බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය ... ... - IFBC Organization | Dhamma

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි.

සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය.

ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.

අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය.  1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.

දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය.

මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.

2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය.

දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.

එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.

ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල – රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.

ක‍්‍රි.පූ. 200ට අයත් යැයි  සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි.

ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.

එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.

මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.

සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා  ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.

සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක්  දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.

සාමාන්‍යයෙන් පුරා විද්‍යා සන්දර්භවල රෙදිකඩ රැඳී තිබෙන්නේ නැත. එහෙයින් මෙය විරල හමුවීමකි. ධාතූන් වහන්සේලා නිධන් කරද්දී සේද රෙද්දෙන් ආවරණය කර ඇත. සේද රෙද්දෙන් එතූ කරඬුව හමුවද්දී එම සේද රෙදිකඩ තිබුණේ  කරඬුවටම ඇලී ගිය ස්වභාවයකිනි. සේද රෙදි කඩ ආරක්ෂාවී තිබුණේ ද එහෙයින්මය. එය අද දෑසට හසුවන්නේ අවර්ණවත් රෙදිකඩක් ලෙසය.

ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ විශෙෂඥවරියක වන මහාචාර්ය ජූඞීන් කැමරන් විසින් කොටවෙහෙරින් හමු වූ සේද රෙදිකඩ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන ලදී. එම සේද රෙදි කඩ කවර දේශයක කවර තැනක නිපදවූවේද යන්න පිළිබඳව සොයා බලන්නට සාධක නැති වුණත් මේ කාලය වෙද්දී සේද මාවත ඔස්සේ පැමිණෙන සබඳකම් පැවති බවට ඉතිහාසය දෙස් දෙයි.

එහෙයින් මෙම සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ මෙරටට ගෙන එන ලද්දක් විය හැකි බව අපට විශ්වාස කළ හැකිය.

ඉතිහාසයේ විචිත‍්‍රවත් කඩඉම් පොළෝ තලයේ මහ ගැඹුරේ මෙන්ම නටඹුන් තුළ ද ශේෂව පවතියි. මේ ඒ බොහෝ වූ සැඟවුණු අතීත තොරතුරු කදම්බයක් අතරින් මතු වූ එක් අතීත පරිච්ෙඡ්දයක සලකුණු පමණි.

ලංකාදීප ඇසුරිනි.

DSC04734_800x600

DSC04727_800x600

DSC04728_800x600

DSC04729_800x600

DSC04730_800x600

DSC04731_800x600

DSC04732_800x600

DSC04733_800x600

හාස්කම් පිරි ගැටබරු මහ දෙවොළ ...
උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.