බුදු දහම හා පරිසරය …

ආරාමරොපා වනරොපා – යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච – යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච – සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා- තෙ ජනා සග්ගගාමිනො
– සංයුත්තනිකාය
යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.
මෙහි ආරාම යන්නෙන් ප්‍රකාශ කෙළේ මහජනතාව අවුත් සතුටින් ඇලෙන ප්‍රීති වන මල් හා පලතුරු ලස්සනට වවන ලද උයන් ය. බෞද්ධ සාහිත්‍යයෙහි උයන් පිළිබඳ ඉතිහාසය සෙ‍ායන්නකු ඈත අතීතයට ගොස් නවතින්නේ මඝ ම‍ාණවක කතාව වෙත ය. අවුරුදු දසදහසකටත් කලින් ග්‍රාමසංවර්‍ධන කටයුතුවල යෙදුණු මඝ මාණවකයා ජනතාවගේ යහපත සඳහා මල් පලතුරු හා පොකුණුවලින් ද සෙවණ ගෙන දෙන ගස්වලින් ද ගිමන් ඇරීමට සුදුසු ගෙවල්වලින් ද යුත් උයන් කරවූ බව ධර්‍මග්‍රන්ථයන්හි සඳහන් වේ.
වන යන්නෙන් ගස් සහිත භූමිය ප්‍රකාශ වෙයි. එය ස්වයංජාත වන, රෝපිත වන යයි දෙ කොටසකට බෙදෙයි. ස්වභ‍ාවයෙන් හට ගන්නා ලද්දේ ස්වයංජාත වනය යි. අළුතෙන් රෝපණය කරන ලද ගස් රෝපිත වනය යි. බුදුරජාණන් වහන්සේ අනුන්ගේ යහපත සඳහා ගස් වැවීම හැමදා පින් වැඩෙන පින්කමෙකැයි සදාපුඤ්ඤපවඩ්ඩන සූත්‍රයෙන් දේශනා කෙළෙන් බෞද්ධයෝ ගස් වැවීම ඉතා උද්‍යෝගයෙන් කළහ.
බුදු දහමේ විනය පිටකයේ ප්‍රාතිමෝක්ෂයේ ශාකයන්ගේ වර්ගීකරණයක් ද දක්නට ලැබෙයි. වෘක්ෂලතා ‘භූතගාම’ වශයෙන් එහි දක්වන අතර, පෘථිවියෙහි ජලයෙහි ගල් පර්වතාදියෙහි වැඩෙමින් පවත්නා සියලු උද්භිද වර්ග මේ ගණයට අයත් වන බවත්, එය පවසයි. පාචිත්තිය පාලියට අනුව භූත ගාම වර්ග හෙවත් ශාඛා පහකි. අල හෝ මුල් නිසා ප්‍රරෝහණය වන වෘක්ෂ ලතාදිය මුල් බීජ වශයෙන් ද අතු රිකිලි වලින් ප්‍රරෝහණය වන ශාඛ වර්ග ඛන්ධ බීජ ලෙසින්ද උණ බට වැනි ශාක එලු බීජ වශයෙන් ද කරටි වලින් ප්‍රරෝහණය වන ශාඛ අග්ග බීජ වශයෙන් ද ඇට වර්ග වලින් ප්‍රරෝහණය වන ශාක බීජ බීජ වශයෙන් ද වර්ගීකරණය කැරේ.
අප ගෞතම බෝසත්හු ලුම්බිනී සල් උයනෙහි සුපිපි සල් රුක් සෙවණක උපත ලදහ. බුද්ධගයාවෙහි විහිදී ගිය අතුපතර ඇති මහා බෝ රුක් සෙවණකදී සම්මා සම්බුද්ධත්වයට පත් වූ හ. බුදු වී පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝවැසි ජනතාවට හිත සුව සැලසූ උන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයන්හි රුක් සෙවණක පිරිනිවන් පා වදාළහ. මේ අනුව උන් වහන්සේගේ උපත, බුදු වීම, පිරිනිවන් පෑම සිදු වී ඇත්තේ තුරු සෙවණක දී ම ය.
බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ අඩුම ගණනේ හත් මසක් හෝ පයින් ගමින් ගමට යමින් ගිය ගිය තන්හි දී තමන් සුව නොතකා අනුන් සුව සඳහා දිවා රෑ දෙක්හි පරාර්ථ චර්‍යාවෙහි යෙදුණු උතුමෙකි. පරත‍්ථං පටිපජ්ජථ – පරාර්ථය පිණිස යෙදවූ යී තමන්ගේ ශ්‍රාවකයන් ද පරාර්ථ චර්‍යාවෙහි යෙදැවූහ. අනුන්ගේ යහපත සඳහා ගස් වැවීම ද පරාර්ථකාමී ක්‍රියාවෙකි.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගතකොට ඇත්තේ ද තුරුලිය ඇසුරු කරගෙන ය. දහවන වස් කාලය වැඩ සිටි බව දැක්වෙන්නේ ද පාරිලෙය්‍යක වනයේ ය. භද්දවග්ගිය කුමාරුවරු මුණ ගැසී ඇත්තේ ද උන්වහන්සේ සිංසපා නම් වනගත පෙදෙසක වැඩ වෙසෙද්දී ය. වෘක්ෂලතාවල පත්‍ර, තණකොළ ආදිය උපමා වශයෙන් ගෙන ඇති අවස්ථා බොහෝ විට බණ පොතේ සඳහන්ව ඇත. දිවා විහරණය සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේද තුරුලිය අතර ප්‍රදේශය. භික්ෂූන්ට භාවනාව සඳහා සුදුසු ම ස්ථාන තුරුලිය වලින් ගහණ ප්‍රදේශ ලෙස ද දේශනාකොට ඇත.
බුදුරජානන්වහන්සේ නිතර ම පි‍්‍රය කළේ ශාන්ත සුන්දර නිසල පරිසරයන් ය. උන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ලද්දේ ද මුවන්ට අභය දානය දුන් බැවින් මිගදාය නම් වූ නිසල සොඳුරු වන පියසක ය. අඹ වනය, සීත වනය, කලන්දක නිවාපය, මෝර නිවාපය වැනි තැන්වලදී ද ධර්ම දේශනා කරන ලදි. කොසඹෑ නුවර භික්ෂූන්ගේ අසමගිය හේතුවෙන් උන් වහන්සේ වැඩම කළේ පාරිලෙයිය වනයට යි. එසේ ම උන් වහන්සේගේ ධර්ම දේශනාවන්හි සඳහන් උපමා උපමේයයන් බොහෝ විට අවට පරිසරයෙන් තෝරාගත් ඒවා ය. වරක් උන් වහන්සේ සිංසපා වන ළැහැබෙහිදී කොළ මිටක් කඩාගෙන “මහණෙනි, මා දෙසූ ධර්මය වැඩි ද? නොදෙසූ ධර්මය වැඩි දැ?” යි ප්‍රශ්න කොට, “දෙසූ ධර්මය මා අත ඇති කොළ තරම් ඉතා සුළු ප්‍රමාණයක්” බැව් වදාළහ. පංචස්කන්ධ විභාගයේදී යොදාගෙන ඇති උපමාවන් ඉතා සිත්කලු ය. මනහර ය. අවට පරිසරයෙන් උකහාගත් උපමා ය. රූපය පෙනපිඬක් ලෙසත්, වේදනාව දිය බුබළක් ලෙසත්, සඤ්ඤාව මිරිඟුවක් ලෙසත්, සංඛාර කෙසෙල් කඳක් ලෙසත් විඤ්ඤාණය මායාවක් ලෙසත් දකින්නට උන් වහන්සේ රුචි වූ හ.
නිල්වන් ගොයමින් පිරුණු මගධ කෙත් යාය මැදින් වැඩම කළ බුදු රජාණන් වහන්සේ, “ආනන්ද! මේ මගධ කෙත් යායෙහි ඇති විසිතුරු බව බලන්න. මේ කෙතෙහි සැලැස්මට අනුව භික්‍ෂු – භික්‍ෂුණීන්ගේ සිවුරු ද පිළියෙල විය යුතු යැ” යි අනුදැන වදාළහ. බුදුන් වහන්සේගේ නිජ බිම වූ කිඹුල්වත් පුරය වෙත උන් වහන්සේගේ අවධානය යොමු කරමින් කාළුදායී තෙරුන් කළ වැනුම ස්වභාව සෞන්දර්ය වර්ණනාවේ අග්‍ර ඵලයක් බඳු ය. “මනරම් තුරුලතා සුපිපි මලින් පරිසරය සුවඳවත් කරයි. පරණ පත් සලා නව සුමුදු ළපලුවලින් සැරසුණ තුරුලතාවෝ පල දැරීමට කල් බලා සිටිති. වැඩි සීතකුත් නැත. වැඩි දාහයකුත් නැත. වීරයාණෙනි, මේ නික්ම යෑමට ඉතා සුදුසු කාලය යි.” බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩමවීම වූකලි, උපමා රූපක අලංකාරවලින් හා භාවරූප අපූර්ව පද සංඝටනයෙන් චිත්තරූප මැවීමේ සමත් මේ ස්වභාව සෞන්දර්යය වර්ණනාවේ ආස්වාදයේ ප්‍රතිඵලයක් යැ යි සිතිය හැකි ය
බුද්ධත්වය ලබා බුදුරදුන් ගත කළ දෙවැනි සතියේදී අනිමිස ලෝචන පූජාව පවත්වා ලෝකයාට දුන් ආදර්ශය නම්, තුරු ලතා පවා කළගුණ සැලකීමට ලක් විය යුතු බවත් තුරු ලතා හා මිනිසා අතර මිත්‍රශීලි මෙන් ම ඉතා පූජනීය සම්බන්ධතාවක් තිබිය යුතු බවත් ය.
මජ්ඣිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ සඳහන් ලෙසට බුදුරජාණන් වහන්සේ චුන්ද හිමියන්ට භාවනා කිරීමට යෝග්‍යම ස්ථානය ලෙස දක්වන්නේ තුරුලිය වලින් ගැවසුණ ලෙනය. ‘යං බෝපන චුන්ද සත්ර්‍ථරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කත වෝ නං මයා ඒතානි චුන්ද රුක්ඛමූලානි’ මහාකාශ්‍යප හිමියන්ගේ පැවිදි ජීවිතයේ වැඩි කොටස වැඩ වාසය කර ඇත්තේ ද වනගතව ය.
වනාන්තර බුදු රජාණන් වහන්සේගේ සිත පවා පිනැවූ බව සංයුත්ත නිකායේ සනමාන සූත්‍රයේ සඳහන් වේ. එහි එන සංවාදයකදී එක් රුක් දෙවියෙක් බුදුන් වහන්සේට මෙසේ පවසයි: “සිටි මද්දහනෙහි පක්ෂීන් ඉසිඹුලන කල්හි වනය මහත් සේ හඬ නඟන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.”
එවිට බුදුන් වහන්සේ දුන් පිළිතුර මෙසේ ය:
“සිටි මද්දහනෙහි පක්ෂීන් ඉසිඹුලන කල්හි වනය මහත් සේ හඬ නඟන්නාක් මෙනි. එය මට සිත් පිනවන්නක් ව වැටහේ.
තුරුලිය රැකීම සඳහාද බෞද්ධ දර්ශනය වැදගත් ස්ථාවරයක සිටියි. එය ප්‍රාතිමෝක්ෂයේ දැක්වෙන්නේ මෙසේ ය. බුදුරදුන් අලවි නුවර අග්ගාලව විහාරයේ වැඩ විසූ අවස්ථාවක නුවර වැසි භික්ෂූහු වෙහෙර විහාර ඉදිකිරීම සඳහා වෘක්ෂලතාදිය කපා දමති. එක් ගසක් කපා දැමීමට සූදානම් වන විට එහි සිටි දේවතාවා එය නොකපන ලෙස ඉල්ලා ඇත. භික්ෂුව එය නොඅසා ගස කපා ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෘක්ෂ දේවතාවාගේ පුතාගේ අත තැලී ඇත. මෙයින් කෝප වී භික්ෂුව විනාශ කරන්නට සිතූ දෙවියා පසුව එය පවක් බව සිතා බුදුරජාණන්වහන්සේට මේ පුවත ප්‍රකාශ කරයි. මේ හැර සාමාන්‍ය මිනිස්සුද තුරුලිය සිඳීම ගැන භික්ෂූන් වහන්සේට දොස් කියති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වෘක්ෂලතා සිඳීම උපසපන් භික්ෂුවක් ඇවැතකට පත්වීමක් බව ‘බීජ ගාම භූත ගාම පාතව්‍යතාය පාවිත්තියං’ යනුවෙන් දේශනා කළහ.
බුදුන් වහන්සේ වනාන්තර සිඳ බිඳ ලන්නන් අවමානයට ලක් කර ඇත. වනාන්තර එළිපෙහෙළි කිරීම පිළිබඳ ව දුකුලා ඇවැතක් ද පනවා ඇත.
බුදුරජාණන් වහන්සේ බොහෝ විට වනය වර්ණනා කර ඇත. වරක් උන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ පැවසූ සේක:
“ආනන්දයෙනි, සුළඟින් සැලුණ ඒ තාල වෘක්ෂ පන්තීන්ගේ මිහිරි වූ ද, සිත් අලවන්නා වූ ද, සිත් මත් කරවන්නා වූ ද හඬෙක් විය” යනුවෙනි. තුරු ලතාවන්හි සෞන්දර්යය බුදු ඇසින් දුටු අයුරුයි, ඒ.
ථෙර ගාථාවේ සඳහන් ලෙසට කාලපුට හා සප්පක වැනි රහත් උතුමෝ වනගතව වැඩ වෙසෙමින් වෘක්ෂලතාදිය පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක ප්‍රකාශ දේශනා කොට ඇත.
අරඤ්ඤේ රුක්ඛ මූලේසු
කන්ද රාසු ගුහා සුව
විවේක මනු බ්‍රෑහන්තා
විහන්සු තප්පරායනා

පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්ෂීහු, මේඝ ගර්ජනා ‍ෙහ්තුවෙන් මිහිරි හඬින් නාද කරන මොනරුන් සහිත වනයේ ධ්‍යාන වඩන සුළු වූ අවස්ථා, ඔබගේ සිත් ඇඳ ගනී. සාමාන්‍ය ජනයා නොඇලෙන රමණීය වන පෙදෙස්හි වීතරාග සිත් ඇලෙනුයේ ඔවුන් කාම ගවේෂීන් නොවන හෙයින් යැයි ධම්මපදය පෙන්වා දෙයි.
මේඝයෙන් බියට පත් ව පලා යන සුදෝසුදු පියාපත්වලින් සෑදුණු ඉගිළෙන කොකුන් ඇති අජකරණීය නදියෙහි සිත්කලු රමණීය පරිසරය විචිත්‍ර ව දක්වන සප්පක තෙරුන් වහන්සේ සෞන්දර්යයෙන් මුසපත් වූවාක් මෙන් මෙසේ වර්ණනාවක යෙදෙති:
තැති ගනී දැක වැහි වලාවන්
විදාගෙන සිය සුදු පියාපත්
නදිය අජකරණී
වේ ය මම හරි රමණී
ස්වභාව සෞන්දර්යයෙන් රසාස්වාදයක් විඳිමින් චූලක හිමියන් ගැයූ ගීතයයි මේ:
මනා සිළු ඇති
මනා පිල් ඇති
සොඳුරු නිල් ගෙල ඇති
මනහර මොනරු නද දෙති
ඇත, පොළවෙහි
නිල් තණ පියෙසි
මොනොවට පැතිර ගිය
සොඳුරු වලාකුළු
මහා කසුප් හිමියන් වන ළැහැබ් කෙරෙන් අප්‍රමාණ පී‍්‍රති ප්‍රමෝදයකට පත් වූ ආකාරයයි මේ:
“කුරේරි මාලා චිත්තං – භූමි භාගා වනෝරමා
කුඤ්ඡරුභිරුදා රම්මා -තේ සේලාරමයන්ති මං”
“පැතුරුණ ලුණුවරණ ගස් වදුලෙන් පරිසරය පිවිතුරු ය. බිම් පෙදෙස මනහර ය. ඇතුන්ගේ කුඤ්චනාදයෙන් වන පියස ගිඟුම් දෙයි. ඒ ගිරි කඳුරු මගේ සිත පැහැරගනියි” යනු එහි අදහස යි.

මෙයින් පැහැදිලි වන්නේ රහතන් වහන්සේලා පවා ස්වභාව සෞන්දර්යයෙන් නිරාමිෂ සුඛ වින්දනයක් ලැබූ ආකාරය යි. මෙසේ බුද්ධ ස්වභාවය කෙරෙන් අපි ගංගා, ඇළදොළ, ගස්, ගල් පර්වත හා සියලු පියකරු දේ සමඟ අදහස් හුවමාරු කරගනිමු. කුරුල්ලාගේ ගීතය, දිය ඇල්ලේ ඝෝෂාව, හෙණ හඬ… මේ සියල්ල යථා තත්ත්වයේ නාදය ය. බුද්ධ ස්වභාවයේ ගාථා රාවය ය.
විමුක්ති මාර්ගය සඵල කරගැනීමේදී මිනිස් වාසයෙන් ඈත් වූ වන පියෙස බෙහෙවින් යෝග්‍ය බව බුදු දහමෙහි දක්වා ඇත. “ආරඤ්ඤ ගතෝවා, රුක්ඛමූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා…” ආදි වශයෙන් භික්‍ෂූන් වහන්සේලා ආරණ්‍ය සේනාසන, රුක් මුල් වැනි ස්ථානවල වාසය කළ යුතු බව පෙන්වා දී ඇත. එවැනි ස්ථාන නිසසල ය, සන්සුන් ය. ඇතැම් විට පක්‍ෂීන්, මුව පොව්වන් සහ ඇතුන්ගේ නාදයන් ද ඇසෙනු ඇත. එහෙත් ඒවා කලබලකාරී පරිසරයක ඇසෙන කඨෝර ශබ්ද නො වේ.
මේ හැර කිසි පරිසර අපවිත්‍ර කාරකයක් තුරුලිය අසලට හෝ ජලයට එක් නොකරන ලෙස සංයුක්ත නිකායේ කසීභාරද්වාජ සංයුක්තයේ දක්වන්නේ මෙසේ ය. ‘අප්පහරිත්වා ජඩිඩේහි – අප්පාණ කෙත්වා උදකේ ඕපිලාපේහි’ වැසි කාලයේ වස් වසන ලෙසට භික්ෂූන් වහන්සේට දේශනාකොට ඇත්තේ ද, අලුතින් දලු ලා එන තුරුලිය පෑගීම වැළැක්වීමට ය.
භික්ෂූන් වහන්සේට පමණක් නොව, සියලු සත්වයන්ගේ උපතේ සිට විපත දක්වා ආහාර වශයෙන් ද සෙවණ ලබා ගැනීමට ද ශ්වසනයට අවශ්‍ය වායුවේ පවිත්‍රත්වයටද උපකාරීවන වෘක්ෂලතා වගා කරන්නට උපදෙස් දී ඇත. (ආරාම රෝපා වන රෝපා) තුරුලිය කැපීම නිසා සිදුවන ජල උල්පත් සිඳී යෑම, පාංශ ඛාදනය, ගංගා පත්ල ගොඩ වී ජල විපත් ඇතිවීම වැනි හානිකරන තත්ත්වය නිසා වන වගාවට ද බුදුන් වහන්සේ උපදෙස් දී ඇත.
භූමිය අපවිත්‍ර කරමින් අවට පරිසරය දූෂණය කිරීම බෞද්ධ භික්‍ෂුවකට හෝ බෞද්ධයකුට කළ නොහැකි ය. ජලය හා භූමිය ගැන පැවසීමේදී ඉතා කුඩා ආචාර ධර්ම කෙරෙහි පවා සැලකිලිමත් වී ඇත. වළඳා ඉතිරි බොජුන් නොකැමැත්තේ නම් නිල් තණ නැති බිමෙක හෝ ජීවින් නැති දියෙහි හෝ දැමිය යුතු ය. නිල් තණ ආදියෙහි හෝ පරිභෝග ජලයෙහි හෝ මල මූත්‍ර කිරීම හා කෙළ ගැසීම ඇවැත්වලට පැමිණීමට හේතුවක් බව පරිවාර පාළියේ කීප තැනක ම සඳහන් වෙයි.
පරිවාර පාළියේ භික්ඛුණී විභඞ්ගයට අනුව ආරාමයෙහි අවට හෝ පවුරෙන් පිටත අපද්‍රව්‍ය දැමීම ඇවැත්වලට හේතු වේ. යම් තැනක දිය බී එහි මලමූත්‍ර කරන්නේ නම් එය සිවලුන්ගේ දහමක් යැ යි උද්‍යාන දූෂක ජාතකයේ සඳහන් වේ. අපවිත්‍ර ද්‍රව්‍ය දැමීමට බඳුනක් හෝ ස්ථානයක් වෙන් කර තබාගත යුතු බව චුල්ලවග්ග පාළියේ වත්ථුක්ඛන්ධකයේ දැක්වේ. “සාධු සම්බහුලා ඤාති අපි රුක්ඛා අරඤ්ඤජා” යනුවෙන් තච්ඡසූකර ජාතකයෙහි සඳහන් වේ. එයින් පෙන්වා දෙන්නේ වනාන්තරයෙහි රුක් බොහෝ තිබීම අර්ථ සිද්ධිය සඳහා ම හේතු වන බව යි. යම් ගසෙක සෙවණෙහි යමෙක් හිඳින්නේ වේ ද, ඒ ගසේ අත්තක් හෝ නොබිඳිය යුතු බව ද, එසේ කරන්නේ නම් එය මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් බව ද එය ලාමක බව ද සඳහන් වේ. පේත වත්ථුවේ එන අංකුර පේතවත්ථුවට අනුව ගස් සෙවණකින් එබඳු උපකාරයක් ලබා ගෙන එහි කොළයකුදු නොබිඳිය යුතු බව සඳහන් වේ.
ඇළ, දොළ, ගංගා නදීන් පිළිබඳ ව අලංකාර වර්ණනාවන් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් ද, ඒ සියලු සත්ත්වයෝ වැස්ස නිසා ම ජීවත් වන බව පජ්ජෝත සූත්‍රයෙහි සඳහන් වෙයි. ඇසිඩ් වර්ෂා ඇති වන තත්ත්වයට තරම් පරිසරය දූෂණය කිරීමෙන් පෙනෙන්නේ මිනිසා සියලු සතුනට එරෙහි ව කටයුතු කර ඇති ආකාරය යි.
වනයෙහි වාසය කරන අයගේ සිරුරු වර්‍ණය පවා පහදින බව අරඤ්ඤ සූත්‍රයේ දක්වා ඇත.
වැසි භික්‍ෂූහු නව කර්ම කිරීමට ගොස් වරක් රුක් සින්දා හ; සිඳවූ හ. එවිට ඔවුනට දොස් පැවරූ බුදුන් වහන්සේ, “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කළාහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු රුක්හි ජීවය ඇතැයි යන හැඟීම් ඇත්තෝ ය” යනුවෙන් වදාළ සේක. අමු ලිය, රුක්, තණ ආදි භූත සමූහය සිඳීමෙහි පචිති සික පදය පනවන ලද්දේ අලවු පුරයේදී ය.
බුදුරජාණන් වහන්සේ නිවන හා නිවන් මග ද ලෝකයාට පෙන්වා දුන්හ. ඒ අතර ම නිවන් දකින තුරු වාසනාවන්ත ජීවිත ගත කිරීමට උවමනා කරුණු ද දේශනා කළහ. එයින් එක් කොටසක් ආර්ථීක දියුණුවයි. එහි එක් කොටසක් වගාව යි. බෞද්ධයෝ ඒ වගාව පස් කොටසකට බෙදා ගෙන දියුණු කළහ. 1. ආහාර වගාව, 2. රටෙහි ධනසම්පත්තිය සඳහා පොල් ආදි ස්ථිර වගාව 3. අන්‍යයන්ගේ යහපත සඳහා ගස් වැවීම 4. ගෙවතු වගාව 5. බෙහෙත් වගාව
බුදු දහම සෑම විටම පරිසරයට ආදරය කල බව දැක්වේ. පරිසරයත් සමග බද්ධ වූ ඒ පාරිශුද්ධ ජීවිත සැම විටම නිවක් මග විවර කර ගත්තාහුය. ඒ සුවදායී පරිසරය යනු ඒ උත්තම නිවනට පමණක් දෙවෙනි වූ සැපයක් බව අමතක නොකරන්න. පරිසරය රැකීම යනු නිවනට මගක් බවද කිව යුතුමය.
මින් ලබන උතුම් පුණ්‍යස්කන්ධයෝ සම්බුදු මාම සංදේශය ලොව පුරා රැගෙන යාමට අනන්ත ශක්තිය මාහ ලගා කරත්වා. මා පතන බෝධියෙන් නිවන් දැකීමටත් සසර කතරේ අතරමංව නිරා දුක් විදින අසරණයන්ද ඒමග රැගෙන යාමටත් මේ පුණ්‍යස්කන්ධයෝ පාරමිතාවක්ම වේවා. නිරන්තරයෙන් මා දිරිමත් කරන්නාවූද නොයෙක් ඇණුම් බැනුම් වලින් මා දිරිමත් කරන්නා වූද සියල්ලන්ටම වහ වහා ධර්මය අවබෝධ වේවා… … …

මම සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා
(අති පූජ්‍ය මජිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ ලිපියක් පදනම් කොට අනිකුත් කරුණු ඇතුලත් කරමින් මෙම ලිපිය සකස් කරන ලදි)

 

ඒ මහා කරුණා දිය දහරින් නිවී සැනසෙනු මිස....
සිරිලක පිළිම කලාව
IFBC Home Page