ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලද්දේ හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් බව කවුරුත් දන්නා සත්‍යයකි. මෙරටට හිමිවූ ඒ අනර්ඝ වස්තුව බාධක කම්කටොලු බොහොමයක් මධ්‍යයේ රැකගන්නා ලද්දේ රාජ්‍ය පාලකයන්, සැදැහැ සිතැති භික්‍ෂුන් වහන්සේ හා බුදු දහමින් පෝෂිත ජනතාවයි. ඔවුන් විසින් ආරක්‍ෂා කළ දළදා වහන්සේ ලක්වැසි සියලු දෙනාට රැකවරණය ලබාදෙමින් විරාජමානව වැඩ සිටී.

දළදා වහන්සේගේ රැකවරණය උදෙසා ලාංකිකයෝ කළ මෙහෙවර සොයා ඉතිහාසය පිරික්සීමේදී අපූරු තොරතුරු බොහොමයක් හමුවේ. රාජ්‍ය උරුමයේ මහා සංකේතයක් ලෙස සලකා හැකි උපරිම අයුරින් දළදා වහන්සේගේ ආරක්‍ෂාවට සුදුසු වාතාවරණයක් නිර්මාණය කරන්නට සියලු දෙනා උත්සාහ දැරීය. විදේශීය ආක්‍රමණ හමුවේ දේශීයව ගොඩනැඟුණු අර්බුදකාරී පසුබිම තුළ දළදා වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් රාජ මාලිගය සමීපයේ දළදා මාලිගයක් ගොඩනඟන්නටත්, උන්වහන්සේම පුද සත්කාර කිරීමටත් රාජකීයයන් කටයුතු සූදානම් කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මෙරට අවසන් රාජ්‍ය යුගය වන මහනුවර යුගයේ රජකළ දෙවන විමලධර්මසූරිය රජු සෙංකඩගල නුවර තැනූ දළදා මැඳුරෙහි දළදා වහන්සේ තැන්පත් කරවන ලදුව ආරක්‍ෂා කොට තිබේ. එම වකවානුවේදී මතුවූ සතුරු උවදුරු හමුවේ භික්‍ෂුන් වහන්සේගේ මඟ පෙන්වීම මත වනගත ප්‍රදේශයන්හි සඟවා තබමින් දළදා වහන්සේ ආරක්‍ෂා කොටගෙන තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ලන්දේසි ආක්‍රමණයේදී අස්ගිරි මහා විහාරයේ නාවින්නේ ධම්මදස්සි හිමිපාණන්, රජුගේද සහාය ඇතිව දළදා වහන්සේ ස්ථාන කිහිපයකම ආරක්‍ෂා ඇතිව සඟවා තිබූ බව සඳහන් වේ. එමෙන්ම රාජාධි රාජසිංහ රජ සමයේදී ද දළදා වහන්සේ ආරක්‍ෂා කළ අයුරු කෙවුලුගම තල්පතෙහි සඳහන් වේ.


රාජාධි රාජසිංහයන්ගෙන් පසුව කන්ද උඩරට සිහසුන දැරූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවසද රජුගේ සහාය ඇතිව, භික්‍ෂුන් වහන්සේ දළදා වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී තිබේ. මෙම රාජ්‍ය යුගයේ අස්ගිරි මහා විහාරයේ වැඩසිටි වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමියන් ප්‍රබල ආරක්‍ෂකයකු ලෙස දළදා වහන්සේ රැක ගන්නා ලදී. එවකට පැවැති වාතාවරණය දළදා වහන්සේගේ ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යැයි තේරුම්ගත් රාජකීයයන්, කොත්මලේ පුසුල්පිටියට දළදා වහන්සේ වැඩම කරවන ලදී. මෙසේ වැඩම කරවන ලද දළදා වහන්සේගේ බාරකාරත්වය හිමිකර ගන්නා ලදුව වතාවත් කරන ලද්දේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ය. රජුගේ විශ්වාසය දිනා සිටි හෙයින් වාරියපොළ සුමංගල හිමියන්ට දළදා වහන්සේට දළදා වහන්සේගේ බාරකාරත්වය හා තේවා මුරය හිමිකර දෙන ලදී.

1815 දී උඩරට ගිවිසුම අස්සන් කිරීමත් සමඟ උඩරට රාජධානිය ඉංගී්‍රසි පාලනයට යටත් විය. මෙහිදී ඩොයිලි නම් ඉංගී්‍රසි නිලධාරියා දළදා වහන්සේට සියලු පුද සත්කාර කිරීමට වූ පොරොන්දුව මත මහනුවරින් පිටමං කොට සිටි දළදා වහන්සේ නැවත මහනුවර දළදා මාලිගයට වැඩම කරවන ලදී. නමුත් 1818 උෟව මහා කැරැල්ල අවස්ථාවේ දළදා වහන්සේ සොරකම් කිරීමට රදලවරු කල්පනා කරන ලදී. එවක දළදා වහන්සේගේ තේවා මුරය බාරව සිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් දළදා වහන්සේ මාලිගයෙන් පිටමං කිරීමට ප්‍රධාන ලෙස සහාය දැක්වූ බවද සඳහන් වේ.

දළදා වහන්සේගේ ආරක්‍ෂාව තකා මුර සේවයේ යොදවා සිටි හේවායන් පිටතකට හැර විශ්වාසවන්ත සගයන් කිහිපදෙනකු ගබඩාවල සඟවා තබා, ඔවුන් ලවා දළදා වහන්සේ සහිත රන් කරඬුව පැහැරගෙන තිබේ. මෙසේ පැහැරගත් දළදා වහන්සේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විසින් දිවි හිමියෙන් ආරක්‍ෂා කරගන්නා ලදී. හේමමාලා කුමරිය දළදා වහන්සේ තැන්පත් කොට මෙරටට රැගෙන ආ ‘නයිගිල්ල’ නම් කුඩා කරඬුවෙහි තබන ලද දළදා වහන්සේ තම සිවුරෙහි සාදන ලද කුඩා උරයෙහි සඟවාගෙන දඹුලු මහා වනයේ සැඟවී, ශ්‍රද්ධාවන්තව දළදා වහන්සේ රැකගත් බව සඳහන් වේ. එසේම ඉංගී්‍රසීන්ගේ උකුසු ඇස්වලින් වහන්ව බොහෝ කම්කටොලු මධ්‍යයේ අප්‍රසිද්ධව සැඟවී සිටි බවද ඉතිහාසය ගවේෂණයේදී හෙළිවේ.

දඹුලු කැලයෙහි සැඟවී සිටි සුමංගල හිමි දළදා වහන්සේට කෙතරම් ගෞරව දැක්වීද යත්, උන්වහන්සේ දළදා වහන්සේ වැඩසිටි සිවුරේ වම් උරය දෙසට තම ගෙල නොහරවා දකුණු පසට පමණක් ගෙල හරවා කල්ගත කිරීමෙන් පැහැදිලි වේ. මෙසේ සිටීම නිසාම උන්වහන්සේගේ ගෙල එක පසකට ඇද විය. එසේම විරූපී විය. හිස රැවුල් වැවීම නිසාද කිසිවෙකුට හඳුනාගත නොහැකි අයුරින් විරූපී බවද සඳහන් වේ. මෙසේ සැඟවී සිටි වාරියපොළ හිමියන් ඉංගී්‍රසීන්ට හසුවිය. මෙසේ හසුවූ උන්වහන්සේ ඉංගී්‍රසීන්ගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකි බව වටහා ගන්නා ලදුව තමන්ට දඬුවම් නොකරන ලෙස පොරොන්දු ඇතිව සඟවා සිටි දළදා වහන්සේ ඉංගී්‍රසීන්ට ලබාදී තිබේ. සුදු ජාතිකයන් මේ සියල්ල විස්මිත අයුරින් බලා සිටි බවද සැලවේ. නමුත් ඓතිහාසික තොරතුරුවලට අනුව ඉංග්‍රීසීන් විසින් වාරියපොළ සුමංගල හිමියන්ට දඬුවම් පමුණුවන ලද බවද සඳහන් වේ.

ජාතියේ මහා සම්පතක් වූ දළදා වහන්සේ දිවි හිමියෙන් රැක ගැනීමට නොමඳ කැපකිරීමක් කළ සුමංගල හිමියන් ඉංගී්‍රසි අධිකරණයෙන් වරදකරු කරන ලදුව යාපනයේ සිර කඳවුරක සිරකර තබන ලදී. මේ සියලු දුක් කම්කටොලු ඉවසා ගනිමින් ජීවිතය ගතකළ උන්වහන්සේ 1831 පෙබරවාරි 05 වැනි දින සිර කඳවුර තුළදීම අපවත් විය. ලක් දෙරණට මහා අඳුරක් ඉතිරි කරමින් උන්වහන්සේගේ ආලෝකය නිවී ගියද උන්වහන්සේ කළ මහා මෙහෙවර ඉතිහාසය තුළ නොමැකී සටහන් වී තිබේ. එසේම එකී සේවය වර්තමානයෙහි රැව් පිළිරැව් දෙන්නා සේම අනාගතය තුළත් මහා වීර පුත්‍රයකු ලෙස උන්වහන්සේගේ සේවය සනිටුහන් විය යුතුය.

උපුටා ගැනීම – http://www.mawbima.lk/93-9456-news-detail.html

වෙසඟේ පුදදුන් දළදා සිරිත ...
දළදා හේවිසි පූජා ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.