බුදු සසුන සුරකින බවට විශ්වාස කෙරෙන ශ්‍රී විෂ්ණු දෙවියෝ ... - IFBC Organization | Dhamma

විෂ්ණු දේව විශ්වාසය වෛදික යුගය දක්‌වා ඈතට දිව යන්නකි. සෘග්වේද යුගයෙහි සූර්ය පාක්‍ෂික දේවතාවකු ලෙස නැතහොත් සූර්ය දේවතාවගේ ම ප්‍රභවයක්‌ ලෙස සැලකුණු විෂ්ණු දෙවියෝ හින්දු සමයෙහි පසු භාගයේදී දෙවියන් අතර අග්‍ර දේවතාවකු බවට පැමිණියහ.

පසුකාලීන බ්‍රාහ්මණ සමයේ දී විෂ්ණු දෙවියන් කොතරම් අධිපති තත්ත්වයකට පත් වී ද යත් දෙවියන් ඇතුළු ලෝකයාගේ ආරක්‍ෂකයා බවට පවා පත් වීය. මෙකල බිහි වූ බ්‍රහ්ම විෂ්ණු මහේස්‌වර යන ත්‍රීමූර්ති සංකල්පයෙනුත් විෂ්ණු දෙවිඳුට හිමි වුයේ ලෝකාරක්‌ෂතාවයි. සර්වං ජනාත්මයං විෂ්ණු යනුවෙන් මුළු ලෝකය විෂ්ණුට යෑයි දැක්‌වෙන තරමට ම එම අවදියෙහි විෂ්ණු දෙවියන්ට මුල් තැන ලැබිණි. වරක්‌ දුර්වාසස්‌ සෘෂිවරයාගේ සාපයක්‌ නිසා සූරයන්ගේ සතුරන් වූ අසුරයන් බලවත් ව සූරයෝ පිරිහෙන්නට වූහ. සියලු හින්දු භක්‌තිකයෝ එක්‌ව ලෝකාරක්‍ෂක විෂ්ණු දෙවියන් වෙත ගොස්‌ යාඥා කළහ. මහාමේරු පර්වතය දණ්‌ඩ ලෙසත් වාසුකී (අනන්ත) නාගරාජයා රැහැන ලෙසත් කිරිසයුර කළඹන්නැයිද එවිට පැන නැගෙන අමෘතය පානය කිරීමෙන් සුරයන්ට අසුරයන් පරාජය කිරීමට හැකි වන්නේ යෑයි ද විෂ්ණු දෙවිඳු උපදෙස්‌ දුන්හ යි විෂ්ණු පුරාණයෙහි සඳහන් වේ.


භගවත් ගීතාව. ගිත ගෝවින්දය වැනි කෘතීන් කියවන්නකුට විෂ්ණු දෙවියන් පිළිබඳව භාරතීය හින්දුන් තුළ පැවති භක්‌තිය කෙබඳු දැයි සලකා ගත හැකිය. විෂ්ණු දෙවියන් තරම් ප්‍රචලිත දෙවියකු හින්දු කවි සමයෙහි තවත් නැති තරම්ය. මෙම විස්‌තරයන්හි එන අන්දමට විෂ්ණු දෙවියන්ට අත් සතරකි. සර්වතොමුඛ (සෑම පැත්තකටම මුහුණ බැගින්) වේ. දේහ වර්ණය කළු පැහැති ය. (විෂ්ණු දේවරූපවල නිල් පැහැයෙන් සංකේතවත් වන්නේ මේ කාල වර්ණයයි) කහපැහැති වස්‌ත්‍ර ඇඟ දරති. චක්‍රායුධයක්‌, යගදාවක්‌ ශංකයක්‌ අත්හි දරති. ගරුඪ (ගුරුළු) වාහනාරූඪය, ශ්‍රී කාන්තාව මහෙෂිකා කොට වාසය කරති. ශ්‍රිපති කමලපති, ලක්‍ෂ්මිපති යන නම්වලින් විෂ්ණු දෙවිඳුන් හැඳින් වෙන්නේ ශ්‍රීකාන්තාව මහේෂිකා කොටගත් බැවිනි. විෂ්ණු දෙවියන් සයනය කරන්නේ අනන්ත නාග රාජයාගේ භොගාවලියෙහි (පෙන දහසක්‌ ඇති පෙන මඬුල්ලෙහි) බව ද හින්දු කවි සමයෙහි කියවේ. ගෝවින්ද, නාරායන, ගෝපාල, ත්‍රිවික්‍රම, නිලඬග, චක්‍රප්‍රාණ ආදී නම් විශාල සංඛ්‍යාවක්‌ විෂ්ණු පර්යාගව යෙදේ.

විෂ්ණු දෙවිඳුන් ලෝක රක්‍ෂණය සඳහා විවිධ වෙස්‌ගෙන වරින් වර මනුලොවට පැමිණෙන්නේ යයිද දැනට නව වරක්‌ පැමිණ ඇති අතර අනාගතයෙහි තව වරක්‌ පැමිණෙන්නේ යයි ද භගවත් පුරාණයෙහි සඳහන් වෙයි. මත්ස්‍ය (මින්) කාර්ම (ඉදිඹු) වරාහ (ඌරු) යන තිරිසන් සතුන්ගේ වේශයන් ගෙනුත් නරසිංහ යන අර්ධනර වේශයෙනුත් වාමන (අඟුටුමිටි) රසුරාම, බලරාම, පරශුරාම යන බ්‍රාහ්මණ වේශයන්ගෙනුත් කෘෂ්ණ, කල්කි යන මනුෂ්‍ය වේශයන්ගෙනුත් මෙසේ පැමිණෙන බව එහි දැක්‌වේ. විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාර හැටියට මෙම වේශයන් සලකනු ලැබේ. පසුකලක දී මේ අවතාර අතරට බුද්ධාවතාරය එක්‌ කර ගත් බවට සාධක ලැබේ. බුqදුරජාණන් වහන්සේ ලොව පහළ වුයේ ද විෂ්ණු දෙවියන්ට යෑයි සැලකීමෙන් එය නිර්මාණය වූ බව පෙනේ. මේ අතර ම පසුකාලින මහායාන බෞද්ධයන් විෂ්ණු දෙවියන් අවලෝකිතේශ්වර බෞද්ධයන්ගේ පපුවෙන් උපන් බව විශ්වාස කළ අයුරු මහායාන කාරණ්‌ඩ ව්‍යqහ සූත්‍රයෙන් හෙළි වෙයි. මෙම දෙවියන් හින්දුන් අතර මෙන්ම මහායාන බෞද්ධයන් අතර ද පිළිගැනීමට ලක්‌ වූ බවට මෙය සාධකයක්‌ වේ.

විෂ්ණු දෙවිඳුන් හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධය රාවණ යුගය දක්‌වා අතීතයට දිව යයි. රාමායන සේතුබන්ධ ජානකීහරණ ආදී සුප්‍රකට සංස්‌කෘත සාහිත්‍ය කෘතින්හි එන අන්දමට එම පුරාවෘත්තිය මෙසේය. ලංකාපුරය රාජධානිය කොට ගෙන සිටි රාවණ රජු තපසින් මහාබ්‍රහ්මට පරාජය විය. එයින් පැහැදුණු මහාබ්‍රහ්ම රාවණට දෙවියන් ඇතුළු (මිනිසුන් හැර) කිසිවකු විසින් ඔහු නොමැරීය හැකි වරයක්‌ ලබා දුන්නේය. ඉන් ප්‍රයෝජන ගත් රාවණ දෙවියන්ට හිරිහැර කරන්නට විය. ඒ බව දෙවිවරුන් විසින් විෂ්ණු දෙවියන්ට පැමිණිලි කළ කල්හි එතුමෝ රාම වේශයෙන් (රාමාවතාරයෙන්) දඹදිව උපන්හ. රාවණ විසින් සීතාව පැහැර ගෙන ඒමත් රාවණ විසින් ලක්‌දිවට පැමිණ රාවණ නසා සීතාව යළි බේරා ගැනීමත් මේ පුරාවෘත්තයේ ඌන පූරණයෝ වෙති. මේ අනුව රාම වේශයෙන් ප්‍රථම වරට විෂ්ණු දෙවියෝ ලක්‌දිවට පිවිසුනාහ. අනුරාධපුර යුගයේ පශ්චාත් සමය වන විට හින්දු ආගමික බලපෑම් දැඩි ලෙස ලක්‌දිවට එල්ල වීමේ ප්‍රතිඵලය වශයෙන් විෂ්ණු ඇදහිල්ල ලක්‌දිව ව්‍යාප්ත වූ බවට සාධක ලැබේ. මෙම දෙවියන් පිළිබඳ විශ්වාසය මුලින්ම ලක්‌දිවට පැමිණියේ ගජබා (ක්‍රි. ව. 112-134) කාලයේ දී බව ආචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා පැරණි ලක්‌දිව බෞද්ධ ඉතිහාසය නැමැති ග්‍රන්ථයේ පෙන්වා දී ඇත.

මීළගට විෂ්ණු දෙවියන් පිළිබඳ තොරතුරු අපට ලැබෙන්නේ සාහිත්‍ය කෘතීන්හි ලියෑවී ඇති තොරතුරුත් පුරාවිද්‍යාත්මක සාධකත් මගිනි. පොළොන්නරු යුගයේ ලියෑවුණු සසදාවත කාව්‍යයෙහින් දඹදෙනි යුගයේ ලියෑවුණු සද්ධර්ම රත්නාවලියෙහින් කෝට්‌ටේ යුගයේ ලියෑවුණු පැරකුම්බා සිරිත, පරෙවි, ගිරා, කෝකිල, සැළලිහිණි ආදී සන්දේශ කාව්‍යයන්හිත් කාව්‍යශේඛරයෙහිත් විෂ්ණු දෙවියන් පිළිබඳ සඳහන් දක්‌නට ලැබේ. විශේෂයෙන් ම පැරකුම්බා සිරිතෙහි, බොහෝ තැනක පැරකුම්බා රජු සම කොට දක්‌වන්නේ විෂ්ණු දෙවිඳුන්ටය. ඒ වන විට මෙම දෙවිඳුන් ලක්‌දිව ජන හදවත්හි කොතරම් දුරට ස්‌ථාපිත ව සිටින්නට ඇද්ද යන්න ඉන් වටහා ගත හැකිය.

විෂ්ණු දෙවිඳුන් ශ්‍රී ලංකාවේ සුප්‍රකට උපුල්වන් දෙවිඳුන්ම යෑයි මතයක්‌ පවතී. දීපවංශ, මහාවංස යන කෘතින්හි “උප්පලවණ්‌ණ” වංසත්ථප්ප කාසිතියෙහි උප්පල පණ්‌ණ මහා බෝධි වංශයේ උප්පල වණ්‌ඩ දත්ත යන නම්වලින් මේ දෙවිඳුන් හැඳින්වෙයි. බුදුරජුන්ගේ ඉල්ලීම පරිදි සක්‌ දෙවිඳුන් විසින් මතු බුදු සසුන පිහිටන ශ්‍රී ලංකාවෙහි ආරක්‍ෂාව පැවැරුවේ මේ උපුaවන් දෙවිඳුන්ට ය. විජය කුමරුන් ඇතුළු පිරිස ලක්‌දිවට ගොඩබට මොහොතේ පිරිසට එම නූල් බැඳ කුවේණිය ඇතුළු යක්‌ෂයින්ගෙන් ආරක්‍ෂාව සැලසුයේ මේ උපුල්වන් දෙවියන් බව දීපවංශ, මහාවංශ ආදී කෘතීන්හි සඳහන් වෙයි. අනතුරුව දෙවන දප්පුල රජුගේ (ක්‍රි. ව 659-668) කාලයේදී එතුමා බඳිරාල් (කිහිරැල්) විහාරය සාදවා උපුල්වන් දෙවියන් වෙනුවෙන් පූජා කළේය. ජනප්‍රවාදයට අනුව රජතුමා කිහිරි කදකින් උපුල්වන් දෙවියන් දෙව්රුව නෙළා දෙවිනුවර දේවාලයේ තැන්පත් කළ බව ද කියවේ. 1-අග්ගබෝධි රජු (ක්‍රි. ව. 667-683) (සිරිසඟබෝ) උපුල්වන් දෙවියන්ගේ සහයෝගයෙන් අවුරුදු 16 ක්‌ රාජ්‍ය කළ බව මහාවංසය කියයි. (පොළොන්නරු යුගයේ නිශ්ශංක මල්ල රජු (ක්‍රි. ව. 1187-1196) දවස උපුල්වන් දෙවියන් වෙනුවෙන් දේවාලයක්‌ තැන වූ බවට සාධක ලැබේ. දඹුලු විහාරයේ ඇති උපුල්වන් දෙව්රුව නිශ්ශංක මල්ල රජු විසින් කරවූවකැයි විශ්වාස කෙරේ. දඹදෙනි යුගයේ දී දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. පූ. 1236-1270) දෙවිනුවර උපුල්වන් දෙවොල ප්‍රතිසංස්‌කරණය කළ බව පූජාවලිය කියයි. දඹදෙණිය රාජධානිය කොට ගත් වීරබාහු කුමාරයා වත්තුහානු, නම් ජාවක රජු පරාජය කොට පළමුවෙන් ම කළේ උපුල්වන් දෙවියන් උදෙසා දේව පුජාවක්‌ පැවැත්වීම බව මහාවංශය කියයි. දඹදෙනි යුගයේ දී මෙම දෙවියන් පිළිබඳ විශ්වාසය කොතරම් මුල් බැස ගෙන තිබුණේ ද යන්න ඉන් පැහැදිලි වෙයි. කෝට්‌ටේ යුගය වන විට ද මෙම විශ්වාසය පැවැති බව උපුල්වන් දෙවියන් පිළිබඳව සන්දේශ කාව්‍යයන්හි එන විස්‌තරයන්ගෙන් හා පැරකුම්බා සිරිතෙන් සලකා ගත හැකිය. කිහිරැලි උපුල්වන්, සමන් බොක්‌සල්, මහසෙන්, විභීෂණ යනුවෙන් සතර වරම් දෙවි කෙනෙකුන්ව ලක්‌දිව සිටී බවක්‌ ඉන් නායක දෙවියන් උපුල්වන් බවත් ඔහුට නාරා නම් බිසෝ කෙනෙක්‌ හා දුනු නම් පුත් කුමරකු සිටි බවත් සඳහන් ව තිබේ.

විෂ්ණු දෙවියන් හා උපුල්වන් දෙවියන් එක්‌ ව ගෙන සැලකීමට හේතු වූ ප්‍රධාන සාධකය වර්ණය වන්නට ඇත. උපුල් මල නිල් පැහැති වන අතර විෂ්ණු දෙවිඳුන්ගේ පැහැය ද නිල්ය. මේ හැරත් විෂ්ණු දෙවිඳුන් සඳහා භාවිතා වූ උපනාමයක්‌ වන “රාම” යන්න අල්ගම සන්තුයෙහිදී උපුල්වන් දෙවිඳුන් සඳහා යොදා තිබීම ද විෂ්ණු උප්පලවර්ණ දෙකම එක්‌ව විෂ්ණු දෙවියන් සඳහා යෙදුණු බවට සාධක වේ.

කෙසේ වුවද වර්තමානයෙහි විෂ්ණු දෙවිඳුන් ජන සන්තාපහරණයෙහි ලා නොමද ව පිහිට වන දෙවි කෙනකුන් ලෙස හදවත්හි බැති බරව වැඩ වෙසෙන බව නම් නොරහසකි.

සතට සෙත සදන ලොවට මෙත වඩන අපේ නාථ දෙවියෝ ( Lord Natha )
කදිර පුර සිට හෙළ දැය සුරකින කතරගම දෙවියෝ ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.