ධ්‍යාන නැති වැ සෝවාන් විය හැකි ද? - IFBC Organization | Dhamma

 

 

“කථං දුහතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං?

සොතාපත්ති මග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ධි මිච්ඡාදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්‍ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බ නිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති දුභතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං,

අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා වුට්ඨාති -පෙ-

පරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය වුට්ඨාති -පෙ-

සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තා වුට්ඨාති -පෙ-

වොදානට්ඨෙන සම්මාආජීවො මිච්ඡාආජීවා වුට්ඨාති -පෙ-

පග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමා වුට්ඨාති -පෙ-

උපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා වුට්ඨාති -පෙ-

අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිචඡාසමාධිතො වුට්ඨාති,

තදනුවත්තකකිලෙසෙහි ව ඛන්‍ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච නිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති දුහතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං”

“දෙයාකාරයෙකින් නැගිටින්නා වූත් වෙන් වන්නා වූත් ප්‍රඥාව මාර්ගඥානය වන්නේ කෙ සේ ද යත්:

ශ්‍රොතාපත්ති මාර්ගක්‍ෂණයෙහි දැකීම් අර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටියෙන් නැඟිටියි, ඒ මිථ්‍යා දෘෂ්ටිය අනුවැ පවත්නා ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැඟිටියි. බාහිර සියලු සංස්කාර නිමිති කෙරෙන් ද නැඟිටියි. එ හෙයින් දෙයාකාරයෙකින් නැඟිටින්නා වූත් වෙන් වන්නා වූත් ප්‍රඥාව මාර්ග ඥාන යැ යි කියනු ලැබේ.

අරමුණට නැංවීම් අර්ථයෙන් සම්‍යක් සංකල්පනාව මිථ්‍යා කල්පනාවෙන් නැඟිටියි. -පෙ-

වැලැඳගැනීම් අර්ථයෙන් සම්‍යක් වචනය මිථ්‍යා වචනයෙන් නැඟිටියි. -පෙ-

මනා කොට පිහිටීම් අර්ථයෙන් සම්‍යක් කර්මාන්තය මිථ්‍යා කර්මාන්තයෙන් නැඟිටියි -පෙ-

පිරිසිදු වීම් අර්ථයෙන් සම්‍යක් ආජීවය මිථ්‍යා ආජිවයෙන් නැඟිටියි. -පෙ-

එසැවීම් අර්ථයෙන් සම්‍යක් ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමයෙන් නැඟිටියි. -පෙ-

එළැඹ සිටීම් අර්ථයෙන් සම්‍යක් ස්මෘතිය මිථ්‍යා ස්මෘතියෙන් නැඟිටියි. -පෙ-

නො විසිරැ යෑම් අර්ථයෙන් සම්‍යක් සමාධිය මිථ්‍යා සමාධියෙන් නැඟිටියි. ඒ සමාධිය අනුවැ පත්නා ක්ලේශයන් ගෙන් ද ස්කන්‍ධයන් ගෙන් ද නැඟිටියි බාහිර සියලු සංඛාරයන් ගෙන් ද නැඟිටියි. එ හෙයින් දෙයාකාරයෙකින් නැඟිටින්නා වූත් වෙන් වන්නා වූත් ප්‍රඥාව මාර්ග ඥානය යි කියනු ලැබේ.”[1]

සෝවාන් මාර්ගක්‍ෂණයෙහි යටැ කී චිත්තාංග අට යෙදෙන සැටි මැනැවින් මැ පැහැදිළි ය. සකෘදාගාමි – අනාගිමි – අර්හත් මාර්ග‍ක්‍ෂණයෙහි ද චිත්තාංග අට යෙදෙන සැටි ද එහි මැ පැහැදිළි කැරැ ඇත. අට්ඨකථාවෙහි තව ද විස්තර කැරැ තිබේ. එහෙයින් සෝවාන් ආදි මාර්ගක්‍ෂණයන්හි සම්මා සමාධිය යෙදෙන බවත් සම්මා සමාධියෙන් තොර වැ මාර්ග චිත්තයන් පහළ නොවන බවත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය දන්නා කවර කෙනකුට වුව ද වැටැහෙනුවා ඇත.

සම්මාදිට්ඨි ආදි ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කරන අට්ඨකථාචාර්යවරු, “අට්ඨඞ්ගි‍කොති පඤ්චඞ්ගික තුරියං විය අට්ඨකුටිකො ගාමො විය වා අට්ඨඞ්ගමත්තො යෙව හුත්වා අට්ඨඞ්ගිකො, න අඞ්ගතො අඤ්ඤො මග්ගො නාම අත්ථි” යන්නෙන් යටැ කී කරුණ පැහැදිළි කළ හ.[2]

විසාඛ උපාසකයන් විසින් අෂ්ටාංගික මාර්ගයෙන් ශීල, සාමාධි, ප්‍රඥා යන ස්කන්‍ධත්‍රයය සංගෘහීත ද, නැත හොත් ස්කන්‍ධත්‍රයයෙන් අෂ්ටාඞ්ගික මාර්‍ගය සංගෘහීත ද, යි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙන ධම්මදින්නා මෙහෙණින් වහන්සේ, “තීහි ච ඛො ආවුසො විසාඛ ඛන්‍ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහීතො, යා චාවුසො විසාඛ සම්මාවාචා, යො ච සම්මාකම්මන්තො, යො ච සම්මාආජිවො ඉමෙ ධම්මා සීලක්ඛන්‍ධෙ සඞ්ගහීතා. යො ච සම්මාවායාමො, යා ච සම්මාසති, යො ච සම්මාසමාධි, ඉමෙ ධම්මා සමාධික්ඛන්‍ධෙ සඞ්ගහීතා. යා ච සම්මාදිට්ඨි, යො ච සම්මාසඞ්කප්පො ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්‍ධෙ සඞ්ගහීතා”

“ඇවැත්නි, විසාඛයෙනි, ස්කන්‍ධත්‍රයයෙන් ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය සංගෘහීත වෙයි. ඇවැත්නි, යම් සම්‍යක් වචනයෙක්, යම් සම්‍යක් කර්මාන්තයෙක්, යම් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ධර්‍මයෝ ශිලස්කන්‍ධයෙහි සංගෘහීත වෙති. යම් සම්‍යක් ව්‍යායාමයෙක්, යම් සම්‍යක් ස්මෘතියෙක්, යම් සම්‍යක් සමාධියෙක් වේ ද , මේ ධර්‍මයෝ සමාධිස්කන්‍ධයෙහි සංගෘහීත වෙති. යම් සම්‍යක් දෘෂ්ටියෙක්, යම් සම්‍යක් සංකල්පනාවෙක් වේ ද, මේ ධර්‍මයෝ ප්‍රඥාස්කන්‍ධයෙහි සංගෘහීත වෙති.” [3] යි වදාළ හ.

අෂ්ටාඞ්ගික මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යන ගුණකඳු තුන මැ බව මේ සූත්‍ර පාඨයෙන් විවරණය වෙයි. විශුද්ධිමාර්ගය (විශුද්ධියට – නිවනට – මාර්ගය) විවරණය කරනු සදහා බුද්ධඝෝෂාචාර්ය පාදයන් වහන්සේ “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං” යන ආදි වශයෙන් තෝරාගත් ගාථා දේශනාවෙහි සංගෘහීත වන්නේ ද මේ ශීල, සමාධි, ප්‍රඥා යන ගුණකඳු තුන මැ යි.

විශුද්ධිමාර්ගයෙහි මේ ගුණකඳු තුන විස්තර කරන්නට පටන් ගත්තේ, “එත්‍ථ හි සීලෙන අධිසීලසික්ඛා පකාසිතා හොති , සමාධිනා අධිචිත්තසික්ඛා, පඤ්ඤාය අධිපඤ්ඤාසික්ඛා” – මෙහි ශීලයෙන් අධිසීල සික්ඛාව ද, සමාධියෙන් අධිචිත්තසික්ඛාව ද, ප්‍රඥාවෙන් අධිපඤ්ඤාසික්ඛාවද ප්‍රකාශ කළා වෙයි යනුවෙනි.[4] ‘අධිචිත්ත’ යන්න අට්ඨකථාවන්හි විවරණය කැරෙන්නේ මෙ සේ ය. ‘කාමාවචර චිත්තං පන චිත්තං නාම, තං උපාදාය රූපාවචරං අධිචිත්තං නාම, තම්පි උපාදාය අරූපාවචරං අධිචිත්තං නාම, අපි ච සබ්බම්පි ලොකියචිත්තං චිත්තමෙව ලොකුත්තරං අධිචිත්තං” – කාමාවචර සිත චිත්ත නමි. එය නිසා රූපාවචර සිත අධිචිත්ත නමි. එය ද නිසා අරූපාවචර සිත අධිචිත්ත නමි. වැලි දු සියලු ලොවී සිත් චිත්ත නමී. ලොකුත්තර සිත් අධිචිත්ත නමි.[5]

“දසකුසලකම්මපථවසෙන උප්පන්න චිත්තං චිත්තමෙව, විපස්සනා පාදකං අට්ඨසමාපත්ති චිත්තං තතො චිත්තතො අධිකං චිත්තන්ති අධිචිත්තං” – දශ කුශල කර්මපථ වශයෙන් උපදනා චිත්තය සිත් මැ වෙයි. විදර්ශනා පාදක වූ අෂ්ටසමාපත්ති චිත්තය ඒ සිතට අධික චිත්ත නු යි අධිචිත්ත නමි.[6]

“අධිචිත්තෙහි අට්ඨසමාපත්ති සඞ්ඛාතෙ අධිකචිත්තො” – අධිචිත්තෙ යනු අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත අධික චිත්තයෙහි.

“අධිචිත්තයෙහි යෙදීම යනු අට වැදැරුම් සමාපත්තීන් ගේ අධිගමය පිණිස භාවනාවෙහි යෙදීම යි. අනෙක් ක්‍රමයෙක් ද වෙයි. අධිචිත්තයෙහි යෙදීම යනු සියලු චිත්තයනට අධික බැවින්, උතුම් බැවින් අධිචිත්ත සඞ්ඛ්‍යාත වු අර්හත් ඵල චිත්තය සිද්ධ කළ යුතු කල්හි එය ඇති කැරැගනු සඳහා සමථ විපස්සනා භාවනා වශයෙන් යෙදීම යි.” [7]

බුද්ධඝොෂාචාර්ය පාදයන් වහන්සේ විශුද්ධිමාර්ගයෙහි අධිචිත්ත සඞ්ඛ්‍යාත සමාධිය විස්තර කැරැ තිබෙන්නේ ද යටැ කී බුද්ධ වචනයට හා අට්ඨකථා විවරණයනට අනුකූල වැ ම බව විශුද්ධිමාර්ගය හදාළ ගිහි පැවිදි කවුරුනුත් පිළිගන්නවා ඇත.

තව ද සිල් නැත්තහුට සම්මා සමාධිය නැති බවත් සම්මා සමාධිය නැත්තහුට යථාභූත ඥානදර්ශනය පහළ නොවන පවත් යථාභූත ඥානදර්ශනය නැත්තහුට නිර්විදාවිරාගය ඇති නොවන බවත් නිර්විදාවිරාගය නැත්තහුට විමුක්ති ඥානදර්ශනය ඇති නොවන බවත් ප්‍රකාශ කළ බුදුරජණන් වහන්සේ අනතුරු වැ,

“සිලෙ සති සීලසම්පන්නස්ස උපනිස්සය සම්පන්නො හොති සම්මාසමාධි, සම්මාසමාධිම්හි සති සම්මාසමාධි සම්පන්නස්ස උපනිස්සය සම්පන්නං හොති යථාභූතඤාණදස්සනං, යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සන සම්පන්නස්ස උපනිස්සය සම්පන්නො හොති නිබ්බිදාවිරාගො, නිබ්බිද‍ාවිරාගෙ සති නිබ්බිදාවිරාග සම්පන්නස්ස උපනිස්සය සම්පන්නං හොති විමුත්තිඤාණ දස්සනං” යනුවෙන් සිල්වතා ගේ ඒ සීලසම්පන්න භාවය සම්මා සමාධියට උපනිඃශ්‍රය (බලවත් ප්‍රත්‍යය) වෙයි. සම්මා සමාධිය ඇති කල්හි ඒ සම්මා සමාධි සම්පන්න භාවය යථාභූත ඥානදර්ශනයට උපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්ශනය ඇති කල්හි ඒ යථාභූත ඥානදර්ශන සම්පන්න භාවය නිර්විදා විරාගයට උපනිඃශ්‍රය වෙයි. නිර්විදා විරාගය ඇති කල්හි ඒ නිර්විදා විරාග සම්පන්න භාවය විමුක්ති ඥානදර්ශනයට උපනිඃශ්‍රය වේ.[8]

මෙහි සම්මා සමාධිය නිසා ලැබෙන යථාභූත ඥානදර්ශනය නම් නාමරූප පරිච්ජේද ඤාණය ආදි කොට ඇති තරුණවිදර්ශනාව යි. යථාභූත ඥනදර්ශනය නිසා ලැබෙ නිබ්බිදාව නම් බලවවිපස්සනාව යි. විරාග නම් මාර්ගය යි. නිර්විදා විරාගය නිසා ලැබෙන විමුක්ති ඥානදර්ශනය නම් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්ෂා ඥානය යි යනු අටුවා විරණය යි. තරුණවිපස්සනා නම් නාමාරූප පරිග්ගහ ඥාණය, පච්චය පරිග්ගහ ඥාණය, සම්මසන ඥාණය, මග්ගාමග්ග ව්‍යවස්ථාපනයෙහි සිටි ඥාණය යන සතර වැදෑරුම් ඥාණයන් බවත් බලවවිස්සනා නම් භයතූපට්ඨාන ඥාණය, ආදිනවානුපස්සා ඥාණය, මුඤ්චිතුකම්‍යතා ඥාණය, සඞ්ඛාරුපෙක්ඛා ඥාණය සතර වැදෑරුම් ඥාණය බවත් අඞ්ගුත්තර ටීකාවෙහි සඳහන් වෙයි.

මෙ කී විදර්ශනා ඥානයන් ගෙන් එකකුදු සම්මා සමාධිය නැත්තකුට නො ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේ මැ දේශනා කළ හ. (මෙහි ලා එ ම දේශනා පාඨයන්හි සිංහල තේරුම පණක් දක්වනු ලැබේ.)

“මහණෙනි, මහණ තෙමේ ගණසංගණිකාවෙහි ඇලුණේ නොයෙක් ආකාර පිරිස් හා ඇලී ගැලී වසනුයේ හුදෙකලා වැ කායවිවේකයෙහි අහිරමණය කෙරේ යනු නොසිදුවන්නෙකි. හුදෙකලා වැ විවේකයෙහි අභිරමණ නොකරනුයේ සමථ විපස්සනා කාරයෙක් ගනී යනු නොසිදුවන්නෙකි. සිතට නිමිත්තක් නොගන්නේ සම්මා දිට්ඨිය සපුරන්නේ ය යනු නොසිදුවන්නෙකි. සම්මා සමාධි නො සපුරා සංයොජනයන් ප්‍රහාණය කරන්නේ ය යනු නොසිදුවන්නෙකි. සංයෝජනයක් ප්‍රහාණය නො කොට නිර්වාණය සාක්‍ෂාත් කරන්නේ ය යනු නොසිදුවන්නෙකි”.[9]

මේ හැම දේශනාවෙකින් ම ප්‍රකාශ වන කරුණ නම් කෙලෙසුන් නැසිමට සම්මා සමාධිය අත්‍යාවශ්‍යක බව යි. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය විස්තර කරන්නේ මෙ සේ ය: “මහණෙනි, සම්මා සමාධිය කවරේ ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වූ විවාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇත්තා වූ ප්‍රථමධ්‍යානයට (තමා සන්තානයෙහි ඉපැදවීම් වශයෙන්) පැමිණ වෙසෙයි -පෙ- චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ.”

මෙහි සම්මා සමාධිය පැහැදිළි කැරැ තිබෙන්නේ අටුවාවන්හි එන ඛණිකසමාධිය වශයෙන් වත් උපචාරසමාධිය වශයෙන් වත් නො වැ, අර්පණා සමාධිය වශයෙන් ම බව ධර්මය දන්නා කවරකුට වුව ද වටහාගත හැකි ය.

මහාපුරිස විතක්ක දේශනා කරන බුදුරජාණන් වහන්සේ, ‘මා ගේ ධර්මය අසමාහිතයනට නො වෙයි, සමාහිතයනට ය, ධ්‍යාන ඇත්තවුන යැ’ යි ප්‍රකාශ කළේ මෙ සේ ය: “සමාහිතස්සායං භික්ඛවෙ ධම්මො නායං ධම්මො අසමාහිතස්ස.”[10] මෙහි අයං ධම්මො යන්න විවරණය කරන අර්ථකථාචාර්යයන් වහන්සේ, ‘අයං ධම්මොති අයං නවලොකුත්තර ධම්මො’ – මේ ධර්‍මය යනු නවලෝකෝත්තර ධර්මය යි ප්‍රකාශ කළ හ.[11]

බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයෙහි මැ සමාහිතයා කවරෙක් දැයි විස්තර කරන්නේ මෙ සේ ය: “මහණෙනි, මේ ශාසනයෙහි හික්‍ෂු තෙමේ කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වු විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි -පෙ- චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේ. මහණෙනි, මේ ධර්‍මය සමාහිතයනට ය, අසමාහිතයනට නො වේ යැ යි යමක් මා ප්‍රකාශ කළා නම් ඒ ප්‍රකාශ කළේ මේ කාණය අරමුණු කැරැගෙන යි.”[12]

අංගුත්තරනිකාය අට්ඨක නිපාතයේ මේ සුත්‍රයෙහි දී ද මේ නවලෝකෝත්තර ධර්මය ධ්‍යාන ඇත්තවුනට ය, ධ්‍යාන නැත්තවුනට නො වේ යැ යි බුදුරජාණන් වහන්සේ පැහැදිළි වැ මැ ප්‍රකාශ කොට තිබිය දී සමථය නැති වැ සුද්ධවිපස්සනාවෙන් සෝවාන් ආදි මාර්ග චිත්තයන් පහළ විය හැකි යැ යි පිළිගන්නේ කෙ සේ ද?

තව ද රථවිනීත සූත්‍රයෙහි ප්‍රකාශිත පිළිවෙළ ද මෙහි දී සලකා බැලිය යුතු ය.

“සැවැත් නුවර වසන්නා වු පසේන දී කොසොල් රජුට සාකේත නගරයෙහි කිසියම් ඉක්මන් කටයුත්තෙක් ඇති වෙයි. ඒ සැවැත් නුවරට ද සාකේතයට ද අතරෙහි විනීත අසුන් යෙදු රිය සතක් පිළියෙළ කෙරෙහි. ඇවැත්නි, පසේනදී කොසොල් රජු සැවැත් නුවරින් නික්මැ අන්තෙපුරුද්‍වාරයෙන් පළමු රියට නැගෙයි. පළමු රියෙන් දෙවැනි රියට නැඟෙයි, දෙ වැනි රියෙන් තෙ වැනි රිය වෙතට පැමිණෙයි. දෙ වැනි රිය අත් හරියි. තෙ වැනි රියට නැගෙයි -පෙ- සවැනි රියෙන් සත්වැනි රිය වෙතට පැමිණෙයි, ස වැනි රිය අත්හරියි, සත් වැනි රියට නැහෙයි, සත්වැනි රියෙන් සාකේතයට පැමිණෙයි.”

“එ සේ ම ඇවැත්නි, සීලවිසුදධිය චිත්තවිසුද්ධිය සඳහා ය, චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය සඳහා ය, දිට්ඨිවිසුද්ධිය කඞ්ඛාවිතරණවිසුද්ධිය සඳහා ය, කඞ්ඛාවිතරණවිසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය සඳහා ය, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධිය සඳහාය, පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධිය සඳහා ය, ඤාණනදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිබ්බානය සඳහා ය.”[13]

‘චිත්තවිසුද්ධීති සඋපචාරා අට්ඨසමාපත්තියො චිත්ත සීසෙන හෙත්‍ථ සමාධි වුත්තෝ’ – චිත්තවිසුද්ධි යනු උපචාර සහිත අෂ්ටසමාපත්ති යි. මෙහි චිත්ත නාමයෙන් සමාධිය කියන ලද්දේ ය යනු අටුවාවෙහි එන විවරණය යි.

‘චිත්තවිසුද්ධීති විපස්සනාය පදට්ඨානභූතා අට්ඨපගුණා සමාපත්තියො’ – චිත්තවිසුද්ධි නම් විදර්ශනාව ආසන්න කාරණ වූ ප්‍රගුණ කන ලද අෂ්ටසමාපත්තීහු ය යනු දසුත්තර සූත්‍ර අටුවා ය.

මෙහි සඳහන් උපමාවෙහි රජතුමාට පළමු රියෙන් යා යුතු කොටස නො ගොස් දෙ වැනි රියට ‍නො නැඟිය හැකි වෙයි. දෙ වැනි රියෙන් යා යුතු කොටස නො ගොස් තෙ වැනි රියට නො නැඟිය හැකි වෙයි. ඉතිරි කොටස් පිළිබඳ වැ ද එසේ මැ ය. එ මෙන් ම උපමේයයෙහි සීලවිසුද්ධිය චිත්තවිසුද්ධිය නම් වු අර්ථය සිදු කරනු සදහා ය. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය නම් වූ අර්ථය සඳහා ය ආදි වශයෙන් කියා තිබෙන හෙයින් සීලවිසුද්ධිය නැති වැ චිත්තවිසුද්ධිය නො ලැබිය හැකි වෙයි. චිත්තවිසුද්ධිය නැති වැ දිට්ඨිවිසුද්ධිය නො ලැබිය හැකි වේ යනු ඉතා පැහැදිළි ය.

මෙහි මුලින් මැ සඳහන් පටිසම්භිදාමග්ගපාළි ප්‍රදේශයෙන් මාර්ගක්‍ෂණයන්හි පහළ වන චිත්තාංග අට පැහැදිළි ය. එයින් සම්මා සමාධිය ද එකෙකි. එ හෙයින් සම්මා සමාධිය නැති වැ මාර්ගචිත්තයක් පහළ නො වෙයි. බුද්ධ වචනය අනුවැ සම්මාසමාධිය නම් සතර ධ්‍යාන යි. ඉතින් ධ්‍යාන නැති වැ මාර්ගචිත්තයක් පහළ විය හැකි ද?

දෙ වැනි වැ සඳහන් වූයේ ආර්ය අෂ්ටාංගිකමාර්ගය සීල – සමාධි – ප්‍රඥා යන ගුණ කඳු තුනට බෙදුණු සැටි ය. එ සේ මැ ඒ ගුණකඳු තුන අධිසීල අධිචිත්ත අධිපඤ්ඤා යන නම්වලින් හඳුන්වන සැටි ය. එහි අධිචිත්තය අට්ඨකථාවන්හි විවරණය කැරැ තිබෙන්නේ ධ්‍යාන වශයෙනි. එ සේ නම් ධ්‍යාන නැති තැන අධිචිත්තයෙකුදු නැත. අධිචිත්තය නැති තැන සමාධියෙකුදු නැත. සමාධිය නැති තැන අෂ්ටාංගික මාර්ගයෙකුදු නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වැ මාර්ගචිත්තයක් පහළ විය හැකි ද?

මෙහි දී ප්‍රශ්නයක් පැනැනැඟිය හැකි ය. එ නම් කිසි දු සීල මාත්‍රයක් නැති ධ්‍යාන තබා චිත්තෛකාග්‍රතාවකුදු නැති සමහරු බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා සොවාන් ආදී මඟපල ලැබුවාහු ‍නො වෙද්ද යනු යි. කල්ප ලක්‍ෂයකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි පාරමී පුරමින් සමථවිපස්සනා වඩමින් භාවිත වු චිත්තසන්තාන ඇති අය ධර්මය සාවධාන වැ අසා සිටින විට නීවණයන් පහ වී සප්තබොධ්‍යඞ්ගයන් භාවනා වශයෙන් පරිපූර්ණ වන බව බුදුජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ. “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. පඤ්චස්ස නීවරණා තස්මිං සමයෙ න හොන්ති, සත්තබොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනා පාරිපූරිං ගච්ඡන්ති.” – මහණෙන් යම් සමයයෙක්හි ආර්යශ්‍රාවක තෙමේ බලාපොරොත්තු ඇත්තකු වැ මෙනෙහි කොට මුළු හිතින් මැ කන් යොදා ධර්‍මය අසන්නේ වේ ද, එ කල්හි පඤ්චනීවරණයෝ නො වෙති. සප්ත බොධ්‍යඞ්ගයෝ භාවනා වශයෙන් පිරීමට යෙති.

කවර තරම් ඉක්මනින් සෝවාන් ආදි මාර්ග සිත් පහළ වුව ද එහි පහළ වන මාර්ගාඞ්ගයන් අතුරෙන් සම්මා සමාධිය ද එකෙකි. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය විස්තර කෙළේ ධ්‍යාන සතර හැටියට බව මුල දී සඳහන් කැරැ ඇත. එ හෙයින් ශීල සමාධි මාත්‍රයකුදු නැති වැ වුවද බණ අසා සෝවාන් වන්නවුන් තුළ සම්මා සමාධි නම් වු ධ්‍යාන තිබිය යුතු මැ ය.

මේ කරුණු එකින් එක ගෙනැ නුවණින් විමසා බලන විට ධ්‍යාන නැති වැ සෝවාන් විය හැකි ද යන ප්‍රශ්නය පැනනැ‍ඟෙයි. එයට පිළිතුරු සැපයිම මෙය කියවන ධර්මධරයනට පවරමි. ධර්ම ප්‍රශ්නයක් විසඳා ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ සතර මහාපදේසයෙන් පැහැදිළි කළ හ.

මේ ලිපිය සැපැයුණේ වාදයකට නො වේ. එක්තරා කාලයෙකැ සිට සමහරුන් තුළ බලපවත්වන ධ්‍යාන නැති වැ සුද්ධවිපස්සක වශයෙන් මාර්ගඵල ලැබිය හැකි ය යන දෘෂ්ටිය ගැන ධර්මධරයන් ගේ සිත් යොමු කිරීම සඳහා ය. එ හෙයින් මෙය කියවන ධර්මධරයෝ ධ්‍යාන නැති වැ මාර්ගඵල ලැබිය හැකි ය යන මතයට ද ධ්‍යාන නැති වැ මාර්ග ඵල ලැබිය නොහැකි ය යන මතයට ද ‍නො බැසැ මධ්‍යස්ථ වැ ධර්මානුකූල වැ සලකා බලත් වා!

 

2503/1959 රසවාහිනී වෙසක් කලාපයෙනි.

ප්‍රඥාප්‍රභා 1

 

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

[1] පටිසම්භිදාමග්ග i. (බුද්ධජයන්ති මු.) 128 – 130 පි.

[2] දීඝනිකායට්ඨකථා i. (හේවාවිතාරණ මු.) 221 පි.

[3] මජ්ඣිමනිකාය i. (බුද්ධජයන්ති මු.) 706 පි.

[4] විශුද්ධිමාර්ග (හේවාවිතාරණ මු.) 4 පි.

[5] අංගුත්තරනිකායට්ඨකථා (හේවාවිතාරණ මු.) 442 පි.

[6] මජ්ඣිමනිකායට්ඨකථා ii. (හේවාවිතාරණ මු.) 71 පි.

[7] ධම්මපදට්ඨකථා (හේවාවිතාරණ මු.) 463 පි.

[8] අංගුත්තරනිකාය iv. (බුද්ධජයන්ති මු.) 426 පි.

[9] අංගුත්තරනිකාය iv. (බුද්ධජයන්ති මු.) 220 පි.

[10] අංගුත්තරනිකාය v. (බුද්ධජයන්ති මු.) 136 පි.

[11] අංගුත්තරනිකායට්ඨකථා ii. (හේවාවිතාරණ මු.) 766 පි.

[12] අංගුත්තරනිකාය v. (බුද්ධජයන්ති මු.) 146 පි.

[13] මජ්ඣිමනිකාය I (බුද්ධජයන්ති මු.) 368-370 පි.

අපේ ගුරු හාමුදුරුවෝ ...
අකාලිකො - අටුවාචාර්‍ය්‍ය මතය නිවැරැදි ද?

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.