525 ඛණ්ඩහාල් ජාතකය - IFBC Organization | Dhamma

ශාන්ති නායකයන් වහන්සේ රජගහනුවර තිසා වැව් ගිජුකුළු පව්වෙහි වසන සේක. දෙව්දත් තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක

දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේට විද ජීවිතක්‍ෂයට පත් කිරීම සදහා දුනුවායන් යවා තම උත්සාහය සඵලමත් නොවීය, මේ ගැන ධර්මසභා මණ්ඩපයෙහි භික්‍ෂූන් අතර කථාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, පෙරත් මේ දේවදත්තයෝ මේ ජාතියේ මාවත් විදීමට ගිය දුනුවායනුත් මැරීමට උත්සාහ කොට ව්‍යර්ත වූවත් මෙන්ම පෙරත් මා ඇතළු බොහෝ දෙනෙක් මරුමුවට පත් කිරීමට වෙසෙස නිෂ්ඵල වූහයි ඉකුත්වත් වදාළ සේක.

යටගිය දවස බරණැස පුෂ්පවතී නුවර වසවර්ත්ති නම් රජකෙනෙකුගේ පුත්‍ර ඒකරාජ නම් රජ කෙනෙක් රාජ්‍ය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ පුත්‍ර චන්‍ද කුමාරයෝ යුව රජු තනතුර දරති. ඛණ්ඩහාල නම් පුරෝහිත බ්‍රාහ්මණයා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අතර අත්සලම අගය කොට නීතියට පිටු පා අයුක්තියටස අදින්නේය. හිමියන් අහිමියන් කෙරෙයි. අහිමියන් හිමියන් කෙරෙයි. දවසක් යුක්තියෙන් පැරදී එක් මිනිසෙක් අධිකරණ ශාලාවෙහි මුරගාගෙන නික්මෙන්නේ රාජය සේවයට යන්නා වූ චන්‍ද කුමාරයන්ගේ දෙපය වැඳ වැතිර පුරෝහිත බ්‍රාහ්මණයාගේ අසාධාරණ විනිශ්චය කීය. එකල්හි කුමාරයේ ඔහු අස්වසා නැවත විනිශ්චය මණ්ඩලයට කැඳවා යුක්ති විචාරා සාධාරණ අන්දමින් තීන්දුව දුන්හ. එය පිළිගත් මහජනයා මහ හඩින් සාධුකාර දුන්හ. රජ්ජුරුවෝ ඒ සාධුකා හඩ අසා කිමෙක්දැයි විචාරා චන්‍ද්‍ර කුමාරයන් ගෙන්වා ප්‍රශංසා කොට එතැන් පටන් විනිශ්චය මණ්ඩලයේ නායකකම් කරවයි විධානය කොට යැවූහ. එතැන් පටන් ඛණ්ඩහාල් බ්‍රාහ්මණයාට අත්ලස් නැති වූයෙන් යුව රජු කෙරෙහි අඝාත බැද දෝශයක් තබාම ඇවිදින්නේය. ඒකරාජ රජ්ජුරුවෝ වනාහි පරීක්‍ෂාකාරී නොකොට දුසිරිතෙහි ඇලී අධාර්මිකව කටයුතු කරන්නෙකි. ඔහු දිනක් අළුයම් වේලෙහි “මනාකොට සැරසූ දොරටු ඇතිසැට යොදුන් ඉස ස්වර්ණ වීථි ඇති කෙළ ගණන් දිව්‍ය පුත්‍රයන්ගෙන් ගැවසී ගත්තා වූ මනස්කාන්ත දර්ශනයෙන් යුත් තව්තිසා භවන” ස්වප්නයෙන් දැක එය දිව්‍ය ලෝකයට යනු පුරෝහිත බ්‍රාහ්මණයාව උදෑසනින්ම රජවාසලට ගෙන්වා මූඪ වූ ඛණ්ඩහාල් බ්‍රාහ්මණයා අතින් ස්වර්ණ මාර්ගය විචාරන්නාහු. බමුණ, කුසල් කොට මනුෂ්‍යයෝ ස්වර්ගලෝකයට යම් පරිද්දෙකින් යෙත් නම් එබදු වූ සුගතියට යන්නා වු මාර්ගය මට කියවයි කීහ. බුදුවරයන් වහන්සේවත් ඒ නැති කල්හි බෝධිසත්ව වරයන් වහන්සේවත් සමීපයට ගොස් විසඳිය යුතු මේ ප්‍රශ්නය මංමුලා වූවෙකු, මංමුලාවූවෙකුගෙන් මාර්ගය අසන්නා සේ මේ අඥානයා අතින් විචාල කල්හි මේ මාගේ සතුරු යුව රජුගෙන් පළිගැනීමට හොදම වේලාව බැවින් ඔහු ජීවිතක්‍ෂයට පත්කොට මාගේ මනදොළ පුරවාගනිමියි සිතා රජ්ජුරුවන්ට කියන්නේ රජතුමනි, මෙලොව සත්වයෝ අතිදානයේදී නොමැරිය යුත්තවුන් මරා මෙබදු වූ කුසල් කොට ස්වර්ගලෝකයට යන්නාහුය. ඔබතුමාද එබදූ කුසල් කොට වැඩිය මැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ බමුණ, අතිදානය නම් කුමක්ද නොමැරිය යුත්තෝ නම කවරහුද වහා පහදා දෙව. එවිට දනුත් දෙම්හ. යාගත් කරම්හයි කීවූය. බමුණා කියන්නේ රජතුමනි ඔබවහන්සේට දාව උපන් පුත්‍රයන් සතර දෙනෙක් හා අග්‍රමෙහෙසිකාව වූ ප්‍රිය භාරයාවන් හා සිටුවරුන් මඟුලැතුන් හා මගුලසුන් සමඟ අවශේෂ ආදීන් ගෙනුත් සතර සතර දෙනෙකු මරා සර්ව චතුස්ත නම් වූ යාගය කටයුතු යයි කීයේය.

කඩුවෙන් මේ සියල්ලවුන්ගේ හිස් කපා තලියේ වත්කොට එය සාගාවාටයේ බහා යාග කරන්නා වූ රජ්ජුරුවෝ දිව්‍ය ලෝකයට යන්නෝ වේද? තවද රජතුමනි ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට බත්, රෙදිපිළි දීම දාන නම වෙයි. පුත්‍රදාරාදීන් මරා ඔවුන්ගේ ලේ වලින් යාග කිරීම අතිදාන නම් වේයයි කියා දිව්‍ය ලෝකයට මං වැසූ රජ්ජුරුවන්ට නරකයට මාර්ගය පාදා දුන්හ. මේ ගැන රජ්ජුරුවන්ට නොයෙක් කාරණයෙන් ගිවිස්සා ගත්හ. ඉඳින් චන්‍ද්‍ර කුමාරයාද පමණක් මැරිය යුතුයයි නියම කෙළේ නම් ඔහු සමඟ වෛරයෙන් යෙදු උපක්‍රමයක් බව ප්‍රකට වන නිසා බිසෝවරු සිටුවරු ආදීන්වද මීට ඈදා ගත්තේය. පුරෝහිත බ්‍රාහ්මණයාගේ බස් ඇසූ අන්තඃපුර වාසී ජනයෝ භයින් තැති ගෙන එක පැහැර මහ හඬින් හඬන්නට පටන් ගත්හ. රජ කුමර කුමරියෝ ද බිසෝවරු සහ සිටුවරුද මාළිගාවට පැමිණ ඒකඝෝෂා කරමින් කෝලාහල කරන්නට වූහ. බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට කියන්නේ කිමෙක්ද රජතුමනි යාග කරන්නට එන සේක්ද නොඑන සේක් දැයි විචාළේය. එවිට රජ්ජුරුවෝ බමණ කුමක් කියවුද? යාග කොට දෙව්ලොවට යන්නෙම් වේදැයි කිවූය. බ්‍රාහ්මණයා රජතුමනි, දුර්වල වූ සිත් ඇති සත්වයෝ යාග කරන්නට අසමර්ථ වෙති. එබැවින් ඔබතුමා මෙතැනට සියල්ලන් රැස්කර වුව මැනව. මම පිරිස් කැටුව නුවරින් නික්ම ගොස් යාග කරන භූමිය ද සූදානම් කෙළෙමියි කීය. එතැනට ධාර්මික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හෝ එතියි යන බියෙන් ලොකු වැටක් ද බැන්ද වූයේය.

රජතුමා රාජපුරුෂයන් සහ ඇමතියන් කැඳවා තම අදහස ප්‍රකාශකොට තම දූ පුතුන් එතැනට කැඳවන නියෝග කළේය. එබස් ඇසූ රාජපුරුෂයෝ පළමු චන්‍ද්‍ර කුමාරයන් සමීපයට ගොස් කුමාරයන් වහන්ස නුඹ වහන්සේගේ පියරජතුමා මෙබඳු දෙයකට කැඳවන්නේ යයි සියළු පුවත දන්වා සිටියහ. එබස් ඇසූ කුමාරයා මේ ඛණ්ඩහාල බමුණාගේ උපායක් බව සිතා ඔහුට සෙස්සවුන් හා වෛරයෙක් නැත. මා සමඟ වෛරයෙන් බොහෝ දෙනා මරවන්නේය. පියාණන් වහන්සේ සමීපයට ගොස් සියළු සත්වයින් මරණින් ගලවා ගනිමි. තොප හැම පියාණන්ගේ නියෝගය කරවයි කිවූය. එවිට රාජපුරුෂයෝ කුමාරයන් අල්වා ගෙන ගොස් රාජාංගනයෙහි එකත් පසෙක සිටුවූය. ඒ අසල සූර්ය, භද්දසේන සහ සූර්ය යන කුමාරවරුද උපසේනිය, කෝකිලය, මුදුතා සහ චන්‍ද්‍ර කුමාරී යන දූ කුමාරිකාවරුද විජය, ඒරාපථි, සුකෙසි සහ සුනන්දා යන බිසෝවරුද පූර්ණමුඛ, භද්දිය, සිඟාලය සහ චන්දිය යන සිටුවරුද කැඳවාගෙන අවුත් සිටවූහ. සිටුවරුන් අල්වාගෙනා වහාම නුවරවාසී බොහෝ දෙනා පැමිණ ඝෝෂා කරන්නටවූ නමුත් ඒ කිසි කෙනෙකුට ජීවිත දානය ලබා ගැනීමට අසමර්ථ වූහ. ඇතුන් අසුන් ආදී සතුන්ව ද එක්රැස් කොට රජ්ජුරුවන් කියන්නේ මාගේ මේ උසස් යාගය වූ කලී සෙට දා අළුයම් වේලෙහි කෙරෙමි. එබැවන් අද මේ එක රාත්‍රියෙහි පංචකාම සැපතෙහි සිත්සේ යෙදෙන සේ කුමර කුමරියන්ට කියව්. අද මේ අවසාන රාත්‍රියයි. ඌරන් කුකුළන් ආදී සතුන්වද නිසි සේ එක්රැස් කොට තබවයි විධානය කළහ. ඒකරාජ රජ්ජුරුවන්ගේ දෙමව්පියෝ එකල ජීවත්ව උන්නාහුය. මේ අපාය ගාමී යාගය දැනගත් වහාම ඔවුන් දෙදෙනා පැමිණ සැබව දැයි විචාරා පුත්‍රය දරුවන් මරා කන්නා වූ මේ යාගයෙන් දෙව්ලොව උත්පත්තිය නොව සතර අපාය හිමි වන්නේය. කොණ්ඩඤඤ ගොත්‍රයෙහි උපන්නාවූ පුත්‍රය තොපට මම කියමි මේ යාගය පැවැත්වීමට උපදෙස් දුන් අඥානයාගේ බස් නොගිවිස මහා දන් දෙව, සිල් රකුව, භාවනා කරව එම සප්තකාම ස්වර්ගය මාර්ගය වන්නේයයි අවවාද කොටත් තමන්ගේ බස් ගිවිස්වා ගතනොහී අඬා වැලප ගියාහුය.

එවිට චන්‍ද්‍රකුමාරයෝ සිතන්නෝ මෙතෙක් දෙනාට දුක් උපන්නේ මා නිසාමය. එබැවින් පියාණන් වහන්සේට දන්වා මෙතෙක් දෙනා මරණ දුකින් මුදවමියි සිතා පියාණන් අමතා පියාණන් වහන්ස, අප නොමැරුව මැනව. ඛණ්ඩහාල නම් බ්‍රාහ්මණයාට අප හැමදෙනා ගැති කොට දුන මැනව. අපි ඔහුට කැමති පරිද්දෙන් ගැතිකම් කරන්නෙමු. අපගේ කිසි දෝෂයෙක් ඇත්නම් රටින් නෙරපුව මැනවයි කියමින් විලාප නගා හඬන්නට වන්හ. එවිට රජ්ජුරුවන්ගේ ලය උණු වී ඇස් කඳුලින් පිරී මම කිසිවෙක් නොමරමි. මට දිව්‍ය ලෝකයෙන් ප්‍රයෝජන නැත. උන් මුදා හැරපියවයි විධානය කළහ. ඒ නියමයෙන් රාජපුරුෂයෝ ප්‍රධාන සියළු ප්‍රාණීන් හැරපුවාහ. එකල ඛණ්ඩහාල බ්‍රාහ්මණයෝ ඒ පුවත එක් පුරුෂයෙක් අතින් අසා කලබලයට පත්ව යාග භූමියේ සිට වහා දිව අවුත් මහ රජ්ජුරුවන් වහන්ස, මේ යාගය ඔබතුමා වැනි බියජනක සිත් ඇති අය විසින් නොකොට හැක්කේය. මහත් උත්සාහයෙන් පිළියෙල කළ මේ යාගයට කුමක් නිසා බාධා කරන සේක්ද? රජතුමනි, යමෙක් යාගයක් කරත්ද? කරවත්ද? ඒ පින් අනුමෝදන් වෙත්ද? ඒ හැම දෙනෙක් ස්වර්ගයට යන්නාහ. මේ යාගයෙහි මහත් අනුසස් ඇත්තේය. වහාම මෙය නැවත විධානය කරන සේක් මැනවැයි කීය.

එවිට චන්‍ද්‍ර කුමාරයෝ පියාණෙනි, ඉඳින් මා මැරිය යුත්තේ වී නම් මා උපන් කල්හිම මේ බ්‍රාහ්මණයා අතින ් මේ කුමාරයන්ට වන අන්තරාය කවරේදැයි නුඹ වහන්සේ විසින් විචාරන ලදුව මාගේ ලක්‍ෂණ බලා දේවයන් වහන්ස, ඔබගේ ඇවෑමෙන් පසුව මේ කුමාරයා රාජ්‍යයට පැමිණෙති. කුමාරයන්ට අතරෙහි වන අන්තරායෙක් නැතැයි අපගේ නෑයන් මධ්‍යයෙහි කුමක් නිසා එසේ කීද? මොහු බොරු කියා වෛරයෙන් මා මරවන බවට මේ කාරණා නොවේද? එසේ හෙයින් මොහුගේ කථාව පූර්වාපර සම්බන්ධයෙක් නැත. නිකරුණේ අප හැම මරවන්නට උත්සාහ කරවන්නේ වේද එසේ නම් ඔබතුමාද අපව මරවන්නට සිතන කළ පළමු අප බාල කාලයෙහිම ඔබතුමාගේ අතින් මරවන්නක් වත් අනුන් ලවා මරවන්නක්වත් නොකර වූයේ ඇයි ද? දැන් වූ කලී අපි තරුණයම්හ. දූ පුතුන් ඇතිව සිටිමු. මෙතෙක් කල් ඔබතුමාට ද්‍රෝහී නුවූම්හ. එසේ හෙයින් කුමක් නිසා දැන් මරවන සේක්ද? දරුවන් නැති රජ්ජුරුවෝ අනාථ අසරණයෝය. මෙබඳු සෞරවීය්‍ර්‍ය හා බාහු වික්‍රම ඇති අප සතර බෑයෝ යාගයක් නිසා නිකරුණේ මරවාපියන්ට නිස්සමෝද? පියරජතුමනි, බමුණෝ නම් බොහෝ සේම කෙළෙහි ගුණ නොදන්නෝය. එසේ වූ බමුණාගේ බස් නොඇදහුව මැනව, මේ යාගය සතර අපායට මාර්ගයක් මිස දෙව්ලොවට ආධාරයක් පිණිස හේතුනොවේ යයි යනාදී වශයෙන් චන්‍ද්‍ර කුමාරයන් කී බස් අසා රජ්ජුරුවෝ කඳුළු පිරි දෙනෙතින් සිත නැවතත් යාගය ප්‍රතික්ෂේප කළ පමණකින් ඛණ්ඩහාල බ්‍රාහ්මණයා රජ්ජුරුවන් අමතා රජ්ජුරුවනි පසු නොබැස මේ උතුම් යාගය කරවයි නැවත අයැද සිටියේය. එවිට චන්‍ද්‍ර කුමාරයා පියරජතුමනි, දරුවන් මරා යාග කොට දෙව්ලොව උපන්නාහු වී නම් මේ බමුණා ඔහුගේ පුත්‍රදාරාවන් මරා ප්‍රථම කොට යාගකර දෙව්ලොව ගිය කල්හි නුඹ වහන්සේ පසුව යාග කළ මැනව, නුඹ වහන්සේ මධුර රස ඇති භොජනයක් ලැබූ පළමු කොට අනුන් ලවා පළමු කොට මේ කරන්නට කාරණා කවරේද?

තවද පියාණෙනි පුත්‍රදාරාවන් මරා යාගකොට දෙව්ලොව යන මන් දන්නාවූ මේ බමුණා මෙතෙක් එවැනි යාගයක් නොකොට ප්‍රමාද වන්නේ මන්ද? මෙය මා මැරවීමට ඒ බමුණා කරන ලද ප්‍රයෝගයකි. මෙසේ පිය රජ්ජුරුවන් ගිවිස්වා ගත නොවී අවසේස ප්‍රදානීන් ලවාද තම බිසෝවරු ලවාද රජ්ජුරුවන්ට කන්නලව් කළ කල්හි නැවතත් රජ්ජුරුවන් පසු බැස්සේය. එවිට ඛණ්ඩහාල බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට කරුණු කියා නැවතත් දිරි ගැන්වූයෙන් චන්‍ද්‍ර කුමාරයා ප්‍රදාන සියළු දෙනාවම නැවතත් අල්වා බැඳ ගෙන යාග කරන භූමිය කරා නික්මුණු කල්හි සත්සියයක් පමණ අන්තඃපුර ස්ත්‍රීහු නොයෙක් වාක්විලාප කියමින් පසුපස ගමන් ගත්හ. සියළු නුවර වාසී සත්වයෝ නුවරින් නික්ම ඒ ස්ථානය කරා අඬමින් එක්වූහ. ඛණ්ඩහාල බ්‍රාහ්මණයා බොහෝ වූ ජනයා දැක කුමකින් කුමක් වේදැයි සිතා වාසල් දොර අගුළු ලැව්වාහ. එකල්හි මහජනයා වාසල් දොර සමීපයෙහි උයනට වී හැඬුවාය.

චන්‍ද්‍ර කුමාරයන් යාග භූමියට ගෙනගිය කල්හි ඒ කුමාරයන්ගේ මෑණියන් වූ ගෞතම දේවී තොමෝ ඉදිරියට පැමිණ මාගේ ඇසක් බඳු වූ මේ චන්‍ද්‍ර කුමාරයන් මැරුයේ වී නම් නොරැකෙමි. දුෂ්ට වූ බමුණන්, චන්‍ද්‍ර කුමාරයන් මරන්නට ආ කල්හි මාගේ ළෙහි යම් දරු ගින්නක් උපන්නේ නම් ඒ ශෝකය තාගේ මව කරා පැමිණෙත්වා, තාද විඳුව, තාගේ අඹුවටද, දරුවන්ට ද මේ දුක් නොඅඩුව ලැබේවායි මෙසේ අනෙකප්‍රාකාරයෙන් අක්‍රොෂ කළහ.

නැවතත් චන්‍ද්‍ර කුමාරයෝ පියරජ්ජුරුවන්ට යාඥා කරමින් අපව නොවුරුව මැනවයි බැගෑපත්ව ඇඬූහ. නැවතත් මව් පැමිණ රජ කෙනෙකුට නියමිත ස්වර්ණාභරණයෙන් පුතු සරසවා අන්තිම දැක්ම යයි අඬමින් එකත්පස්ව උන්නීය. ඉක්බිති චන්‍ද්‍ර නම් අග මෙහෙසුන් පැමිණ විලාප දෙමින් කන්නලව් කළාය. එවිට චන්‍ද්‍ර කුමාරයෝ බිසවුනි, මාගෙන් තොපට දෙන අවසාන පරිත්‍යාගය මෙයයි තමා පැළඳ ගෙන සියළු ආභරණ ගලවා දුන්හ.
චන්ද්‍ර කුමාරිය කන්නලව් කොට අඬා වැලපෙන බෝසත් චන්‍ද්‍ර කුමාරයන්ව බන්ධනයෙන් මුදවා ගත් නොහැකි වූයේ සත්‍ය ක්‍රියා කොට ගලවා ගනිමියි සිතා දොහොත් මුදුන් දී දසදිග වඳිමින් සත්‍ය ක්‍රියා කරන්නී. මේ ඛණ්ඩහාල බමුණා ඒකාන්තයෙන් කරන්නේ අඥාන පවිටු කමකි. මේ සත්‍ය බලය මාගේ චන්‍ද්‍ර කුමාරයාට නිදහස ලැබේවා, උතුම් දිව්‍ය බ්‍රහ්ම කෙනෙක් ඇත්නම් ඒ අයගේ උපකාරය මත ලැබේවායි සත්‍ය ක්‍රියා කොට දෙවියන් ආරාධනා කළාය. එවිටම ශක්‍ර දේවේන්ද්‍රයෝ දිලිසෙන යකුලක් ගෙන වහා පැමිණ රජ්ජුරුවන් තැති ගන්වා කුමාරයන් ප්‍රධාන සියළු දෙනාම බන්ධනයෙන් ගලවා රජ්ජුරුවන් අමතා රාජ මුගධය, රාජකණ්හය, ස්වර්ග ලෝකෝත්පත්තිය ලබා ගැනීම සඳහා දරුවන් මරා යාග කිරීම කොහිදී දක්නා ලදදැයි ආක්‍රොශ පරිභව කොට භය ගැන්වූහ. එවිට රජ්ජුරුවන් සහ ඛණ්ඩහාල බමුණා සියළු සත්වයන් බන්ධනයෙන් මිදූහ. එහි රැස්වූ පිරිස දුෂ්ට බමුණා කළ අපරාධයට මේ වධයයි එක් එක් ගල් කැටයෙන් ගසා මරුමුවට පත්කොට රජ්ජුරුවන්ට වධ දීමට පටන් ගත්හ. එවිට චන්‍ද්‍ර කුමාරයෝ වහා ඉදිරිපත්ව පියා වැළඳ ගෙන මැරීමට ඉඩ නුදුන්හ. ඉක්බිති මහාජනයා එක්ව මේ අඥාන රජුට ජීවිත දානය දෙම්හ. රාජ්‍ය නොදෙම්හයි රටින් පිට කරවා චණ්ඩාල ග්‍රාමයෙහි නතර කරවා චන්‍ද්‍ර කුමාරයන්ව රාජ්‍යයෙහි පිහිට වූහ.

එසමයෙහි ඛණ්ඩහාල බ්‍රාහ්මණයා නම් මේ දෙව්දත් තෙරුන්ය. ගෞතම දේවිය මහාමායා දේවිය වූ අතර චන්ද්‍රා දේවිය නම් බිම්බා දේවිය වූවාය. චන්ද්‍ර කුමාරයෝ නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

526 මහා නාරද කාෂ්‍යප ජාතකය
524 නිමි ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.