දෙමළ ජනයාට උතුර හා නැගෙනහිර පාරම්පරික මාතෘ භූමියක් තුබුණා ද? තිබේද?

ද්‍රවිඩ ජනයා සඳහා “ඊළාම්” නැමැති වෙන ම රාජ්‍යයක් ඇති කිරීමේ පදනම ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දක්වා සිටින්නේ උතුර හා නැගෙනහිර ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික මාතෘ භූමිය වූ බව ය. මැතිතුමනි, ද්‍රවිඩ ජනයා සඳහා එවැනි “පාරම්පරික මාතෘ භූමියක්” නොවූ බවට මම කරුණු දක්වනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකාව ගැන සලකන විට එය සිංහල ජනයාට මෙන් ම බර්ගර්, යෝනක, මැලේ යන මේ දිවයින තුළ වෙසෙන අනෙකුත් සියලු ජාතීන්ට ද පාරම්පරික මාතෘ භූමියක් වූවා සේ මැ දෙමළ ජනයාට ද මුළු මහත් ශ්‍රී ලංකාව පාරම්පරික මාතෘ භූමිය වෙයි. රටේ නොයෙක් පෙදෙස්වල සුළු ජාතීන් කේන්ද්‍ර ගත වැ සිටින පමණින් රටට අයත් එම කොටස ඔවුන් වෙසෙන කොටස පාරම්පරික මාතෘ භූමියක් ලෙස හැඳින්විය නොහැකි ය. එකිනෙකට සම්බන්ධ වූ, එක් බඳු අපේක්ෂා හා එක් බඳු ආගම් ඇති ජන කොටස් එකට එකතු වූ පිරිස් සමූහ බිහිවීම සාමාන්‍ය ස්වාභාවික සිද්ධියෙකි. මේ අනුව කල්මුණේ, මඩකලපුව, බේරුවල, මල්වාන, තිහාරිය යන වෙනත් ස්ථානවල වෙසෙන යෝනක (මුස්ලිම්) ජනතාවට ඔවුන්ට ම ඇරුණු ජනාවාස ඇත. එබඳු ජනාවාස බිහි කළ ඔවුහු බොහෝ සෙයින් ම මෙරටට පැමිණි අරාබි වෙළෙඳුන්ගෙන් පැවැතෙන්නෝ ය. එපමණකින් ඒ තැන් යෝනක ජනයාගේ “පාරම්පරික මාතෘ භූමි” යැයි කිව හැකි ද? එක් කාලයක දී බම්බලපිටියේ හා වැල්ලවත්තේ බර්ගර් ජනයා විශාල සංඛ්‍යාවක් විසූහ. එහෙයින් ඒ තැන් බර්ගර් ජනයාගේ පාරම්පරික මාතෘ භූමියැයි යමෙකුට කිව හැකි ද? සැබවින් ම යාපනය තම “පාරම්පරික භූමියක්” ලෙස පිළිගැනීමට අකමැති ද්‍රවිඩයන් සිටිනවා සේ ම තමන් සඳහා වූ එබඳු මාතෘ භූමියක් ප්‍රතික්ෂේප කරන බර්ගර් ජනයා ද වෙති. මැලේ ජනයා බෙහෙවින් ම කොම්පඤ්ඤවීදියෙහි දක්නට ලැබෙති. එහෙත් කොම්පඤ්ඤවීදිය තම පාරම්පරික මාතෘ භූමිය යැයි ඔවුහු නො කියති. එහෙයින් “පාරම්පරික මාතෘ භූමිය” යනු වැරදි ව්‍යවහාරයෙකි.

සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා

ශ්‍රී ලංකා සිවිල් සේවයට පත්කරන ලද ප්‍රථම ලාංකිකයා වූත් ලින්කන් ඉන් හි අධිනීතීඥවරයකු වූත්, විශිෂ්ට ද්‍රවිඩ ජාතික සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා 1906 ජනවාරි 30 වෙනි දා එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර පදවිය දැරූ සර් හෙන්රි බ්ලේක් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයෙහි දී ලංකා ඉතිහාසයේ සටහන්” යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වමින් මෙසේ කී ය.

දුටුගැමුණු රජුගේ කාලයෙන් පසු – එනම්, එළාර නමැති ද්‍රවිඩ රජුගේ පරාජයෙන් පසු ද්‍රවිඩ ජාතිකයෝ නොනවත්නා කරදරයක මුල පිරීමක් බව‍ට පත්වූහ. ඔවුහු නිතර ශ්‍රී ලංකාවට කඩාවදින්නට වූහ. දෙමළ රජවරු බොහෝ විට විජය රජුගේ සිංහාසනය මත අසුන් ගත්හ. ක්‍රි.පූ. 104 දී ඔවුහු ශ්‍රී ලංකාවෙහි තිබූ ඉතා ම අගනා වස්තුව වූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පැහැර ගෙන ගියහ. ඇතැම් විට ආක්‍රමණිකයෝ දකුණු ඉන්දියාවට පෙරළා ගියහ. ගජබා රජ ක්‍රි. ව. 113 දී දෙමළ රජු විසින් ගෙන යන ලද සිරකරුවන් විශාල සංඛ්‍යාවක් පමණක් නො ව, ඊට අමතර ව තවත් දෙමළ සිරකරුවන් ද රැගෙන ආපසු පැමිණ ඔවුන් කොළඹ අලුත්කූරු කෝරළයේ ද, මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ හා තුම්පනේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් පෙදෙස් වල ද පදිංචි කරවී ය. “සර් පොන්නම්බලම් අරුණාචලම් වැනි විශිෂ්ට ද්‍රවිඩ ජාතිකයෙකු ගේ මේ අගනා දේශනයෙහි උතුරු පළාතෙහි හෙවත් ද්‍රවිඩ ජාතිකයන්ගේ “පාරම්පරික මාතෘ භූමිය” ලෙස දැනට නම් කරනු ලබන ප්‍රදේශයෙහි පදිංචි කරවන ලද එක ද ද්‍රවිඩයෙකු ගැන සඳහනක් නැත.

ඉන්දියාවෙහි සිටි ද්‍රවිඩයන් පැවැත් වූ මේ ආක්‍රමණ හා ඔවුන් (ද්‍රවිඩ ජාතිකයන් විසින් පෙන්වා දෙනු ලබන පරිදි) බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව ගෙනයාම ද තමිල්නාඩු රාජ්‍යයට පිහිනා යන දුර ප්‍රමාණයන් තුළ පිහිටි ප්‍රදේශයක ද්‍රවිඩයන් විසින් “පාරම්පරික මාතෘ භූමියක්” පිහිටවනු ලැබීම සිංහළයන් තුළ දැඩි බියක් පහළ වීමට නිසැකයෙන් ම හේතු වේ.

අද පවා ද්‍රවිඩ ජාතිකයෝ ප්‍රචාරයක් උදවුවක් පතා තමිල්නාඩුවට දිව යති. එසේ යමින් විදේශ ආධාර සඳහා යන බව කියති. තමිල්නාඩුවේ වීරවරයන්ගේ ප්‍රතිමා යාපනේ සෑම තැනක ම දක්නට ලැබේ. ඔවුන්ගේ නියම මාතෘ භූමියට අයත් එක ද සිංහලයකුගේ ප්‍රතිමාවක් ඔවුන් ඉදිකොට කිබේ ද? එහෙත් මීට ඉඳුරා ම වෙනස් ලෙස කොළඹ නගරයෙහි පොන්නම්බලම් අරුණචලම්, පොන්නම්බලම් රාමනාදන් යන මහතුන් දෙදෙනාගේ ප්‍රතිමා ඉදිකොට ඇති අතර ආනන්ද කුමාරස්වාමි, සර් සිත්තප්පලම් ගාඩ්නර් වැනි ද්‍රවිඩ ජාතිකයන් සිහි කරමින් විදිවලට නම් තබා ඇත. වර්තමාන ද්‍රවිඩ ජනයා සිංහල ජනයා කෙරෙහි දක්වන මේ ආකල්පය වෙනස් කළ යුතු යැයි අවධාරණයෙන් ම ඔවුන්ට කිව යුතු ව ඇත. ආරක්ෂාව සඳහා ඔවුන් ඉන්දියාව කෙරෙහි නො ව ශ්‍රී ලංකාව කෙරෙහි නෙත් යොමු කළ යුතු ය.

ඉතිහාසය දෙසට ආපසු හැරී බලමු. සර් පොන්නම්බලම් තුමා පවසන පරිදි සේන සහ ගුත්තික යන ද්‍රවිඩයන් දෙදෙනා අනුරාධපුර සිංහාසනය පැහැර ගැනීමෙන් විජය රාජවංශයට උවදුරු පැමිණියේ ක්‍රි.පූ. 237 දී ය. රටේ මුල් රජ පෙළපත යළිත් ස්ථාපනට කිරීමට හැකි වූයේ ඉන් 25 වසරකට පසුව ය. ඉන් කලකට පසු එළාර රජ පැමිණියේ ය. සේන, ගුත්තික යන දෙදෙනා “සේනන්, කුදික්කන්” යනුවෙන් ද එළාර රජු “එළාලන්” යනුවෙන් ද හඳුන්වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රකාශනයෙහි මේ පුද්ගලයන් මුළු මහත් ශ්‍රී ලංකාව පාලනය කළ බව සඳහන් වේ. මේ වූ කලී ඉතිහාසය විකෘති කිරීමකි.

සර් පොන්නම්බලම් තුමා දක්වන පරිදි එවකට ශ්‍රී ලංකාව පිහිටි රට, මායා රට, රුහුණු රට යනුවෙන් රාජ්‍ය තුනකට බෙදී පැවැතියේ ය. රුහුණු රට පාලනය කළ කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්වූයේ මායා රට රජකළ කැළණිතිස්ස රජුගේ දූ කුමරිය යි. මේ යුවලගේ පුත්‍රයා වූ දුටුගැමුණු කුමරු මුහුණට මුහුණ ලා කළ සටනින් පිහිටි රටේ එළාර රජු පරදවා ලීමට සමත් විය. මෙලෙස ගැමුණු රජු මවු උරුමයෙන් මායා රටත් පිය උරුමයෙන් රුහුණු රටත් එළාර රජු පැරදවීමෙන් පිහිටි රටත් අත්පත් කරගෙන මුළු රටේ එක ම පාලකයා බවට පත් විය. ශ්‍රී ලංකාව එක ම රජකුගේ ආධිපත්‍යයට පත් ප්‍රථම අවස්ථාව මේ විය. සේනත්, කුදික්කන් හෝ එළාලම් හෝ මුළු රට පාලනය නොකෙළේ ය. මායා රට හා රුහුණු රට පාලනය කෙරෙමින් වෙන ම රජුන් නො සිටියා නම් රුහුණු රටේ රජු සැබවින් ම එළාර රජු හා සටනට ගොස් ඔහු මරුමුවට පත් කෙළේ කෙසේ ද?

දුටුගැමුණු රජුගෙන් පසු සිංහල රජවරුන් රැසක් සිහසුන දරා සිටීම නිසා එකොළොස් වන සියවස දක්වා ම රට සමෘද්ධිමත් විය. එකොළොස් වන සියවසේ දී ද්‍රවිඩයන් නිසා අනුරාධපුරයෙහි අගනුවර පොළොන්නරුවට ගෙන යාමට සිදු විය. ද්‍රවිඩ ආක්‍රමණය තිබිය දීත් පොළොන්නරුවේ රැඳී රට පාලනය කළ මහා පරාක්‍රමබාහු රජු හා සෙසු සිංහල රජුන් යටතේ ද රට සමෘද්ධිමත් විය. මේ කාලය තුල ර‍ට කොතරම් ශිෂ්ට සම්පන්න තත්ත්වයකට පත් වූයේ ද යත් “ස්ත්‍රියකට පවා මහ රෑ මැණිකක් අතේ තබාගෙන රටේ එක් තැනක සිට තවත් තැනකට යෑමට හැකි වී යැයි සර් පොන්නම්බලම් මහතා වැඩිදුරටත් පවසයි. එහෙත් ඔහු පවසන පරිදි වැඩි කලක් යන්නට මත්තෙන් කාලිංගයෙහි සිට පැමිණි ද්‍රවිඩයන් නිසා පොළොන්නරුව අතහැර දැමීමට සිදු විය. දුර්දශාපන්න වූ රාජ්‍යයේ කේන්‍ද්‍රස්ථානය කලින් කලට දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක හා අවසාන වශයෙන් මහනුවර යන නගරවලට ගෙනයාමට සිදු විය.

විදේශීය ආක්‍රමණිකයන් පලවා හැරීමට මහනුවර රජුන් නිරතුරු ව සටන් කළ ද 1815 දී අවසන් රජු විසින් මහනුවර රාජධානිය ද බ්‍රිතාන්‍යයනට පාවා දෙනු ලැබී ය. පහළොස් වන සියවසේ ද යාපනයේ රාජධානිය ගම්පොළ රජකළ කන්ද උඩරට රජුගේ සෘජු පාලනය යටතට පත් වූ අතර ආර්ය චක්‍රවර්ති පාලකයන් ගේ බලය අලකේශ්වරයන් විසින් මැඩලන ලදී.

සර් පොන්නම්බලම් වියතාණන් පවසන පරිදි, 17 වෙනි සියවසේ දී බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව යාපනයේ දෙමළ රජු විසින් පැහැර ගෙන යන ලදුව, යාපනය යටත් කොට ගත් අවස්ථාවෙහි පෘතුගීසින් විසින් ඔහුගෙන් එය අත්පත් කර ගන්නා ලදී. ද්‍රවිඩයන් ලද මේ පරාජය වර්තමාන ද්‍රවිඩ ජාතිකයන් විසින් පිළිගනු ලැබේ.

මෙසේ ද්‍රවිඩයන් තම ඊළාම් රාජ්‍යයේ අගනුවර සිට සිය රට විනාශ කරනවා පමණක් නො ව තමන්ගේ අතිශයින් ම මහාර්ඝ වස්තූන් වූ පාත්‍ර ධාතුව හා දන්ත ධාතුව පැහැර ගෙන යනු ඇතැයි බෙ‍ෟද්ධයන් තුළ මහත් බියක් පවතී. දැනට මත් ඔවුහු බෝධි වෘක්ෂ විනාශ කිරීමෙහි යෙදී සිටිති. සේරුවිල පිහිටි එබඳු බෝ රුකක් විනාශ කොට එහි කෝවිලක් ඔවුන් තනවා ඇත. ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිලෙහි, පුරාණ ගෝකන්න විහාරයෙහි බෝ රුකත් විනාශ කොට ඇත. මෙය කරන්නට ඇත්තේ හින්දුන් බවට සැක නැත. දැන් බෝ රුක පැවැති ස්ථානයේ පොළොව සමතලා කොට කොන්ක්‍රීට් තට්ටුවකින් දැඩි ලෙස ආවරණය කොට ඇත.

යාපනයේ රාජධානිය 13 වන සියවසෙහි දී පිහිටුවනු ලදුව පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට ආන්තර්ග්‍රහණය කරන ලද බව කියනු ලැබේ. (යාපනයේ රාජධානිය – පත්මනාදන්, 160 පි.) මෙයට කලින් “යාපනය රාජධානිය” නමින් වෙන ම රාජ්‍යයක් නොවූ බවත්, අනුරාධපුරයෙහි හෝ වෙනත් නගරයෙක හෝ සිටි අපේ රජකු විසින් මුළු ශ්‍රී ලංකාව ම පාලනය කරන ලද බවත් එහි පිළිගෙන ඇත.

ද්‍රවිඩ එක්සත් විමුත්ති පෙරමුණේ ප්‍රකාශනයට අනුව පෘතුගීසීහු දෙමළ ඊළාම් රාජ්‍යය යටත් කොට ගත්හ. එහෙත් 16 වෙනි සියවසෙහි පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමට සියවස් කිහිපයකට පෙර සිට ද්‍රවිඩයෝ ඔවුන්ගේ භූමියෙහි ඔවුන්ගේ රාජ්‍යයෙහි විසූහ. මෙහි දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රකාශනය “අලකේශ්වර” සහ යාපනයේ රාජ්‍යයෙහි රජ කළ, පසු වැ සවන බුවනෙකබා නමින් ජයවර්ධනපුර කෝට්ටේ රජ කළ “සපුමල් කුමාරයා” අමතක කොට ඇත.

යාපනයේ රාජධානිය පිළිබද වැ අද්භූත අයිතිවාසිකම් ප්‍රකාශ කර සිටින විට මෙකී රජුන් හැම විට ම කෝට්ටේ හෝ මහනුවර රජ කළ සිංහල රජුන්ගේ ආධිපත්‍යය පිළිගෙන ක්‍රියා කළ බව මතක තබා ගත යුතු ය. 13 වන සියවසෙහි දී ශක්තිමත් දේශපාලන අධිකාරයක් පහළ වූ බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රකාශනයෙන් පැවසේ. එනම්, බටහිර වෙරළේ හලාවත සිට පුත්තලමටත් එතනින් මන්නාරමටත් එතැන් සිට උතුරුකරයටත් නැගෙනහිර තීරයේ ත්‍රිකුණාමලයට සහ මඩකලපුවටත් එතනින් කුමන දක්වාත් විහිදී මුළු ප්‍රදේශය ම ද්‍රවිඩ ජනයාගේ තනිකර මාතෘ භූමිය ලෙස ස්ථාපිත වූ බවයි. මෙය ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයට අයත් වන ප්‍රදේශය යි. මුලදී මා පෙන්වා දුන් පරිදි මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සාවද්‍ය ය.

පෘතුගීසි ජාතියකු වූ ඩික්වෙරෝස් ලියු පොතෙහි (101 පි.) පෘතුගීසීන් පළමු වරට මේ දිවයිවට පැමිණි අවධියෙහි මේ දිවයින රාජධානි පහකට බෙදී තිබුණ බව සඳහන් වේ. තව ද, එකල කෝට්ටේ රාජධානියෙහි විසූ රජු අධිරාජ්‍යයා ලෙස පිළිගැනුණ බව ද සෙසු රාජධානි සියල්ල මේ රජුට පඬුරු පාක්කුඩම් පිරිනැමූ බව ද සඳහනි. මින් එක් රාජධානියක් නම් යාපනපටම් ය. මේ 1505 වර්ෂයේ තත්වය යි. ඕලන්ද ජාතිකයෙකු වූ පිලිප්පුස් බැල්ඩියස් පවසන අන්දමට 1656 දී කොළඹ වරායත් 1658 දී යාපනපටමත් යටත් කොට ගෙන සිටිය නො හැකි විය. රාජසිංහ රජු ලංකාවේ අධිරාජයා ලෙසත් මහනුවර, කෝට්ටේ, සීතාවක, දඹදෙණිය, අනුරාධපුර, යාපනපටම යන ප්‍රදේශවල පාලකයා රජු හැටියටත් උ‍ෟව, මාතර, දෙනවක, සතර කෝරළය යන ප්‍රදේශවල පාලකයා කුමාරයා හැටියටත් සත්කෝරළයේ නැගෙනහිර මාතලේ පාලකයා මහාදිපාදවරයා හැටියටත් කෝට්ටියාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, වෙල්ලස්ස, බින්තැන්න, දුම්බර, පන්සියපත්තුව, හේවාහැට, පුත්තලම යන ආදී ප්‍රදේශවල පාලකයා සිටුවරයා (කවුන්ට්) ලෙසත් තමා හඳුන්වා ගත් බව බැල්ඩියස් පවසයි.

වර්‍ෂ 1600 දී පමණ කොට්ටියාර්හි දී නොක්ස් අත්අඩංගුවට ගැනීමෙන් මහනුවර (11 වන ) රාජසිංහ රජු වෙත ගෙනයනු ලැබීමෙන් ඔප්පු වන්නේ බැල්ඩියස් ගේ ප්‍රකාශය නිවැරදි බවයි. ඉංග්‍රීසි ජාතිකයකු වූ නොක්ස් අත්අඩංගුවට ගන්නා ලද්දේ මහනුවර රජුගේ භටයන් විසිනි. ඉන් පෙනෙන්නේ එවකට ත්‍රිකුණාමලය ප්‍රදේශය මහනුවර රජුගේ යටතෙහි පැවති බවයි. යාපනය රාජධානිය කෝට්ටේ හෝ මහනුවර හෝ රජුගෙන් නිදහස් වැ ස්වාධීන රාජ්‍යයක් ලෙස නොපැවති බවට ද්‍රවිඩයකු, පෘතුගීසි ජාතිකයකු, ඕලන්ද ජාතිකයකු හා ඉංග්‍රීසි ජාතිකයකු යන මෙතෙක් දෙනාගෙන් අපට සාක්ෂි ලැබී ඇත. එහෙයින් 16 වන සියවසෙහි සිදු වූ යුරෝපීය ආක්‍රමණයට සියවස් කිහිපයකට පෙර ද්‍රවිඩ ජනයා ඔවුන්ගේ ම රජධානියෙහි විසූහ යි ද්‍ර.එ.වි. පෙරමුණු ප්‍රකාශනය සඳහන් කරන විට එය සර් පොන්නම්බලම්, ඩික්වෙරෝස්, බැල්ඩියස්, නොක්ස් යන ද්‍රවිඩ, පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි ලේඛකයන් ගේ ප්‍රකාශනවලට පටහැනි වැ යෑමෙකි. මේ වූ කලී ලංකා ඉතිහාසය විකෘති කළ තවත් අවස්ථාවකි.

සර් පොන්නම්බලම් තුමා පවසන පරිදි “ශ්‍රී ලංකාවේ ආදී ම ඉතිහාසය මිථ්‍යා කතාවලින් වැසී පවතී.” එසේ වුව ද, “ලෝකයේ කිසිදු රටකට මෙතරම් දීර්‍ඝ වූත් අඛණ්ඩ වූත් ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් නැත.”

සර් පොන්නම්බලම් මහතා මේ කතාව පැවැත්වූයේ 1906 දී ය. එහෙත් 1916 දී “සිලෝන් ඇන්ටික්වරි” නම් සඟරාවෙහි ලිපි කිහිපයක් පළ විය.

හෝර්ස්බර්ග් මතය

මේ වූකලී ශ්‍රී ලංකා සිවිල් සේවයේ නිලධාරියකු වූ ඩී. හෝර්ස්බර්ග් මහතා විසින් යාපනේ අර්ධද්වීපයේ සිංහල ස්ථාන නාම” යන මාතෘකාව යටතේ සපයන ලද ලිපි පෙළකි. ඊට ද්‍රවිඩ ඉතිහාසය පිළිබඳ පිළිගත් ප්‍රවීනයකු වූ එස්. ඥානප්‍රගාසර් දේවගැති තුමා, ශ්‍රී ලංකා සිවිල් සේවයේ නිලධාරියකු වූ සී.එම්.ජී. නාමධාරී, ජේ.පී. ලුවිස් යන විද්වතුන් සැපයූ පිළිතුරුත් අවසාන වශයෙන් හෝර්ස්බර්ග් පවසන පරිදි බලවත් පරිශ්‍රමයකින් හා ඉතා මැනවින් ද්‍රවිඩ ස්ථාන නාම පිළිබඳ වැ පරීක්ෂණයක යෙදුනු එස්.ඩබ්. කුමාරස්වාමි මහතාගේ ලිපියක් ද ඇතුළත් ය.

ද්‍රවිඩ යුගයට කලින් යාපනේ අර්ධද්වීපයෙහි සිංහල ජනාවාසයක් පැවැති බව දක්වන කිසිදු ලේඛනයක් නොවූ බව තමාට කියන ලදැයි හෝර්ස්බර්ග් පවසයි. ද්‍රවිඩ යුගයේ ආරම්භය පවා අඳුරේ සැගවී ගෙන සිටියි. එහෙත් මායා රටේ දැනට ද්‍රවිඩ ප්‍රදේශයක් වැ පවත්නා උතුරු කොටසෙහි සිංහලයන් විසූ බවට සෑහෙන තරම් සාක්ෂි මන්නාරම් මුලතිව් දිස්ත්‍රික්කවල විසිරී පවත්නා ගල්පුවරුවල සඳහන් වැ ඇතැයි ද ද්‍රවිඩයන් පැමිණීමට කලින් අර්ධද්වීපයෙහි සිංහලයන් වාසස්ථාන පිහිටුවා ගෙන සිටි බවට ඔවුන් ඉතිරි කොට ගිය ස්ථාන නාම පිළිබඳ සාක්ෂි ප්‍රමාණවත් වන බවත් එම සාක්ෂි දැනට සොයා ගෙන ඇති ශිලා නෂ්ටාවශේෂ ස්වල්පයෙන් සනාථ වන බවත් හෝර්ස්බර්ග් මහතා පවසයි. නිදසුනක් වශයෙන් සිංහල ස්ථාන නාමවල අග ඉතා ම බහුල වශයෙන් දක්නට ලැබෙන ග්‍රාමය යන අරුත ඇති ගම” හෝ “ගමුව” යන්න දැක්විය හැකි ය. මේවායේ ද්‍රවිඩ ස්වරූපය “ග්‍රාමම්”, යන්න යි. “කතරගම” යන්න “කදිරගාමම්” යනුවෙන් යෙදූ හැටි කොතරම් අපූරුදු?

සිංහල ස්ථාන නාම

“කොඩිකාමම්”, “චුණාකම්”, සහ “මල්ලාකම්” යන මේ අයුරින් ගම් අටක නම් ද්‍රවිඩ ස්වරූපයට නංවන ලද සිංහල නාම හෝර්ස්බර්ග් පඬිවරයා ඉදිරිපත් කරයි. “විල්” යන්නෙන් අවසන් වන නම් ද මේ සඳහා ඉදිරිපත් කළ හැකියි. “විල” යනු “පොකුණ” යන අරුත දීම සඳහා යෙදුන සිංහල නම යි. “පොතුවිල්” වැනි එබඳු ස්ථාන නාම 14 ක් ඒ මහතා ඒ සඳහා ඉදිරිපත් කරයි. අවසාන වශයෙන් ඒ මහතා “යාපනය” යන නමට ද බසී. යාපනේ ද්‍රවිඩ ජාතිකයන්ගේ අදහසට අනුව මෙය “වීණාව” යන අරුත ඇති “යල්” යන දෙමළ වචනයත් වීණා වාදකයන්ගේ කුලය සඳහා භාවිතා වන “පනර්” වචනයත් එක්වීමෙන් තැණුනකි. බත් පිඟානක් කා වැංජනයක් පිළිබඳ වැ සොළී රටෙහි සිටි තම බිරිය සමඟ කලහ කොට සිය බිරියගේ “ආශිර්වාදය” ද සහිත වැ “සරුසාර රටක් හා දළ ඇතකු ගෙන ආපසු ඒමට “ශ්‍රී ලංකාවට පැමිණි අන්ධ වීණා වාදකයා පිළිබඳ ව කථාව ද්‍රවිඩ ජනයා සැබෑ ලෙස පිළිගෙන තිබීමෙන් ඔවුන්ගේ මඳ උගත්කම හා දුර්වල දැනුම මැනවින් ප්‍රකාශ වන බව හෝර්ස්බර්ග් සඳහන් කරයි.

ඔහු එළාර රජු දවස ඉතා විසිතුරු ලෙස තම වාදනය පැවැත් වූ හෙයින් ඔහුට යාපන අර්ධද්වීපය පවරා දුන්නේ ය. මෙසේ “යාල්පානම්” යන ව්‍යවහාරය ඇති විය.

මෙබඳු කතාවක් පැහැදිලි මිථ්‍යාවක් බව වටහා ගැනීමට අවශ්‍ය වන්නේ ඉතා මඳ විමසුම් නුවණක් පමණක් බව හෝර්ස්බර්ග් මහතා පවසයි. සෙසු උගත් කතුවරු ද හෝර්ස්බර්ග් ගේ මේ මතයට එකඟ වෙති. එහෙත් වර්තමාන ද්‍රවිඩ ජාතිකයන් මේ මිථ්‍යා පිළිගෙන ඔවුන්ගේ නගර සභා ලාංජනය සඳහා යාල්” හෙවත් “වීණාව” යොදා ගෙන ඇත.

“ජැෆ්නා” යනු “ජාපනය” හෙවත් “යාපනය” යන්නෙන් නිපන් බව “හෝර්ස්බර්ග්” මතය යි. “යාපා” යනු “යුව රජ” යන අර්ථය දෙන පිරිසිදු සිංහල නමකි. එය සිංහල නම් ගම් අතර දක්නා ලැබේ. “යාපහුව” යන වචනයෙහි ද එය දක්නා ලැබේ. මෙහි “නේ” යන්න “හබරනේ”, “බලනේ” යන නම්වල ද දක්නට ලැබෙන ප්‍රදේශාර්ථ දෙන පදාන්තයෙකි. “හෝර්ස්බර්ග්” ශූරීන් විසින් ඉදිරිපත් කරන ලද මේ අර්ථ විවරණය පිළිබඳ වැ ලිපි ලියා ඇති සෙසු උගතුන් සම්පූර්ණයෙන් පිළිගෙන නැත. එහෙත් “යාල්පානම්” යන්නෙහි ප්‍රභවය සිංහල නමකින් සිදු වූ බව ඔවුහු පිළිගනිති. එසේ ම හෝර්ස්බර්ග් මහතා මෙසේ ද පවසයි.

දැනට මත් සලකා බලන ලද ස්ථාන නාමවලින් ලැබෙන සාක්ෂිවලින් පළමු වන දෙමළ ආක්‍රමණය සිදුවීමට කලින් සිංහලයන් යාපනේ අර්ධද්වීපයේ පදිංචි ව සිටි බව පහැදිලි වේ. ඥානප්‍රකාශර් පියතුමා තම ලිපිය පටන් ගන්නේ “දෙමළ යුගයට පෙරාතුව යාපන අර්ධද්වීපයෙහි සිංහල ජනාවාසයක් පැවැති බව හෝර්ස්බර්ග් සැකයෙන් තොර ව ඉදිරිපත් කොට ඇත” යනුවෙනි. මුල දී සිංහල භාෂාවෙන් පැවති ස්ථාන නාම 60 කට වැඩි සංඛ්‍යාවක් හේ සපයයි. සිංහල ගම් පිළිබඳ තවත් අමතර ලේඛනයක් සපයන ජේ.පී. ලුවිස් “යාපනය” යන නාමයේ නිරුක්තිය පිළිබඳ වැ හෝර්ස්බර්ග් ගේ මතයට එකඟ වෙති.

කුමාරස්වාමි මතය

කුමාරස්වාමි මහතාගේ ලිපිය ගැන මා කරුණු කීම අත්‍යවශ්‍ය ය. එහෙත් ඒ මහතා “කෝපේ”, “මිණිපේ” ආදී ගම්වලට සිංහල නිරුක්තීන් සපයයි. “කෝපේ” යන නම ගැන සළකා බැලීමේ දී “කොවියාස්” යනුවෙන් හැදින්වෙන පිරිස යාපනේ වෙල්ලාල වර්ගයාගේ ගෘහ සේවකයන් බවත් ඔවුන් “පල්ල” හා නෙල්ලුවේ” කුලවල ජනයාගෙන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස සලකන ලද බවත් කුමාරස්වාමි මහතා සඳහන් කරයි. කුලයෙක හෝ ගෝත්‍රයෙක හෝ නමක් මිස කොවියා” යන වචන‍ය දකුණු ඉන්දියාවේ ව්‍යයහාරයෙහි නො පවතී. එහෙයින් “ගොවිතැන් කරන්නා” යන අරුත ඇති “ගොවිකම” යන සිංහල වචනයෙන් නිපන්නක් ලෙස සලකන කුමාරස්වාමි මහතා යාපනයෙහි “පන්නයා” (පන්නාකන්) නමැති ගමක් හා “හුන්නාගම්” (චුන්ණාකම්) ද පිහිටා ඇති බව බමුණා, දුරයා, පදුවා යන කුලවල නමින් හැඳින්වෙන කුඩා ගම් කීපයක් ඇති බව එහෙයින් “ගොවිගම” නමින් ගමක් පැවතීම පුදුමයට කරුණක් නොවන බවත් සඳහන් කරයි.

එහෙයින් සිංහල ජනයා හා ද්‍රවිඩ ජනයා ඉතා ආදී ම කාලයෙක පටන් යාපන අර්ධද්වීපයෙහි එකට විසූ බව මේ ග්‍රාමනාමවලින් පැහැදිලි වේ. එනම්, ඉතිහාසය පහළ වීමටත් පෙර සිට යි. එහෙයින් අනාගතයෙහිත් සිංහල ජනයා හා ද්‍රවිඩ ජනයා ඊළමෙහි හෝ රටේ වෙනත් තැනක හෝ එකට ජීවත්වීමට බැරි හේතුවක් නැත. සිංහල ජනය‍ා ද්‍රවිඩ ජනයාට මුළු මහත් ශ්‍රී ලංකාව හුදෙක් ඊළාම් ලෙස පමණක් නො ව, ඔවුන්ගේ මාතෘ භූමිය ලෙස ද ප්‍රදානය කරනවා ඇත. ඔවුන් කියා සිටින්නේ සිංහල ජනයා කෝපයට නො පමුණුවා, ඉතිහාසය ද විකෘති නො කොට ඔවුන්ගේ පූජනීය භූමි හා පුරාවස්තු විනාශ නොකරන ලෙස ය. මේ රට අපේ ම මාතෘ භූමිය ලෙස සලකා ජීවත්වීමට ඉගෙන ගැනීම දෙපක්ෂයේ ම දියුණුව පිණිස හේතු වෙයි.

 

සන්සෝනි කොමිසමට ඉදිරිපත් කරන ලද කරුණුවලින් කොටසක් ඇතුළත් ලිපියකි.

ප්‍රඥාප්‍රභා 6

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

සිංහලයනට බෙ‍ෟද්‍ධයනට විරුද්ධ ව ගෙන යන බොරු ප්‍රචාර වැළැක්විය නො හැකි ද?
අපේ රටටත් ශාසන මණ්ඩලයක් ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.