පියදස්සී බුද්ධ වංශය ( Piyadassi Buddha Wanshaya )

සුජාත බුදුරදුන් ට පසු කාලයෙ හි,  ලෝනාහිමි වූ සතුරන් විසින් නො ළංවිය හැකි,  අසමසම වූ,  මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජතෙම වී ය. අපමණ යසස් ඇති ඒ පියදස්සී බුදුරජතෙම හිරු මෙන් බබළයි.   සියලු මොහඳුර නසා,  දම්සක් පැවැත්වී ය. උතුම් තෙද ඇති ඒ පියදස්සී  බුදුරදුන් ගේ ද ධර්මභිසමය  තුනක් වූ හ.  පළමු වන ධර්මවබෝධය කෝටි ලකක්ෂයක් දෙනා ට වීය.

සුදස්සන නම් දෙව්රජ මිසදිටුව කැමති වී ද, ශාස්තෘන් වහන්සේ ඔහු ගේ මිසදිටුව පහකරවමින් දම් දෙසූ සේක් ද, ඒ කාලයෙහි මහත් වූ,  අසම වූ මහාජනයා ගේ රැස්වීමක් වීය. එ විට කෝටි අනූදහසක් දෙනෙකුන් ගේ දෙවන ධර්මාවබෝධය වී ය. යම් කලෙක සත්ත‍වයන් ට නිවන් මග පෙන්වන බුදුරදහු දොණමුඛ නම් ඇතු හික්මවූ සේක් ද, කෝටි අසූ දහසක් දෙනා ට තුන් වන ධර්මාවබෝධය වී ය.

ඒ පියදස්සී බුදුරදුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුක් වූ හ. කෝටි ලක‍ෂයක් දෙනා ගේ පළමු වන රැස්වීම වී ය.
ඉන් පසු ත් එක් ස්ථානයක් හි දී රහතන් වහන්සේලා අනූ කෝටියක් පමණ දෙවන වර ට රැස් වූ හ.  තුන් වන රැස්වීමේ දී අසූ කෝටියක් පමණ වූ හ. 
මම ඒ කාලයෙ හි සිප් සතර උගන්වන,  වේද මන්ත්‍ර ඉගෙනගත්,  තුන් වේදයන් ගේ පරතෙර ට ගිය “කස්සප” නම් බමුණෙක් වීමි. මම ඒ පියදස්සී බුදුරදුන් ගේ ධර්මය අසා පැහැදීමි. කෝටි ලක්ෂයක් පමණ ධනයෙන් සංඝාරාමයක් කරවීමි.

ඒ බුදුරදුන් ට ආරාමය පූජාකොට සතුටුවූයේ,  ප්‍රීතියෙන් විස්මය ට පැමිණි සිත් ඇත්තේ,  සරණය ද,  පංච සීලය ද දැඩිකොට සමාදන් වූයෙමි.

ඒ බුදුරජ තෙමේද සඟ මැද වැඩහිඳ, මේ තෙමේ කල්ප අටළොස් සයකින් මත්තෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක. ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද,  “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ.

ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදු සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ පියදස්සී බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.

පියදස්සී බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි පසු ව වතක් ඉටුයෙමි.

පියදස්සී ශාස්තෘන් වහන්සේ ගේ උපන් නුවර “සුධඤ්ඤ” නම් වී ය. පියතෙම  “සුදත්ත” නම් රජ ය.  වැදූ මව “සුවන්දා” නම් වූවා ය. ඒ  බුදූරජතෙම අවුරුදූ නව දහසක් ගිහිගෙයි විසි ය.  “සුනිමාල” ය,  “විමල” ය,  “ගිරිගුහා” ය යන උතුම් ප්‍රාසාද තුනක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. බිරිඳ “විමලා” නම් වූවා ය. පුත් තෙම “කඤ්චනවේල” නම් වී ය.

පුරුෂයන් ට උතුම් වූ පියදස්සී බුදුරජතෙම සතර පෙර නිමිති දැක රියයානයෙන් මහබිනික්මන් කළේ ය. සමසක් මුළුල්ලේ ප්‍රධාන් වීර්යය කළේ ය.

මහාවීර වූ පියදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ,  සිත් අලවන “උස්සාවන” නම් උයනෙ හි දී දම්සක් පැවැත්වූ සේක. පියදස්සී ශාස්තෘන් වහන්සේ ට “පාලිත” ය, “සබ්බදස්සී” ය යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “සොභිත” නම් වී ය. “සුජාතා” ද, “ධම්මදින්නා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “කුඹුක්” ගස ය යි කියනු ලැබේ. “සන්දක” ද, “ධම්මික” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   “විසාඛාව” ද, “ධම්මදින්නා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.
අපමණ යසස් ඇති,  දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුත් ඒ බුදුරජතෙම අසූ රියනක් උස්වූයේ, මල් පිපුණු සල් රුකක් මෙන් දක්නා ලැබේ. අසම ව මහඍෂී වූ ඒ පියදස්සී බුදුරදුන් ගේ ශරීර ශෝභාව යම් සේ වී ද,  එබඳු ශෝභාවක් බැබළීමක් ගිනි ය,  සඳ ය,  හිරු ය,  යන මොවුන් ට නැත.

දෙවියන් ට දෙවි වූ ඒ පියදස්සී බුදුරදුන් ට ද අවුරුදු අනූ දහසක්  ආයුෂය වී ය.   පසැස් ඇති ඒ තාක් කල් ලෝකයෙහි වැඩ සිටි සේක. අසමසම වූ ඒ බුදුරද තෙම ද,  අසම වූ ඒ අගසව් දෙනම ද,  යන සියල්ල අතුරුදන් විය.   සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?

ඒ පියදස්සී මුනිවර තෙම “අස්සත‍ථ” නම් ආරාමයෙ හි දී පිරිනිවි සේක. ඒ ආරාමයෙ හි ම ඒ බුදුරදුන් ගේ ජිනථූපය තුන් යොදුනක් උස් ව බඳින ලදී.
[ඛුද්දක  නිකාය, බුද්ධවංශ පාළි, පියදස්සී බුද්ධවංශය]

අත්ථදස්සි බුද්ධ වංශය ( Aththadassi Buddha Wanshaya )
සුජාත බුද්ධ වංශය ( Sujatha Buddha Wanshaya )

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.