පුරාණ ශාක්‍ය කෝලිය රටවල් දෙක මැදින් රෝහිණී ගංගාව ගලා බසී. දෙ රටෙහි ම ගොවියෝ රෝහිණී ග‍ඟේ දිය බැඳගෙන ගොවිතැන් කෙරෙති. මේ දිය බැඳීම අරමුණු කැරැගෙන දෙ රටෙහි ගොවියන් අතරැ කලහයක් ඇති විය. අනුවණින් අදූරදර්ශී වැ ක්‍රියා කිරීම නිසා මේ භේදය දෙ රටෙහි පාලකයන් අතරට ද ගියේ ය. අදූරදර්ශී වූ ඒ දෙ පක්‍ෂයෙහි ම පාලකයෝ මහ සටනකට සූදානම් වූහ. ආයුධ සන්නද්ධ වූ දෙපක්‍ෂය ම මහා කෝලාහලයක් කරනු සඳහා රෝහිණී ගඟ දෙ බඩ රැස්වූහ.

මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට දෙ පිරිස් මැද වැඩ සිටිය හ. දෙපක්‍ෂය ම බුදුරජාණන් වහන්සේ දැක සන්සුන් වූහ. මහාකාරුණික බුදුපියාණන් වහන්සේ, “මේ මහා සටනකට සූදානම් වන්නේ කවර දෙයක් අරමුණු කැරැගෙන දැ”යි ඇසූ හ. බොහෝ දෙනා ඒ මහ සටනේ හේතුව වත් දැන සිටියේ නැත. එහෙයින් දෙපක්‍ෂය ම ඔවුනොවුන් මූණ බලන්නට වූහ. ඔවුනොවුන් කසු කසු ගා යම්තම් කාරණය දැනගෙනැ “ග‍ඟේ දිය බැඳීම නිමිති කැරැගෙන ය”යි කීහ. මහාකාරුණික බුදුපියාණෝ “දිය කොපමණ අගනේ දැ යි” දෙපක්‍ෂයෙන් ම ඇසූහ. “ඉතා ස්වල්පයක් අගනේ ය” යි පිළිතුරු ලැබිණි. “ක්‍ෂත්‍රියයෝ මනුෂ්‍යයෝ කොපමණ අගනාහු දැ” යි නැවැතත් බුදුරජාණන් වහන්සේ ඇසූ හ.  ස්වාමීනි, මනුෂ්‍යයන් ගේ අගය, වටිනාකම නො කිය හැකි ය”යි ඔවුහු කීහ. “ඉතා ස්වල්පයක් අගනා ජලය නිසා අගය කළ නොහැකි මනුෂ්‍ය ජීවිත නැති කැරැගන්නට සූදානම් වන්නහු දැ”යි මහා කාරුණිකයන් වහන්සේ ඇසූ හ. ඔවුහු කාරණය වටහාගෙන ලජ්ජාවට පත් වැ බිම බලා ගත් හ.

බුදුරජාණන් වහන්සේ ඔවුනට පෙන්වාදුන් කාරණය මෙය යි. වඩා වටින්නේ වතුර ද? මනුෂ්‍ය ජීවිත ද? අඩු වටිනාකමක් ඇති දෙයක් ලොකුවට ගෙනැ වැඩි වටිනාකමක් ඇති දෙයක් විනාශ කැරැගන්නවා ද යන්න යි. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කෝලියයන් ඉදිරියෙහි තැබූ ප්‍රශ්නය හෙවත් කාරණය වර්තමාන සිංහල බෞද්ධ ජනතාව ඉදිරියෙහි තැබිය යුතු වැ ඇත.

ලක්වැසි සිංහල බෞද්ධයෙනි, වඩා වටින්නේ ශාසනය ද? තමන් ගත් පක්‍ෂය ද? පක්‍ෂයට වඩා ශාසනය වටිනවා යයි මොළේ කළඳක් තරම වත් ඇත්තකු කියනවාට කිසි ම සැකයක් නැත. එසේ නම් අඩු වටිනාකමක් ඇති පක්‍ෂය ලොකුවට අල්ලාගෙනැ වැඩි වටිනාකමක් ඇති ශාසනය විනාශ වන්නට ඉඩ හරිනවා ද? ඔබ ඉදිරියෙහි තැබූ මේ ප්‍රශ්නයට ඔබ ම පිළිතුරු සපයන්න. ඔබට පිළිතුරු සැපැයීමට උපකාර වන පරිදි ඔබ බෙදී සිටින සැටිත් එහෙයින් ම ඔබට අද හිමි වී තිබෙන තත්ත්වයත් මතුවට පැමිණිය හැකි තත්ත්වයත් යම්තමින් සඳහන් කරන්නෙමි.

කලකට පෙරැ ද්‍රවිඩයන් අතර ද දේශපාලන පක්‍ෂ කිහිපයක් තුබුණේ වී නමුත් ක්‍රමයෙන් අඩු වී අවුත් දැන් ප්‍රධාන පක්‍ෂ දෙකකට සීමා වී ඇත. එය ද නම් වශයෙන් දෙකක් හැටියට පෙනී සිටිය ද ජාතික විපතෙක දී එකක් ම වෙයි. පක්‍ෂ භේද අමතක කොට එක්සත් වැ එක්සිත් වැ ක්‍රියා කරයි. මුස්ලිම්වරු සැමදා දිනූ පක්‍ෂයෙහි ය. කවර පක්‍ෂයක් බලයට පත් වුවත් අමාත්‍ය මණ්ඩලයෙහි මුස්ලිම් කෙනෙකු දෙදෙනකු දක්නට ලැබෙනු ඇත. දේශපාලන පක්‍ෂ හත අටකට බෙදී සිටින්නාහු සිංහලයෝ නො වෙත් ද? විශේෂයෙන් සිංහල බෞද්ධයෝ නො වෙත් ද? ලෝකයෙහි අන් රටවල පක්‍ෂ භේදය බලපාන්නේ මැතිවරණ කටයුතුවල දී හා දේශපාලන කටයුතුවලදී පමණක් ය. ජාතික විපතෙක දී ඒ සියල්ල අමතක කොට එක්සත් වීම සිරිත ය. එහෙත් සිංහලයා ගේ පක්‍ෂ භේදය පන්සලේ පින්කම, මඟුල හා මරණයේ දී පවා බලපාන බව පෙනෙන්නට ඇත.

රටෙක ජාතියෙක අනුශාසකයෝ ඒ ඒ ආගමික පූජ්‍ය පූජකයෝ ය. ලංකාවෙහි බෞද්ධ හැරැ අන්‍යාගමික පූජකයෝ දේශපාලන පොර පිටියේ දක්නට නො ලැබෙති. ඔවුන් ගේ ශ්‍රාවකයන් භේද භින්න වැ නො යා දී දේවස්ථානයෙහි සිට ම තමන් මතයෙහි පිහිටුවා ගනු ලැබෙති. මෑතක සිට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දේශපාලන පොර පිටියට බැස සිටින අයුරු ඉතා කණග‍ාටුදායක ය; ශාසන පරිහානියට මං පාදන සුලු ය. එහෙයින් ම මීට පෙර කවරද‍ා වත් නොවූ පරිදි බෞද්ධයන් භේද වැ සිටින බව දක්නට ලැබෙයි. දේශපාලන පක්‍ෂ භේදය පන්සලට රිංගා ගැනීම නිසා දක්නට ලැබෙන පරිහානිය සුළු කොට සැලැකිය යුතු නො‍‍ වේ. එය පන්සලේ පිංකමේ දී පවා බලපාන අයුරු නුවණින් සලකා බලන්නේ මැනැවි.

බෞද්ධ දේශපාලකයන් උත්සවාදියකට හැර බුදුන් වඳින්නට දහම් අසන්නට පන්සලකට යනු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් හෝ ගිය ද ගමෙහි කොටසක් ඒ පන්සල අසුවල් දේශපාලන පක්‍ෂයෙහි ය යි කියන්නට පුරුදු වී ඇත. කිසි දේශපාලන භේදයක් නැති වැ හෝ රටෙහි ජන නායකයන් ජන නායිකාවන් හැටියට දේශපාලන නායකයකු හෝ නායිකාවක හෝ පන්සලේ පිංකමකට හෝ උත්සවයකට පමුණුවා ගත්තොත් ගමෙහි කොටසක් පන්සල වර්ජනය කරන තැනට දැන් කටයුතු යෙදී ඇත.

කිසි ම දේශපාලන පක්‍ෂයකට බැඳී නැති කෙනෙක් පන්සලෙහි බණ පිංකමක් යොදා ගනී. ධර්ම දේශකයකුට ආරාධනා කොට දැන්වීම් පතක් පිළියෙළ කොට මුද්‍රණයට දෙයි. මුද්‍රණකරුවා ද තමන් ළඟ තිබෙන කඩදාසිවල එය මුද්‍රණය කැරැ දෙයි. යම්කිසි විදියෙකින් දේශපාලන පක්‍ෂයකට අයත් පාට කොළයෙක මුද්‍රණය වී තුබුණොත් ඇතැම් ගම්වලැ පැන නඟින තත්ත්වය කුමක් ද? දායක මහතා වත් මුද්‍රණකරුවා වත් සිහිනෙනුදු නොසිතූ දේශපාලන භේදයක් ගමෙහි පැනැනඟී. කොටසක් පන්සල ද වර්ජනය කරති. මුද්‍රිත දැන්වීමෙහි එබඳු දෝෂයක් නැතත් ධර්ම දේශකයන් වහන්සේ කවර දේශපාලන පක්‍ෂයකට අයත් ද, දායක මහතා කවර දේශපාලන පක්‍ෂයකට අයත් දැ යි සෙවීම ද දැන් සිරිතක් වැ පවතී.

බුරුම සියම හා කාම්බෝජ ලාව ආදී කිසි ම ථෙරවාද බෞද්ධ රටෙකැ භික්‍ෂුව පක්‍ෂ දේශපාලනයට බැස නැත. රජය හෝ ජනතාව හෝ භික්‍ෂූන් දේශපාලනයට ඇද ගන්නේත් නැත. එහෙයින් ම පන්සලේ හෝ භික්‍ෂූන් පිළිබඳ වැ හෝ දේශපාලන කතා පැනැ නඟින්නේ නැත. එබැවින් ම ඒ රටවල එක භික්‍ෂු හඬක් හෙවත් එක බෞද්ධ හඬක් ඇත. විශේෂයෙන් සියමෙහි ඒ භික්‍ෂු හඬ හෙවත් බෞද්ධ හඬ කොතරම් බලවත් දැ යි කීව හොත් ඒ හඬට රජතුමාත් හිස නමයි. ඒ හඬට විරුද්ධ වැ රජතුමාට ඒ රටෙහි නම් වැඩි කල් රජකම් කරන්නට ලැබෙන්නේ නැත. නෙ‍ාබෙදුණු එකමුතු භික්‍ෂු හ‍ඬෙහි බලය කොතරම් දැ යි සිතා බලන්නේ මැනැවි.

පුරාණ ලංකාවෙහි ද භික්‍ෂූන් දේශපාලනයට බැසැගත්තේ වත් ඇදගත්තේ වත් නැතැ යි කිව යුතු ය. වර්තමාන ලංකාවෙහි ද ඉතා මෑතක් වන තුරු භික්‍ෂූන් පක්‍ෂ දේශපාලනයට බැසගෙන සිටියේ නැත. ඒ කාලයෙහි භික්‍ෂු බලය හොඳින් පැවැතිණ. එය කොතරම් බලවත් වැ තුබුණා දැයි කිව හොත් මෙරට ආක්‍රමණය කළ අධිරාජ්‍ය තුනට ම තමනට උවමනා පරිදි තම බලය මේ රටෙහි පතුරුවන්නට ලැබුණේ නැත. මේ රටෙහි භික්‍ෂු බලය තිබෙන තුරු අපට උවමනා පරිදි බලය පතුරුවන්නට ලැබෙන්නේ නැතැයි ඉංග්‍රීසීන් භික්‍ෂු බලය නැති කරන්නට කූටෝපක්‍රම යෙදුවේ ද එහෙයිනි. විදේශීන් ආක්‍රමණය කරන කාලයෙහි අප භික්‍ෂූන් සෑහෙන තරමකට පිරිහි සිටි බව රහසක් නොවේ. එහෙත් නොබෙදුණු බලය හෙවත් බෞද්ධ බලය විදේශීන් ගේ කඩුවට තුවක්කුවට හමුදාවට මෙල්ල කළ නොහැකි තරමට පැවැතිණ. අද ඒ භික්‍ෂු බලය කෝ?

භික්‍ෂූන් දේශපාලනයට ඇදගත්තෝ දේශපාලන ගිහියෝ ම ය. මෙ රටේ භික්‍ෂු බලය නැති කළෝත් දේශපාලන ගිහියෝ ම ය. සමහර භික්‍ෂූනුත් හොඳ හිත නිසා දෝ කැත හිත නිසා දෝ බලලෝභී දේශපාලන ගිහියන් ගේ උගුලට අසු වුණා. ගරු කටයුතු භික්‍ෂූන් වහන්ස, කලින් භික්‍ෂූන් බෙදී සිටියේ නිකාය, අධිපති කම්, නායක කාර කම් නිසාය. එහෙත් එබඳු භේද දැන් ටිකෙන් ටික අඩු වන බව පෙනේ. දැන් වැඩිපුර බලපවත්නේ දේශපාලන පක්‍ෂ භේදය නෙ‍ාවේ ද? අන්‍යාගමික පූජකවරුන් ආගමික ප්‍රශ්නවල දී විනා දේශපාලන ප්‍රශ්නවල දී වේදිකාවට නැඟ කෑ ගසන්නේ නෑ නොවේ ද? එසේ ම ඔවුන් ගේ අනුගාමිකයන් තමන්ගේ මතයෙහි පිහිටුවාගෙනැ සිටිනවා නොවේ ද?

දැන් දැන් ධර්ම විනය ප්‍රශ්නවල දී කතා කරන භික්‍ෂූන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් දේශපාලන පොර පිටිවල දී මුරගානා භික්‍ෂූන් නම් දිනෙන් දින ම වැඩි වන බව පෙනෙන්නට ඇත. ඒ ශාසනයේ දියුණුවක් ද? සමහර දේශපාලකයනට උවමනා කරන්නේ භික්‍ෂූන් ඉදිරියට දමා බලය අල්ලා ගැනීම යි. බලයට පත් වූවාට පසු ඒ සැළැකිලි එ තරම් දක්නට නැත. පොඩි ළමයිනට සීනි බෝල දෙන්නාක් මෙන් පොඩි පොඩි සැළැකිලි නැතුවා ම නොවේ. පොදුවේ භික්‍ෂු කමට නම් සලකන්නේ නැත. භික්‍ෂූන් වහන්සේ ද කල්පනා නො‍‍ෙකාට පක්‍ෂ දේශපාලනයට යෑම නිසා සමහර විට බසයේ දුම්රියේ ආසනයක් නොලබන තත්වයක් ආවා නොවේ ද? ගම්වල ලොකු කරදර තත්වයක් ආවා නෙ‍ාවේ ද? දොහොත් මුදුන් තබා වැඳුම් ලැබූ භික්‍ෂූනට වාර කීපයක් තඩි බෑවා නොවේ ද? මේ පක්‍ෂ දේශපාලනය නිසා භික්‍ෂු බලයට වූයේ කුමක්ද? බෞද්‍ධ බලයට වූයේ කුමක්ද? ඉතා ප්‍රබල සමහර බෙ‍ෟද්ධ සංවිධාන පක්‍ෂ දේශපාලනය නිසා නාමශේෂ භාවයට පත් වූවා නොවේ ද?

ගරු කටයුතු මහා සංඝයා වහන්ස, මේ කරුණු වරදවා ගන්න එපා. වරදක් ඇත් නම් සමාධිය භජනය කරන්න. වඩා වටින්නේ ශාසනය ද? පක්‍ෂය ද? අඩු වටිනාකමක් ඇති පක්‍ෂ නිසා වැඩි වටිනාකමක් ඇති ශාසනය පිරිහෙන්නට අරිනවා ද? මේ රටෙහි බෞද්ධ කම පිරිහෙන ලකුණු පහළ වෙලා තිබෙනවා නොවේ ද? බෞද්ධ කම පිරිහුණොත් අපේ වටිනා කම කුමක්ද?

සම්බුද්ධ ශාසනයේ නාමයෙන් පක්‍ෂ භේද අමතක කරන්න. පෞද්ගලික අසමඟි අමනාපකම් හා නිකාය භේද ආදිය අමතක කරන්න. සම්බුද්ධ ශාසනයේ නාමයෙන් සාධාරණ සංවිධානයකින් එක්වන්න. එසේ නො වුව හොත් රට ජාතිය භාෂාව හා ආගම පිරිහෙනවා. භික්‍ෂූන් වහන්සේ ගේ සමඟිය සිංහල බෞද්ධයන්ගේ සමඟියට හේතු වේ. සිංහල බෞද්ධයන් ගේ සමඟිය සිංහල ජාතියේ සමඟියට හේතු වේ. සිංහල ජාතියේ සමඟිය සියලු ලාංකිකයන් ගේ සමඟියට හේතු වේ. එයින් එක්සත් ලංකාවක් බිහි වේ.

ශ්‍රී ලංකාදීප 1966.08.30

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

රට ද? පක්‍ෂය ද?
Bandaranaike and the Buddhists ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.