345 ඝන ජාතකය - IFBC Organization | Dhamma

තවද සිද්ධාර්ථ නම් සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

කෝසල රජ්ජුරුවන්ගේ එක් අමාත්‍යයෙක් රජ්ජුරුවන්ට පක්ෂපාතිව ඉඳිනේය. ඒ අමාත්‍යයා දුර්ජනයන්ගේ බසින් ඔහු කෙරේ කලකිරී සිරගෙයි ලැවුහ. ඒ අමාත්‍යයා සිරගෙයි ඉඳම සෝවාන් මාර්ගඵලයට පැමිණියේය. රජ්ජුරුවෝත් නොබෝ දවසකින් ඒ අමාත්‍යයාගේ ගුණ සඳහන්කොට දුර්ජනයන්ගේ බසින් මාගේ අමාත්‍යයා සිරගෙයිලැවූ පමණක් විනා ඌගේ වරදක් නැතැයි සිරගෙයින් අරවාපිහ. ඒ අමාත්‍යයාත් සිරගෙයින් ගැලවි ඉස්සෝධා නහා ගඳ විලවුන් ගෙණ ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේ වැඳපුදා එමියි ගියේය. සර්වඥයන් වහන්සේත් අමාත්‍යයානන් දැක දුඃඛයට පැමිණියාදැයි විචාරා වදාළසේක. ස්වාමිනි එසේය දුඃඛයට පැමිණත් සැපයක් උපදවා ගතිමියි සෝවාන් මාර්ගඵලයට පැමිණියෙ අනර්ථයට වැද අර්ථය උපදවා ගත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ට පුත්ව උපන්සේක. උන් වහන්සේට නම් තබන්නාහූ ඝන කුමාරයෝ යයි නම් තුබූහ. උන් වහන්සේ වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් අතින් සිල්ප නිමවා ඉගෙණ පියානන් ඇවෑමෙන් රාජ්ජයට පැමිණ දසරාජධර්මයට අකෝප්‍යව රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ අමාතයයෙක් අන්තඃපුරයට වැරදි ගියේය.රජ්ජුරුවෝ තමන්ගේ සියඇසපුරා ප්‍රත්‍යක්‍ෂයෙන් දැක ඌට කිසි ගහටක් නොකොට මාගේ රාජ්‍යයෙහි නොයිඳූවයි කියා නුවරින් නෙරපූහ. ඒ අමාත්‍යයා කොසොල්රට වංකනම් රජ්ජුරුවන් ලඟට ගොසින් පෙර ජාතිවල පරිද්දෙන් වංක රජ්ජුරුවන් හා සේනාව ඇරගෙණ බරණැස් නුවරට අවුත් බෝධිසත්වයන් අල්වා සිරගෙයිලා වංකනම් රජ්ජුරුවෝ රාජ්ජය ඇරගෙණ ඉඳිනාහ. බෝධිසත්වයෝත් සිරගෙයි ඉඳම පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගත්හ. බෝධිසත්වයන් පංචාභිඥා අෂ්ටසමාපත්තියට පැමිණිවිටම වංකරජ්ජුරුවන්ට දාහ උපන්නේය. වංකරජ්ජුරුවෝ අනික්කෙනෙකුන් නිසාවූ දෙයක් නොවෙයි සිතා සිරගෙයි උන් බෝධිසත්වයන් සමීපයට ගියාහ. බෝධිසත්වයෝත් භාවනාකොට ධ්‍යානයෙන් උන්නාහ. වංකරජ්ජුරුවෝ කියන්නාහූ එම්බා ඝන රජ්ජුරුවෙනි. නුඹ මේසා රාජ්‍යශ්‍රියකින් පිරීහි කිසිසෝකයක් නැතිව ඉඳිනට කාරණා කිම්ද, මේසා රාජ්‍යශ්‍රීයකින් පිරිහුනු කල සෙසුකෙනෙක්විනම් අඬ දොඩා බොහෝ වික්‍ෂ්පයට පැමිණෙන්නාහ. නුඹ කිසි මුසුප්පුවක් නොකොට සමාධියෙන් ඉඳිනේ මට කාරණා කිම්දැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ එඹා වංකරජ්ජුරුවෙනි මම කිසි පදාර්ථයකත් පළමුත් බැලීමක් නැත්තෙමි. යම් ව්‍යාශනයකට පැමිණකල අඬා දොඩා යම් කෙණෙක් වික්‍ෂේපවෙත් නම් තමන්ගේ ශරීරයටත් දුක පැමිණ සතුරන්ටත් අවසර පෙණෙන්නේය. එපමණක්විනා ඊට ලාභයක් නැත. පැමිණෙන දෙයක් පැමිණෙන්නේය. නටමනා දෙය නස්නේය. එසේහෙයින් ඓශ්චර්යයෙන් පිරිහි නිමියි කිසිසෝකයත් නැත්තෙමි කීහ. එවිට වංකරජ්ජුරුවෝ දුර්ජනයන්ගේ බසට මෙලෙස කෙළෙමි කියා බෝධිසත්වයන්ට රාජ්ජයද තමන්ගේ නුවරට ගියහ. බෝධිසත්වයෝත් පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ධ්‍යානලාභිවීම් මට රාජ්ජයෙන් ප්‍රයෝජන කින්දැයි රාජ්‍යය අමාත්‍යයන්ට පාවාදී හිමාලයවනයට ගොස් තපස් කොට කම්වු පරිද්දෙන් බඹලොව ගියාහයි වදාරා මේ ඝන ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වංක රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය. ඝන රජ්ජුරුවෝ නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

346 කාරඬික ජාතකය
344 චිතීය උරග ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.