වෙස්සභූ බුද්ධ වංශය ( Wessabhu Buddha Wanshaya ) - IFBC Organization | Dhamma

එ ම මණ්ඩ නම් කල්පයෙ හි අසම වූ තමා ට සමාන පුද්ගලයෙක් නැත්තා වූ  නමින් වෙස්සභූ නම් වූ ලෝනා හිමිඳු උපන් සේක. ඒ කාලයෙ හි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේ ය යි දැන සසර බැඳුම සිඳගෙන ඇත් රජෙකු මෙන් බුදුබවට පැමිණි සේක.

වෙස්සභූ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන් ට  පළමුවන ධර්මාවබෝධය වී ය. ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙ හි සැරිසරා වැඩිය කල් හි කෝටි සැත්තෑදහසක් දෙනා ට  දෙවන ධර්මවබෝධය වී ය. උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් යමාමහ පෙළහරක් කළ සේක.   දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙ හි දෙවි මිනිස්සු රැස්වු හ. පෙර නො වූ විරූ,  ලොමු දැහැගන්නා වූ මහ පුදුමය දැක සැට කෝටියක් දෙවියෝ ද මිනිස්සු ද සිවුසස් අවබෝධ කළාහු ය.

මහර්ෂී වූ වෙස්සභූ බුදුරජුන් ට තාදී ගුණ ඇති සන්සුන් සිත් ඇති කෙලෙස් කිලිටු නැති රහතුන් ගේ රැස්වීම් තුනක් වූ හ. අසූ දහසක් භික‍ෂූන් ගේ පළමුවන රැස්වීම වී ය. සැත්තෑ දහසක් භික‍ෂූන් ගේ දෙවන රැස්වීම වී ය.

මහර්ෂී වූ බුද්ධපුත්‍ර වූ ජරා මරණ ආදී භය නැති කළ සැට දහසක් භික්ෂූන් ගේ තුන්වන රැස්වීම වී ය.
අසම වූ ඒ වෙස්සභූ බුදුරදුන් පවත්වන ලද උතුම් දම්සක් අසා උතුරු මිනිස්දම් ලැබීම ට පැවිද්ද කැමැති වීමි. මම ඒ කාලයෙ හි “සුදස්සන” නම් රජෙකි.   ආහාරපාන හා පිළියෙන් ද,  සංඝයා සහිත ජිනරාජ වූ වෙස්සභූ බුදුරදුන් පිදූයෙමි.

රෑ දාවල් අනලස් ව මහ දන් පවත්වා පැවිද්ද ගුණයෙන් යුක්ත ය යි දැන ජිනරාජ වූ වෙස්සභූ බුදුරදුන් සමිපයෙ හි පැවිදිවීමි. ආචාරයෙන් හා ගුණයෙන් යුත් වූයේ වතින් හා සීලයෙන් එකඟ වූයේ බුදූබව සොයමින් බුදූසස්නෙ හි සිත් අලවා වාසය කළෙමි. සැදැහැයෙන් හා සතුටෙන් යුතු ව පැමිණ දෙවි මිනිසුන් ට අනුශාසනා කරන වෙස්සභූ බුදුරදුන් ගේ පා වැන්දෙමි.  එ කල සම්බෝධිය ට හේතුකොටගෙන මට ප්‍රීතිය උපනි.

සම්බුදුරදතෙම නො පසුබස්නා සිත් ඇති බව දැන,  මෙයින් තිස්එක්වන කපෙ හි මේ පැවිදි තෙම බුදූවන්නේ ය යන මෙය වදාළ සේක.

ඒ තථාගත තෙම ඒ දිනයෙ හි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදූවීම ට උත්සාහකොට දුෂ්කර ක්‍රියා ද කොට ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙ හි හිඳ,  එ හි දී කිරිබත පිළිගෙන නේරංජරාව ට එළඹෙයි. නැවත ඒ ජිනරාජතෙම නේරංජරා නදී තීරයෙ හි දී කිරිබත වළඳයි. ඉක්බිති බෝධිය කරා එළඹෙයි.

මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුල දී බුදුබව අවබෝධ කර ගන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නී ය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. “කෝලිත” ද, “උපතිස්ස” ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. “ආනන‍ද”නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. “ඛෙමා” ද,  “උප්පලවණ්ණා” ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.   අත්පොලසන් දෙත්.   සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ වෙස්සභූ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ බුදුරජුන් ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම්  පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි. මහර්ෂී වූ වෙස්සභූ බුදුරදුන් ගේ නුවර “අනූපම” නම් වී ය. පිය තෙම  “සුප්පතීත” නම් රජ ය. වැදූ මව “යසවතී” නම් වූවා ය.

ඒ වෙස්සභූ බුදුරදුන් අවුරුදූ හයදාහක් බුදූවන්න ට පෙර ගිහිගෙයි වාසය කළේ ය.  “රුචි” ය,  “සුරුචි” ය,  “වඩ්ඪමාන” ය යන උතුම් තුන් ප්‍රාසාද තුනක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ තිස් දහසකි. ප්‍රසිද්ධ වූ බිරිඳ “සුචිත්තා” නම් වූවා ය. පුත් තෙම “සුප්පබුද්ධ” නම් වී ය.

පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක සිවිකා යානයෙන් මහබිනික්මන් කළේ ය. සය  මාසයක් මුළුල්ලේ ප්‍රධාන වීර්යය කළේ ය. බඹහු විසින් අයදනා ලද්දේ මහාවීර වූ මිනිසුන් ට උතුම් වූ වෙස්සභූ නම් ලෝනාහිමිඳු “අරුණ” නම් ආරාමයේ දී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂී වූ වෙස්සභූ බුදුරදුන් ට, “සෝන” ද, “උත්තර” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම “උපසන්ත” නම් වී ය. “දාමා” ද, “සමාලා” ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ.ඒ භාග්‍යවත්හු ගේ බෝරුක “සල් ගස” ය යි කියනු ලැබේ.

“සොත්ථිත” ද,  “රම්ම” ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   “ගොතමී” ද, “සිරිමා” ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

උන්වහන්සේ සැට රියනක් උස් වූ රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක් රාත්‍රියෙ හි කඳු මුදූනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය නික්මෙයි. ඒ කාලයෙ හි අවුරුදි සැට දහසක් ආයුෂ ඇත්තේ ය. ඒතාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක. ධර්මය පැතිරවීම කොට මහජනයාට බෙදා දහම් නමති නැව තබා ශ්‍රාවකයින් සහිත ව ඒ බුදූරජතෙම පිරිනිවි සේක.

දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදූරජ තෙමේ ද, විහාරය ද, ඉරියව් ද, යන සියල්ල අතුරුදන් වී ය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?

ශාස්තෘ වූ ඒ වෙස්සභූ ජිනරාජතෙම “ඛේම” නම් ආරාමයේ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, වෙස්සභූ බුද්ධවංශය]

උපුටා ගැනීම -www.thiryak.org

කකුසඳ බුද්ධ වංශය ( Kakusanda Buddha Wanshaya )
සිඛී බුද්ධ වංශය ( Siki Buddha Wanshaya )

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.