කෝටි ලක්ෂයක් සක්වල අභිබවනය කල මෙත් සිත - මෙත්තානිසංස සූත්‍රය - IFBC Organization | Dhamma

Posted by | September 07, 2014 | සිරි සදහම් ( Dhamma) | No Comments

මෙත්තානිසංස සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වලට ආඥාචක්‍රය පතුරවන ලද සූත්‍ර දේශනවාක්

කරණීමෙත්ත සූත්‍රය මෛත්‍රී කරන ආකාරය සදහන් වෙන අතර මෙත්තානිසංස සූත්‍රය මෛත්‍රීයේ ආදීනව හා ආනිසංස කියවෙන සූත්‍රයක්. හොදයි අපි මුල ඉදන්ම පටන් ගමු.

මෙත්සිත මනාව දිගු කාලයක් ප්‍රගුණ කිරීමේදී සිතට දැනෙන සැහැල්ලුව සහනය වචනයෙන් කියා නිම කරන්න බැහැ. එහි මහ පුදුම බලයක් ශක්තියක් තිබෙනවා. කිසිවෙකුට මැඩ පවත්වන්න නොහැකි යටපත් කරන්නට නොහැකි උසස් ආරක්ෂාවක් රැකවරණයක් එයින් ලැබෙනවා. මහා බලගතු ආරක්ෂාවක්. තමා වටා ගොඩ නැගෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ ගෞරවයට පත්වෙනවා. ඔවුන්ගෙන් වැදුම් පිදුම් හිමිවෙනවා. යක්ෂ භූතාදීන්ගෙන් කිසිදු විපතක් හානියක් කරදරයක් කිසිම අයුරකින් සිදුවන්නේ නැහැ. ඔවුන්ගෙන් ගෞරවය, රැකවරණය පමණක් නොව ආරක්ෂාවත් හිමිවෙනවා. උදව් උපකාරත් හිමිවෙනවා. යහලුවනේ මේ ‍තේසිත කියන දේ අපිට මොනතරම් වැදගත්ද? මට හිතෙන්නෙ මේ මෙත්සිත මත තමයි මුලු විශ්වයම රදා පවතින්නෙ කියල. දැන් බලන්නකො අපි එකිනෙකාට මෙත් සිත තියෙනවනම් අපි අනිකා කෙරෙහි දයාව ආදරය වගේ දේවල් ඇතිවෙනව නේද? බලන්නකෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙ මිනිසා කෙරේ මෙත් සිත පතුරවන ආයතනයක්. ඒ ආයතනය නැතිනම් අද කීදෙනෙක් මාරයට බිලිවෙලා ඇත්ද? යුනිසෙෆ්, ලෝක ආහාර වැඩ සටහන ආදී මේ සියල්ල අනිකා කෙරේ පවත්න මෙත් සිත නොවේද? අනිකා කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තොත් තත්වය කෙපදු වේද? අද ලෝකය පුරා මිසයිල කීයක් නම් ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් විදිහට පවතිනවද? බැරිවෙලාවත් සිතේ ද්වේශය ඇති උනොත් මේව ක්‍රියාත්මක කරනව. මුලු ලෝකයම විනාශයි. ඉතින් තවකෙකු කෙරේ දයාව අනුකම්පාව දැක්වීම මොනතරම් නම් උතුම් ක්‍රියාවක්ද? පින්වත් යුලවනේ බුදුබව කියන්නෙත් මෙත් සිතේ ප්‍රතිමූර්තියක්. බුදුවරයෙකුට කියන තවත් නමක් ලෙස මෛත්‍රිය හදුන්වන්න පුලුවන්. ඇයි? සකළ ලෝකය කෙරේ පතල මහා කරුණාවෙන් තමයි යමෙක් බුදුබව පතන්නෙ. බුදුවෙලා කරන්නෙත් අසරණ මිනිසුන් කෙරේ මෙත් සිත පතුරවල මේ ඝෝර කටුක සංසාරෙන් මිනිසා ඇතුලු සකල සත්වයන් එතෙර කරන්න උත්සාහ කිරීමයි.

මෙම මෙත්තානිසංස සූත්‍රය අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයට ඇතුළත් සූත්‍රයක්. මෙය පසු කළෙක මහා පිරුවානා පොත් වහන්සේ නම් වූ මහ පිරිත් පොතටද ඇතුළත් කර තියෙනව.

මෙහි දැක් වූ මෛත්‍රීය අර්පණා (ධ්‍යාන) බවට පැමිණි මෛත්‍රියයි. එබඳු මෛතී‍්‍ර චිත්ත විමුක්තියෙන් යුක්ත පුද්ගලයාට අනුසස් එකොළොසක් ලැබෙනව. මෙහි ඇතුළත් අනුසස් එකොළොසින් දහයක් මෙලොවදී ද එකොළොස වන ආනිසංසය පරලොවදී ද ලැබෙන බව දත යුතුය. ඉතින් ඔය බුදු දහම පරලොවට පමණයි කියන තර්කය බිද දමන්න මෙ හොද අවසථාවක්.

යම් කිසි අයුරකින් එම මෛත්‍රීය පාදක කර ගෙන අර්හත් ඵලය ඉපද වූයේ නම් එකොළොස්වන ආනිසංසය වශයෙන් නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානාව.

එසේ නොවී අනාගාමී වුවහොත් අවිහ – අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක යන පංච ශුද්ධාවාසයන් අතුරෙන් එක්තරා බ්‍රහ්ම ලෝකයක ඉපදීම එකොළොස් වන ආනිසංසය වශයෙන් සැලකිය යුතුය.

මෛත්‍රී චිත්ත විමුක්තිය පාදක කරගෙන සෝතාපන්න හෝ සකදාගාමී වී නම් තමන් ලත් ධ්‍යානයේ හැටියට බ්‍රහ්ම ලෝකයෙහි උපදනේය. 11 වන ආනිසංස වශයෙන් එම මෛත්‍රිය පාදක කොට ගෙන අර්හත් ඵලයට පැමිණ අනුපාදි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑම හෝ අනාගාමීව ශුද්ධා වාස බ්‍ර‍්‍රහ්ම ලෝකයන්හි ඉපදීම හෝ කළ හැක.

මෙසේ අර්පනා බවට නොපැමිණි මෛත්‍රිය පාදක කොට ගෙන සෝතාපන්න හෝ සකදාගාමී වූයේ නම් බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමක් කළ නොහැකි බැවින් දෙව්ලොව උපදී. එසේම මෛත්‍රී චිත්තයෙන් යුත් තැනැත්තේ පෘථග්ජනව විසූයේ නම් සුවසේ සැතපීම යන දස ආනිසංසයම මෙලොවදී ලබා මරණින් මත්තෙහි “සුගතිංසග්ගං ලෝකං උප්පජ්ජිති ”යි දැක්වූ හෙයින් යහපත් පැවතුම් ඇති සුගතියෙහිම ඉපද ආනිසංස එකොළොසම ලබයි.

ඒ නිසා මෛත්‍රී චිත්තය භාවිත කිරීම මහානුභාව සම්පන්න දිව්‍යමය මන්ත්‍රයක් හා සමාන බැව් දත යුතුය.

මෛත්‍රියෙහි ආනිශංස නොමඳව ලැබීමට නම් කෙසේ මෙත් වැඩිය යුතුද යන්න මෙහි පැහැදිලිව දක්වා ඇත. එනම් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය, යානිකතාය, වත්ථුකතාය, අනුට්ඨිතාය,පරිචිතාය, සුසමාරද්ධාය වශයෙනි. ආදරයෙන් ආශ්‍රය කරමින් නැවත නැවත වඩමින්, යානාවක් සේ ගෙන, වස්තුවක් සේ රැකබලා ගනිමින්, එළැඹ සිටි සිහියෙන් යුතුව, මනාව ආරම්භ කර පුරුදු කරන ලදුව, තම දෛනික අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙත් වැඩීම සිදුකළ යුතුය.
මේ බව කරණීය මෙත්ත සූත්‍රය තුල මෙසේ දක්වා ඇත.

‘’මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒතංපි සබ්බ භූතේසු
මානසං භවයේ අපරිමානං’’

උතුම් මව් පදවිය උසුලන, ආදරය, කරුණාව, මෛත්‍රියෙන් පිරිපුන් උසස් දරු සෙනෙහසක් ඇති මවක් යම්සේ සිය දිවි දෙවෙනි කොට තම එකම පුතු ආරක්ෂා කරන්නී ද එමෙන් සියලු ලෝක සත්ත්වයා වෙත අපරිමිත මෙත්සිත පැතිරවිය යුතුය. එය බුද්ධ චරිතයේ ආදර්ශයකි. අපේ බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රි බලය, ශක්තිය අපරිමිතයි. මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිමය. දරුණු සොරුන්, රෞද්‍ර යක්ෂ, නාග භූ®තාදීන් පහසුවෙන් දමනය කිරීමටත් තම වසඟයට ගැනීමටත් හැකියාව ලැබුණේ අපරිමිත මෛත්‍රී චිත්ත බලය නිසයි. දුටුවන් බියෙන් සැඟවී පලායන තරම් භයානක වූ නාලාගිරි ආදි තිරිසන් සතුන් පවා අහිංසක සැදැහැති දරුවන් සේ සිරිපා මුල දනින් වැඳ වැටෙන පමණට සංවර කිරීමට, දමනය කිරීමට හැකිවූයේ ඒ උතුම් මෛත්‍රි බල ශක්තියෙනි. ජීවිත කාලය පුරාම ද්වේශයෙන් ක්‍රෝධයෙන්, වෛරයෙන් අනේක විධ තර්ජන, ගර්ජන, වදහිංසා පැමිණවීමට උත්සාහ කළ දේවදත්තට කිසිදු වෙනසකින් තොරව මෙත්සිතම වැඩූහ. ගිහිකළ තමනට දාව උපන් රාහුල කුමරුට වැඩි මෛත්‍රියක්, කරුණාවක් නොපැවැත් වූහ. සියල්ලටම සම සිතින් මෙත්සිත වැඩුවා. මහා කාරුණික තථාගතයන් වහන්සේ ගේ මේ උතුම් ආදර්ශයම ගුරුතන්හි තබා සියලු සතුනට සම මෙත් සිතම පැතිරවීමට හැකි හැම උත්සාහයක්ම ගත යුතුයි.

‘තිට්ඨං චරං නිසින්නෝවා
සයා නෝ වා යාව තස්ස විගත මිද්ධෝ’

සිටගෙන සිටියත් ගමනේ යෙදුණත් සක්මන් කරන මොහොතෙත් අසුන්ගෙන සිටියත්, සයනය කරන අවස්ථාවේදීත් අපිරිමිත මෙත් සිත පතුරවන්න හැකියාව තියෙනවා. එපමණක් නොව නින්දට ගොස් නින්ද එනතුරුත් මෙත් සිත වඩන්න හැකි බව පෙන්වා දී තිබෙනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ සෑම ඉරියව්වක සිටම මේ භාවනා ක්‍රමය වඩන්න හැකි බවයි. මේ සඳහා නිශ්චිත වෙන් වූ ඉරියව්වක් නැත. සන්සුන් පරිසරයක හැකි පමණ කාලයක් එකම ඉරියව්වක සිට මේ කමටහන වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන උපදවන්න හැකි වෙනවා. මෛත්‍රී කමටහන හොඳින් ප්‍රගුණ කර ධ්‍යාන වඩා සෙසු භාවනා කමටහන් ප්‍රගුණ කිරීමටත් විදර්ශනා භාවනා ක්‍රම දියුණු කිරීමටත් පහසු වෙන

1. මෛත්‍රී චිත්තය

මෙජ්ජතීති – මෙත්තා සිතේ පවත්නා මෘදු බව සිනිඳු බව මෛත්‍රියයි. මිත්තේ භවා මිත්තස්ස ඒසා පවත්තීතිපි – මෙත්තා මිතුරා කෙරෙහි වූයේ හෝ මිතුරාගේ පැවැත්මය යන තේරුමට හෝ මෛත්‍රිය යයි කියනු ලැබේ. හිතේසිකා සබ්බ සත්තේසු හිත එරණතා – මෙත්තා සියලු සත්වයන් කෙරෙහි හිතෛශී භාවය හිත පැතිරවීම් ස්වභාවය මෛත්‍රීයයි.

සබ්බ සත්තේසු හිතාකාරප්පවත්ති ලක්ඛණා මෙත්තා සියලු සත්ත්වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම මෛත්‍රියයේ ලක්ෂණයයි. කෝපය සංසිඳවීම මෙයින් ලැබෙන සම්පත්තියයි.

එබඳු මෛත්‍රීයයෙන් යුත් සිත මෛත්‍රී චිත්තයයි දත යුතුය. මෙබඳු මෛත්‍රීයෙන් යුත් තැනැත්තේ,

1. සුවසේ නිදයි. – පිංවත් යාලුව‍ෙන් අද සමහරුන්ට නින්ද කියන්නෙ ලොකු ගැටලුවක්. සමහරු මත්පැන්බොනව සුව නින්දක් ලබාගන්න. තව සමහරු නිදිපෙති අහුරු ගණන් ගිලිනව. ඒත් මෙත් සිත වඩන කෙනා ඉතා සුව නින්දක් බලනව. මොකක්ද මේකට හේතුව. සුව නින්දක් නොලැබෙන්නෙ සිත කලහකාරී නිසා. කරදර වලින් පිරිල නිසා. ඒත් මෙත්සිත වඩන්නන්ට සිතේ ප්‍රභාෂ්වරය නිසා ඔය කිසිම ගැටලුවක් නැහැ. කරදරත් නෑ. තිබුනත් ඒව ආශ්චර්යමත් විදිහට විසදිල යනව. අපට දැනෙන දුක් කරදර වාඩිහරියකට හේතුව අපේම හිතමයි. ඒ ගැන වෙනම වෙලාවක කියන්නම්.
2. සුවසේ අවදිවෙයි – මොකද සිත නිදහස් නිසා ඉතාම සුවෙන් අවදිවෙන්න පුලුවන්. අනික වෙලාවට ඇහැරෙනව. ඕව මහ ආශ්චර්යමත් දේවල්. කරලම බලන්නකෝ.

3. නපුරු සිහින නොදකියි. මම කලින් කිව්වෙ ඔයාලට. හිතේ තියෙන ප්‍රභාෂ්වරය නිසා මෙත් සිත් ඇත්තාට පේන්නෙ හරිම සුන්දර හීන. මල්වත්තක්, දියකඩිත්තක් දැක්කට හිතේ සතුටක් මිස බයක් නෑනෙ නේද? එහෙම නැතනම් කිසිම හීනයක් දකින්නෙ නෑ.

4. මිනිසුන්ට පි‍්‍රය වෙයි. – මොකද හේතුව. අද විද්‍යාව පවා තහවුරු කරනව මිනිස් සිරුරෙන් රශ්මි දහරක් පිටවෙනව කියල. දැන් යමක් ඔයාලට මතක් වෙන්න ඕනි. මොකක්ද? දේවාතිදේව, බ්‍රහ්මාති බූහ්ම ලොව්තුරු සර්වඥයන් වහන්සේගේ බුදුරැස් වලල්ල පිළිබදව. ඒ මෙත්සිතේ පරම උත්තම අවස්ථාව බව කියන්න ඕනි. ඉතින් ඔයාලත්මෙක් භාවනාව කරද්දි ඇසට නෙපෙනෙන රන්වන් රශ්මිධාරාවක් සිරුරින් පිටවෙනව. ඒ‍ෙක ප්‍රභාෂ්වගෙතිය නිසා දකින අයට ඔයාලව පි‍්‍රය වෙනව. හැබැයි මස්මාලු ගිලින්න දගලන අයට කියන්න තියෙන්නෙ කරල බලන්න හරියයිද කියල විතරයි.

5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි. මේකට හේතුව තමයි යාලුවනේ මෙත් සිත් ඇත්තා නිතර යහපත් විදිහට සිතන්නෙ. ඔය කුණු මස්මාලු ගිලල බඩ සවුත්තුකරගත්තු ඇවිදින සොහොන්ගෙවල් පස්සෙ තමයි යක්කු පෙරේතයො එන්නෙ. දක්කනෙ මම දාපු ලිපිවල තිබුන කුණු මස්වල හැටි. ඉතින් මිනිස්සු පස්සෙ යක්කු එන්නෙ ආදරේකට නෙවෙයි. හැබැයි මෙත්සිත් ඇති පිරිසිදු අයට අමුනුෂ්‍යයන්ගෙන් කිසි කරදරයක් නෑ. මොකද එයාලට මෙයාගෙන් ගන්න දෙයක් නෑ. තමන්ගෙ පාඩුවෙ ජීවත්වෙන අයට කවුරැත් කැමති. අනික ගන්න දෙයක් නැතිනම් පස්සෙන් එන්නෙ මොකටද?

6. දෙවියෝ රකිති. සක්ක සංයුක්තයේදි සක්දෙවිඳු මිනිසුන්ට වන්දනා කරන්නේ ඔවුන්ගේ යහපැවැත්ම නිසාවෙනි. එහෙයින් දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට පුද පඬුරු පුදා යාඥා කළ යුතු නොවේ. මෛත්‍රි සහගත කාය, වචී, මනෝ කර්ම තුළින් එය සිදු කරගත හැකිය. ගහට්ඨවන්දනා සූත්‍රයේදි ඒ බව මෙසේ දක්වා ඇත.

යේගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන ධාරං පෝසෙන්ති
තේ නමස්සාමි මාතලී

යාලුවනේ යම් කිසි ගෘහපතියෙක් පින්කම් කරයිනම්, සිල්වත්නම්, ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරයිනම් මම ඔහුට නමස්කාර කරනව කියල සක් දෙවියො මාතලීට කීව. ඉතින් දෙවියන්ගෙන් නමස්කාර කරන අයට දඩබ්බර යකෙක්වත් අනතුරක් කරන්නෙ නෑනෙ.

7. ගිනි – විෂ – ආයුධ හෝ ඔහුගේ කයට නොපිවිසෙයි. මෙය ඉතාම වැදගත්. උදේන රජතුමා මාගන්ධියා බිසවගෙ බොරු බසට රැවටිල නේද සාමාවතිය ඇතුලු පන්සියයක් මරන්න දඊතලයක් විද්දෙ. මොකද උනේ. ඊතලයට වෙච්ච දේ බලන්නකො. ආපහු රජතුමා පස්සෙ ආව. මෙන්න මෙත් බලය. සිරිමා ගනිකාව උත්තරා උපාසිකාවට නේද උණු තෙල් හැලුවෙ. පිච්චුනේ නෑ මෙත් සිත නිසා. පුචි හාමුදුරුකෙනෙක් භාවනා කරද්දි මනුස්සයෙක් කඩු පහරක් ගහල. කඩුව දෙකට නැමුනලු. වැඩිය ඕනි නෑ. ඔයාල දන්නවනෙ මේ ලගදි මම ඉන්න තැනට අකුණක් ගහල බේරුණ හැටි. බල්බ් බිදිල වැටුනත පරිගණකයටවත් මටවත් අබමල් රේණුවක හානියක් නෑ. ඕව ඉතින් දන්නෙ භාවනා කරන අයම තමයි. ඔයාලත් උත්සාහ කරන්න.

8. වහා සිත එකඟ වෙයි. භාවනාවට ඉදගත්තද හිත විහිරෙන්නෙ නෑ. ඒ ගැන මම කලින් කියල තියෙනව. සිතේ තියෙන පිරිසිදුකම තමයි ඒ.

9. මුහුණේ පැහැය බබළයි. මම කලින් කිව්ව රශ්මි දහරාව මතකයිනෙ.

10. නුමුළාව කළුරිය කරයි. මේකත් හිතාගන්න පුලුවන්නේ. හිතේ පිරිසිදු කමම තමයි.

11. මරණින් මතු සුගතියෙහි උපදියි. ආයි දෙකක් නෑ. යහපත් තැනක්ම තමයි.

2. මෛත්‍රී චිත්ත විමුක්තිය

මෛත්‍රීයෙන් යුත් සිත පංච නීවරණා දී සතුරන්ගෙන් විශේෂයෙන් මිදේද එහෙයින් චිත්ත විමුක්තිය යයි කියනු ලැබේ. ධ්‍යාන බවට පැමිණි මෛත්‍රීයට මෙය නමෙකි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අතුරෙන් මෛත්‍රීය දක්වන තන්හි මෙත්තා යි කී කල්හි සමහර තැනෙක ධ්‍යාන තත්ත්වයට පැමිණි මෛත්‍රියටද සමහර තැනෙක ධ්‍යාන පුර්භාග මෛත්‍රීයද ගැනේ. මෙත්තා චේතෝ විමුක්ති යි කිවහොත් ධ්‍යාන බවට පැමිණි මෛත්‍රියම ගැනේ.

මෙත්තා – කරුණා – මුදිතා යන ත්‍රිවිධ වූ බ්‍රහ්ම විහාර භාවනාවෙන් ලැබිය හැක්කේ ප්‍රථම ද්විතීය තෘතීය යන ධ්‍යානයෝය. එබැවින් ඒ ඒ ධ්‍යානයකින් නීවරණයන් ගෙන් හොඳ හැටි මිදුණු සිත මෛත්‍රී චිත්ත විමුක්තිය ලෙස දත යුතුය.

3. මෛත්‍රීය වැඩිය යුත්තේ කෙසේද?

ත්‍රිහේතුක ප්‍රතිසන්ධික යෝගාවචරයා විසින් පිරිසිදු පංචශීලයෙහි හෝ පිහිටා පළිබෝධයන් දුර හැර සුදුසු විවේක ස්ථානයක සුව අසුනෙක හිඳ පළමු කොට ද්වේශයෙහි ආදීනව හා ක්ෂාන්තියෙහි අනුසස් හැකිතාක් දුරට මෙනෙහි කළ යුතුයි. කුමක් හෙයින්ද මෙම භාවනාවෙන් ද්වේෂය දුරු කළ යුතුයි. ක්ෂාන්තිය ලැබ ගත යුතුයි. ආදීනව හා නොදැක්ක දෙය දුරු කරන්නටද ආනිසංස නොදැක්ක දෙය ලබන්නටද නොහැකි බැවිනි ආදීනව මෙසේ මෙනෙහි කළ යුතුය.

කුද්ධෝ අත්ථං නජානාති – කුද්ධෝ ධම්මං නපස්සති

කිපි තැනැත්තා කළ යුත්ත නොදනී. කිපි තැනැත්තා ධර්මය නොදනී.

යමෙක් නිරපරාධී තැනැත්තකුට කිපුණත් උඩු සුළඟට දැමූ ධූලී තම මුහුණටම එන්නාක් මෙන් තමාටම විපත් පැමිණේ.

යමෙක් දඬුවම් නොකළ යුතු කෙනෙකුට දඬුවම් කෙරේද ද්වේශ නොකළ යුත්තෙකුට කිපේද ඔහු දස විධ අන්තරායයන්ගෙන් එක්තරා අන්තරායකට පැමිණේ.

දස විධ අන්තරාය නම්:

1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.

2. බලවත් ධන හානියක් සිදුවෙයි.

3. අතපය ආදී අවයව බිඳෙත්.

4. දරුණු ලෙඩක් සැදෙයි.

5. උමතු වෙයි.

6. රාජ උදහසක් ඇති වෙයි.

7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.

8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.

9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.

10. ඔහුගේ ගෙය ගිනි ගනී.

මෙකී අන්තරාය දහයෙන් එකකට හෝ කීපයකට මෙලොවදීම මුහුණ පා වැඩි කල් ජීවත් නොවී මරණයටද පැමිණ මරණින් මතු අපායටද පැමිණෙන්නේ ය.

මේ ගැනද සිතන්න.

1. කිපෙන තැනැත්තාට ළඟම ඇත්තෙ පෝරකය හෝ නිරයයි. දන්නවනෙ ඔයාල සමාජෙ ගරන
2. මිනී මැරුවෝ වැඩි දෙනෙක්ම කිපෙන තැනැත්තෝය. කවුරුත් හිනාවෙලා මිනී මරන්නෙ නෑනෙ.
3. කිපීම නීචයන්ගේ ක්‍රියාවකි.

4. නොකිපෙනු, කිපුනත් වචනයක් නොකියනු. කිසිවක් නොකරනු. ලියුමක් පවා නො ලියනු. ලියුවත් තැපැල් නොකරනු. ඔයාල අහල ඇතිනෙ තරහ ගියාම දහයට ගනින්න කියල. ඒවගේ මේකත්. එක් අවස්ථාවක ධම්මපදයෙ තියෙනව යමෙක් නිරපරාදෙ උතුමෙකුට පහරදෙනවනම් ඔහුට සාපවේවා. ඒ පහර දෙන තැනැත්තා කෙරේ කිපෙන උතුමාට ඊට වඩා සාප වේවා කියල. කොහොමද වැඩේ.

5. කිපෙන තැනැත්තා දෝතින් ගිනි අඟුරු ගෙන අනුනට ගසන්නෙක්.

6. කිපෙන තැනැත්තා ඉක්මණින්ම දුගී භාවයට පැමිණේ. මෙසේ කෝපයේ ආදීනව ගැන සිතන්න.

ඉවසීමේ අගය

ඛන්ත්‍යා භීයෝ නවිජ්ජන්ති

ක්ෂාන්තියට වඩා උතුªම් ගුණයක් විද්‍යාමාන නොවේ.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා

ඉවසීම සහිත ක්ෂාන්තියයි උතුම් තපෝ ගුණයයි.

වසන දනා රුපු යුදයට ජය කොඩිය ඉවසීමෙන් සැනසීම ලැබේ.

මේ ආදී ක්‍රමයෙන් ඉවසීමේ වැදගත්කම සැලකිය යුතුයි. මෙසේත් සලකා ඉවසිය නොහැකි නම් උතුමන්ගේ චරිත මෙනෙහි කළ යුතුය.

4. මෙත් වැඩිය යුත්තේ කාටද? – මෙත් නොවැඩිය යුත්තේ කාටද?

ඉවසීමේ අගයද ක්‍රෝධ කිරීමේ ආදීනවද සලකා විවේක ස්ථානයක හිඳ තමා සැපයට කැමති බැවින් සාක්ෂි ස්ථානයෙහි ලා සලකනු පිණිස මම සැප ඇත්තෙක් වෙමි. මම සැප ඇත්තෙක් වෙමි යි. බොහෝ කලක් සලකා අනතුරුව හිතවතාට ද ඉන්පසු මධ්‍යස්ථයාටද පසුව සතුරාටද මෙත් වැඩිය යුතුය.

හිතවතාට මෙත් වැඩීමේදී ලිංග විසභාගත්වය විශේෂයෙන් සැලකිය යුතුය. පිරිමියෙක් ස්ත්‍රියකටද ස්ත්‍රියක් පිරිමියෙකුටද පෞද්ගලික වශයෙන් මෙත් වැඩිය යුතු නොවේ. එසේ කිරීමේදී රාගය මෛත්‍රිය මෙන් වෙස් වලා ගෙන පැමිණ ඒ යෝගාවචරයා මැඩලයි. රාගය මෛත්‍රියට ළඟම සිටින සතුරාය.

ව්‍යාපාදය ඈත සිටින සතුරාය. ඒ නිසා රාගය ආලය පේ‍්‍රමය කියන තත්ත්වයට නොවැටී හිතවත්කම, යහපතක් වීමේ කැමැත්ත යන අදහස්වලට සමාන වන පරිදි රාගයෙන් මෛත්‍රිය පරිස්සම් කරගත යුතුය.

ගල් මුල් ආදියක ගැටීමෙන් හෝ පය පැකිලීමෙන් හෝ හදිසි යමක් කිරීමට කීපවරක්ම වෑයම් කර නොහැකිවීම් ආදියෙන් හෝ මෝඩකම වැඩි තරමට බලවත්වද නිතර නිතරම උපදිනා අස්ථාන කෝපයත් සමඟ දස ආකාරයකට මෛත්‍රීයට ඉඳුරාම සතුරු වූ මේ ව්‍යාපාද උපදී. මෙසේ දස ආකාරයකින් සිතේ උපදිනා තරහවක් වේද නැවත නැවත ගැටීමක් වේද විරෝධයක් වේද ප්‍රතිවිරෝධයක් වේද කිපීමෙන් නැවත නැවත කිපීමෙන් ද්වේෂයක් සිතේ විකෘතියක් සැඩ ගතියක් නොසතුටු ගතියක් ඇත්නම් එය ව්‍යාපාද නීවරණ යයි කියනු ලැබේ කියල සදහන් වෙනව. නිතර හොද වචනයක් පුරුදු කරන්න. නමෝ බුද්ධා වගේ වචනයක් කියවෙනවනම් හදිස්සියකදි මොන තරම් පිනක්ද?

පිළුණු බතක් සියලු දෙනාගේම පිළිකුලට භාජනය වන්නාක් මෙන් කිපෙන පුද්ගලයා සියලු දෙනාගේම පිළිකුලට භාජනය වේ. එසේම යහළුවෙකුගේ වේශයෙන් වෙස්වලා පැමිණෙන සතුරකුමෙන් රාගයද මෛත්‍රියෙහි ස්වරූපයෙන් පැමිණ මෛත්‍රිය වනසයි. එනිසා වෛරය මෛත්‍රියට දුර සිටින සතුරා වශයෙන්ද රාගය ළඟම සිටින සතුරා වශයෙන් ද සැලකිය යුතුය.

ඔබට යම් කිසි වේලාවක කිසිවක් හෝ කිසිවක් ගැන දොම්නසක් අසතුටක් තරහක් පළිගැනීමේ චේතනාවක් වෛරයක් බද්ධ වෛරයක් නැතිනම් ඒ වේලාවට ඔබ තුළ ව්‍යාපාදය නැත. එසේම ඇල්මක් ආශාවක් පේ‍්‍රමයක් ආලයක් තෘෂ්ණාවක් නැතිව හිතවත් කමක් යහපතක් වීමේ කැමැත්තක් නගාසිටුවමි. උසස් කරවමි. යන චේතනාවක් නම් පවතින්නේ ඒ වේලාවේ ඔබ තුළ රාගයද නැත. පවතින්නේ මෛත්‍රියයි.

මෛත්‍රී භාවනාව මහා බලගතු ආනිසංස ඇති කමටහනක්. සියලු පින්කම්වලට වඩා අතිශයින් උසස්, ප්‍රබල අනුසස් ලබාදෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරා තිබේ. කෙනෙක් ජීවිතය පුරාම සිදුකරන සියලු පින්කම් වලට වඩා ඔහු එක මොහොතක් මෛත්‍රී සිත වැඩීමෙන් ලබන පින්කම උසස් වනවා. මංපෙත් සැකසීම, ගිලන් උවටැන, පරෝපකාරය, දන්දීම, පින්දීම් සඟසතු මහා දන්දීම් චීවර පූජා ආදී අනේක විධ පින්කම් සියල්ලම ආකාශයක තිබෙන තරු ගණට සමාන කර දක්වන්න හැකිවේ. මෙලෙස ආකාශයේ තිබෙන තරු එකට එක්ව එක් රාත්‍රියක බබලන්නට වුවහොත් අහස හරිම ලස්සන පි‍්‍රයකරු දර්ශනයක් වෙයි. එහෙත් අපට ආලෝකයක් දෙන්න තරම් ශක්තියක් ඒ තරුවලට නැහැ. එහෙත් අහසේ ඇති එකම සඳ බබලන විට අහසත් අලංකාර වෙනවා සේම අපටත් ප්‍රබල ආලෝකයක් දෙනවා. හිරු ඒ සියල්ලම ඉක්මවා අපට ආලෝකය දෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස මේ හිරු සඳු වගේ් සියලු පින්කම් ඉක්මවා උසස් ප්‍රතිඵල ලබාදෙන අයුරු ධර්මයේ විස්තරව සඳහන්ව තිබේ. එමෙන්ම මෛත්‍රී භාවනා ආනිසංස භික්ෂූන් වහන්සේට තවත් ආකාරයකින් පෙන්වා දී තිබේ.
හොදයි. මම මේතරම් වෙලා ඔයාලට පැහැදිලි කලේ මෙත් වැඩීම කොයිතරම් නම් වැදගත්ද කියල. කෝටි ලක්ෂයක් සක්වල පරයා යන තරම් මෙත් සිත් පැතිර යාමට හේතු වූ මහානුභාව සම්පන්න මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය ඔයලට දෙන්නම්.
මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි, ´´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ´ භාග්‍යවතුන් වහන්සැ´ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

3. ´´ඒ කිනම් ආනිශංස අටක්ද? සැපසේ නිදයි. සැපසේ අවදිවෙයි. නපුරු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නක් හෝ විසක් හෝ ආයුධයක් හෝ නොවදී. මෛත්‍රී භාවනාවෙන් රහත් බව ලබන්නට නොහැකිවීනම් (මරණින් මතු) බඹ ලොව උපදී. මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.

4. (1) යමෙක් අප්‍රමාණ සතුන් වෙත මෛත්‍රිය සිහියෙන් යුක්තව වඩාද, විදර්‍ශනාවෙන් කෙළෙස් නැති කිරීමයයි කියන ලද රහත් බවට පැමිණියහුගේ දශ සංයෝජනයෝ තුනී වෙත්.

(2) ´´ඉදින් එකද සත්ත්‍වයෙකුට දූෂ්‍ය නුවූ සිත් ඇත්තේ මෛත්‍රී කෙරේද, ඒ කරණකොට ගෙන කුසල් ඇත්තේ වෙයි. සියලු ප්‍රාණීන් කෙරෙහිම සිතින් අනුකම්පා කරන්නාවූ ආය්‍ර්‍යතෙම බොහෝ පින් කරයි.´´

(3) යම් නෙනෙක් සත්ත්‍වයන්ගෙන් පිරුණාවූ පොළොව ජයගෙන තාපසයන් මෙන් දැහැමි රජවරු වූවාහු දන් දෙමින් හැසුරුණහුද, අෂ්ව මෙධය, පුරුෂ මෙධය, සම්මාපාසය, වාචපෙය්‍යය, නිරග්ගලයයි යම් යාග පසක් වෙද්ද, ඒ මහා යාගයෝද මනාකොට වඩන ලද මෛත්‍රී සිතෙහි දහසයවන කලාවටද නොපැමිණෙත්. චන්‍ද්‍රයාගේ රෂ්මිය මෙන් තාරකාවන්ගේ රශ්මිය නැත්තාක් මෙනි.´´

(4) යමෙක් තෙම සතුන් නොමරාද, අනුන් ලවාත් නොමරවාද, අනුන් නොපරදවාද, වෙන කෙනෙකු ලවාත් අනුන් නොපරදවාද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී පිණ්ඩයක් වේ. ඔහු කෙරෙහි කිසිවෙකුගේ වෛරයක් නැත්තේය.´´

මෙත් වැඩීම බුදුහිමියන්ට දෙන දානයකට වඩා මහ පින් රැස්කරන පුන්ණ්‍යකර්මයක්. ඒ පිලිබද වේලාම සූත්‍රයේ සදහන් වෙනව. අපේ ලිපියක් තියෙනව ඒ පිලිබදව.  මේ වෙබ් අඩවියේම. වැඩිදුර අධශනය කලොත් හොයාගෙන කියටවන්න පුලුවන් වේවි.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා …

මහමෙර මෙන් නොසැලෙන කඨින මහා පිංකම
රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉතිහාස කථාව ...

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.