ථූපාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ ( The thuparama Stupa) - IFBC Organization | Dhamma

මහින්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතුන් නිධන් කළ චෛත්‍යයක අවශ්‍යතාව දේවානම් පියතිස්ස රජුට පෙන්වා දුන්හ. ඒ අනුව රජුගේ ඉල්ලීම පරිදි ඉන්දියාවට වැඩම කළ සුමන සාමණේරයෝ අශෝක අධිරජයා හමුව බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ද තවත් ධාතුන් වහන්සේලා ද ලබා ගෙන ලක්දිවට සැපත් වූහ. රජතුමා අකු ධාතුන් වහන්සේ මංගල හස්තියා පිට මහ පෙරහරින් වැඩමවාගෙන යද්දී හස්තියා එක තැනක නතර වී නොසෙල් වී සිටියේය. මහින්ද ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් මත අභය වැවෙන් පස් ගෙන්වා එතැන ඇතාගේ උසට සෑයක් බැඳි රජතෙමේ ඇතු පිටින් ධාතුන් වහන්සේ වැඩමවා එහි නිධන් කොට ලක්දිව ප්‍රථම ස්තූපය සෑදවීය. වර්තමාන ථූපාරාමය එයයි. ස්ථූප හා ආරාම සංකීර්ණය එක්ව පිහිටා තිබීම නිසා ථූපාරාම නාමය ව්‍යාවහාර වූ බවට ද මතයකි. දැනුදු නටබුන් සහිතව අක්කර 3 ½ ක පමණ ප්‍රදේශයක් වසා පැතිර ඇති ථූපාරාම භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයකි. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ඉදි වූ ප්‍රථම ථූපය ථූපාරාමය වීම එහි ඇති විශේෂත්වයයි. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119-109) ස්ථූපයට ශෛලමය කඤ්චුකයක් පුද කළ අතර වසභ රජු (ක්‍රි. ව. 66-110) වටදාගෙය සාදා දුන්නේය. ධාතුසේන රජු මෙන්ම දෙවන අග්‍රබෝධි රජු ද ථූපයෙහි අලුත්වැඩියා කටයුතු සඳහා උර දී කටයුතු කළ රජවරුන් දෙදෙනෙකි. පළමුවන දාඨෝපතිස්ස රජු හේවායින්ට මුදල් ගෙවීමට නොහැකිව සිටියේය.

ඔහු ඒ සඳහා කළේ ථූපාරාමයෙහි ධාතු ගර්භය බිඳීමය. එසේ වුව (ක්‍රි. ව. 650-659) අතර රජ කළ දෙවන කාශ්‍යප රජු ස්ථූපය නැවත ප්‍රකෘතිමත් කළේය. මේ අයුරින් මානවම්ම, දෙවන මිහිඳු, දෙවන දප්පුල, දෙවන සේන, දෙවන උදය, සිව්වන මහින්ද ආදී රජවරුන් ද ථූපය පිළිසකර කරමින් ද, අලුත් අංග එක් කරමින් ද මහත් සේවාවන් කළ බව අමතක නොකළ යුතුය. දෙවන දප්පුල රජුගේ කාලයේ දී මෙහි පැමිණි පාණ්ඩ්‍යයන් විසින් ථූපාරාමය මංකොල්ල කන ලද අතර දහවන සියවස අවසානයේ දී මෙහි ආ සොළීහු සමස්ථ විහාරයම කොල්ල කෑහ. එසේ වුවද භාග්‍යයකට මෙන් දොලොස්වන සියවසේ රජකම් කළ මහා පරාක්‍රමබාහු නරපතියා එය නැවතත් යථා තත්වයට ගෙන ආවේය. මෙම දා‍ගැබේ මුල් ස්වරූපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ අතර ඉන් පසුව කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය ඝණ්ටාර හැඩයට වෙනස් වූ බව සඳහන්ය. දැනට මෙහි උස අඩි 60කි. විශ්කම්භය අඩි 59 කි. ථූපාරාමය අවට ඇති පෞරාණික වටිනාකමින් යුත් ස්ථාන කිහිපයක් ඇත. රුවන්වැලි සෑයට උතුරු පැත්තට බසවක්කුලමට ආසන්නව ථුපාරාමය පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික පළමු ස්ථූපය සහිත සංඝාරාමය සාමාන්‍යයෙන් ථුපාරාමය යන නමින් හැඳින්වේ. මේ ස්ථානයේ මුලින් තිබුණේ මහේජ යක්ෂයාගේ දේවාලයයි. එය පණ්ඩුකාභය රජු විසින් කරවන ලද්දකි. පසුව දේවානම් පියතිස්ස රජු එහි ථුපාරාමය කරවීය. ස්ථූපය ථුපාරාම ස්ථූපය මුලින් තනන ලද්දේ වී ගොඩක හැඩයෙන් හෙවත් ධාන්‍යාකාර ආකෘතියකටය. ප්‍රමාණයෙන් කුඩා ස්ථූපයක් වු එහි තුළ ඇත්තේ බුදුරදුන්ගේ දකුණු අකු ධාතුවයි. සුමණ සාමණේරයන් වහන්සේ විසින් එය ශක්‍රයා වෙත තිබී ලබා ගෙන ලංකාවට ගෙනවිත් මේ ස්ථූපයේ තැන්පත් කළ බව වාර්තා වෙයි. පසුකාලින සිංහල රජුන් විසින් මේ ස්ථූපය විටින් විට ප්‍රතිසංස්කරණය කරන ලදි. දැනට තිබෙන ස්ථූපය ක්‍රි.ව. 1862 දී ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. මුල් ස්ථූපයේ හැඩය හා ප්‍රමාණය ද වෙනස් වී ඇති බව පෙනේ. දැන් එහි විශ්කම්භය අඩි 59 වන අතර උස අඩි 63 කි. පිහිටි පොළොවේ සිට අඩි 11 ක් අඟල් 2ක් උසට තනන ලද වෘත්තාකාර වේදිකාව මැද ස්ථූපය වෙයි. වසභ රජු විසින් ස්ථූපය මැදි කොට තනවන ලද ථුපඝරයක් විය.

එහි ගල් කණු තවමත් ස්ථූප මළුවේ දක්නට ලැබේ. මෙහි ස්ථූප මළුවට පිවිසිම සදහා කලින් උතුරු හා දකුණු දිසාවලින් පඩි පේළි සහිත දොරටු විය. දැනට නැගෙනහිර පැත්තේ දොරටුවක් වේ. බටහිර පැත්තේ දොරටුව වසා තිබේ. වසභ රජු මෙහි ථුපඝරයේ සිව් බුදුවරුන්ගේ පිළිම තැන්පත් කළ බව වාර්තා වෙයි. ථුපඝරයේ ගල් කුළුණු පේළි හතරකි. එකේ සිට හතර දක්වා පේළිවල ගල් කණු ගණන පිළිවෙලින් 52, 36, 40, 48 වෙයි. මුළු කණු සංඛ්‍යාව 176 කි. කුළුණු පේලි අතර පරතරයද පිළිවෙලින් අඩි 3, 10, 14 හා 14 වෙයි. ථුපාරාමයේ ඉතා පැරණි බුදු පිළිමයක් විය. එය තැන්පත් කර තිබුණේ එළිමහණේ ද? නැතහොත් පිළිම ගෙයක ද? යන්න විස්තර නොවේ. දේවානම් පියතිස්ස රජු විසින් එය කරවන ලදැයි සඳහන් වේ. මෙම පිළිමය 1 වෙනි ජෙට්ඨතිස්ස රජු පාචීනතිස්ස පබ්බත විහාරයට ගෙන ගිය බව වාර්තා වෙයි. පසුව මහසෙන් රජු එය අභයගිරියට ගෙන ගිය බව ද මහාවංස කතුවරයා කියයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවා ගෙන ආ නැවෙහි කොටස් ථුපාරාමය අසළ වු මෙහෙණවරෙහි ගොඩනැගිලි තුනක තැන්පත් කර තිබුණු බව වංශකථාවල සඳහන් වෙයි. ථුපාරාමයෙන් සොයා ගත් මූර්ති අවශේෂ කීපයක් ද වෙයි. හිස සුන් අර්ධ උභයාංශ හිඳි බුදු පිළිමය ඉන් එකකි. මෙය බුදු පිළිමය සම්පුර්ණයෙන් සංවර්ධනයට පත් නොවු වඩාත් පැරණි කාලයකට අයත්ය. එය වසභ රජු ථුපාරාම ථුපඝරයේ තැන්පත් කළ සිව් බුදුවරුන්ගේ පිළිමවලින් එකක් විමට ද ඉඩ තිබේ. ථුපාරාමයෙන් මෙත් බෝසත් හිසක් ලැබිණ. එහි ජටාමකුටයේ ස්ථූප ලකුණ වෙයි. මෙහි ඇස් වලට මැණික් ඇස් අල්ලා තිබුණු බව පෙනේ. මෙහි තිබී හමු වු ලෝකඩ ත්‍රිභංග බෝධිසත්ව රූපය ද මෛත්‍රී බෝධිසත්වයන්ගේ විය හැකිය. එහි මහායාන පිළිමයක් විමටම හොදටම ඉඩ තිබේ. ථුපාරාමය අනුරාධපුර මහ අවාස පහෙන් එකකි. ශ්‍රී ලංකාවේ මුල්ම ඓතිහාසික ස්ථූපය ථුපාරාමයේ ස්ථූපයයි. ස්ථූපය නිසා සංඝාරාමය ථුපාරාම යනුවෙන් නම් කරන ලදී. නැතහොත් එසේ ප්‍රසිද්ධ විය. අනුරාධපුරය් තනවන ලද ප්‍රථම ස්ථූපය වු ථුපාරාමයේ ස්ථූපය කරවන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම් පියතිස්ස රජතුමා විසිනි. ක්‍රි.පු. 3 වෙනි ශතවර්ෂයේ දී බුදු දහම දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවස්ථාවේම තනවන ලද මෙම ස්ථූපය ධන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ බව මහාවංශයෙහි සඳහන් වෙයි. එහි තැන්පත් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි.

කලින් ශක්‍රයා වෙත තිබුණ එය සුමණ සාමණේරයන් වහන්සේ විසින් ථුපාරාම ස්ථූපයේ තැන්පත් කිරීම සඳහා ලබා ගන්නා ලදි. ස්ථූපය පිහිටා ඇත්තේ බුදුන් වහන්සේ තෙවැනි වර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී සුළු වේලාවක් සමාධියෙන් වැඩ හිඳිමෙන් පාරීශුද්ධත්වයට හා පුජනීයත්වයට පත් භුමියේය. ස්ථූපය තැනීමට උපදෙස් දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. රාජානුග්‍රහය ථුපාරාමයේ ස්ථූපය පිහිටි තැන දක්වා අකුධාතුන් වහන්සේ මගුලැතු පිට තබා පෙරහැරින් වැඩමවනු ලැබීය. අභය (බසවක්කුලම) වැවෙන් ගත් පස්වලින් තනන ලද පස්ගොඩ මත ධාතුන් වහන්සේ තබන ලදහ. එම පස්ගොඩ ඇතාගේ උසට විය. මගුලැතු එහි රැඳි සිටිමින් ධාතුන් වහන්සේට ආරක්ෂාව සැලසීය. රජතුමා ගඩොල් තනන්නන්ට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරන ලෙස නියම කෙළේ ය. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදස් පරිදි රජු ස්ථූපය කරවා මුදු‍නෙහි ධාතු ගර්භය දනක් පමණ උසට කරවීය. අනතුරු ඔහු එහි ධාතුන් වහන්සේව තැන්පත් කළේය. මේ අවස්ථාවේ ලොමු දැහැගැන්වෙන භුමිකම්පාවක් වූ බව මහාවංසය කියයි. රජුත් රජ පවුලේ සාමාජිකයොත් අගනා වස්තු පුජා වශයෙන් ධාතුගර්භයෙහි තැන්පත් කළහ. ස්ථූපය කරවීමෙන් පසු දේවානම් පියතිස්ස රජු එය ප්‍රධාන කොට ගෙන සංඝාරාමය ද කරවීය. පසුව ථුපාරාම නමින් ප්‍රකට වූයේ ඒ සංඝාරාමයයි. කුඩා ප්‍රමාණයේ ස්ථූපයක් වන ථුපාරාම ස්ථූපය පිහිටි පො‍ළොවේ සිට උස් වූ ද්විමාලක වෘත්තාකාර වේදිකාවක් මැද වෙයි. වේදිකාව වටා වළාකුල් බැම්මකි. නැගෙනහිරට බරව ස්ථූපමළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව වෙයි. එය මාලක දෙකකින් යුක්තය. තවත් දොරටුවක් බටහිර පැත්තේ වෙයි. ස්ථූපය වටා දක්නට ලැබෙන කුළුනු ථුපඝරයේ අවශේෂ ලෙස හඳුනාගෙන තිබේ. එකිනෙකට උසින් අඩු කුළුනු පේළි හතරක් වෙයි. කුළුනු හිස් සැරසිලි මෝස්තර සහිතය. වේදිකාව මත දැනට දක්නට ලැබෙන ස්ථූපය අන්තිම වරට 1862 දී ප්‍රතිසංස්කරණය කර ති‍බේ. දැන් එය ධාන්‍යාකාර හැඩයෙන් නොව ඝණ්ටාකාර හැඩයෙන් යුක්තයි. ලඤ්ජතිස්ස රජු ස්ථූපයට ගල් කංචුකයක් කරවිය. මෙහි ථුපඝරය කරවන ලද්දේ වසභ රජු විසිනි. ගෝඨාභය රජු ථුපඝරය අළුත්වැඩියා කරවීය. පළමුවැනි උපතිස්ස රජු ස්ථූපයේ කොතට (ථුපඝරයේ කොත විය යුතුයි) රන් තහඩු යෙදවීය. ධාතුසේන රජ එහි අළුත්වැඩියා වැඩ කරවීය. දෙවැනි අග්ගබෝධි රජු ස්ථූපය හා ථුපඝරය මුළුමණින්ම ප්‍රතිසංස්කරණය කරවීය. මානවම්ම රජු ථුපඝරයේ වහළ අළුත්වැඩියා කරවීය. හයවෙනි අග්ගබෝධි රජු ථුපඝරයේ දොර අළුත්වැඩියා කරවා කුළුණු ද මාරු කළේය. දෙවෙනි මහින්ද රජු රන් හා රිදී තහඩුවලින් ථුපයට කඤ්චුකයක් කරවීය. දෙවෙනි දප්පුල රජු ථුපඝරය රන් ගඩොලින් කරවා රන් දොරවල් ද සවි කරවීය. පාණ්ඩයන් විසින් 840 දී ථුපඝරයේ තිබුණු අගනා වස්තු කොල්ල කෑහ. දෙවෙනි සේන රජු රන් කඤ්චුකය අලුත්වැඩියා කරවීය. දෙවැනි උදය රන් හා රිදී පටිවලින් ස්ථූපය සැරසීය, ඊට අමතරව ඔහු ථුපඝරයේ දොරක් සවි කරවීය.

සොළින් විසින් මුළු ථුපාරාමය කොල්ලකන ලදී. පළමුවෙනි පරාක්‍රමබාහු රජු ස්ථූපය හා ථුපඝරය ප්‍රතිසංස්කරණය කරවීය. ථුපාරාම ස්ථූපය අවට ඇති ගොඩනැගිලි ගැන මහාවංශයේ සඳහන් වෙයි. භාතිකාභය රජු උපෝසථාගාරය කරවීය. ආමණ්ඩගාමණි අභය රජු මැද මිදුලක් ද, මුඛමණ්ඩපයක් ද මැණික්වලින් සැරසු මණ්ඩපයක් ද කරවීය. භාතිකතිස්ස, ගෝඨාභය, දෙවැනි අග්ගබෝධි. දෙවෙනි මහින්ද රජවරු උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කරවුහ. ථුපාරාමයට නැගෙනහිරින් චිත්‍ර ශාලාවක් විය. සංඝමිත්තා ‍චේතිය හා පාදලාංඤ්ඡන චේතියද ඒ ප්‍රදේශයේම වෙයි. ථුපාරාම ස්ථූපය අසලින්ම ඇත්තේ පාදලාංඤ්ඡන චේතියයි. ථුපාරාමයට නැගෙනහිරින් කරවන ලද දීඝ හෙවත් සිලා ස්ථූපයක් ගැන ද වාර්තා වෙයි. මානවම්ම රජු පාංසුකුලීකයන් සඳහා ප්‍රාසාදයක් කරවීය. දෙවැනි උදය රජු ද ථුපාරාමයේ ප්‍රාසාදයක් කරවිය. හතරවෙනි කස්සප රජුගේ සෙන්පතියා ථුපාරාම ස්ථූපයට බටහිර පැත්තේ ආවාසයක් කරවීය. හතරවෙනි කස්සප රජුගේ ශිලා ලිපියක ථුපාරාමයේ ආරෝග්‍ය ශාලාව ගැන සඳහන් වෙයි. හතරවෙනි දප්පුල රජුගේ සේනාපති රක්ඛක ඉලංග දප්පුල නිවාසය කරවීය. ථුපාරාමයට නැගෙනහිරින් නාන පොකුණක් සමග අලංකාර පිරිවෙණක් කරවූයේ හතරවෙනි මහින්දගේ බිසව විසිනි, ලීලාවති රැජින විසින් කරවූ දාන ශාලාව ස්ථූපයට නැගෙනහිරින් විය. ගෝඨාභය රජු දවස සංඝපාල පිරිවෙන විය. පාදලාංඤ්ඡනය අසළ භික්ෂුණින් සඳහා ගොඩනැගිල්ලක් කරවූයේ හතරවෙනි කස්සප රජු දවස ය. සොළින් විසින් ගිනිබත් කරන ලද ස්ථූප හතරට සම්බන්ධ විහාර හතර හතරවෙනි මහින්ද රජු විසින් ප්‍රතිසංස්කරණනය කරන ලදි. ථුපාරාම ස්ථූපයේ නැගෙනහිර දොරටුව ළඟ ඇති තනිගලින් කරන ලද විශාල ටැංකිය පා සේදිමට හා මල් නෑවීමට ජලය ගැනීම සඳහා භාවිතා කරන ලද්දකි. එයට ආසන්නව ඇති ළිඳ එක්කෝ තෙල් එක් රැස්කර තිබූවකි. නැතිනම් බීමට ජලය ලබාගත් ළිද විය හැකිය.

ළිදට යාබද ව ඇත්තේ පිළිම ගෙයයි. එය දළඳා මාළිගාව යනුවෙන් වරදවා හඳුන්වා තිබේ. චතුබුද්ධ පටිමා ථුපාරාම ථුපඝරයේ ස්තුපය වටා පර්යංකාසන මත චතුබුද්ධ පටිමා තැන්පත් කරවුයේ දෙවැනි අග්ගබෝධි රජු විසිනි. මෙහි සඳහන් චතුබුද්ධ හෙවත් බුදුවරුන් හතර නම මේ භද්‍ර කල්පයෙහි දැනට බුදු වු කකුසඳ, කෝණාගමන, කස්සප හා ගෞතම යන බුදුවරුය. ථෙරවාද අදහසක් ලෙස මෙය හැඳින්විය හැකිය. ක්‍රි.පු.2 වැනි ශතවර්ෂයේ දී දුටුගැමුණු රජු රුවන්වැලිසෑයේ ධාතුගර්භයේ මැද බෝධි වෘක්ෂයක් තනා එය වටා ආසන හතරක් කරවා ඉන් එක් ආසනයක් මත රන් හිඳි බුදු පිළිමයක් තැබ්බවීය. එය රියන් දොළහක් (අඩි 24 ක්) උසය. බුරුම රටේ ද චතුබුද්ධ පටිමා වන්දනාව තිබේ. ථුපඝරවල චතුබුද්ධ තේමාව වටදාගෙවල්වල මහායානා පංචධ්‍යානී බුද්ධ තේමාව සමග පටලවා ගැනීමට හොඳටම ඉඩ තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන එසේ පටලවා ගෙන තිබේ. ථුපාරාම ථුපඝරය මුළින් තිබුණ ආකාරය අනුමාන වශයෙන් දක්වන සැළැස්මක් සෙනරත් පරණවිතාන විසින් පිළියෙළ කරවා අනුරාධපුර කෞතුකාගාරයේ තබා ඇත.

උපුටා ගැනීම – http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=70&lang=si

රාගයේ විපාක කියදෙන සෝරෙය්‍ය මහරහතන්වහන්සේ .......
අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ( The abayagiri Stupa )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.