185 වාළොදක ජාතකය

තවද ශාක්‍යකුලතිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි විඝාසාදයන් අරභයා මේ ජාතකය දක්වන ලද. ඒ කෙසේද යත් පන්සියයක් උපාසකවරුන් තමන්ගේ ඇති ගම්බිම්වල සරකා තමතමන් අඹුදරුවන්ට පාවාදී බුදුන්ගෙන් බණ අසා එක්කම හිඳිනාහ. එකී පන්සියයක් දෙනාගෙන් සමහරු සෝවාන් වූහ. සමහරු අනාගාමි වූහ, සමහරු සකෘදාගාමි වූහ. මෙසේ තුන්මග තුන්ඵලයට පැමිණි උපාසකරුන් සසරසිටි එක් උපාසක කෙනෙක් නැත. එසමයෙහි දන්දෙන යම් කෙනෙක් ඇත්නම් උපාසකරුන්ටත් සමග දන්දෙන්නාහ. ඒ උපාසකවරුන්ගේ දැහැටිදඬු ආදීවූදෙය පනත් කොට දෙන්නාවූ පන්සියයක් අතවැස්සෝ ඇත්තාහ, උපාසකවරුන්ගේ ඉඳූල් පත් කනහෙයින් විඝාසාදයයි යන නම් ලද්දාහ. එක් දවසක් එකියන විඝාසාදනයෝ පන්සියයක් දෙන දනට ගොස් ඔනුත් කැටිව මල්වල යුද්ධයක් සලසා ගෙණ ඒ ඒ තැන පැන බෑයගෙන බොහෝ අරගල කරන්ට වන්නාහ. පන් සියයක් උපාසකරුන්ගෙන් බණ නොනැගී තමන් ගෙවල්වලම උන්නාහ. සර්වඥයෝ අනදසාමින් ගෙන්වා ආනන්දය මේ කුමන අරගලදැයි බලාපියා එවයි කියා යවුසේක. ආනන්දසාමින් ඒ බලා එපවත් සර්වඥයන්ට දැන්වූසේක. සර්වඥයෝ එපවත් අසා ආනන්දයෙනි පෙරත් මේ කියන උපාසකවරු බැණ නොනැගී ඉන්දදීම මේ කියන කොල්ලෝ දිවපැන ඇවිද්දෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ ඒ රජ්ජුරුවන්ට වැඩපසස්නා අමාත්‍යව උපන්සේක. එසමයෙහි පසල්රට සතුරන්ගෙන් භයක් පැමිණියයි අසා පසල්රට ගොසින් යුද්ධකොට උන්හැමදෙනම පරදවා නුවරට අවුත් රජගෙට වදිනා රජ්ජුරුවෝ අමාත්‍යයන්ට කියන්නාහු මේ එක්ව දුක්ගැන අසා පන්සියයක් අසුන්ට මුද්‍රිරප්පලන් පැන් නුමුසුකොට මිරිකා ඒ රස පොවවයි කීහ. යහපතැයි ඒ නියාවට මුද්‍රිරප්පලන් පැන් අසුන්පොවා ඉතිරිපැන් මිරිකා කසට පිපීගිය වසල බොහෝව තුබූ විසින් අමාත්‍යයෝ රජ්ජුරුවන් අතින් මීට කුමක් කරමෝදැයි විචාරා අසුන් පන්සියයකට කානම් ඇදගෙණ ඒ ආ කොටළුවන්ට ඒ කසට පිපිගිය වසළු බොහෝව තිබූ හෙයින් පැනෙහි ලා මිරිකි පොවයි කීහ. ඒ මානයට පෙවු යාපත් රසයබීපූ අස් පන්සියය කිසිම අරගලයක් නැතිව තමන්ගේ අස්සල බැනනොනැගී සිටියාහ. කසට පැන් බීපුවාවූ කොටළුවෝ රජගෙයි ඒ ඒ තැන පැන නටන්නට වන්හ, රජ්ජුරුවෝ ඒ දැක ලඟසිටි බෝධි සත්වයන් විචාරන්නාහු එඹල යහපත් රසය බීපු අශ්වයෝ උඩතකමත් නැතිව වාසය කරන්නාහ. අසුන් බී ඉතිරි වූ කසට පිපීදමාපූ මුද්ද්‍රිරප්පලන් පැන් බී උඩතව ඇවිදිනාහ. මෙයට කාරණ කිම්දැයි විචාළහ, එවිට බෝධිසත්වයෝ කියන්නාහු ජනප්‍රධානවූ දේවයන් වහන්ස අශ්වයෝ උත්තම් ජාතිහෙයින් ඒ පැන් බීත් උත්තම නොවූ දවසරිනාහ, නීචයන් විසින් තමන් ලත් යම් යම් තාක් දෙයකට උත්තම වන්නාහ. එසේ හෙයින් මේ කොටළුවෝත් තමන් නුපුවිරු මුද්දරප්පලන් රසය බිපූහෙයින් උඩතව දවසනාහයි කීහ. රජ්ජුරුවෝත් ඒ කොටළුවන් මරා වහසලින් පිටත ලුහයි වදාරා මේ වාලොදක ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි කොටළුවෝ පන්සියයක් නම් දැන් මේ විඝාසාදයෝය. අශ්වයෝ පන්සියයක් නම් උපාසකවරු පන්සියය. එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයයෝය. එසමයෙහි අමාත්‍යව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යියි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

186 දධිවාහන ජාතකය
184 සංගාමාවචර ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.