දළදා වහන්සේ වැඩමවන ඇත් රජුන් ගැන හිත පිරෙන කතා ... - IFBC Organization | Dhamma

අද නිකිණි පුර පසළොස්වක ‍පොහෝදාය. හෙළ කලා අසිරියේ අතිඋත්කර්ෂවත් මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන මහනුවර දළදා පෙරහර පැවැත්වෙන්නේ අදය.දළදා පෙරහර යන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම පිළිබිඹු කෙරෙන කැඩපතක් වුවද එහි උත්තරීතර වටිනාකම් රඳා පවතින්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන දන්ත ධාතූන් වහන්සේ නිසාය. දළදා කරඬුව පෙරහරේ වැඩම කරවනු ලබන්නේ එහි පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා වන ආකාරයටය. දළදා කරඬුව ආවාට ගියාට කෙනකුට ස්පර්ශ කළ නොහැකි වී තිබෙන්නේ එහි ඇති පූජනීයත්වය නිසාය.
දළදා කරඬුව ස්පර්ශ කිරීමේ භාග්‍ය උදාවන්නේ සිව්දෙනකුට පමණි. ඉන් තිදෙනකු වන්නේ අස්ගිරි-මල්වතු උභය පාර්ශ්ව මහා නායක හිමිවරුන් දෙදෙනා සහ දියවඩන නිලමේවරයාය. අනෙක් වාසනාවන්තයා වන්නේ දළදා කරඬුව වැඩම කරවන ඇතාය.
ඇතෙකු වූ පමණින් දළදා කරඬුව වැඩම කරවීම සඳහා එකී ඇතාව තෝරා ගැනෙන්නේ නැත. ඒ සඳහා කාරණා කීපයක් සම්පූර්ණ විය යුතුය.
ඇතාගේ ශරීර ලක්ෂණ සැලකිල්ලට ගැනීමේදී පිට කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නේ දළදා කරඬුව ඇතුගේ පිට මත තබා බැඳිය යුතු බැවිනි. එනම් ඇතුගේ පිට පළල් මෙන්ම පැතලි විය යුතුය. එමෙන්ම හොඬවැල, වලිගය හා ලිංගය ‍පොළවේ ස්පර්ශ විය යුතුය. ඇත් දළ යුගලය පිළිබඳව සැලකිලිමත් වීමේදී දළ ඉදිරියට නෙරා ගිය මෙන්ම මහතට පිහිටා තිබිය යුතුය. එමෙන්ම දළ යුගලය සමාන්තරව නොපිහිටා වම් දළය මඳක් පහත්වී තිබිමද වැදගත් ලක්ෂණයක් ලෙස සැලකේ. ඇතාගේ කන් සොලවන විට මුහුණේ ස්පර්ශ වන ආකාරයට විශාලත්වයෙන් පිහිටා තිබිමද දළදා කරඬුව වැඩම කරවීම සඳහා ඇතෙකු සතු මූලික සුදුසුකමකි.


“සමහර ඇතුන්ගේ පිට ප්‍රදේශය ස්පර්ශ කරන විට කිති කැවෙනවා. එහෙම ඇත්තුන්ගේ පිටේ කරඬුව තැන්පත් කරන්න බැහැ. ඒ වගේම තමයි ඇතා ඔළුව කෙළින් තබාගෙන තේජාන්විතව ගමන් කරන්න ඕනෑ. සමහර ඇත්තු කෑම හොයාගෙන යන පුරුද්දට හොඬවැල බිමට තබාගෙන බිම බලාගෙන යනවා. එහෙම ඇත්තු ධාතු කරඬුව වැඩම කරවීමට සුදුසු නැහැ.
සාමාන්‍යයෙන් ඕනෑම පෙරහරක අලි ඇතුන් ගමන් කරන විට හොඬවැල හකුළුවා ගෙන දළ තිබෙනවා නම් දළ මත තබාගෙන පෙරහරේ ගමන් කිරීමට අණ කරන්න ඕනෑ. ඒකට හේතුව තමයි ගැහැනු සතුන්ගේ සුවඳ, තරහ අලියකුගේ සුවඳ, ආහාර ඉවක් හොඬවැලට හසුවීමෙන් අලි ඇතුන් කුලප්පු වී කලබලයක් ඇතිවීමේ අවදානම නැති කිරීම. ඇත්තටම ඒක ආරක්ෂක ක්‍රමයක්. ඒත් වර්තමානයේ පෙරහරේ අලි ඇතුන් ගමන් කරවන විට ඒ විදියට අණ ලබාදෙන්නේ නැහැ” යනුවෙන් විස්තර කළේ ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ‍ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්නය.
දළදා කරඬුව වැඩම කරවන ඇතුගේ ගමන් විලාසයද ඒ සඳහා බලපාන තවත් කාරණාවකි. එනම් ඇතා සංවරශීලීව, උපශාන්ත අයුරින් ගමන් කිරීම දළදා කරඬුව වැඩම කරවීමට මූලික සුදුසුකමක් වනු ඇත. පෙරහරේදී නටමින්, හිස පද්දමින් ගමන් කරන ඇතුන්ගේ පිටේ ධාතු කරඬුව තැන්පත් නොකෙරේ. ඒ හැර ඇතා සිය හාම්පුතා කෙරෙහි දක්වන ලැදියාව, ප්‍රචණ්ඩත්වය පළනොකිරීම, මිනිසුන් මරා නොතිබිම වැනි ගුණාංගද ධාතු කරඬුව වැඩම කරවීම සඳහා ඇතුන් තෝරා ගැනීමේදී සැලකිල්ලට යොමු කෙරේ.
තවද ඇතාගේ උස, ශරීර ප්‍රමාණය හා වයස යන කරුණුද දළදා කරඬුව වැඩම කරවීමේ උතුම් කාර්යය බාරදීමට පෙර සලකා බැ‍ලේ. ඇතාගේ උස සහ ශරීරයේ මහත වැදගත් වන්නේ ධාතු කරඬුව විශාල ප්‍රමාණයෙන් ප්‍රදර්ශනය වීම වළක්වා ගැනීමටය. තවත් විදිහකින් විස්තර කළහොත් එතරම් උස මහත නොමැති ශරීරයක ධාතු කරඬුව තැන්පත් කරනු ලබන රන්සිවිගෙය තැබූ විට රන්සිවිගෙය මඟදෙපස ජනයාට ප්‍රදර්ශනය වෙන්නේ විශාල ප්‍රමාණයෙනි. උස මහත ශරීරයකට රන්සිවිගෙය බැඳ තැබූ විට ඒ ආකාරයට දර්ශන වන්නේ නැත. ඊට ගැළපෙන උස මහත ශරීරවලින් හෙබි ඇතුන් හමුවන්නේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන් පමණ යැයි දම්සිරි බණ්ඩාර කරුණාරත්න සඳහන් කරන්නේ තායිලන්තය, මියන්මාරය යන රටවලින් පැමිණෙන ඇතුන් එම ලක්ෂණ පළ නොකරන බව පවසමිනි.
මෙම කාරණය අරබයා සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 ඉක්මවූ ඇතුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ එම ඇතුන් තැන්පත් ඉරියව්වෙන් හැසිරෙන නිසාය. දන්ත ධාතූන් වහන්සේ උදෙසා පැවැත්වෙන ආරම්භක පෙරහරේ සිට අද දක්වාම ධාතු කරඬුව තැන්පත් කිරීම සඳහා ඇතුන්ගේ මෙකී ලක්ෂණ කෙරෙහි සැලකිලිමත් වී තිබේ.
දළදා පෙරහරක් ප්‍රථම වරට පවත්වා ඇත්තේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලයේදීය. එනම් ලංකාවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවූ වකවානුවේදීය. එවකට පෙරහරේ ධාතු කරඬුව වැඩම කරවා තිබෙන්නේ ඓරාවණ නමැති ඇතාය.
“ඒ කා‍ලේ දළදා කරඬුව වැඩම කළේ රජතුමාගේ ඇත් පන්තියේ සිටි සුවිශේෂී ඇතෙකු පිට. හැබැයි අපි කලින් සඳහන් කරපු සියලුම ලක්ෂණ සම්පූර්ණ කරපු ඇතෙකු තමයි ඒ සඳහා තෝරා ගත්තේ. මොනම විදිහකින්වත් රජතුමා සංචාරය සඳහා යොදා ගත් මඟුල් ඇතාව ධාතු කරඬුව වැඩමවන්න යොදා ගත්තේ නැහැ. ඒ වගේම තමයි යුද්දෙට යන ඇතුන්ව යොදා ගත්තෙත් නැහැ. දළදා කරඬුව වැඩම කරවීමේ උතුම් කටයුත්තට වෙන් කරපු සුවිශේෂී ඇතෙක් රජතුමාගේ ඇත් පන්තියේ හිටියා” යනුවෙන් ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ‍ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න විස්තර කළේය.
සතුරු උවදුරු පැමිණීම, රාෂ්ට පාලනයේ සිදුවූ වෙනස්කම් සහ යටත් විජිත පාලනය වැනි කාරණ මත දන්ත ධාතූන් වහන්සේ සඟවා තිබූ අවස්ථාද ඉතිහාසය තුළින් අපට හමුවේ. දළදා පෙරහර නොපැවැත්වූ කාලවකවානු ඇතිවී තිබෙන්නේ එබැවිනි.
යටත් විජිත පාලන සමයේදීම දළදා පෙරහර පැවැත්වීම යළි ආරම්භ වී තිබෙන්නේ ක්‍රි:ව: 1714 දීය. ඒ රටේ ඇතිවූ මහා නියඟයකදී දළදා පෙරහර පැවැත්වුවහොත් එය දුරු කරගත හැකි බව පාලකයන්ට පෙන්වා දීමෙනි. 1714 වසරේදී පැවැති දළදා පෙරහර අවසානයේ දෙගොඩ තලා යන වර්ෂාවක් ඇදහැළුණු බව ‍පොතපතෙහි සඳහන් වේ.
මහනුවරින් යළි ඇරඹුණු දළදා පෙරහරේදී ධාතු කරඬුව වැඩම කරවීමේ අවස්ථාව හතර කෝරළේ ඇතුන් කීපදෙනකුටම හිමි වී තිබේ. ලෙව්කේ වලව්වේ වාසය කළ ඇතා ද ඊට අයත් වේ. ඉන් අනතුරුව මාත‍ලේ වෑගොඩ‍පොල වලව්වේ ඇතා කාලයක් පුරා දළදා කරඬුව වැඩම කරවීමේ උතුම් රාජකාරිය අකුරටම ඉටුකර ඇත. පානබොක්කෙ වලව්වේ ඇතා එකී පූජනීය කාර්ය බාරගෙන ඇත්තේ ඉන්පසුවය. පානබොක්කෙ වලව්වේ ඇතාව හඳුන්වා ඇත්තේ දළ කොටා යනුවෙනි. දළ කොටා යනුවෙන් හැඳින්වුවද ධාතු කරඬුව වැඩම කරවීමේ සුදුසුකම්වලට ඇතුළත් වන ආකාරයට දළ යුගලය පිහිටා තිබි ඇත. එහෙත් අනෙක් ඇතුන්ගේ දළ යුගලයට සාපේක්ෂව පානබොක්කෙ වලව්වේ ඇතාගේ දළ කොටට පිහිටි බැවින් දළ කොටා ලෙස නම්කර තිබේ. දළ කොටා ඇතා බලා කියාගෙන ඇත්තේ අප්පු නමැති ඇත්ගොව්වෙකි.
මහනුවර මහයියාවේ රත්වත්ත වලව්වේ ගෝමර ඇතා ධාතු කරඬුව වැඩම කරවූ තවත් ඇතෙකි. ගෝමර ඇතා අවුරුදු ගණනාවක් ඊට සිය දායකත්වය දරා තිබේ. මෙම ඇතාගේ ඇත්ගොව්වා හතර කෝරළේ විසූ බණ්ඩා නමැත්තෙකි.
ඉඩම්පිටිය රාජා ඇතා දළදා කරඬුව වැඩම කරවීම සඳහා පැමිණුණේ ඉන් අනතුරුවය. ඉඩම්පිටිය රාජා ඇතාගේ අයිතිකරු වූයේ ඉඩම්පිටිය වලව්වේ අබේරත්න බණ්ඩාර මහතාය. හිටපු දියවඩන නිලමේ සී.බි. නුගවෙල මහතාගේ දියණිය ඉඩම්පිටිය වලව්වේ තරුණයකු සමග විවාහ වීමෙන් පසුව ඉඩම්පිටිය රාජා ඇතාට දළදා කරඬුව වැඩම කරවීමේ වාසනාව උදාවී තිබේ. ඉඩම්පිටියේ රාජාව බලා ගැනීමේ රාජකාරියට ඇත්ගොව්වන් දෙදෙනකු යොදවා ඇත. අප්පු සහ මුහන්දිරම් යන දෙදෙනා එකී ඇත්ගොව්වන් දෙදෙනාය.
ඉඩම්පිටිය රාජා සිල්වත් ඇතෙකි. පරම්පරාවේ සියලුදෙනාම නිර්මාංශී වූ නිසාම රාජාට මස් මාංශ දෑසට පෙන්වන්නට බැරිය. දිනක් මහයියාව ප්‍රදේශයේ නවතා තිබූ මස් පැටවූ ලොරියකට පයින් ගසා ඇළකට පෙරළා දැමීමට තරම් ඉඩම්පිටිය රාජා සැහැසි වූයේ එම නිසාය. ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.ඇස්. සේනානායක මැතිතුමාද ඉඩම්පිටිය රාජාව බලන්නට පැමිණ තිබිණි.
දළදා මාලිගාවට අයත් රාජා ඇතා දළදා කරඬුව වැඩම කරවීමේ උතුම් කාර්යට එළැඹෙන්නේ ඉන්පසුවය.
“රාජා ඇත් පැටවාව දළදා මාලිගාවට භාර දීලා තිබෙන්නේ හුඟක් පුංචි කා‍ලේ. රාජා එක්ක ස්කන්ධ කියලා තවත් ඇත් පැටවෙකුව දළදා මාලිගාවට පූජා කරලා තිබෙන්නේ ගිරාගම වලව්වේ මාම්පිටිය දිසාවෙ මැතිතුමා. රාජා පෙරහරේ යන වයසට එනතුරු ධාතු කරඬුව වැඩම කළේ ඉඩම්පිටිය රාජා ඇතා තමයි“ යනුවෙන් දම්සිරි බණ්ඩාර කරුණාරත්න සඳහන් කළේය. මාම්පිටිය දිසාවේට මෙම පුංචි ඇත් පැටවුන් දෙදෙනා ලැබි තිබුණේ මඩකලපුව ප්‍රදේශයේ අලි ඇල්ලීමෙහි නරත වී සිටී මුස්ලිම් ජාතිකයෙකුගෙනි. මාම්පිටිය දිසාවේ මෙම ඇත් පැටවුන් දෙදෙනා ඔහුගෙන් මිලදී ගෙන තිබුණේ රු.3300ක ටය.
දළදා මාලිගාවට අයත් රාජා ඇතා 1937 වසරේ සිට 1987 වසර දක්වා දළදා කරඬුව වැඩමවා ඇත. රාජා ගිලන් වූ අවස්ථාවලදී ස්කන්ධ ඇතා ධාතු කරඬුව වැඩම කර තිබුණද ස්කන්ධ ඇතා හදිසියේ මියගියේය. රාජා ඇතා මියගියේ 1988 ජූලි 16 වෙනිදාය.
රාජා ඇතාගේ අභාවයෙන් පසුව දළදා කරඬුවම වැඩම කරවීම උදෙසා ඇතුන් කීපදෙනකුගේ සහය ලබා ගැනිණි. හෙයියන්තුඩුව රාජා, මිල්ලංගොඩ රාජා, බෝත‍ලේ වලව්වෙ ඇතා, රත්නපුර සමන් දේවාලයේ ඇතා එකී ඇතුන් කීපදෙනෙකි. ඊට පසු භාගයේදී වෑවලදෙණියෙ ඇතා, කතරගම වාසනා ඇතා, නවම් රාජා, ඉන්දි රාජා වැනි ඇතුන්ගේ සහභාගිත්වයද ලබා ගැනුණි.
මේ වන විට දළදා කරඬුව වැඩම කරවීමේ සද් කාර්යය භාර වී තිබෙන්නේ නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය වෙද මහතාට අයත් නැදුන්ගමුවේ රාජාටය.
දළදා කරඬුව වැඩමවීමේ පූජනීය කාර්යය නැදුන්ගමුවේ රාජාට හිමිවූයේ 2005 වසරේ පටන්ය. ඉන්දියාවේ උපත ලබා පස් හැවිරිදි වියේදී ලංකාවට සේන්දු වූ මෙම ඇතාගේ වයස මේ වන විට අවුරුදු 60කට ආසන්නය. අඩි 10 1/2ක් උසින් යුක්ත නැදුන්ගමුවේ රාජා ආසියාවේ උසම ඇතා ලෙස වාර්තාවක් තබා ඇත.
“ඉන්දියාවේ මහාරාජා කෙනකුගේ නෑදෑයෙකුට නීලම්මහර වෙද හාමුදුරුවන්ගෙන් බෙහෙත් අරන් සනීප වෙලා තිබෙනවා. සුවපත් වීමේ පී්‍රතිය නිමිත්තෙන් මහාරාජා නීලම්මහර හාමුදුරුවන්ට ඇත් පැටව් දෙදෙනෙක් එවා තිබෙනවා. එක්කෙනෙක් නවම් රාජා. අනිත් ඇතා තමයි අපේ නැදුන්ගමුවේ රාජා. නීලම්මහර හාමුදුරුවන් ළඟ අවුරුදු 25ක් විතර හිටියාට පසුව අපේ තාත්තා හාමුදුරුවන්ගෙන් මිලදී ගත්තේ. එතකොට ඇතාට අවුරුදු 30ක් විතර වයසයි. අපි ළඟට ආවාට පස්සේ තමයි නැදුන්ගමුවේ රාජා වුණේ” යනුවෙන් ඇතාගේ ඉතිහාසය හර්ෂ ධර්මවිජය වෙද මහතා විස්තර කළේය.
ආසියාවේ උසම ඇතා ලෙස විරුදාවලිය ලැබූ නැදුන්ගමුවේ රාජා පයින් ගමනේ යෙදීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිසිම දිනෙක වාහනයක ගමන් නොකරන නැදුන්ගමුවේ රාජා ඇතා මහනුවර දළදා පෙරහරට සහභාගි වීම උදෙසා දින 5ක් මුළුල්‍ලේ පයින් ගමන් කරයි.
“දැන් දළදා කරඬුව වැඩම කරන්න සුදුසුකම් සම්පූර්ණ කරපු ඇතුන් තුන්දෙනයි ඉන්නේ. ඒ කතරගම වාසනා, ඉන්දි රාජා, නැදුන්ගමුවෙ රාජා. ඉන්දි රාජාගේ පිටේ කරඬුව තැන්පත් කළොත් නැදුන්ගමුව රාජා දෙපැත්තෙ යන දෑ‍ලේ ඇතෙකුට යොදන්න බැහැ. මොකද නැදුන්ගමුවෙ රාජා උසින් වැඩියි. නැදුන්ගමුවෙ රාජා අයින් කරලා ඉන්දි රාජා ඇතාගේ පිටේ කරඬුව තියලා මියන්මාරයේ ඇතෙකුව දෑලට දාලා ගිය අවුරුද්දේ එක් කුඹල් පෙරහරකට අපි යැව්වා. ඒත් මියන් රාජා පෙරහරේ යන අතරේදීම ඉන්දි රාජාට පහරදෙන්න පටන් ගත්තා. ඒ පාර ඉක්මණට ඊට ඉස්සරහින් යන දෑ‍ලේ ඇතෙකුව කරඬුවේ ඇතාගේ දෑලට යෙදුවා. ඇතුන්ගේ ශරීර ලක්ෂණ වගේම කෝන්තර ගැනත් බලලා තමයි ඇතුන්ව යොදවන්න වෙන්නේ.” ශ්‍රී ලංකා අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ‍ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න පැවැසීය.
දළදා කරඬුව වැඩම කිරීමේ උතුම් කාර්යයට ඇතුන් තෝරාගැනීම ඇතෙකුගේ තරමටම සුවිශාල ක්‍රියාපටිපාටියක් බව මෙයින් පැහැදිලි වන්නේ අපූරුවටය.

උපුටා ගැනීම –http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=38725%3A2014-08-08-14-43-18&catid=58:urumaya&Itemid=80

ධාර්මිකත්වයේ හා සෞභාගයේ සංකේතය ...
සන්තති අමාත්‍යතුමා රහතන්වහන්සේ නමක් වෙයි.

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.