වෙසඟේ පුදදුන් දළදා සිරිත ... - IFBC Organization | Dhamma

බෞද්ධ ජනතාවගේ බැති සිත අවදි කරන බොදු මංගල්‍යයක්‌ වේද, ඒ වෙසක්‌ මංගල්‍යයම පමණකි. බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් බෞද්ධ ජනතාව ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වත් පිළිවෙත්හි නියෑළුණු අයුරු අතීත රජ දවස සිටම පැවත එන්නක්‌ බව ඉතිහාස පොත පත සනාථ කරයි.

මහාවංශයේ දැක්‌වෙන පරිදි විජය රජ හා පිරිස ලංකාවට ගොඩ බැස ඇත්තේ, බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දිනයේය. බුදුන්වහන්සේ පිරිනිවන් පෑමට පෙර විජය හා පිරිස ආරක්‌ෂා කරන ලෙස උත්පලවර්ණ දෙවියාට භාර කළ සේක. මහාවංශ වතට අනුව ලංකාවට ගොඩබට විජය හා පිරිස ගිලගැනීමට කුවණ්‌ණා නම් යක්‌ෂණිය වෑයම් කළාය. එසේ කිරීමට නොහැකි වූ විට ඈ විජය හා විවාහ වී, යක්‌ෂ ජනයා මරා දැමීමට විජයට උදව් කළාය. විජය රජ තම්බපණ්‌ණි නුවර රජ වී, සිය සම්ප්‍රාප්තියේ පළමු සැමරුම උත්සවශ්‍රීයෙන් සමරන ලද්දේ, බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දින සිට වසරක්‌ ගෙවුන දාය. එනම් වෙසක්‌ පුර පසොලොස්‌වක පෝදාය. විජය රජ තෙමේ බඹ ලොවට පෙනෙන්නට ආලෝක පූජා කළ බැව් ඉතිහාසය පෙන්වා දෙයි. එතැන් පටන් වසර තිස්‌ අටක්‌ තම්බපණ්‌ණියේ රජකම් කළ විජය රජ වසරක්‌ වසරක්‌ පාසා වෙසක්‌ දිනයන්හිදී බුදුන්වහන්සේට ගරු බුහුමන් කරනු පිණිස ආලෝක පූජා පවත්වා ඇතැයි සැලයි.

මෙසිරිලකට වැඩි බුදුරදුන් කෙරෙහි අප්‍රමාණ භක්‌ත්‍යාදරයෙන්, රජවරු ඒ ඒ කලට උචිත විවිධ වතාවත් තෙමගුල සිහිකරමින් පවත්වා ඇති බව පාහියන් වාර්තාවේද ස`දහන් වෙයි. පස්‌වන ශත වර්ෂයේදී අනුරාධපුර අභයගිරියේදී, දළදාවහන්සේට ගෞරව කරමින් ද, බුදුන්වහන්සේගේ තෙමගුල සිහි කරමින්ද, වෙසක්‌ පෙරහරක්‌ පැවැත් වූ බව එහි කියෑවෙයි. ජාතක කතා පන්සියය චිත්‍රයට නගන ලද ධජ පතාක පුවරු රැගත් ජනයා මෙම පෙරහරේ ගමන් කර ඇතිය යන්නද ඉන් දැක්‌වේ. වෙසක්‌ මංගල්‍යය උදෙසා වූ ලංකාද්වීපයේ පෙරහරක ඇරඹුම එය විය හැකිය.


එහි ක්‍රමික විකාශනය සමග වෙසක්‌ පෙරහර මහනුවරට සැපත් වන්නේ, 1829 වසරේදී ය. ඒ ලොවම කලඹා ලු දළදා වතුර ගැලීමත් සමගය. දළදා වතුර ගැලුයේ, වෙසක්‌ පෙරහරේ ආනුභාවයටය. “මාගේ ඇස්‌ පනා පිට මෙවැන්නක්‌ සිදු වූයේ කෙසේද යන්න අදහා ගත නොහැකිය. ස්‌වාභාවික පරිසර සංසිද්ධියක්‌ යටතේ ඇතිවන වර්ෂාව බෙර ඝෝෂාවකින් දෙවියන් ට කියා කලේ කෙසේද යන්න මට ප්‍රශ්නයකි…” යන්න බ්‍රිතානයේ ජාතික එවකට මෙලක ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවර සර් එඩ්වඩ් බාන්ස්‌ පවසා ඇත. ජෝන් ඩොයිලි රචිත A sනැඑජය දෙ එයෑ ජදබිඑසඑමඑසදබ දෙ එයෑ න්බාහ්බ නසබටාදප කෘතියෙහි ඒ බැව් සපථ කොට තිබේ.

වසර 1815 දී මහනුවර රාජධානියේ පාලනය ඉංගී්‍රසින් අතට පත්වීමත් සමග, දළදා පුද පූජාවන් ද දළදා පෙරහර මංගල්‍යයද අභිමානවත්ව පවත්වා ගැනීමට හැකි වූයේ නැත. 1828 වසර අවසානයේ සිටම වැසි රහිත කාලයක්‌ ඇරඹීය. එය කල්යත්ම මහා නියඟයක්‌ වී මහා ව්‍යසනයක්‌ කළේය. මහා සංඝරත්නය සහ නිළමේවරුන් සර් එඩ්වඩ් බාන්ස්‌ වෙත ගොස්‌, වෙසක්‌ පුන් පොහෝ දිනයේ දී දළදා මාළිගය මූලිකත්වයෙන් පෙරහරක්‌ පැවැත්වීමට අවසර පැතීය. ඔච්චමට සිනාසුනු එඩ්වඩ් බාන්ස්‌ අවසර ලබා දුනි. මගුල් බෙර වයා හේවිසි හොරණෑ සක්‌ පිඹ මහා ඝෝෂා කරමින් කවි ස්‌තෝත්‍ර බුදුගුණ ගයා තෙමගුල සිහි කොට වෙසක්‌ පෙරහර ජයටම පැවැත්විණි. පෙරහරේ පෙළහර පෑයේ, නුවර වැව උතුරා, වලාකුළු බැම්මේ කවුළු අතරින් දළදා වතුර ගලමිනි.

එතැන් සිට මේ දක්‌වාම දළදා මාළිගය ඇසුරෙහි වෙසක්‌ පෙරහර පවත්වනු ලබයි. වීථි සංචාරය නොකරන වෙසක්‌ පෙරහර, මාළිගා පරිශ්‍රය හෝ මහමළුව වටා පමණක්‌ ගමන් කිරීමට හුරු ව සිටියි. කාලයේ විකසනය සමගම ඇතැම් විටෙක දැන් දැන් වෙසක්‌ පෙරහර වාහල නාග උපසම්පදා මහෝත්සවයේ ආරම්භක දින හා සමගද පවත්වනු දක්‌නා ලැබේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ දළදා හිමියන් ට අතිශය ගෞරවය දැක්‌වූ රජ කෙනෙකි. සිය මාළිගයේ උඩුමහල්තලයේ වැඩසිටින දළදා හිමියෝ, බුදුරජාණන් වහන්සේම යෑයි සිතූ රජ, ඊට දිනපතා සිය දෝතින්ම වත් පිළිවෙත් පුද පූජා කළහ. දක්‌ෂ හේවිසිකරුවන් ලවා දිනපතා දළදා හේවිසි පූජාවක්‌ද පැවැත්වූහ. රජ එහි පූර්ණ වගකීම පවරා තිබූයේ මොහන්දිරම් පනික්‌කියාටය.

පනික්‌කිරාළ දළදා වහන්සේට කළ යුතු ශබිද පූජාව වෙනුවෙන් අවශ්‍ය සියලු වතාවත් පිළිවෙලකට සකසයි. දළදා වහන්සේටත්, බුද්ධ ශාසනයටත්, “සුභ මංගල්‍යයක්‌ වේවා” යන අරමුණින් සුභ ගණවල පිහිටුවා රජ අණ පරිදි දිනපතා තේවාව සමග ශබ්ද පූජාව පවත්වයි. වෙසක්‌ පොහොය දිනයේදී දළදා ශබ්ද පූජාව අසිරිමත් බවින් අනූන වේ. වෙසක්‌ පුන් පොහොය ළං වෙත්ම මොහන්දිරම් පනික්‌කි රාළ කාර්යය බහුල අයෙකු වෙයි. පොහෝදිනට පෙර දින සවස පනික්‌කිරාළ, ඉන වට පච්චවඩමක්‌ බැ`ද හිසද පිරුවටයකින් වසා ගෙන, පිරුවට ඇ`ද මාළිගාවේ නායක ස්‌වාමින්වහන්සේ, බැහැදැකිය යුතුවෙයි. නිල චාරිත්‍රානුකූලව සැරසෙන පනික්‌කිරාළ නායක හිමිගේ කුටියට පිවිස, වැද නමස්‌කාර කොට හෙට දින වෙසක්‌ පොහොය බව සිහිපත් කරයි. විශේෂ දළදා ශබ්ද පූජාව පැවැත්වීමට පුද පූජා විදි ඉටු කිරීමට අවසර පතයි. වෙසක්‌ පොහොදා විශේෂ පූජාව පැවැත්වෙන බව නායක හිමියෝ දනි. එහෙත් එය චරිත්‍ර විදියකි.

වෙසක්‌ පෝ දිනට පෙර දින සියලුම බෙර වාදකයින්, දෙහි යුෂ ගල්වා ස්‌නානය කළ යුතුය. වාදනයට යොදා ගන්නා සියලුම තූර්යය භාණ්‌ඩද දෙහි යුෂ සහ අමුකහ මිශ්‍ර ජලයෙන් පිස දමා පවිත්‍ර කොට දුම්මල අනුවසනය කොට උස්‌ තැනක තැබිය යුතුය. උදෑසනද පේවී පැමිණ තූර්යය වාදක භාණ්‌ඩ ගෙන විශේෂ ශබ්ද පූජාව අරඹයි.

මාළිගාවේ වෙසක්‌ පොහොය දා, වාදනය කරන මගුල් බෙර වාදනය සුවිශේෂි වූවකි. ගැට බෙරයෙන් මගුල් බෙර සතර වට්‌ටම මුදුන් කොට හෙවත් බෙර පද ඛණ්‌ඩ වැඩි කොට නියමිත ශාස්‌ත්‍රීය පිළිවෙත අනුව, වාදනය කරති. පල්ලේ මාලේ දවුල් තම්මැට්‌ටම් වාදනය කරන වාදකයෝ, ගඳකිලිය ප්‍රදක්‌ෂිණා කොට සතර කොනේ සිටිමින්, දළදා සමි`දුන්ට නමස්‌කාර වලිනඩපද වාදනය කරමින් බුදුන් වඳිති. වලිනඩපද යන්නෙන් අදහස්‌ කරනුයේ, වාදකයින් සමූහයක්‌ එකතු වී ශාස්‌ත්‍රීය පද වැයීමයි. තෙවරක්‌ සක්‌ පිඹ පසුව මගුල් බෙර වාදනය ආරම්භ වෙයි. වෙසක්‌ පෝ දා නව පෑ තේවයේදි කවිකාර මඩුවේ කවි ගායනයද කරති. රජ අණ අනුව දකුණු ඉන්දියානු තූර්යය වාදනයද ආලත්ති අම්මලාගේ විශේෂ ආලත්ති පූජාව ද පැවැත් වූහ.

රාජසිංහයෝ නිරන්තරයෙන්ම වෙසක්‌ පොහෝදා කිරි මුහුද වටා පහන් දල්වා ආලෝක පූජාවද පවත්වා ඇත. ඒ දුටු දනන් විජය රජුගේ ආලෝක පූජාවද සිහිකරන්නට ඇත. ආලෝක පූජා, ශබ්ද පූජා පවත්වා ගෞරව කරන්නේ බුදු රජාණන් වහන්සේටය. උන්වහන්සේගේ මග පෙන්වීමටය. එදා ද එසේය. අදද එසේ විය යුතුය.

මෙසිරිලක එදා පටන් අද දක්‌වා පවත්වනු ලබන ආලෝක පූජා ශබ්ද පූජා වෙසක්‌ දිනයේදී බඹ ලොවට ඇසෙනු ඇති… පෙනෙනු ඇති….

උපුටා ගැනීම – http://www.divaina.com/2014/05/11/nimna02.html

දළදා රැකගත් නිරි‍ෙඳ් ...
සුද්දගෙන් රැකගත්ත දළදාව ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.