34 පරසතු දිව කුසුම් නොයෙක ගී පැසසුම් සමග ජනහද සුසුම් පිරිනිවී මුනිරජ උතුම්! - IFBC Organization | Dhamma

බුදුන් වහන්සේ පන්සාලිස්‌ වසක අසිරිමත් සඳහම් චාරිකාවේ අවසන් හෝරා කීපය වෙත එළඹ සිටිනා වග සිහිපත් කළ පුහුදුන් භික්‍ෂූන්ගේ ළසෝ දුක්‌ බොහෝ විය. ඔවුන් මුවග ඇඳි සිනා මැකිණි. නුවන් අග කඳුළු මල් දිලිණි. ප්‍රිය කතා ගල්විණි. අහෝ අප සැනහූ, අප සුමගට යොමු කරවූ බුදු සඳක ශාන්තිය යළි කවදා උදාවන්නේද? තුන් ලොවම සිසිල් කරමින් ගැලූ සදහම් ගඟුලක නිමාව කෙසේ ඉවසා ගන්නෙමුද? අවිදු අඳුර දුරලමින් නැගණු ඒ සදහම් හිරුට බියෙන් සැඟවුණු මිසදිටුවන්ගේ රැඟුම් යළිත් හිස ඔසවනු කවරහු වලක්‌වත්ද? යහපත අයහපත, අනතුර, නපුර මේ මේ යෑයි පිරිසිඳ දත් එමුණි රජුන්ගෙන් හිස්‌වන ලොව කුමන ඵලයක්‌ද? ආදී ලෙසින් ඇතැම් භික්‍ෂූහු දුක්‌ හඬින්ම සුසුම් ලන්ටද වූහ. ඒ භික්‍ෂූන් වහන්සේලාගේ තැවුල් සිත් සුවපත් කරන්ට සිටි ආනන්ද හිමියෝද අසරණව වූහ. උන්වහන්සේගේ හද මඬල ද එකම ගනඳුරක්‌ සේ වීය.

බුදුහු තමන් වහන්සේ කෙරෙහි අපරිමිත ස්‌නේහයෙන් යුතු භික්‍ෂූන්ගේ මෙන්ම අසමසම උපස්‌ථයක ආනන්ද හිමියන්ගේ ද සිතැඟි අතැඹුලක්‌ සේ දැන දැනම තුෂ්ණිම්භූතව වඩින්නාහු මල්ල රජ දරුවන්ගේ උප වර්තන නම් සල් උයනට ළඟා වූහ. උන්වහන්සේ සමවත් බෙලෙන් සිරුරෙහි මතු වූ දුබලතා යටපත් කළ ද එවේලෙහි යම් අපහසුවක්‌ දැනුණි.

“ආනන්දය මට අපහසුවක්‌ දැනෙයි. එසේ වුවද මගේ සිහිය ද අධිෂ්ඨානය ද නොබිඳී ඇත්තේ ය. මේ සල් රුක්‌ අතර පිරිනිවන් මංචකය ඉදි කළ මැනවි. එහි උතුරු දෙසට හිස සිටින ආකාරයට මම සැතපෙනු රිසිමි. ආනන්දය එලෙස සිංහ සෙය්‍යාවෙන් සැතපෙන බුදුමහිමය දකිනු සඳහා දෙව් බඹහු ද පැමිණෙති.
බුදුන් වහන්සේගේ ඒ වදන් ආනන්ද හිමියන් තුළ වූ දුක දෙගුණ තෙගුණ කරන්නක්‌ විය. එවේලේ ආනන්ද හිමියන්ට හැඟුණේ බුද්ධ පරිනිර්වාණය මෙයට වඩා සුවිසල් නුවරක වී නම් මැනවි යන සිතිවිල්ලය. සැබැවින්ම චම්පා, රජගහ, සැවැත්, සාකේත, කොසඹෑ, බරණැස යනාදී මහනුවර සමඟ සසඳන කල කුසිනුරා නුවර අතු නුවරක්‌ වැන්න. බමුණු මහසල්හුද ගැහැවි මහසල්හුද වෙනත් කැත් කුල ප්‍රභූහුද වෙළෙඳ සිටුවරුද එහි සුලබ නොවෙති. ආනන්ද හිමියන්ට සිතුණේ එවන් පූජා සත්කාර මැද බුද්ධ පරිනිර්මාණය වී නම් මැනවි යන්නය. එසඳ බුදුහු මෙසේ වදාළහ.
“ආනන්දය මම ඔබගේ තැවුල් සිත් දෙකම දුරලන්නෙමි. පළමුව මගේ පිරිනිවන සිදුවන කුසිනාරා නුවර ගැන කියන්නෙමි, ආනන්ද මෙය කුඩා නුවරකැයි නැතහොත් අතු නුවරකැයි නොසිතනු යෙහෙකි. මෙහි පෙරදින මහ සුදසුන් නම් ප්‍රතාපවත් රජෙක්‌ වීය. එය දොළොස්‌ යොදුනක්‌ පෙරදිගින් පසු දිගට විහිදිණි. සත් යොදුනක්‌ උතුරින් දකුණට විහිදිණ. කෙත් වතු සරු විය. යස ඉසුරු බෝ විය. දිළින්දෝ නොවූහ. එව, කව, බොව, යන මියුරුතෙපුල් අවට ගිඟුම් දුන්නේය. පසඟතුරු ගොස නැගුණි. ඇත්, අස්‌, මිනිස්‌ සේනා බලවත් විය. සල්පිල් සැණකෙළි, නැකැත් කෙළි නොඅඩු විය. තවද මෙහි සිsටින මල්ල රජදරුවෝ බුදු පිsරිනිවනට නිසි අයුරින් පූජා පෙරහර කරති. එසේම දෙව් බඹහු මෙනුවර අහස්‌කුස වසා වැඩ සිටිති. මේ හාත්පස සල් රුක්‌හි ද වෙනත් රුක්‌හිද මල් සුපිපෙනු ඇත. පරසතු, මදාරා, කුසුම් ද අහස්‌ ගැබ වියන් සේ තිබෙන අයුරු දැක ගත හැකි වනු ඇත.
දැන් මම ඔබවෙත යොමු වෙමි. ආනන්දය ප්‍රිය විප්‍රයෝගය ඒ සා දරුණුමය. පුහුදුන් සිතක නැගෙන ඒ ගිනි සක්‌වල දවනු තරම් විය හැකිය. එහෙත් එහි පලයක්‌ තිබේද? හැŽමෙන්, තැවීමෙන් දිනාගත හැකි දේ කුමක්‌ද? මවිසින් නිරන්තරව කරනලද අවධාරණය වූයේ ඒ අනියත ස්‌වභාවයයි. තථාගත සිරුර ද මනාව සකස්‌ වී නැත. පලුදු වන සුළුය. දිරා යන සුළුය. ඉතින් ඒ ලොව දහම පසක්‌ කර සිහි නුවණින් දුක, ශෝකය ජය ගත යුත්තේ ය.
ආනන්දය ඔබගේ උපකාර, උවටැන් මම අප්‍රමාණව ලදිමි. ඇනවුමෙන් තොරව ලදිමි. වේලාව අවේලාව නොබලා ලදිමි. ඔබේ මුදු බව, පහන් බව, බුද්ධිමත් බව පෙර පින් සහිත බව මම ඉඳුරා දනිමි. ඔබ වැනි උපකාරක භික්‍ෂුහු පෙර බුදුවරුන්ට ද වූහ. ඔබ ද එබදු ඥන, වීර්ය බල ප්‍රාර්ථනාවෙන් සපිරි අයෙකි. මගේ දීර්ඝ සදහම් චාරිකාවෙහි වෙහෙස මට නොදැනීමට ඔබද හේතු විය. ඔබ මා සඳහා දැක්‌වූ අනුග්‍රහය ඒ සා විශාල විය. දැන් ඔබ සිත දැඩි කර මේ සියල්ලෙන් අත්මිදිය යුතුය. බැඳීම්, ඇලීම්, තැවීම් දුකටම විනා සැපතට හේතු නොවන බව ඔබ සිහි කළ යුතුය.
බුදුන් වහන්සේගේ ඒ වදන් ආනන්ද හිමියන්ට අපමණ සහනයක්‌ විය. දෙදෙනතින් කඳුළු ගලා ගියද සිතට සැහැල්ලුවක්‌ම විය. යළිත් හිස ඔසවා බුදුන්ගේ කරුණාබර මුව දෙස බැලූ ආනන්ද හිමියෝ බිම දිගාවී උන්වහන්සේට නමස්‌කාර කළහ. බුදු සිරුර අසලම විසිර යන මල් ආනන්ද හිමියන්ට පෙනුණි. ඇතැම් මලක්‌ උන්වහන්සේගේ සිරිපා මත වැටී බිමට පතිත වන අයුරු ද ආනන්ද හිමියන්ට පෙනුණි. ඒ දිවමල් බව උන්වහන්සේට පසක්‌ විය. අහස්‌ කුස වසා සිටින දෙවියෝ ද වෙනත් දෙව්ලියෝද දිවමල් විසුරවතියි ආනන්ද හිමියෝ නිශ්චිතවම දැනගත්හ. එවන් පරම පූජාවක්‌ මේ මනු ලොව කිසිකුට කළ නොහැක්‌කේය.
ආනන්ද හිමියන්ට ඒ සියලු තතු පියවි ඇසට නොපෙනුණ ද ඒවා එලෙසින්ම දැක ගත හැකි පිරිසක්‌ ද වූහ. ඒ මහරහතන් වහන්සේලාය. මුළු කුසිනාරා පුරයත්, උපවර්තන නම් වූ සල් උයනත් වැසුණු දොළොස්‌ යොදුන් පමණ අහස්‌ කුස සිසාරා සිsටියාහු දෙවි දේවතාවෝ ය. එහි ඉඳිකටු තුඩක තරම්වත් හිඩැසක්‌ නොවීය. තුන්ලෝ තිලක තථාගතයන් වහන්සේගේ මුව මඩළ දැක ගනු රිසින්ම එලෙස අහස්‌හි දෙවියෝ වැඩ සිටියහ. ඒ දේවතා සිරුරුවලින් නික්‌මෙන ආලෝක ධාරාවන් දසත එකෙළි කරමින් විහිදිණි. ඒ හා සමගම දෙව්ලිය සුරතින් ගිලිහෙන දිවමල් සුවඳ ද පැතිර යමින් තිබුණි. ඒ සුවඳ මඳ නල හා මුසුව වන උයන්, ගංගා, ඇල දොළ හා සාගර දක්‌වාද ඇදී ගියේය. ඒ සුවඳ නළ වදින ගිලන්හු සුව වෙති. විරුපීහු රූපී වෙති. දැඩි සිතැත්තෝ මුදු වෙති. ඒ සුළං රඳනා සියලු බිම් ද මැදුරු ද නිවෙති. ජන හද පිබිදෙති. එසේ වුවද මේ කුමන ආශ්චර්යක්‌ දැයි බොහො අය නොදත්හ.
බුදු පිරිනිවන අලුයම් වේලෙහි සිදුවන බව කුසිනාරාවෙන් ඔබ්බටද පැතිර ගොස්‌ තිබුණි. මේ ආශ්චර්යවත් බුදුන් වහන්සේ පිරිනිවීමට පෙර දකින්ට ඇත්නම් යෑයි සිතූ ජනයා යුහු යුහුව එනුවර දෙසට ඇදෙන්ටද වූහ. එහෙත් කිසිවෙක්‌ කලබල නොවූහ. හැම තැනකින්ම දිස්‌ වූයේ ශාන්ත විලාසයකි. අහස්‌ කුස සේම මිහිතත ද අතුරු සිදුරු නැතිව වැසී යමින්ම තිබිණි. ආනන්ද හිමියෝ හදිසියේ කිසිවක්‌ සිහිවූයෙන් යළි බුදුන් වහන්සේ අසලටම පැමිණ නමස්‌කාර කළහ.
“බුදු හිමියනි මවිසින් විමසා දත යුතු පැනයක්‌ වෙයි. එය විමසීමට අවසර දෙනු මැනවි
බුදුහු තුෂ්ණීම්භූතවම එය ඉවසූහ. ආනන්ද හිමියෝ මෙසේ විචාලහ.
“බුදු හිමියනි, මාගමුන් හෙවත් ස්‌ත්‍රීන් සම්බන්ධයෙන් අපගේ පිළිවෙත කුමක්‌ද?
ආනන්දය මාගමුන් නොදැක්‌ම යහපති. බුදුහු වදාළහ.
බුදු හිමියනි, යම්සේ දැක්‌මක්‌ වූයේ නම් කුමක්‌ කළ යුතුද?
ආනන්ද හිමියෝ අතුරු පැනයක්‌ ද විචාළහ.
ආනන්දය වඩා යහපත්ම දේ නම් මුවින් නොබැණ සිටීම යෑයි බුදුහු වදාළහ.
බුදු හිමියනි එසේ වුවද එයින් නොවැළකී සිටීම කළ නොහැකි තැනකදී අපගේ පිළිවෙත කුමක්‌ද?
ආනන්දය ඒ ස්‌ත්‍රියගේ වයස්‌ ස්‌වභාවය අනුව මවය, සොහොයුරියය, දියණියය, යනාදී ආකාරයෙන් ඒ සංවාදය සිදුවිය යුතුය. සිහියෙන් එළඹ ඒ කතා කළ යුතුමය.
මාගමුන් සම්බන්ධයෙන් වූ පැන විසදගත් ආනන්ද හිමියන්ට තවත් කුහුලක්‌ විය. ඒ බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු බුදු සිරුර අරභයා කුමක්‌ කළ යුතුද? යනුයි. බුදුහු ද ආනන්ද හිමියන්ගේ පැනයෙහි කාලීන බව දුටහ. මන්ද යත් ඒ වනවිට කිසිවෙක්‌ බුද්ධ පරිනිර්වාණයක්‌ පිළිබඳව අසාවත් නොසිටි හෙයිනි.
“ආනන්දය ඔබම මැනවින් දන්නා පරිදි බුදු උපත අතිශය දුලබ වන්නේය. එවන් බුදුවරයකුගේ ධර්ම චාරිකාව ද අවසානයෙහි පිරිනිවීමද ඒ සා දුලබ දේවල්මය. එහෙත් මම මෙබඳු උපදෙස්‌ දෙනු රිසිමි. බුදු සිරුර පිදීම සඳහා එතරම් වෙහෙසක්‌ ගැනීමද ඇවැසි නැත. වුවමනා දෙය නම් බුදු පිළිවෙත් සපිරීමය. එසේ වුවද බුදු සිරුරට දැක්‌වුවමනා පිළිවෙත්ද වේ.
සක්‌විති රජකුගේ සිරුර පළමුව අලුත් වස්‌ත්‍රයෙන් වෙළනු ලැබේ. එය පසුව කපු පුළුන්ද දෙවනුව වඩාත් සිනිඳු පුළුන්වලින්ද මනාවම වෙළනු ලැබේ. පසුව අලුත් වස්‌ත්‍රයෙන් නැවත වෙළයි. මේ ආකාරයට යුගල පන්සියයක්‌ නිමවන තුරු වෙළිය යුත්තේය. එසේ වෙළනු ලබන සිරුර රන්මුවා දෙණක බහා ලිය යුත්තේය. මනාව පියවූ දෙණ සුවඳ සඳුන් දරවලින් කළ චිතකයක දැවිය යුත්තේය. ඒ චිතකය සුවඳ ගැල්විය යුත්තේය. බුදු සිරුර සඳහා ද ඒ සියලු පූජා විධි උචිත වේ. තවද විශේෂ කරුණක්‌ වේ. එනම් බුදු සිරුර දැවීමෙන් පසු ඒ වෙනුවෙන් ස්‌තූපයක්‌ කර වන්දනා මානයට ඉඩ සැලසීම ද මනාය. එබඳු ස්‌තූප බොහෝ ජනතාවගේ ප්‍රසාදයටද ගෞරව පූජාවටද නිමිති වේ.
ඒ සියල්ල ගෞරවයෙන් අසා සිටි ආනන්ද හිමියන් තුළ තවත් සංවේග උපන්නේය. මෙබඳු බුදුවරයකු නොවේද ලොවට අහිමි වන්නේ යන සිතිවිල්ල යළිත් වැඩෙන්ට විය. ඒ දුටු බුදුහු යළිත් මෙසේ වදාළහ.
ආනන්දය මට ඔබට තවත් සංවේග දනවන කරුණක්‌ම පවසමි. බුදුවරයකු පිළිබඳව පහන් සංවේග දනවන ස්‌ථාන හතරක්‌ම වේ. පළමුවැන්න බුදු උපත සිදුවූ ස්‌ථානයයි. දෙවැන්න බුදු බව ලබනා ස්‌ථානයයි. තෙවැන්න නම් බුද්ධත්වයන්ට පත් ව පළමු ධර්මය දේශනා කරන ස්‌ථානයයි. සිව්වැන්න මෙලෙස බුදුවරයකුගේ පිරිනිවීම සිදුවන ස්‌ථානයයි. ආනන්දය මේ සියලු තැන්ම අතිශය දුර්ලබ, මිනිස්‌ ඇසට විස්‌මය දනවන උතුම් පූජා ස්‌ථාන වන්නේය. මේ සියලු තැන්හිම මිහිකත කම්පා වී දෙවියන් සහිත ලෝකයාගේ පූජාව, ප්‍රණාමය හිමිවන්නේ ය. මතු මතුව එන පරපුරවල ජනතාව බුදු මහිමය සිතින් මවා මේ තැන්වල රැඳී පූජා කරති.
මේ වනවිට රාත්‍රියෙහි පූර්ව භාගය ගෙවීමට ආසන්න වෙමින් තිබුණි. එසේ වුවද රැයක ස්‌වභාවය නොවීය. දේවතා එළියෙන්ද එහි වැඩ සිටි රහතුන් වහන්සේලාගේ පහන් සිත් නමැති ආලෝක ධාරාවලින් ද අඳුර සැඟවී ගොසින්ය. බුදුන් අසළම රැඳෙමින් වටාපතකින් උන්වහන්සේට පවන් සලමින් සිටි උපවාන තෙරුන් එතැනින් ඉවත් කරන ලෙස බුදුහු ආනන්ද හිමියන්ට වදාළහ. ආනන්ද හිමියන්ට ඒ කුමක්‌ නිසාදැයි පැහැදිලි නොවූ නිසාම බුදුහු මෙසේ වදාළහ.
ආනන්දය, මා පෙර කී පරිදිම අහස්‌ කුස සිසාරා සිටින දෙව් බඹුන්ට මේ උපවාන භික්‍ෂුව නිසා මාගේ මුහුණ දැක ගැනීමට බාධා සිදු වේ. ඒ නිසා දෙවියෝ අසතුටට පත්වූවෝ නොමැනවි. ඔවුන්ට වඩාත් හොඳින් මගේ මුහුණ දැක ගැනීම සඳහා උපවාන භික්‍ෂුව ඉවත් කරන්න.
ආනන්ද හිමියෝ එලෙසම කළහ. අනතුරුව උන්වහන්සේ ද බුදුන්වහන්සේට නමස්‌කාර කළේ එතැනින් මෑත්වීමටය. එහෙත් බුදුහු එය වළක්‌වා ඒ අසළ හිඳ ගන්නා ලෙස වදාළහ. ආනන්ද හිමියෝ උන්වහන්සේට සමීපව බිම හිඳ ගත්හ. බුදුහු එහි සිටි අනෙක්‌ භික්‍ෂූන් වහන්සේලාට ද එපරිදිම වාඩිවන ලෙස වදාළහ. සියලු දෙනාගේම නෙත්ද දෙසවන් ද බුදුන් වහන්සේ වෙතම යොමුව තිබුණි. අයෙක්‌ ඇස කඳුළ සැඟවූහ. අයෙක්‌ හද සුසුම මැඬලූහ. සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටින ඒබුද්ධ මහිමයට උපමා නැත. එය බුදුවරයකුගෙන්ම විනා මේ මිහිමත මිනිසකුගෙන් තබා දෙවියකු හෝ බඹකුගෙන් ද දිස්‌ නොවන තෙදවත් විලාසයක්‌ම විය. වරින්වර අහසින් වැටෙන දිවමල් හා සුවඳ සුනු ද ඔවුන්ට දැනුණි. බුදුන් වහන්සේට වුවමනා වූයේ යම් කුහුලක්‌, අනවබෝධයක්‌, නොපහන් බවක්‌ සංඝයා තුළ වන්නේ නම් ඒ සියල්ල මනාව පහදා දීමටය. සැක තැන් දුරලීමටය.
මහණෙනි ඔබ කැමැත්තෙහු නම්
මවිසින් පනවන ලද සුළු ධර්ම
විනයක්‌ සංශෝධනය කර ගත හැකිය.
එසේම භික්‍ෂූන් ඇමතීමේදී සඟමහලු පිළිවෙළ අනුව ක්‍රියා කිරීමද යෝග්‍ය වේ. මෙතැන් සිට ඔබ සැමගේ ශාස්‌තෲවරයා ධර්මයයි.
සියල්ලෝම බුද්ධ වචනය ගෞරවයෙන් අසා සිටියහ. කිසිදු පැනයක්‌ කිසිවකුගෙන් ඉදිරිපත් නොවිණි.
මේ අතර සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක්‌ ඒ ජනගඟ අතරින් පෙරට පැමිණ බුදුන් වහන්සේ හමුවී කිසියම් කරුණක්‌ විමසනු රිසියෙන් පසු විය. එහෙත් ඔවුන් බුදුන් අබිමුවට යෑවීම ආනන්ද හිමියෝම වළක්‌වා ලූහ. එසේ කළේත් බුදුන් කෙරෙහි වූ ගෞරවය නිසාමය. සුභද්‍ර තමන් වහන්සේ වෙත පැමිණි බව බුදුහුද දැන සිටියහ.
ඉක්‌බිති සුභද්‍රට බුදුන් වෙත යැමේ වරම් ලැබිණි. ඔහු බුදුන්ට නමස්‌කාර කර තම පැනයද ඉදිරිපත් කළේය.
“භාග්‍යවතුන් වහන්ස, මේ දඹදිව තමන් බුදුව සිටින බව කියන්නාවූද, සත්‍යය අවබෝධ කළ බව කියන්නාවූද, ප්‍රකට අය සිsටිති. එය සත්‍යයක්‌ද? එයින් සිදු වූ සේවයක්‌ වන්නේද?”
බුදුහු ස්‌වභාවයෙන්ම අන් අයගේ ඉගැන්වීම් විවේචනය ද අන් අයට ගැරහීම ද නොකළහ. එහෙත් මිත්‍යා දෘෂ්ටීන්හි ආදීනව නොවළහා වදාළහ. මෙහිදීත් බුදුන් වහන්සේ ඒ විවේචනය වෙනුවට තම දර්ශනයෙහි පදනම වූ චතුරාර්ය සත්‍යය ද, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද ඒ මගෙහි අනු පිළිවෙළ ද සැකෙවින් හා සරලව වදාළහ. පරතන්ත්‍ර හා බුදු මග වෙනස්‌ වන ආකාරයද පහදා දුන්හ. ඒ දහම් ඇසූ සුභද්‍රයන්ට මහණ වීමේ සිතක්‌ද පහළ විය. හේ අවසන් බුද්ධශ්‍රාවක ලෙස බුදු සසුනට එක්‌ විය.
දැන් මැදියම් රැයටද ආසන්නය. එහෙත් පෙර සේම හාත්පස දේවතා එළියෙන් අඳුර දුරුව ගොසින්ය. බුදුහු අවසන් වරට සඟ ගණ අමතා මෙසේ වදාළහ.
“මහණෙනි, සියලු සංස්‌කාරයෝ නැසෙන සුළුය. එහෙයින් එළඹ සිටි සිහියෙන් අප්‍රමාදව ක්‍රියා කරනු.
ඉනික්‌බිති බුදුහු ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් දෙවැනි තෙවැනි, සිව්වැනි පිළිවෙළින් ධ්‍යාන ගත වූහ. අනතුරුව ආකාසානඤ්චන සමාපත්තියට පිවිස ඒ සියලු සමාපත්ති වඩා නිරූපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීයහ. ඒ අලුයම දස දහසක්‌ සක්‌වල කම්පිතව ප්‍රකම්පිතව බුදු මහිමයට පූජා කළෙන් දෙව් බඹහුද සක්‌ දෙවිඳුන්ද ලොව ප්‍රඥ ඇස නිවී එහි එළිය පමණක්‌ රැඳුණු වග සැකහැර දත්හ. දෙව්ලොව දිව බෙර පැලී ගියේය. දිව වෙණ තත් සිඳී ගියේය. සක්‌ දෙවිඳන් මුවග අනිච්චාවත සංඛාරා යන ගැයුම් නැඟිණි. දෙව්ලොව දෙවියන් විසින්ම ගොතන ලද මල් දම් එනුවර වටා රඳවන ලද්දේ නමුත් එයි අගක්‌ මුලක්‌ පමණක්‌ කිසිවකුට දැක ගත නොහැකි සේ විය. පිරිනිවන් මංචකය වටා සියලු සල්රුක්‌ සුදු හා ළා රත් පැහැ සල් පියුම්වලින් පිරී තිබියදී ඉන් ඔබ සියලු මල් මිලිනව ගියේය. දෙව් බඹ සුසුම් නැඟී මඳ නල හා මුසුව මොහොතක්‌ සයුරු රළ ද උස්‌ව සැණකින් සන්සුන් වීය.
ආනන්ද හිමියන්ගේ දෑසට නැඟුණු කඳුලු උන්වහන්සේගේ මුව මතින් ගෙලට ද, ගෙල අසලින් ළයට ද, එතැනින් සිවුරට හා සිරුරට ද, වැටෙන අයුරු අනුරුද්ධ හිමියෝ දුටහ. කෙළෙසුන් නැසූ වීතරාගී, මුනි උතුමන්ගේ ශාන්ත විලාසයට ඒ කඳුලු උපහාරයක්‌ වන අයුරු උන්වහන්සේට පෙනුණි. පහන නිවී ගියද එහි ආලෝකය සදා කල් ලොව ගනඳුරු දුරලන බවද අනුරුද්ධ හිමියෝ උදන් සේ දෙසුහ. ඒ ඇසූ ආනන්ද හිමියන්ගේ හද සුසුම් වදන් කවි සේ ගලා යන්ටද විය.
නොසැලේද මිහිකත
ඒ අසමසම ගුණයට
නොසිඳේ ද ඒ ගුණ මහිම
සිඳී ගියත් මහ සයුරු
සුපිපෙන හැම කුසුම්
පූජාවකි මුනිඳුන්ට උතුම්
මහද ගඳකිළියකි සදාකල්
සව්නේ ගෙවා දත්
මහමි සඳටම.
පරසතු දිව කුසුම්…….
මේ මිහිමත දීර්ඝතම දිවාකලක්‌ නිම වූ සෙයක්‌ එවේලෙහි හැඟිණි. දෙව් ලොවින් වැටෙන මල්වැසි නිම නොවෙයි. සුරලියන්ගේ පූජා නැටුම් අහස සුදිලෙයි. එසඳ මල්ල රජදරුවෝ ද බුදුන් පිරිනිවී වග දැන බුදු පුද පිණිස යන්නෙමු. සත් දිනක්‌ ඒ පුද පවත්වන්නෙමුයි තිරසරව කීහ. පළමුව ඔව්හු සුවඳ පැන් සනහා සුදු වතින් සැරහී සල් උයනට පැමිණ පිරිනිවී වදාළ බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය නමැද එයට පූජා කළහ. ඉනික්‌බිති සුවඳ මල්, සුවඳ සුනු හාත්පස විසුරුවන ලෙස විවිධ රාජ පුරුෂයන්ට නියෝග කළහ. අහස්‌ කුස වැයෙන දිව වාදන පරිදි මිහිමත ද සියුම් ශාන්ත සංගීත නාද නැගුණි. තවද රන්වන් පාවාඩ, රන් බුමුතුරුණු ආදියෙන් පොළවද වැසිණි. බුදු පුද සඳහා පේවී සිටි දෙව් බඹුන්ට අවහිර වන හෙයින් වියන් බැඳීමක්‌ නොවුවද දෙව් මල්, දෙව්ලියන්ගේ මල් සැරසිලි ආදිය නිසා ඒ අඩුවද සපිරුණි. බුදු සිරුරට බුහුමන් පුදනු වස්‌ ඇදී එන ජන ගඟ ද වැඩි විය. ඒ ජන පෙරහර පොදු ජනයාගෙන් මෙන්ම නොයෙක්‌ ප්‍රභූන්ගෙන්ද කුලකතුන්ගෙන්ද සෝබාවත් විය.
මෙසේ සත් දිනක්‌ දෙව්පූජා ද, බඹ පූජාද, රජ මැති ප්‍රභූ හා පොදු ජන පූජාද ලද බුදු සිරුරට අවසන් ගෞරව දක්‌වාලීමට මල්ල රජහු සැරසුණහ. ආනන්ද හිමියෝ බුදු සිරුර සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සියලු පිළිවෙත් පැවසූහ. මල්ල රජවරු ද ඒ අයුරින්ම සියලු කටයුතු නිම වූහ. අනතුරුව රන් මුවා දෙණක බහා රන් පියනින් වසා සුවඳ දරින්ම කළ චිතකයක ශ්‍රී දේහය නමස්‌කාර පූර්වකව තැන්පත් කළහ. එසඳ මල් වැසි වැටුණි. අහස සාදු නදින් ගිගුම් දුනි. අහසින් වට දිව මල් මුළු නුවරම දණ තෙක්‌ වැසී යන තරම් විය. මල්ල රජවරු සිව් දෙනෙක්‌ චිතකයට ගිනි දැල්වීම සඳහා සුවඳ කැවූ කපු පුළුන් හා එබඳුම වස්‌ත්‍රවලින් වෙළන ලද පන්දම් දෝතින් දරමින් ම චිතකය පැදකුණු කළහ. පසුව සඳුන් දර සෑයට ගිනි දැල්වීමට තැත් කළ ද එය අසාර්ථක විය. කුමක්‌ හෙයින් එසේ වන්නේ දැයි නිශ්චිතව නොදත් ඔවුන්ට අනුරුද්ධ හිමියෝ එයට හේතු දැක්‌වූහ. මහාකාශ්‍යප හිමියන් එම ස්‌ථානයට වඩිනතෙක්‌ ඒ සෑය දල්වන්ට නොහැකි බව එසඳ අනාවරණය විය.
මහාකාශ්‍යප හිමියෝ ද පන්සියයක්‌ පමණ සඟ පිරිවර සමග ඒ වනවිටත් පාවා නුවර සිට කුසිනාරාපුරය බලා වඩිමින් සිටියහ. මහාකාශ්‍යප හිමියන් හා බුදු හිමියන් අතර විවිධ අසමානතා දිස්‌ වුවද එක්‌ සැණකින් බලන අයකේ මේ දෙදෙනා වහන්සේ ම එක බඳුවම දකිති. ඒ නිසා ඇතැම් අවස්‌ථාවල බුදු හිමියන් හා මහාකාශ්‍යප හිමියන් හඳුනා නොගැනීම නිසා අවුල් ද විය. මේ නිසාම මහා කාශ්‍යප හිමියෝ බුදුන් වහන්සේගේ අවසරය ඇතිව හිමාලයට නුදුරු පර්වතයක්‌ පාමුල ස්‌ථිරව වැඩ විසූහ. එසේ සිටියදී උන්වහන්සේ මෙබදු අධිෂ්ඨානයක්‌ කර තිබුණි.
මම මගේ අසමසම ගුරු වූද මෙලොව සියලු පදාර්ථයන් ඉදුරා දැන මා සහිත සියල්ලන්ගේ මොහඳුර නැසුවා වූද බුදුන්ගේ පා පියුම් හිසින් වඳින්නෙමි. එසේ වුවද මගේ බුදුහු මට වඩා සිව් අඟලක්‌ උස්‌ව මා හා සමාන පෙනුමැති වූ හෙයින් ගමක නුවරක සිටිනා කල්හි හඳුනා ගැනීමේ දුෂ්කරතා විය. ඒ නිසා මම හුදෙකලාව වසමි. යම් දිනක මගේ බුදුහු පිරිනිවී වදාරත්ද එදින මම උන්වහන්සේ වෙත යමි. මා වසන මෙම ගුහාව අබියස වූ මෙම වෘක්‍ෂයෙහි මල් එතෙක්‌ මිලීන නොවී පවතීවා. යම් දිනක පිරිනිවීම සිදු වූ කල්හිම ඒ සියලු මල් පරවේවා.
මේ අනුව බුදුන් පිරිනිවී වදාළ මොහොතේ ඒ වෘක්‍ෂයෙහි මල් පරවී, බිම නොවැටී රැඳිණි. ඒ ලකුණින් මහාකාශ්‍යප හිමියෝ සියලු තතු දැන එසේ කුසිනාරාවට වැඩියහ. මහා කාශ්‍යප හිමියන්ට චිතකය සමීපයට ළංවීම සඳහා දෙවියෝ ජනතාව දෙපසට බෙදා අවකාශ සැලසූහ. මහාකාශ්‍යප හිමියෝද සඳුන් සෑය තෙවරක්‌ම පැදකුණු කර බුදු සිරිපා අසළ නතර වූහ. එකල මහා සාගරය දෙබෑ කරමින් නැඟෙන මහා පියුමක්‌ සේ මුනි සිරිපතුල මහා කාශ්‍යප හිමියන්ට දැක ගත හැකි විය. ධර්ම සංවේගයෙන් ද අප්‍රමාණ ගෞරවයෙන් ද සිරිපතුල මත නළල තබා බුදු ගුණ ගී ගයමින් ම කාශ්‍යප හිමියෝ එය වන්දනා කළහ. සෙසු සඟ ගණ ද එලෙසම වන්දනා කළහ.
ඉක්‌බිති සිරිපතුල පෙර පරිදිම සෑය තුළ නොපෙනී ගියේ. ඉබේම එහි ගිනි ද ඇවිලිණි. ඒ ගිනි අසළ සිටි සියුම් ප්‍රාණියකුට තරම්වත් හිංසාවක්‌ පීඩාවක්‌ නොවී අහස්‌ කුස දෙසට විහිදුණි. අහස්‌a ගඟක්‌ සේ ජල කඳක්‌ හා මහ පොළවෙන් නැඟුණු දිය ඇල්ලක්‌ වැනි ජල කඳක්‌ ගිනි මැදිව විහිදී යනු දුටු සියල්ලෝම සාදු නාද දෙන්ට ද වූහ. තවද චිතකයෙන් නැඟෙන ගිනි ජාලා විචිත්‍ර රටාවලින්ද යුතු විය. අහස්‌ කුසට විහිදී යන විඡ්ජු ලතා මැවුමක්‌ ලෙසද එය දිස්‌ වූයේ දෙවිබඹුන්ගේ බුදු පූජා අසිරිය නිසාය.. ගිනි ජාලා, මාලා සමග දිය දහරාවන්ද වෙන වෙනම නැඟුණේ කිසි දිනක කිසිවකු නොදුටු ප්‍රාතිහාර්යක විලාසයෙනි. කුසිනාරා නුවර අහස්‌තලයෙන් නැඟී ගිය ඒ ප්‍රාතිහාර්ය වෙනත් නුවරවල ජනතාවද සාදුකාර දෙමින් නැරඹූහ. මෙයට අමතරව රැව්දුන් සංගීත නාදයත් බුදු ගුණ නාදයත් මධුරව ද ලාලිත්‍යයෙන් යුතුවද ගලා බසිනා ගඟුලක්‌ සේම වීය. ඒ ගී ද ඒ සංගීතයද අසන අයෙකුගේ බස කුමක්‌ද ඒ බසින් නැඟෙන ගැයෙන එකක්‌ සේම විය. මේ සා ආශ්චර්යයන් සිදු වූයේ බුදුන් වහන්සේගේ අසාමාන්‍ය පුණ්‍ය මහිමය නිසාය. මෙවන් පූජාවක්‌ කිසිම දිනක කිසිවෙක්‌ අරභයා සිදු නොවන්නේ මයෑයි එදුටු අනුරුද්ධ හිමියෝ ද වදාළහ. පුරා හෝරාවක්‌ තුළ චිතකය දැවී නිම විය. එසඳ ආකාස කුසුම් වැටීමද ඇරඹිණි. අහස්‌ ගඟුලකින් ඇද හැලෙන දිය දහරා සේ සුනිල දිය වැල් වැටී චිතකය ශාන්ත විය.
බුදු සිරුර දැවී ගිය නමුදු එහි සම්, මස්‌, නහර යනාදී කිසිවක්‌ වෙන වෙනම දැක ගත හැකි නොවීය. දැවී ගිය තැනක දිස්‌වන දැලි හෝ අඳුරු පැහැ අළු ද එහි නොවීය. සර්වඥ ධාතු රන්වන් රශ්මි මාලා මැද දිස්‌ විය. සුවඳ සුණු ඒ මත තැන්පත්ව හාත්පස සුගන්ධයෙන්ම වැසී ගියේය. පළමුව අනුරුද්ධ හා ආනන්ද හිමිවරු ඒ ධාතු වන්දනා කළහ. ඉනික්‌බිති සෙසු හිමිවරු ද අනෙක්‌ භික්‍ෂුණු ද එලෙසම සර්වඥ ධාතු වන්දනා කළහ. ඉක්‌බිති මල්ල රජවරු ද ලිච්ඡවී හා ශාක්‍ය ප්‍රධානීහු ද වෙනත් රාජ්‍ය ප්‍රභූහු ද කුල ස්‌ත්‍රීහු ද පොදු ජනයා ද මහත් බැති පෙමින් වැටි වැටි ඒ උතුම් ධාතුන් වන්දනා කළහ. මෙලෙස සත් දිනක්‌ අඛණ්‌ඩවම ධාතු වන්දනාව ද සිදුවිය. ඉක්‌බිති ධාතු බෙදා වෙන් කෙරිණි. දෙවියන්ගේ නිත්‍ය පූජාව සඳහා රැගෙන ගිය ධාතුන්a සිළුමිණ සෑය ලෙස ඉදි වූ ස්‌ථූපයෙහි තැන්පත් විය. සෙසු ධාතූන් ද ඒ ඒ රාජ්‍ය ප්‍රමුඛ අභිමතය පරිදිම ස්‌තූප සාදවා වන්දනා මාන සඳහා පැමිණෙන සඡ්ජනයා සඳහා ම විය.
ආනන්ද හිමියෝ අවසන් වරට සල් උයනත් සඳුන් සෑ බිමත් දෙස බලා සුසුමක්‌ හෙළීය. මේ තරම් ගිනි ජාලා අහසට නැගෙද්දීත් අසල වූ සල් ගස්‌වල සල්මල් නොමැලවී තිබුණු අයුරු ද උන්වහන්සේ දුටුහ.

ගාමිණී සුමනසේකර

– නිමි –
(කොළොම්පුර, බ්ලූමැන්ඩල් මගෙහි අංක 223 දරණ තන්හි පිහිටි දිවයින නිවසෙහි වසනා දළුගොඩ ආරච්චිගේ ගාමිණි පියසිරි සුමනසේකර යන මවිසින් ප්‍රසාද චිත්තයෙන් යුතුව බොදු ජන මන පහන් සංවේග දනවනා සද් අරමුණෙන්ම ප්‍රබන්ධ කරන ලද බුදු සිරිතෙන් බින්දු මාත්‍රයක්‌ පමණ වූ “වඳිමි සිදුහත්” මෙයින් සමාප්ත වේ. එහි පින් පළමුව දෙවියෝ ලබත්වා. සෙසු අය ද ලබත්වා. මෙහි යම් දොසක්‌ වී නම් ඒ අපගේ පුහුදුන් වරදිනි. බුදු ගුණ – දසත වඩාවා·)
සක්වල සක්මන
33. බුදු සිරුරෙන් යළිත් රශ්මි මාලා විහිදෙයි ... !

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.