301 ජව ජාතකය

තවද එක්සමයෙක්හි ෂට් අසාධාරණ ඥානාදියෙන් උපලක්ෂිත වූ ශාස්තෘවූ සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්. ස්වර්ගයෙහි භික්ෂූන් අරභයා මේ ජාතකය වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව විනය පිටකයෙහි විස්තර වශයෙන් ආයේය. මෙතැන්දී මතු කියන්නේ සංක්‍ෂෙප කථාවය. ශාස්තෘවූ තථාගතයන් වහන්සේ සවගෙහි භික්ෂූන් කැඳවා මහණෙනි තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි උනනක් හට ධර්ම දේශනා කරන්නේ සැබෑදැයි විචාරා වදාළසේක. ස්වාමීනි, භාග්‍යවත්වූ බුදුරජානන් වහන්ස, අප දේශනා කරන්නේ සැබෑයයි දැන්වූ කල්හි ඒ භික්ෂූන් වහන්සේට නින්දා කොට වදාරා මහණෙනි, මාගේ ධර්මයෙහි තොපගේ ගරු නොකිරීම යුතු නොවන්නේයයි වදාරා පුරාතන නුවනැත්තෝ වනාහි මිටි අස්නේ හිඳ මේ දේශනාවෙන් පිටත් මන්ත්‍ර යන්ත්‍රයක් අදාරනනාවුන්ට නින්දා කළාහුයයි වදාරා ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි පුරණ ලද බෝධි සමහාර ඇති අප මහබෝසතානන් වහන්සේ සැඩොල් කුලයෙක්හි ඉපිද උවමනා වයසට පැමිණිසේක්. උන්වහන්සේගේ භාය්‍ර්‍යාවෝ අඹ අනුභව කරන්ට දොළෙක් ඇතිව හිමියාණන් වහන්ස, මම අඹ අනුභව කරන්ට කැමැත්තෙමියි උන් වහන්සේට කීවාය. සොඳුර මෙකල්හි අඹඵල නැත්තේය. අනික් කිසි ඵලයක් ගෙණ දෙම්දැයි විචාළේය. හිමියාණෙනි මම අඹඵල ලබන්නේ ජීවත්වෙමි නොබලන්නාවූ මාගේ ජීවිතය නැතැයි කීවාය. ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තාවූ ඒ පුරුෂයා කවර තැනෙක්හි අඹඵල ලබම්දොහෝයි සිතීය, එසමයෙහි බරණැස් රජුගේ උයනෙහි අඹ වෘක්ෂයෙහි නිරන්තරයෙන් ඵලගෙණ සිටින්නේ ඒ සැඩොල් පුරුෂයානෝ ඒ වෘක්ෂයෙන් විලිකුන් අඹ ඵලයක් ගෙණවුත් මෑගේ දොළ සන්සිඳුවමි සිතා රාත්‍රී භාගයෙහි බරණැස් රජුගේ උයනට ගොස් අඹ ගසට නැගී සාඛාවෙන් සාඛාවට සැඟවී අඹඵල බලමින් ඇවිදිනසේක. එසේ අඹ සොයන උන් වහන්සේට රාත්‍රිය පහන් වූයේය. ඒ පුරුෂයානෝ මෙසේ සිතූහ. දැන් මේ වෘක්ෂයෙන් බැස ගියේ වීනම් මා සොරාහුයයි අල්වා ගනිතියි සිතා රාත්‍රි භාගයෙහි ගසින් බැසයෙමි සිතා එක් සාඛාවකට නැගී සැඟවී හුන්සේක. එකල්හි බරණැස් රජ පුරෝහිත බ්‍රාහ්මණයාගේ සමීපයෙහි මන්ත්‍ර යන්ත්‍ර උගන්නේය. ඒ බරණැස් රජ උයනට ගොස් අඹ රුකමුල උස් ආසනයෙක්හි ඉඳ ආචාරීවූ පුරෝහිත බ්‍රාහ්මණයා මිටි අස්නක හිඳුවා මන්ත්‍රයක් උගන්නේය. වෘක්ෂ මස්තකයෙහි උන් පුරුෂයා සිතන්නේ මේ රජ උසස්නෙහි හිඳ යම්තාක් කල් මන්ත්‍රයක් උගනීද ඒතාක්කල් මේ රජ්ජුරුවෝ අධාර්මිකය. යම් බ්‍රාහ්මණයෙක් තෙමේ නිවාසනයේ හිඳ යම්තාක් කල් මන්ත්‍රයන් හදාරවාද ඒතාක්කල් ඔහුද අධාර්මිකය යම් බඳුවූ මාගේ භාය්‍ර්‍යාව කරණ කොටගෙණ ජීවිතය ගරු නොකොට සොරකමින් අඹ ඵලගෙණ හැරයෙම්ද ඒ මමද අධාර්මිකයෙමි කියා ගසින් බසිනා වූ පුරුෂයා එල්ලන්නාවූ එක් සාඛාවක් අල්වා ගෙණ ඔවුන්ගේ දෑතුරෙහි සිට කියනසේක්. මහ රජ්ජුරුවන් වහන්ස මම නෂටවීම, නුඹ වහන්සේ ස්ථුලවූ ක්‍රියා ඇතිසේක. පුරෝහිත බමුණානෝ පූර්ව ක්‍රියා නැසූ හෙයින් මෙළේ නම් වෙයි කියේය.

කවර කාරණය කින්දැයි විචාණ ලද්දාවූ ඒ පුරුෂතෙම රජහට කියන්නේ මහරජ්ජුරුවන් වහන්ස අප තුන්දෙනා විසින් කරණ ලද්දාවූ ක්‍රියාවෝ සත් පුරුෂයන්ගේ ආචාර සීමාව ඉක්මුණු හෙයින් අධාර්මිකය. යමෙක් නිවාසනයෙහි හිඳ මන්ත්‍රය උගන්වාද යමෙක් උසස්නේ හිඳ මන්ත්‍රයක් උගනීද මොහු දෙදෙන පෙර පිය විදහමන්ම චුතවූවාහ. එසේ හෙයින් නුඹ දෙදෙනා වහන්සේ ගරු කළ යුතු පූර්ව ධර්මයන් නුදුටුසේක් යයි කීයේය. එබස් ඇසූ පුරෝහිත බ්‍රාහ්මණයා කියන්නේ පින්වත් වූ පුරුෂයාණෙනි නොයෙක් මාංශ ව්‍යඤජන කිරියෙන් වහන ලද සුදුවූ පැහැ ඇත්තාවූ හැල්සාලෙන් නිපන්නාවූ ආහාරය අනුභව කිරීමෙන් උදාර පෝෂ්‍යයෙහි ගිජුවූ මම සෘෂීන් විසින් සෙවුනා ලද මේ පුරාතන ධර්මය සේවනය කෙරෙමි කීයේය. එබස් ඇසූ සැඩොල් පුරුෂයානෝ කියන්නෝ මේ රජ හැර මේ දඹදිව් තලෙහි අන් සත්වයෝත් මෙපරිද්දෙන් ආහාරය පිසති, එසේ හෙයින් මේ සත්ව ලෝකය මහත, මෙතැන් හැර අන් තැනකට පලායව, තොපි අධර්මයෙහි නොහැසිරෙව්, යම්බඳුවූ තෙපි අන් තැනෙක්හි නොගොස් මෙතැන්හි වෙසෙත් නම් අධර්මයෙහි නොහැසිරපියා පාසාන කුමන යකමෙන් පුරාතන වර්තිය නොබිඳවන්ටය, බ්‍රාහ්මණයානෙනි තොපගේ පුරෝහිත තනතුරට පැමිණීමෙන් ලබන ලද යස පිරිවර සැපයට හා ධනයට නින්දා කරම්හ. අපායේ ඉපදීමට හේතුවූ තොපගේ ජීවිකා වෘත්තියෙක් ඇද්ද ඊට නින්දා කෙරෙමි කීයේය. ඉක්බිති ධාර්මික බැවින් ඒ සැඩොල් පුරුෂයා හට පැහැදී පින්වත්වූ පුරුෂය තෝ කවර ජාති ඇත්තෙක්දැයි විචාළේය. රජ්ජුරුවන් වහන්ස මම චණ්ඩාලයෙක්මි කීයේය. පින්වත ඉඳින් තොපි ජාති සම්පන්න වූයේ වීනම් තොපට රාජ්ජය දෙමි, මෙතැන් පටන් වනාහි මම දහවල් රජ කෙරෙමි තොපි රාත්‍රියෙහි රජ කරවයි කියා තමාගේ ග්‍රීවයෙහි පැළඳි මල්දම් ඒ සැඩොල් පුරුෂයාණන්ගේ ගෙලෙහි පලඳවා ඔහු නුවරට ගෙණ රැකවල්හි නියුක්ත කෙළේය. නුවර රැකවල්ලුගේ ග්‍රීවයෙහි රක්ත පුෂ්ප මාලාවන් ලබන මේ වංශ විය. එතැන් පටන් වනාහි ඒ බරණැස් රජ්ජුරුවෝ ඒ පුරුෂයානන්ගේ අවවාදයෙහි පිහිටා ආචාරි පුරෝහිත බ්‍රාහ්මණයන් කෙරෙහි ගෞරව උපදවා මිටි අස්නෙහි හිඳිනේය. මන්ත්‍රයන් උගන්නේය. ශාස්තෘවූ සර්වඥයන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා මේ ජව ජාතකය නිමවා වදාළ සේක.

එකල්හි බරණැස් රජ නම් දැන් ආනන්ද ස්ථවිරයෝය, එකල්හි චණ්ඩාල පුත්‍රයා වනාහි දැන් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

302 සයිහ ජාතකය
300 ජවන සකුන ජාතකය

Leave a Reply

IFBC Home Page