි වැස දෙවැනි දවස් සිවුරු පිළිදගරත්වූ වැහැරිසිවුරුමය වූ අදනය පොරෝනය දෙක මානකොට හැඳ පොරොව අදූන්දිවිසන් ඒකාන්ත කොට බහා දළමඩුලු බැඳ කෙණ්ඩියක් ගෙණ බරණැස් නුවර පිඬූසිඟමින් රජ්ජුරුවන්ගේ මාලිගා දොරකඩට පැමිණියෝය. රජ්ජුරුවෝ ඒ තපස්වීන් ගේ ඊර්යා පථයෙහි පැහැද සමීපයට ගෙන්වාගෙණ මහානර්ඝ වූ ඛද්‍යභෝද්‍යයෙන් පිනවා කරණ ලද අනුමෝදනා ඇති බෝධිසත්වයන් රාජෝ‍යද්‍යානයෙහි වසනු පිණිස ආරාධනාකලෝය. ඒ බෝධිසත්වයෝ ආරාධනා පිළිගෙණ රජගෙයිදී වළදා රාජකුලයට ආවවාද කෙරෙමින් උද්‍යානයෙහි සොළොස් හවුරුද්දක් විසුවාය. ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ ක්‍ෂොභවූ ප්‍රත්‍යන්ත ජනපදයක් සන්හිඳූවනු පිණිස යන තැනැත්තෝ මුදුලක්ඛණා නම් වූ අගමෙහෙසිකාවන්ව මාගේ තපස්වීන් වහන්සේට අප්‍රමාදව උපස්ථාන කරවයි කියා ගියෝය. මහබෝසතානෝ රජ්ජුරුවන් ගියතැන් පටන් තමන් කැමති විටක රජගෙට යෙති. ඉක්බිත්තෙන් එක් දවසක් මුදුලක්ඛණාවෝ බෝධිසත්වයන්ට ආහාර පිස සමෘද්ධිකොට ලා අද තපස්වීයන් වහන්සේ කල් යවා එන සේකැයි සුවඳ පැනින් නහා සියළු බිසෝපළඳනාවෙන් සැරහී මතුමහල්තලයෙහි කුරුයහණක් පණවා බෝධිසත්වයන්ගේ ඊම බලා බලා වැදහොත්තාහුය. බෝධිසත්වයෝත් එතනට වලඳන්නට වේලාව සලකා ධ්‍යානයෙන් නැගී ආකාශයෙන්ම රජගෙට ගියෝය. මුදුලක්ඛණාවෝ බෝධිසත්වයන්ගේ වැහැරි සිවුරේ පවන්ගන්නා අඬ අසාම තපස්වීන් වහන්සේ වැඩිසේක් වනැයි වැද හොත් තැනින් වහා නැගිසිටියාහුය, වේගයෙන් නැගිසිටියාවූ ඒ බිසවුන්ගේ මටසිළුටුවූ සළුව වැටිගියේය. තාපසයෝ සිව්මැදුරු කවුළුවෙන් වදනා තැනැත්තෝ බිසවුන්ගේ විෂභාග රූපලම්බනය ඉඳුරන් බිඳ සුභවශයෙන් බැලූය.

එකල බෝධිසත්වයන්ගේ අභ්‍යන්තරයෙහි ක්ලේශයෝ චලිතවූහ. කිරි ඇති ගසකට කොටුවාක් මෙන් විය. එකෙණිහිම බෝධිසත්වයන්ගේ ධ්‍යානය අන්ත්‍රස්ධාන විය. පියාබුන් කපුටුවෙකුමෙන් විය. බෝධිසත්වයෝ සිටම ආහාර පිළිගෙණ නොවළඳාම් ක්ලේශයෙන් කම්පිතව ප්‍රාසාදයෙන් බැස උයනට ගොස් පන්සලට වැද පෝරු මැස්ස යට ආහාර තබා විෂභාගාලම්බනයෙහි බැඳි කෙලෙස් ගින්නෙන් දැවෙමින් නිරාහාර බැවින් වියලෙන්නාවූ සත්දවසක් මුළුල්ලෙහි පොරු මැස්සෙහි වැදහොත්තාහුය. සත්වෙනිදවස රජ්ජුරුවෝ පසල්දනව්ව ජයගෙණ අවුත් නුවර පැදකුණුකොට මාලිගාවට නොගොස්ම තපස්වීන් වහන්සේ දකිම්හයි උයනට ගොස් පන්සලට වැද තපස්වින් වැදහොත් තැන් දැක එක් අඵාසුවෙක් වනැයි කසල හරවා පය මඩිමින් හිඳ ස්වාමීනි අඵාසුව කිමෙක්දැයි වනැයි පන්සල කසල හරවා පය මඩිමින් හිඳ ස්වාමීනි ආවාසුව කිමෙක්දැයි විචාලෝය. එබස් ඇසූ බෝධිසත්වයන් වහන්සේ කියන සේක් මහරජ්ජුරුවෙනි මට අනික් ආඵාසුවෙක් නැත ක්ලේශ වසඟයෙන් පිළිබඳසිත් ඇතිවීම් කිවුය. ආර්යන් වහන්ස නුඹ වහන්සේගේ සිත කවුරුන් කෙරෙහි පිළිබඳ විදැයි විචාළෝය. මහරජ්ජුරුවෙනි මුදුලක්ඛණාවන් කෙරෙහි පිළිබඳවියයි කිවුය. රජුජුරුවෝ යහපත ස්වාමීනි මම මුදුලක්ඛණාවෙන් නුඹ වහන්සේට දෙමියි කියා තාපසයන් කැඳවාගෙණ මාලිගාවට වැද බිසවුන් ස්වර්ණාභරණෙයෙන් සරහා තපස්වීන්ට පාවාදුන්නුය. දෙමින් සිට රජ්ජුරුවෝ මුදුලක්ඛණාවන්ට කියන්නෝ තොප විසින් තොපගේ බලයෙන් මේ තපස්වීන් රැකපිය යුතුයයි කිවුය. යහපත ස්වාමීනි තපස්වීන් රැකපියම්හයි ගිවිස්සෝය. තාපසයෝ බිසවුන් ඇරගෙණ මාලිගාවෙන් බටුවාහුය. ඉක්බිත්තෙන් මුදුලක්ඛඛාවෝ මහවාසල් දොරින් නික්මුණු වෙලෙහිම තපස්වීන්ට කියන්නෝ ස්වාමීනි අපට එක් ගෙයක් ලදමැනව, එසේහෙයින් නුඹවහන්සේ ගොස් රජ්ජුරුවන් වහන්සේගෙන් ගෙයක් ඉල්වාගත මැනවැයි කිවුය. තාපසයෝ එබස් අසා ගොස් රජ්ජුරුවන් අතින් ගෙයක් ඉල්ලුය. රජ්ජුරුවෝ මනුෂ්‍යයන් ශාරිරකෘත්‍යය සපයන වැසිකිලියක් හා සමානවූ එක් ගෙයක් දෙවුය. තාපසයෝ බිසවුන් කැඳවාගෙණ ගෙට ගියෝය. බිසව ගෙට වදින්ට මැලිව සිටියාහුය. කවර කාරණයකින් ගෙට වදින්නට මැලිදැයි කී කල්හි අපවිත්‍ර බැවින් වදිනට මැලියෙමි කිවුය. දැන් කුමක් කෙරෙම්දැයි කී කල්හි ඒ ගෙය කසල හැර පිරිසිදු කරවයි කියා රජ්ජුරුවන් සමීපයට යවා උදැල්ලක් ගෙණව පෙට්ටියක් ගෙණවයි ගෙන්වාගෙණ අපවිත්‍රය හා කසල දම්මවා ගෙමගෑව මැනව. නැවතත් යව ඇඳක් ගෙණව පුටුවක් ගෙණව පහණක් ගෙණව ඇතිරියක් ගෙණෙව සැලක් ගෙණෙව කලයක් ගෙණෙවයි කියා එකී එකී විටෙක ගෙන්වා නැවත පැන් ආදිය ගෙණන පිණිස විධාන කළාය. එවේලෙහි බෝධිසත්වයෝ කලයක් හැරගෙණ පැන් ගෙණවුත් සැල පුරා නහන පැන් සරහා තබා යහනක් ඇතුලේය. එකල යහනේ එක්ව ලගින්ට පටන්ගත් බෝධිසත්වයන් දැතින් රවුළුපත් දෙක මිරිකා අල්වාගෙණ තොප මේ ශ්‍රමණ බවත් බ්‍රාහ්මණබවත් නොදනුනැයි කියා තමා තමන් අභිමුඛයට ගසලා ඇදළුය. මහබෝසතානෝ ඒ වෙළෙහි සිහිලද්දාහුව මෙතෙක්කල් මුළුල්ලෙහි කාමච්ඡන්දයෙන් අඥානවූය. මෙසේ ක්ලේශයෝ නම් අඥානයාට මුලාකාරණයෝය. මහබෝසතානෝ සිහි ලැබගෙණ සිතන්නාවූ මේ තෘෂ්ණාව මතුමත්තෙහි වඩාගෙණ යේනම් සතර අපායෙන්ම ඉස ඔසවාලීය නොදෙන්නේය. එසේහෙයින් අදම මා විසින් මේ මුදුලක්ඛණාවන් රජ්ජුරුවන්ට පාවදී හිමාලය වනයට වදින්ට වටනේයයි බෝධිසත්වයෝ මුදුලක්ඛණාවන් කැඳවාගෙණ රජ්ජුරුවන් කරා ගොස් මහරජ්ජුරුවෙනි තොපගේ බිසව් තොපටම සුදුස්සෝය. මට උන්ගෙන් ප්‍රයෝජන නැත උදක් මුන් නිසා මාගේ තෘෂ්ණාව වැඩුණු පමණකැයි කියා බිසවුන් රජ්ජුරුවන්ටම පාවාදුන්නුය. තවද මහරජාණෙනි තොපගේ මුදුලක්ඛණා නම් බිසවුන් නොලැබ පෙර මට මුන් ලද්දේවිනම් යහපතැයි එකම තෘෂ්ණාවක් උපන. යම්වේලෙක මා විසින් මේ දිගුපුළුල්වූ නුවන් ඇති මුදුලක්ඛණාවෙන් ලබනලද්දීද ඒ වෙලෙහි පටන්ගෙණ ගෘහ තෘෂ්ණාවය උපකරණ තෘෂ්ණාවය උපභෝග තෂ්ණාවයයි මෙසේ අනෙක ප්‍රකාරවූ තෘෂ්ණාව මතුමත්තෙහිම වඩාගෙණ ගියේය. ඒ තෘෂ්ණාව මතුමත්තෙහිත් මෙසේම වැඩීගෙණ යේ නම් සතර අපායෙන් මා ඉස ඔසවාලිය නොහෙන්නේය. එසේ හෙයින් මට මේ බිසවුන්ගෙන් ප්‍රයෝජන නැත, තොපගේ බිසවුන් තෙපිම පාවාගණුවයි මම්වූකලී හිමාලය වනයට වදිමි කියා එකෙණෙහිම නටුවාවූ ධ්‍යානය උපදවාගෙණ ආකාශයෙහි හිඳ ධර්මදේශනා කොට රජ්ජුරුවන්ට අවවාද දී ආකාශයෙන්ම හිමාලය වනයට ගොස් නැවත මනුෂ්‍ය පථයක් දිශාවට නොආවාහුය. මතුමත්තෙහිත් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂෘ යන සතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය.

ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට වදාළසේක. චතුසත්‍ය ධර්මදේශනාවගේ කෙළවර උකටලී මහණ සෝවාන් පෙලෙහි පිහිටියේය. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ මුදුලක්ඛණ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. මුදුලක්ඛණවෝ නම් උත්පලවර්ණ මහාස්ථවිරියෝය. එසමයෙහි තවුස්වූයෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

61 උචඡඞග ජාතකය
59 අනභිරති ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.