කුටි සෙනසුන් පිදීමේ ආනිසංස හා කඨිනානිසංස …

ඔබ කිසියම් ම හෝ දවසක කවර ම ආකරයකට හෝ සම්බුද්ධ ශාසනය උදෙසා විහාරයක්, ආරාමයක්, කුටියක්, සෙනසුනක් ඉදි කරගැනීමට උපකාර කර ඇති, සෘජුව ම නොවුණත් වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධ වී ඇතුවාට සැකයක් නැහැ. නමුත් ඔබ සම්බන්ධ වී ඇත්තේ කවරාකාර කුසළයකටදැයි ඔබ දන්නවාද? සසර කෙළෙස් ජය ගැනීමට මේ යන ගමනේදී ප්‍රඥාවන්ත ව, කළ කුසළානිශංස මෙනෙහි කරමින්, ඒවායෙ ප්‍රතිඵල මහත්ඵල කරගන්න, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ පහත දහම් විග්‍රහය බලන්න.

බොහෝ දෙනෙක් කඨින මහා පූජ්‍යෝත්සවයන් සඳහා ද සහභාගී වී ඇති නොඅනුමානයි. කඨිනානිසංස බොහෝ ඇති බව කියුවත්, ත්‍රිපිටක විග්‍රහයන්ට අනුව ඒ උතුම් කුසළය ඵල සහිත වන අයුරු පහත දෙසුමෙන් කියවා වටහා ගන්න.

PDF බාගන්න මෙතැනින් : කුටි සෙනසුන් පිදීම හා කඨිනානිසංස – අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහ නාහිමි (2005)2

දහම් ඇසීම / කියවීම භාවනවකි. නිවන් මඟට මහත් අත්වැලකි. ඒ ඔබ සියළුදෙනාටමත් එසේම වේවා!

දේශනාව කියවන්න පහළින්

කුටි සෙනසුන් පිදීම හා කඨිනානිසංස – අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහ නාහිමි (2005)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච
සිරිංසපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

දදෙය්‍ය උජුභූතේසු විප්පසන්නේන චේතසා
තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං
යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති

ශ්‍රද්ධාවන්ත පිංවතුනි,

තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරිහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජා වාර කීපයකදී දේශනා කළ, සේනාසන දානානිසංස ගාථා පෙළක් මේ ප්‍රකාශ වුණේ. මේ ගාථා පෙළ, විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ, සේනාසනක්ඛන්දකයේ පහසුවෙන් දැකගන්න පුළුවන්. ඒ දේශනා කළේ ජේතවනාරාම පූජාව පිණිසයි. එදා ජේතවනාරම විහාර පූජාවේදී අසූහාරදහසක් තරම් පිරිස ඒ පින අනුමෝදම් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මුලින් ම විහාර පූජාවක් කෙරුණේ රජගහ නුවර බිම්බිසාර මහ රජ්ජුරුවන් විසින් කරන ලද වේළුවන මහා විහාර පූජාවයි. ඒ දවසේ මහා පොළොව ද කම්පා වුණා. ඒ විහාර පූජාවට අනතුරුව, මාස දෙකක් ඇතුළත විසි දහසකට වඩා රහතන් වහන්සේලා බුදු සසුණේ පහළ වූ නිසා, මහා විහාරස්ථාන දහ අටක් රජගහ නුවර අවට බොහෝ දෙනෙක් ඉදි කරලා සඟ සතු කොට පූජාකරන්නට යෙදුනා. ඒවගේම සැවැත් නුවර පූර්වාරාමය නමින් දෙමහල් ප්‍රාසාදයක් කාමර දාහක් ඇති විහාරය, විසිහත් කෝටියක ධනය වැය කිරීමෙන් විශාකා මාතාව විසින් ද පූජා කරන්නට යෙදුනා. ඒ පූජාවසානයේ එතුමිය තමන්ගේ දරු මුනුපුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැඟිල්ල වටේ ප්‍රදක්ෂිණා කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍ය කිය කියා පිං අනුමෝදම් වුණා.

පිංවතුනි, අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධශාසන කාලයේදී දෙවෙනි වරට ප්‍රදේශයක සිටුවරයෙක් වෙලා ඉපිද සිටිද්දී තමංගේ මාලිගාව අළුත්වැඩියා කරගන්න වටිනා දැව සොයාගෙන වනාන්තරයකට ගියා. ඒ යනකොට දැක්කා, ඒ ආරණ්‍ය සේනාසනයේ වෙසෙන සිල්වතුන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනවා. උන්වහන්සේ ගේ දර්ශනයෙන් හිත පහදවාගත් මේ බෝසතාණන් වහන්සේ, බෝසත් සිටුවරයා, ඒ අඩිපාර දිගේ ආරණ්‍යට ගියා කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නෙ බලන්ඩ. බැලුවාම කුටියක් සෙනසුණක් නෑ, ගල් ගෙයක්-බිංගෙයක් නෑ, ගහක් මුළ ඉඳලා තියෙන්නෙ. මෙතුමා කල්පණා කළා, මේ ස්වාමීන් වහන්සේ අපට වාගෙ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත්, කසාවතක් හැඳපෙරවගෙන මේ සීතල, උණුසුම, බඩගින්න, පිපාස, මැසි-මදුරු පීඩා, අවු-වැසි-සුළං පීඩා විඳගෙන, මේ වනාන්තරයට වෙලා සිදු කරන්නේ කෙළෙසුන් දමනය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේද, මෙවැනි උතුමන් ට කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නේද කියලා, තමන්ගේ ගමන නවත්තලා, ඒ ස්වාමීන් වහන්සේ ආපසු එන්න මත්තෙන්, එතැන තමංගේම දෑතින් දැව සපයලා කුඩා කුටියක් හැදුවා. මේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින් ම ඇඳක් හැටියට හදලා, පුටුවක් හැටියට හදලා, පැත්තකට වෙලා බලාන හිටියා. ස්වාමීන් වහන්සේ බොහෝම දුර බැහැර ඉඳලා පිණ්ඩපාතෙ යන්න තියෙන්නෙ, එනකොට හවස් වෙනවා, දානෙ වලඳලා ඉර අවර උණාට පස්සේ එතෙන්ට වැඩලා, මේ කුටියට ඇතුල් වෙලා වාඩි උණා. මේ බෝසතාණන් වහන්සේ වැඳනමස්කාර කරලා කිවුවා, “ස්වාමීනි, මේ වාගෙ කුටි සෙනසුන් ඔබවහන්සේලාට කැප ද?” “එසේය පිංවත, මේක මට බොහෝම උපකාරකයි. මීට ඉස්සර මං මේ ගහ මුල හිටියා, වැස්සට තෙමුනා, පිනි බෑවා, මැසි මදුරු පීඩා අනන්තයි, සතුන් සර්පයන් පවා එනවා, අනේ මට මේ කුටිය හදාපු ඔබගේ දෑත සිතූ පැතූ සම්පත් ලැබෙන පිං අතක්, සුරතුරක් වාගේ වේවා!” කියලා පිං දුන්නා. ඒ වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කිවුවා “ස්වාමීන් වහන්ස, මේක තාවකාලික කුටියක්, කොළ අතු වලිං හෙවිලි කරලා තියෙන්නෙ, ස්වාමීනි මට අවසරයි, මම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණයෙන් මහණදම් පුරන්නට කුටියක් හදනවා. එච්චරත් නෙමෙයි ස්වාමීනි, මම ඉන්න මගේ ගේ අහවල් තැන තියෙන්නෙ, මගේ අඹුදරුවන් සහිතව ඔබවහන්සේ ගේ කැපකරු දායකයන් බවට පත් වෙනවා. ඒ වගේම ස්වාමීනි, ඔබවහන්සේ ගමේ පිඬු සිඟා වැඩියාම දානෙ ලැබුණා හෝ නොලැබුණා හෝ, මගේ නිවසට වඩින සේක්වා! මම හැම දවසේම ඔබවහන්සේ ට කැපසුරුප් බන්දනයෙන් උපස්ථාන කරන්ඩ ඇප වෙනවා” කියලා පොරොන්දු වුණා. ඊලඟට මෙතුමා, ඒ සමීපයෙහි බිම සුද්ධ කරලා, ස්ථාවර කුටියක් හැදුවා. කුටියට අවශ්‍ය වන ඇඳ-පුටු-ඇතිරිලි, කොට්ට-මෙට්ට සහිත සියළුම ශ්‍රමණ පරිෂ්කාරත් සම්පූර්ණ කළා. ඒ වගේම පැන් පහසුවට පොකුණකුත් හැදුවා. ජලය පානයට ලිඳකුත් හැදුවා. මිදුලක් හදලා, වටේට ඉණි වැට හදලා, සතුන්ගෙන් කරදර නොවෙන්ඩ ආරක්ෂාව ද සැළසුවා. සියල්ල කරලා, ස්වාමීන්වහන්සේ ට පූජා කරල, වඩාහිඳෙවුවා. දිනපතා තමංගේ ගෙදර දානය පිරිනැමුවා. දිනපතා සුව දුක් සොයා බැලුවා. උන්වහන්සේ ද ඒ සෙනසුණ පරිහරණය කරමින්, සීල සමාධි ප්‍රඥා පුරලා, නොබෝ දිනකින් සවුකෙළෙස් නසා මහා රහත් භාවයට පත් වී වදාළා. රහතන් වහන්සේනමක් හැටියට බොහෝ කළක් වැඩ ඉඳලා, ඒ කාලෙ අවුරුදු විසිදහසක් ආයුෂ නෙ, එච්චර කළක් වැඩ ඉඳලා පිරිණිවන් පෑවා, ඒ ආදාහන කටයුතු පවා මෙතුමා ගේ අතින් සියල්ල සිද්ධ කළා.

මේ පුදුම පිංකමක් නේද, එක ස්වාමීන්වහන්සේනමක් වුනත්, එතුමානන් ගේ හිතේ පහළ වුණේ “මගේ මේ කුටිය, මගේ මේ උපට්ඨානය, අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහාසංඝරත්නයට වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. එපමණක් නෙවෙයි, එතුමාණන් ගේ ප්‍රාර්ථනාව වූයේ “මේ සෑම කුසළයක් මට අනාගතයේදී ලොවුතුරා බුදුබව පිණිස වේවා!” කියන පැතුමයි. ඒ වගේම ඒ කුසළ බලයෙන් එතුමාණන් ඉන් පසු මනුශ්‍යයන්ට පරමායුශ අවුරුදු අසංඛ්‍යයක කාලයේදී හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. එයින් හත් වැනි වාරයේදී මහා සුදස්සන කුමාරයා හැටියට පහළ වුණේ. අවුරුදු අසූහාරදහසක් මවුපියන් ගේ හෙවනේ සැපෙන් කුමාර ජීවිතයක් ගෙවුවා. තවත් අවුරුදු අසූහාරදහසක් උප රජකෙනෙක් හැටියට පියාණන් ට සහයෝගෙන් රාජ්‍යයට සහාය වුණා. ඊලඟට තමන් ම සක්විති රජ වුණා.

සක්විති රජ වෙලා බොහෝ කාලයක් ගත වෙන අතරත එතුමාණන් ට හිතුනා දානයක් දෙන්ඩ මේ රටවැසියන්ට. “මෙන්න මෙතනයි මං දානයක් දෙන්නේ” කියලා, දංසැලක් හදන්ඩ තැනක් හිතුවා, පහුවදා ගිහින් බලනකොට අංග සම්පූර්ණ දංසැලක් පහල වුණා. “මෙතන මං උයනක් හදන්න ඕනෙ, මෙතන මං පොකුණක් හදන්න ඕනේ” හිතන හිතන සියල්ල උන්වහන්සේට පහල වුණා. මොකද, අර එක ස්වාමීන්වහන්සේ නමකට රහත් වන තුරු අර කුටි සෙනසුන් කරවලා, පැන් පොකුණු කරවලා, පහසුකම් සැළසූ මේ කුසළයේ බලයෙන් සිතූ පැතූ සියල්ල පහල වුණා. ඒ ස්ථානයෙහි කල්පවෘක්ෂත් පහල වුණා. අන්තිමේදී රට වැසියන්ට දැනුම් දීලා අවුරුදු අසූහාරදහසක් තිස්සේ දිව්‍යමය ආහාඅර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා.

ඔය අතර රටවැසියෝ කල්පණා කළා රජ්ජුරුවන්ට කෝටි ගාණක මුදලක් එකතු කරගෙන ගෙනැත් දෙන්ඩ හැදුවා. රජ්ජුරුවෝ ප්‍රතික්ෂේප කළා, “මේ එකක්වත් මට එපා, මට මේ තියෙන දේවල් දීලා ඉවර වෙන්නේ නෑ, ඒ නිසා ඔබලා කැමති දෙයක් කරන්නැ’යි” කිවුවා. රටවැසියෝ එකතු වෙලා කථා කළා “අපි එහෙනම් මහ රජ්ජුරුවන්ට අළුත් ම අළුත් මාලිගාවක් හදමු” කියලා තැනක් කථා කළා “මෙන්න මෙතැනයි හදන්නේ” කියලා. රජ්ජුරුවන් ගේ පිනේ මහිමය කොහොමද, අර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර අසූහාරදහසක් ඇති, විශාල ප්‍රාසාදයක් පහල වුණා. පුදුම ආශ්චර්‍යයක් නේද? පස්සේ රජ්ජුරුවන්ට මේ ප්‍රාසාදය පිරිනැමුවා.

රජ්ජුරුවෝ කල්පණා කළා, “මං මේකෙන් හොඳ වැඩක් ගන්න ඕනේ” කියලා, තමං ගේ වැඩිමල් පුතාට ඔටුනු පළන්දවලා, මේ මාලිගාවට ගොඩ වුණා. නිවේදනය කළා “මට දානය ගේන එක උපස්ථායකයෙක් ඇර, කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි” කියලා. මාලිගාවට ඇතුල් වෙන පියගැටපෙළ රියන් දාහතරක් උසයි, එතන ගොඩවෙලා, හිතේ අධිශ්ටානයක් කළා, කාම විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු! ව්‍යාපාද විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු!, විහිංසා විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු!” කියලා තමං ගේ හිතට අණක් දෙනකොට ම අර පූජනීය ස්වාමීන් ව්හන්සේට මඟඵල නිවන දක්වා උපකාර කළ පිනේ මහිමයෙන් ඒ පියගැටපෙළේ මුඳුනේදීම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ධ්‍යාන පහල වුණා. ධ්‍යාන ලාභියෙක් හැටියටයි මේ මාලිගාවට ඇතුල් වෙලා, දවසක්-දෙකක්, අවුරුද්දක්-දෙකක් නෙමෙයි, අවුරුදු අසූහාරදසක් තිස්සේ ධ්‍යාන භාවනා වැඩුවා. අවසාන දවසේදී එතුමාණන් ට හිතක් පහල වුණා මගේ නෑදෑයෝ දකින්ඩ ඕනෙ කියලා. නෑදෑයන්ටත් හිතක් පහල වුණා අපේ මහරජ්ජුරුවෝ දකින්ඩ ඕනේ කියලා. තමං ගේ උපස්ථායකයට කිවුවා මැද මිදුලේ පටු ඇඳක් පණවන්ඩ කියලා. මේ පටු ඇඳේ ඇල වුණා දකුණු ඇලයෙන්,

අග්‍ර මහේෂිකාව භද්‍රා දේවිය ඇතුළු අසූහාරදහසක් බිසෝ වරුත්, දරුවොත්, මැති-ඇමතිවරුත්, නෑදෑයොත්, විශාල සංඛ්‍යාවක් මේ මාලිගාවෙ මැද මිදුලට ආවා. ඒ වේලාවේ දී, මේ භද්‍රා කියන අග මෙහෙසිය රජ්ජුරුවන් ගේ පැවැත්ම ගැන හිතුණා “රජ්ජුරුවෝ අද අපවත් වේදෝ” කියලා. කිසිම ලෙඩක් පේන්ට නෑ, හිතක් පහල වුණා. ඒ වෙලාවේ ආරාධනා කළා, “ස්වාමීනි, ඔබ වහන්සේට මාලිගා ම අසූහාරදහසක් මේ ජම්බුද්වීපයේම තියෙනවා. ඒ කාලේ නගරවල් අසූහාරදහසේ අසූහාරදහසක් රාජ මාලිගා, අසූහාරදහසක් මාලිගා වගේම සියළු දේවල්, මංගල ඇතුන් අසූහාරදහසයි, මංගල අශ්වයන්, මංගල රථ, මඟුල් කඩු, මඟුල් ඔටුණු, ඔක්කෝම අසූහාරදහස බැඟින් තියෙනවා. ඒ වගේම එක එක නගරයක රාජකීය පැන් පොකුණු අසූහාරදහස බැගින්, මේ විදියට එකක් නෙමෙයි, සියල්ල ම අසූහාරදහස බැඟින් තියෙනවා, ඒ සියල්ලට හිමිකම් ඇතුව නැවතත් අපේ රජ පවුලේ ම පහල වෙන්ඩ ප්‍රාර්ථනා කෙරෙත්වා!” කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බෝසතාණන්වහන්සේ කිවුවා භද්‍රා දේවීන්ට, “දේවීන් වහන්ස. එහෙම කියන්ඩෙපා, මෙහෙම කියන්ඩ, දෙවයන්වහන්ස, ඔබ වහන්සේට මේසා විසාල සම්පත් අසූහාරදහස බැඟින් තියෙනවා, අලපතක දියත්තක් රැඳෙන් නැතුවා වගේ, නෙළුම් මලක, නෙළුම් කොලේක දිය රැඳෙන් නැතුවා වගේ මේ කිසිවක් ගැන ආශාව තබා නොගන්නා සේක්වා!” කියලා ආරාධනා කරන්ඩ කිවුවා. ඒ  විදිහට ආරාධනා කළා – කඳුළු වගුරවමින්. ඒ වෙලාවේ බෝසත් මහා සුදස්සන රජ්ජුරුවෝ සෑම දෙනාට කථා කරලා කිවුවා, “මං කුඩා කාලයේ පටන් නිති පංසිල් රැක්කා. පොහොය අටසිල් රැක්කා. මවුපියන් ජීවත් ව ඉන්න කාලෙ මන් මැනෙවින් උපස්ථාන කළා. මං උප රජ කම අවුරුදු අසූහාරදහසක් කළා. අවුරුදු අසූහාරදහසක් තිස්සේ මහා දානයක් මං පිරිනැමුවා. අවුරුදු අසූහාරදහසක් තිස්සේ මා මේ සීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන, භාවනා වඩමින් මේ මාලිගාවේ සුවසේ විවේක වත් පිරුවා. නෙක්ඛම්මය පිරුවා. මඟේ ජීවිතය පුරා මා රැස්පත් කරගත්ත සෑම කුසලයක් මඟේ මේ නෑදෑයෝ, මගේ මේ රට වැසියෝ අනුමෝදං වෙත්වා! ඒ වගේම මා අතින් මගේ ජීවිත කාලය තුළ යම් ප්‍රමාද දෝශයක් මේ අයට ඇතොත්, ඒ සියල්ලට සමා වෙත්වා! මම අනාගතයේදී බඹ ලොව ඉපිද, ඉන් නොනැවතී මතු අනාගතයේ ලොවුතුරා බුදු පදවිය ලබනවා, ඔබ සෑම දෙනාටත් ඒ බුදු සසුණේ දී නිවන් සුව අත් වේවා!” කියලා නෙත් දෙක පියා ගත්තා. පුදුම ආශ්චර්‍යයක් නේද? සතෝ-සම්පජානකාරී ව, නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගෙන සුව නින්දට වැටුනා වගේ එහෙම්මම නිරුද්ධ වෙලා බඹ ලොව උපන්නා.

නැවත නැවත නැවත මනුලොව ඉපදෙමින්, පහල වෙමින්, බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිම ආත්මභාවයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහලව, ලොවුතුරා සම්මා සම්බුදු වුණා. ඒ මේ සර්වඥයන් වහන්සේ ගේ ශාසනයේ තමයි මේ කුටි සේනාසන පූජාව සිද්ධ වුණේ. දන් මෙතන සඳහන් වුණා, ඒ මහා බෝසතාණන් වහන්සේ කුටිය පොජා කළේ “මේ කුටි සේනාසනය, මේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහා සංඝරත්නයට, සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කරමින්, සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්, ධ්‍යාන, අභිඥා, මාර්ගඵල නිර්වානාවබෝධය කරගැනීමට උපකාර වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ වාගේ අද මේ කුටි සෙනසුන් පූජා කළ සෑම දෙනාගේම චිත්ත සංතානෙ අධිශ්ඨානය වන්නේ, “මේ නාඋයන ආරණ්‍යය සේනාසන වාසී සිල්වත්, ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපේ මේ ධනය වැය කිරීමෙන් ගොඩනැඟූ කුටි-සේනාසන සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කරගනිමින්, සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම සියල්ල මුදුන් පමුණුවාගනිමින්, ආයු, වර්ණ සැප, බල ප්‍රඥා ඇතිව, ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා, විපස්සනා ඥාණ වඩමින්, තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ විදිහේ ප්‍රාර්ථනාවෙන් කරන කුටි සේනාසන පූජාවේ ආනිසංස පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනව, දැන් සළකා බලමු…

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච
සිරිංසපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ

තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

මේ සේනාසනය පරිහරණය කිරීමේදී එම සිල්වතුන් වහන්සේලාට ලැබෙන පහසු විහරණ දහතුනක් මේ ගාථා දෙකෙන් කියවෙනවා. ඒ පහසු විහරණ තමයි,

සීතං උණ්හං පටිහංතේ – සීතලෙන් වෙන පීඩා වළකිනවා, උණුසුමෙන් වෙන පීඩා වළකිනවා.
තතෝ වාලමිගානි ච – නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා.
සිරිංසපේ ච මකසේ – බඩ ගානා සර්පයන් ගෙන් වෙන පීඩා වළකිනවා, මකසේ – මදුරුවන් ගෙන් වෙන පීඩා වළකිනවා
සිසිරේ චාපි චුට්ඨියෝ – පිනි බෑමෙන් සිදු වන විපත්ති වළකිනවා, වර්ෂාවෙන් වෙන පීඩා වළකිනවා,
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී – නපුරු දැඩි සුළඟින් වෙන පීඩා වළකිනවා, දැඩි අවු රශ්මියෙන් වෙන පීඩා වළකිනවා
ලේනත්ථඥ්ච – ඒ කුටි සේනාසනය තමංට කාල විවේකයෙන් යුතුව සීල-සමාධි-ප්‍රඥා පූරණය කරගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා
සුඛත්ථඥ්ච – එම සේනාසනය සිවු ඉරියවුවේම සමථ, විපස්සනා භාවනා සැපය උපදවාගන්න හේතු වෙනවා
ඣායිතුංච විපස්සිතුං – ධ්‍යාන-අභ්ඥා උපදවා ගන්න උපකාර වෙනවා, විදර්ශනා ඥාණ දියුණු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා

මේ ආනිශංස දහතුනක් මේ ගාථා දෙකේ සිද්ධ වුණා, සඳහන් වුණා. ඊලඟට සඳහන් කළේ ගාථාවෙන්,

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං – මේ සංඝයාට විහාරයක්, කුටියක්, සෙනසුණක්, සක්මනක්, රාත්‍රි ස්ථානයක්, දිවා ස්ථානයක්, ඒ වගේම ගිණිහල් ගෙයක්, යම්කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිශංස වසයෙන් මහත්ඵල ගෙනදෙන බව සර්වඥයන් වහන්සේ වර්ණනාත්මකව දේශණා කරනවා.

තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ

විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ – එනිසා නැනවත් බෞද්ධයන් විසින් සිත්කළු වූ, නත්නම් ප්‍රසාදනීය වූ කුටි-සෙනසුන් විහාර කරවා බහුශෘත, ආගම බහුශෘත, අධිගම බහුශෘත උතුමන් වහ්නසේලා වඩා හිඳුවා ගනිත්වා!

තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච – ඒ වගේම එම සිල්වතුන් වහන්සේලාට චීවරයද, සේනාසනයද, පිණ්ඩපාතයද, ගිලන්පසයද කියන මේ සිවු පසයෙන් උපස්ථාන කෙරේවා!

තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං – ඒ සිල්වතුන් වහන්සේලා, තමං මේ සිවුපසය පිළිඅරගෙන, පරිහරණය කරමින් ඒ ප්‍රසාදනීය කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවා, මෙලොව දියුණුවට, පරලොව සුගතියට, ශාන්ත නිවනට ධර්මය දේශනා කරනවා.

යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති – ඒ ධර්මය අහන්නා වූ සැදැහැවත් බෞද්ධයා, තමාද නිති පංසිල්, පොහොය අටසිල් රකිමින්, සිවු බඹ විහරණ වඩමින්, සමත-විපස්සනා භාවනා වඩමින්, ශාන-සීල-භාවනා කුසල් රැස් කරගනිමින්, මෙළොව, පරලොව ජයගෙන, ආශ්‍රවයන් ක්ෂය කරගෙන, සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාදා ගන්නවා.

මේකයි ගාථා පෙළේ කෙටි තේරුම. එනිසා අද මේ කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ, දැන් මෙම ස්ථනයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා නොයෙක් දිශාවෙන් පැමිණිලා භාවනානුයෝගීව වැඩ ඉන්නවා. පසුගිය කාලෙ කුටි සෙනසුන් ඉඩ මදිකම නිසා කීප නමක් ම භාර නොගෙන ඇරියා.  දැන් මේ කුටි සෙනසුන් හයක් ම අද අළුතින් ඉදි වුණා, පූජා වුණා. දැන් තවත් හය නමකට මේ ස්ථානයේ සීල-සමාධි-ප්‍රඥා ගුණ පූරණය කරගන්න අවකාශ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්.

ඒ වගේම කිසීම ආරාධනාවක් නැතුව සිය කැමැත්තෙන් ඇවිල්ලා භාවනානුයෝගීව වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා තමයි මේ වාරෙත් අසූ දෙනමක් පමණ වස් එළැඹී හිටියේ. තවත් ඉදිරියට තව වැඩි වෙනවා, උන්වහන්සේලාට මේ සේනාසනය ඒකාන්තයෙන් ම තබන තබන පියවරක් ගානේ සති සමාධි ඥාණ වැඩෙන, ධ්‍යාන-සමාපත්ති ලැබෙන, විපස්සනා ඥාණ වැඩෙන ජය භූමියක්, ක්ෂේම භූමියක්, පුන්‍ය භූමියක් බවට පත්වේවා කියලා අපි මෛත්‍රී කරන්න ඕනේ.

කඨින චීවර පූජාවෙන් භික්ෂූන් වහන්සේට හා දායකයන්ට ලැබෙන ආනිසංස

අද වෙන දවස් වල කරන කුටි සෙනසුන් පූජාවක් වගේ නෙමෙයි, මේ අශ්ට පරිශ්කාර හා මේ සෙසු පරිශ්කාර සහිත මේ කුටි සෙනසුන් පූජාවේ පරමාර්ථය වන්නේ කඨින චීවර පූජාවට සම්බන්ධ කරගැනීමයි. කඨිනානිශංස වසයෙන් වර්ෂයක් පාසා පිංවතුන් බොහෝ සෙයින් ධර්මශ්‍රවණය කරනවා. කඨිනානිශංස වශයෙන් ද කෙටි හැඳින්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. කඨිනෙ කඨිනෙ කියලා කියන්නේ වර්ෂයකට වරක් සිදු කරනු ලබන ආශ්චර්‍යය වූ චීවර පූජාවක්. ඒ චීවර පූජාව සර්වඥයන් වහන්සේ අනුමත කොට වදාළේ පාවෙ‍ය්‍යක භික්ෂු සංඝයා වහන්සේලා ගේ දුෂ්කර චාරිකා ගමනක් නිමිති කරගෙනයි.

පාවෙ‍ය්‍යක භික්ෂූන් වහන්සේලා තිස් නමක් හිටියා. ඒ තිස් නම අපේ සර්වඥයන් වහන්සේ බරණැස ඉසිපතනාරාම මිගදායේ සිට උරුවෙල් දනවුව බලා වඩිද්දී කප්පාසික උයනේදී සම්මුඛ වූ කොසොල් රජ්ජුරුවන් ගේ සොහොවුරු පිරිසක් වන භද්‍ර වර්ගීය රාජ කුමාරවරු තිස් දෙනයි. ඒ තිස් දෙනා එදා බුදු බණ අහලා, සෝවාන් වුණා කෙනෙක්, සමහර කෙනෙක් සකදාගාමි වුණා, සමහර කෙනෙක් අනාගාමි වුණා, සියළුදෙනා වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වෙලා දේශ දේශාන්තර වල ධර්මප්‍රචාරයේ වැඩම කරලා, ඊට පස්සේ කොසොල් දනවුවට අයිති, පාවා කියන මේ ප්‍රදේශයෙහි ආරණ්‍ය සේනාසනයක අවුරුදු විස්සක් තරම් කලක් විවේකවස් පිරුවා. උන්වහන්සේලා තාම ඉදිරි මාර්ග ඵල ලැබුවේ නැති නිසා, බුදුරජාණන් වහන්සේ දකින්ඩ යන්න පිටත් වුණේ ඇසළ පෝයට සමීප දවසකයි. නමුත් සැවැත් නුවර ජේතවනාරාමයට එන්ඩ ලැබුණේ නෑ, සාකේත නගරෙ වෙනකොට වස් එළැඹෙන දවස එළැඹී තිබුණා. එනිසා සාකේත නගරයේ තැනක වස් එළැඹුණා. වස් අවසානයේදී, පවාරණයෙන් පසුව ජේතවනාරාමය බලා පිටත් වුණා, යොදුන් හතක් යන්නට තියෙනවා. වර්ශාවෙන් මඩ ගොහොරු වෙලා, හරකුන් ගේ ගමන් බිමන් නිසා මේ පාරවල් ඔක්කෝම දනක් පමණ එරෙන තරම් මඩ වලවල්, මඩ ගොහොරු වෙලා තිබුණු බැවින්, පාංශුකූල සිවුරු තෙමි තෙමී බොහෝම දුකසේ තමයි ජේතවනාරාමයට පැමිණියේ. පාත්‍ර සිවුරු සුවසේ තැන්පත් කොට සර්වඥයන් වහන්සේ වැඳ නමස්කාර කරලා, එකත්පසක වාඩිවූ වේලාවේ සර්වඥයන් වහන්සේ තොරතුරු විමසුවා. “මහණෙනි වස්සාන කාලය සමඟියෙන් හිටියාද, පිණ්ඩපාතාදියෙන් ක්ලාන්තයක් නැද්ද, එන ගමන සුවසේ ආවද?” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි සමඟියෙන් හිටියා, අපට පිණ්ඩපාතාදියෙන් ක්ලාන්තයක් නෑ, නමුත් ස්වාමීනි එන ගමන බොහොම දුකසේ ආවා. මේ අපේ පාංශුකූල දෙපට සිවුරු මඩ පෙවිලා, මඩ වතුර පෙවිලා, බොහෝම දුකසේ අපි මඩේ එරෙමින් ආවා, නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ හෙවනට එනකොට අපේ සියළුම දුක්-කරදර අමතක වෙලා පුදුමාකාර සැනසිල්ලක් ඇතිවුණා අපට, සුදුසු දහම් පදයක් අවසර ලැබේවා!” කියලා බණ අහන්ඩ සූදානම් වුණා.

ඒ වෙලාවේදී සර්වඥයන් වහන්සේ අනවතග්ග සංයුක්තයට අයිති පාවෙය්‍යක කියන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාවක් කළා. එහි සඳහන් වෙන්නේ, සංසාර ගමනේදී විඳින්නාලද අනන්ත දුක් කරදර පිළිබඳ විස්තර විවරණයක්. ඒක බොහෝම සංවේගජනක දේශණාවක්. ඒ කියන්නේ, “මහණෙනි, අද මේ පැමිණි ගමන දුකක් කියලා හිතන්ඩ එපා, අද මේ පැමිණි ගමන තබන පියවරක් ගානේ ආවේ අමාමහ නිවන් දකින ගමනක්. නමුත් මේ දික් සසරෙදි අවිද්‍යාවෙන් බැඳීගෙන, තණ්හාවෙන් බැඳීගෙන, අඳුරු වීගෙන මේ සංසාරෙ එන ගමනේදී ඔබ අප සෑම දෙනාම එළුවන් වෙලා බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ මහ සයුරේ ජලයට වැඩියි. බැටළුවන් වෙල, හරකුන් වෙලා, ඌරන් වෙලා, කුකුළන් වෙලා බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ සිවු මහා සාගරයේ ජලයට වැඩියි. ඒ වගේම නපුරු දාමරිකයන් වෙලා, පරදාරිකයන් වෙලා, රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ මේ සිවු මහා සාගරයේ ජලයට වැඩියි. මහණෙනි මේතරම් දීර්ඝ සංසාරයක ඔබ අපි හැම දෙනා ආවා. ඒ එන ගමනේදී විංද අනන්තයි. මේ පොළව සරු කළා, සොහොන් බිම් වැඩි කළා. ඒ වගේම අපමණ තීව්‍ර වූ දුක්ඛ සම්භාරයක් අපි වින්දා. නමුත් අද මේ සසුන්ගත වෙලා, සීල-සමාධි-ප්‍රඥා ගුණ පූරණය කරමින්, මේ අවිද්‍යා, තෘශ්ණා, උපාදානාදියෙන් වට වී තියෙන සංසාර ගමන අවසන් කරලා, කෙළෙසුන් නසා මඟ පල නිවන් ලබන ගමනක් මේ ආවේ” කියලා පහදා දෙමින් චතුරාර්‍ය සත්‍ය දේශනය පැවැත්වුවා. දෙසුම් කෙළවරදී සියළුදෙනා වහන්සේ තිවිද්‍යා, ශඨ් අභිඥා, සිවු පිළිසිඹියා ඥාණ සහිතව මහා රහත් භාවයට පත් වී වදාළා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය දෝතින් පිරිමඳිමින් වෙන වෙනම වැඳලා, පිරුණු පාත්‍ර මෙන් පරිපූර්ණ සංකල්පණා ඇතුව උන්වහන්සේලා පාත්‍ර-සිවුරු ධරව අහසින් වැඩියා. අනඳ මාහිමියන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන්නා, “ආනන්දය, අද මේ සඟ පිරිස මේ ස්ථානයට ආවෙ බොහොම දුකසේ, නමුත් හංස පෙළක් වාගෙ, පියාපතින් පියාසර කරන හංස පෙළක් වාගේ අභිඥා බලයෙන් අහසින් ගියා. මගේ ශාසනයේ වස් වසන භික්ෂූන් වහන්සේලාට කඨිනාස්ථාර විනය කර්මයක් පැණවිය යුතුයි, එනිසා ආනන්දය, මේ සැවැත්නුවර හාත්පස සිටින සියළුම සේනාසන වල භික්ෂූන් වහන්සේලා රැස් කරන්නැ’යි ජේතවනාරාමයට” කිවුවා. එදා හැන්දෑවේ විශාල සඟ පිරිසක් ජේතවනාරාමයට රැස් වුණා. ඒ වෙලාවේ සර්වඥයන් වහන්සේ කඨිනාස්ථාර විනයකර්මය පැනෙවුවා.

“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං අත්තරිතුං – මහණෙනි, වස් වස පවාරණය කළ භික්ෂූන්ට කඨිනාස්ථාර විනය කර්මය අනුදැන වදාරමි.”
“අත්තථ කඨිනානං වෝ භික්ඛවේ පංච කප්පිස්සං ති – කඨිනයේ අතුළ භික්ෂූන්ට ශික්ෂා පද පහක් කැප වෙති.”

“අනාමංතචාරෝ, අසමාදානචාරෝ, ඝනභෝජනං, යාවදත්ත චීවරං, යෝච තත්‍ර චීවරෝප්පාදෝ සෝචනේතං භවිස්සති” කියලා ශික්ෂා පද පහකින් ඇවැත් නොවීමේ වරප්‍රසාදයක් අනුමත කොට වදාළා. ඒක ඉතාම වැදගත් දෙයක්. මේ අනිත් සිවුරු කොයි තරම් පූජා කළත් නොලැබෙන ආනිසංසයක් භික්ෂූන්වහන්සෙට ලැබෙනවා. ඒ ලැබෙන්න හේතුව මේක විනය කර්මයක් නිසයි. එතකොට විනය කර්මයක් වන මේ කඨිනය පූජා කිරීම නිසා ඒ සංඝයාට මේ සා විශාල ආනිසංසයක් මාස පහක් තුළ විඳින්ට ලැබෙන බැවින්, කඨිනය පූජා කරන පිංවතුන්ට ඒ සා විශාල ආනිසංසයක් නිවන් දකිනා තුරු භවයක් පාසා ලැබෙනවා කියන එකයි සර්වඥයන් වහන්සේ දේශනා කළේ. ඒ මොනවද ආනිසංස,

පළවෙනි ආනිසංසෙ “අනාමංතචාරෝ” – භික්ෂූන් වහන්සේට විනය නීතියක් තියෙනවා ස්ථානයෙන් බැහැර ගමනක් යනවා නම්, නේවාසික භික්ෂූන් වහන්සේලාට කියලා අවසර අරගෙන යන්ට ඕනෑ. නැත්තං ආපත්ති වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ ආපත්තිය වන්නේ නෑ. මෙන්න මේක පළවෙනි ආනිසංසයයි. මාස පහක් තුළ ඒ ආනිසංසය විඳිනවා.

දෙවෙනි කාරණේ, උපසම්පන්න භික්ෂූන්වහන්සේ ට තියෙනවා තුන් සිවුරක්, අධිෂ්ටාන කරගෙන, මේ අධිෂ්ටාන තුන් සිවුරෙන් එකකින් වත් වෙන්වෙලා හිටියොත් ඒක නිස්සග්ගිය ඇවැතට පත් වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ තුන් සෙවුරෙන් එකක් වෙන් ව්ලා තිබුණා කියලා ආපත්තිය වන්නේ නෑ. ඒකත් උන්වහන්සේට පහසු විහරණයක්.

තුංවෙනි කාරණය ඝන භෝජනය. උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හතර නමකට හෝ වැඩි දෙනෙකුට අකැප දානාරාදනයක් එනවා. ඒ කියන්නෙ, මේ චාරිකා ගමන් වලදී බෞද්ධ අබෞද්ධ නොයේක් දෙනා දන් දෙනවනෙ, සමහර කෙනෙක් ආරාධනා කරන්න දන්නේ නෑ. දාන වස්තුවේ නම කියලා ආරාධනා කරනවා. “ස්වාමීනි, අද මගේ බත් දානෙට වඩින්න, මගේ පිට්ටු දානෙට වඩින්න, මගෙ නූඩ්ල්ස් දානෙට වඩින්න” ආදී වශයෙන් නම කියලා ආරාධනා කළොත්, හතර නමක් හෝ වැඩි දෙනෙක් පිළිගත්තොත්, පිළිගැනීමදි දුස්කත, වැළදීමේදී පිඬක් පාසා පාචිත්තිය කියන ඇවත. නමුත් මේ මාස පහ ඇතුළතදී කඨිනානිසංසයෙන් ඒ වාගෙ අකැප ආරාධනය පවා කැප වෙනවා. ඒක තුංවෙනි ආනිසංසයයි.

හතරවෙනි එක, උපසම්පන්න භික්ෂූන්වහන්සේට තියෙනවා විනය නීතියක්, අධිෂ්ටාන නොකළ සිවුරු දවස් දහයට වඩා තබාගත්තොත් නිස්සග්ගිය වෙනවා. නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇව්ත වෙන්නෙ නෑ. මේක හතරවෙනි එක.

පස්වෙනි එක, යෝචතත්‍ර චීවරොප්පාදෝ, යම් සෙනසුණක කඨිනානිසංස කාලයේදී සඟ සතු කොට සිවුරු පූජා කෙරෙනු ලබනවා නම්, ඒ සියල්ල කඨිනය හිමි භික්ෂූන්වහන්සේ සන්තක වෙනවා. ඒක, සංඝික දේ පෞද්ගලික වීමේ පුදුම් වරප්‍රසාදයක් මේ කඨිනයේ තියෙනවා. ඒකට කියනවා යෝච තත්‍ර චීවරෝප්පාදය කියලා.

මේ ආනිසංස පහ සවිස්තර ව කියයුතු කාරණා පහක් නමුත් කාලවේලා මඳි නිසයි මේ කෙටි කරන්නෙ, මෙතන තියෙනවා වැදගත් කාරණාවක්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට ස්ථානයෙන් බහැර වඩින්න තියෙන්නේ ධර්ම ගමනක්. උන්වහන්සේ සීලයක් දරාගෙන, සමාධියක්, ඥාණයක් දරාගෙන ගමින් ගම වඩින්නේ ධර්ම චාරිකාවක්. උන්වහන්සේ ගමින් ගම වඩිමින්, පිඬු සිඟා වළඳමින් සැදැහැවතුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවා. බොහෝ දෙනෙක් සරණ සීලයේ පිහිටුවනවා, සමහර කෙනෙක් පැවිදි වෙනවා. සමහර කෙනෙක් මාර්ග ඵල ලබනවා, ඔය වාගෙ අර්ථානිශන්සයක් බලාගෙනයි භික්ෂූන් වහන්සේ ගමනක් යන්නේ. ඒ වගේම මේ භික්ෂූන් වහන්සේට අවසර නැතුව ගියොත් වෙන ඇවත වෙන්නේ නෑ මේ විදිහට කඨිනානිශංස තියෙන කාලය තුළදී. ඒක හරියට සක්විති රජ කෙනෙකුගේ ගමනක් වාගෙ. සක්විති රජ කෙනෙකුට ගමනක් යන්න කාගෙවත් වරමක් අවශ්‍ය නෑ. සක් රුවනේ අනුහසින්, ඇත් රුවනේ අනුහසින්, අශ්ව රත්නයේ අනුහසින් අහසින් යනවා, ගිය ගිය තැන උන්වහන්සේ පිලිගන්නවා. හැම රටක අය ම පිලිගන්නවා. ඒ වගේ තමයි මේ පළවෙනි කඨිනානිශංසය. එයින් ආනිශංස වශයෙන් සැදැහැවතුන්ට ලැබෙන්නේ සසර ගමනේ දී ස්වෛරී භාවය. ඒ කියන්නේ මනුෂ්‍යයෙක් වුනත් උසස් ම පංතියේ මනුෂ්‍යයෙක්, රජ කෙනෙක් වුණත් සක්විති රජ කෙනෙක් වාගෙ උසස් ම තත්ත්වයට වැටෙනවා. ඒ වගේම තමන් කැමති කැමති දේ කරගන්නට- ඒ කියන්නේ ධාර්මික දේ කරගන්නට තමන්ට ස්වෛරී භාවයක් ලැබෙනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් වශයෙන්, ඒ විදිහේ ලෞකික සම්පත් අපමණ වින්දා, ඒවා රෑ දුටු සිහිනයක් තරම්වත් ඉතුරු නෑ, මතු ලැබුණත් එහෙමමයි. ඒක නිසා මේ විදිහේ බලගතු කඨිනානිසංස හේතුවෙන් භවයක් පාසා නිවන දක්වාම ස්වෛරී ව දාන පාරමිතා පුරාගන්න ජාති ජාතිත් ලැබේවා! ස්වෛරී ව සීල පාරමිතා පුරාගන්න ලෑබේවා! ස්වෛරී ව නෙක්ඛම්ම පාරමිතා පුරාගන්න ලැබේවා! මේ වාගේ දස පාරමිතාවන් ම පුරාගන්නට ජාති ජාතිත් ස්වෛරී ව ලැබෙමින්, එමඟින් ධ්‍යාන-අභිඥා-මාර්ගඵල ධර්මය සුවසේම සාක්ෂාත් කරගන්න පලවෙනි කඨිනානිසංසයෙන් හේතු වේවා!

දෙවෙනි එක තමයි අසමාදානචාරි, ඒ කියන්නේ තුන් සිවුරෙන් යමක් වෙන් වෙලා තිබුණට ආපත්ති වෙන්නේ නෑ. ඒක ඉතා වැදගත් දෙයක් වෙන්නේ යන යන තැන සිවුරු බර අඩුවෙන් යන්නට පුළුවන්. ඒකත් සක්විති රජ කෙනෙකුගේ තත්ත්වයට වැටෙනවා. සක්විති රජතුමා යනකොට ගමං වියදම් ගෙනියන්නේ නෑ. ආහාරපාන බත්මුල් බැඳගෙන ගෙනියන්නේ නෑ. ගිය ගිය තැන අවශ්‍ය දේ පහල වෙනවා. ඒවාගේ වාසනාවක් මේ දෙවෙනි කඨිනානිසංසයෙන් ලැබෙන්නේ. ලෞකික වශයෙන් සක්විති රජ කෙනෙකුගේ සැපත හා සමාන සම්පත් ලැබෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපේ පැතුම වන්නේ මේ විදිහේ දෙවෙනි කඨිනානිශංස බලයෙන් භවයක් භවයක් පාසා ගිය ගිය තැන අවශ්‍ය අවශ්‍ය විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ, දාන සීල නෛශ්කර්මාදී පාරමී ගුණ දියුණු කරගන්නටත්, ගිය ගිය තැන – උපනුපන් තැන ධ්‍යාන-අභිඥා සුවසේ උපදවා ගන්නටත්, එයින් නොනැවතී තමාගේ පැතුම් පරිද්දෙන් උතුම් බෝධිඥාණයකින් සුවසේම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගැනීමටත් දෙවෙනි කඨිනානිසංසයෙන් ද හේතු වේවා! කියා ප්‍රාර්ථනා කළයුතු වෙනවා.

තුංවෙනි කාරණය තමයි ඝන භෝජනය. ඝන භෝජනය කියන්නේ අකැප භෝජනයක්. ඒක හරියට හලාහල විසක් හා සමානයි, අකැප ආහාර පාන. නමුත් කඨිනානිසංස වශයෙන් අකැප ආහාර පාන කැප වෙනවා. ඒක හරියට වස-විස අමෘතයක් වීම වාගෙ දෙයක්. එනිසා ඒ විදිහේ තුන්වෙනි කඨිනානිසංසය හේතුවෙන් දායක පිංවතුන්ට සසර ගමනේදී කවදාකවත් වස-විස ශරීරගත වන්නේ නෑ. සර්පයන් දශ්ට කරන්නේ නෑ. මැසි-මදුරු පීඩාවක් වන්නේ නෑ. යම්කිසි වස විසක් වුණත්, ඒක අමෘතයක් වන තත්ත්වයට පුන්‍යවන්ත වෙනවා. එපමණක් නෙවෙයි, අපි බලාපොරොත්තු වෙන්නේ, මේ ධීර්ඝ සංසාරයේ අප විසින් පානය කරලා තියෙනවා එක්දහස් පන්සීයක් පමණ වස-විස. ඒවා අපි ක්යනවා කෙළෙස් වස-විස. එනිසා මේ තුංවෙනි කඨිනානිසංස හේතුවෙන් අපට සසර ගමනේදී දස පාරමී පුරමින්, බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්, මේ කෙළෙස් වස-විස වමාරා දමා, සතර මඟ ඵල නිර්වාණය කියන අමෘතය පානය කරන්නට තුන්වෙනි කඨිනානිසංසයෙන් හේතුවේවා! කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා.

හතරවෙනි කාරණය තමයි යාවදත්ත චීවරය. ඒ කියන්නේ, දවස් දහයට වඩා ඕනතරම් සිවුරු තබාගන්න පුළුවන් පරිහරණය කරන්න. සිවුරු ඕනවට නෙමෙයි, වස්සාන කාලෙදි ඒවා තෙමෙනවා, වේලගන්න වෙලාවක් නෑ. එනිසා වෙන සිවුරක් පොරවගන්න පුළුවන්කම තියෙනවා. ඒවාගෙ පහසු විහරණයකුයි මේ අතිරේක සිවුරු වැඩිපුර තබාහැනීමේ අවශ්‍යතාව. එතකොට ඒකෙන් පෙනෙන්නේ, සසර ගමනේදී තමන්ට ලැබෙන සම්පත් කවදාවත් කෙනෙකුගේ ඊර්ශ්‍යාවට ලක්වන්නෙ නෑ, කෙනෙකුගේ බාධාවක් නෑ, තමන්ට එකක් ලැබෙන තැන දහසක් ලැබෙන තරම් පුන්‍යවන්ත වෙනවා ලෞකික වශයෙන්. නමුත් අපේ පැතුම වන්නට ඕනෑ මේ සසර දුකෙන් එතෙර වීමට යන නිවන් ගමනේදී භවයක් පාසා අපි හිතනවාට වඩා වැඩි වැඩියෙන්, දහ නමකට දානෙ දෙන්න හිතුවා නම් දහස් නමකට දානෙ දෙන්ඩ, ඒ වගේම එක දවසක් සිල් රකින්න හිටියා නම් වර්ෂ ගාණක් සිල් රකින්න, එක ධ්‍යානයක් උපදවන්න ගියා නම්, අෂ්ට සමාපත්ති ම එකම ආසනයේ උපදවන්න, ඒ වාගේම එක මාර්ග ඵලයක් සඳහා නම් ලෑස්ති වෙන්නේ, සතර මඟ ඵලයම එකම ආසනේ ලබන්න, මේ වාගේ නිර්වාණ ගාමිණී උසස් ගුණධර්මයන් තමයි ප්‍රාර්ථනා කළ යුතු වන්නෙ. එනිසා සතරවෙනි කඨිනානිසංස බලයෙන් ද හිතූ-පැතූ සේ මේ බෝධිකාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා! කියන අධිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ.

පස්වෙනි කඨිනානිසංසය තමයි, යෝචතත්‍ර චීවරෝප්පාදය. සංඝ සන්තක කරන සිවුරු පෞද්ගලික වීමේ ආනිසංසය. ඒ ආනිසංස බලයෙන් සසර ගමනේදී සැදැහැවතුනට කවදාකවත් තමන්ට ලැබෙන සම්පත් රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය-අමනාප පුද්ගලයන් ගෙන් විනාශ වන්නේ නෑ. ඒවා හරියට ආලකමන්දා රාජධානියේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ සම්පත් මෙන් ආරක්ෂා වෙනවා. නමුත් ඒ ලෞකික සම්පත්. ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ කඨිනානිසංස බලයෙන් අපි නිවන් දකිනා තුරු උපනූපන් භවයක් පාසා අපට කවදාකවත් කෙළෙස් හොරු ඇතුල් නොවේවා, සිල් හොරු ඇතුල් නොවේවා, අපේ සංතානගත බෝධිපාක්ෂික ධර්මයන් කිසිදාක කෙළෙස් සතුරෙකුට පැහැරගත නොහැකි වේවා, ඒ වගේම සතුරු උපද්‍රවයක් නැතුව, ක්ලේෂ උපද්‍රවයක් නැතුව, ධ්‍යාන-අභිඥා-මාර්ගඵල නිර්වාණ ධාතුව ප්‍රතිලාභ කරගන්නට පස්වෙනි කඨිනානිසංසයෙන් ද හේතුවේවා! කියලා අපි අධිෂ්ඨාන තබා ගනිමු.

දැන් මේ විදිහේ ආනිසංස ලැබෙන කඨිනානිසංස ඇති චීවරයක් පූජා කරගැනීමේදී ඊට සම්බන්ධ කරන මේ අනික් සියළුම පූජා වස්තු, ඒ ඔක්කෝම කඨිනානිසංස ලැබෙන පූජා වස්තු බවට පත් වෙනවා. දැන් මේ කුටි සේනාසන පූජාව, ඒ වගේම අශ්ට පරිශ්කාර – සෙසු පරිශ්කාර පූජා, මේ ඔක්කෝම එකක් එකක් ගානේ අර සක්විති රජ කෙනෙකුගේ අහසේ යන ගමනේදී සිවුරඟ සෙනඟක්, අජපාල-ගෝපාලාදීනුත් අහසිං යන්න සමර්ථ වෙනවා වගේ, කඨිනානිසංස සඳහා මේ කඨින චීවර පූජා පූජා කරනකොට, ඊට සම්බන්ධ කරන සෑම පූජා භාණ්ඩයක් ම කඨිනානිසංස හා සමාන අනුසස් දෙනවා කියන එක සඳහන් වෙන බැවින් ඒ පූජාවන් සියල්ල ගැන ම අපේ හිතේ සොම්නස ඇතිකරගන්නට ඕනෑ.

පුන්‍යානුමෝදනාව

අද මේ කුටි සෙනසුන් පූජා කළ පිංවතුන් අතර මේ ස්ථානයෙහි නේවාසිකව පිළිවෙත් පුරණ පූජ්‍ය ගල්ගමුවේ සන්තින්ද්‍රිය ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනා පරිද්දෙන්, ඒ වගේම පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ ගේ උපකාර ඇතුව, වැදගත් පිංකම් පේලියක් කරලා තියෙනවා. තේක්ක කැලේ භාවනා කුටිය, වැලි සක්මන, ඒ වගේම සෝලර් පැනලය, මේ සේනාසනයේ මූලික සහභාගීත්වයෙන්, පූජ්‍ය අරියනන්ද ස්වාමීන් වහන්සේ ගේ අනුශාසණා පරිද්දෙන් මහා ථේර කුටිය ලඟ ශෛලාසනය, ඒ වගේම වහලය, කන්දේ භාවනා ශාලාව ලඟ ටොයිලට් තුනකට පෝච්චි, අඩි හතලිස් එකක් දිග කුටියේ තීන්ත ආලේපය, මේ ඔක්කෝම පිංකම් එම ස්වාමීන්වහන්සේ ගේ අනුශාසනා පරිද්දෙන්, විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කරල තියෙනවා, ආනිසංස වශයෙන් ඒ නමගේ අභාවප්‍රාප්ත මවුපියන් දෙදෙනා වහන්සේට පිංදීම, මුතුන් මිත්තන්ට පිංදීම, ඒ වගේම සියළු මියපරලොව ගිය ඥාතීන්ට පිංදීම, ඇමරිකාවෙදී හදිසි රෝගයකින් ජූලි මාසේ විසි වෙනිදා, මේ වර්ෂයේ පරලෝ සැපත් ක්‍රිකට් ක්‍රීඩක රොශාන් ගුණරත්න මහතාට පිංදීම, ඒ වගේම මේ පිංකමට සහභාගී වූ පානදුරේ, දෙහිවල, කඩවත, කිරිල්ලවල, ගල්ගමුව, නීලම්මුල්ල, පල්ලියැද්ද, අපරැක්ක, අපරැක්ක සීයා, මේ ආදී හැමදෙනාටම ඒ කුසළ සම්භාරය එකසේම මහත්ඵල වේවා, මහත් ආනිසංස වේවා!! කියන පැතුමෙන් ඒ නම පිං පමුණුවනවා.

ඒ වගේම වැවුකන්ද ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් කුටියක් හදලා, ඊට අවශ්‍ය සියළු ද්‍රව්‍ය සම්පාදනය කරමින් මේ පූජා පැවැත්වූ පිංවතුන්ටත් ඒ පිංකම සර්වප්‍රකාරයෙන් මහත්ඵල වේවා, මහත් ආනිසංස වේවා! මේ පුන්‍ය වාර්තා රාශියක් කියන්න තියෙනවා කාලය මදි, ඒ නම් සඳහන් කළා වූද, නොකළා වූද, මේ කුටි සෙනසුන් පූජාකළ පිංවතුන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘධිමත් වේවා, ඒවගේම කෝට්ටයාවත්ත වෙද මහත්මයාගේ කුටි සේනාසනය සම්බන්ධ, එතුමාටද සහභාගිවෙන්න නොලැබුණත්, එතුමාණන් ගේ සොහොයුරු තුමාණන් සහිත ඥාති පිරිසක් ඇවිල්ලා ඒකට සම්බන්ධ වුණා, ඒ වෙදමහත්මයා ගේ ලේඛණයේ සඳහන් වෙනවා මේ පිංකමේ පරමාර්ථය වශයෙන් අපවත්වී වදාල පූජනීය අපේ පණ්ඩිත මහනාහිමියන් වහන්සේලාට ලොවුතුරා බුදුබව ලැබේවා, තමන්ගේ දෙමවුපියන්ටත් ඒසේ පැතූ බෝධියකින් නිවන් සුව ලැබේවා, සහයෝගය දුන්නාවූ බලගොල්ලාගම ජිනදාස මහත්මිය ඇතුළු සහයෝගය දුන්න හැමදෙනාටමත්, ඒ වගේම ද්‍රව්‍ය සපයමින්, කාලය යොදමින් කටයුතු කළ ඒ කාර්මික, බාසුන්නැහැලා හැමදෙනාටමත් ඒ පින එකසේ මහත්ඵල වේවා! මහත් ආනිසංස වේවා!! මගේ නම කියලා මටත් එතුමා පිං අනුමෝදම් කරලා තියෙනවා (පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ). ඒ එක්කම ඒ පිංකමේදී සහභාගී වූද, නොවූද සියළු දෙනාට ඒ පිංකම ම එකසේ මහත්ඵල වේවා, මහත් ආනිසංස වේවා!! කියන පැතුම් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් ඒ වෙදමහත්මයා අපේ මේ මහා සංඝයාට බොහෝම කාරුණිකව වෛද්‍ය ප්‍රතිකාර සළසමින් ඉන්නෙ, දැන් ගිලන් ව ඉන්නේ, එතුමාණන්ට මේ කුසල් බෙලෙන් තියෙන රෝගාබාධ අලපතක දියත්තක් මෙන් ඉවත් වී වහාම සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.

ඒවාගේම විශේෂයෙන් මේ නින්දානේ සුමනා සිල් මෑණීයන් වහන්සේ තමන්ගේ සහෝදරයන් සහිත හැමදෙනා එකතු වෙලා බොහොම වැදගත් කුටි සේනාසනයක් පූජා කරන්න යෙදුනා, එතුමියගේ මවුපිය දෙදෙනාවහන්සේ හා සියළු ඥාතීන්ට පිංදීම පිණිස, ඒ සෑමදෙනාටම මේ පිංකම් එකසේ මහත්ඵල වේවා, මහත් ආනිසංස වේවා!! කියලා අපි නැවතත් පිං පමුණුවන අතර අද මේ දානෝපස්ථාන පිංකමේ වැදගත් කරුණු කීපයක් සඳහන් වුණා, පිංවත් චන්ද්‍රා ආරියරත්න මැතිණිය, ඒ මහත්මියත් එකතු වෙලා මේ සංඝයා උදෙසා පැවැත්වූ දානමය පිංකම මේ කථාකරන මට පැවරුවා (පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ) ස්වාමීන්වහන්සේ ගෙ දානයක් හැටියට මේ මහාසංඝරත්නයට මේ දානය පූජා කරන සේක්වා කියලා, ඒ එසේම වේවා!! එයින් බලාපොරොත්තු වෙනවා ඒ පිංවත් චන්ද්‍රා ආරියරත්න මැතිණිය, උපාලි සෙනරත් මහත්මයලාදී සහෝදර සහෝදරී පිරිසගේ අභාවප්‍රාප්ත මවුපිය දෙදෙනා වහන්සේ සිහිපත් කිරීම, ඒ වගේම පිංවත් එච්. ජී. ආරියරත්න මහත්මිය ඇතුළු ඒ සහෝදර සහෝදරී පිරිසගේ මවුපිය දෙදෙනා වහන්සේ සිහිපත් කිරීම, ඒ හැමදෙනාටම මේ කුසල් බෙලෙන් මතු භවයක් පාසා සුවසේ බෝධිසම්භාර මුදුන්පමුණුවාගෙන පැතූ බෝධිඥාණ වලින් අග්‍ර අමාමහ නිවන් සුව අත්වේවා!! කියලා අපි මෛත්‍රියෙන් පිං පමුණුවනවා.

ඒ එක්කම අපි, මේ වෙනුවෙන් දැන් තුම්මාසයක් පුරා මහා සංඝරත්නයට ආරාධනා කොට වස් එළඹවාගෙන, සිවුපසයෙන් උපස්ථාන කොට, තමතමාගේ ශක්තිප්‍රමාණයෙන් නිති පංසිල්, පොහොය අටසිල් රකිමින්, සමථ-විපස්සනා භාවනා වඩමින්, බොහෝ කුසල් රැස් කරමින්, අද මේ අවස්ථාවේදී විශාල පිරිසක් එක්කාසු වෙලා හැමදෙනාටම මේ ප්‍රාත්‍යදානමය පිංකම බෙදා දෙමින්, සිදුකරගන්නා ලද මේ මහේශාක්‍ය කඨිනචීවර පූජාව හා පිංක්මේ ආනිසංස ධර්මය, දංසල් පැවැත්වීමේ ආනිසංස ධර්මය, අශ්ටපරිශ්කාර පූජා ආනිසංස ධර්මය, ඒ වගේම පිණ්ඩපාත පූජා ආනිසංස ධර්මය, කුටි සේනාසන පූජා ආනිසංස ධර්මය ආදී වශයෙන් තියෙන සියළුම පිංකම් වල ආනුභාව සම්පත්තිය ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස පවතීවා, සුපේෂල-ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝරත්නයේ අභිවෘදිය පිණිස පවතීවා, තමතමා නමින් අභාවප්‍රාප්ත මවු-පිය, ගුරුවර, බන්ධු-මිත්‍ර, පුත්‍ර-කලත්‍රාදී සියළුම ඥාතීන් ද මේ කුසලානිසංස බලයෙන් සුගති සම්පත් සිද්ධ වී, පැතූ පැතූ බෝධිඥාණ වලින් අමාමහ නිවන් සුව අත්වේවා!! ඒවගේම අපවත් වී වදාළ ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක, ප්‍රධාන අනුශාසක, අතිපූජනීය, රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටද, ඒවගේම අපවත් වී වදාළ, අතිපූජනීය, රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥාණාරාමාභිදාන මහෝපාද්‍යාය මාහිමියන් වහන්සේටද, අපවත් වී වදාල, අතිපූජනීය, පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශාභිදාන මාහිමියන් වහන්සේටද, නාඋයනාරණ්‍යසේඅනාසනයේ මුල පටන් මෙහි දියුණුව සළසමින් අවුරුදු හතලිහක් වැඩ සිට අපවත් වී වදාල පූජ්‍ය විගොඩ බෝධිරක්ඛත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහිත සියළුම සංඝ පීතෲන් වහන්සේලාටද මේ කුසළ සම්භාරය අත්පත් වේවා, මෙපින් බලෙන් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් පාසා බෝධිසම්භාර සුවසේ මුදුන්පත් වී මතු අනාගතයේ ලොවුතුරා බුදු බව ම අත්වේවා!! කියා ගුරු බැතියෙන් සිහිපත් කරමු. ඒ එක්කම විශෂයෙන් මෙම ස්ථානයෙහි ආරක්ෂක දෙවි දේවතා මඬුල්ල අනන්තයි, ඒ දිව්‍ය රාජ මණ්ඩලයටත්, ශාසනාරක්ෂක, ලෝක පාලක, ආත්මාරක්ෂක වූද, මිහිතලයේ පටන් බඹ තලය දක්වා වෙසෙන්නා වූද, දස දහසක් ලෝකවාසී වූද සම්‍යක් දෘශ්ටික දිව්‍ය රාජ මණ්ඩලය සාදරයෙන්, සමාදරයෙන්, කරුණා මෛත්‍රියෙන්, චිත්ත ප්‍රසාදයෙන් මේ පිං අනුමෝදම් ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්‍යයෙන් වැඩෙත්වා, සම්බුද්ධ ශාසනයට, ශ්‍රී ලංකාද්වීපයට, බෞද්ධ ජනතාවට, මේ මහා සඟ රුවනට, ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට, ඒ වගේම මේ සහභාගී වන මවු පිය, දූදරු, ඥාති මිත්‍ර හැම දෙනාටම සර්වාකාරයෙන් ආරක්ෂා සංවිධාන සළසා දෙත්වා, පැතූ බෝධිඥාණ වලින්, අමාමහ නිවන් සුව අත් වේවා!! කියා මෛත්‍රියෙන් පිං පමුණුවමු.

හිතවත් වූද, මැදහත් වූද, අහිතවත් වූද, ඒ වගේම මෙම ස්ථානයේ පටන් අවට ගම් නගර, ලංකාව, දඹදිව, මේ සක්වළ, සියළු සක්වළ, දස දිසා වාසී සමස්ථ ලෝක සත්වයාට මේ පින ලැබේවා, සියළු සත්වයෝ නිඳුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්‍ය සත්‍යාවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා!! කියා මෛත්‍රියෙන් පිං පමුණුවමු.

තුන් සිත පහදවාගෙන, බුදු සසුණේ චිර ජීවනය පතමින්, සඟ රුවනට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිනමමින්, සිදුකරගන්නා ලද මේ උදාර දාන, ශීල, භාවනා කුසල සම්භාර ධර්මය සිදුකරගන්නා ලද්දාවූද, අනුමෝදම් වන්නාවූද, මෙම ආරණ්‍ය සේනාසනයෙහි පාලනයෙහි නියුක්ත කොළඹ ශාකාවේත්, මෙම නාඋයන ආරණ්‍ය සේනාසනස්ථ දායක ශාකාවේත්, ඒ සියළුම නිලධාරි මඬුල්ල අද පැමිණ සිටිනවා, ඒ සෑම දෙනාටමත්, සිය පවුල් වල සෑම දෙනාටමත්, ඒවගේම වර්ෂයේම තුන්සිය හැටපස් දෙනෙක් පමණ වෙන්වෙලා, මේ ස්ථානයේ සිවුපස දානය සංග්‍රහ කරන ඒ සෑම දෙනාටමත්, අද මේ දංසැල් පැවැත්වූ සෑම දෙනාටමත්, ආහාරපාන දානයෙන්, ඒවගේම සිසිල් බීම, ගිලන්පස දානාදියෙන් සංග්‍රහ කළාවූ සෑම දෙනාටමත්, ඒවගේම අසල්වැසියන්ටත්, සාදු කියා සිත් පහදවාගත් සෑම දෙනාටමත්, විශේෂයෙන් ම චීන රටේ ලියොං සිං සිං මැතිනිය ඇතුළු පවුලේ සැමට හා එතුමියගේ කොම්පැණියේ සියළුමදෙනාටමත්, ඒවගේම මැලේසියාවේ, සිංගප්පූරුවේ අනුග්‍රාහක දායක, කාරක පිංවත් සෑම දෙනාටමත්, මෙම කුසළානිසංස ධර්මය හේතුවෙන් මෙලොව වශයෙන් ඇති අසනීප, අපල උපද්‍රව, ග්‍රහ දෝශ දුරු වේවා, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සූ විසි මහා ගුණයේ අසීමිතාරක්ෂා නිරතුරුව පිහිට වේවා, රජ, සොර, සතුරු, ගිණි, ජල, වස විස, අවි ආයුධ, ආදී විපත්ති වළකීවා, කාය චිත්ත පීඩාදියක් නොම වී කායික, මානසික සැනසිල්ලේ දෙලොව දියුණුව, නිවන් මඟ, පාරමී මුඳුන්පත් වේවා, ගුණ නුවනින්, ධන ධාන්‍යයෙන්, යස ඉසුරින්, ආයු වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන්, පෙර පස මෝරණ සඳක් මෙන් දියුණු වේවා, සියළුම චිත්ත සංකල්පණා පූර්ණ චන්ද්‍රයා සේ පිරී ඉතිරී, සශ්‍රීක වී, සමෘධිමත් වේවා, විංසත් ශතවර්ෂාධික කාලයක් අතරක් නෑර බුදු සසුණේ පාරමිතා පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ම ආරක්ෂාව ලැබේවා, සසර වසනාතුරු , භවයක් පාසා කඨිනානිසංස විංදනය කරමින් අනුත්තරීය ලෙස උතුම් පාරමී කුසල් රැස් කරමින් ගොස්, බුදු පසේබුදු මහ රහතුන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල සදාකාලික ශාන්තප්‍රණීත අග්‍ර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සුවසේ ම සාක්ෂාත් වේවා!! කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ඥාතීන්ට, දෙවියන්ට, සියළු සත්ව්යන්ට පිං පෙත් පමුණුවමු, විශේෂයෙන් මට කළ ආරාධනා පරිද්දෙන් මගේ මවුපිය දෙදෙනාවහන්සේත් සිහිපත් කරමින්, සෙසු මියපරලොව ගිය ඥාතින්ටත් සමඟ අපි කවුරුත් එකතු වෙලා පිං අනුමෝදම් කරමු.

ඉධං වෝ ඥාති නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ,
ඉධං වෝ ඥාති නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ,
ඉධං වෝ ඥාති නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ

එත්තාවතාච අම්හේහි සම්භතං පුඥ්ඥ සම්පදං, සබ්බේ දේවා අනුමෝදංතු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි සම්භතං පුඥ්ඥ සම්පදං, සබ්බේ භූතා අනුමෝදංතු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි සම්භතං පුඥ්ඥ සම්පදං, සබ්බේ සත්තා අනුමෝදංතු සබ්බ සම්පත්ති සිද්ධියා

ආකාසට්ඨාච භුම්මට්ටා දේවා නාගා මහිඣ්ඣිකා පුඥ්ඥන්තං අනුමෝදිත්වා චිරං රක්ඛංතු සම්බුද්ධ සාසනං
ආකාසට්ඨාච භුම්මට්ටා දේවා නාගා මහිඣ්ඣිකා පුඥ්ඥන්තං අනුමෝදිත්වා චිරං රක්ඛංතු සම්බුද්ධ දේසනං
ආකාසට්ඨාච භුම්මට්ටා දේවා නාගා මහිඣ්ඣිකා පුඥ්ඥන්තං අනුමෝදිත්වා චිරං රක්ඛංතු සම්බුද්ධ සාවකං චිරං රක්ඛංතු ත්වං සදා.

ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේබාලසමාගමූ සථං සමාගමූ හෝතූ යාව නිබ්බාන පත්තියා
ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේබාලසමාගමූ සථං සමාගමූ හෝතූ යාව නිබ්බාන පත්තියා
ඉමිනා පුඥ්ඥ කම්මේන මාමේබාලසමාගමූ සථං සමාගමූ හෝතූ යාව නිබ්බාන පත්තියා

ඉදංමේ පුඥ්ඥ කම්මං ආසවක්ඛයා වහං හෝතූ
ඉදංමේ පුඥ්ඥ කම්මං ආසවක්ඛයා වහං හෝතූ
ඉදංමේ පුඥ්ඥ කම්මං ආසවක්ඛයා වහං හෝතූ සබ්බ දුක්ඛා පමුංචතූ

විශේෂ පුන්‍යානුමෝදනාවක් කරන්න ඕනෑ, ඒ කියන්නේ පසුගිය කාල වල මම නිතර නිතර ලෙඩවෙන අතර මාව සුවපත් කළා කොළඹ වෛද්‍යවරු මණ්ඩලයක්. කුරුණෑගලත් වෛද්‍යවරු කීප දෙනෙක්, අපේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා, ඒ සෑම දෙනාට අප මේ රැස් කරන කුසල් බෙලෙන් නිරෝගී සැපය ඇතුව වෛද්‍ය සේවයේ ඉතා මුදුනට පත් වී පැතූ බෝධියකින් අමා මහ නිවන් සුව අත් වේවා කියලා පිං දෙමු. වර්ශයක් පාසා කෙරෙන මේ සාරානී මහා පිංකම සියක් වසක් දැකගන්න මේ හැමදෙනාට දීර්ඝායුෂ වේවා!! කියා සංඝරත්නය වෙනුවෙන් අපි ආශිංශන කරනවා.

සම්භීතියෝ විවඣ්ඣන්තූ සබ්බ රෝගෝ විනස්සතූ
මාතේභවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව

භවතු සබ්බ මංගලම් රක්ඛංතු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවංතුතේ
භවතු සබ්බ මංගලම් රක්ඛංතු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවංතුතේ
භවතු සබ්බ මංගලම් රක්ඛංතු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවංතුතේ

අභිවාදන සීලිස්ස නිච්ඡංවද්දාපචායිනෝ
චත්ථාරෝ ධම්මා වඩ්ඩංතී ආයු වන්ණෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඣ්ඣතූ

පිංවත් නාඋයනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ ගේ මෙම දේශනාව පටිගත කොට ඇති හඬ පටයේ අයිතියට අදාල විස්තර සටහන් කර ඇති පරිදි ම පහතින් දැක්වේ.

encoded_by: Punya Sri Thushantha Alwis
copyright: © www.sadaham.net
TOPE: Ven. Na Uyane Ariyadhamma Maha Thero
genre: Dhamma
title: 2005 Kathina Anumodanava
album: www.sadaham.net
artist: Ven. Na Uyane Ariyadhamma Maha Thero
date: 2009
අකුරු බවට පරිවර්තනය කළේ : අසංක හෙට්ටිආරච්චි (2016)
නාගයන්ගේ රැකවරණය ලබන හාස්කම්වලින් පිරි නයින්දනාව ....
බහු පෙණ නාගයෝ මිත්‍යයාවක් ද?
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.