විපස්සී බුද්ධ වංශය ( vipassi Buddha Wanshaya )

ඵුස්ස බුදුරදුන් ට පසු කාලයෙ හි පසැස් ඇති සියලු සතුන්ට උතුම් වූ නමින් විපස්සී නම් බුදුරජතෙම ලෝකයෙ හි උපන් සේක. සියලු අවිද්‍යාවන් නැතිකර දමා උතුම් සම්බුදු බව ට පැමිණි සේක් දම්සක් පැවැත්වීම ට බන්ධුමතී නුවර ට වැඩිය සේක.

ලොව ට නායක වූ බුදුරජතෙම දම්සක් පවත්වා බාල සොහොවුරු ඛණ්ඩකුමාර ද,  පුරොහිත බමුණු පුත් තිස්ස ද යන දෙදෙනා ට සිව්සස් අවබෝධ කරවී ය.   ගණනින් නො කිය හැකි අපමණ සත්ත‍වයන් ට පළමු ධර්මාවබෝධය වී ය.  නැවත ද අපමණ යසස් ඇති බුදුරජතෙම ඒ බන්ධුමතී පුරයෙ හි දී සිව්සස් දෙසූ සේක. එ දා අසූහාර දහසක්  දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය.

අසූහාර දහසක් ජනයෝ සම්බුදුරජ අනුව පැවිදි වූ හ. ආරාමය ට පැමිණි ඔවුන් ට පසැස් ඇති බුදුරජතෙම දහම් දෙසූ සේක.
සියලු අයුරින් සිත් කන් යොමු කරවා දහම් දෙසන බුදුරජහු ගේ ධර්මය අසා,  විපස්සී බුදුරජ අනුව පැවිදිවූ ඒ භික‍ෂූහු ද උතුම් දහම් දැන එ ලෙසින් පිළිපැදීමෙන් ඔවුන් ට තුන්වන ධර්මාවබෝධය වී ය.

මහර්ෂී වූ විපස්සී බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇත සන්හුන් සිත් ඇති රාගාදි කිලිටු නැති රහතුන් ගේ රැස්වීම් තුනක් වූ හ. සැට අසූ දහසක් භික‍ෂූන් ගේ පළමුවන රැස්වීම වී ය. ලක්ෂයක් භික‍ෂූන් ගේ දෙවන රැස්වීම වී ය. අට දහසක් භික‍ෂූන් ගේ තුන්වන රැස්වීම වී ය.  එ හි භික්ෂු සමූහයා මැද සම්බුදුරජ ඉතා බබළයි.

මම ඒ කාලයෙ හි මහත් ආනුභාව ඇති පින්වත් ආලෝකයක් දරණ නමින්  “අතුල” නම් නාරජෙක් වීමි. මම ඒ කාලයෙ හි නොයෙක් කෝටි ගණන් නයින් පිරිවරා දිව්‍ය තූර්යයන් වාදනය කරමින් ලෝකයා ට උතුම් වූ බුදුරජවෙත එළඹියෙමි.

මම විපස්සී නම් ලෝනාහිමි සම්බුදුරජ කරා එළඹ ඒ දම්රදුන් ට ආරාධනා කොට මිණිමුතු රුවණින් කළ සියලු ආභරණින් හොබවන ලද රන් පුටුවක් පිදුවෙමි.

ඒ බුදුරජතෙම ද, සඟ මැද වැඩහිඳ මේ අතුල නා රජ තෙම මෙයින් අනූ එක්වන කල්පයෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක. ප්‍රධන් වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද, “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ විපස්සී බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ  විපස්සී බුදුරජුන් ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.

මහර්ෂී වූ විපස්සී බුදුරදුන් ගේ උපන් නුවර බන්ධුමතී නම් වී ය. පිය තෙම  “බන්ධුමන්ත” නම් රජ ය. වැදූ මව “බන්ධුමතී” දේවිය වූවා ය.

ඒ විපස්සී බුදුරජතෙම බුදුවන්ට පෙර අවුරුදු අට දහසක්  ගිහිගෙයි වාසය කළේ ය. “නන්ද” ය, “සුනන‍ද” ය, “සිරිමන්ත” යන උතුම් තුන් පහයක් වූ හ.

මනා ව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. ප්‍රසිද්ධ වූ බිරිඳ “සුතනා” නම් වූවා ය. පුත් තෙම සමවත්තක්ඛන්ධ නමි. විපස්සී ජිනරාජතෙම සතර පෙර නිමිති දැක රථ යානයෙන් මහබිනික්මන් කළේ ය. නො අඩු අට මසක් මුළුල්ලෙ හි ප්‍රධන් වීර්යය කළේ ය.

බඹහු විසින් අයදිනා ලද්දේ මහා වීර වූ නර දෙටු විපස්සී ලෝනා හිමිඳු මිගදාය නම් නගරයෙ හි දී දම්සක් පැවැත්වූ සේක. මහර්ෂී වූ විපස්සී බුදුරදුන් ට “ඛණ්ඩ” ද, “තිස්සනාම” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “අසෝක” නම් වී ය. “චන‍දා” ද, “චන‍දමිත්තා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “පළොල්” ගස ය යි කියනු ලැබේ. පුනබ්බසුමිත්ත ද, “නාග” ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   “සිරිමා” ද,  “උත්තරා” ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ. විපස්සී ලෝනාහිමිඳු අසූ රියනක් උස් විය. උන් වහන්සේ ගේ පැහැය සත් යොදුනක් තැන් දිවෙයි.

ඒ කාලයෙ හි විපස්සී බුදුරදුන් ට අවුරුදු අසූ දහසක් ආයුෂ වී ය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මුදවූ සේක. මග හා නො මග සෙසු පුහුදුන් ට වදාළ සේක. ඒ විපස්සී බුදුරජතෙම ආලෝකය දක්වා අමාපදය යි කියන ලද නිවන් තැබීමට කරුණු වූ දහම් දෙසා ගිනි කඳක් මෙන් දිලිහී ශ්‍රාවකයන් සහිත ව පිරිනිවි සේක.

උතුම් ඍධිය ද, උතුම් පින ද, සක් ලකුණු ආදිය කරණ කොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරය ද, සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?

නුවණ නොහොත් වීර්යය ඇති විපස්සී ජිනරාජ තෙම සුමිත්තාරාමයෙ හි දී පිරිනිවි සේක. එ හි ම උන්වහන්සේ ගේ උතුම් සෑය දාගැබ සත් යොදුනක් උස්වී ය.
[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, විපස්සී බුද්ධ වංශය]

උපුටා ගැනීම -www.thiryak.org

සිඛී බුද්ධ වංශය ( Siki Buddha Wanshaya )
ඵුස්ස බුද්ධ වංශය ( Phussa Buddha Wanshaya )

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.