පරිසරය සහ බුදු දහම ... - IFBC Organization | Dhamma

පරිසරය ප්‍රායෝගික ජීවිතයේ අංක එකට වැදගත් වන සාධකයකි. මිනිසාට පමණක්‌ නොව සෑම සත්ත්වයකුටම පරිසරයෙන් තොරව ජීවිතයක්‌ බලාපොරොත්තු විය නොහැකිය. වාතය, ජලය, ගස්‌කොළන් මේ තුළින් සියලුම සත්ත්වයන් පෝෂණය වන අතර එයින් තොරව කිසිදු සත්වයකුට ජීවයක්‌ පවත්වා ගැනීමට සිතීම පවා අපහසුය. බුදුන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක්‌ ගතකර ඇත්තේ ස්‌වාභාවික පාරිසරික වස්‌තූන් සමඟ ගැටෙමින් ය. එසේම ධර්ම දේශනාවලදී උපමා උපමේය ලෙස යොදාගෙන ඇත්තේ ද පාරිසරික වස්‌තූන්ම ය. ජලය බසින ගංගා, කුඹුරු, පාරුව, ගොවියා, හරක්‌, ගස්‌ වැල් තුරුලතා මේ අතර ඉතා වැදගත් ය. විශේෂයෙන් ථේරගාථා, ථේරි ගාථාවලදී ද පරිසරය ඉතා මනරම්ව වර්ණනා කරන ලද කථා පුවත් ද, ඒ හා සමඟ සුදුසු පරිසරයක විසීම වැනි ධර්ම කරුණු ද, රස්‌නය, සීතල, ජන සංඛ්‍යාව අඩු වැඩිවීම් මනසෙහි ක්‍රියාකාරීත්වයට කොයි ආකාරයෙන් බලපාන්නේ ද යන්න ගැනත් අවධානය යොමු කරමින් ගස්‌ වැල් විනාශ කිරීමට කිසිදු මිනිසෙකුට අයිති නැති බවත් ඒවා සංරක්‍ෂණය කරන අයුරුත් එයින් සිදුවන හොඳ ප්‍රතිඵලත් දක්‌වා ඇත. එසේම ඒවා අනුගමනය කළ ඉන්දියාවේ අශෝක රජතුමා ශිලා ලිපි පිහිටුවමින් රටවැසියාගේ යහපතට කටයුතු කළ ආකාරයත් එසේම ලංකාවේ බුද්ධදාස වැනි රජවරුන්ගේ කථා පුවත් තුළිනුත් පිළිබිඹු වන්නේ බෞද්ධ සංකල්ප රාජ්‍ය පාලනයට බලපෑ ආකාරයයි.
පරිසරය යන්නෙන් ගම්‍ය වන්නේ ගෝල පහක සංයුතියකි. එනම් වායු ගෝලය, ජල ගෝලය, භූ ගෝලය, වෘක්‍ෂලතා ගෝලය හා ජීව ගෝලයයි. මේ ගෝල පහත් සමඟ ගැටෙන මිනිසාගේ චර්යාවන් කෙසේ සිදුවේද යන්න පිළිබඳ විවිධ පර්යේෂණයන් ද වර්තමානයේ සිදුකර ඇත.


පාරිසරික අර්බුදය අද ලෝකයේ අන් කවරදාටත් වඩා සාකච්ඡාවට බඳුන් වී ඇත. මිනිසා තාක්‍ෂණික අංශයෙන් දියුණුවෙන් දියුණුවට පත්වන අතර චිත්තවේගාත්මක වශයෙන් පරිහානිය කරා ද මෙම දියුණුව බලපා ඇත. වර්තමාන විද්‍යාඥයන් විවිධ පර්යේෂණ කරමින් බාහිර දියුණුව කරා යොමු වුවද, චිත්ත සංතානයේ ඇතිවන අපහසුතාවන් අමතක කර දමා ඇත. එසේම තාක්‍ෂණික දියුණුවේ නරක ප්‍රතිවිපාක ගැන ද ඒවාට අවශ්‍ය පිළියම් ගැන ද දැඩි අවධානය යොමු කර නැති බව ද පෙනේ. මිනිස්‌ ඥාණයේ පිහිටෙන් තාක්‍ෂණික අතින් දියුණවෙන් දියුණුවට පත් වුවද එහිදී හදවතට දී ඇති තැනත් සදාචාරමය අංශයන් වෙත ලබා දී ඇති තැනත් ප්‍රමාණවත් නොවන බව අපට හැඟෙන්නේ අද කාලයේ ඇති වී තිබෙන පරිසරමය ප්‍රශ්නයන් දෙස බලන විටය. ආධ්‍යාත්මය විනාශ වී ගොස්‌ බාහිර ලෙස සම්මත කරගත් දියුණුවකට පැමිණ ඇත. එක්‌ සමාජ විද්‍යාඥයකු නූතන මිනිසා විමර්ශනය කරමින් පවසා ඇත්තේ අද කාලයේ මිනිසාගේ එක්‌ පයක්‌ ගුවන් යානයක තිබෙන අතර අනිත් පය ඇත්තේ ගොන් කරත්තයක බවය. මෙයින් අපට හැඟෙන්නේ මිනිසාගේ දියුණුව සමබර තත්ත්වයක නැති බව ය. විද්‍යාව කෙතරමි දියුණු උවද අද පරමායුෂ වන්නේ අවුරුදු 60- 70 පමණය. නොදියුණු යැයි කියන යුගයේ මිනිසා අවුරුදු සියය ඉත්මවා ජීවත් විය.
බුදුන් වහන්සේගේ කාලයේ අද කාලයේ මෙන්ම පාරිසරික විනාශයන් නොතිබුණු අතර පරිසරයේ ආරක්‍ෂාවට සරිලන කරුණු රාශියකුත් එම පාරිසරික හේතූන් මිනිසාට කෙසේ බලපාන්නේ දැයි ඉතා පැහැදිලිව දක්‌වා ඇත. බුදුන් වහන්සේගේ සමකාලීනයකු වූ ජෛන දර්ශනයෙහි නිර්මාතෘ වූ ජෛන මහා වීරතුමා ද උග්‍ර අවිහිංසාවාදියෙකු වූ අතර ඔහුගේ යම් යම් පාරිසරික සංකල්ප ද බුද්ධ විනය නීති රීති සැකසීමේදී පරීක්‍ෂාවට ලක්‌කර ආදර්ශයට ගෙන ඇත. හිශේෂයෙන්ම වස්කාල‍ය ආරම්බයට මූලික හේතුව වැටුනේ මේ පරිසර සංරක්ෂණ වැඩ පිලිවෙලය.

අද ලෝකය සංකීර්ණ ප්‍රශ්න වැලක පැටලී ඇත. ආතතිය, විශාදය, තාංසාව, අපරාධ, ත්‍රස්‌තවාදය, යුද්ධ, බඩගින්න, මන්දපෝෂණය, භයානක රෝග වන ඒaඩ්ස්‌ වැනි රෝග වලින් ද ඇලී ගැලී ඇත. මිනිසා අන් මිනිසෙකු නොහඳුනන තරමට ද බල අරගලයක යෙදී සිටින අතර තම අරමුණු සපුරා ගැනීමේ යෙදී සිටිති. මෙවැනි ලොවක පාරිසරික ප්‍රශ්න හමුවේ බෞද්ධ පාරිසරික මනෝවිද්‍යාවෙන් ගත හැකි ප්‍රයෝජනය ඉමහත්ය. බුදුන් වහන්සේ පරිසරය කොතරම් අගය කළේද යන්නට හොඳම උදාහරණය නම් උන්වහන්සේගේ සෑම වැදගත් සිදුවීමක්‌ම පරිසරය උපයෝගී කරගෙන සිදුවීමය. උන්වහන්සේ මේ ලෝකයට එළිය දුටුවේ ලුම්බිණිය නම් මනරම් සල් උයනයකය. අවුරුදු හයක්‌ පමණ දුෂ්කර ක්‍රියා කළේ ද වන අරණකමය. එසේම උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද නේරංජනා ගඟ අසබඩ ගයා නම් වූ ප්‍රදේශයේ ඇසතු ගසක්‌ මුලය. එසේම තමා අවබෝධ කර ගත් ධර්මය ප්‍රථම වරට දේශනා කළේ ද බරණැස ඉසිපතන මිගදාය නම් වූ ස්‌ථානයේ ය. අවසන පිරිනිවන් පා වදාළේ ද කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් වූ සල් උයනකය. එසේම භික්‍ෂුන් අතර යම් යම් අවස්‌ථාවලදී අසමගිතාවන් ඇතිවූ විට ඒවා ඔවුන්ට නිරාකරණයට ඉඩ දී තමන් වහන්සේ වන අරණට වැඩිය අවස්‌ථාවන් බෞද්ධ ඉතිහාසය තුළින් පෙන්වා දිය හැකිය. තමන් වහන්සේට බුදුවීමට සෙවණ දුන් ඇසතු ගසට කෘත උපකාර කිරීමක්‌ වශයෙන් සතියක්‌ ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය බව දක්‌වා ඇත. බුදු සමය පරිසරයට ඉමහත් භක්‌තියක්‌ දක්‌වා ඇති බව පැහැදිලිය. මේ අදහස තහවුරු කිරීමට “බුදුදහම පරිසරය හා ආධ්‍යාත්ම සුන්දරත්වය” නම් වූ කෘතිය රචනා කළ මීගොඩ පඤ්ඤාලෝක හිමියෝ මෙසේ පවසති. “පරිසරය මිනිසා කෙරෙහි දක්‌වන අප්‍රමාණ සෙනෙහස හා සුන්දරත්වය වටහා ගන්නා කවර තරාතිරමක අයෙකු වුවද, එයට අප්‍රමාණ භක්‌තියකින් ගෞරව කරනවා නො අනුමානය. ලොව වසන මුළුමහත් සත්ත්ව වර්ගයා හා ස්‌වාභාවික පරිසරය කෙරෙහි මිනිසා සැබවින්ම මාතෘත්වයෙන් හා පීතෘත්වයෙන් සැලකීම යුතුකමක්‌ වන්නේය. බුදුහු එය ලොවට ආදාර්ශයෙන් පෙන්නුම් කළහ. “එක්‌ අවස්‌ථාවක බුදුන් වහන්සේ ද්‍රෝණ බමුණාට තමන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ පරිසරයට ඉතාම හිතකාමී පරිසරවේදියකු ලෙසය. “බ්‍රාහ්මණය, වළේ හටගන්නා පියුම මඩ නොතැවරී පිපී විකසිත වන්නේ යම් ආකාරයෙකට ද එසේම බ්‍රාහ්මණය මමත් පරිසරය නමැති විලෙහි හටගෙන පරිසරයට හානි නොවන ලෙස පරිසරය තුළ පද්මයක්‌ සේ ජීවත් වෙමි. පරිසරෙහි ජීවත් වුවත් එහි නොඇලී සිටිමි” යනාදී වශයෙන් පරිසරය සමඟ ඇති අන්තර් සම්බන්ධය විස්‌තරාත්මකව දේශනා කර ඇත.
සුත්ත නිපාතයේ ඛග්ග විසාන සූත්‍රයට අනුව මානව වර්ගයාගේ මානසික සංවර්ධනයට වඩාත්ම පරිසරය ද බලපානු ඇත. වර්තමාන ලෝකයේ සෑම කෙනෙකුම කෘතිම ලෝකයක ජීවත්වන අතර එහිදී චිත්තවේගයන් පාලනය කිරීම එතරම් පහසු නොවේ. ස්‌වාභාවික පරිසරයක ජීවත්වන විට ප්‍රශ්න බොහෝ අඩුය. අතීතයේ අපේ මුතුන් මිත්තන් එසේ ඉතාම චිත්ත ප්‍රීතියෙන් ජීවත් වූ අතර, එමඟින් ඇති වූ චිත්ත ඒකාග්‍රතාවය මත සිට විශාල වෙහෙර විහාර ද අගනා නිර්මාණ ද කර ඇති අයුරු, අනුරාධපුර, පොලොන්නරු ආදී නටබුන් වලින් මනාව පෙන්නුම් කර ඇත. එසේම බුදුන් වහන්සේ පරිසරය ගැන ගෞරවයෙන් දේශනා කළා මෙන්ම පරිසරය ගැන භක්‌තියෙන් තම ශ්‍රාවක සමූහයාගේ නිල ඇඳුම වන සිවුර සකස්‌ කර ගැනීමේදී දිගටත්, හරහටත් වේළි දමා සමානුපාතිකව මනාව බෙදන ලද මගධයේ කුඹුරු යාය දුටු බුදුන් වහන්සේ එහි ආකර්ශනීය රටාව සිවුර සකස්‌ කර ගැනීම පිණිස අනුකරණය කරන මෙන් ආනන්ද හිමියන්ට උපදෙස්‌ දුන්හ. එමතුදු නොව, ගොම ගා කසාවන් මැටි ආදියෙන් රංජනය කළ සිවුර දුර්වර්ණ වූ විට (චීවරං දුබ්බණ්‌ණං හෝති) ගස්‌වල මුල් කඳ පොතු කොළ හා මල්වලින් සැකසූ පඬු සිවුර පාට කර ගැනීම සඳහා අනුදැන වදාළහ.
ආදි කාලීන ගල් යුගයේ සිට අද දක්‌වා ආපසු හැරී බලන විට අප සිය දහස්‌ ගුණයකින් තාක්‍ෂණිකමය දියුණුවකින් ඉදිරියෙන් සිටී. මිනිසා නොයෙක්‌ විට අපේක්‍ෂා තබාගනී. අපේක්‍ෂාවන් සඵල නොවන විට ඉච්ඡාභංගත්වය ඇති වේ. එය විවිධ වූ මානසික රෝග වලට ද හේතූන් වේ. එම නිසා අහස උසට බලාපොරොත්තු තබා ගැනීම බෞද්ධ මනෝවිද්‍යාවට අනුකූල නොවේ.
බෞද්ධ ජීවන දර්ශනය ඉතා සරලය. බුදුන් වහන්සේගේ ජීවිතය ගත්තද භික්‍ෂුන් වහන්සේලාගේ ජීවිතය ගත්තද, ඒවා ඉතා සැහැල්ලු ලෙස පවත්වා ගෙන යැමට අවශ්‍ය මඟ පාදා ඇත. පැවිද්ද නම් රුක්‌මුල් සෙනසුන් කොට වුවද වසනු පිණිස යෑයි සැලකිය යුතුය. “ අබ්භොකාසං නිස්‌සාය පබ්බඡ්ජා ” ගිහිගෙය කරදර සහිත අතර පැවිදි දිවිය අභ්‍යාවකාශය සේ සැහැල්ලුය. බෞද්ධ ගිහි ජනයා අතර ද මුල් කාලයේ සංකීර්ණ මනෝභාවයන් නොතිබූ අතර, ඔවුන් මනාව බුදු දහම තේරුම් ගෙන ජීවත් වූහ. එසේම සිව්පසය ලෙසින් සලකන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්පච්චය යන සතරින් එනම් විළිවසා ගැනීමට වස්‌ත්‍ර ද, ශරීරයේ පැවැත්මට කෑම ද, මැසි මදුරු උවදුරුවලින් මිදීමට නිවාස ද, ආබාධ ඇති වූ විට ඖෂධ ද භාවිත කර ඇත. බෞද්ධයා ලද දෙයින් තුටු වන අතර අටලෝ දහමෙහිදී කම්පා නොවේ. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප සහ දුක යන සෑම දෙයකදීම මධ්‍යස්‌ථව කම්පා නොවී සිටීම බෞද්ධ ඉගැන්වීමයි. අවම අපේක්‍ෂාවන් ඇති විට පරිසරයට සිදුවන හානිය ද අවම වන්නේය. බෞද්ධයාගේ මේ සරල මෙන්ම ඉතා වැදගත් ගුණ ධර්ම මෙත්ත සූත්‍රයේදී මෙලෙස දක්‌වා ඇත. ලද දෙයින් සතුටු වන අතර (සන්තුෂ්කො) පහසුවෙන් පෝෂණය කළ හැකිය (සුභරො), කාර්ය බහුල නොවූ (අප්පකිච්චො), සැහැල්ලු පැවතුම් ඇති (සල්ලහුකවුත්ති) සන්සුන් ඉද්‍රියයන්ගෙන් යුක්‌ත වූ (සන්තින්ද්‍රියො) බුද්ධිමත් (නිපකො) යනාදී ආකල්පයන්ගෙන් හෙබි පුද්ගලයකු බිහි කිරීම බෞද්ධ ජීවන මාර්ගය වේ. ඔහු පරිසරය හා ගැටෙන්නේ ඉතා පරිස්‌සමෙනි. එය උදාහරණයකින් දක්‌වන්නේ නම් බඹරෙකු වර්ණය ද, සුගන්ධය ද නොපෙළා මලෙහි රොන් රස පමණක්‌ ගන්නා මෙන් ය. විශේෂයෙන් බෞද්ධ දර්ශනයට අනුව මේ ලෝකයෙහි සියල්ල අනිත්‍යය. දුක්‌ඛය, අනාත්මය. බුදුන් වහන්සේගේ පරම අපේක්‍ෂාව වූයේ මේ දුකින් පෙළෙන සත්ත්වයන් එයින් මුදා ගැනීමය. ජීවිතය දුක්‌ ගොඩකින් සමන්විත වන අතර තමාට තමාවත් නැති බව දන්නා බෞද්ධයා කෙදිනක හෝ සියල්ල අතහැර යා යුතු බව දන්නා නිසා සරල අපේක්‍ෂාවන් තුළින් ජීවිකාව ගෙවන බව රට්‌ඨපාල සූත්‍රයේදී දක්‌වා ඇත. සරල අපේක්‍ෂාවන් තුළ ජීවිතය පහසුය. එහිදී මානසික ප්‍රශ්නවලින් පීඩා විඳීමට සිදුනොවේ. මේ සංකල්පය පටිච්ච සමුප්පාද දර්ශනය තුළ පැහැදිලි ලෙස දක්‌වා ඇත. අධික ලෙස අප සම්පත් රැස්‌ කිරීමට පෙළඹෙන විට දැඩි තෘෂ්ණාවක්‌ ඇති වේ. මේ දැඩි තෘෂ්ණාව සම්පත් කෙරෙහි දැඩි ඇලීමක්‌ ඇති කරන අතර එය එම සම්පත් පරිහරණය කිරීමේ ආශාව වෙත ගෙන යන අතර එමගින් එම ස්‌වභාවික සම්පත් තමාගේ කර ගැනීමට යැම තුළ විවිධ ප්‍රශ්න ඇති වේ. විශේෂයෙන් ම රහත් භාවයට නොපැමිණි අප සැවොම රාග ද්වේෂ මෝහ ආදී නොයෙකුත් අකුසල මූලයන්ගෙන් ගහණ අපේ සිත නොයෙකුත් දිසාවන් කරා රැගෙන යන අතර, ඒ නිසාම පරිසර සම්පත් නතු කර ගැනීමට යැම නිසා ද පුද්ගලයා සහ පරිසරය අන්තර් සම්බන්ධය බිඳීයැම තුළින් නොයෙකුත් පාරිසරික ගැටලු මතු වේ. බුදු දහමෙහි සඳහන් සීලය ආරක්‍ෂා කිරීමත් එසේම මෛත්‍රී වැනි භාවනා තුළින් ද මූලික ලෙස මේ පරිසර ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැක.

හුදෙක්‌ ශාක සත්ව යන ජීව පරිසරය පමණක්‌ නොව අප අවට ඇති අජීව පරිසරය ද සුරැකීම බෞද්ධ දර්ශනයෙන් නිර්දේශිතය. අසීමිත ආශාවන්ගෙන් මිනිස්‌ මනස පිරී තිබෙන නමුදු නුවණැත්තා තමන්ගේ මූලික අවශ්‍යතාවන් වන වස්‌ත්‍ර, ආහාර, නිවාස, බෙහෙත් යන අංශ ගැන අවධානය යොදමින් තණ්‌හාවේ වහලෙකු නොවී අවශ්‍ය පමණට භුක්‌ති විඳීමට බුදුන් වහන්සේ උපදෙස්‌ දී ඇත.
සිල්වත් බව බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ මූලිකම ලක්‍ෂණයකි. සිල්වත්වීම තුළින් ජීව අජීව යන දෙකොටසටම ආරක්‍ෂාව සැලසිය හැකිය. සාමඤ්ඤඵල සූත්‍රය බුදුන් වහන්සේ මේ ආකාරයට දේශනා කර ඇත. “පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවරතො හොති, නිහීත දණ්‌ඩො නිහීත සතෙථා ලඡ්ජි දයාපන්නො සබ්බ පාණභූත හිතානුකම්පි විහරති ඉදම්පිස්‌ස හෝති සීලස්‌මිං” ප්‍රාණඝාතය අත්හරින්න, දඬු අවි අත්හරින්න, අනුන්ට හිංසා කිරීමේ ලඡ්ජා වී සියලු දෙනා වෙතම දයාව, අනුකම්පාව ඇති කරන්න. එයම සීලයයි.
එසේම තමාව රකින්නා අනුන්ව රකින බවද බෞද්ධ දර්ශනයෙහි මෙසේ දක්‌වා ඇත. “අත්තානො රක්‌ඛන්ති පරං රක්‌ඛති ” තමාට ආදරය කරන්නා අන් අයට ද ආදරය කිරීමට උත්සාහ ගනී. එමගින් මුළු මහත් සමාජය වෙතම දයාව අනුකම්පාව දැක්‌වීමට පුරුදු පුහුණු වේ. බුදු දහමෙහි “සබ්බේ සත්තා ” යනු සියලුම සත්වයෝ ය. බුදු දහමෙහි මෙම සංකල්පය මත පිහිටා කටයුතු කරන අතර හුදෙක්‌ මිනිසා ගැන පමණක්‌ නොසිතන අතර අන්‍ය සත්ත්වයන් ගැන ද එසේම සමාජයේ වැදගත් කොටසක්‌ ලෙස සලකනු ලැබේ.. බොහෝ ආගම්වල මිනිසාට පමණක්‌ සැලකිල්ලක්‌ දැක්‌වුව ද, බුදු දහමෙහි අන් සියලුම ජීවීන්ගේ සුරක්‍ෂිතභාවය ගැන ද ගෞරවයෙන් යුතුව අවධානය යොමු කොට ඇත. “සියල්ලෝම දඬුවමට තැති ගණිත්, සියල්ලෝටම ජීවිතය ප්‍රියය. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය.” තමා උපමාවට ගෙන කටයුතු කරන්නා සේම සියලුම සත්ත්ව සමූහයන් වෙත අනුකම්පාව දැක්‌විය යුතු බව ද බුදු දහම අවධාරණය කර ඇත. “සබ්බ භූතානුකම්පී ” යනුවෙන් එය දක්‌වා ඇත. සියලුම සත්ත්වයන් හට කරුණාව දැක්‌වීම බුදු දහමෙහි මූලිකම සංකල්පයක්‌ වන අතර එය පදනම් කරගෙන මුළු පරිසරයම රැකගත හැකි බව ද දක්‌වා ඇත.
උසස්‌ වූ මනසක්‌ ඇති මිනිසා බුද්ධිමත් නිර්මාණශීලී හැකියාවන්ගෙන් අග්‍ර වුවද අන්‍ය ජීවීන් විනාශ කිරීමේ අයිතියක්‌ ඔහුට නැත. බෞද්ධ ගිහි විනයේ සීල ප්‍රතිපදාවේ මූලිකම ප්‍රතිපත්ති මාලාව නම් පංච ශීලයයි. එහි මුල්ම ශික්‍ෂා පදය වන්නේ සත්ව ඝාතනයෙන් තොර වීමය. දස සීලයෙහි ද, උපසම්පදා භික්‍ෂුන් උදෙසා පණවා ඇති පාරාජිකා වල ද මුල්ම ශික්‍ෂා පදය වන්නේ ප්‍රාණඝාතයෙන් වැලකී සිටීමය. දස රාජ ධර්මයෙහි ද සතුන්ගේ ජීවිතවල ආරක්‍ෂාව ගැන අවධාරණයෙන් යුතුව දේශනා කර ඇත. එසේම වසල සූත්‍රයේදී දේශනා කරන්නේ යම් අයෙකු සතුන් කෙරෙහි දයාවක්‌ නොමැතිද ඔහු වසලයෙකු බවය. “යස්‌සපාණෙ දය නත්ථි තං ඡඤ්ඤා වසලෝ ඉත” තවද ප්‍රාණඝාතය අපමණ සසර දුකට හේතුවන අතර දස අකුසලයෙහි පළමු වැන්නය. සියලු සතුන්ට දයා පරවශ වූයේ දඬුවම හැර දැමූයේ හෙතෙම සැබෑ බමුණෙකි. ශ්‍රමණයෙකි. භික්‍ෂුවකි. යනු බුද්ධ දේශනාවය. චක්‌කවත්ති සීහනාද සූත්‍රයේදී දක්‌වා ඇත්තේ රාජ්‍ය පාලනයේදී සත්ව සහ ශාක ආරක්‍ෂා කිරීම ද රජයේ ප්‍රධාන වගකීමක්‌ බව ය. දස සක්‌විති වත් නම් වූ බෞද්ධ දේශපාලන පිළිවෙතෙහි ධාර්මික ලෙස මෘග පක්‍ෂි සමූහයාට රැකවරණ සැලසිය යුතු යෑයි දක්‌වා ඇත. “ධම්මංයේව නිස්‌සාය ධම්මංසක්‌කරොන්තො – ධම්මිතං රක්ඛවරණං ගත්තිං සංවිදහංසු මිග පC‚සු” රාජ්‍ය පාලනයෙහිදී ශාක සහ සත්ව සමූහයා ආරක්‍ෂා වන පරිදි නීති රීති සම්පාදනය කර පාලන කටයුතු කිරීමට කූටදන්ත සූත්‍රයේදී බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. පරිසරය පිළිබඳව ද සත්වයන් පිළිබඳව ද ඉතා සංවේදිතාවයෙන් කටයුතු කරන්නේ නම් පාරිසරික අර්බුදවලින් තොරව මිනිසාට ජීවත් විය හැක. අප සෑම සත්ත්වයෙකුටම මෛත්‍රිය කළ යුතුය. කරණීය මෙත්ත සූත්‍රයට අනුව මවක්‌ සිය එකම පුතු යම් සේ ජීවිතය මෙන් රකී ද, එසේම සියලුම සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය වැඩිය යුත්තේ ය. “මාතා යථානියං පුත්තං, ආයුසා ඒක පුත්ත මනුරක්‌ඛේ එවමපි සබ්බ භූතේසූ, මානසංභාවයේ අපරිමාණං”
ඉන්දියාවේ සිටි ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වූ ධර්මාශෝක රජතුමා බුදු දහම පිළිගැනීමෙන් පසු රජ මාලිගාවේ ආහාර සඳහා මරණ ලද සතුන් ප්‍රමාණය 13 වන ගිරි ලිපිය ලියන අවස්‌ථාව වන විට මොනරුන් දෙදෙනෙකු දක්‌වා අඩු කළ බව දක්‌වා ඇත. එසේම එය සම්පූර්ණයෙන් ම නවත්වන බවත් දක්‌වා ඇත. “පුලේ මහානසසි දේවනංපියේ පියදස්‌සිනේ රාජනී බහුනි පාණසාහපානි ආලභි සුපඨායේ සේ ඉදානි යදා ඉයං ධම්මලිපි ලේඛිතා තදා තිණ්‌නියේව පානානි අලභි යන්ති දූවේ මජුලා එකේ මිගේ. තෙපි නො හුතලුපවේ”
ධර්මාශෝක රජතුමා විසින් මිනිසුන් සහ තිරිසන් සතුන් වෙනුවෙන් ද ආරෝග්‍යශාලා ගොඩනඟන ලද බව දෙවැනි ගිරිනරා ලිපිය සඳහන් කර ඇත. “සර්වත්‍ර දෙවානම් පරියා මනුස්‌ස විකිච්ඡාව පුසු විකිච්ඡාව” එසේම නන්දිවිශාල ජාතකයට අනුව ගෙදර ඇති කරන සතුන්ට ද කාරුණිකව සැලකිය යුතුය. කාරුණික වචනවලින් වන සතුන් ද හීලෑ කළ හැකි බවට හොඳම නිදසුන නම් පාරිලෙය්‍ය වනයේදී බුදුන් වහන්සේට උපස්‌ථාන කළේ ද ඇතෙකු විසිනි. තවද නාලාගිරි නම් වූ චණ්‌ඩ හස්‌ති රාජයා බුදුන් වහන්සේ විසින් දමනය කරන ලද්දේ ද උන්වහන්සේ සතු වූ කාරුණික ගුණ මහිමය නිසාම ය. උන්මාදන්ති ජාතකයට අනුව මෙසේ දක්‌වා ඇත. “ධම්මං චාරෙ මහාරාජ මිග පක්‌කීසු ඛත්තියා ඉධ ධම්මං චරිත්වාන රාජසග්ගම් නොමිස්‌සාසි. ” ක්‍ෂත්‍රිය රජවරු සතුන්ට හා පක්‍ෂීන්ට කාරුණික විය යුතුය. සතුන්ට හා පක්‍ෂීන්ට කාරුණික වන රජවරු ප්‍රීතිමත් ජීවිතයක්‌ ගත කරන බව දක්‌වා ඇත.
මිනිසා විසින් ඇතිකර ගන්නා වූ සීලමය ප්‍රතිපත්තියෙහි පිහිටා සිටින විට පරිසරය හා සංවේදීතාවයෙන් යුතුව කටයුතු කළ හැකිය. මිනිසා විසින් මේ ලෝකයෙහි සෑම දෙයක්‌ම මෙහෙයවනු ලැබේ. මිනිස්‌ දැනුම මගින් ඇති කර ගන්නා වූ දියුණුව මිනිසාගේ යහපතට යොදා ගැනීමට බුදු දහම උපදෙස්‌ දෙනු ලැබේ. එය මානව වර්ගයාගේ යහපතට මෙන්ම අයහපතට ද යොදා ගැනීම උසස්‌ මනසක්‌ ඇත්තාගේ වගකීමයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව “චිත්තේන නීයතී ලොකො චිත්තෙන පරිකස්‌සති චිත්තස්‌ස එක ධම්මස්‌ස සබ්බේව වසම් අන්වගුවති” සිත විසින් ලෝකය මෙහෙයවනු ලබන අතර එය සිත මතම පිහිටා ඇත. සිත නම් වූ ධර්මය මත සියලු බලය රදා පවතී. මානව චිත්තය අනුව ලෝකය මෙහෙයවනු ලබන අතර සෑම සංකල්පනාවකටම මුල් වන්නේ සිතය. සිත මගින් සදට බලපෑම් එල්ල කලහැකි බව මෑතකදී සොයාගෙන ඇත. ඒ පිලිබදව මා ලිපියක්ද පලකර ඇත. මිනිස් සිතේ චිත්ත තරංගවලට අනුව පරිසරය වෙනස්වන බවට සාධක එමටය. විශේෂයෙන්ම මෛත්‍රීය භාවනාව කරන පුද්ගලයන් ඇති බරිසරය ඉතාම සුවදායී පරිසරයන් වේ. සතුන් මරණ, දුරාචාරය සිදුකරන පරිසරයන්වල ඇති කර්කශ බව බලන්න. එක්‌ අවස්‌ථාවක බුදුන් වහන්සේ දේශනා කළේ ගස නොව කෙළෙස්‌ වනය කපා දමන ලෙසය. කෙළෙස්‌ වනයෙන් භය ඇති වේ. ලොකු කුඩා කෙළෙස්‌ නමැති වනයත් වනථයත් කපා දමා කෙළෙස්‌ නැත්තේ වවු මෙහිදී අවධාරණය කරන්නේ ගස නොකපන ලෙසත් ආශාවන් නැති කර දමන ලෙසත් ය.

එම නිසා මේ ආශාවන් නමැති සංකල්පයන් මුලිනුපුටා දැමිය යුතුය. එසේම නිබ්බේධික සූත්‍රයේදී මෙවැනි අදහසක්‌ දක්‌වා ඇත.

“සංකප්පරාගෝ පරිසස්‌සකාමො
නතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සඬකප්පරාගො පුරිසස්‌ස කාමො
තිට්‌ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙථ ධීරා විනයන්ති ජඤන්ති”

ලොව විසිතුරු ආලම්බනයෝ ආශාවන් නොවෙති. යම් පුද්ගලයෙකුගේ චිත්ත සංතානයේ සංකල්ප මුල් කොට හටගත් ආශාවම කාමය වේ. ලොව ඇති නොයෙක්‌ ආකාරයේ විසිතුරු වස්‌තූහු එලෙසින් ම සිටිති. ඒ සම්බන්ධයෙන් සිතෙහි උපන් ඡන්ද රාගය ප්‍රඥවන්තයෝ බැහැර කරති. මෙහිදී අවධාරණය කරන්නේ බාහිර වස්‌තුන් ගැන දක්‌වන අදහස වෙනස්‌ කර අප ඒ දෙසම බැලිය යුතුය. මිනිසාගේ චිත්ත සංතානයෙහි ආශාව, කාමය, යන සියලුම සංකල්පයන් උත්පාදනය වේ. එය සිතෙහි ඇතිවන අතර එය අප විසින් ම නැතිකර ගත යුතුය. මේ අදහස සංයුක්‌ත නිකායේ ඉතා පැහැදිලිව දක්‌වා ඇත.

“ඇස රූප පිළිබඳ සංයෝජනයක්‌ නොවේ. රූපය ඇස පිළිබඳ සංයෝජනයක්‌ නොවේ. ඒ රූප පිළිබඳ සංයෝජනයක්‌ නම් හෝ මෙම බ්‍රහ්මචරිය වාසය පවත්නේ නොවේ. “නඛො චක්‌ඛු රූපානං සංයෝජනං නරූපා චක්‌ඛු තස්‌ස යංච තස්‌ස තදූභයං පටිච්ච උප්පඡ්ජති, ඡන්දරාගොනං තත්ථ සංයොජනං”
එසේම ඉන්ද්‍රියන් අරමුණ වන සියලුම සංකල්පයන් පිළිබඳ තෘෂ්ණාග්‍රහයෙන් තොරව ජීවිතය ගෙන යැම දුක්‌ කෙළවර කිරීමේ මාර්ගය බව උදාන පාලියෙහි දක්‌වා ඇත. මෙහිදී ප්‍රධාන ලෙස අවධාරණය කරන්නේ පාරිසරික දේ පිළිබඳව සුන්දර බව අත්විඳීම නොවන අතර එහි වරදවා ඇලීම ගැන බුදු සමය විස්‌තර කර ඇත. පරිසරය දෙස මිත්‍රශීලීව කටයුතු කිරීමට උපදෙස්‌ දෙන බුදුන් වහන්සේ පරිසරයේ ස්‌වභාවික දෙයින් තොරව ලෝකය ගැන කථා කිරීම කළ නොහැක්‌කක්‌ බව පවසා ඇත. උදාහරණයක්‌ ගතහොත් තාක්‍ෂණිකව ක්‍රියාකරන වායුසමීකරණ යන්ත්‍රයකින් ලබාදෙන සිසිලසත් ස්‌වාභාවිකව අවට පරිසරයෙන් ලැබෙන සුවදායක සිසිලසත් අතර වෙනසක්‌ ඇත්තේමය. නමුත් එවැනි දෙයෙහි ඇලීම නොකළ යුතු බව බුදුන් වහන්සේගේ අවවාදයයි. බුදුන් වහන්සේ එක්‌ අවස්‌ථාවක දේශනා කළේ තම ශ්‍රාවකයන් සුන්දර වන අරණ ඇසුරු කරන අතර වීතරාගී දෙස ඒ සුන්දර බව අත්විඳින බව ද ධම්මපදයේ දී මෙසේ විස්‌තර කර ඇත.
“රමණීයානි අරඤ්ඤාණි
යත්ථ න රමතී ජනො
වීතරාගා රමෙස්‌සන්ති
නතෙ කාම ගවේසිනො”

( ‘කාම ප්‍රිය වූ යම් සමහරුන්ගේ (ගිහියන්ගේ) සිත (නගරයේ මිස) ආරණ්‍යවල නො ඇලුණත්, වීතරාගී – කාම ගවේසී නො වූ රහතන් වහන්සේලාගේ සිත රමණීය වූ ආරණ්‍යවල ඇලෙයි. හේතුව: විවේකයට, විරාගයට ඒ තැන් තෝතැනි වන හෙයිනි. )

එසේම ගෞතම බෝධිසත්වයෝ තමා සම්මා සම්බුද්ධත්වයට පත්වීමට තෝරා ගත්තේ ද නේරංජනා නදී තීරයේ ගයා වන අරණ ය. “රමණීයෝ වන භූමිභාගෝ පාපාදිකඤ්ඤ වණසණ්‌ඩං…… අලං. පධානය”

විශේෂයෙන් සමහර උගත්තු පවසන ආකාරයට බුදු දහම සෘණාත්මක දේ ගැන කථා කරන ආගමක්‌ නොවේ. එහිදී සුන්දර දේ සුන්දර ලෙස දැකීමට මෙන්ම විඳීමට ද හැකිය. නමුත් මේ ක්‍ෂණිකව වෙනස්‌වන ලෝකය දුක මත පිහිටා ඇත. එක්‌ අවස්‌ථාවක බුදුන් වහන්සේ වෙත පැමිණි දේවතාවෙක්‌ උන්වහන්සේගෙන් මේ ලෝකය කුමක්‌ මත පිහිටා තිබේදැයි විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ මේ ලෝකය දුක මත පිහිටා ඇති බවය. “දුක්‌ඛෙ ලොකො පතිට්‌ඨිතො” නමුත් එහි මිදීම ගැන චතුරාර්ය සත්‍යයේදී මනාව විස්‌තර කර ඇත. සිත පිරිසිදුව තබා ගෙන ඒ අනුව රාගයේ නොඇලීම තුළින් මිනිස්‌ සිතෙහි ඇතිවන සංසිඳීම මෙලෙස සාමඤ්ඤඵල සූත්‍රයේදී දක්‌වා ඇත. “යම් සේ ඇතුළත හටගත් ජලය ඇති දිය විලක්‌ වේද, ඒ විල කරා පෙරදිගින් අද අපරදිගින් ද උතුරු දිගින් ද, දකුණු දිගින් ද, ජලය ගලා ඒද මේඝය කලින් කල වැසි වර්ෂණය නොකෙරේද, එතෙකු වුවත් ඒ විලෙහි උල්පතකින් සිහිල් දිය දහර මතු වී ඒ විලම සිහිල් දියෙන් තෙමෙන්නේද හැම පරිද්දෙන්ම මුළු විල පුරා සිහිල් බව පැතිර නොගත් තැනක නොමවන්නේය. මෙසේ සංසිඳුණු සිත හැම තෙත් කරමින් ප්‍රීතිය සිත පුරාලයි. මුළු කාය සමාධියෙන් උපන් ප්‍රීතියෙන් පිරී යන්නේ යෑයි විස්‌තර කර තිබේ. එසේම මෙම අදහස සනාථ කරමින් මහත්මා ගාන්ධි පවසන්නේ පෘථිවිය සෑම මිනිසෙකුම තෘප්තිමත් කිරීමට අවශ්‍යතාවන් සපයන නමුත් ඔවුන්ගේ තෘෂ්ණාව සංසිඳීම එහි අරමුණ නොවන බවත් ය. එතුළිනුදු අපට දැකිය හැක්‌කේ තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටිනවාට වඩා අවශ්‍ය ප්‍රමාණයට ගෙන තම ජීවන දර්ශනය සකසා ගත යුතු බවය.
පරිසරය වැදගත් වනවා සේම සුදුසු ප්‍රදේශයක විසීම ද මංගල කරුණක්‌ වශයෙන් දක්‌වා ඇත. මංගල කරුණු 38 දේශනා කළ අවස්‌ථාවේ පතිරූප දේශවාසෝච යනුවෙන් තමාට ගැලෙපන පරිසරයක විසීම ද දක්‌වා ඇත. අංගුත්තර නිකායේ චක්‌ක සූත්‍රයේදී පුද්ගලයාගේ සාර්ථකත්වයට හේතුවන කරුණු දේශනා කළ විට ද උන්වහන්සේ පළමුවන වැදගත්ම කාරණය ලෙස දේශනා කළේ සුදුසු ප්‍රදේශයක විසීමේ වැදගත්කම අනුවමය. බුදුන් වහන්සේ වන අරණ ගස්‌ කොළන් ගැන තිබුණේ දැඩි භක්‌තියකි. විශේෂයෙන් ධර්මය දේශනා කරන විට තමා අවට පරිසරයේ ඇති දේ උපමාවට ගෙන ධර්මය දේශනා කිරීමත් එසේම ඒ ඒ ක්‍ෂේත්‍රයෙන් පැමිණි අයට ඔවුන්ගේ විෂය ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උපමාවලින් ම ධර්ම කරුණු පැහිදිලි කර ඇත. උදාහරණ ලෙස ගවයා, කෙත, තුඹස, මුල් කොට දෙසූ සූත්‍රවල එකතුව මඡ්ඤ්ධිම නිකායේ ඕපම්ම වර්ගය ලෙස දක්‌වා ඇත. එසේම උන්වහන්සේ අවුරුදු 45 ක්‌ පුරා ලෝක සත්වයාගේ යහපත පිණිස සැරිසැරූ සෑම ස්‌ථානයකම ධර්මය දේශනා කිරීමට තෝරාගත්තේ ගඟක්‌ අසබඩ, කඳු මුදුනක, කුඹුරක්‌ අසල හෝ ස්‌වාභාවික සෞන්දර්යෙන් අගතැන්පත් වන අරණකය. පහත සඳහන් සූත්‍ර උදාහරණ ලෙස දැක්‌විය හැකිය. ඉච්චානන්ගල ගම ආශ්‍රිතයෙහි වූ වනයකදී තරුණ අම්බට්‌ඨ පිරිසට අම්බට්‌ඨ සූත්‍රය දේශනා කළහ. කෝසල රාජ්‍යයේ අචිරවතී නදී ඉවුර අසළ පිහිටි අඹ වනයේදී තේවිඡ්ඡ සූත්‍රය ද විශාලා මහනුවර අසල පිහිටි වනයකදී සැරියුත් තෙරුන්ට මහාසීහනාද සූත්‍රය ද එසේම ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද්දේ ද බරණැස ඉසිපතන මිගදායේදී ය. මහාමොග්ගල්ලාන සූත්‍රය දේශනා කරන ලද්දේ ඉතා රමණීය ලේනන්ගෙන් ගහණ වූ කලන්දක නිවාප නම් වූ ස්‌ථානයකය. අනුරුද්ද, නන්දිය, සහ කම්බිල යන ශිෂ්‍යයන් තිදෙනෙකුට සාකච්ඡාවේ ඇති වැදගත්කම දක්‌වමින් ගොසින්ග වනයේදී චූලගෝසින්ග සූත්‍රය ද දේශනා කරන ලදී. සිම්සපා වන අරණේදී සිම්සපා සූත්‍රය ද එසේම වන අරණ මෙන්ම ගංගාවන් ආශ්‍රිතව විවිධ සූත්‍ර දේශනා කළ අයුරු ත්‍රිපිටකය විමසීමේදී අපට දැක ගත හැකිය. චම්පා නගරයේදී ගග්ගරා පොකුණ සමීපයේදී සෝණදණ්‌ඩ සූත්‍රය ද මහී ගං ඉවුරේදී ධනිය ගෝපාලට ධනිය සූත්‍රය ද කුඹුරකදී කසීභාරද්වාජ බමුණාට කසීභාරද්වාජ සූත්‍රය ද එසේම මහාපරිනිබ්බාන සූත්‍රය දේශනා කිරීමට ආරම්භ කළේ රාජගිර් නගරයේ පිහිටි ගිඡ්ජකූට පර්වතයෙනි. බුදුන් වහන්සේ නිතරම පරිසරය ඇසුරු කොට ජීවත් වූ බවට ත්‍රිපිටකය තුළින් කරුණු ගෙනහැර දැක්‌විය හැකිය. එක්‌ අවස්‌ථාවක බුදුන් වහන්සේ ඇට්‌ටේරිය අතු කිහිපයක්‌ මත රාත්‍රිය ගතකළ අතර, අලුයම රාජකාරි කටයුතු සඳහා ගමන් කරමින් සිටි අභයරාජ කුමාරයා එය දැක උන්වහන්සේ වෙත පැමිණ විමසුවේ එම නොසම බිමෙහි කෙසේ නම් විසුවේද යන්නයි. එවිට උන්වහන්සේගේ පිළිතුර වූයේ ඉතා හොඳින් රාත්‍රිය ගත කළ බවය. තවත් අවස්‌ථාවක භික්‍ෂුන් වහන්සේ අතර ආරවුලක්‌ ඇති වූ විට එය සමඟි කිරීමට උපදෙස්‌ දී එය පිළිනොගත් විට පාරිලෙය්‍ය වනයට වැඩම කර විසූ බව ද බෞද්ධ ඉතිහාසයෙහි සඳහන්ව ඇත. එසේම මහා පරිනිබ්බාන සූත්‍රයේදීත් මඡ්ඤ්ධිම නිකායේ ගෝසංගසාල සූත්‍රයේදීත් පරිසරයේ සුන්දරත්වය රමණීයත්වය අගය කළහ. ආනන්ද තෙරුන් සමඟ චාපාල චෛත්‍යය වෙත වැඩම කර “රමණීයයි ආනන්ද චාපාල චෛත්‍යය රමණීයයි ආනන්ද සත්තම්බක චේතිය ආදී වශයෙන් එම සුන්දරත්වය ඉතා ඉහළින් වර්ණනා කර ඇත. එසේම විශාලා මහනුවර උදේන චෛත්‍යය ගෝතමක චේතිය සත්තම්බක චේතිය යනාදී ස්‌ථාන අතිශයින් රමණීය ස්‌ථාන ලෙස බුදුහු ආනන්ද තෙරුන්ට හඳුන්වා දී ඇත.”
ශුද්ධෝදන රජතුමා තම පුත්‍රයා තමාගේ උපන් බිමට එනම් කපිලවස්‌තු පුරයට වැඩම කරවාගෙන ඒමට අවස්‌ථා කීපයකදී දූතයන් යෑව්වද, ඒ සෑම අයෙකුම බුදුන් වහන්සේ වෙත ගොස්‌ පැවැදිව රහත් බව ලැබූහ. කාළුදායි ඇමැතියාට ද ශුද්ධෝදන රජතුමා මේ බව දැන්වූ විට ඔහු පැවසුවේ තමාට පැවිදි වීමට අවසරය ලබා දෙන්නේ නම් බුදුන් වහන්සේ වැඩමවා ගෙන ඒමට තමාට හැකි බවය. ඉන් පසුව බුදුන් වහන්සේ වෙත පැමිණ ඇමැතියා පැවිදි වූ අතර, කාලානුරූපව වෙනස්‌ වන පරිසරයේ සුන්දරත්වය ඉස්‌මතු කොට දක්‌වමින් තම මවුබිමට වැඩමවීමට ආරාධනා කරන ලදී. ස්‌වාමීන්, දැන් වෘක්‍ෂයෝ ගිලිහුණු පරණ පත් ඇති නව දැල්ලෙන් යුක්‌තව ගිනිසිළු මෙන් බබලමින් පිපුණු මල් ඇතිව ඇත්තාහු ඵල ගැන්මට ළං වූවාහු වෙති. සිතකළු වෘක්‍ෂයෝ පිපුණ මලින් හාත්පස සුවඳවත් කෙරෙති. පරිසරයේ උණුසුම ද ඉතා ශීත බව ද නොවේ. මේ දිගු ගමනට සුදුසුම සෘතුවයි. එබැවින් ස්‌වාමීනි මේ රෝහණ නදිය තරණය කිරීමට සුදුසුම කාලය වේ යෑයි කාළුදායි තෙරුණුවෝ තම අපේක්‍ෂා මුදුන් පමුණුවා ගැනීමට මෙසේ පරිසරයේ සුන්දර බව ගැන අගය කරමින් විස්‌තර කරන ලද අතර එමගින් ද බුදුන් වහන්සේ තුළ උද්යෝගයක්‌ ඇති කරන ලද බව පැහැදිලිය.
බුදුන් වහන්සේ පමණක්‌ නොව තම ශ්‍රාවකයෝ ද පරිසරයේ ඇති සුන්දරත්වයෙන් ලබාගත් අත්දැකීම් විස්‌තර කර ඇති අයුරු ථේරගාථා සහ ථේරීගාථා වලදී මනාව පිළිබිඹු වේ. මේ ගැන “බුදුදහම පරිසරය සහ ආධ්‍යාත්ම සුන්දරත්වය” යන පොතෙහි මෙසේ සඳහන් කර ඇත. මිනිස්‌ සිත වැඩිවීමෙන් පවිත්‍රත්වයට මෙන්ම සමාධිය කරා ද යොමු කරවිය හැකිය. සංසිඳුනු මිනිස්‌ සිතෙහි සුන්දරත්වය ස්‌වභාව සුන්දරත්වය අභිබවා සිටියි. සිත විමුක්‌ති සුවයෙන් සුවපත් බවට පත් කර ගත් මහරහතන් වහන්සේලා ලොව ස්‌වභාව සුන්දරත්වය දෙස බලා ඇත්තේ නොඇලෙන විරක්‌ත දර්ශනය මුල්කර ගත් නිරාමිස හැඟීමෙනි. රහතන් වහන්සේ පරිසරයේ නිරාමිස විමුක්‌ති සුවය විඳි අයුරුත්, රහත් බවට පත්වීමට එය උපයෝගී වූ අයුරුත් ඉතා පැහැදිලිව දක්‌වා ඇත. එසේම ගස්‌ කොළන් දිය ඇළි ගංගා ගිරි දුර්ගයන්ගෙන් ගහණ වූ පරිසරයේ රමණීයත්වය ඉතා පැහැදිලි ලෙස රහතුන්ගේ සිත සමාධිගත කිරීමට උපයෝගී වූ අයුරු ථේර/ ථේරී ගාථාවල දක්‌වා ඇත. නිදසුන් කීපයක්‌ ඒ සඳහා මෙසේ ගෙනහැර දැක්‌විය හැක. සප්පක ථේරගාථාවේ මෙසේ උන්වහන්සේගේ හැඟීම් ප්‍රකාශ කර ඇත.

“යථා බාලකා සුදි පණ්‌ඩරච්ඡදා
කාලස්‌ස මේඝස්‌ස භයෙන තඡ්ජිතා
පලෙභීති ආලය මාලයෙසිනි
නදා නදී අජකරණී රමෙති මං”

සුදු පියාපත් ඇති කොක්‌කු කළු වැහි වළාකුළෙන් තැතිගෙන සැඟවෙනු පිණිස පලා යන විට අජකරණි නදිය මා සිත අලවයි.
එසේම උන්වහන්සේගේ කුටිය පිටිපස ජම්බු වෘක්‍ෂයන්ගෙන් සෝබමාන වූ ගං ඉවුර දකින සෑම දෙනෙකුගේම සිත් ඇද ගන්නා බවත් දක්‌වා ඇත. “සොභන්ති අපගා කුලං මම ලෙණස්‌ස පච්ඡතො” එමතුදු නොව සර්පයන්ගෙන් මිදුණු මැඩියෝ නාද කරති. “භෙකා මන්දවති පනාදයන්ති” අජකරණි නදිය අසල නිදහස්‌ව ශාන්ති සිතින් කාලය ගත කළ හැකි බවත් එසේම බොහෝ සතුන්ට එම ස්‌ථානයේ බියෙන් තොරව වැසිය හැකි බවත් සප්පක තෙරුන් වහන්සේ දක්‌වා ඇත. සිත සමාධිගත කර ගැනීමට පරිසරය බෙහෙවින් ම බලපා ඇති බව බුදු සමය තුළින් මනාව පෙන්නුම් කෙරේ. ඒකවිහාරීය තෙරුණුවෝ උන්වහන්සේගේ අදහස මෙසේ දක්‌වා ඇත.
රම්‍ය වූ මතැතුන්ගෙන් සෙවිනා ලද යෝගීනට ප්‍රීතිකර වූ වනයෙහි එකලාව වසන මට වනයෙහි පිවිතුරු බව ශ්‍රමණ ධර්මය සාධනයෙහි ලා උපකාරී වූයේ යෑයි ද එයින් මා සිත එකඟ වී යෑයි ද විස්‌තර කර ඇත. කාරංචි වනයෙහි ඉතා මධුර හඬින් වදදෙන මොනරුන් තමාගේ ධ්‍යාන සිත අවදි කර වූ බව චිත්තක ථේරගාථා වලදී දක්‌වා ඇත. මේ හා සමානම අදහසක්‌ ප්‍රකාශ කරන්නේ වනවච්ඡ තෙරණුවෝ ය. පරිසරයේ ඇති සුන්දර බව ද මනාව වැඩුණු ගස්‌ පෙළින් යුක්‌ත වූ මොනරු නාදයෙන් පිරුණු වනය තමාගේ සිත සමාධිය කරා යොමුකර ගැනීමට ධ්‍යාන වැඩීමට උපකාර වූ අයුරු චූලක තෙරණුවෝ දක්‌වා ඇත. තාලපුටු තෙරණුවෝ පවසන්නේ මේඝ ගර්ජනාවෙන් මොනරු සමූහය උද්දාමයට පත්වන්නේ යම් සේ ද, එසේම තමාගේ සිත ධ්‍යාන කරණයට යොමුවීමට පරිසරය බලපෑ බව දක්‌වා ඇත. කාළුදායි තෙරුන් බුදුන් වහන්සේ කපිලවස්‌තුවට වැඩම කරවා ගැනීමට එම මාර්ගය වර්ණනා කරන්නේ දිරාගිය පැරැණි පත් ඉවත සලා ගිනි සිළු වැනි නව දලු ලා ඵල අපේක්‍ෂාවෙන් මඟ දෙපස වෘක්‍ෂයෝ සැරසී සිටිති යනුවෙනි. සුත්ත නිපාතයේ ධනිය සූත්‍රයට අනුව ධනිය ගෝපාලයන් සහ ඇති වූ සංවාදයෙන් පවසන්නේ ධනිය රිසි සේ වැස්‌ස වසින්න යෑයි ආරාධනා කෙරේ. ඔහු පවසන්නේ තමාගේ සහවාසයන් සමඟ අහර කිස නිමවා මනාව යෙදූ දොර කවුළු ඇතිව නිවසෙහි සිටින තමාට කිසිම ප්‍රශ්නයක්‌ නැති නිසා වසින්න යෑයි ආරාධනා කරයි. එසේම මහී ගං තෙර සිටි බුදුන් වහන්සේ ද පවසන්නේ කෙළෙස්‌ මල සහ ක්‍රෝධ ගින්න නිවා හුදකලාව සිටින නිසා ඇති තරම් වසින ලෙස ය.

උත්තිය, වල්ලිය, ගෝධික සහ සුභාහු යන තෙරුවන් වහන්සේලා වැස්‌ස දකින්නේ මිහිරි ගායනයක්‌ වශයෙනි. “වස්‌සති දෙවො යථා සුගීතං” යනුවෙනි. එසේම තමාගේ කුටිය මනා ලෙස සෙවිළි කර ඇති සෙයින් රිසිසේ වැස්‌ස වැසීමට ආරාධනා කරයි.
මේ අයුරින් බුදු දහම හා පරිසරය අතර වෙනසක් නොමැති බව ඔබට පසක් වනවා ඇත. ඒ මන්ද යත් බුදුහිමියන් යනු පරිසරයේ කොටසක් බැවිනි. බුදු දහම යනුද පරිස‍රයේම කොටසකි. සත්‍ය වශයෙන් කිවහොත් බුදු දහම කියා දෙයක් නොමැත. එය සොබා දහමයි. බුදුහිමියන් සිදුකලේ සොභාදහම සිය තියුණු නුවණින් හදුනා ගැනීම පමණි.
එවන් මහා දර්ශනයයක පහස නොලබන්නන් සැබැවින්ම අභාග්‍යවන්තයෝ. ඔබත් එවන් අභාග්‍යවන්තයෙක්දැයි මොහොතක් සිතා බලන්න. අද අදම සොභාදහමට (බුදු දහමට) සමීප වන්න.

දිවයින පුවත් පත ඇසුරින් සකස්කල ලිපියකි.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා …
ගෞතම සාම සංදේශය ලොව පුරා පැතිරේවා … …

මහසෙන් රජතුමා ඉදි කළ ලොව විශාලතම දාගැබ ගැන ඔබ දන්නවාද ?
බුදුසමිදු දැකගනිමු ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.