05. වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට විලඳ පූජා කරති …

නේරංජරා නදී තෙර අසල සොබාදහමේ නිරාමිස සතුට විඳිමින් සිටි ගෞතම බුදුන් වහන්සේට තවත් සති කීපයක්‌ එහි විසීමේ සිතක්‌ පහළ විය. උරුවේලා දනව්වත්, වැලි තලා අතරින් ඇදී යන නදියත් තමන් වහන්සේට බුදුබව ලබාගන්නට උපකාර වූ බෝමැඬ හා දිවා විහරණය කළ වන පෙතත් පිළිබඳව බුදුන්වහන්සේට ඇති වූයේ කෘතවේදී සිතිවිලිය. බුද්ධානුභාවයෙන් ලද ලෝක ඥනයෙන් අතීතාවර්ජනයක යෙදුණු උන්වහන්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සත්ත්වයන්ගේ පැවැත්ම හා ලෝක ධර්මය පිළිබඳවද සිහි කරන්නට විය.
අවිද්‍යාව නිසා සංස්‌කාරද සංස්‌කාරවලින් විඤ්ඤාණයද එහි පල වශයෙන් නාමරූපද, ඉනික්‌බිතිව ආයතන, ස්‌පර්ශ, වේදනා තණ්‌හා, උපාදාන, භව, උපත යනාදී වශයෙන් නොබිඳ පවත්නා හුය පොටෙහි ස්‌වරූපයද උන්වන්සේ මෙනෙහි කරන්නට වූ සේක. එවේලෙහි මේ ගාම්භීර ධර්මය කා හට දේශනා කරම්ද යන සිතිවිල්ලද පැන නැගිණි. ඒ සඳහා ප්‍රඥවන්තයෝ ලොව නොසිටිත් නම් මගේ සියලු ව්‍යායාමයන් නිෂ්ඵල වන්නේ නොවේ දැයි උන්වහන්සේ කල්පනා කරන්නට ද විය. එසැණින්ම මහාබ්‍රහ්මයා උන්වහන්සේ අබියස පෙනී සිට පින්වත් භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම ඔබ වහන්සේගේ අධිෂ්ඨානය පරිදිම සදහම් දෙසමින් ලෝවැඩ සඳහා සියලු කටයුතු සම්පාදනය වී ඇතැයි පවසා අතුරුදන් විය.

පළමු දම් දෙසුම සඳහා උරුවේලාවෙන් පිටත්ව බරණැස ඉසිපතනය දෙසට ගමන් කළ යුතුය යන සිතිවිල්ලද එවේලෙහි උන්වහන්සේ තුළ වැඩුණි. එහෙත් ඊට පෙර තමන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට දිරි දුන් ස්‌වභාව ධර්මයට කෘතගුණ දැක්‌වීම උතුම්ය යන සිත උන්වහන්සේට ඇතිවිය. බෝරුක මුලම සතියක්‌ සමාධි සුවයෙන් වැඩවිසූ බුදුහු පිළිවෙළින් අනිමිස ලෝචනයෙන්ද සක්‌මන් කරමින්ද, ගැඹුරු අභිධර්මය ආවර්ජනය කරමින්ද ආදී වශයෙන් තව තෙසතියක්‌ ගෙවූහ. තමන් වහන්සේට බුදුවීමට පිට දුන් බෝධිය දෙස සතියක්‌ම ඇසිපිය නොහෙලා බලා සිටීම අනිමිස ලෝචනයයි. බුදුවරයෙකු වෙතින් මෙවැනි පූජාවක්‌ උපහාරයක්‌ ලද වෙනත් වෘක්‌ෂයක්‌ මේ මිහිතලයේ නැත. සිවුවන සතියේ බුදුසිරුරෙන් ස්‌වර්ණ වර්ණ ආලෝක ධාරාවන් නිකුත් වන්නටද විය. උන්වහන්සේගේ සිරස වටා රශ්මි මාලා දිලුණි. නීල, පීත, ලෝහිත, ඕදාත මාංෙ-ෂ්ට ප්‍රභාෂ්වර මාලාවන්ගේ කාන්තිය බුද්ධත්වයේ සුවිශිෂ්ටත්වයට ලද පූජාවක්‌ සේ විය.
පස්‌වන සතියෙහි උන්වහන්සේ තමන්ට පෙර සිට පුරුදු වූ අජපාල නුගරුක වෙත යැමේ අදහසක්‌ පහළ වූයෙන් එතැනට සක්‌මන් කළේය. එහිදී ඒ අසලින් ගමන් කරමින් සිටි එක්‌තරා බමුණු කුල පුත්‍රයෙක්‌ උන්වහන්සේ වෙත ළංවිය. ඒ මහ වන පෙත බබළවමින් වැඩ සිටි බුදුන්වහන්සේ දුටු බ්‍රාහ්මණයා උන්වහන්සේ සමඟ සතුටු සාමීචියකද නිරත විය. එකල බමුණාගේ සිත තුළ කිසියම් පැනයක්‌ද නැගුණි. ඒ බ්‍රාහ්මණයා යනු කවරෙක්‌ද? ඔහුගේ ලක්‌ෂණ කවරේද? යන පැනයයි.
බ්‍රාහ්මණයා ඇමතූ බුදුන්ගේ පිළිතුර ඔහුගේ අහංකාර සිතටද දැඩිව වැදුණි.
“බ්‍රාහ්මණයා යනු නික්‌ලේශී වූද සන්සුන් ඉන්ද්‍රියන්ගෙන් යුතුවූද තෘෂ්ණාදී පාපධර්ම බැහැර කළා වූද වේදයෙහි පාරප්‍රාප්ත වූද බ්‍රහ්මචාරීවූද පුරුෂයෙකි. ඔවුහු විෂය ලොව කෙරෙහි ලොල් නොවන්නාහුය, යහපත් ධර්මයෙහි මනාව පිහිටන්නාහුය.
බ්‍රහ්මණ තෙමේ උන්වහන්සේට ආචාර කර නික්‌ම යද්දීම වනපෙත දෙවනත් කරමින් තමන් වහන්සේ ඉදිරියට ඇදෙන ඇතෙකුගේ රුවක්‌ බුදුන් වහන්සේගේ නෙත ගැටුණි. මේ වනපෙතෙහි මේ සා කලක්‌ සිට කුහුඹුවකුගේ තරම්වත් පීඩාවක්‌ බියක්‌ තමන් නොලද බව සිහි කළ බුදුහු මේ ඒකාන්ත ලෙසම පවිටු මාරයා යෑයි දැනගත්හ.
අනතුරුව ඇත් වේෂය හැර සිය ප්‍රකෘති රුවින්ම පෙනී සිටි මාරයා බුදුන්වහන්සේ සමඟ සංවාදයකට එළඹිණි.
“ශ්‍රමණභවත් ගෞතමය, දැන් ඔබ යම් අරමුණක්‌ උදෙසා කැප වූවෙහිද? එය ලද්දෙහිය. තවත් මේ වන පෙතටවී හුදෙකලාව විසීමේ අරුතක්‌ද නැත. එහෙයින් ආයු සංස්‌කාරය හළ යුතු නියම වේලාව එළඹ තිබේ. මම එලෙස ඔබට ආරාධනා කර සිටිමි.
බුදුන්වහන්සේ මාරයාට පිළිතුරු දෙන්නාහු
“එම්බල පාපී මරුව තොප සියලු බලයද වීර්යද යොදා මා පරාජය කළ නොහැකිව පලා ගියෙහිය. ඉනික්‌බිති මා අබියසට පැමිණියේ තොපගේ පවිටු දියණියෝය. තොපගේ අරමුණ වූයේ යහපත මැඬ අයහපත පැවැත්ම දැකීමය. තොප දැනුදු ඒ අල-ජී ව්‍යායාමයෙහිම නිරත වී සිටින්නෙහිය. බුදු මහිමය යනු මරුන්ට තබා මේ සක්‌වළ කිසිවකුට මැඬලිය නොහැකි ගාම්බීර විලාසයකි. එහි පල මෙලොව සියලු පින්වත් දනන්ට හිමිවිය යුත්තේය.
මම තොප විසින් විවර කරන ලද සියලු අපායන්හි දොරටු වසන්නෙමි. තොප විසින් අතුරන ලද කාම තෘෂ්ණා නමැති මායා දැල සිදුරු කර ඉරා දමන්නෙමි. රස තෘෂ්ණාවෙහි බැඳී වාත මෘගයන් සේ විනාශය කරා යන සියලු දනන් ඉන් මුදවා ගෙන ඔවුන් නිවන් මඟ වෙත යොමු කරන්නෙමි.
මම දුක දිටිමි. දුක විඳිමි. ජරාව දිටිමි. ව්‍යාධි හා මරණ දිටිමි. එනිසාම යළිත් එහි නොගැලී ජරා, මරණ, ව්‍යාධි නැති අවසානයක්‌ සොයා ගතිමි. ඒ ගමන ආරම්භයෙහිද නොයෙක්‌ තන්හිද තොප මට අනන්ත බාධා කළෙහිය. මගේ අධිෂ්ඨානය බිඳ සීලය වලක්‌වා මා පරාජය කිරීම තොපගේ දුෂ්ට අභිලාෂය විය. දැනුදු තොප මෝහයෙන්ද. අගතියෙන්ද මුළාව මා ලුහුබැඳ එන්නෙහිය. එය තොපට වෙහෙසක්‌ විනා කිසිදු පලයක්‌ නොමැති නිෂ්ඵල ක්‍රියාවක්‌ බව දැන්වත් පසක්‌ කරනු යෙහෙකි. මට මේ දුකට පත් සත්ත්වයන් භව සාගරයෙන් එතෙර කර විනා කිසිසේත් පිරිනිවන් පෑමේ සිතක්‌ද නැත්තේමය. දැන් මගේ පරම අභිලාෂය වන්නේ පිරිනිවීම නොව ලෝ සතුන්ගේ දුක නිවීම බව දැන ගනු යෙහෙකි. මම මෙතැන් සිට ඒ පරාර්ථ චර්යාවෙහි හැසිරෙන්නෙමියි කීහ.
බුදුන්වහන්සේගේ ඒ වචන අහස්‌ කුසට නැගී සියලු දෙව් බඹ ලෝකවල ගිගුම් දෙන්නට වූයෙන් ප්‍රමුදිතවූ දෙවි බඹහු සාධුකාර දෙන්ටද වූහ. සහම්පති මහා බ්‍රහ්මයාද ඔකඳ විය. දැන් නම් නිසැකයෙන්ම බුදුන් වහන්සේ සදහම් සක කරකවා ලෝ වැඩ සදනු ඇතැයිද දෙවියෝ අස්‌වැසිල්ලට පත්වූහ.
සයවන සතිය ගෙවීම සඳහා උන්වහන්සේට රුචි වූයේ මුචලින්ද රුක්‌ සෙවණය. ඒ වන විට යම්තමින් වැසිද වැටෙමින් තිබුණි. වනපෙත දිය පොදක්‌ අපේක්‌ෂාවෙන්ම සිටි සෙයකි. අහස වැහිබර අඳුරක්‌ද විය. සීතල සුළං ඇදුණි. බුදුන් වහන්සේටද මේ කාලගුණ විපර්යාසය දැනෙන්නට විය.
එවේලෙහි බුදුන්වහන්සේට වැසි සුළං යනාදියෙන් පීඩාවක්‌ වන්නේ නම් නොමැනවැයි සිතූ, ඒ වෘක්‌ෂයට අරක්‌ගත් නාරජෙක්‌, නාගවේෂයක්‌ මවා ගන්නේ බුදුන් සමීපයට ළංවී උන්වහන්සේ වටකර දරණ ලා බුදු සිරස පෙණ ගොබයෙන් වසා රැකවරණ සැලසීය. අහස ගිගුම් දෙමින් මහ වැසි වැටෙන්ට විය නේරංජරාව අවට වැලි තලද වැසී ගියේය. ගහ කොළ සිය ග්‍රීෂ්ම විඩාව හැර සිත් සේ පැන් උරා බොන්ටද විය. සියලු උරග සිවුපාදී සතුන්ට මෙන්ම විහඟයන්ටද වැස්‌ස මංගල්ලයක්‌ මෙන් විය.
සත්වන සතියටද එළඹිණි. හරිත වර්ණ වන පෙත බුදු ඇසට මනරම් දසුනක්‌ විය. තමන් වහන්සේ මහසල් මැදුරක නොව සල් උයනක උපන් අයුරු ද සිය ජීවන අභිලාෂය වූ බුද්ධත්වයට පත්වීම එලෙසම බෝ මැඬදී සිදුවූ අයුරුද උන්වහන්සේට සිහි විය. සොබාදහම හා තමන් අතර අවියෝජනීය සබඳතාවක්‌ නොවන්නේ නම් මෙබඳු දේවල් සිදුවිය නොහැකි බවද උන්වහන්සේට සිහිපත් විය.
අවසන් සතිය කිරිපළු රුක්‌ සෙවණෙහි ගෙවීම මැනවැයි සනිටුහන් කරගත් බුදුහු මුචලින්ද නාරජුගෙන් සමුගෙන එදෙසට ගියහ. නාරජුද මහත් භක්‌ති ප්‍රේමයෙන් උන්වහන්සේට නමස්‌කාර කළේය. රුක්‌මුල සෘජු කයෑතිව හිඳ සිටි බුදුන් වහන්සේට තමන් අබියසට එන කිසියම් මිනිස්‌ ප්‍රාණීන් දෙදෙනෙක්‌ දකගත හැකිවිය. ඔවුහු තපස්‌සු භල්ලුක නම් වෙළෙඳ බමුණෝ වූහ. උක්‌කලා ජනපදයෙහි සිට වෙළෙ¹ම් පිණිස යන ඒ බමුණු දෙසොහොයුරෝද සවණක්‌ රැසින් දිළිහි දිලිහී රුක්‌මුළ වැඩ සිටින බුදුන්වහන්සේගේ ශාන්ත රුව දැක ඉමහත් ප්‍රහර්ෂයටද පත්වූහ. උක්‌කලාහි සිට විවිධ ගම් දනව් කරා ගිය නමුදු මෙම වෙළෙඳ දෙබමුණෝ මෙවන් ආශ්චර්යමත් දසුනක්‌ නම් නොදුටුවෝමය.
මේ වෙළෙඳ බමුණන්ගේ සම්ප්‍රාප්තිය කිසිසේත්, අහම්බයක්‌ද නොවීය. මක්‌නිසාද යත් ඔවුන් එමඟ ගමන් කරනු දුටු කිසියම් සම්‍යක්‌ දෙවි කෙනෙක්‌ ඔවුන් ඉදිරියේ ප්‍රාදුර්භූතව මෙසේ කීවේය.
යහපත් වෙළෙඳ බෑයිනි. මේ මග නුදුරු රුක්‌මුලෙක මහා පුරුෂයෙක්‌ සමාධි සුවයෙන් සිටින්නේය. හේ සියලු ලොවට අධිපති සම්මා සම්බුද්ධ නම් වන්නේය. ඉදින් ඒ බුදුහු සත් සතියකට අධිකව අල්ප අහරකින් පවා තොරව විමුක්‌ති සුවයෙන්ම කල් ගෙවූහ. උන්වහන්සේට විඩාවක්‌ නොවුවද තොපට උන්වහන්සේට ආහාර පූජාවක්‌ කළ හැක්‌කේ නම් එය මහා පුණ්‍ය ක්‍රියාවක්‌ වන්නේය.
වෙළෙඳ බමුණෝද ඒ දෙවියන්ගේ ඉල්ලීමක්‌ සේ පසක්‌ කර ගත්තාහු එයට ප්‍රතිචාර දැක්‌වීමේ සද් ෙච්තනාවෙන්ම බුදුන් වෙත එළඹියහ. බුදුන්ට කෙසේ දන් පිළිගන්වමි දොa හෝයි බමුණන් කල්පනා කරද්දීම සිව්වරම් දෙවිවරු මහා අනර්ඝ රන්මිණි මුවා පාත්‍ර සතරක්‌ම බුදුන් අබියස තැබූහ. එහෙත් ඒවා උන්වහන්සේ අනුමත නොකරන වග දත් දෙවිවරු යළි ලෝහමය පාත්‍ර සතරක්‌ පෙරසේම තැබූහ. බුදුන්වහන්සේ එදෙස බලන්නා හා සමගම ඒ පාත්‍ර සතර එක්‌ පාත්‍රයක්‌ බවට පත්වීය.
මේ සියලු තතු බලමින් සිටි වෙළෙඳ දෙබෑයෝද මහත් සතුටට පත්ව, තමන් සන්තකයෙහි වූ නොඉඳුල් අත්සුණු විලඳ හා මී සකුරුද සැදැහැ සිතින් ඒ පාත්‍රයට බෙදූහ. අනතුරුව බුදුහු ඒ දානය උපේක්‍ෂා සිතින් වැළ»හ. වෙළෙඳ දෙබෑයෝ බුදුන්ට නමස්‌කාර කර බුදුන් හා දහම් සරණ ගිය ප්‍රථම උපාසකයෝ බවටද පත් වූහ.
මේ වන විට බුද්ධ හා ධම්ම යන රත්නයන් විනා සංඝ රත්නය නොවීය. බුදුන්වහන්සේ එක්‌වරම ඒ පිළිබඳ සිත යොමු කළේය. බුද්ධ, ධම්ම යන ද්විවිධ රත්නයෝ දැන් පහළව සිටිති. අන්ධකාරයෙන් වැසී ගිය ලොවක එහි වූ සියලු ගනාන්ධකාර නසා අවිද්‍යාව දුරලා හේතු ප්‍රත්‍යධර්මය තහවුරු කළ හැක්‌කේ බුදුවරයෙකුට පමණක්‌මය. පෙර බුදුවරුද එමඟ ගත්හ. ඒ අසාමාන්‍ය බුද්ධ ලීලාව දැන් සදෙව්ලොව දනිති. එහෙත් මනුලොව ඒ පිළිබඳ තතු ඉතා ස්‌වල්ප වන්නේය. ඒ සඳහා ක්‍රියා කිරීම මා සතු වගකීමය. මම පළමුව මා සමඟ සිටි අයද දෙවනුව මා පිළිබඳව ඇසූ අයද තෙවනුව මගේ සදහම් ආලෝකයෙන් අමා මහ නිවන් දකිනු රිසි වූ අයද ආදි වශයෙන් ශ්‍රාවක සමූහයක්‌ සකසා ගත යුතු වන්නේය.
මේ දඹදිව් තලයෙහි වුවද මිථ්‍යාදෘෂ්ටී බොහෝය. සුමගට වඩා දුමගට ඇද දමන චෞර වෙස්‌ ගත්තාහු බොහෝය. මමද කලකට පෙර ඒ ඇතැම් අය වෙත ගියෙමි. ඔවුන්ගේ හිස්‌ බවද නොගැඹුරු බවද මනාව දත්තෙමි. දැන් ඥන, වීර්ය ප්‍රඥ බල මට නොඅඩුව ඇත්තේ ප්‍රබල ශ්‍රාවක සමූහයක්‌ සකසා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය යනාදී වශයෙන් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව මෙනෙහි කරන්නටද වූහ.
ගාමිණී සුමනසේකර
06. දෙවි බඹුන්ගේ සාදු නද මැද මංගල සදහම් ස්‌වරය නැගෙයි ... !
4. සහම්පති මහා බ්‍රහ්ම රාජයා සුදොවුන් මාළිගාවේ... !
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.