කාශ්‍යප බුද්ධ වංශය ( Kassapa Buddha Wanshaya )

කෝණාගමන නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි සිවුසස් අවබෝධ කළ දෙපා ඇති සතුන් ට උතුම් වූ බැබළීම් ඇති කරන නමින් කාශ්‍යප නම් වූ දහම්රදතෙම පහල විය.

හැරදමන ලද කුලගෙය ද, මූල නම් අපමණ ධන රාශිය ද, බොහෝ ආහාර පාන ද, සිත් පුරා යාචකයන් ට දන් දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල් හි කෝටි විසි දහසක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය.
යම් කලෙක කසුප් බුදුරජතෙම සිව්මසක් මුළුල්ලේ ලෝකයෙ හි සැරිසැරූ සේක් ද, ඒ කාලයෙ හි කෝටි දස දහසක් දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය. යමාමහ පෙළහර කොට සර්වඥතාඥානය පළකළ සේක් ද, කෝටි පන්දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.

ජිනරාජතෙම සුදම් දෙව්සබය ඇති දෙව් පුරයෙ හි දම් දෙසූ සේක් ද, කෝටි තුන් දහසක් දෙවියන් ට ධර්මවබෝධය කළේ ය.

“නරදෙව” නම් යකු ට අනික් වරෙක දම් දෙසන කල් හි මේ දෙවියන් ට වූ  ධර්මබෝධය ගණනින් නො ගිනිය හැක.   දෙවියන් ට දෙවි වූ ඒ බුදුරදුන් ට ද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ එක් රැස්වීමක් වී ය. ඒ කාලයෙ හි දී ලජ්ජා සීලාදී ගුණයෙන් එ බඳු රාගාදී කෙලෙස් ඇතියවුන් ඉක්මවූ විසිදහසක් භික‍ෂූන් ගේ රැස්වීමක් වී ය.

ඒ කාලයෙහි මම සිප් සතර උගන්වන ඉගෙනගත් මන්ත්‍ර දරණ තුන් වේදයෙ හි පරතෙර ට ගිය මහපුරිස් ලකුණු දැනීමෙ හි ද, ඉතිහාසයෙ හි ද, සිය බමුණු දහමෙ හි ද ඉගෙණීමෙන් පරතෙරෙ ට පැමිණි පොළොව හා අහස පිළිබඳ තතු දැනීමෙ හි බුහුටි වූ කළ පුරුද්ද ඇති දැනුමෙන් නො අඩු ජොතිපාල යන නමෙන් පතළ මාණවකයෙක් වීමි.

කසුප් බුදුරදුන් ගේ ගෞරව සහිත වූ යටහත් පැවතුම් ඇති,  අනාගාමී ඵලයෙන් කෙලෙස් නිවූ ඝටීකාර නම් උපස්ථායකයෙක් වී ය. ඝටීකාර තෙම මා සමග කසුප් බුදුන් වෙත එළඹියේ ය.  උන්වහන්සේ ගේ දහම් අසා උන්වහන්සේ වෙත පැවිදිවීමි.

පටන්ගන්නා ලද විර්යය ඇත්තෙක් ව වතාවත් හි දක්ෂවූයේ, සීල සමාධි ආදී කිසි තැනක නො පිරිහුනෙමි. බුදුසසුන පිරුවෙමි. යම් පමණ බුදුවදන් වී ද, නවංග සසුනක් වී ද, ඒ සියල්ල ඉගෙන බුදුසසුන හෙබවීමි.

ඒ කසුප් බුදුරජතෙම ද, මා ගේ මනා පිළිවෙත් දැක  මේ ජෝතිපාල තෙම මේ භද්‍රකල්පයෙ හි බුදුවන්නේ ය යි විවරණයක් ප්‍රකාශ කළ සේක.

ඒ තථාගත තෙම ඒ දිනයෙ හි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම බුදුවීම ට උත්සාහකොට දුෂ්කර ක්‍රියා ද කොට ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ,  එ හි දී කිරිබත පිළිගෙන, නේරංජරාව ට එළඹෙයි.

නැවත ඒ ජිනරාජතෙම නේරංජරා නදී තීරයෙ හි දී කිරිබත වළඳයි. ඉක්බිති බෝධිය කරා එළඹෙයි. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුල දී බුදුබව අවබෝධ කර ගන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද, “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ කාශ්‍යප බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ බුදුරජුන් ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම්  දම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි. මෙ සේ මම නො කටයුතු දේ දුරු කරමින් සසරෙහි හැසිරීමි. සම්බෝධිය පිණිස මා විසින් දුෂ්කර ක්‍රියාද කරන ලදී.

කාශ්‍යප බුදුරදුන් ගේ උපන් නුවර “බාරාණසී” නම් වී ය.  එ හි “කිකී” නම් රජකේ වී ය. ඒ නුවරෙ හි බුදුරදුන් ගේ මහා කුලය වාසය කළේ ය. මහර්ෂී වූ කාශ්‍යප බුදුරදුන් ගේ  පිය තෙම බඹදත් බමුණු නම් වී ය. වැදූ මව් ධනවතී නම් බැමිණිය වූවා ය.

ඒ බුදුරජතෙම අවුරුදු දෙදහසක් බුදුවන්ට පෙර ගිහිගෙයි විසී ය.  “හංස” ය,  “යස” ය,  “සිරිනන‍ද” ය යන උතුම් තුන් පහයක්  වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි.  බිරිඳ “සුනන‍දා” නම් වූවා ය. පුත් තෙම “විජිතසේන” නම් වී ය.

පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක පහයෙන් මහබිනික්මන් කළේ ය.    සත් දිනක් මුළුල්ලේ ප්‍රධන් වීර්යය කළේ ය. මහාවීර වූ මිනිසුන් ට උතුම් වූ කසුප් ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ,  මිගදායෙ හි දී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂී වූ කසුප් බුදුරජුන් ට “තිස්ස” ද,  “භාරද්වාජ” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “සබ්බ චිත්ත” නම් වී ය. “අනුලා” ද, “උරුවෙලා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය “නුගරුක” ය යි කියනු ලැබේ.

“සුමංගල” ද,  “ඝටීකාර” ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   “විජිතසේනා” ද,  “භද්දා” ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ. ඒ බුදුරජතෙම උසින් විසි රියනක් උස් විය. අහසෙ හි විදුලියක් මෙන් ද,  තරුවලින් පිරුණු සඳ මෙන් ද බැබළී ය.

මහර්ෂී වූ උන්වහන්සේ ගේ ආයුෂය අවුරුදි විසි දහසකි. ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතර කළ සේක.

දහම් නමැති විලක් මවා සිව් පිරිසිදු සිල් නමැති විලවුන් දී, හිරි ඔතප් නමැති පිළිසඟලක් හැඳ, සත්තිස් බෝධි පාක‍ෂික ධර්ම නමැති මල් දමක් ගොතා නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දෙසන ලද දහම් නමැති පළඳනාව බලත් වා යි නිමල් දහම් නමැති කැඩපතක් මහජනයා වෙත තබා පන්සිල්, දසසිල්, සිව් පිරිසිඳු සිල් නමැති සැට්ටයක් දී,  ධ්‍යානයක ද බඳීන ලද්දේ, දහම්සම් පොරවා  උතුම් වීර්යය දළ සතර බැඳුම් සැට්ටය දී, සිහිය නමැති පලිහයක් ද, විදසුන් නැණ නමැති හෙල්ලක්ද දී,  ලොව්තුරු සීලය ට සතුරු කෙලෙස් සියල්ල මඩනා නැණ නමැති උතුම් කඩුවක්ද දී, ත්‍රිවිද්‍යා නමැති පළඳනාවක් ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක් ද, ෂඩ් අභිඥා නමැති අලංකාර කරන අබරණ ද, නව ලොව්තුරු දහම් නමැති පළඳන මල් දමක් ද දී, අකුසල් නමැති අව්ව වැලැක්වීම ට සදහම නමැති සේසතක් ද දී, අභයපුර ය යි කියන ලද නිවන ට පමුණුවන අරි අටගි මග නමැති මල් අතුළ මගක් ඇතිකොට ඒ කසුප් බුදුරදතෙම ශ්‍රාවකයන් සහිත ව පිරිනිවි සේක.

අපමණ ගුණ ඇති සතුරන් විසින් නො ළංවිය හැකි ඒ සම්බුදුරදහු ද, යහපත් ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දහම් රුවන ද, උතුම් වූ සුපිළිපන් ඒ සඟ රුවන ද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?

ශාස්තෘ වූ මහ කසුප් ජිනරාජ තෙම “ස්වෙතව්‍ය” නම් ආරාමයේ දී පිරිනිවි සේක.  එ හි ම උන්වහන්සේ ගේ ජිනථූපය යොදුනක් උස ට ගොඩනගන ලද්දේ ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, කාශ්‍යප බුද්ධ වංශය]

උපුටාගැනීම – www.thiryak.org

ගෞතම බුද්ධ වංශය (Gautama Buddha Wanshaya )
කොණාගමන බුද්ධ වංශය ( Koṇāgamana Buddha Wanshaya )
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.