මහියංගණය මහ සෑරදුන් ... ( Mahiyanganaya Sthupa) - IFBC Organization | Dhamma

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්‍යය දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.

එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.

එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.

කෙසේ වුවත් මේ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයාගේ ගෞරව බහුමානයට පාත්‍ර වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත. ඒ සද්ධා බැතියට සිරස නමා ගරු කරමින් අද සිට මෙම සොළොස්මස්ථාන පිළිබඳව සුළු හෝ හැඟීමක් ඇති කර ගැනීමට බුදුසරණින් අපි එකතු වෙමු.

සොළොස්මස්ථානයන්ගේ මුල්ම පූජනීය ස්ථානය ලෙස හඳුන්වන්නේ මහියංගණය ය. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී ලාංකේය බිමේ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්‍යානයට වැඩි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.

එසේ සපැමිණියේ එම භූමිය අරක්ගෙන සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීමට ය. මේ ගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගත් බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව් රජ තෙම ද සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවෙයි. සුමන සමන් දෙව් රජිදාණන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්‍රනීලමය ස්තූපයක් මහා සුමන දෙවිඳුන් විසින් කරවූ බව මහා වංශයේ සඳහන් වෙයි. මෙම සිදුවීමත් සමඟ ලාංකේය බිමේ ඉදිවූ ප්‍රථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත විය. සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ නම් මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙයි. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සොහොයුරාණන් වූ උද්ධ චූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බව ද ඉතිහාස කතා පුවතේ සඳහන් වෙයි.

වෝහාරික තිස්ස රජු ( ක්‍රි. ව. 210 – 232 ) මෙම මහා සෑයට ඡත්‍රයක් සවි කළේය. පළමුවන පරාක්‍රමබාහු නිශ්ශංකමල්ල ඇතුළු රජවරු බොහොමයක් මෙම ස්තූපයේ පිළිසකර ආදී කටයුතු සිදු කළහ.

ක්‍රි. ව. 1850 වනවිට ස්තූපය ගරා වැටී තිබුණි. 1890 වසරේදී මෙය ප්‍රතිසංස්කරණය කර කොත පළඳවන ලදී. 1907 දී නැවතත් දා ගැබෙහි උඩ කොටස කඩා වැටුණු අතර අඹගස්වැව රතනජෝති හිමියන්ගේ උත්සාහයෙන් එය අලුත්වැඩියා කළ ද 1922 වසරේදී නැවතත් මහ සෑය කඩා වැටුණි. 1949 දී නැවත ප්‍රතිසංස්කරණය කිරීම අරඹා 1961 දී ස්තූපයේ කොත පළඳවන ලදී. අද අප දකින්නේ එය යි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අධීක්‍ෂණයෙන් 1951 වසරේදී මෙහි ධාතු ගර්භය විවර කිරීමේදී ඉතා ඓතිහාසික වටිනාකමකින් යුතු පළමුවන විජයබාහු රාජ්‍ය සමයට අයත් ( 1055 – 1110 ) සිතුවම් කීපයක් හමු විය. මෙම සිතුවම් අනුරාධපුර යුගයටත් පෙර විය හැකි බවත් මෙම චිත්‍ර ඉතා උසස් සෞන්දර්යාත්මක ලක්‍ෂණ ඵල කෙරෙන බවත් රේඛා සටහන් පවා ඉතා අර්ථවත් බවත් මහාචාර්යවරයා පවසයි. ඉතා පැරැණි මෙම චිත්‍ර පැරැණි ලාංකේය කලා කරුවාගේ විශිෂ්ට ගුණ ප්‍රකට කරනා කලාත්මක නිර්මාණයන් බව වියතුන්ගේ මතයයි.

බින්තැන්න මහියංගණය ලෙස පාලියට පෙරලී එය නැවත මියුගුණු යනුවෙන් හෙළ බසට පරිවර්ථනය වී ඇත. එමනිසා මෙම ස්තූ®පය මියුගුණු මහා සෑය වශයෙන් ද හඳුන්වනු ලබයි.

රහතන් වහන්සේ හා දෙව් රජාණන්ගේ මෙන්ම මහා නරපතියන්ගේ අතින් යුගයෙන් යුගය උස් වෙමින් අහස් කුසට නැංවුණු මේ සුවිසේසී මියුගුණු මහා සෑ රදුන් අප මාතෘ භූමියේ දෙවියන් විසින් සෑදුප්‍රථම ස්තූ®පය ලෙස සම්මානයට බඳුන් වෙමින් සදා නොමැකෙන සම්බුදු සුසුවඳ විහිදුවාලන අති පූජනීය වස්තුවක් බවට පත්වී තිබේ.

එසේම එය 2600 වසරක මහා සම්බුද්ධත්ව උප්පත්ති කතාවේ ආරම්භය හා සබැඳි සුවිශේෂී ස්මාරකයකි. මහියංගණය නම් මිහි මඬලේ අංගණය නොහොත් මිදුලයි. අප ධර්මද්වීපය තවමත් නොසොල්වා දරාගෙන සිටින මේ මිහිමඬලේ මිදුල සරසන්නේ මහියංගණ නම් මහා සෑ රදුන් විසින් වීම මොනතරම් නම් අපිට අභිමානයක් ද?

බුදුසරණ ඇසුරිනි …

නාගදීප චෛත්‍ය රාජයන් වහන්සේ ( Nagadeepa Sthupa )
සොළොස්මස්ථාන... (Solosmasthana)

One Comment

  • […] 1) මහියංගන‍ය  2) නාගදීපය 3) කැළණිය 4) ශ්‍රී පාදස්ථානය 5) දිවා ගුහාව 6) දීඝවාපිය 7) මුතියංගනය 8) තිස්ස මහා විහාරය 9) ශ්‍රී මහා බෝධිය 10) මිරිසවැටිය 11) රුවන්වැලි සෑය 12) ථූපාරාම‍ය 13) අභයගිරිය 14) ජේතවනාරාමය 15) ශෛල චෛත්‍යය 16) කතරගම කිරි වෙහෙර […]

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.