බුදුරැස් විහිදෙන සෝමාවතිය ... ( Budu ras vihidena somawathiya ) - IFBC Organization | Dhamma

පාලිධාතුවංශය, සිංහල ධාතුවංශය , ජිනකාලමාලිනිය ආදී ඓතිහාසික ග්‍රන්ථ වලින්ද පුරාවිද්‍යාත්මක ගවේශනයන්ගෙන් සොයාගත් නටබුන් හා සෙල්ලිපි වලින් සෝමාවතී චෛත්‍යරාජයා පිළිබඳව කරුණු රැසක් අනාවරණය වේ.

ඓතිහාසික ග්‍රන්ථ වල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03 කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු මාගම්පුර රජකළ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමාවතී දේවිය කැලණියේ ශිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග විවාහ වී ගිරි නුවර වාසය කළාය. දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමග ඇති වූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය ඇත හැර සෝමාවතී දේවිය සමග සේරු නුවර ශිව රජු වෙත ගියේය. ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ජනපදයක මහවැලි ගඟ අසබඩ රාජධානියක් කොට සොමපුරය ලෙස පාලනය කරන්නට විය.

වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදිකිරීමට සෝමාවතී දේවිය ගිරි අභය කුමරුට යෝජනා කළාය. ගිරිඅභා රජද අපමණ සතුටට පත්ව රහතන් වහන්සේලා 60 නමක් වැඩ විසූ මනරම් සල්වනයක් මැද විහාරයක් සහිත දාගැබක් සැදීමට කටයුතු සුඋදානම් කරන ලදී. දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන මෙන් රජ හා සෝමාවතී බිසව මහින්ද තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ. අරිට්ඨ නම් රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහා රහතන් වහන්සේ තමන් ළඟ තිබු දකුණු දළදා වහන්සේ ගිරිඅභා රජුට පරිත්‍යාග කරන ලදී. රජතුමා එම දකුණු දළදා වහන්සේ නිදන් කර තම දේවියගේ නමින් සෝමාවතී විහාරයයයි  නම් තබා මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේලාට පුජාකල බව සදහන් වන අතරම සෝම නම් පස්පිලිම විහාරයක් චෛත්‍යරාජයාගේ සතර පැත්තෙන් විහාර හතරක් හා උතුරු දෙස ප්‍රධාන දොරටුවට වම්පසින් විහාරයක් යන විහාර පහක්ද, මණිඅගිය නම් පොහොය ගෙයක්ද, ආරාම හැටකින් ද කුටාගාර ගෙවල් 60 කින්ද සක්මන් මළු, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාම ආදී සියලුම විහාරංග වලින්ද පරිපුර්ණව තිබු බව වංශ කථා වලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක වලින්ද පැහැදිලි වේ.

වංශකථාවල සඳහන් පරිදි සෝමාවතී දාගැබ පිහිට ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දිරින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්දව පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුර විද්‍යාත්මක සාධක අනුව හෙළිවන අතරම චෛත්‍යරාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාණයේ ගාලු මහවැලි ගඟ දිගේ බවත් එහි දක්නට ඇති වැලිතලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනාසේ පැහැදිලි වේ.

එදා සෝමාවතිය රුහුණු ප්‍රදේශයට අයත් වුවද මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස් වූ නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත්ව පවතී.

සෝමාවතී චෛත්‍යයෙන් හමුවූ සෙල්ලිපි වල අක්‍ෂර ස්වරූපය භාෂා ලක්ෂණ ව්‍යාකරණ රීති ආදියත් චෛත්‍යරාජයා ගොඩ නංවා ඇති ගඩොල් ඒවාට යොදා ඇති බදාම, ගඩොල්වල කපා ඇති කැටයම් අනුවත්, මලසුන්ගෙවල්, ප්‍රාකාර බැමි, තිරුවන ගල් වලට සමාන ගල් වලින් නෙලූ සඳකඩපහන්, හස්ති රුප, සිරිපා සටහන්, ගල් කුළුණු හා පෝය සීමා ආදිය දෙස බැලීමෙන් මෙම සෝමාවතී චෛත්‍යරාජයා වසර 2100 කට වඩා ඉපැරණි බව හෙළිවේ.

කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස්‌ විහිදීමත්, අනේක වූ දිව්‍යභේරි නාදයන්ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන්ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දීය. උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද්දී වනයේ අතරමං වූහ. කිසිවක්‌ කරගත නොහැකිව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්‌ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක්‌ විහිදෙනු දැක එය ඔස්‌සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රි 11 පමණ වී තිබිණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූහ. තමන්ගේ නෙත් ඉදිරියේ දිස්‌වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක්‌ මෙන් දිස්‌වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිංස්‌කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.
සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවතියේ චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබිණි. 1991 ජූලි මස 4 වැනි දින මහාසෑයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ කරවමින් සෝමවතී මහාසෑයෙන් බුදුරැස්‌ විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක්‌ පමණ තිබුණි.
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි

1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන්ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමඟ පැමිණ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කණින් අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගනී. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල් තබා, 1981 දී රශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳවීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්තවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියලු දෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමඟ චූඩා මාණික්‍යය ගැල වූ ත්‍රස්තවාදියා ද සිය ගිනි අවිය පත්තුවීමෙන් මරණයට පත්විය. චෛත්‍යරාජයා සමීපයෙහි බිමදමා තිබී හමුදා නිලධාරීන්ට හමුවූ මෙම චූඩා මාණික්‍යය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සුරක්‍ෂිතව තැබිණි.

වසර 17 කින් පසු නැවතත් 2002 පෙබරවාරි 27 දින පසුගිය රජයේ සම්බන්ධතාවය ඇතිව, ඝන කැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය, මහවැලිය, පොලිසිය, යුද හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112 ක් ඇතුළත, 2002 ජූනි 19 වන දින රශ්මි මාලා මධ්‍යයේ චූඩාමාණික්‍යය පැළඳවීමෙන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන වත්මන් රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සලස්වන මොහොතේ, සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථිර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේ දී ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුළ් මළුව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් කොළඹ ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබන මොහොතේ චෛත්‍ය රාජයාගේ විහිදුනු රශ්මි මාලාවන් දැක අපමණ සතුටට පත් කුරුණෑගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දීගල්ල ධම්මදාන පදනම ඇතුළු එම පිරිස සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහර පැවැත්වීමට තීරණය කොට අලි ඇතුන් රහිතව, සධාතුක කරඬුව වාහනයක තබාගෙන වර්ෂ තුනක් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව බෝධීන් වහන්සේගේ රන්මල් හා රන්දළු හටගත් අතරම, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් මොහොතේ 04 වන දළදා පෙරහර පැවැත්වීමට 2009 ජූනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහර අලි රහිතව පැවැත්වීමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කරවීමටත් තීරණය කරන ලදී.

එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේ දී චෛත්‍ය රාජයා දෙසින් බෙරහඬක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහරක් එන බව පෙණින. හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට ඡායාරූප ගත කිරීමට ද හැකි විය. නැවත එම ජූනි මස 28 දින රාත්‍රී 7.45 ට පමණ ගිලන් පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර, මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් බියට පත්වනු දැක අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායාරූපයක් අහඹුලෙස ගන්නා ලදී. ‘තාත්තේ මගේ ඇඟේ රත්තරන් මාල වළලු දැමූ ලස්සන ඇඳුමක් ඇන්ද වූ සුදු ඇත් පැටියෙක් හැපීම නිසා මා බියට පත්වූයේ යැයි’ කුඩා දරුවා ප්‍රකාශ කළ ද අසාසිටි පිරිස එය පිළිගත්තේ නැත. එනමුත් සිදු වූයේ අනිකකි. ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ විය.

මේ අවස්ථා දෙකම සිදුවීම නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගත යුතු යැයි තීරණය කොට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා මගින් මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමඟම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.

පසුදින 07 වැනි දා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඬවැල ඔසවා මා දෙස බලා සිටියේ ය. මවිතයට පත් මා කැමරාව ගෙන ඡායාරූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමඟම හුරු පුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ලම අනුභව කොට පැය කීපයක් ම චෛත්‍යරාජයා වටා ඇවිදිමින් සිට කැලයට ගිය නමුත් එදා සිට මේ දක්වාම චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජයට අවට හැසිරෙමින් අද දක්වාම සිටී. ඉන් අනතුරුව චෛත්‍ය රාජයාගෙන් එළියට පැමිණි සුදු ඇත් පැටියාට සමාන ඇති ඇත් පැටියෙක් මෙම ඒක දන්තනම් ඇත්පැටවා සමඟ සිටින අයුරු කැමරාවට හසු විය. මේ අතර 2012 නොවැම්බර් 04 දින සීමාමාලකය සම්මත කර අවසන් වනවාත් සමඟම සුදු ඇත්පැටවෙක් චෛත්‍යරාජයාට ඉහළින් අහසේ දිස්වනු ඡායාරූපයට ගැනීමට හැකි වූ අතර, 2010 අගෝස්තු 22 දින පෙ.ව. 07.00 ට පමණ ෂඩ්වර්ණයෙන් දිස්වන දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භය මත දිස්වීමත්, 2013 පෙබරවාරි 04 දින පෙ.ව. 01.30 ට දහස්පෙතියාමල් ලක්‍ෂයක් පූජා කොට පිරිත් දේශනා කරන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය හෙවත් බුද්ධ කාය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයෙන් ඉහළට මතු වීමත් ඡායාරූපයට ගැනීමට ද හැකි විය.

සෝමාවතියෙන් බුදුරැස් විහිදුන අවස්ථා
http://www.youtube.com/watch?v=oEgo4q7oEnghttp://www.youtube.com/watch?v=4Cvu_ZL65jEhttp://www.youtube.com/watch?v=x39pUG4tlxs

 

 

 

 

 

බුදු මැදුර කැඩුනත් බුදු රුවට හානියක් නෑ ...
සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.