ලක්දිව මංගල ධර්‍ම දේශනය ... - IFBC Organization | Dhamma

ඉන්දියාවේ පැවැත්වුණු ධර්‍ම සංගායනා අතුරෙන් ප්‍රමුඛස්ථානයක් දිය යුත්තේ තුන්වැන්නට ය. ධර්‍මාශෝක රජතුමා ගේ දායකත්වයෙන් හා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වුණු තෙ වැනි ධර්‍ම සංගායනාවට සහභාගි වූ රහතන් වහන්සේ ගේ සංඛ්‍යාව හා ගත වූ කාලය ද අනෙක් දෙකට ම වඩා අධික ය. පරවාද මථනය කෙරෙමින් කථාවස්තු ප්‍රකරණය ප්‍රකාශනය වීම හා ප්‍රත්‍යන්තදේශවලට ධර්‍ම දූතයන් යැවීමට තීරණය කිරීම ද මේ සංගායනාවෙන් සිදු වුණු විශිෂ්ටතම සේවාව යි.

ලංකා ධර්‍මදූත පිරිසෙහි ප්‍රධානත්වය පැවැරුණේ මිහිඳු මහරහතන් වහන්සේට ය. අනෙක් පළාත්වලට යාමට නියම වුණු රහතන් වහන්සේ ඒ ඒ දිනවල පිටත් ව ගිය අතර මිහිඳු මහ රහතන් වහන්සේ මඳක් පමා වූහ. එ වකට ලක් රජය කෙළේ මුටසිව රජතුමා ය. වයෝවෘද්ධ වැ දුර්‍වල වැ සිටි මුටසිව රජු කලැ ශාසන ප්‍රතිෂ්ඨාපනය නොකළ හැකි බව දැන වදාළ මිහිඳු මහරහතන් වහන්සේ ඔහු පුත් දේවානම් පියතිස්ස කුමරුන් රජ වන තුරු බලා සිටියහ.

මුටසිව රජු ඇවෑමෙන් දේවානම් පියතිස්ස කුමාරයෝ ලක් රජයට පත් වූහ. පොසොන් සැණකෙළිය ලංකාවේ තුබුණු ජාතික උත්සවයෙකි. එ වකට ධර්‍මය නො දැනැ සිටි සිංහල රජවරු සැණකෙළියෙහි අංගයක් වශයෙන් දඩයමේ ගියහ. එ දා, පොසොන් දා දේවානම් පියතිස්ස රාජයාණෝ දහස් ගණන් ජනයා පිරිවරා ගෙන දඩයම් සඳහා මිහින්තලා වන පියසට වන්හ. ලක් දිවැ බුදු සසුන් පිහිටුවීමට කල් බලමින් සිටි මිහිඳු මහ රහතන් වහන්සේ ද එ දා පොසොන් දා මිහින්තලාවට මැ වැඩම කළහ. පිරිවර සහිත වූ මාහිමියාණෝ ගල්තලාවෙකැ වැඩ සිටියහ.

රජාණෝ ද මුවකු පසු පස දුවනුයේ එ පියෙසට මැ ආහ. මිහිඳු මාහිමිපාණෝ, “තිස්ස, තිස්ස” යැයි ඇමැතූහ. මේ හඬ ඇසෙත් ම රජ කලබල විය. පුදුම විය. මා නමින් අමතන්නේ කවරෙක් දැයි හැරී බැලී ය. සියල් පින් සිරින් බැබැළෙමින් සංසුන් ලෙසින් වැඩ සිටි මාහිමිපාණන් වහන්සේ දකිත් ම රජ අතැ තුබූ දුනු හී වහා තැබී ය. දුටුතැන්හි ම සොම්නස් වූ රජ, “ඔබ කවරහු දැ” යි ඇසී ය. “මහරජ, අපි ධර්‍මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි මැ අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු” යි මාහිමිපාණෝ පිළිතුරු දුන්හ.

රජ තෙමේ අදිටු මිතුරු ධර්‍මාශෝක රජු ගේ සසුන් පුවත් අසා දැන සිටියෙන් මේ පිරිස එක් වර මැ අඳුනා ගත්තේ ය. සැණෙකින් පැමිණි රාජ පුරුෂයෝ ද රජු වට කැරැ සිටියහ. මහ රහතුන් වහන්සේ රජුහු ගේ නැණ තරම් දැනැ ගැනීමට ප්‍රශ්න ඇසූහ. රජාණෝ ද තම නැණ පමණ හෙළි කෙරෙමින් පිළිතුරු දුන්හ. ගැඹුරු අදහසක් වුව ද වටහා ගැනීමට රජු සමත් බව තේරුම් ගත් මාහිමිපාණෝ, චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් දම් දෙසීමට සිතා ගත්හ.

බුද්ධ ධර්‍මය අසූහාර දහසක් ධර්‍මස්කන්ධයන් ගෙන් යුක්ත වුව ද ශීල සමාධි ප්‍රඥාවන් මැ හැම බුදුවරයන් ගේ අනුශාසනාව බව ‘සබ්බපාපස්ස අකරණං’ යන ආදි ගාථාවෙන් පැහැදිලි වැ පෙනෙයි. චුල්ලහත්ථිපදොපම සුත්‍රයෙහි විස්තර වශයෙන් ප්‍රකාශ වන්නේ ශීල සමාධි ප්‍රඥා යන ගුණකඳු තුන යි, ශීල සමාධි දෙකින් තොර වැ ප්‍රඥාවෙන් හෙවත් විදර්‍ශනාවෙන් පමණක් නිවන් දැක්ක හැකි යැයි මෙ කලැ ඇතැමුන් කියතත් එය බුද්ධ ධර්‍මය නොවන බව මේ සූත්‍රයෙන් ද හොඳට මැ පැහැදිලි ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ රහතන් වහන්සේ කෙනකුන් නිසා ලක් වැසියනට නිවන් මඟ නොඅඩු වැ ප්‍රකාශ කිරීම සඳහා ලංකාවේ පැවැත්වුණු මංගල ධර්‍ම දේශනාවට මේ චුල්ලහත්ථිපදොපම සූත්‍රය තෝරා ගත් බව කිව යුතු ය. ඒ සූත්‍රයෙහි සාරාංශය මෙ සේ ය:

සූත්‍රයේ මුල ම සඳහන් වන්නේ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හා පිලෝතික පරිව්‍රාජකයා හා අතරැ වූ කතාව ය. අනතුරු වැ ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ කළ කතා ගැන සඳහන් වෙයි.

මේ ධර්‍මය ශ්‍රද්ධාවත් නුවණැති යම් ගිහියෙක් අසයි ද හේ මෙසේ සිතයි: ගිහි ගෙදර කටයුතු බහුල ය. කෙලෙස්වලට වාසස්ථාන ය, මේ ශාසන බ්‍රහ්මචර්යාව සම්පූර්ණවත් වැ පුරන්නට පහසු නැත. එයට සුදුසු මැ පැවිද්ද යැ යි සිතා වස්තුවත් නෑ පරපුරත් අත් හැර අවුත් නිශ්ශරණාධ්‍යාශයෙන් පැවිදි වෙයි. මෙ සේ පැවිදි වූ හෙතෙමේ ක්‍රියා කිරීම් කතා කිරීම් යන දෙමඟින් කළ හැකි දුශ්චරිතවලින් සම්පූර්‍ණයෙන් වැළැකුණේ වෙයි. ඒකාන්ත නිරාපරාධ පුද්ගලයෙක් වෙයි. ගොවිතැන වෙළෙඳාම් මිල මුදල් ගනුදෙනු ආදි කුදු මහත් ගිහි පැවැතුම් සියල්ලෙන් මැ වැළැකීමෙන් තපෝගුණ යුක්ත වූයේ වෙයි.

තව ද බහුභණ්ඩික මහිච්ඡතායෙන් තොර වැ ලද දෙයින් සතුටු වූයේ ආවාසයෙහි හෝ උපස්ථායකයන් කෙරෙහි හෝ පරිෂ්කාරයන් කෙරෙහි හෝ ඇල්මක් නැති වැ නිශ්ශංගචාරී වැ ජීවත් වෙයි. මෙ සේ තමා ගේ නිදොස් වූ ශීලස්කන්ධයෙන් යුක්ත වූයේ තමා කෙරෙහි වූ නිදොස් බව පිළිබඳ පැවිදි සුවය විඳියි. එ මහණ තෙමේ චක්ෂුරාදි ඒ ඒ දොරට හමු වන ඉෂ්ටාලම්බනයෙහි ශුභ වශයෙන් නිමිති නොගන්නේ අනිත්‍යාදි වශයෙන් සිතන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූයේ පැවිදි සුවය විඳියි, එ සේ මැ හැම කටයුත්තෙහි මැ සතිසම්පජඤ්ඤයෙන් යෙදෙන සුලු වෙයි.

මෙ සේ නිදොස් වූ ශීලයෙන් ද උසස් වූ අල්පෙච්ඡතායෙන් ද උතුම් වූ සති සම්පජඤ්ඤයෙන් දැයි යන මේ සතර ගුණයෙන් යුක්ත වූයේ විවේකී වැ ශමථ භාවනාවෙහි යෙදෙයි. එ සේ භාවනා කරනුයේ පඤ්චොපාදානස්කන්ධය පිළිබඳ ආශාව හෙවත් කාමච්ඡන්දය විෂ්කම්භනය කෙරෙයි. එ සේ මැ ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන සෙසු නීවරණයන් ද විෂ්කම්භනය කෙරෙයි.

මෙ සේ උපචාර භූමියෙහි වූ සමාධිය තව තවත් කරනුයේ මින් පෙරැ නො ලැබූ ප්‍රථමධ්‍යානශමථය ලබයි. අනතුරු වැ ඉතිරි ධ්‍යාන ද ලබයි. එ මහණ තෙමේ තව ද ශමථය දියුණු කරනුයේ අභිඥා ද ලබයි. ඒ ලෞකිකධ්‍යානයන් සහ ලෞකිකාභිඥාවන් ලැබූ මහණ තෙමේ එතෙකින් නො නැවැත මතුයෙහි වීර්ය වඩනුයේ මේ බුදු සසුන්හි මුත් අන් කොහි වත් නැත්තා වූ ආශ්‍රවක්ෂයකරඥානය ලබා ගනු පිණිස යටැ කී චතුර්ථධ්‍යානය පාදක කොට විදර්ශනා වඩන්නට පටන් ගනී.

එ මහණ තෙමේ පූර්‍වභාග විදර්ශනා සමයෙහි අනුබෝධ වශයෙනුත්, සෝවාන් ආදි ලොකෝත්තර මාර්ග සමයෙහි ප්‍රතිවේධ වශයෙනුත් මේ පඤ්චොපාදානස්කන්ධය දුකැ යි ද, එය හටගන්වන ප්‍රධාන හේතුව වූ තෘෂ්ණාව සමුදය යැයි ද, එ දෙක වැළැකීමෙන් පැමිණිය යුතු පරම ශාන්තිය වූ නිවන නිරෝධ යැයි ද, එය සලසා ගන්නා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යැයි ද තතු සේ අවබෝධ කෙරෙයි.

මෙ සේ වදාළ කල්හි ඒ ජාණුස්සොනි බමුණු තෙමේ තමා ගේ බලවත් ප්‍රසාදය හෙළි කොට දිවි හිම් කොට තුනුරුවන් සරණ ගියේ ය.

චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙහි ඇතුළත් සීල සමාධි පඤ්ඤා යන ගුණ කඳු තුනට අයත් වූ ධර්‍මය ශ්‍රවණය කිරීමෙන් දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණගත බෞද්ධයෝ වූහ.

සිළුමිණ 1959.06.21

ප්‍රඥාප්‍රභා 3

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

බුදු සමයේ දැක්වෙන සුව වඩන මඟ ...
බෞද්‍ධ ප්‍රතිපත්ති ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.