මිනිස් ඉතිහාසයේ දැවැන්තම අත්හැරීම …

මානව වංශකථාවේ උත්තුංග අයුරින් විරාජමාන ව කැපීපෙනෙන අසත්‍යයයේ කඩතුරාව ඉරාදමා, සත්‍යය අවබෝධ කරගත් ඒ යොවුන් මුනිවරයා අපේ ශාස්තෘ වූ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. මීට වසර දෙදහස් හයසිය ගණනකට ඉහතදී අසත්‍යය දැක, මුළාව දැන එය අලුයම ලූ කෙළ පිඬක් සේ පිළිකුල්සිතින් හැරදැමූ සමය යළි උදා වෙමින් පවතී. ඒ උතුම් වූ මහබිනික්මන සිදු වූ ඇසළ සඳ උදා වන මේ සමයෙහි ඒ වීර පුරාවත මෙසේ දිගහරින්නෙමි.

ඒ වන විට සිද්ධාර්ථයෝ වයස අවුරුදු දහසයක තරුණයෙකි. රජ මාළිගයේ කාගෙත් ආදර ගෞරවයට ලක් වුණු හෙතෙම හොඳින් ශිල්ප උගත් දක්ෂ රාජකුමාරයෙකි. තම පුතු සක්විති රජ වනු ඇතැ යි සිතූ සුදොවුන් රජු ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කළේ ය. හොඳින් උගත්, දක්ෂ, කඩවසම් පි‍්‍රයමනාප තරුණ පුතුට රාජ්‍යය භාර දීමට ඔහු තීරණය කළේ ය. කුමරුගේ සැප පහසුව තකා ප්‍රාසාද තුනක් කරවී ය. නම් වශයෙන් රම්‍ය, සුරම්‍ය හා සුභ නම් වූ ඒවායෙන් එකක් නව මහල් ද, තවෙකක් සත් මහල් ද, අනෙක පස් මහල් ද විය. ප්‍රාසාද තුන මහල් ගණනින් අසමාන වූවත් උසින් නම් එක සමාන විය. එකක් හේමන්ත ඍතුවට ද, තවෙකක් ගිම්හාන ඍතුවට ද, අනෙක වර්ෂා ඍතුවට ද හිත වන පරිදි සකසා තිබිණි. වෙනත් නිවෙස්වල දාස කම්කරු අතැවැසි පුරුෂයනට දෙනුයේ කාඩි දෙවනකොට ඇති නිවුඩුසාලේ බත් ය. සුදොවුන් රජුගේ මාළිගය කොතරම් සශ්‍රීක සෞභාග්‍ය සම්පන්න තැනක් ද යත්, එහි දාස කම්කරු අතැවැසි පුරුෂයනට දෙනුයේ මස් සහිත ඇල් හාලේ බත් ය. තමන් වහන්සේ පෙර ගත කළ ගිහි ජීවිතය පිළිබඳ ව කරුණු දක්වන බුදු රජාණන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක:

“මහණෙනි, මම සියුමැලි වෙමි; පරම සියුමැලි වෙමි; අත්‍යන්තයෙන් සියුමැලි වෙමි. මහණෙනි, මාගේ පියාගේ නිවෙසෙහි පොකුණු කරවා තිබිණි. එකක නිලුපුල් පිපෙයි. එකක හෙළ පියුම් පිපෙයි. එකක රතු පියුම් පිපෙයි. ඒ හුදෙක් මා සඳහා ම ය. මහණෙනි, මම සියුම් නොවූ සඳුනක් නම් නො දරමි. මහණෙනි, මාගේ හිස්වෙළුම ද සියුම් ම වෙයි. … මහණෙනි, රෑ දවාලෙහි සීතල හෝ උෂ්ණය හෝ දූවිලි හෝ තණ හෝ පිනි හෝ මොහු නො පෙළවා යැ යි කියා මට සේසතක් දරනු ලැබේ.”

සිදුහත් කුමරුට වූයේ එවැනි මහත් සැප සම්පත් ය. තම පුතු සුප්‍රබුද්ධ රජුගේ දියණිය වූ යසෝධරාවන් සමඟ විවාහ ජීවිතයක් ගත කරනු දැකීමට කැමැති වූ සුදොවුන් රජු සුප්‍රබුද්ධ රජුට ඒ බව දන්වා පණිවිඩයක් යැවුවේ ය.

“ඔබගේ පුත් සිද්ධාර්ථයන් නොබෝ කලකින් මහණ වීම සඳහා රජය හැරදමයි. එවිට මගේ දියණිය වැන්දඹු වේ. මගේ දියණිය පැවිදි නොවන රජකුට පාවා දෙමි.” සුප්‍රබුද්ධ රජුගේ පිළිතුරු පණිවිඩය එය විය. පණිවිඩය ඇසූ සිදුහත් කුමරු මෙසේ කීවේ ය: “මම පැවිදි වන එකත් පැවිදි වනවා ම යි. එහෙත් යසෝධරාවන් නොලැබුණොත් රාජ්‍යයත් එපා.”

යසෝධරා කුමරිය ද මෙසේ පවසන්නට වූවා ය:

“සිද්ධාර්ථ කුමාරයා හෙට පැවිදි වුණත් මම විවාහ වනවා නම් විවාහ වන්නේ ඔහු සමඟ ම යි. මම වෙනත් කිසිවකු සමඟ විවාහ නො වෙමි.”

සසර පුරා එකට ආ ගමනේ අවසන් ජීවිතයේදී ද ඔවුන්ට එක් වන්නට අවස්ථාව උදා විය. සුද්ධෝදන රජු මේ දෙදෙනාගේ කථා අසා තමන් ශාක්‍ය කුලයට අධිපති බැවින් හා යසෝධරාව නැගණියන් වැදූ දුව වන බැවිනුත් හිමිකම් පවසා, කෙසේ හෝ ගිවිස්වාගෙන මහ ඉහළින් මංගල උත්සවය කළේ ය. දෙදෙනා මුදුනෙහි අභිෂේක ජලය වත් කොට දෙදෙනාට එකවිට ඔටුනු පලඳවා සියලු රාජ්‍යය ම පාවා දුන්නේ ය. තව ද සුද්ධෝදන රජතුමා “සියලු දෙනා තමතමන්ගේ නිවෙස්වල වසන වියපත් දැරියන් අපගේ නිවෙසට එවන්න” යැ යි කියා පණිවිඩ යැවුවේ ය. ශාක්‍යයෝ රජුගේ පණිවිඩය අසා “කුමාරයා හුදෙක් රූපසම්පන්න ය. එහෙත් ඔහු කිසිදු ශිල්පයක් නො දනියි. ඔහුට අඹුවන් පෝෂණය කළ නොහැකි වන්නේ ය. අපි අපේ දියණිවරු නො දෙමුයි” යනුවෙන් පිළිතුරු පණිවිඩ යැවූ හ. පියරජු ඒ බව පුතුට පැවසුවේ ය. සිද්ධාර්ථයෝ නෑයන්ට තම ශිල්ප පෙන්වීමට තීරණය කළහ.

එක්ලක්ෂ හැටදහසක් නෑයෝ පැමිණියහ. සිද්ධාර්ථයෝ ශිල්ප දන්නා ආචාර්යවරු ද එහි ගෙන්වා මහ සෙනග මැද වේදය, ව්‍යාකරණය, ඡන්දොලක්ෂණ, දුනු ශිල්ප, ඇත් ශිල්ප, නීතිය, තර්කය, වෛද්‍යය යනාදි ශිල්ප පෙන්වන්නට වූ හ. කුමරු කොතරම් දක්ෂයෙක් ද යත්: ඔහුගේ හැකියාව සූප ශාස්ත්‍රය, කාම ශාස්ත්‍රය, මෝහනය වැනි විෂයයන් කෙරෙහි ද පැතිර පැවැතිණි. මෙලෙස දහඅටක් ශිල්ප, හැට හතරක් කලා ශිල්ප ආදි වශයෙන් අසම වූ හැකියා සහිත දක්ෂ තරුණයකු වශයෙන් සිදුහත් කුමරු ප්‍රකට විය. බෙහෙවින් සතුටට පත් වූ නෑයෝ තම තමන්ගේ දියණිවරුන් සරසා එවන්නට වූ හ. දැන් සිද්ධාර්ථයන්ට හතළිස් දහසක ශාක්‍ය කුමරියන්ගෙන් යුත් අන්තඞපුරයකි.

දැන් සිද්ධාර්ථයෝ ඒ ඒ ඍතුවට ගැළපෙන ප්‍රාසාදයන්හි දිව්‍යාංගනාවන් වැනි අඟනන්ගේ මඳහස ලැසි බැල්මෙන් පින-පිනා යසෝධරාවන් සමඟ සතුටින් ජීවත් වෙයි. එම ප්‍රාසාදයන්හි කාර්යයන්ගෙන් සතුටට පත් වෙයි. ඒවාහි සිද්ධාර්ථයන් හැරුණු අන් පුරුෂයෙක් නැත. සිටින්නේ ස්ත්‍රීන් පමණ ය. මෙලෙස සිද්ධාර්ථයන්ට හිමි වූයේ සතුට, සැපත, තෘප්තිය උතුරා යන ජීවිතයකි.

කුමරු දිනක් උයනට යෑමට පිටත් විය. ඔහුට අතරමගදී දකින්නට ලැබුණේ අමුතු රූපයකි. ඒ ජරාජීර්ණ වූ, කැඩුණු දත් ඇති, පැළුණු කෙස් ඇති, කුදු වූ, හැරමිටක ආධාරයෙන් වෙවුලමින් ගමන් කරන මහල්ලෙකි. කුමරු මේ ගැන රියැදුරාගෙන් විමසුවේ ය. රියැදුරා කරුණු කීවේ ය: “අහෝ! උපන්නවුන්ට ජරාවට පත් වීමට සිදු වේ ම ය.” කුමරු සංවේගයට පත් විය. උයන් ගමන අඩාල විය. නැවත රජ මැඳුරට ම පිටත් විය.

“සිදුහත් කුමරු මහල්ලකු දුටුවේ ය. එනිසා ඔහු නැවත මාළිගයට පැමිණියේ ය” යන්න දැනගත් සුදොවුන් රජු බෙහෙවින් කම්පාවට පත් විය. “මපුතු සක්විති රජ සැප අතහැරදමා පැවිදි වේවි ද? බමුණන් කියූ අනාවැකි සඵල වේ ද?” රජු දුකට පත් විය. අඩයොදුනක් තැන් මහල්ලකුගේ, ලෙඩකුගේ, මළමිනියක, පැවිදි රුවක දැකීමක් ඇති නොවන ලෙස ආරක්ෂාව තැබුවේ ය. රාජ්‍යාරක්ෂාව කොතෙක් තර වුව ද දෙවැනි දින ලෙඩකු දකින්නට ලැබිණි. “අහෝ! උපන්නවුනට මෙසේ ලෙඩ වන්නටත් සිදු වෙනවා.” එදින ද උයන් ගමන අඩාල විය. එය දැනගත් පියරජු “මගේ පුතුට පැවිදි වන්නට ඉඩ නොතබමි” යි දැඩි අදිටනින් යුතු ව කුමරු ඉදිරියට නාටක ස්ත්‍රීන් යැවුවේ ය. නාටක ස්ත්‍රීන් කාමුක රැ¼ගුම් රැඟුව ද ඒවාට කුමරුගේ නුවණ මුහුකුරා යෑම නවතාලිය නොහැකි විය. දැන් රාජ්‍යාරක්ෂාව බොහෝදුරට දැඩි ලෙස තරකොට තබා ඇත. එබැවින් සතර පෙරනිමිත්තක් කිසිදු අයුරකින් දැකිය නොහැකි ය. එහෙත් උයනට යන කුමරුට මළමිනියක් හා පැවිදි රුවක් ද දක්නට ලැබේ.

‘උපන් සත්ත්වයනට ඒකාන්තයෙන් ම මෙම මහලු වීමට, ලෙඩ වීමට, මරණයට මුහුණ දෙන්නට සිදු වේ ම ය. ජීවිතය කොතරම් සතුටින්, තෘප්තියෙන් ගත කිරීමට සිතුවත් එය ශෝකයෙන්, කඳුළින් ම අවසන් ව යයි. සැපයක් පෙන්වා දුකෙහි ම ගිල්වාදමන මේ ගමනින් මම ඉවත් විය යුතු ය. අන් අය ද ඉවත් කළ යුතු ය. ඒ වෙනුවෙන් මම සියල්ල අතහැරදමන්නෙමි. අතහැර අසම ම සොයන්නෙමි. මම ද මේ පැවිද්දා මෙන් පැවිදි වන්නෙමියි’, කුමරු දැඩි අදිටනක් ඇති කරගත්තේ ය. සියලු දුක් පීඩාවලින් යුතු ගමන පිළිකුල් කරන කුමරුට දැන් ජය කණුවක් පෙනේ; ක්ෂේමභූමි මාර්ගයක් පෙනේ. ‘ඒ නිදහස් පැවිද්දට ද යොමු වන්නෙමි’ යන අදිටන ඇති හෙතෙම එදින උයනෙහි ඇති තාක් සතුටට පත් විය. උයන් ක්‍රීඩා කොට, මඟුල් පොකුණට බැස ජල ක්‍රීඩා කරන්නට විය. හිරු බැස ගිය විට අලංකාරයන්ගෙන් සැරසුණු කුමරු මාළිගයට යෑමට සූදානම් විය. එවිට හදිසි පණිවිඩයක් ලැබිණි. එනම් යසෝධරාවන්ට පුතකු උපන් බව ය. “රාහුලයෙක් ඉපදුණා, මට ගිහි බන්ධනයක් ඇති වුණා” කුමරු පවසන්නට විය. සුදොවුන් රජු සිය මුනුපුරාට ‘රාහුල’ යැ යි නම් තැබුවේ ය. දැන් සිදුහත් කුමරු පියෙකි. ගිහි ගෙය හැර යෑමට එය මහත් බන්ධනයකි. එහෙත් මේ දුක් සහිත බැඳීම් කඩා ඉවත් කරගත යුතු ය. කල්පනාවේ නිමග්න ව මැඳුර කරා ගමන් කරන සිද්ධාර්ථයන්ට උදානයක් ඇසෙන්නට විය.

“මෙවන් පුතකු ලද මව ඒකාන්තයෙන් නිවුණු තැනැත්තියකි. මෙවන් පුතකු ලද පියා ඒකාන්තයෙන් නිවුණු තැනැත්තෙකි. මෙවන් සැමියකු ලද බිරිය ඒකාන්තයෙන් නිවුණු තැනැත්තියකි.” මෙය කීවේ කිසාගෝතමී නම් ක්ෂත්‍රිය කුමරිය යි. මෙහි සඳහන් ‘නිවී ගියේ යැ, නිවී ගියේ යැ’ යන වදන් කුමරු සිත කිඳා බසින්නට විය. අනුත්තර නිවන ම සොයන හෙතෙම ‘මමත් නිවන් සොයමි, මැයත් නිවී ගියේ යැ යි යන වචන කියයි. එබැවින් මැය මට පි‍්‍රය බස් කියයි. අද ම මම ගිහි ජීවිතය අතහැරදමා ගොස් පැවිදි වන්නේ නම් මැනැවැ’ යි සතුටට පත් ව, තම කරෙහි තිබූ ලක්ෂයක් වටිනා මුතුහර ගලවා ඇයට තෑගි කර යැවුවේ ය.

ප්‍රාසාදයට ඇතුළු වුණු කුමරු ඇඳෙහි ඇලවිණි. මැඳුර සුවඳ තෙල් වැට පහනින් ඒකාලෝක විය. . සියලු අලංකාරයන්ගෙන් සැරසුණු, නැටුමෙහි ගැයුමෙහි වැයුමෙහි දක්ෂ දිව්‍යාංගනාවන් බඳු හතළිස් දහසක් නාටක ස්ත්‍රීහු කුමරු පිරිවරාගත්හ. ඔවුන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් කෙරෙහි ඇලීමක් නැති කුමරු නිදන්නට වූයේ ය. කුමරු නිදාගත් බැවින් ස්ත්‍රීහු ද ඒ ඒ තැන්වල ම වැටී නිදාගත්හ. කුමරු නැවත අවදි විය. කලින් දෙවඟනන් සේ නැටූ, දැන් මළ මිනී වැනි ව නිදා සිටිනා ස්ත්‍රීන් ඔහුට පෙනෙන්නට විය. ඇතැම් අය කුණුකෙළ ධාරා වගුරුවති. තවත් අය දත් සපති. තවත් අය තලු ගසති. තවත් අය දොඩවති. ඇතැමුන්ගේ වස්ත්‍ර ගැලවී ගොස් වසාගත යුතු තැන් ප්‍රකට වී ඇත. මෙය නම් කුණපයන්ගෙන් පිරුණු අමු සොහොනක් වැනි ය. ‘දැන් ම මම මේ අමු සොහොනින් නික්ම යමි’ කුමරු අදිටන් කරගත්තේ ය.

සියල්ලන් නිදි මුත් පහන් දැල්වේ. යහනින් නැගී සිටි කුමරු සෙමෙන් සෙමෙන් අඩිය තබා දොර සමීපයට ගියේ ය. එළිපතෙහි හිස තබාගෙන ඡන්න ඇමැති නිදා සිටියි. කුමරු ඔහුට කතා කොට, “කිසිවකුට නොදන්වා වේගවත් අශ්වයකු සූදානම් කරන්න” යැ යි දැන්වී ය. ඡන්න ඇමැති අශ්වශාලාවට යැවූ කුමරු තම පුතු දැකගැනීමට යසෝධරා දේවිය සිටින ශ්‍රී යහන් ගබඩාවට ගොස් දොර විවර කළේ ය. එහි සුවඳ පහන් වැටි දැල්වේ. සමන් මලින් තැනූ යහනෙහි සසර පුරා මෙතෙක් කලක් තමන් තෘප්තිමත් කළ දෙවඟනක බඳු රූ ඇති යසෝධරාව සිය ලෙයින් තැනුණු පුංචි පුතු තුරුලු කොට නිදයි.

කුමරු ‘පුංචි පුතු වඩාගෙන සිඹ සනසමි’ යි සිතන්නට විය. ‘එහෙත් එවිට යසෝධරාව ද අවදි වෙයි. ඇය සමඟ කථා කරන්නට වුව හොත් ගමන අඩාල වෙයි’ කුමරු අනෙක් පැත්ත හැරිණි. පියකුට තම ලෙයින් දරුවකු උපන් කළ එම සිඟිති දරුවා සිපගන්නේ වත් නැති ව ඉවත් ව යා හැක්කේ කෙසේ ද? එයට මහත් ධෛර්යයක්, වීර්යයක් තිබිය යුතු ය. සියලු සතුන් කෙරෙහි පතළ කරුණාවෙන් ම සිද්ධාර්ථයෝ මහබිනික්මනට පිටත් වූ හ.
( අරිය පර්යේෂන සූත්රයේ පැහැදිලිවම සදහන් වන කාරයක් වන්නේ ” මවුපියන් හඩහඩා වලකද්දී ගිහිගෙයින් නික්මුනෙමි” ලෙසයි. එහෙත් මෙම ලිපිය අන්තර්ගතය යෙවනස් නොකර එහි තිබූ අයුරින්ම ඇතුලත් තලෙමි.)

ඡන්න ඇමැති හා කන්ථක අසු ගමනට සූදානම් ය. කන්ථක අසු වෙත ගිය කුමරු අසුගේ පිට අත ගසා ‘යහළු කන්ථකය! අද මේ එක රැයින් ඔබ මා ගලවන්න. මම ඔබේ උදව්වෙන් ගොස් බුදු වී ඔබ ඇතුළු බොහෝ දෙව් මිනිසුන් සසරින් ගලවමි’ යි කියා අසු පිටට නැංඟේ ය. අශ්වයා මහවාසල් දොර වෙත පැමිණුණේ ය. එකෙණෙහි වසවර්ති මාරයා පැමිණ නුවර දොර අහසෙහි සිටියේ ය.

“මහාවීරය, නික්මෙන්නට එපා. මෙයින් සත් දිනක් ගිය විට ඔබට චක්‍රවර්ති රුවන පහළ වෙයි. සතර මහා ද්වීපය හා දෙදහසක් කොදෙව්වලින් පිරුණු මේ සක්වළ ගබ මුළුල්ලේ ම ඒකාධිපත්‍යයෙන් සක්විති රාජ්‍යය කරව. යහළුව, නො යන්න, නොයන්න”යි මාරයා කීවේ ය. එවිට කුමරු ඔබ කවුරුන්දැ යි අසා මාරයා බව දැනගෙන මෙසේ කීවේ ය:

“මහරජ, මම මට සක්විති රාජ්‍යය ලැබෙන බව දනිමි. නමුත් මට ඒ රාජ්‍යයෙන් වැඩක් නැත. මාරය, ඔබ මෙහි නොසිට මෙතැනින් පිටත් වන්න.” තව ද කුමරු “දස දහසක් සියලු ලෝක ධාතුව උසස් ලෙස නාද කොට මම ලොවෙහි බුදු වන්නෙමි” යැ යි ද පැවසුවේ ය. මාරයා අතුරුදන් විය. ඇසළ පුර පසළොස්වක සඳ අහසෙහි බැබළිණි. උත්තරාසාළ්හ නැකැත ඇති කල්හි කුමරු නගරයෙන් නික්මිණි. යොදුන් තිහක් මග ගෙවා අනෝමා නදී තීරයට පැමිණියේ ය. අසු සමඟ ම නදියෙන් එතෙරට පැනගත් කුමරු එහි වැලි තලාවෙහි සිටගත්තේ ය. කුමරු තමන් පැලඳ සිටි ආභරණ ගලවා ඡන්න ඇමැතිට භාර දී අසුත් රැගෙන යන්න යැ යි කීවේ ය. එහෙත් ඡන්න ඇමැති ද පැවිදි වන්නට කැමැති විය. කුමරු එය ප්‍රතික්ෂේප කළේ ය.

දැන් සියල්ල අත් හළ යුතු ය. මේ දිගු කෙසේ පැවිද්දට නුසුදුසු ය. කුමරු එය කපාදැමුවේ ය. කෙස් අඟල් දෙකක් පමණ වී දකුණට කැරකෙමින් හිසෙහි ඇලිණි. උන් වහන්සේගේ ජීවිතය පුරා ඒ කෙස් එලෙස ම පැවැතිණි. නැවැත කෙස් රවුළු බෑමක් සිදු නො විණි. රාජකීය වස්ත්‍ර ද පැවිද්දට නො ගැළපෙයි. එබැවින් ඒවා ද අත්හළ යුතු ය. බෝසතුන්ට පෙර කාශ්‍යප බුද්ධ සමයෙහි ඝටීකර නම් යහළුවෙක් විය. ඔහු එ ජීවිතයේදී ම අනාගාමි බවට පත් වී බ්‍රහ්ම ලොව ඉපදුණේ ය. ඒ ඝටීකාර මහා බ්‍රහ්මයා පෙර තම මිතුරු වූ බෝසතුන්ට ශ්‍රමණ පිරිකර අටක් ද රැගෙන පැමිණියේ ය. කුමරු එම පිරිකර ගෙන පැවිදි විය. ගිහි ජීවිතයට සමුදුන්නේ ය. දැන් හෙතෙම රජ කුමරකු නොව, මහ මගට පිළිපන් ශ්‍රමණයෙකි.

“ඡන්න, ඔබ යන්න. මගේ මවුපියන්ට මම නීරෝගි ව සිටිනා බව මගේ වචනයෙන් පවසන්න” යි කියා ඔහු පිටත් කොට හැරියේ ය.

සියලු දුක් කෙළවර කොට සම්බුද්ධත්වයට පත් වූ බුදු රජාණන් වහන්සේ පසු කලෙක ශ්‍රාවකයන් අමතා මෙසේ වදාළ සේක:

“මහණෙනි, ඒ මට මෙම අදහස විය: ‘කුමක් නිසා මම තමන් ද ඉපදෙන ස්වභාව ඇති ව ඉපදෙන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? තමන් ද ජරාවට පත් වන ස්වභාව ඇති ව ජරාවට පත් වන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? තමන් ද රෝගවලට පත් වන ස්වභාව ඇති ව රෝගවලට පත්වන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? තමන් ද මරණයට පත් වන ස්වභාව ඇති ව මරණයට පත් වන ස්වභාව ඇති ධර්මයක් ම සොයම් ද? … මම ඉපදෙන ස්වභාව ඇති වූයෙම් ඉපදෙන ස්වභාව ඇති ධර්මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව‘ (යනුවෙනි).”

එතුමෝ ඉපදීම, ජරාවට පත් වීම, ලෙඩ වීම, මරණයට පත් වීම, සෝක වැලපුම් ආදි අනේක දුක් පිරි සසරින් එතෙර වීමට සියල්ල අත්හළහ; සක්විති රාජ්‍යය, සසර පුරා තමන් සමඟ එකට පැමිණි පි‍්‍රය බිරිය, සිඟිති බිලිඳු පුතු, මවුපියන්… මේ සියල්ල අත්හළහ; අත්හැර නිවීමට පත් වූ හ. අපට ද නිවෙන මග වදාළහ. අපි ද ඒ මග ගනිමින් නිවීමටත් නිවීමෙන් සැනසීමටත් පත් වීමට අදිටන් කරගනිමු.

සතුටින් සිටින මග ...
දැමුණු සිත - ගෙනෙන සෙත ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.