බුදු රදුන් ගිහි විනයේ දී වදාළ මවුපිය යුතුකම් …

යුතුකම් යනු කරන්නට බැදුණු ක්‍රියා යි, නො කර ම බැරි ක්‍රියා යි. මවුපියන් විසින් දරුවන් කෙරෙහි පැවැත්විය යුතු යුතුකම් මහා රාශියක් වුවත් ඒ සියල්ල මෙහි දී විස්තර කරන්නට නො ගොස් බුදුරජාණන් වහන්සේ ගිහි විනයේ දී වදාළ යුතුකම් පහ පමණක් සඳහන් කරනු ලැබේ.

පාපා නිවාරෙන්ති, කල්‍ය‍ාණෙ නිවෙසන්ති” යි වදාළ පරිදි දරුවන් පවින් – අයහපතින් මුදවා යහපතෙහි යෙදැවීම මවුපියන් ගේ මුල් ම යුතුකම වේ. දරුවකු මවු කුස පිළිසිඳගත් දා පටන් ම මේ කටයුත්තෙහි යෙදිය යුතු ය. මව ගේ ශරීරය – ආහාර අනුව දරුවා ගේ කය වැඩෙන්නාක් මෙන් මව ගේ අදහස් අනුව දරුවාගේ අදහස් වැඩේ. එහෙයින් දරුවා ගේ හොඳ වීම හෝ නරක් වීම හෝ පිළිබඳ ප්‍රධාන වගකිවයුත්තී මව ය. පියා ද මව ගේ ශරීර වර්ධනයට පොෂ්‍යාහාර සපයා දෙන්නාක් මෙන් හොඳ අදහසක් දියුණු වනු සඳහා මව ‍ෙග් හිත නරක් නොවන සේ නිතර ම ගුණ නුවණින් යුතු ව වාසය කළ යුතු ය.

ශ්‍රද්ධාවත් බෝධිරාජ කුමාර මාතාවෝ තම කුසෙහි දරුවකු පිළිසිඳ ගත් බව දත් කෙණෙහි බුදුරජ‍ාණන් වහන්සේ වෙතට ගොස් වැඳ යො මෙ අයං භන්තෙ කුච්ඡිගතො කුමාරකො වා කුමාරිකා වා සො භගවන්තං සරණං ගච්ඡති ධම්මං ච භික්ඛු සංඝං ච” යන ආදීන්, ස්වාමීනි, මාගේ කුසෙහි කුමරෙක් හෝ වේවා කුමරියක් හෝ වේවා ඔහු බුදුන් දහම් සඟුන් සරණ යයි කියා කුස හොත් කල ම දරුවා තෙරුවන් සරණ ගත කළ හ. එයින් තෙරුවන් බෙලෙන් දරුවා ආරක්‍ෂා වෙනුවා පමණක් නො ව අනාගතයෙහි උදාර පුරුෂයකු වීමට ද ආධාර වන්නේ ය.

දරුවා උපන් පසු ආදර්ශයෙන් ද උපදේශයෙන් ද අයහපතින් මුදා යහපතෙහි යෙදැවිය යුතු ය. කුඩා දරුවන් ගේ සිරිත ආදර්ශ ගැනීම ය, දුටු දේ අනුව කිරීම හා ඇසූ දේ අනුව කීම ය. එහෙයින් මවුපියෝ ඉතා කල්පනා වෙන් කථා කළ යුතු ය, ක්‍රියා කළ යුතු ය. යම් කිසි මවක් දරුවා කුසේ සිටින කාලයේ රාග, දෝෂ, මෝහ ආදිය බහුල ව වාසය කළා නම් දරුවා ද සහජයෙන් ම රාග, දෝෂ, මෝහාදිය බහුලයෙක් වන්නේ ය. එසේ ම මව හොඳ අදහස් වලින් යුක්ත ව වාසය කළා නම් දරුවා ද උදාර අදහස් ඇත්තෙක් වන්නේ ය. උපන් පසු ද මවුපියෝ නිතර කලකෝලාහල අසමඟිකම් වලින් යුක්ත ව වෙසත් නම් දරුවා ද එබඳු ම වෙයි. යම් කිසි මවුපිය කෙනෙක් යහපත් පැවැත්මෙන් හා කතාවෙන් ද ශ්‍රද්ධා ශීලාදි ගුණයන් ගෙන් ද වාසය කෙරෙත් නම් ඔවුන් නිසා ඇති වන දරුවෝ ද රටට – ජාතියට – ආගමට හා භාෂාවට වැ‍ඩ ඇත්තෝ ම වෙති. දරුවනට නම් තබන විට ද මෙතෙක් කල් බොහෝ දෙනා උසස් කො‍ට සැලැකූ යුරෝපීය නම් අතහැර අපේ ශිෂ්ටාචාරය අනුව ආර්ය සිංහල නමක් ම තබන්නට සිතට ගන්නේ නම් මැනැවි.

ඇතැම් මවුපියෝ තමන් මත්පැන් බොමින්, දුම්පානය කෙරෙමින්, සූදුවෙහි යෙදෙමින්, චිත්‍රපටි දර්ශනයෙහි ලොල් වෙමින් දූ දරුවන් ඒ ඒ දෙයින් මුදවන්නට උත්සහ දරති, අවවාද කෙරති. එසේ ම තමන් සිල් නොරකිමින්, දවසකට වරක් වත් බුදුන් නොවඳිමින්, ගුණ දහම් නොපුරමින්, දරුවන් ලවා ඒ සියල්ල කරවන්නට වෑයම් කෙරෙති. එහෙත් එය නම් නො කට හැක්කක් බව පැහැදිළි ව ම පෙනේ. තමන් මත්පැන් බීම් ආදී දුසිරිත්හි නො යෙදෙතොත් දරුවෝ ද එබඳු ම වෙති. ඉදින් නරක ආශ්‍රයෙන් එබඳු සිරිතක යෙඳුණත් එයින් දරුවා මුදවා ගැන‍ීම සඳහා අවවාද කිරීමට පිළිවන්කම ලැබෙයි. බොහෝ දෙමාපියනට දරුවන් අයහපතින් මුදවාගන්නට බැරි වන්නේ තමන් තුළ පවත්නා දුසිරිත් නිසාම ය. යම් කිසි මවුපිය කෙනකුන් තමන් දවසකට වරක් වත් බුදුන් වැදීම් ආදී යහපත් ක්‍රියාහි යෙදෙතොත් ඔවුනට දරුවන් ඒ ම‍‍‍ෙඟහි යෙදවීමට විශේෂ උත්සහයක් ගන්නට උවමනා නැත. එහෙයින් තම දරුවන් හොඳින් හදා වඩාගන්නට කැමැති වන මවුපියන් විසින් පළමු ව හොඳ ආදර්ශයෙන් හා දෙවනු ව උපදේශයෙන් ද පූර්වාචාර්යයන් විය යුතු ය.

සුදුසු කාලයෙහි ශිල්ප ශාස්ත්‍රයන් ඉගැන්වීම ද මවුපියන් ගේ යුතුකමෙකි.

දෙගුරුන් විසින් තම – දරුවනට දෙන නොමඳ දන නම්
වියතුන් සබා මැද – ඉන්ට ඉදිරි වැ ශිල්ප දෙනු මැ යි”

(ලෝකෝපකාරය)

අකුරු උගන්වන විට ද ආගම පෙරදැරි ව කටයුතු ය. ආගම දැනුමෙන් තොර උගත්කම තමනටත් ලෝකයටත් අනර්ථ පිණිස පවතින හෙයිනි. ටික කලකට පෙර ලක්දිවට පැමිණි භාරත පුත්‍ර ඒ. එස්. ආර්. රාඝවාචාර්ය තුමා කී වටිනා කීම බෞද්ධ මවුපියන් නිතර ම සිහියේ තබාගත යුතු ය. ශ්‍රී ලංකාවාසී දෙමවුපියවරුනි, ඔබ ගේ දරුවන් ශීලයෙන් පිරිහී උතුම් බුද්ධාගම අතහැර මේ ලෝකයෙහි රජ වුවත් වැඩක් නැත.”

භාෂා ශාස්ත්‍ර උගන්වන විට ද පළමු ව ස්වභාෂාව ද, දෙවනු ව උපයොග – රක්‍ෂාවට උවමනා කරන (මෙකල නම් ඉංගිරිසි) භාෂාව ද ඉගැන්විය යුතු ය. පිළිවන්කම ඇතොත් සාමන්ත භාෂා ද – තමනට අවට සිටින්නවුන් ගේ (සිංහලයනට නම් දෙමළ – හින්දි) භාෂා ද, ඉන් වැඩිය හැකි නම් ඥාති භාෂා (සිංහල භාෂාවට නෑ හුරුකම් ඇති පාලි සංස්කෘත ආදී භාෂා) ද, ඉනුත් වැඩිය හැකි නම් භාෂාන්තර ද ඉගැන්විය යුතු ය. කවර භාෂාවක් ඉගෙන ගත්තත් තමන් සිංහල බව නිතර සිත තබාගත යුතුයි. එසේ වන්නට නම් තම ආචාර ධර්මයනට පටහැනි නොවන ලෙස හැම ඉගැන්වීමක් ම කටයුතු ය. මෙකල ඉංගිරිසි ඉගෙන ගන්නවුන් බොහෝ දෙනකු වැනැසෙන්නේ තමන් සිංහල බව අමතක කොට සංකර වෙස් ගන්නට යෑමෙනි. ඒ නිසා මවුපියන් ගේ යුතුකම් මුල සිට ම නිසි විදියට පැවැත්විය යුතු ය.

සුදුසු කාලය පැමිණි විට දරුවනට ආවාහ විවාහ කරදීම දෙමවුපියන් ගේ යුතුකමෙකි. පෙරදිග චාරිත්‍රානුකූල ව දරුවනට සුදුසු ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් හෝ සොයා දීම මවුපියන් විසින් කට යුතු ය. ස්වයංවරය හෙවත් තමන් ම සුදුස්සා තෝරා ගැනීමක් ද පෙර ස්වල්ප වශයෙන් පැවැත්තේ ය. එහෙත් එය දෙමවුපියන් විසින් පමුණුවා දෙන සුදුස්සන් ගෙන් කෙනෙකු තෝරාගැනීම මිස මෙ කල බහුල වේගන එන හිතුවක්කාර බන්ධන නොවේ. ඉන්ද්‍රිය දමනයක් නැති රාගයෙන් මත් වූ තරුණයකුට හෝ තරුණියකට හෝ තමාට සුදුසු භාර්යාව හෝ ස්වාමියා හෝ සොයා ගැනීම පහසු නො වේ. එහෙයින් ම මෙකල බහුල වේගන එන හිතුවක්කාර බන්ධන වැඩි කල් නො යවා හිතුවක්කාර ම වී යයි. පෙර අප රට නොතිබුණු දික්කසාද (මෙය සිංහල වචනයක් නම් කොට කසාද විය යුතු ය.) වැඩි වීමේ ප්‍රධාන හේතුවත් එය ම ය. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ආවාහ විවාහ බන්ධන මරණයෙන් විනා අන් ලෙසකින් අතර මඟ දී කැඩිය හැක්කක් නො වෙයි. එහෙයින් දරුවනට ආවාහ විවාහ කරදෙන මවුපියන් විසින් වස්තුව පමණක් ම නො බලා ඔවුනට ජීවිතාන්තය තෙක් යහතින් සිටිය හැකි වන පරිදි ඔවුනොවුනට සම වන වයස, ගති සිරිත්, ගුණ නුවණ හා අදහස් ද ඉතා සැලැකිල්ලෙන් විමසා බැලිය යුතු ය.

සුදුසු කල්හි දරුවනට දේපළ පවරා දීම ද මවුපියන් ගේ යුතුකමෙකි. දෙමවුපියන් ගේ අභාවයෙන් දරුවනට ලැබෙන වස්තු දෙනු ලබන්නක් නො ව උරුමයට අයිතිවන්නකි. මෙ තැන දී බුදුරජාණන් වහන්සේ වදාළේ මැරෙන තුරු සිටින්නේ නැති ව දරුවන් ගේ දියුණුවට උවමන‍ා අවස්ථාව නො වරදවා සුදුසු පරිදි දීම ද මවුපියන් ගේ යුතුකමක් බව ය.

 

සිංහල බෙ‍ෟද්‍ධයා 1955.01.15

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

බුදු රදුන් කුල කාන්තාවනට දුන් අවවාද ...
මවුපියෝ ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.