පක්‍ෂ දේශපාලකයනට ජාතික සමඟියක් ගැන කතා කළ හැකි ද? - IFBC Organization | Dhamma

වර්තමාන ලංකාවේ පවතින පක්‍ෂ දේශපාලන පිළිවෙත අනුව පක්‍ෂ දේශපාලකයනට ජාතික සමඟිය ගැන කතා කරන්නට අයිතියක් තියෙනවා ද යනු මගේ ප්‍රශ්නය යි. එයට මා දෙන පිළිතුර නම් අයිතියක් නැත යනුයි. එය එසේ නම් නිකාය වශයෙන් බෙදී සිටින භික්‍ෂූන් වහන්සේට ආගමික සමඟිය හා ජාතික සමඟිය ගැන කතා කරන්නට අයිතියක් තියෙනවා ද? ඉතා වැදගත් ප්‍රශ්නයෙකි. එබඳු භේදයෙකින් සිටින භික්‍ෂූන් වහන්සේට නම් ඒ අයිතිය නැත. එහෙත් වර්තමාන ලංකාවේ භික්‍ෂූන් වහන්සේ නිකාය වශයෙන් වෙන් වී විනයකර්ම කරතත් සියලු කටයුතු එක ම සඟ පරපුරක් හැටියට එක ම ධර්ම විනය පිළිගෙන, අවශ්‍ය අවස්ථාවල දී එක ම හඬක් නංවන තත්ත්වයෙකැ සිටිති. එය පැහැදිළි වැ විස්තර කැර දීම මගේ යුතුකම යි.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ද ඇතැම් භික්‍ෂූන් අතර මතභේද තුබුණා. හොඳ ම සාධකය කොසඹෑ නුවර භික්‍ෂූන් විනය ශික්‍ෂාපදයක් අනුව භේද භින්න වැ ගෙන ගිය අර්බුදය යි. ඒ භික්‍ෂූන් පසුව සමඟි වුණා. දෙව්දත් තෙරුන් ද සුළු පිරිසක් සිය මතයට අවනත කැර ගෙන වෙන් වී ගිය බව ප්‍රකට කරුණෙකි.

ප්‍රථම ධර්ම සංගායනා අවධියෙහි සුළු මතබේදයක් ඇති වුණා. එයට හේතුව පුරාණ මාහිමියන් වහන්සේ ගේ ප්‍රකාශය යි. එනම් සංගායනාව හොඳයි. බුද්ධ ධර්මය පිටක නිකාය ග්‍රන්ථ වශයෙන් පිළියෙළ වීම හොඳයි. එහෙත් මා මට පුරුදු අයුරින් බුද්ධ ධර්මය භාවිත කරනවා යනුයි. එයින් සංඝයා අතර භේදයක් ඇති වුණේ නැත.

දෙවන සංගායනාවට ‍හේතු වූයේ වජ්ජිපුත්‍ර භික්‍ෂූන් ගේ දශවිධ කල්පය ය. ඒ කරුණු දශය ම ප්‍රතික්‍ෂේප කළ රහත් මහා සංඝයා වහන්සේ දෙවන ධර්ම සංගායනාව ද පැවැත්වූහ. එයින් දහ දහසක් පමණ වජිජිපුත්‍ර භික්‍ෂූන් වහන්සේ වෙන ම භික්‍ෂු පිරිසක් වශයෙන් කටයුතු කරන්නට පටන් ගත්හ.

ධර්මාශෝක මහා රජතුමා ගේ කාලය වන විට මේ ධර්ම විනය විරෝධී කටයුතු තවත් බහුල විය. ජීවත්වීමේ පහසුකම් සැලැකුවෝ ද මේ පිරිසට එක් වූහ. එයින් ධර්ම විරෝධී පිරිස අධික විය. ඔවුහු සිල්වත් සංඝයා අතරට රිංගා ගත්තා. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් ලබා ගත් ධර්මාශෝක මහ රජතුමා දුශ්ශීලයන් ශාසනයෙන් නෙරපා තෙවන ධර්ම සංගායනාවට මඟ පාදා දුන්නා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් ලංකා ශාසනය ආරම්භ විය. මහා විහාරවංසය නමින් පැවැත ආ භික්‍ෂු සංඝ පරම්පරාව පසුව අභයගිරි නිකාය, ජේතවන නිකාය යන නම්වලින් කැඩී ගියා. පසුව සමඟි වුණා. ඒ සමඟිය හොඳින් යද්දී ස්වභාවධර්මය අනුව රටත් ශාසනයත් දුර්වල වුණා. යුරෝපීය අධිරාජ්‍ය තුනක් ආක්‍රමණය කිරීමෙන් උපසම්පන්න භික්‍ෂූන් නැතැයි කිවයුතු තරමට භික්‍ෂු ශාසනය දුර්වල වුණා. මා මේ කොටස ලීවේ භික්‍ෂූන් වහන්සේලා විවිධ හේතූන් නිසා කොටස්වලට බෙදුනත් නැවැතත් එකතු වී ශාසනය ආරක්‍ෂා කළ හැටි පෙන්වීමට ය.

ශ්‍රී ලංකාවේ ස්වර්ණ යුගය හැටියට සැලැකිය හැක්කේ අනුරාධපුර කාලයයි. පොළොන්නරු යුගයෙහි හීන වෙමින් ආ බෞද්ධ තත්ත්වය විදේශිකයන්ගේ පාලන යුගයෙහි දී හොඳට ම දුර්වල විය. පසු ව සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය යන නම්වලින් තුන් නිකායක් වැ ශාසනික කටයුතු දියුණු කෙරෙමින් ආ සැටි ශාසන ඉතිහාසය කියයි.

මුල් කාලයෙහි නිකාය භේදය තදින් පැවැතිණ. මා අසා තිබෙන කරුණක් සඳහන් කෙරෙමි. 1880 වැන්නෙහි සෙන්පති ඕල්කට් තුමා ශ්‍රී ලංකාවට පැමිණෙන කාලයෙහි සියම් අමරපුර දෙනිකාය බලවත් වැ සිටියා. රාමඤ්ඤ නිකාය ආරම්භ වුණා පමණයි. ඕල්කට්තුමා බුද්ධ ධර්මය පිළිගෙන බෞද්ධයකු වශයෙන් කටයුතු ආරම්භ කළා. ඒ සියම් අමරපුර දෙනිකාය අතර පවත්නා නිකාය භේදය එතුමාට හොඳින් වැටහුණා. නිකාය දෙක හෙමින් එකතු කරන්නට උවමනා යයි සිතා, එහෙත් එය නො කියා දෙනිකායේ භික්‍ෂූන් වහන්සේට දානයක් දෙන්නට ආරාධනා කළා. ආරාධනාව බාර ගත්තත් එක වහලක් යට නම් දානය වළඳන්නට නොහැකි බව කියා ඇත.‍

ඒ කතාවට කලකිරුණේ නැති ඕල්කට්තුමා දේශනා පවත්වමින් බෞද්ධ කටයුතු කැර ගෙන ගියා. භික්‍ෂූන් වහන්සේලාත් ගිහි භවතුනුත් මහත් ප්‍රබෝධයෙකින් කටයුතු කැර ගෙන ගියා. දෙනිකායේ භික්‍ෂූන් පෙරට වඩා ළං වැ කටයුතු කැරගෙන යන බවත් එතුමාට පෙනුණා. ටික කලකට පසු නැවැතත් දානය සඳහා දෙනිකායට ම ආරාධනා කළා. ඒ වර වැඩි තදක් නැත. එක වහලක් යට වුවත් කමක් නැහැ. කාමර දෙකක දානය පිළියෙළ කරන්නැයි කියා ඇත. සතුටට පත් වූ ඕල්කට්තුමා එලෙසින් දානය දුන්නාලු. මේ එදා තුබුණා කියන තත්ත්වය යි.

මා කුඩා කාලයෙහි මාතර පළාතේ තුබුණු තත්ත්වය ද මෙබඳු ය. පාංශුකූලයකට තුන් නිකායේ ම භික්‍ෂූන් වහන්සේලා පමුණුවා ගත්තොත් තුන් තැනෙක පන්සිල්, තුන් තැනෙක මතකවස්ත්‍ර පූජා, තුන් තැනෙක පැන් වැඩීම, තුන් තැනෙක ධර්මදේශනා. දැන් ලංකාවේ කොහි වත් එබන්දක් නැහැ නොවැ?

ශ්‍රී ලංකා අමරපුර නිකාය යම් යම් හේතු නිසා කොටස් 23 කට බෙදී තුබුණා. අපේ මහා ස්ථවිරයන් වහන්සේලා මේ කොටස් එක සම්මුතියකට ගෙන එන්නට නොයෙක් වර ගත් උත්සාහයන් ප්‍රශංසා කළ යුතු ව ඇත.

අප ආචාර්යෝත්තම පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමියන් වහන්සේ ගේ අභාවයෙන් පසු අප නිකායේ මහා සංඝයා වහන්සේ 1955 දී ඒ තනතුරට මා පත් කළා. ඒ අවස්ථාවෙහි සර් සිරිල් ද සොයිසා මැතිතුමා පැමිණ කතා කොට අමරපුර නිකායේ කොටස් ඒකාබද්ධ කරන්නට උත්සාහායක් දරන්නැයි ද ඒ සඳහා දරන්නට සිදුවන සියලු වියදම් එතුමා බාර ගන්නා බව ද දන්වා සිටියා. ඒ අතර රැස්වීමක දී වර්තමාන අග්‍රමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා ද ඒ ඉල්ලීම කළා.

මාගේ අලුත් තනතුරේ මුල් ම කාර්යය වූයේ අමරපුර නිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හමුවීම යි. මමත් කපුගම සුමනවංශ මහා ස්ථවිරයන් වහන්සේත් පණ්ඩිත වැලිගම ඤාණරතන මහා ස්ථවිරයන් වහන්සේත් සියලු ම කොටස්වල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් වග කිවයුතු මහා ස්ථවිරයන් වහන්සේලාත් හමුවී සාකච්ඡා කොට එක්තරා සම්මුතියකට පත් වීමු.

පළමු වරට අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වජිරාරාමයට පමුණුවා ගෙන සාකච්ඡා කොට සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවා අග්ගමහාපණ්ඩිත බේරුවල සිරිනිවාස මහානායක මාහිමියන් වහන්සේ සභාපති ධුරයට පත් කැර ගතිමු. අවුරුදු දහයක් මෙසේ ගිය පසු පණ්ඩිත කොස්ගොඩ ධම්මවංස මහානායක මාහිමියන් වහන්සේගේ උද්‍යෝගය නිසා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව නමින් පණ ගන්වා අග්ගමහාපණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමියන් වහන්සේ සභාපති මහානායක ධුරයට පත් කැර ගතිමු.

2513/1969 වැන්නෙහි ජූලි මස 13වැනිදා අමරපුර නිකායට අයත් කොටස් විසිතුනේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා 171 නමක් මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයට පැමිණ සිරි වජිරඤාණ උපෝසථාගාරයෙහි දී ප්‍රාතිමෝක්‍ෂ දේශනාවෙන් සමඟි පොහොය කොට අමරපුර නිකායයේ සමඟිය තහවුරු කැර ගතිමු. දැන් හැම දෙනා වහන්සේගේ පහසුව සඳහා වෙන ම විනය කර්ම කරතත් ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාව නමින් එක ම නිකායක් හැටියට සමඟි සම්පන්න ය.

සියම් මහා නිකායේ කොටස් පහක් ඇත. විනය කර්ම හා නායක පදවි පත් කිරීම් ආදිය වෙන ම කරතත් සියම් නිකාය වශයෙන් ඉතා සමඟි ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මුල පටන් ම එක ම මහ සඟ පරපුරක් හැටියට පවත්වාගෙන යයි. එය ඉතා වැදගත් ය.

නිකායත්‍රයයේ සමඟිය සඳහා වරින් වර උත්සාහ දැරූ උතුමන් වහන්සේලාට දිගාසිරි පතමි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රාජගුරු අමුණුගම විපස්සී මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාලයෙහි තුන් නිකායයේ සමඟිය ගැන සාකච්ඡා කෙළෙමු. එය ඉතා වැදගත් ප්‍රතිපත්තියක් හැටියට උන්වහන්සේත් එවකට අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරීණ වැ සිටි උඩගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් අමරපුර නිකායයේ බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් රාමඤ්ඤ නිකායේ හිස්සැල්ලේ ඤාණෝදය මහානායක ස්විමීන්ද්‍රයන් වහන්සේත් පසුව මල්වතු පාර්ශ්වයේ මඩුගල්ලේ සිද්ධත්ථ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් අස්ගිරි පාර්ශ්වයේ ගොඩමුන්නේ නාගසේන ධම්මානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් අමරපුර මහා නිකායයේ කොස්ගොඩ ධම්මවංස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් රාමඤ්ඤ මහා නිකායේ දීපේගොඩ චන්දවිමල මහානායක ස්විමීන්ද්‍රයන් වහන්සේත් පිළිගත් අතර උන් වහන්සේලාත් මාත් එක ම සන්දේශයකට අත්සන් තබා ජාතික සමඟිය ගැන නිවේදනයක් නිකුත් කළා.

එකලැ එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමාත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් මහා සංඝයා වහන්සේගේ නිවේදනයට ගරු කොට අවශ්‍ය සුදුසු අවස්ථාවක් පැමිණිය හොත් ක්‍රියාකාරී වන බවත් ප්‍රකාශ කළා.

දැන් නම් තුන් නිකායයේ සමඟිය වස්සකාර චර පුරුෂයන් යොදාවත් කඩන්නට බැරි තරම් තහවුරු වී ඇත. එදා ලිච්ඡවීන් භේද කරන්නට වරපුරුෂ සේවයෙහි යෙදුවේ වස්සකාර නමින් එක් පුද්ගලයෙකි. මෙදා වස්සකාරයන් සිය ගණනක් යොදන්නට ඉඩ ඇතත් මහා සංඝයා වහන්සේ කාරණා අවබෝධ කැර ගෙන සිටින නිසා උත්සාහය පලවත් නොවනු ඇත. මේ දීර්ඝ විස්තරයක් කෙළේ පෙරත් අවශ්‍ය අවස්ථාවන්හි මහා සංඝයා සමඟි වැ ක්‍රියා කළ සැටිත් දැනුත් එය එසේ බව පෙන්වීමට ය.

වර්තමාන ලෝකයෙහි දියුණු රටවල පක්‍ෂ දේශපාලකයන්ට සමඟිය ගැන කතා කරන්නට හැකියාව ඇත්තේ ඔවුන් අතර පක්‍ෂ තුබුණත් ශ්‍රී ලංකාවේ මෙන් පක්‍ෂ භේද නැති නිසා ය. ඇමරිකාවේ තිබෙන්නේ පිළිගත් දේශපාලන පක්‍ෂ 2 යි. 1986 ජනවාරි මාසේ මා කැලිපෝනියාවේ ලොස් ඇනජලීස්හි සිටින කාලේ කැලිපෝනියාවේ ආණ්ඩුකාරයා, සෙනෙට් මන්ත්‍රී, නගරාධිපති තේරීමේ මැතිවරණයක් තුබුණා. දියුණු රටවල රස්තියාදු රැස්වීම් නැත. අපේක්‍ෂයන් තමන් ගේ සුදුසුකම් හා ප්‍රතිපත්ති රූපවාහිනියෙන් ප්‍රකාශ කළා. ඡන්ද විමසන දිනය ආවා, විශේෂයක් තුබුණේ නැත. පසුදින රූපවාහිනියෙන් ම ප්‍රතිඵල ප්‍රකාශ කළා. රූපවාහිනියෙන් ම දිනූ තුන් දෙනාත් පැරදුණු තුන් දෙනාත් කතා කළා. පැරදුණු අය අතට අත දී දිනූ අයට ආශීර්වාද කොට රටේ දියුණුවට මගේ සහාය ලැබෙනු ඇතැයි ප්‍රකාශ කිරීමත් සාමාන්‍ය සිරිත යි. එබඳු පක්‍ෂ දේශපාලකයනට ජාතික සමඟිය ගැන කතා කරන්නට පූර්ණ අයිතිය ඇත.

ශ්‍රී ලංකාවේ පක්‍ෂ දේශපාලන රැස්වීම් කෙබඳු දැයි විස්තර කිරීම අවශ්‍ය නො වේ. පක්‍ෂ දේශපාලන මැතිවරණ රැස්වීම්වල දී තමන් හුවා දක්වමින් අනුන් හෙළා දකිමින් කරන කතා කොතරම් පහත් තත්ත්වයට වැටී තිබනවා ද? එබඳු රැස්වීම්වල දී ස්වකීය පක්‍ෂයේ ප්‍රතිපත්ති වර්ණනා කරන අතර විපක්‍ෂයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම චාරිත්‍රය යි. එය ලෝකයෙහි කොහිත් පවතින සිරිතයි. ශ්‍රී ලංකාවේ බහුලව පවත්නේ කුමක් ද? ප්‍රතිපත්ති විවේචනය වෙනුවට පුද්ගල විවේචනය යි. සමහර අවස්ථාවල දී පුද්ගලයන්ගේ හත්මුතු පරම්පරාවේ ම කුණු ඇදබානවා. කටින් බැනගෙන අතින් පයින් ගහගැනීමුත් තිබෙනවා.

අනතුරුව මැතිවරණ ඡන්දය පවත්වනවා. එදාට හැම පක්‍ෂයෙක ම චණ්ඩින් රජ වෙනවා. එහෙයින් හැම තැන ම සුළු අරගල, තැනින් තැන මහා අරගල. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ වූ අවස්ථාවේ පටන් ප්‍රකාශ නොකළ යුද්ධයක් හා සමාන ය. ගෙවල් කඩනවා, ගිනි තබනවා, රථවාහන පුළුස්සනවා, ගහගන්නවා. මිනී මරා ගන්නවා. ලෝකයෙහි නොදියුණු රටවල වත් මෙබඳු පක්‍ෂ දේශපාලන අරගල ඇද්දැයි නො දනිමි. මේ තරම් දේශපාලන පළිගැනීම් පවතින රටෙක සාමයක් සමඟියක් ඇති කරන්නේ කෙසේ ද?

1984 දී ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සර්වපාක්ෂික සම්මේලනයෙහි දී වරක් මා කීවා පක්‍ෂ දෙශපාලනයයි කියන්නේ සිංහල ජාතිය කන්න ආපු යකා. මේ යකා අපේ ගම් කාගෙන කාගෙන යනවා. දැන් අපේ ගම්වල පින් කමක් වත් කරගන්න හැටියක් නැත. මේ යකා ඒකටත් පනිනවා කියා. මා එක පක්‍ෂයකට වත් දෝෂාරෝපණය කළේත් නැත. කරන්නේත් නැත. මා කියන්නේ අපේ රටේ පවතින පක්‍ෂ දේශපාලන තත්ත්වය යි. මෙ බඳු දේශපාලන පක්‍ෂ භේදයක් තිබෙන රටෙක පක්‍ෂ දේශපාලනයට ජාතික සමඟිය ගැන කතා කරන්නට අයිතියක් තිබෙනවාද? නැහැ නැහැ නැහැ යනු මගේ අදහසයි. පක්‍ෂ තිබිය දී පක්‍ෂ භේදයෙන් තොරව මැතිවරණයක් පවත්වා ජාතික සමඟියක් ඇතිවන පරිදි, රජයක් පිහිටුවන සැලැස්ම පිළිබඳ ව කාගේත් අවධානය යොමු විය යුතු කාලය පැමිණ ඇත.

 

දවස 1987.01.31, 02.02

ප්‍රඥාප්‍රභා 4

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

මේ බුද්ධශාසන විනාශය ගුවන් තොටින් ම නතර කරන්න ...
තව දුරටත් කරුණාව දක්වනු මැනවි ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.