මංගල බුද්ධ වංශය ( Mangala Buddha Wanshaya ) - IFBC Organization | Dhamma

කොණ්ඩඤ්ඤ නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි මංගල නම් ලෝකනායකයන් වහන්සේ ලොකයෙ හි මෝහ නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක. සෙසු ජිනරාජයන් ට වඩා පැතිරුණා වූ ද, උන්වහන්සේ ගේ අසමාන වූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනා ගේ ආලෝකය යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.
ඒ බුදුරදහු ද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ නමැති) අඳුර නැති කරත්. අසම වූ බුදුබව ට පැමිණ පළමුවන දම්දෙසුමෙ හි දී (දෙවි මිනිසුන්) කෝටි සියක් දහසක ට පළමුවන වර ධර්මාවබෝධය විය.
ඒ බුදුරජතෙම සක්දෙව් විමනෙ හි දී දම් දෙසූසේක් ද, කෝටි නව දහසකට දෙවන වර ධර්මාවබෝධය විය. යම් කලක ආනන‍ද නම් සක්විති රජ බුදුරදුන් වෙත එළඹියේ ද,  එ කල භාග්‍යවත් වූ සම්බුදුරජ තෙම ඉතා උතුම් දහම් නමැති බෙරය ගැසී ද, ඒ කාලයෙ හි සුනන්ද නම් සක්විති රජහු ගේ එකට හැසිරෙන ජන සමූහයෝ අනූ කෝටියක් වූ හ. ඒ හැම දෙන ම ඉතිරි නො වී ඒහිභික්ඛු භාවයෙන් (මහණ මෙහි එව කී පමණින්) පැවිද්දෝ වූ හ.


මහඍෂී වූ මංගල බුදුරදුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුනක් වූ හ. කෝටි සියක් දහසක් දෙනා ගේ පළමුවන රැස්වීම විය. ඒ කාලයෙ හි රාගාදී කෙලෙස් නැති රහතන් වහන්සේලා කෝටි දහසක් දෙනා ගේ දෙවන රැස්වීම ද,  අනූ කෝටියක් දෙනා ගේ තුන්වන රැස්වීම ද විය. මම ඒ කාලයෙ හි මන්ත්‍ර උගන්වන්නා වූ,  සිප් සතර ඉගෙනගන්නා වූ තුන් වේදයෙ හි පරතෙරෙ ට පැමිණි “සුරුචි” නම් බමුණෙකි. මම ඒ මංගල බුදුරදුන් කරා එළඹ බුදිරදින් ගේ සරණ ගොස් බුදිපාමොක් සඟන සුවඳ මලින් පිදිවෙමි. සුවඳ මලින් පුදා ගව පානයෙන් වැළඳවෙමි.

දෙපා ඇති සත්ත‍වයන් ට දෙවි මිනිසුන්ට උතුම් වූ ඒ මංගල බුදුරජහු ද මේ කපින් අපමණ (අසංඛ්‍ය) කල්පයෙ හි මෙතෙම බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක. ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ මංගල බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. මම ඒ මංගල බුදුරදුන් ගේ කීම අසා බොහෝ සේ සිත පැහැදවීමි.

ඒ කාලයෙ හි උතුම් බුදුබව ට පැමිණීම පිණිස සතුට දියුණු කරමින් බුදුරදුන් විෂයෙ හි මාගේ ගෙය පූජාකොට උන්වහන්සේ ගේ සමීපයෙ හි පැවිදිවීමි. සූත්‍ර පෙළ ද, විනයපෙළ ද, නවාංග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනය ද යන සියල්ල ඉගෙනගෙන බුදුසසුන හෙබවීමි. මම ඒ කාලයෙ හි නො පමාවූයේ,  වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා,  පඤ්චාභිඤ්ඤාවන් ගේ පරතෙර ට ගොස් බඹලොව පැමිණියෙමි.

ඒ මහඍෂී වූ මංගල බුදුරදුන් ගේ නුවර “උත්තර” නම් විය.  පියතෙම  “උත්තර” නම් රජ ය. මව් තොමෝ  “උත්තර” නම් බිසව ය. ඒ බුදිරජහු බුදුවීම ට පෙර අවුරුදි නව දහසක් ගිහිගෙයි විසී ය. “යසවන්තු” ය, “සුචිමන්තු” ය,  “සිරිමන්තු” ය,  යන උතුම් තුන් පහයක් වූ හ. මනා ව අබරණින් සරසන ලද පිරිවර අඟනෝ සම තිස් දහසකි.   බිරිඳ “යසවතී” නම් වූවා ය.   පුත්‍ර තෙම “සිවලී” නම් විය. මංගල ජිනරාජතෙම සතර පෙරනිමිති දැක අසුන් යෙදූ යානාවෙන් මහබිනික්මන් කළේ ය.   නො අඩු වූ අට මසක් මුඵල්ලේ බුදූබව පිණිස මහත් උත්සාහය කළේ ය.

මහත් වීර්යය ඇති මංගල ලෝහිමිතෙම බඹහු විසින් අයදනා ලද්දේ,  උතුම් ශෝභා ඇති වනයෙ හි දී දම්සක් පැවැත්වූ සේක. මහඍෂී වු මංගල බුදූරදූන් ට “සුදෙව” ද,  “ධර්මසේන” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “පාලිත” නම් විය. “සීවලී” ද,  “අසෝකා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය නාගස ය යි කියනු  ලැබේ. “නන‍ද” ද,  “විසාඛා” ද, යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූ හ.   “අනුලා” ද,  “සුතනා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ.

මංගල මහමුනිඳු අසූ අට රියනක් උස ය. උන්වහන්සේ ගේ ශරීරයෙන් නොයෙක් සිය දහස් ගණන් රැස් නිතර දිවත්. ඒ කාලයෙ හි අවුරුදු අනූ දහසක් ආයුෂ ඇත. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

මුහුදෙ හි ඒ රළ ගණින් ට යම්සේ නො හැකි වෙත් ද,  එ සේ ම උන්වහන්සේ ගේ ඒ ශ්‍රාවකයෝ ගණින් ට නො හැක්කා හ. ලෝකනායක වූ මංගල බුදූරජහු යම්තාක් කල් වැඩ සිටි සේක් ද,  ඒතාක් කල් උන්වහන්සේ සස්නෙ හි රාගාදී කෙලෙස් සහිතයන් ගේ මරණයක් වූයේ නැත. මහත් පිරිවර ඇති ඒ මංගල බුදුරජහු දහම් නමැති ගිනිහුල දරා, මහජනයා සසර සයුරෙන් එතරකොට ගින්නක් මෙන් දැල්වී පිරිනිවි සේක.

දෙවි මිනිසුන් විෂයෙ හි සංස්කාරයන් ගේ අනිත්‍ය ස්වභාව දක්වා,  ගිනි කන්දක් මෙන් දිලිහී,  හිරු මෙන් අස්තය ට ගිය සේක. මංගල බුදුරජහු “වෙස්සර” නම් උයනෙ හි දී පිරිනිවි සේක.   එ හි ම උන්වහන්සේ ගේ ජිනථූපය තිස් යොදිනක් උස් විය.
[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, මංගල බුද්ධවංශය]

උපුටාගැනීම – www.thiryak.org

සුමන බුද්ධ වංශය ( Sumana Buddha Wanshaya )
කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය ( kondanna Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.