ගස් වැවීම හැමදා පින් වැ‍ෙඩන පින්කමෙකි ... - IFBC Organization | Dhamma

 

ආරාමරොපා වනරොපා   –     යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච             –     යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච   –     සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා  –     තෙ ජනා සග්ගගාමිනො

                                                                                                                                                              – සංයුත්තනිකාය

 යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් = උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.

මෙහි ආරාම යන්නෙන් ප්‍රකාශ කෙළේ මහජනතාව අවුත් සතුටින් ඇලෙන ප්‍රීති වන මල් හා පලතුරු ලස්සනට වවන ලද උයන් ය. බෞද්ධ සාහිත්‍යයෙහි උයන් පිළිබඳ ඉතිහාසය සෙ‍ායන්නකු ඈත අතීතයට ගොස් නවතින්නේ මඝ ම‍ාණවක කතාව වෙත ය. අවුරුදු දසදහසකටත් කලින් ග්‍රාමසංවර්‍ධන කටයුතුවල යෙදුණු මඝ මාණවකයා ජනතාවගේ යහපත සඳහා මල් පලතුරු හා පොකුණුවලින් ද සෙවණ ගෙන දෙන ගස්වලින් ද ගිමන් ඇරීමට සුදුසු ගෙවල්වලින් ද යුත් උයන් කරවූ බව ධර්‍මග්‍රන්ථයන්හි සඳහන් වේ.

වන යන්නෙන් ගස් සහිත භූමිය ප්‍රකාශ වෙයි. එය ස්වයංජාත වන, රෝපිත වන යයි දෙ කොටසකට බෙදෙයි. ස්වභ‍ාවයෙන් හට ගන්නා ලද්දේ ස්වයංජාත වනය යි. අළුතෙන් රෝපණය කරන ලද ගස් රෝපිත වනය යි. බුදුරජාණන් වහන්සේ අනුන්ගේ යහපත සඳහා ගස් වැවීම හැමදා පින් වැඩෙන පින්කමෙකැයි සදාපුඤ්ඤපවඩ්ඩන සූත්‍රයෙන් දේශනා කෙළෙන් බෞද්ධයෝ ගස් වැවීම ඉතා උද්‍යෝගයෙන් කළහ.

බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ අඩුම ගණනේ හත් මසක් හෝ පයින් ගමින් ගමට යමින් ගිය ගිය තන්හි දී තමන් සුව නොතකා අනුන් සුව සඳහා දිවා රෑ දෙක්හි පරාර්ථ චර්‍යාවෙහි යෙදුණු උතුමෙකි. පරත‍්ථං පටිපජ්ජථ – පරාර්ථය පිණිස යෙදවූ යී තමන්ගේ ශ්‍රාවකයන් ද පරාර්ථ චර්‍යාවෙහි යෙදැවූහ. අනුන්ගේ යහපත සඳහා ගස් වැවීම ද පරාර්ථකාමී ක්‍රියාවෙකි.

මේ ආදර්‍ශයත් උපදේශයත් ගෞරවයෙන් පිළිගත් බෞද්ධයෝ පරාර්ථ චාර්‍යාවෙහි යෙදුණහ. එ‍් අනුව ගස් වැවීම ද උද්‍යෝගයෙන් කළහ. එහි මුල් තැන ගත්තේ ධර්මාශෝක රජතුමා ය. එතුමා පාර දෙපසෙහි සෙවණ පිණිස ගස් සිට වූ වග එතුමාගේ දෙවන ගිරි නගර් නම් ශිලා ලිපියෙහි සඳහන් වේ. එසේ ම සෙවණ දෙන ගස් කැපීම අසත්පුරුෂකමෙකැයි අපේ ධර්‍මග්‍රන්ථයන්හි සඳහන් වේ.

ලොව පළමුවරට ආරොග්‍යශාලා පිහිටු වීමේ ගෞරවය හිමි වන්නේ බෞද්ධයනට යැයි ඉතිහාසඥයන් ප්‍රකාශ කොට ඇත. බුදුරජාණන් වහන්සේ කුෂ්ඨ රෝගයෙකින් මුළු ඇඟ ම කුණු වී සිටි පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේට සියතින් ම උපස්ථාන කොට ගිලන් උවටැන මහ පින්කමෙකැයි ද දේශනා කළහ. ගිලන් උවටැනෙහි උනන්දු ගිහි පැවිදි දෙපිරිස ම ආරාමයන්හි ගිලනුන් සොයා යන්නට වීය. එය කරදරයක් බව දැනගත් බුදුරජාණන් වහන්සේ මහා ආරාමයන්හි ගිලානශාලා තනවන්නට අනුදැන වදාළහ. බෞද්ධයෝ ගිලන් හල් කැරවූහ. මේ ගිලන් හල් තුබුණේ පන්සල්වල භික්ෂූන්ගේ ප්‍රයෝජනයට පමණි.

ධර්‍මාශෝක රජතුමා මේ ගිලන් හල් ක්‍රමය පුළුල් කොට මහජන රෝහල් ඇති කළහ. යම් කිසි ප්‍රදේශයක මනුෂ්‍යයනට ගිලන් හල් ඇති කළා ද ඒ අසල ම තිරිසන් සතුනට ද රෝහල් ඇති කළහ. රජතුමා ස්වදේශයෙහි සියලු තන්හි ද එසේ ම චෝළ – පාණ්ඩ්‍ය – ලංකා හා ඇන්ටියෝකුස් නම් ග්‍රීක රජුට අයත් සිරියා ආදි රටවල ද, ඇන්ටියෝකුස් රජුගේ අසල්වාසී වූ මගස් – ඇන්ටිගොනස්, ගොනේටස් සහ අලිකසුන්දර ග්‍රීක් රජවරුන්ගේ රටවල ද යන ආදී සියලු තන්හි මනුෂ්‍යයනටත් තිරිසනුනටත් රෝහල් ඇති කළ බවත් ඒ රෝහල් සමීපයෙහි බෙහෙත් උයන් වැවූ බවත් දෙවන ගිරි නගර් ශිලා ලිපියෙහි සඳහන් වේ. මේ අනුව සලකා බලන විට ධර්‍මාශෝක රජතුමා ආසියාව – අප්‍රිකාව හා යුරෝපය යන තුන් ප්‍රදේශයන්හි ම රෝහල් පිහිටුවීමත් බෙහෙත් වැවීමත් කළ බව ඉතා පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවෙහි ද බෞද්ධ රජවරු රො‍්හල් පිහිටුවීමත් බෙහෙත් උයන් වැවීමත් ඉතා උසස් ලෙස සිදු කළහ. ගල්ඔය මිටියාවත ජනපද කරන විට හමු වූ බෙහෙත් උයන එයට හොඳ ම නිදසුනෙකි.

සෞඛ්‍යය සඳහා පරිසරය හොඳට පිරිසිදු වැ තබා ගැනීම ද බුද්ධධර්‍මයෙහි උගන්වන වි‍ෙශ්ෂ කරුණෙකි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිසරය පිරිසුදු වැ තබා ගැනීමේ වැඩ පිළිවෙළ කොටස් හයෙකින් යුක්ත වේ.

  1. ගෙවත්ත පිරිසුදු වැ තබා ගැනීම
  2. ගෙය පිරිසුදු වැ තබා ගැනීම
  3. වැසිකිළිය පිරිසුදු වැ තබා ගැනීම
  4. ඇඳුම පිරිසුදු වැ තබා ගැනීම
  5. ගත – ශරීරය පිරිසුදු වැ තබා ගැනීම
  6. සිත පිරිසිදු වැ තබා ගැනීම යි.

 

මෙයින් එකත් හයත් පැහැදිලි කැර දිය යුතු වේ.

1. ගෙවත්ත පිරිසුදු වැ තබා ගැනීම,

පන්සලට ආරාම යනු තව ද නමකි. පැමිණියවුන්හට සතුට හා මානසික සුව ගෙන දෙන ස්ථානය ආරාමය යි. සතුට හා මානසික සුවය ද ලබා ගැනීමට ආරාමයක තුබුණු බාහිර ලක්‍ෂණ දෙක නම් ගස් වවා තිබීමත් හැමදා පිරිසුදු වැ තිබීමත් ය. පුරාණ කාලයන්හි ආරාමයන්හි බහුල වශයෙන් ධර්ම දේශනා කෙළේත් ඉගෙනීම හා ඉගැන්වීම කෙළේත් ගස් යට හිඳ ගෙන ය.

6. සිත පිරිසුදු වැ තබා ගැනීම

සිත පිරිසිදු කිරීමට භාවනා කළ යුතු වේ. භාවනාවට උපකාර වන ස්ථාන තුනක් ගැන ප්‍රකාශ කොට ඇත. අරණ්‍යය, රුක් මුල, ශූන්‍යාගාරය යනුයි. එයින් දෙකක් ම ගස් හා සම්බන්ධ ය. එහෙයින් ද ගස් වැවීම පින්කමක් කොට සැලැකූහ. තව ද භාවනාවට උපකාර වන කරුණු දහයක් පෙන්වා ඇත. එයින් පළමු වැන්න වස්තු විශද ක්‍රියාව ය. එනම් පරිසරය පිරිසුදු වැ තබා ගැනීම යි. ශරීරයත් සෙනසුනත් පිරිසුදු වැ තබා ගැනීම යි.

පරිසර දූෂණය දැන් හතර ආකාරයකට බෙදා ඇත. 1. වාත අපිරිසුදුව 2. ජලය අපිරිසුදුව 3. පොළොව අපිරිසුදුව 4. මුහුදු අපිරිසුදුව. වාත අපිරිසිදුවට ප්‍රධාන හේතු වාතය පිරිසිදු කරන ගස් අඩු වීමත්, කර්මාන්තශාලා රථවාහන හා සිගරැට්වලින් විෂදුම් වැඩිවීමත් ය. තවද අළුත් නගර නිර්මාණය හා වාසය ද වාත අපිරිසුදුවට ප්‍රධාන හේතුවක් වී ඇත. ගම්බද ජනතාව වැඩිවැඩියෙන් නගර වාසයට පැමිණීමත් ඒ නිසා ම නගරය ගස් නැති ගෙවල් ගොඩක් වීමත් ය. සාධකයක් ඇමරිකා එක්සත් ජනපදය ගෙන බලන්න. උතුරු ඇමරිකා භූමිය සතරැස් මයිල 30,22,387 පමණ ය. ජනගහනය 30,000000 – තිස් කෝටියක් පමණ ය. එහි ජනගහනයෙන් සියයට හැත්තෑවක් වාසය කරන්නේ නගරවල ය. එ‍් නගර සඳහා යට වී තිබෙන්නේ ඒ සා විශාල ඇමරිකන් පොළොවෙන් සියයට දෙකකි. නගරවල කර්‍මාන්තශාලා රථවාහන හා සිගරට්වලින් පිටවන වහ දුම්වලින් වාතය අපිරිසිදු වී ඇත. තව ටික කලක් යන විට ඔවුනට හුස්ම ගන්නට ඔක්සිජන් වාස් උවමනා වනු ඇත. දැනටමත් නිව් යෝක් නගරයේත් ටෝකියෝ නගරයේත් තැනින් තැන ඔක්සිජන් සපයන යන්ත්‍ර පිහිටුවා ඇත.

මේ මහ රටවල් කරන මෝඩකම් පොඩි රටවලුත් මිථ්‍යානුකරණය කරන්නට ගොස් මහත් කරදරයට වැටෙනු එ‍්කාන්ත යි. ශ්‍රී ලංකාවෙහි ද ප්‍රධාන නගරවල තිබෙන ගස් ද කපා එ‍් තැන්වල ගෙවල් හා තට්ටු නිවාස හදාගෙන යයි. එසේ ම රථවාහන හා සිගරැට් දුම් ද වැඩි වෙමින් පවතී. නගරයෙහි හා නගරය අවට කර්‍මාන්තශාලා ද වැඩි වෙයි. එක් පැත්තකින් වගාවටය කියා ගස් කපා ගෙන යයි. තව පැත්තෙකින් ජනපද පිහිටුවන්නට කියා ඉතා අවිචාරවත් වැ කැලෑ කපා ගෙන යයි. තවත් පැත්තෙකින් ණය ආධාර වශයෙන් ලොකු කර්‍මාන්තශාලා පිහිටුවා නොයෙක් අංශවලින් රටට අවශ්‍ය කැලෑ වඳ කර ගෙන යයි. වගාවත් ජනපද පිහිටුවීමත් කර්‍මාන්තශාලා ඇති කිරීමත් රටට අවශ්‍ය කටයුතු බව කවුරුනුත් පිළිගන්නවා ඇත‍. ඒ අතරම මේ රට අනාගතයෙහි දී කාන්තාරයක් නොවන ලෙසට ද වග බලා ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ නිවන හා නිවන් මග ද ලෝකයාට පෙන්වා දුන්හ. ඒ අතර ම නිවන් දකින තුරු වාසනාවන්ත ජීවිත ගත කිරීමට උවමනා කරුණු ද දේශනා කළහ. එයින් එක් කොටසක් ආර්ථීක දියුණුවයි. එහි එක් කොටසක් වගාව යි. බෞද්ධයෝ ඒ වගාව පස් කොටසකට බෙදා ගෙන දියුණු කළහ. 1. ආහාර වගාව, 2. රටෙහි ධනසම්පත්තිය සඳහා පොල් ආදි ස්ථිර වගාව 3. අන්‍යයන්ගේ යහපත සඳහා ගස් වැවීම 4. ගෙවතු වගාව 5. බෙහෙත් වගාව

අංක එකේ හා දෙකෙ‍් වගාවන් රජයේ ද ආධාර ඇතිව හොඳින් කැර ගෙන යන බව පෙනෙයි. 3. අන්‍යයන්ගේ යහපත සඳහා ගස් වැවීම බුදුරජාණන් වහන්සේ ගේ සදාපුඤ්ඤපවඩ්ඩන සූත්‍රදේශනාව නිසා ‍ෙබෟද්ධ‍ෙ‍‍‍‍‍‍‍යා‍් ගස් වැවීමේ උනන්දු වූහ. විශේෂයෙන් ධර්මා‍ෙශා‍්ක රජතුමා මහාමාර්‍ගයන්හි ගස් සිටවීම ආරම්භ කෙළෙ‍් ය. පැරැණි බෙ‍‍ෟද්ධයන් පැළයක් සිටෙව්වේ ද අනුන්ගේ යහපත සඳහා ය. එය ස්ථුට කරන පැරැණි කියමනක් මුත්තා කෙනෙක් අඹ පැළයක් සිටුවයි. එය දුටු මුනුපුරකු ළඟට පැමිණ “මුත්තා අඹ කන්නට හිතා ගෙන වාගෙයි, අඹ පැළයක් සිටුවන්නේ” යී කීවා. මුත්තා කිසි ම කලබල වීමක් නැති ව, “නෑ මුනුපුරා අපේ මුත්තලා සිටවපු අඹ පැළවල ගෙඩි අප කෑවා. මා මේ අඹ පැළය සිටුවන්නේ මට කන්නට නොවේ මුනුපුරාලාට කන්නටයි.” කොපමණ උදාර අදහසක් දැයි සිතා බලන්න. ෂූමාකර් මහතා ආදි බටහිර උගතුන් බෞද්ධ අර්ථක්‍රමය හොඳයි කියා වර්‍ණනා කිරීමේ එක් කරුණක් නම් මේ උදාර අදහස යි. එනම් බෞද්ධයන් පැළයක් සිටුවන්නේ ද අනුන්ගේ යහපතට යන්නයි. මේ උදාර අදහස වර්‍තමාන ජනතාව ද හිතට ගෙන ක්‍රියාවට නැංවිය යුතු වේ. ඒ සඳහා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා දෙන ආදර්ශය ඉතා අගනේ ය.

  1. ගෙවතු වගාව – තමන්ගේ නිවස පිහිටි ඉඩමේ එළවලු පළතුරු හා මල් පමණක් නො වැ පරිසරය පිරිසුදු වීමට හා සෙවණ සඳහා ගස් වැවීම ද ගෙවතු වගාවට අයත් වේ. ගෙවතු වවන්නේ මුදල් සැපයීමට නො වැ තමන්ගේ පරිහරණයටයි. කුණු නොවූ පරණ නොවූ ශරීර සෞඛ්‍යයට හිතකර වූ එළවලු හා පලතුරු ලබා ගත හැක්කේ ගෙවතු වගාවෙන් පමණය. ගෙවතු වගාවෙන් ජීවන අංකය පහළ බැස්සවීමට උපකාර වන ආර්ථික පිරිමැස්මක් ද ඇති වේ. විෂබීජ නසා වාතය පිරිසිදු කැර ගැනීමට පැරැණියෝ ගෙවත්තේ අඹ කොහොඹ හා සියඹලා ගස් වැවීම ද ඥානවන්ත වැ සිදු කළහ.

කොළඹ වැනි නගර වල වෙසෙන විශේෂයෙන් තට්ටු නිවාසවල වෙසෙන අය ගෙවතු වවන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ හැකිය. තට්ටු නිවාසවල උඩ තට්ටුවේ ලස්සනට මල් වවන බව දක්නට ලැබෙයි. එලෙසින් අමුමිරිස් පැළ හතරක් වත් වවා ගත්තොත් එය ආර්ථික පිරිමැස්මෙකි. එක් ‍‍ෙගදරක දී අමුමිරිස් පැළ හතරක් පෙන් වූ එක් මහත්මයකු කීවේ හමසෙකින් අමුමිරිස් මුදලට ගත්තේ නැත කියා ය. කොළඹ නගරයෙහි වුවත් ගෙවතු තිබෙන නිවෙස්වල අය මල් මෙන් ම එළවලු පළතුරු වැවීම ගැන ද උනන්දු විය යුතු වේ.

  1. බෙහෙත් වගාව – බුද්ධ ධර්‍මය අනුව ගිලානොපස්ථානයට සම්බන්ධ හැම ක්‍රියාවක් ම පින්කම් ය. එහෙයින් බෙහෙත් වගාව ද පින්කමෙකි. ධර්‍මශෙ‍ා‍්ක රජතුමාණෝ මේ පින්කම ද උසස් ලෙස සිදු කළහ. සිංහල බෞද්ධ රජවරු ද එසේ ම කළහ. තව ම ශ්‍රී ලංකාවෙහි ජනගහනයෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ගන්නේ සිංහල බෙහෙත් යැයි සිතමි. බෙහෙත් බඩුවලින් කිහිපයක් හැර අන් සියලු බෙහෙත් ශ්‍රී ලංකාවෙහි වැවෙයි. එහෙත් 1962 දී පමණ පිටරටින් බෙහෙත් බඩු ගෙන්වීම පාලනය කරන තුරු වැඩි සංඛ්‍යාවක් ගෙන්වූයේ ඉන්දියාවෙනි. මේ රටේ පොල් පලා ආදි බෙහෙත් බඩු රාශියක් ඉබේ හැදෙයි. එහෙත් බෙහෙත් බඩු වැවීමට තබා ඉබේ හැදෙන බෙහෙත් එකතු කිරීමට වත් අපේ බොහෝ දෙනා උනන්දු නොවූහ. එහෙයින් 1962 පමණ පාලනය කරන තුරු මෙහේ අය තම්බාගෙන බිවු පොල්පලා වලින් සියයට අනූවක් ගෙන්වූයේ ඉන්දියාවෙන් යයි ගෙන්වන සමාගමේ අය කීහ. අදත් එකී බෙහෙත් බඩු ගෙන්වීමට රුපියල් හතළිස් ලක්ෂයකට වඩා පිටරට යයි. අපේ ජනතාව බෙහෙත් වවනවා නම් රුපියල් තිස් ලක්ෂයක් පමණ පිටරට යෑම නවත්වා ඔවුන් සතුකැර ගත හැකි වේ.

ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ උපන් දිනය නිමිති කොට කරන ගස් වගාව සාර්ථක වේවා! ජනාධිපතිතුමාට දිගාසිරි වේවා! මා කලින් සඳහන් කළ වගා පහත් සමග ගුණ වගාවත් සකසා සපුරා කළොත් ශ්‍රී ලංකාව නැවැතත් ධර්මද්වීපයක් පෙරදිග ධාන්‍යාගාරයක් වනු ඇත. එසේ වේවා.

බුදුරජාණන් වහන්සේ ආර්මාර්ථකාමීත්වයට තදින්ම නිග්‍රහ කළ අතර පරාර්ථකාමීත්වයට හොඳින් ම ප්‍රශංසා කළහ. එහෙත් මුලු ලෝකයෙහි ම ආර්මාර්ථකාමීත්වය විසින් පරාර්ථකාමීත්වය යට කැරැගෙන යනු ලැබේ. අද ලෝකයෙහි ම බොහෝ දෙනා අනාගත පරම්පරාව ගැන නෙ‍‍ාසලකා තමන් පිළිවන් තරම් කාමභෙ‍‍‍‍‍‍ා‍්ගී වැ ජීවත් වන්නට උස්සහ දරන බව පෙනේ. ලෝකයෙහි ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වෙයි. 1900 දී ලෝක ජනගහනය කෝටි එක් සිය පනහකි, ශ්‍රී ලංකාවෙහි ජනගහනය තිස්පන් ලක්ෂයෙකි. දැන් ලෝක ජනගහනය කෝටි හාර සියයකි. ලංකා ජනගහනය එක්කෝටි හතලිස් ලක්ෂයෙකි. අද බොහෝ දෙනා ආර්මාර්ථකාමී වැ අනාගත පරපුර ගැන නොසලකා අරපරෙස්සමක් නැතිවැ කාලා බීලා ජීවත් වන ආකාරය දෙස බලන විට තව අවුරුදු විසිපහකින් එපිට අය ජීවත් වන්නේ කෙසේදැයි සිතන්නට වත් බැරි තරම් වේ.

මේ කරුණු හොඳින් දැනගෙන පරාර්ථකාමී වැ අනාගත ජනතාවට විය හැකි හානිය වළක්වා ගන්නට උදාර අදහසක් ඇතියවුන් ලෝකයෙහි හැම රටින්ම ඉදිරිපත් වැ සිටීම සතුටට කරුණෙකි. ජූනි 5 වෙනිදාට යෙදෙන ලෝක පරිසර දිනය ඒ උදාර පුරුෂයන්ගේ හා කාන්තාවන්ගේ උතුම් දිනයෙකි. ශ්‍රී ලංකාවෙහි ඒ උදාර ගුණැති සත්පුරුෂයන්ගේ සංවිධානයට අනාගත පරපුරේ යහපතට ගස් ආරක්‍ෂා කරන්නටත් අළුතෙන් වවන්නටත් ගන්නා උත්සාහයට ලක්වැසි ජනතාවගේ ගෞරවාදරය හිමි විය යුතු ය. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්‍රධාන රජය ද බලයට පත්වී නිවහල් ධාර්මිෂ්ඨ සමාජයක් බිහි කරන්නට ක්‍රියා කරන අතර අවුරුද්දක් පිරීම නිමිති කොට සිරිලක පුරා පැළ සිටුවීමේ ව්‍යාපාරයක් සැලැසුම් කිරීම ඉතා උදාර ක්‍රියාවක් බව සතුටින් සඳහන් කෙරෙමි.

 

දවස 1985.09.20

ප්‍රඥාප්‍රභා 6

 

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

ලෝකයට සුදුසු බෞද්ධ අර්ථක්‍රමය ...
සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහාත් බෙ‍ෟද්ධ ප්‍රබෝධය සඳහාත් ධර්මසංගායනාවක් පවත්වමු ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.