පදුමුත්තර බුද්ධ වංශය. ( Padumuttara Buddha Wanshaya )

නාරද බුදුරජුන් ට පසු කාලයෙ හි බුදුබව ට පැමිණි දෙපා ඇති සතුන්ගෙන් උතුම් වූ නො කැළඹුනු සයුරකට බක්ඳු උපමා ඇති පදුමුත්තර පියුමතුරා ජිනරාජයන් වහන්සේ විය. යම් කල්පයක එක සම්බුදුවරයන් වහන්සේ නමක් උපදී ද,  ඒ කල්පය ම මණ්ඩ කල්පය වෙයි.   කුසල් ඇති ජන සමූහයා ඒ කාලයෙ හි උපදී.

පදුමුත්තර භාග්‍යවත්හු ගේ පළමුවන දම් දෙසු මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනා ට ධර්මවබෝධය වීය. ඉන්පසු ද දහම් වැසි වස්නා කල සත්ත‍වයන් තැවෙන කල් හි තිස්හත් ලක‍ෂයක් දෙනාට දෙවන ධර්මවබෝධය වීය. මහාවීර වූ බුදුරජතෙම යම් කාලයෙක ආනන‍ද නම් පියරජු කරා එළඹි සේක් ද,  පියරජු වෙත ට එළඹ අමා බෙරය ගැසී ද,  නිවන සොයාගත් බව දැන්වී ද අමා බෙරය ගැසූ කල් හි දහම් නමැති වැස්ස වසින කල් හි පණස් ලක‍ෂයකට තුන්වන ධර්මවබෝධය වීය.

සියලු සත්ත‍වයන් ට සරණ සිල් ආදීන් ගේ අනුසස් දැක්වීමෙන් අවවාද කරන්නා වූ සිවුසස් අවබෝධ කරවන,  චතුරෝඝයයෙන් සත්ත‍වයන් එතර කරන ධර්ම දේශනාවෙ හි දක‍ෂ පදුමුත්තර බුදුරජතෙම බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.
පදුමුත්තර බුදුරජුන් ට ශ්‍රාවකයන් ගේ රැස්වීම් තුනක් වූ හ.  කෝටි ලක‍ෂයක් දෙනා ගේ පළමුවන සමාගමය වීය. යම් කලක අසමසම වූ බුදුරජතෙම වේභාර පර්වතයෙ හි විසූ සේක් ද,  එ කල කෝටි අනූ දහසක් දෙනා ගේ දෙවන සමාගමය වීය. නැවත සැරිසරා වැඩිය කල් හි දී කෝටි අසූ දහසක් දෙනා ගේ තුන්වන සමාගමය වීය.

මම ඒ කාලයෙ හි “ජටික” නම් රට වැසියෙක් වීමි.   බුදුපාමොක් සඟන වෙත ආහාර සහිත සිවුරු පිදුවෙමි. ඒ බුදුරජතෙමේ ද සඟමැද වැඩහිඳ, මේ ජටික තෙම මෙයින් ලක‍ෂයක් වන කල්පයෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක. ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.
මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය.   පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය.   මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය.

“කෝලිත” ද,  “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   “ආනන‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ නාරද බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. ඒ බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි.   දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

ඒ කාලයෙ හි සියලු තීර්ථකයෝ මානය නසන ලද්දෝ ය.  වෙනස් වු සිත් ඇත්තෝ ය.   නො සතුටු සිත් ඇත්තෝ ය.  ඒ තීර්ථකයන් ට කිසිකෙනෙක් ගරු නො කරත්.  ඔවුන් රටින් නෙරපත්. එ හි සියලු තීර්ථකයෝ රැස් ව නාථය,  මහාවීරය,  පසැස් ඇත්තය,  නුඹවහන්සේ සරණ වනු මැනව යි බුදුරදුන් සරණ ගියාහු ය. සියලු සතුන්ට අනුකම්පා ඇති,  කරුණා ඇති,  හිත වැඩ සොයන,  පැමිණි සියලු තීර්ථකයන් පඤ්චශීලයෙ හි පිහිට වූ සේක.

මෙ සේ ඒ ශාසනය තීර්ථකයන්ගෙන් අඩු නැත්තක් ද,  ඔවුන්ගෙන් හිස්වූවක් ද නො වී ය.   වශී වූ තාදී ගුණ ඇති රහතුන් කරණකොටගෙන විසිතුරු වී ය.

මහඍෂී වූ පදුමුත්තර බුදුරදුන් ගේ උපන් නුවර “හංසවතී” නම් වීය.  පිය තෙම “ආනන‍ද” නම් රජ ය.  වැදූ මව “සුජාතා” නම් වූවා ය. ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී ය.   “නාරිවාහනය”,  “යශය”,  “යසවතී” ය යි උතුම් ප්‍රාසාද තුනක් වූ හ.මනාකොට සරසන ලද පිරිවර අඟනෝ සතළිස්තුන් දහසකි.   බිරිඳ “වසුදත්තා” නම් වූවා ය.  පුත් තෙම “උත්තර” නම් වී.පුරුෂොත්තමතෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කළේ ය.   සත් දවසක් මුළුල්ලේ ප්‍රධාන වීර්යය කළේ ය.

මහාවීර වූ පදුමුත්තර බුදුරජ තෙම බඹහු විසින් අයදනා ලද්දේ,  “මිථිලා” නම් උයනෙ හි දී දම්සක් පැවැත්වූ සේක. පදුමුත්තර නම් ශාස්තෘන් වහන්සේ ට “දේවල” ද,  “සුජාත” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ.   උපස්ථායක තෙම “සුමන” නම් විය.“අමිතා” ද,  “අසමා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ.   ඒ පදුමුත්තර භාග්‍යවත්හු ගේ බෝරුක “සලල රුක” ය යි කියනු ලැබේ. “විතින්නා” ද, “තිස්ස” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.  “හත‍ථා” ද,  “විචිත්තා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

රන් ඇගෑවක් පහන් ගසක් බඳු,  දෙතිස් මහා පුරුෂ ලක‍ෂණයෙන් යුත් පදුමුත්තර මහමුනිඳු පණස් අට රියනක් උස් වූ සේක. ඒ බුදුරදුන් ට හාත්පස වටා දොළොස් යොදුනක් තැන කුඩා බිත්ති ද,  කවුලු ද,  මහබිත්ති ද,  ගස් ද,  කඳු හා උස් පර්වත ද ඇහිරීමක් නැත.

ඒ කාලයෙ හි අවුරුදු ලක‍ෂයක් ආයුෂ පවතී.   ඒ තාක් කල් ඒ බුදුරජතෙම වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක. බොහෝ ජනයා සසරින් එතරකොට සියලු සැක සිඳු  ගිනිකන්දක් මෙන් දිලිහී,  ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ පිරිනිවි සේක.

සිව්සස් අවබෝධ කළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ “නන්දාරාමයෙ” හි පිරිනිවි සේක.   එ හි ම උන්වහන්සේ ගේ උතුම් සෑය දොලොස් යොදුනක් උස් ව බඳින ලදී.

[ඛුද්දක  නිකාය, බුද්ධවංශ පාළි, පදුමුත්තර බුද්ධවංශය]

සුමේධ බුද්ධ වංශය ( Sumedha Buddha Wanshaya )
නාරද බුද්ධ වංශය ( Narada Buddha Wanshaya )

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.