(23) සක්වළේ ශක්තිමත් ම දේ කුමක්ද? - IFBC Organization | Dhamma

මහා නායක හාමුදුරුවනේ, ඇත්තටම මේ මහා සක්වළේ ඇති ශක්තිමත්ම හා විශාලම දේ කුමක්ද?

ඔබ ඇහුවා වගේ ප්‍රශ්නයක් වරක් එක්තරා පාසල් ගුරුවරියකුත් සිය පන්තියේ සිසුන්ගෙන් අහල තිබුණා. ඊට ළමයි දීලා තිබුණ උත්තර හරි විවිධාකාරයි. එක්කෙනක් ඒ, තමන්ගේ ‘තාත්තා’ කියලා. තව අය ‘අලියා’ කියලා සමහරු ‘තල්මසා’ කියලා. තව කෙනෙක් ‘කන්දක්’ කියලා. ඔය අතර තවත් කෙනෙක් ඒ එකක්වත් නෙවෙයි, ‘මගේ ඇස’ කියලා තිබෙනවා. ඇයි? මගේ මේ ඇහෙන් අරයගේ තාත්තයි, අලියයි, තල්මසායි, කන්දයි වගේම තව ගොඩක් දේ බලන්න පුළුවන්නේ, ඒවා දකින්න තරම් මගේ ඇහැ විශාලයිනේ. ඒකට ඇහැට ශක්තිය තියනවානේ යනුවෙන් මේ කුඩා ළමයා පිළිතුරු දී තිබෙනවා.

නමුත් ඒ හැම දේකටම වඩා විශාල හා සවිමත්ම දේ තමයි, අපේ මේ සිත. සිතට තමයි ඒ සියලු දෙයම නිවැරැදිව දකින්න පුළුවන්. ‘සිත’ කියන දේ, මේ බඹයක් පමණ වූ කුඩා ශරීරය ඇතුළේ තියෙන මොළය වගේ කුඩා වස්තුවක් හෝ එවැනි ඉන්ද්‍රියක් හෝ නොවෙයි. මහා මතක සම්බාරයකින් යුතු සිත, සක්වළ සිසාර පැතිර වීමටත් රිදී ඉරක් හෝ කුඩා තිතක් තරම් එක්තැන් කර ගැනීමටත් හැකි අසිරිමත් දෙයක්. ඒ නිසායි, සක්වළේ ශක්තිමත්ම හා විශාලම දේ ‘සිත’ කියලා කවුරුත් අවිවාදයෙන් යුතුව පිළිගන්නේ.

එහෙමනම්, මේ මහා සක්වළේ මිනිස් සිතට කළ නොහැකි දෙයක් නැද්ද?

ඔව්. සිතේ ශක්තිය මනින උපකරණ කොහේවත් නැහැ. සිත එතරම්ම සවිමත්. අසිරිමත් නිමවුමක්. බුදුබව ලැබීමට පවා මුල් වෙන්නේ, සිතයි. බුද්ධ යනු අවබෝධයයි. සත්‍යාවබෝධයට මං පෑදෙන්නේත්, සිත දියුණු කිරිමෙනුයි. එමඟින් ඈතක සිදුවන කථා බහක් වුණත් සිතේ (චිත්ත) බලයෙන් අහන්න පුළුවන්. දුරේක්‍ෂයකට පවා නොපෙනෙන දුරස්ථ සියුම් දේවල් වුණත් සිතට හොඳින් දර්ශනය වෙනවා. දීඝ නිකායේ ‘කූටදන්ත සූත්‍රයේ’ සිතේ පවතින මෙබඳු විවිධ හැකියාවන් ගැන විස්තර කෙරෙනවා.

ගඟක ගමන

ඒ වුණාට, මිනිස් සිතේ වුණත් කිසියම් පරිවර්තන ක්‍රියාවලියක් සිදු වෙනවා නේද? කය සමඟ සිතත් ක්‍රමිකව දුබල වී යන්නේ මේ නිසාද?

ඔව්. සිතත් හරියට ගඟක් වගෙයි. එක භවයක් තුළ සිත ගඟක වගේ යෞවන, පරිණත හා වෘද්ධි යනුවෙන් ගමන් කරනවා. යොවුන්විය යනු ගඟක ආරම්භක අවධියයි. එහිදී ජල පහර ක්‍රමිකව වැඩි වෙමින් වේගවත් වෙනවා. මේ නිසා ගල්පරවල හැපෙමින් දිය රැලි සාදමින් ප්‍රචණ්ඩ ලෙස පෙරට ඇදෙනවා. හොඳට වැඩුණු ගස් ගල්වගේ මහා ශක්තියකින් මේ කාලයේ හැසිරෙනවා.

පරිණත අවස්ථාවේ දී එම ප්‍රචණ්ඩ බව ක්‍රමිකව අඩුවෙමින් අත්දැකීම්ලත් අය මෙන් පහළට ගලා බසිනවා. සැඳෑ සමය හෙවත් වෘද්ධි අවස්ථාවේ දී ඉතාම මන්දගාමී විධියට මුහුදට ගලා බසිනවා.

දශක චක්‍රය

එතකොට, දශක චක්‍රය ට අනුව බැලුවත් මිනිස් සිතේ පරිවර්තන ක්‍රියාවලිය කියාපානවා නේද?

ඔව්. එක්තරා විධියකට මිනිස් කයේ වගේම සිතේ පරිවර්තන ක්‍රියාවලියත් එමඟින් කියාපාන බව පෙනෙනවා. ඔය ‘දශක චක්‍රය’ කියන්නේ, මිනිසෙකුගේ ජීවිත කාලය අවුරුදු දහය බැගින් බෙදා දැක්වීමටයි. ඒ කියන්නේ,

1. අවුරුදු 1 සිට 10 දක්වා වූ ළමා කාලයට ‘මන්ද දශකය’ කියනවා.
2. අවුරුදු 10 සිට 20 දක්වා වූ කෙළිලොල්වියට ‘ක්‍රීඩා දශකය’ කියනවා.
3. අවුරුදු 20 සිට 30 දක්වා වූ වර්ණවත් භද්‍රයොවුන්වියට ‘වර්ණ දශකය’ කියනවා.
4. අවුරුදු 30 සිට 40 දක්වා වූ කායික මානසික ශක්තිය පිරි අවධියට ‘බල දශකය’ කියනවා.
5. අවුරුදු 40 සිට 50 දක්වා වූ වඩාත් පරිණත බවින් යුතු අවධියට ‘ප්‍රඤ්ඤා දශකය’ කියනවා.
6. අවුරුදු 50 සිට 60 දක්වා වූ නිදහස් නිවහල් විශ්‍රාම යන සමයට ‘හායන දශකය’ කියනවා.
7. අවුරුදු 60 සිට 70 දක්වා වූ විවේකී නැමෙන සුළු අවධියට ‘පබ්බාර දශකය’ කියනවා.
8. අවුරුදු 70 සිට 80 දක්වා වූ කුදු ගැහෙන කාලයට ‘පවංක දශකය’ කියනවා.
9. අවුරුදු 80 සිට 90 දක්වා වූ සිහි කල්පනාව හීන වී බිලිඳෙකුගේ තත්ත්වයට යළි පත්වන අවස්ථාවට ‘මෝමූහ දශකය’ කියනවා.
10. අවුරුදු 90 සිට 100 දක්වා වූ (සායන) වැතිර සිටින අන්තිම කාලයට ‘සයන දශකය’ කියනවා.

සිතක සවිය

නමුත්, සිත සවිමත් හුඟ දෙනෙකුට මෙම දශක පමා වී උදා වන බවක් පෙන්නුම් කරන්නේ නැද්ද?

ඔව්. දැන් මං වුණත්, එහෙමනම් මේ ගත කරන්නේ, අවසන් ‘සයන දශකයේයි’ තාම මම දිනපතා, සතිපතා පුවත්පත් හා සඟරා වගේම විවිධ පොතපත කියනවා. රැස්වීම්, උත්සව සභාවලට ආගමික වතාවත්වලට දිනපතා සහභාගී වෙනවා. රූපවාහිනිය හා අන්තර්ජාලය නරඹනවා. තව ඔය රටේ නොයෙකුත් පැතිවල ඉඳලා එන අයගේ කේන්දර සෙත්කවි ආදිය ලියලා දෙනවා.

සිතේ ශක්තිය තේරුම් නොගන්න සමහර අය විශ්‍රාම ගිය දවසේ ඉඳන් අර කලින් තිබුණ, සිතේ උද්යෝගය හීනවෙලා රෝගි වී ‘සයන දශකයට’ කලින්ම පත් වෙනවා. සිතේ ශක්තිය අවබෝධ කරගෙන ධාර්මිකව ජීවත් වීමට අපි නිරතුරුවම උත්සාහ කරන්න ඕනේ. ඒ හින්දයි.

(24) සක්වළ අවි සහ සිත්වල සවි බල
(22) සිත, කය සහ භවය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.