ජීවිතයම අමාවක් කරන මෙත් සිත ... - IFBC Organization | Dhamma

Posted by | September 04, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

මෙය මහ පිරිතට අයත් තුන් සූත්‍රයන් ගෙන් අවසන් සූත්‍රය ලෙස ගැනේ. රතන සූත්‍රය සේම කරණීය‍ෙමත්ත සූත්‍රය අමනුෂ්‍ය බලපෑමක් පදනම් කොට දේශනා කරන ලද්දකි.

බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ විසූ එක්තරා කාලයක සංඝ ශාසනයේ පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් බුදුන් වෙතින් කමටහන් ලබා හිමාල වනයට ගොස් වස් විසීය. මෙම වනයේ ජීවත් වූ වෘක්ෂ දේවතාවෝ මෙම භික්ෂූන් වහන්සේලා මෙහි වස් විසීම ඔවුන්ගේ නිදහසට බාධාවක් ලෙස සැලකීය. එනිසා මෙම භික්ෂූන් බිය ගන්වා පලවා ගත යුතුයැයි සිතූ මෙම වෘක්ෂ දේවතාවෝ විවිධ බිය ජනක වෙස් ගෙන භික්ෂූන් ඉදිරියේ පෙනී සිටියහ.

මෙයින් භික්ෂූන් වහන්සේලා බිය පත් වූහ. සිරුරු මැලවුණු ස්වභාවයක් ගත්තේය. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. මේ නිසා මේ භික්ෂූන් වහන්සේලා එකතු සංඝස්ථවිරයන් වහන්සේ හමු වී තමන්ට ඇති මෙම අපහසුතාවය සැළකර සිටියහ. සංඝස්ථවිරයන් වහන්සේද භික්ෂූන් කැටුව බුදුන් වහන්සේ හමුවී වස් විසීමට වෙනත් සේනාසනයක් ඉල්ලා සිටි සේක. බුදුන් වහන්සේ කරුණු විමසා බලා “මහණෙනි සේනාසනය මාරු කිරීමට අවශ්‍ය නැත. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න……..මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න….. මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි” අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක.

‘කරණීය මත්ථ කුසලේන යංතං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජු ච සුජු ච සුවචො චස්ස මුදු අනතිමානි සන්තුස්සකොච සුභරො ච අප්ප කිච්චො ච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝ ච නිපකො ච අප්පගබ්භො කුලේසු අනනුගිද්ධො නච ඛුද්ධං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං සුඛිනොවා ඛේමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’

ශාන්ත පදය යි කියන නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට උත්සාහවත් අත්ථ කුසල යන නම ලබන පුද්ගලයකු විසින් කළ යුතු දේ කවරේ දැ යි කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ව තිබේ. අත්ථ කුසල යන නම යම් පුද්ගලයකුට යෙදිය හැකිනම් ඔහු සැබෑ බෞද්ධයෙකි. එම පුද්ගලයාගේ ස්වභාවය වන්නේ නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන කුසල් දහම්හි නිරතවීම යි. දානා දී පින්කම්වල නිරත වන නිර්වාණගාමී පුද්ගලයකු තුළ තිබිය යුතු සුවිශේෂී ලක්ෂණය ලෙස මෙම සූත්‍රය පෙන්වා දෙන්නේ මෛත්‍රී සහගත වීමයි. මෛත්‍රීය නැතහොත් මෙත්තා ගුණය සරලව හඳුන්වා දුනහොත් ජාති, කුල ගෝත්‍ර හෝ කලු, සුදු හා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආදී වශයෙන් බෙදීමකට ලක් නොකොට එක ලෙසින් සැමට පැතිරවිය හැකි මිතුරුකම යි. යහළුකම යි. මෙම මිතුරුකම යහළුකම බෞද්ධයා තුළින් ප්‍රකටවන විට එහි තවත් සුවිශේෂ ලක්ෂණයක් දක්නට ලැබෙයි. එනම් මෙම මිතුරුකම යහළුකම ඉතා කුඩා තිරිසන්ගත සත්වයාගේ සිට විශාලතම සත්වයා දක්වාත්, පරිසරයේ ඇති අනෙකුත් ගස් වැල් ආදිය දක්වාත් පැතිරවීමට ඔහු සමත්ව සිටීම යි. එබඳු මිතුරුකමක් හා යහළුකමක් පිළිබඳ අවබෝධයක් ඔහුට ලැබී ඇත්තේ බුද්ධ භාෂිතය තුළ ඇති මෙවැනි සූත්‍ර ධර්ම පරිශීලනය කිරීමට අවස්ථාව ලැබී තිබෙන හෙයිනි. මෛත්‍රීය හෙවත් මිතුරුකමේ ඇති අගය ඉතා ඉහළින් පෙන්වා දෙන මෙම සූත්‍රය මිතුරුකම ඇති පුද්ගලයකු තුළ තිබිය යුතු තවත් කරුණු සමුදායක් ඉදිරිපත් කරයි. එම කරුණු වලින් මෙම සූත්‍රය අවධාරණය කරන්නේ ලක්ෂණ ප්‍රකට වන මෛත්‍රී සහගත පුද්ගලයා සැබෑ බෞද්ධයකු වන බව යි.
එම ලක්ෂණ පෙන්වා දෙන කරණීය මෙත්ත සූත්‍රය පළමු කරුණ ලෙස දක්වන්නේ ‘සක්කො’ යන්නයි. සැබෑ බෞද්ධයකු නම් ඔහුට බොහෝ දේ කිරීමට හැකියාව තිබිය යුතුය. සක්කො යන්නෙන් පෙන්වා දෙන්නේ එයයි. එදිනෙදා ජීවිතයේ දී පුද්ගලයාට මුහුණ දීමට සිදුවන යම් අභියෝගයක් හමුවේ එම අභියෝගයට මුහුණදීමට ඔහුට ඇති හැකියාව සක්කො යන්නයි. ඇතැම් විටෙක තම බිරිය ඇගේ ස්වාමිපුරුෂයා ලෙඩ වූ විටක තේ කෝප්පයක් හෝ බතක් ව්‍යාඤ්ජනයක් පිළියෙළ කර ගැනීමට ඇති හැකියාව දක්වා මෙම සක්කෝ යන්න අර්ථවත් වෙයි. එපමණක් නොව අඩුම තරමින් තම තමන්ගේ මූලික කටයුතු පිළිවෙළට කර ගැනීමට සෑම අයකුටම තිබිය යුතු හැකියාව මෙයින් කියැවේ. එම හැකියාව යම් පුද්ගලයකුට තිබෙයිනම් ඔහු ඉදිරියට පැමිණෙන කවර අභියෝගයක දී වුවත් ශක්ති සම්පන්නව ඊට මුහුණදීමට හැකියාව සැලසෙනු ඇත.

‘උජු’ යන්න ද බෞද්ධයා හඳුනා ගැනීමට ඇති ලක්ෂණයකි. ඇතැම් තැනක මෙය අපැහැදිලිව විස්තර වී තිබෙනු දක්නට ලැබෙයි. එහෙත් උජු යන්නෙ හි සැබෑ අරුත නම් පුද්ගලයාගේ කය හා වචනය යන දොරටු දෙකින් සිදුවන වැරදි වලින් වෙන්ව වාසය කිරීම යි. උජු ගුණය ඇති පුද්ගලයා කයින් සිදුවන සතුන්මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය හා වචනය මුල් වී සිදුවන බොරුකීම, කේළාම් කීම, පරුෂවචන කීම හා හිස් වචන කීම යන වැරැදි සිදුනොවන නිසා ඔහුට සමාජය තුළ කෙළින් සිටීමට හැකියාව උදා වනු ඇත. එඑවැනි මිනිසකුට කෙලින් මිනිසකු යැයි කීම සුදුසු වෙයි. සීලවන්තයා ය යන හැඳින්වීම ද ඔහුට සුදුසුය. කය වචනය දෙක සංවර කරගත් අයකු වෙයි නම් ඔහුට කිසිවිටකත් කවරෙකු ඉදිරියේදීවත් සැලීමට සිදු නොවෙයි. තමන් නිවැරැදි බව තම හදවතට දැනෙන හෙයිනි.

‘සුජු’ යනු පුද්ගලයා තුළ ඇතිවන්නා වූ මනා සෘජු භාවය යි. යම් පුද්ගලයෙක් ඉතාම හොඳින් සෘජු වන්නේ ඔහුගේ සිතින්වන අකුසල ධර්මයන්ගෙන් ද වෙන්ව වාසය කළවිට පමණි. පුද්ගල සිතේ ඇතිවන අභිධ්‍යාව හෙවත් විෂම ලෝභයෙන් යුතුව, සියල්ල තමන්ටම ලැබේවා යි සිතීම ව්‍යාපාදය හෙවත් අණ්‍යයන් නැසේවායි සිතේ ඇතිවන ද්වේෂය හෙවත් තරහ සිතිවිලිවලින් යුක්තව කල්ගත කිරීම, මිථ්‍යාදෘෂ්ටිය හෙවත් මෙලොව හා පරලොව කියා දෙයක් නැත. කළ කී දේ විපාක නැත. පින් හා පව් කියා දෙයක් නැත. ආදි වශයෙන් දසවිධ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම වෙනුවට යමෙක් අලෝභය හෙවත් පරිත්‍යාග සිතිවිල්ල, අද්වේශය හෙවත් මිතුරුකම හා සම්‍යක් දෘෂ්ටිය සිතෙහි ඇතිකර ගනියි නම් එවැනි පුද්ගලයා සැබවින්ම සෘජු පුද්ගලයකු වෙයි. එසේ සම්පූර්ණයෙන්ම සෘජු බවට යමෙක් පත්වන්නේ ඔහු දසවිධ අකුසල කර්මයන්ගෙන් වෙන්ව වාසය කරන්නේනම් පමණි.

‘සුවච’ යනු පුද්ගලයා තුළ තිබිය යුතු කීකරුකමයි. සතා සිව්පාවුන් පවා ඇතැම් පුද්ගලයන්ට අසීමිත කීකරුකමක් දක්වයි. සතුන් තුළ පවා එබඳු කීකරුකමක් තිබෙන නිසාම නොවුනත් මිනිස් සමාජය තුළ ජීවත්වන පුද්ගලයාට නිරන්තරයෙන් වෙනත් පුද්ගලයකුට කීකරුවීමට සිදුවනු ඇත. එසේ කීකරුවීම එම පුද්ගලයාගේ ශීලාචාරකම පෙන්නුම් කරන සාධකයක් වෙයි. ඇතැම් විටක දැන උගත්කමින් යුක්ත වයසින් වැඩි පුද්ගලයෙකුට ලාබාල වයසේ දරුවකුට වුවද කීකරු වීමට සිදුවිය හැකිය. එසේ වුවහොත් එබඳු දරුවකුගේ බසට වුවද කීකරුවීම සැබෑ බෞද්ධයාගේ ලක්ෂණය යි. බෞද්ධ සාහිත්‍යයේ එන සැරියුත් තෙරුන්ගේ හා සාමනේර හිමියන්ගේ කතා පුවත මෙයට හොඳ උදාහරණයකි.

‘මුදු’ යන වචනයේ අදහස මෘදු යන්නයි. පුද්ගයකු විසින් කළ යුතු යම් වතාවතක් වෙයි නම් එම වතාවත් පිළිබඳව උදාසීන බවක් නොදක්වා ඉටුකිරීම එහි පැහැදිලි අදහසයි. මිනිසුන් අතර විවිධ තරාතිරමේ මිනිසුන් සිටින නමුත් ඒ ඒ පුද්ගලයා විසින් කළයුතු කටයුතු අනෙකකු විසින් ඉටුකර දෙනතක් බලා නොසිට ඉටුකිරීම බෞද්ධයකු තුළ ඇති විශිෂ්ඨ ලක්ෂණය යි.

‘අනතිමානී’ යනු අති මානයෙන් යුක්ත නොවීමයි. මානය හෙවත් මැනීම රහත් ඵලයට පත්වනතුරු නැති නොවන තත්ත්වයකි. එය සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන යනුවෙන් තෙවදෑරුම්ව පුද්ගලයා තුළ ඇති වුවත් මෙහි දී අවධාරණය කරන්නේ අතිමානයෙන් යුක්තවීමෙන් වැළකීම, බෞද්ධකමේ ලක්ෂණයක් වන බවයි.

‘සන්තුස්සකොච’ ලද දෙයින් සතුටුවීම බෞද්ධයකු තුළ තිබිය යුතු විශිෂ්ඨ ගුණයකි. අන්සතු වස්තුන් දෙස බලමින් සුසුම් ලෑම හෝ අන් අයට අවශ්‍ය පරිදි ජීවිත්වීම හෝ සැබෑ බෞද්ධකම නොවේ. ගින්න කොපමණ දර දැමුවත් සතුටු නොවන්නා සේ ද මහ මුහුද කොපමණ ජලය ගලා ආව ද සතුටු නොවන්නා සේ ද ඇතැම් පුද්ගලයෝ ලද සම්පත්වලින් සතුටු නොවෙති. එවැනි පුද්ගලයන්ට සිදුවන්නේ සදාකාලිකවම අතෘප්තිකර වූ ජීවිතයක් ගත කිරීමට යි. එය සැබෑ බෞද්ධකමේ ලක්ෂණයක් නම් නොවනු ඇත.

‘සුභරොච’ යනු පෝෂණය කිරීමට පහසු පුද්ගලයකු විය යුතු බව යි. සමාජයේ සිටින සෑම පුද්ගල කණ්ඩායමකම සිටින ඇතැම් පුද්ගලයන් කවර අයුරකින් හෝ සතුටු කළ නොහැකි ය. ඔවුන්ගේ ලක්ෂණය නම් තමන්ට ලැබෙන ලැබීම් තුළ කුමන හෝ අඩුවක් දකිමින් එය විවේචනය ඛ්ලමයි. ලද ආහාරය තුළ විවිධ අඩුපාඩු දකියි. ඇඳුම් පැළඳුම්වල ඇති දුබලතා දකියි. මෙසේ සියල්ලෙහිම දුබලතා දකින දරුවන්, මවුපියන්, ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරුන් කොතෙකුත් සිටිනු දැකිය හැකිය. මෙම ලක්ෂණය ගිහි පැවිදි දෙපිරිස අතරින් ද දැකීම එතරම් අපහසු නොවනු ඇත. ඔවුනොවුන් මත යැපෙන පුද්ගලයා පෝෂණය වීමේ දී දෙවැන්නාට කරදරයක් නොවෙන්නේ නම් එය සැබෑ බෞද්ධයාගේ ලක්ෂණයක්වනු ඇත.

‘අප්පකිච්ච’ යනු කටයුතු ස්වල්පයක පමණක් නිරතවීමයි. සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම ඉටු කළ හැකි සීමිත කටයුතු ප්‍රමාණයක් පවති යි. එය හැඳින නොගෙන අධික තෘෂ්ණාවෙන් යුතුව ගොවිතැන, වෙළඳාම, සත්ව පාලනය ආදී බොහෝ කටයුතු ආරම්භ කිරීමෙන් සිදුවන්නේ එයින් අපේක්ෂිත ප්‍රතිඵල උදාකර ගැනීමට නොහැකිව අසාර්ථක මිනිසකු බවට පත්වීමටයි. පුද්ගලයා උට්ඨාන වීර්යයෙන් හා දැහැමිව කටයුතු කරයි නම් එකම කාර්යයකින් පමණක් වුව ද ඔහුට දියුණුවිය හැකි ය. එසේ දියුණුව කරා පියමන් කරන්නා සැබෑ බෞද්ධයෙකි.

‘සල්ලහුක වුත්ති’ සැහැල්ලු පැවතුම් ඇතිබව ද පුද්ගලයා තුළ පැවතිය යුතු සුවිශේෂ ලක්ෂණයකි. ජීවත්වීම සඳහා අවශ්‍ය කරන මෙවලම් පරිහරණය කරන පුද්ගලයා තුළින් මෙම චාම්බව නිරතුරුව ප්‍රකටවිය යුතුය. ඇඳුම් පැළඳුම්, ආහාරපාන මෙන්ම ඉඳුම්හිටුම් ආදිය වර්තමානයේ ජීවත්වන පුද්ගලයා අධි පරිභෝජනයකට ලක්කරගෙන ඇති නිසා ඔහුට විවිධ රෝගාබාධ වැළඳී ඇති අයුරු දක්නට ලැබෙයි. අතීතයේ නෑසු නානා විධ රෝගී තත්ත්ව අසන්නට ලැබී ඇත්තේ පුද්ගලයා තුළ මෙම සැහැල්ලු ඇවතුම් පැවතුම් වෙනුවට අධි පරිභෝජන රාවකට නැඹුරුව සිටින නිසා බව කවුරුත් පිළිගන්නා පොදු එකඟතාවක් බවට පත්වී ඇත.

‘සන්තින්ද්‍රියෝච’ සන්තින්ද්‍රිය යනු පුද්ගලයා සතුව ඇති ඇස, කණ, නාසය ආදී පසිඳුරන්වල තිබිය යුතු සංයත භාවය යි. බුදුසමය පුද්ගල පසිදුරන්ට ගෝචරවන අරමුණු ගැනීම එකහෙළාම ප්‍රතික්ෂේප නොකරන අතර අවධාරණය කරන්නේ එම අරමුණු කෙරෙහි ඇතිවන බැඳීම පාලනය කරගත යුතු බවයි. ඒ සඳහා දැමුණු ඉන්ද්‍රිය පැවතීම අතිශයින්ම වැදගත් බවත් එය බෞද්ධයකු තුළ පැවතිය යුතු ගුණයක් බවත් පෙන්වා දෙයි.

‘නිපකොච’ නිපක යනු උසස්ම නුවණ යන්න යි. උසස්ම නුවණ යන්නෙන් මෙහි දක්වන්නේ සියලු සංස්කාර ධර්මයන්හි පවත්නා අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය දැකීමට ඇති හැකියාව යි.

ඊලග කොටසින් කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද ඒ සියල්ටම මෙත් වඩයි.

ඊලග කොටස සිය ජීවිතය යහපත් කරගන්නා අයුරු උගැන්වෙයි. කිසිවෙකු නොරවටමින් සියලු සත්වයන්ට යහපත ඇති කරනා ආකාරය කියවෙයි. ඉතින් ඔයාල මේ උත්තම කරණීය මෙත්ත සූත්‍රය කියවල බලල තමන්ගෙ ජීවිතය යහපත් කරගන්න උත්සාහ කරන්න‍.

මෙන්න කරණීය මෙත්ත සූත්‍රයය.

කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි

තේරුම
1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ

ය.සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

තේරුම
2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම
3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

තේරුම
4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම
5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද ඒ සියලුලෝ සුවපත් වෙත්වා.

නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

තේරුම
6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

තේරුම
7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

තේරුම
8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

තේරුම
9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

තේරුම
10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.

කරණීය මෙත්ත සූත්රතය භාවනාවක්. ඇත්තටම උත්තරීතර භාවනාවක්. අනික් සියලු සූත්‍ර නැතත් කරණීය මෙත්ත සූත්‍රය පමණක් පුද්ගලයෙකුට ඇති ජීවිතය යහපත් කරගන්න‍. ඔයාලත් පහත විදිහට භාවනාවක් වගේ මේ සූත්‍රය භාවිතා කරන්න.

සුමිහිරි නිවන් සුවයෙන් සැනසෙනු පිණිස මම පිළිවෙත් පිරීමෙහි සමතෙක් වන්නෙමි. අවංක වන්නෙමි. විශේෂයෙන් අවංක වන්නෙමි. සුවච කීකරු වන්නෙමි. මෘදු , මොලොක් සිත් ඇත්කේ වන්නෙමි. නිහත මානී වන්නෙමි. ලද පමණින් සතුවු වන්නෙමි. ලද දෙයකින් යැපෙන්නෙමි. සුවල්ප වූ කටයුතු ඇත්තෙක් වන්නෙමි. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නෙමි. සංසුන් ඉඳුරන් ඇත්තෙක් වන්නෙමි. මුහුකල නුවණින් යුක්ත වන්නෙමි. කයින් වචනයෙන් සංවර වන්නෙමි. කිසිවෙකු කෙරෙහි තෘෂ්ණා වශයෙන් නො ඇත්තෙමි. කුඩා වුවද පාපයක් නොකරන්නෙමි.
මම නිදුක් වෙමි. නිරෝග වෙමි. සුවපත් වෙමි. මා මෙන් සියලු ප්රාාණීහු ද සියලු භූතයෝ ද සියලු අනාර්යයෝ ද, සියලු ආර්යයෝ ද , දිග් ශරීර ඇති සියලු සත්වයෝ ද , කෙටි ශරීර ඇති සියලු සත්වයෝ ද , මහත් ශරීර ඇති සියලු සත්වයෝ ද , මධ්ය ශරීර ඇති සියලු සත්වයෝ ද කුඩා ශරීර ඇති සියලුසත්ත්වයෝ ද , වටකුරු ශරීර ඇති සියලු සත්ත්වයෝ ද , සියුම් ශරීර ඇති සියලු සත්ත්වයෝ ද , ළඟ සිටින සියලු සත්ත්වයෝ ද , නුදුටු විරූ සියලු සත්ත්වයෝ ද , උපදමින් සිටින සියලු සත්ත්වයෝ ද , උපන්නාවූ සියලු සත්ත්වයෝ ද නිදුක් වෙත්වා ! නීරෝග වෙත්වා ! සුවපත් වෙත්වා ! කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරෙත්වා ! අවමන් නොකෙරෙත්වා ! වංචා නොකෙරෙත්වා ! දුකක් නොසිතත්වා ! සියලු සත්ත්වයෝ සියලු සතුන්ගේ සැපතට කැමති වෙත්වා ! දයාබර මවු කෙනෙක් එකම දරුවා කෙරෙහි යම් සේ මෙත් සිත් පවත් වන්නේ ද , එසේම සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් ශාන්ත සීතල මෙත්සිත වඩත්වා !
උඩ,යට,සරස,දස දිශාවෙහි සියලු සත්ත්වයෝ අතිශයින් ශාන්ත වූ ප්රකණිත වූ මෛත්රීව සිත වඩත්වා ! ඉඳින, සිටින, ඇවිදින, නිදන සෑම ඉරියවුවෙහිදීම අතිශයින් ශාන්ත සීතල මෙත් බඹ විහරණයෙන් වෙසෙත්වා ! පිරිසිදු සීලයෙන් සුවඳවත් වී උතුම් ඤාණාලෝකයෙන් ආලෝකවත් වී නාම-රූප පරිච්ඡේද ඥානයේ පටන් දස මහා විපස්සනා ඥානය පහළ කරගැනීමෙන් සියලු ආශාවන් දුර හැර බුදු , පසේබුදු, මහරහතන් වහන්සේලා පැමිණ වදාළ වූ සතර මග-ඵල පිළිවෙළින් පැමිනෙන්නා වූ අතිශයින් ශාන්ත ශිතල වූ අමා මහ නිවන් සුවයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !!!

යාලුවනේ මේ අයුරින් ඔබ නිතරම කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කලොත් ඔයාලට පුදුම පුණ්‍යස්කන්ධයක් ලැබෙන්නෙ. ඇත්තටම වේලාම සූත්‍රයේ සදහන් වෙනව මෙත් භාවනාව වඩනව කියන්නෙ බුදු හිමි ඇතුලු සංඝරත්නයට දානයක් දෙනවට වඩා පිනක් කියල. අනිත් කාරනේ තමයි අපිට හතුරන් නැතිවෙලා මුලු ලෝකයම සතා සීපාව පවා අපිට පුදුම විදිහට ආදරේ කරනව. හැමෝම අපිට අවනත වෙනව. වරක් රහතන් වහන්සේ නමක් කැලෑවක වස් වසල වස් කාලය ඉවර උනාම පිටත් වෙන්න හැදුවම කවුද අඩනව ඇහිල. බැලුවම වෘක්ෂ දේවතාවෙක්. කාරණය විමසුව. ඔබ වහන්සේ එන්න ඉස්සර මෙතන මහා කරදර කාර තැනක්. හැමෝම රණුඩ වෙවී අසමගියෙන් හිටියෙ. දැන් හැමොම සමගියෙන් ඉන්නව ඔබවහන්සේගෙ සමත් බලෙන්. ඒ නිසා ඔබ වහන්සෙ නැවත වැඩියොත් ආයිත් පරණ තත්වෙට වැටෙයි කීවලු. ස්වාමීන් වහන්සෙ පිරිනිවන් පානකම්ම එහි වැඩ වාසය කලා. කෙටියෙන් කීවෙ. බලන්න ආනිසංස.

තව වරක් භාවනා කරමින් සිටි පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙකුට එක් අයෙක් කඩු පහරක් එල්ල කලා. කඩුව ඇඹරිල ගියාලු. හාමුදුරුවන්ට තුවාලයක් වත් නෑ. මේවගෙ කථා බුදු දහමෙ අනන්තවත් තියෙනව. කියවල බලන්න

දැන් අපි මෛත්‍රි භාවනාව වැඩිමෙ ආනිසං බලමු.

යෝච අන්තමසෝ ගන්ධූහනමත්තම්පි මෙත්තං චිත්තං
භාවෙය්‍ය, ඉදං තතෝ මහප්ඵලතරං
(අංගුත්තර නවක – වේලාම සූත‍්‍රය)

අප බෝසත් වේලාම බ‍්‍රාහ්මණයා විසින් රන්-රිදී-අමුරන් පුරවන ලද රනින්-රිදියෙන් හා අමුරනින් නිම කළ පාත‍්‍ර 84000 බැගින් දන් දිණි. මෙලෙසම එකිනෙකක් 84000 බැගින් ඇතුන්, රිය,පලස්, බුමුතුරුණු ආදිය ද දන් දෙන ලදී. වස්ත‍්‍ර කෝටි 84000 ක් දන් දිණි. ගඟක් ගලන්නා සේ ආහාර පාන දන් දිණි. මේ සියළු දාන දීමෙන් ලැබෙන විපාක ශක්තියට වඩා වැඩි පිනක් සෝවාන් වූ එක් කෙනකුට ආහාර වේලක් දන් දීමෙන් ලැබේ. සෝවාන් වූ 100 කුට දෙන දානයට වඩා සකදාගාමී වූ එක් අයකුට දෙන දානය මහත්ඵල ය. සෝවාන් 100 කටත්,සකෘදාගාමී 100 කටත් දෙන දානයට වඩා වැඩි පිනක් එක් අනාගාමී කෙනකුට දීමෙන් ලැබේ. සෝවාන් 100 කටත්,සකෘදාගාමී 100 කටත්, අනාගාමී 100 කටත් දෙන ලද දානයට වැඩි පුණ්‍ය ශක්තියක් රහත් වූ එක් අයකුට දීම තුළින් අත් වේ.සෝවාන්-සකදාගාමී-අනාගාමී-අරහත් 100 දෙනා බැගින් 400 කට දෙන ලද දානයෙන් ලැබෙන විපාක ශක්තිය ඉක්මවා,එක් පසේබුදු කෙනකුට දෙන ලද දානයෙන් ලැබෙනා පින මහත්ඵල මහානිශංස වේ. මේ සෑම දානයක් ම කෙනකු දුන්නත් සම්මා සම්බුදු කෙනකුට පිරිනමනු ලබන දානය ඒ සෑම පිනකට ම වඩා මහත්ඵලදායක ය. ඊටත් වඩා, බුදුරදුන් ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට දෙන ලද සාංඝික දානය උසස් ය. ඊටත් වඩා මහත් පිනක් සිව් දෙසින් වඩනා භික්ෂූන් උදෙසා වෙහෙරක් කරවා දන් දීමෙන් ලැබේ. ඊටත් වඩා වැඩි පිනක් පංසිල් මැනවින් ආරක්ෂා කිරීමෙන් ලැබෙනු ඇත.

මේ සෑම කුශලයක් ම කෙනකු සිදු කළත්, ඒ සෑම පුණ්‍ය ශක්තියක් ම අභිභවා යමින්, ඉතා සුළු කාලයක් හෝ මෛත‍්‍රි ධ්‍යාන සිතක් උපදවා ගෙන සිටින්නකුට ලැබෙන පුණ්‍ය සම්භාරය අති මහත් ය. ඊටත් වඩා මහත්ඵල වන්නේ, නිත්‍ය සංඥාව දුරු කරමින් අනිත්‍ය සංඥාව ප‍්‍රත්‍යක්‍ෂ ලෙස අත් දැකීමෙනි. වේලාම සූත‍්‍රයේ දැක්වෙන ඉහත සඳහන් කරුණු අනුව මෛත‍්‍රි ධ්‍යාන සිතක් උපදවා ගෙන සිටීම තුළින් ලැබෙනා පුණ්‍ය ශක්තිය කෙතරම් ද කියා තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇත.

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය,
භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්ථුකතාය,
අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා
පාටිකඕඛා.

(අංගුත්තර ඒකදසක නිපාත – මෙත්තානිසංස සූත‍්‍රය)
මෛත‍්‍රී ධ්‍යාන සිත් භාවිතා කිරීමෙන්, නැවත නැවත ප‍්‍රගුණ කිරීමෙන්, වශීකෘත කිරීමෙන් ආනිශංස 11 ක් බලාපොරොත්තු විය හැක. එනම් :

1. සුඛං සුපති – සුවසේ නිඳාගත හැක.
2. සුඛං පටිබුජ්ඣති – සුවසේ අවදි වේ.
3. න පාපකං සුපිනං පස්සති – නපුරු සිහින නො පෙනේ.
4. මනුස්සානං පියෝ හෝති – මනුෂ්‍යයන්ට ප‍්‍රිය වේ.
5. අමනුස්සානං පියෝ හෝති – අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වේ.
6. දේවතා රක්ඛන්ති – දෙවියන් ආරක්ෂා කෙරේ.
7. නාස්ස අග්ගී වා විසං වා සත්ථං වා කමති – ගිනි, වස – විෂ, ආයුධ විපත් නො වේ.
8. තුවටං චිත්තං සමාධියති – ඉක්මණට සිත සමාධිමත් වේ.
9. මුඛවණ්ණෝ විප්පසීදති – මුහුණ ප‍්‍රසාදජනක වේ.
10. අසම්මූළ්හෝ කාලං කරොති – නො මුලාව මරණයට පත් වේ.
11. උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ‍්‍රහ්මලෝකූපගෝ හෝති -රහත් නො වුවහොත් මරණින් මතු බ‍්‍රහ්ම ලෝකයේ උපදී.
ඔබත් මේ උත්තම දහමින් ප්‍රයෝජන ලබාගන්න.

අන්තර් ජාලය ඇසුරිනි.

නිරෝගිකම උතුම්ම ලාභයයි ...
බුද්‍ධ ධර්‍මයෙන් වූ ලෝක ශාන්තිය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.