රජයේ ස්ථාවර භාවයට දළදා වහන්සේ දායක වූ අයුරින් ම දළදා වහන්සේ රැකගැනීමට අපේ රජවරු ද කැප වූ හ. මේ ඒ පිළිබඳ පුවත් කැටි කැරුණු ලිපියකි.

දළදා වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කිරීමෙන් පසු, විසිතුරු පෙරහැර පැවැත්වීම එදා සිට අද දක්වා ම පවතින සිරිතකි. දළදා වහන්සේ වනාහි රාජ්‍ය උරුමය තහවුරු කරන වස්තුවක් බව අතීතයේ සිට ම ලක් වැසියන් දැරූ මතයකි. එය දළදාව සිරි ලකට වැඩමවූ සමයේ ලක් රජය කළ ‘කීර්ති ශ්‍රී මේඝවර්ණාභය’ රජතුමාගේ (ක්‍රි.ව. 847 – 875) යුගයෙහි සිට වර්තමානය දක්වා ම පිළිගනු ලබන කරුණකි. මෙම උතුම් පූජනීය වස්තුව පිළිබඳ ව අතීත සාහිත්‍යධරයෝ විවිධ සාහිත්‍ය කෘති එළිදැක්වූ හ. කුරුණෑගල යුගයෙහි ලියැවුණ ‘දළදා සිරිත’ හා ‘දළදා පූජාවලිය’ ද ඒ කෘතීන් දෙකට ම පාදක කරගත් ‘දාඨාවංසය’ ද ලීලාවතී රැජිනියගේ යුගයෙහි ලියැවුණ ‘එළු දළදාවංශය’ ද දළදා වහන්සේ පිළිබඳ ව ලියැවුණු කෘති වශයෙන් සැලකිය හැකි ය. එපමණක් නො ව, මහනුවර යුගයෙහි දී ‘සිංහල දළදා වංසය’ නමින් සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජන සඳහා කුඩා ග්‍රන්ථයක් ද රචනා වී තිබේ. එසේ ම අපේ ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ ද මේ පිළිබඳ තොරතුරු ඇතුළත් ව ඇත.

මහාවංසයේ සඳහන් පරිදි කිත්සිරිමෙවන් රජු මහත් බැතියෙන් දළදා වහන්සේ පිළිගෙන පූජෝපහාර පවත්වා, ස්ඵටික මාණික්‍යයෙන් කරවන ලද කරඬුවක තැන්පත් කර, දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද ‘දම්සක්’ නමැති කුටියෙහි තැන්පත් කරන ලදි. පසු ව මෙම ගෘහය සත් රුවනින් සරසා දෙමහල් කොට ඉදි කර, දළදා වහන්සේ එහි තැන්පත් කරන ලදි. මෙම දළදා පූජාවන් පිළිබඳ පස්වැනි සියවසෙහි ලංකාවට වැඩම කළ ‘පාහියන්’ චීන භික්ෂූන් වහන්සේගේ දේශාටන වාර්තාවල ද සඳහන් කර තිබේ.

එකල අභයගිරි විහාරයෙහි භාරකාරත්වයේ පැවති දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂික ව පවත්වන ලද පෙරහර මංගල්‍යයන් පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරන පාහියන් භික්ෂූන් වහන්සේ, දළදා උත්සවය ලක්දිව රජතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව සඳහන් කරති. එසේ ම දේශාටකයකු වශයෙන් මෙරටට වැඩම කළ ‘හිය්‍යුංසියෑං’ නමැති චීන භික්ෂුව ද දළදා වහන්සේට කරන ලද පූජාවන් පිළිබඳ වාර්තා සටහන් කොට ඇත. දළදා මැඳුර රජ මාළිගය ආසන්නයෙහි ම ඉදි කර තිබූ බව උන් වහන්සේ සඳහන් කරති.

ලක්දිවට දළදා වහන්සේ වැඩමවීමෙන් බලවත් සතුටට පත් රජතුමා නව ලක්ෂයක් වැය කොට, දළදා වහන්සේ වෙනුවෙන් පෙරහර පවත්වා, එපමණකින් නොනැවතී වසරක් පාසා දළදා වහන්සේ අභයගිරියට වැඩම කරවූ අතර අනාගතයෙහි ද මෙබඳු පූජාවන් පවත්වන ලෙස රාජ නියෝග ද පැනවූ බව සඳහන් වෙයි. මෙම රාජ නියෝගය පිළිගත් පසුකාලීන රජවරුන් ද දළදා වහන්සේ සඳහා විවිධ පුද පෙරහර පවත්වමින් තම මාළිගාවන් අසල ම දළදා වහන්සේ වඩා-හිඳුවාගෙන ගරු-බුහුමන් දැක්වූ බව පෙනෙයි. දළදා වහන්සේ වනාහි රටෙහි සෞභාග්‍යයේ සංකේතය ලෙසින් ද, පාලකයන්ගේ ධාර්මිකත්වය පිළිබඳ සංකේතයක් ලෙසින් ද, රාජ්‍යයෙහි උරුමය පිළිබඳ සංකේතයක් ලෙසින් ද ලක්-වැසියන් අතර පිළිගැනීමට ලක් විය. ඒ නිසා ම රජවරු මෙන් ම භික්ෂූන් වහන්සේ ද, රට වැසියෝ ද මහත් බැතියෙන් යුතු ව දළදා වහන්සේ ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ හ.

‘මහාවංසය’ වැනි සාහිත්‍ය මූලාශ්‍රයවල සඳහන් පරිදි අතීතයේ ලක් රජය කරවූ නරවිරුවන් දළදා වහන්සේ වෙනුවෙන් විවිධ පුද-පූජාවන් සිදු කළේ ජීවමාන බුදු හිමියන් වෙත දක්වන සැලකිල්ලක් වශයෙන් බව පෙනෙයි. අනුරාධපුර යුගයෙහි – එනම් ක්‍රි.ව. 455–475 රජ කළ ධාතුසේන රජතුමා දළදා මාළිගාව ප්‍රතිසංස්කරණය කර, දළදා වහන්සේ වඩාහිඳුවීම පිණිස ස්වර්ණමය කරඬුවක් ද පූජා කළේ ය. ක්‍රි.ව. 571 – 604 රජ කළ පළමුවැනි අග්‍රබෝධි රජතුමා දළදා මාළිගාව මැණික් ගල්වලින් අලංකාරවත් කර ස්වර්ණමය කරඬුවක් දළදා වහන්සේට පූජා කළේ ය. ක්‍රි.ව. 618 – 623 රජ කළ තුන්වැනි මුගලන් රජතුමා විශේෂ දළදා පූජාවක් කළ කළ බව සඳහන් වෙයි. එසේ ම ක්‍රි.ව. 643 – 650 රජ කළ දාඨෝපතිස්ස රජතුමා ක්‍රි.ව. 853 – 887 රජ කළ දෙවැනි සේන රජතුමා, ක්‍රි.ව. 954 – 956 රජ කළ හතරවැනි මිහිඳු රජතුමා වැනි රජවරුන් දළදා වහන්සේ කෙරෙහි ඉමහත් බැතියෙන් කළ පූජාවන් පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයවල සඳහන් වෙයි.

පුරාතන සෙල්ලිපිවල ද දළදා වහන්සේ වෙනුවෙන් කරන ලද පුද-පූජාවන් ගැන සඳහන් වෙයි. හතර වන මිහිඳු රජතුමා විසින් කරවන ලද සෙල්ලිපි දෙකක ද අනුරාධපුර ලිපියක ද, අභයගිරි ලිපියෙහි ද දළදා පූජාවන් පිළිබඳ ව සඳහන් වෙයි. දළදා වහන්සේ වෙනුවෙන් කරඬුවක් නිර්මාණය කර, මහා නැවක ආකාරයෙන් මාළිගාවක් ද ඉදි කළ බව එහි සඳහන් වේ. අනුරපුර යුගයෙහි අවසාන භාගයේ දකුණු ඉන්දීය ආක්‍රමණත් සමග ම දළදා වහන්සේ රෝහණ ජනපදයෙහි සඟවනු ලැබී ය. අනතුරු ව පළමුවන විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වීමත් සමග පොලොන්නරුව රාජධානියට වැඩමවාගෙන ගොස් ඇත. පළමුවැනි විජයබාහු (ක්‍රි.ව 1070 – 1110) රජතුමා විසින් පොලොන්නරුවේ ‘අටදාගේ’ නමින් නව මන්දිරයක් ඉදි කොට වැඩි ආරක්ෂාව සඳහා ‘වේලක්කාර’ හමුදාවට භාර දුන් බව පොලොන්නරු පුවරු ලිපියෙහි සඳහන් වේ. රජතුමාගේ නියමය පරිදි නුවරගල් සෙන්පතිතුමන් විසින් මෙම මාළිගාව ගොඩනගන්නට යෙදුණි.

පළමුවන විජයබාහු රජතුමාගෙන් පසු ඇති වන පාලන ව්‍යාකුලත්වය යටතෙහි දළදා වහන්සේ යළි රුහුණට වැඩමවනු ලබයි. මෙවර රුහුණෙහි ගල්බැද්ද උදුන්දොර නම් ස්ථානයෙහි තැන්පත් කර දළදාව ආරක්ෂා කරන්නට යෙදුණි. අනතුරු ව දළදා වහන්සේ රුහුණෙහි ප්‍රාදේශික පාලකයන්ගේ භාරකාරත්වය යටතට පත් විය. එහි ප්‍රාදේශික පාලකයකු වූ මානාභරණ කුමාරයාගේ මෑණියන් වූ සුගලා බිසවගේ භාරකාරත්වය යටතෙහි පැවතිණ. පසු ව රජරට පාලකයා වූ පරාක්‍රමබාහු දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් ලබාගැනීමේ අරමුණෙන් රක්ඛ සෙන්පති ලවා රුහුණ ආක්‍රමණය කරවී ය. එහි දී සුගලා බිසව දළදාව රැගෙන උරුවේලාවට පලා යන්නී ය. උරුවේලාවෙහි උදුන්දොර අමරගිරියෙහි දළදා වහන්සේ සඟවා තැබූ බව ‘දළදාපූජාවලියෙහි’ සඳහන් වෙයි.

පසු ව පරාක්‍රමබාහු රජතුමා රක්ඛ සහ භූත යන සෙන්පතිවරුන් යටතෙහි නැගෙනහිර දිසාවෙන් ද බළ සේනා පිටත් කර සුගලා බිසවගේ සේනාව පරාජය කර, දළදාව අත්පත් කරගත්තේ ය. ඉන් පසු අංජන කම්මනාථ භාරයේ මහා පෙරහරකින් රුහුණෙහි සිට පොලොන්නරුව දක්වා වැඩමවාගෙන පැමිණි දළදාව වටිනා මැණික්වලින් සරසන ලද සුවඳ සුනු ගල්වන ලද මනහර ව ගොඩනංවන ලද ධාතුඝරයක තැන්පත් කරන ලදි. එසේ ම ‘මහින්ද’ නමැති අමාත්‍යවරයකු විසින් කරවන ලද විජයෝත්පාය නමැති මාළිගාවෙහි වඩාහිඳුවා පුද-පූජා පැවැත්වූ බව සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජ දවසෙහි දළදා වහන්සේ වෙනුවෙන් මාළිගා තුනක් ඉදි කළ බව සඳහන් වෙයි.

පොලොන්නරුවෙහි නිශ්ශංකමල්ල රජතුමා විසින් දළදා වහන්සේ වෙනුවෙන් ‘හැටදාගෙය’ නමින් ශිලාමය මණ්ඩපයක් ඉදි කරන ලදි. එසේ ම ‘නිශ්ශංක ලතාමණ්ඩපයට’ දළදා වහන්සේ වැඩමවා දළදා ප්‍රදර්ශන පැවැත්වූ බව සඳහන් වේ. එම රජතුමන් දළදා වහන්සේට කොතෙක් ගෞරව දැක්වී ද යත්: තමන්ගේ ‘වීරබාහු’ නම් පුතණුවන් සහ ‘සර්වාංග සුන්දරී’ නම් දියණිය ද දළදා වහන්සේට පූජා කළ බවත් ඔවුන් දෙදෙනා මුදාගැනීම සඳහා ස්වර්ණමය දාගබක් බඳවන ලද බවත් සඳහන් ව ඇත. මෙම යුගයෙන් පසු දුර්වල පාලකයන් නිසාත්, කාලිංග මාඝගේ ආක්‍රමණය නිසාත් දළදාව ;පාලොන්නරුවෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමට සිදු විය.

පරාක්‍රමපණ්ඩු නම් රජු යටතෙහි තිබූ දළදාව වාචිස්සර නම් භික්ෂුව විසින් කොත්මලේ ප්‍රදේශයේ සඟවා තබා, පසු ව ඉන්දියාවට පලා ගිය බව සඳහන් වේ. කොත්මලේ කිසියම් ස්ථානයක සඟවා තබා චෝල සහ පාණ්ඩ්‍ය දේශවලට භික්ෂූන් වහන්සේලා පලා ගිය බව පූජාවලිය සහ චූලවංසය පවසයි. මෙසේ පරිහානියට පත් වූ පොලොන්නරු රාජධානිය යළි මලය රටින් බිහි වූ තුන්වැනි විජබාහු (ක්‍රි.ව. 1232-1236) කුමාරයා විසින් බේරාගනු ලැබූ අතර, දඹදෙණිය අගනගරය කරගැනිණි. එවක කොත්මලේ ප්‍රදේශයේ සඟවා තිබූ දළදාව දඹදෙණි රාජධානියට වැඩමවා බෙලිගල පර්වතයෙහි මනහර මැඳුරක් කරවා ඒ ආශි‍්‍රත නෙක විසිතුරු මණ්ඩපාදිය ඉදි කර සංඝාරාමයක් ද කරවා ධාතු ඝරය තුළ උත්සවාකාරයෙන් දළදාව තැන්පත් කැරිණි. දළදාව සහ පාත්‍රාදාව සුරකිනු වස් රජ මාළිගය රැකවල් කරන අයුරින් රැකවල් කරනු පිණිස ආරක්ෂක හමුදාවක් ද යෙදවිණි.

තුන්වැනි විජයබාහු රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් වන්නේ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236 – 1270) රජතුමා ය. ඔහුගේ මාළිගාව අසල තෙමහල් මන්දිරයක දළදාව තැන්පත් කළේ ය. ඔහු මහා සංඝයා මධ්‍යයේ දළදාව සිය හස්තයට ගෙන සත්‍ය ක්‍රියාවක් කළ පසු ක්ෂණයකින් දළදා වහන්සේ රජුගේ අතින් නික්ම ෂඩ්වර්ණ බුදු රැස් විහිදුවා බුදු රජාණන් වහන්සේගේ රුව මැවී, සියලු නගරය ම ඒකාලෝක විය. එසේ ප්‍රාතිහාර්ය පා නැවතත් රජුගේ හස්තයට ම වැඩි සේක. රජතුමා ද නගරවාසීහු භික්ෂූහු ද සාදුකාර පැවැත්වූ හ. සතුටට පත් දෙවන පරාක්‍රමබාහු රජතුමා තම ඔටුන්න ඇතුළු සිව් සැට ආභරණ දළදා වහන්සේට පූජා කළේ ය. ඉන් පසු දළදාව රන් කරඬුවක දමා දළදා මාළිගයේ තැන්පත් කළේ ය. අනතුරු ව ලක් රජය කරවන ලද විවිධ රජවරුන් ඉමහත් ගෞරවයෙන් විවිධ පූජාවන් සිදු කළ බව සඳහන් වේ. හතරවැනි විජයබාහු (ක්‍රි.ව. 1270-1277) පොලොන්නරු රාජධානියට දළදාව වැඩමවා අටදාගෙයි තැන්පත් කරවී ය. පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1277 – 1284) රජතුමා තම රාජධානිය වන යාපහුවට දළදාව වැඩමවා එහි සුන්දරගිරි පර්වතයෙහි ඉදි කරන ලද ශෛලමය මන්දිරයෙහි තැන්පත් කොට, පුද සත්කාර කළේ ය. ඉන් අනතුරු ව ඉන්දියාවෙන් පැමිණි පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෝ දළදාව ඉන්දියාවට රැගෙන යති. තුන්වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1287-1297) රජතුමා ඉන්දියාවට ගොස් සාකච්ඡා කර දළදාව ලබාගත්තේ ය. නැවත පොලොන්නරුවේ අටදාගෙයි තැන්පත් කර පුදපූජා පවත්වන ලදි.

ක්‍රි.ව. 1293-1302 රජ පැමිණි දෙවැනි බුවනෙකබාහු රජු විසින් දළදාව කුරුණෑගල පුරවරයට වැඩමවාගෙන එන ලදි. එහි ඔහු තම මාළිගාව අසල මනරම් මන්දිරයක දළදාව වඩාහිඳුවාගෙන පුදපූජා පැවැත්වී ය. පසු ව රාජ්‍යත්වයට පත් හතරවන පරාක්‍රමබාහු රජු තම මාළිගාව අසල තෙමහල් මන්දිරයක දළදාව වඩා හිඳුවා දළදා වහන්සේට පුදපූජා පැවැත්වූ බවත්, පුදපූජා සඳහා නෛතික ව්‍යවස්ථාවන් තිස් අටක් පැනවූ බවත් සඳහන් වේ. ඉන් පසු ව සිව්වැනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1341 – 1351) රාජධානිය ගම්පොළට ගෙන යෑමත් සමග දළදා වහන්සේ ගම්පොළ ‘නියම්ගම්පාය’ විහාරස්ථානයට වැඩමවූ බව සඳහන් වේ. ගම්පළ වාසය කළ පස්වැනි බුවනෙකබාහු රජු විසින් රිදී හත් දහසකින් කරඬුවක් සකස් කර පූජා කරන ලදි. වීරබාහු රජු ගම්පොළ සිට දළදාව කෝට්ටේ රාජධානියට ගෙන ආ අතර සවැනි පරාක්‍රමබාහු රජ සමය වන විට දළදා වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර අලංකාර තෙමහල් මන්දිරයක වැඩ සිටි බව සැළලිහිණි සන්දේශය වැනි සන්දේශ කාව්‍ය මගින් ද සනාථ වෙයි.

පෘතුගීසි ආක්‍රමණ ඇති වීමත් සමග ම දොන් ජුවන් ධර්මපාල වැනි පෘතුගීසි රූකඩ පාලකයන් ඇති වීම නිසාත්, දළදාවට නිසි පුද සත්කාර නොලැබීම නිසාත් හීපිටියේ දිවෙනරාල විසින් දළදාව සීතාවක රාජධානියට වැඩමවා දෙල්ගමු විහාරයෙහි සඟවා තබන ලද බව සඳහන් වේ. කොනප්පුබණ්ඩාර 1594දී කුසුමාසන දේවිය විවාහ කරගෙන විමලධර්මසූරිය නමින් සෙංකඩගල පුරවරයේ රාජ්‍යත්වයට පත් විය. ඔහු දෙල්ගමුවේ සිට දළදාව මහනුවරට වැඩමවා තම මාළිගය සමීපයේ ම දෙමහල් මන්දිරයක් ඉදි කර එහි වඩාහිඳුවා දින පතා පූජෝපහාර දැක්වී ය.

පොලොන්නරු යුගයේ සිට දෙවියන් උදෙසා ඇසළ පෙරහර පවත්වන ලදි. එම පෙරහර මහනුවර යුගය වන විට දළදාව වෙනුවෙන් කරන පුදපිළිවෙතක් බවට පත් විය. දෙවන විමලධර්මසූරිය රජු මහල් තුනකින් සමන්විත මන්දිරයක් ඉදි කර දළදාවට පුද පූජා පැවැත්වී ය. නරේන්ද්‍රසිංහ රජු, විජයරාජසිංහ රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ආදි රජවරු ඉමහත් බැතියෙන් දළදාව රැකගැනීමට කටයුතු කළහ. වැලිවිට සංඝරාජයන් වහන්සේගේ උපදෙස් පරිදි මහනුවර ඇසළ පෙරහර පළමුවෙන් ම සංවිධානය කිරීමේ ගෞරවය හිමි වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ය. ඉංගී‍්‍රසි පාලකයන්ගෙන් දළදා වහන්සේට නිසි සැලකිලි නොලැබෙන බව දුටු වාරියපොළ සුමංගල හිමියන් දළදාව රැගෙන දඹුලු කැලෑවෙහි සැඟවී සිටි බව ප්‍රකට කරුණකි.

දළදාව ආරක්ෂා කිරීම රටෙහි රජතුමා සතු පරම යුතුකමක් වශයෙන් ජනතාව සැලකී ය. දළදා වහන්සේගේ තේවා කටයුතුවල දී රජතුමා මූලිකත්වය ගත්ත ද 1814 දී කපුවත්තේ අදිකාරම් දියවඩන නිලමේ බවට පත් වූ තැන් සිට දළදා වහන්සේගේ ප්‍රධාන ගිහි භාරකරු වන්නේ දියවඩන නිලමේවරයා ය.

උපුටාගැනීම – http://www.namaskara.lk/?sid=article&dt=2014%2F07&id=2014%2F07%2Fnpg35_0

දිවි දෙවැනිකොට දළදා හිමි රැකගත් වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි ...
වෙසඟේ පුදදුන් දළදා සිරිත ...
IFBC Home Page